3වන පරිච්ඡේදය
සැබෑ දෙවි කවුද?
1. බයිබලයේ ආරම්භක වදන් සමඟ බොහෝදෙනෙක් එකඟ වන්නේ ඇයි?
දීප්තියෙන් බැබළෙන තාරකාවලින් ගහන වූ පැහැදිලි රාත්‍රී අහසක් දෙස බැලීමෙන්, ඔබ විස්මයට පත් වන්නේ නැද්ද? ඒවායේ පැවැත්ම ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? වර්ණවත් මල්, සුමිහිරි ගී ගයන කුරුල්ලන්, සාගරයේ සැරිසරන දැවැන්ත තල්මසුන් වැනි පොළොවේ වෙසෙන ජීවීන් ගැන කුමක් කිව හැකිද? එම ලැයිස්තුවට නම් කෙළවරක් නැත. මේ සියල්ල අහම්බෙන් ආ දේවල් නොවෙයි. එසේ නම්, ‘පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැවූ’ බවට සඳහන් වන බයිබලයේ ආරම්භක වදන් සමඟ බොහෝදෙනෙකු එකඟ වීම ගැන පුදුම විය යුතු නැත!’—උත්පත්ති 1:1.
2. බයිබලය දෙවි ගැන පවසන්නේ කුමක්ද? එය අපව දිරිගන්වන්නේ කුමක් කිරීමටද?
2 දෙවි කෙනෙක් ගැන කතා කරද්දී සෑම කෙනෙක්ම එකම මතයක නොසිටී. සමහරු සිතන්නේ දෙවියන් නිකම්ම බලවේගයක් කියායි. දෙවි සිටින්නේ ළඟාවීමට නොහැකි තරම් දුරකින්යයි විශ්වාස කරන මිනිසුන් මිලියන ගණනක්, මියගිය මුතුන්මිත්තන්ට වන්දනාමාන කරයි. නමුත් සැබෑ දෙවි පෞද්ගලික වශයෙන් අප කෙරෙහි උණුසුම් සැලකිල්ලක් දක්වන සැබෑ පුද්ගලයෙක් බව බයිබලය හෙළි කරයි. “[ඔහු] අප එකිනෙකාට නුදුරුව සිටින” බව පවසමින්, ‘දෙවිව . . . සොයන’ හැටියට එය අපව දිරිගන්වන්නේ එනිසයි.—ක්‍රියා 17:27.
3. දෙවිව රූපයකින් දැක්වීමට නොහැක්කේ ඇයි?
3 දෙවිට ඇත්තේ කෙබඳු පෙනුමක්ද? දෙවිගේ සේවකයන් කීපදෙනෙක්, ඔහුගේ තේජාන්විත රූපාකාරය පිළිබඳ දර්ශන දැක ඇත. මේවායේදී ඔහුව දුටුවේ, සිංහාසනාරූඪව සිටි, ගරුබිය දනවන දීප්තියක් විහිදුවන තැනැත්තෙකු හැටියටයි. කෙසේවෙතත්, එවන් දර්ශන දුටු අය කිසිවිටකත් යම් නිශ්චිත මුහුණක් විස්තර කළේ නැත. (දානියෙල් 7:9, 10; එළිදරව් 4:2, 3) මීට හේතුව ‘දෙවි ආත්මයක්’ වීමයි. ඔහුට භෞතික ශරීරයක් නැත. (යොහන් 4:24) “කිසිවෙක් කිසිකලක [දෙවි] දුටුවේ” නැති බැවින්, අපගේ මැවුම්කරුව නිවැරදි භෞතික රූපයකින් දැක්විය නොහැකිය. (යොහන් 1:18; නික්මයාම 33:20) එහෙත්, බයිබලය දෙවි ගැන බොහෝ දේ අපට උගන්වයි.
සැබෑ දෙවිට නමක් ඇත
4. බයිබලයේ දෙවිට යොදාගැනෙන අර්ථවත් පදවි නාම සමහරක් මොනවාද?
4 බයිබලයෙහි සැබෑ දෙවිව ‘සර්වපරාක්‍රම වූ දෙවි,’ “මහෝත්තමයා,” “උදාර මැවුම්කරු,” “උදාර උපදේශක,” “පරමාධිපති ස්වාමීන්,” ‘සදාකාල රජ’ වැනි යෙදුම්වලින් හඳුන්වා ඇත. (උත්පත්ති 17:1; ගීතාවලිය 50:14; දේශනාකාරයා 12:1, NW; යෙසායා 30:20, NW; ක්‍රියා 4:24, NW; 1 තිමෝති 1:17) දෙවි පිළිබඳ දැනුමෙන් වැඩිවර්ධනය වීමට එවන් පදවි නාම ගැන ගැඹුරින් සිතා බැලීම අපට උපකාරවත් විය හැකියි.
5. දෙවිගේ නාමය කුමක්ද? එය හෙබ්‍රෙව් ලියවිලිවල කොපමණ වාර ගණනක් සඳහන් වෙනවාද?
5 කෙසේවෙතත්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පමණක් ආසන්න වශයෙන් 7,000 වාරයක් පමණ දක්නට ලැබෙන අද්විතීය නමක් දෙවිට ඇත. මෙය ඔහුගේ වෙනත් ඕනෑම පදවි නාමයකට වඩා වැඩි වාර ගණනක් සඳහන්ව ඇත. අවුරුදු 1,900කට පමණ පෙර, යුදෙව්වෝ යම් මිථ්‍යා විශ්වාසයක් නිසා, දිව්‍ය නාමය උච්චාරණය කිරීම නතර කළෝය. බයිබලය ලිවීමට භාවිත කළ හෙබ්‍රෙව් භාෂාව ලියනු ලැබුවේ ප්රාණාක්ෂර නොමැතිවයි. එබැවින් මෝසෙස්, දාවිත් ඇතුළු පුරාණ කාලවල විසූ වෙනත් අය දිව්‍ය නාමයෙහි අඩංගු ගාත්රාක්ෂර සතර (יהוה) උච්චාරණය කළේ කෙසේදැයි දැන ගැනීමට කිසිම ක්‍රමයක් නැත. දෙවිගේ නාමය “යාහ්වේ” හැටියට උච්චාරණය කරන්ට ඇතැයි සමහර විශාරදයන් කියා සිටියත්, ඔවුන්ට එය ස්ථිරවම පැවසිය නොහැක. “ජෙහෝවා” යන ඉංග්‍රීසි උච්චාරණය සියවස් ගණනාවක් පුරා භාවිත කොට ඇත. වෙනත් බොහෝ භාෂාවලද එය ඊට සමානව උච්චාරණය කරන අතර ඊට පොදු පිළිගැනීමක් ඇත.—පැරණි අනුවාදයේ නික්මයාම 6:3 සහ යෙසායා 26:4 බලන්න.
ඔබ දෙවිගේ නාමය භාවිත කළ යුතු හේතුව
6. ගීතාවලිය 83:17 යෙහෝවා ගැන පවසන්නේ කුමක්ද? අප ඔහුගේ නාමය භාවිත කළ යුත්තේ ඇයි?
6 යෙහෝවා යන දෙවිගේ අද්විතීය නාමය, ඔහුව අන් සෑම දෙවිකෙනෙකුගෙන්ම වෙන් කොට දැක්වීමට ඉවහල් වේ. බයිබලයේ, විශේෂයෙන්ම හෙබ්‍රෙව් පාඨයේ, එම නාමය එතරම් වාර ගණනක් දකින්ට ලැබෙන්නේ එනිසයි. පරිවර්තකයන් බොහෝදෙනෙක් දිව්‍ය නාමය භාවිත කිරීමට අපොහොසත් වන මුත්, ගීතාවලිය 83:17හි පැහැදිලිව මෙසේ පැවසේ: ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයා’ වන්නේය. එනිසා අප දෙවි ගැන කතා කරන විට, ඔහුගේ පෞද්ගලික නම භාවිත කිරීම යෝග්‍යයි.
7. යෙහෝවා යන නාමයේ අර්ථයෙන් අපට දෙවි ගැන උගන්වන්නේ කුමක්ද?
7 යෙහෝවා යන නාමය “වෙන්න” යන අර්ථය දෙන හෙබ්‍රෙව් ක්‍රියා පදයක එක් ස්වරූපයක් ගනී. මේ අනුව, දෙවිගේ නාමයේ තේරුම “ඔහු සිදුවීමට සලස්වයි” යන්න වේ. එනිසා, යෙහෝවා දෙවි තමන්ව හඳුන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨ අරමුණුකරන්නා හැටියටයි. ඔහු සැමවිටම තම අරමුණු ඉටුවීමට සලස්වයි. තම සැලසුම් සාර්ථක වේවිදැයි මිනිසුන්ට කිසිදාක ස්ථිර විය නොහැකි බැවින්, මෙම නාමය දැරිය හැක්කේ සැබෑ දෙවිට පමණි. (යාකොබ් 4:13, 14) “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනය . . . මා නියමකළ කාරණය සඵලකරනවා ඇත” යනුවෙන් පැවසිය හැක්කේ යෙහෝවාට පමණයි.—යෙසායා 55:11.
8. යෙහෝවා මෝසෙස් තුළින් ප්‍රකාශ කළේ කුමන අරමුණක්ද?
8 හෙබ්‍රෙව් ජාතියේ ආදිපිතෘවරුන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් යන සෑම කෙනෙක්ම, “[යෙහෝවාගේ, NW] නාමය කියා යාච්ඤා” කළ නමුත් දිව්‍ය නමෙහි සම්පූර්ණ අර්ථය දැන සිටියේ නැත. (උත්පත්ති 21:33; 26:25; 32:9; නික්මයාම 6:3) ඔවුන්ගෙන් පැවතෙන්නන් වූ ඉශ්රායෙල්වරුන්ව මිසරයේ වහල්කමින් මුදා, “කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට” ගෙනෙන බවට වූ තම අරමුණ යෙහෝවා පසු කලකදී හෙළි කළ අවස්ථාවේදී, මෙය විය නොහැකි දෙයක් සේ දිස් වන්ට ඇති. (නික්මයාම 3:17) කෙසේවෙතත්, දෙවි තම අනාගතවක්තෘ මෝසෙස්ට මෙසේ පැවසීමෙන් තම නාමයේ සදාකාලික වැදගත්කම අවධාරණය කළේය: ‘ආබ්‍රහම්ගේ දෙවිද ඊසාක්ගේ දෙවිද යාකොබ්ගේ දෙවිද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි වූ යෙහෝවා නුඹලා වෙතට මා එව්වායයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.’—නික්මයාම 3:15.
9. ඵාරාවෝ යෙහෝවාව සැලකුවේ කොහොමද?
9 පාළුකරයේදී යෙහෝවාට නමස්කාර කිරීම සඳහා ඉශ්රායෙල්වරුන්ට යන්ට ඉඩහරින ලෙස මෝසෙස්, මිසරයේ රජු වූ ඵාරාවෝගෙන් ඉල්ලා සිටියේය. නමුත්, තමාවම දෙවිකෙනෙකු හැටියට සැලකූ, එමෙන්ම වෙනත් මිසර දෙවිවරුන්ට වන්දනාමාන කළ ඵාරාවෝ පිළිතුරු දුන්නේ මෙසේය: “ඉශ්රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් [යෙහෝවාගේ] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම [යෙහෝවා] නාඳුනමි. ඇරත් ඉශ්රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමි.”—නික්මයාම 5:1, 2.
10. ඉශ්රායෙල්වරුන් සම්බන්ධ තම අරමුණ ඉටු කිරීමට, යෙහෝවා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
10 ඊළඟට, යෙහෝවා තම නාමයට එකඟව ක්‍රියා කරමින්, තම අරමුණ ඉටු කිරීම සඳහා ක්‍රමානුකූලව පියවර ගන්නට විය. ඔහු පුරාණ මිසරවරුන් පිටට පීඩා දහයක් ගෙනාවේය. අන්තිම පීඩාවෙන් උඩඟු ඵාරාවෝගේ පුත්‍රයාද ඇතුළුව, මිසරයේ සියලුම කුලුඳුලන්ව මරණයට පත් කළේය. ඉන්පසුව ඉශ්රායෙල්වරුන්ව පිටත් කිරීමට මිසරවරුන් උත්සුක විය. කෙසේවෙතත්, සමහරක් මිසරවරුන් යෙහෝවාගේ බලය ගැන කොතරම් විස්මයට පත් වූවාදයත්, ඔවුන්ද ඉශ්රායෙල්වරුන් සමඟ මිසරයෙන් පිටත්ව ගියේය.—නික්මයාම 12:35-38.
11. යෙහෝවා රතු මුහුදේදී සිදු කළ ආශ්චර්යය කුමක්ද? ඔහුගේ සතුරන්ට පිළිගැනීමට සිදු වූයේ කුමක්ද?
11 මුරණ්ඩු ඵාරාවෝ හා ඔහුගේ සේනාව යුද රථ සිය ගණනක් සමඟින්, තම වහලුන්ව නැවතත් අල්ලාගැනීමට පිටත් විය. මිසරවරුන් ළඟා වෙද්දී, දෙවි ආශ්චර්යවත් ලෙස රතු මුහුද දෙබෑ කළේ ඉශ්රායෙල්වරුන්ට වියළි භූමිය හරහා ගමන් කිරීමට හැකි වන පරිද්දෙනි. ලුහුබඳින්නන් මුහුදු පත්ලට පැමිණි විට, යෙහෝවා, ‘ඔවුන්ගේ චක්‍ර රෝද ගැළවූ හෙයින්, ඔවුන් ඒවා අමාරුවෙන් දැක්කුවෝය.’ මිසර සේනාව මෙසේ මොරගැසුවෝය: “අපි ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලායමු; මක්නිසාද [යෙහෝවා] ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව [සටන් කරන්නේය].” නමුත් ප්‍රමාද වූවා වැඩියි. තාප්ප බඳු වූ විශාල ජල කන්දරාව පහතට කඩා වැටෙමින්, ‘රථද අසුරුවන්ද . . . ඵාරාවෝගේ මුළු සේනාවද වසාගත්තාය.’ (නික්මයාම 14:22-25, 28) මෙසේ යෙහෝවා තම නාමයට මහත් කීර්තියක් අත් කරගත් අතර, එම සිද්ධිය අද දක්වා සිහි කරනු ලබයි.—යෝෂුවා 2:9-11.
12, 13. (අ) දෙවිගේ නාමයෙන් අදදින අපට අර්ථවත් වන්නේ කුමක්ද? (ආ) මිනිසුන් ඉක්මනින්ම ඉගෙනගත යුත්තේ කුමක්ද? ඒ ඇයි?
12 දෙවි තමන් සඳහා ඇති කරගෙන තිබෙන නාමය, අදදින ජීවත් වන අපට මහත් වැදගත්කමකින් යුක්තය. තමන් අරමුණු කර ඇති සියල්ලක්ම සිදුවීමට සලස්වන බව යෙහෝවා යන ඔහුගේ නාමයෙන් තහවුරු වේ. අපේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීම සඳහා වූ ඔහුගේ මුල් අරමුණ ඉටු කිරීමද මීට ඇතුළත්ය. (උත්පත්ති 1:28; 2:8) එය ඉටු කිරීම සඳහා, දෙවි අදදින තම පරමාධිපත්‍යයට විරුද්ධ වන සියල්ලන්වම තුරන් කරනු ඇත. ඒ ගැන ඔහු මෙසේ පවසා ඇත: “මා යෙහෝවා බව ඔවුන්ට දැනගැනීමට සිදු වනවා ඇත.” (එසකියෙල් 38:23, NW) අනතුරුව තම නමස්කාරකයන්ව ධර්මිෂ්ඨකමෙන් පිරි අලුත් ලොවකට ගෙන ඒමට වූ පොරොන්දුව දෙවි ඉටු කරනු ඇත.—2 පේතෘස් 3:13.
13 දෙවිගේ අනුග්‍රහය ලබාගැනීමට වුවමනා කරන සෑම කෙනෙකුම ඇදහිල්ලෙන් යුතුව ඔහුගේ නාමයට යාච්ඤා කිරීමට ඉගෙනගත යුතුයි. මන්දයත් බයිබලයේ මෙසේ පොරොන්දු වේ: “[යෙහෝවාගේ] නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.” (රෝම 10:13) ඔව්, යෙහෝවා යන නාමයට ඉතා වටිනා අර්ථයක් ඇත. යෙහෝවාව ඔබේ දෙවි හා මිදුම්කරුවා හැටියට පිළිගැනීම ඔබව නිමක් නැති සන්තෝෂයකට මඟ පෙන්විය හැකියි.
සැබෑ දෙවිගේ ගුණාංග
14. බයිබලයේ කැපීපෙනෙන්ට සලස්වන දෙවිගේ ප්‍රධාන ගුණාංග මොනවාද?
14 මිසරයෙන් ඉශ්රායෙල්වරුන් ලැබූ මිදීම සලකා බලද්දී, පරිපූර්ණ සමබරතාවකින් යුතු වූ දෙවිගේ ප්‍රධාන ගුණාංග සතර කැපීපෙනෙයි. ඵාරාවෝ සමඟ කටයුතු කරද්දී, ඔහුගේ ගරුබිය දනවන බලය හෙළි විය. (නික්මයාම 9:16) දෙවි එම සංකීර්ණ තත්වය දක්ෂ අන්දමින් හැසිරවීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ අසමසම ප්රඥාවයි. (රෝම 11:33) තම සෙනඟගේ මුරණ්ඩු විරුද්ධවාදීන්ට හා පීඩා කරන්නන්ට දඬුවම් කිරීමෙන් ඔහු යුක්තිය විදහාපෙන්වීය. (ද්විතීය කථාව 32:4, NW) ප්‍රේමය දෙවි තුළ මැනවින් කැපීපෙනෙන ගුණාංගයකි. ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් සම්බන්ධයෙන් තම පොරොන්දුව ඉටු කිරීමෙන් යෙහෝවා කැපීපෙනෙන ප්‍රේමයක් විදහාපෙන්වීය. (ද්විතීය කථාව 7:8) බොරු දෙවිවරුන් අතහැර, එකම සැබෑ දෙවි වෙනුවෙන් ස්ථාවරයක් ගැනීමෙන් මහත් ප්‍රයෝජන නෙළාගැනීමට සමහරක් මිසරවරුන්ට ඉඩ දීමෙන්ද ඔහු ප්‍රේමය විදහාපෙන්වීය.
15, 16. දෙවි ප්‍රේමය පෙන්වා තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?
15 දෙවිගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමය බවත්, ඔහු එය ක්‍රම රැසකින් විදහාපෙන්වන බවත්, බයිබලය කියවන විට ඔබට දැකගන්ට ලැබෙයි. උදාහරණයක් හැටියට, මැවුම්කරුවෙකු වීමටත්, ජීවත් වීමේ ප්‍රීතිය මුලින්ම ආත්ම ජීවීන් සමඟ බෙදාගැනීමටත් ඔහුව පෙලඹ වූයේ ප්‍රේමයයි. මිලියන සිය ගණනකින් යුත් එම දේවදූතයන් දෙවිට ප්‍රේම කරන අතර ඔහුට ප්‍රශංසාද කරයි. (යෝබ් 38:4, 6ආ, 7අ; දානියෙල් 7:10) එමෙන්ම දෙවි පොළොව මැවීමෙන් හා එය මිනිසාගේ ප්‍රීතිදායක පැවැත්ම සඳහා සූදානම් කිරීමෙන්ද, එම ප්‍රේමය පෙන්වීය.—උත්පත්ති 1:1, 26-28; ගීතාවලිය 115:16.
16 කියා නිම කළ නොහැකි ආකාරයකින් අප යෙහෝවාගේ ප්‍රේමයෙන් ප්‍රයෝජන ලබයි. අපට ජීවිතය භුක්ති විඳීමට හැකි වන පරිදි, දෙවි ඉතා පුදුමාකාර ලෙස අපේ ශරීර ප්‍රේමනීයව සාදා ඇති ආකාරය ඉන් එකක් පමණි. (ගීතාවලිය 139:14) ‘අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් අපට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද අපේ සිත් පිරවීමෙන්’ ඔහු තම ප්‍රේමය පිළිබිඹු කරයි. (ක්‍රියා 14:17) එපමණක්ද නොව, දෙවි ‘නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන්නේය, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.’ (මතෙව් 5:45) අපට දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට හා ඔහුගේ නමස්කාරකයන් හැටියට ඔහුට සන්තෝෂයෙන් සේවය කිරීමට උපකාර කිරීම සඳහා, අපේ මැවුම්කරුව පොලඹවන්නේ අප සඳහා ඇති ඔහුගේ ප්‍රේමයයි. ඇත්තෙන්ම ‘දෙවි ප්‍රේමයය.’ (1 යොහන් 4:8) එහෙත් ඔහුගේ පෞද්ගලිකත්වයට තවත් පැති රාශියක් ඇත.
‘අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ දෙවිකෙනෙක්’
17. නික්මයාම 34:6, 7හි අපි දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද?
17 ඉශ්රායෙල්වරුන් රතු මුහුදෙන් එතර වීමෙන් පසුව පවා, දෙවිව දැනහඳුනා ගැනීමේ අවශ්‍යතාවය පැවතුණි. එම අවශ්‍යතාව දැනුණු මෝසෙස් මෙසේ යාච්ඤා කරන්නට විය: “මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව.” (නික්මයාම 33:13) ‘යෙහෝවා, යෙහෝවා, ඔහු අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන්නේය’ යන දෙවිගේම ප්‍රකාශය ඇසීමෙන් මෝසෙස් දෙවිව වඩාත් හොඳින් දැනහඳුනා ගත්තේය. (නික්මයාම 34:6, 7) හිතාමතා පව් කරන අයව ඔවුන්ගේ වරදවල ප්රතිවිපාකවලින් ආරක්ෂා නොකරන දෙවි, තම ප්‍රේමය යුක්තිය සමඟ සමබරව විදහාපෙන්වයි.
18. යෙහෝවා දයාන්විත බව ඔප්පු වී තිබෙන්නේ කොහොමද?
18 මෝසෙස් ඉගෙනගත් හැටියට, යෙහෝවා අනුකම්පාසහගත දෙවි කෙනෙකි. අනුකම්පාසහගත පුද්ගලයෙකුට දුක් විඳින අය ගැන දුකක් දැනෙන අතර, ඔවුන්ට සහනය ගෙන දීමට ඔහු උත්සාහ කරයි. එලෙසම, දුක් විඳීම, අසනීප හා මරණය සඳහා ස්ථිරසාර වූ පිළියමක් යෙදීමෙන්, දෙවි මනුෂ්‍යවර්ගයා සඳහා දයානුකම්පාව පෙන්වා ඇත. (එළිදරව් 21:3-5) මෙම දුෂ්ට ලෝකය තුළ සිදු වන දේවල් නිසා, දෙවිගේ නමස්කාරකයන් විපත්ති අද්දැකීමට ඉඩ ඇත. එසේත් නැත්නම් සමහරක් විට අඥානව ක්‍රියා කිරීම නිසා කරදරවලට මුහුණ දිය හැකියි. නමුත් ඔවුන් නිහතමානීව උපකාරය සඳහා යෙහෝවා වෙත හැරුණොත්, ඔහු ඔවුන්ට සැනසුම දී උපකාර කරයි. ඒ මන්ද? ඔහු තම නමස්කාරකයන්ට අනුකම්පාසහගත ලෙස මුදුමොළොක් සැලකිල්ලක් දක්වන නිසයි.—ගීතාවලිය 86:15; 1 පේතෘස් 5:6, 7.
19. යෙහෝවා කරුණාභරිතයි කියා අපට පැවසිය හැක්කේ ඇයි?
19 අධිකාරියක් හොබවන බොහෝදෙනෙක් වෙනත් අයට සලකන්නේ කර්කශ ආකාරයකටයි. තම නිහතමානී සේවකයන් කෙරෙහි යෙහෝවා පෙන්වන දයාව ගත් කල, ඔහු ඊට හාත්පසින්ම වෙනස්! විශ්වයේ ඉහළම අධිකාරය හෙබවූවත්, ඔහු කැපීපෙනෙන ආකාරයේ කරුණාවක් මුළු මනුෂ්‍යවර්ගයාටම පොදුවේ පෙන්වයි. (ගීතාවලිය 8:3, 4; ලූක් 6:35) ඔවුන්ගේ විශේෂ අයැදීම්වලට පිළිතුරු දීමෙන්, යෙහෝවා මනුෂ්‍යයන් සමඟ පෞද්ගලික මට්ටමකින් පවා දයාන්විතව කටයුතු කරයි. (නික්මයාම 22:26, 27; ලූක් 18:13, 14) නමුත් කිසිවෙකුට විශේෂ අනුග්‍රහයක් හෝ අනුකම්පාවක් පෙන්වීමට දෙවි බැඳී නොසිටින බව අමුතුවෙන් කිව යුතු නැත. (නික්මයාම 33:19) එනිසා, දෙවිගේ අනුකම්පාව සහ දයාව අප මහත් සේ අගය කළ යුතුයි.—ගීතාවලිය 145:1, 8.
උදහස් වීමට ප්‍රමාදය, තරාතිරම් නොබලයි එමෙන්ම ධර්මිෂ්ඨය
20. යෙහෝවා උදහස් වීමට ප්‍රමාද බවත්, තරාතිරම් නොබලන බවත් පෙන්වන්නේ කුමකින්ද?
20 යෙහෝවා උදහස් වීමට ප්‍රමාදයි. නමුත් මෙයින් අදහස් වන්නේ ඔහු යමක් සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බව නොවෙයි. මන්දයත් මුරණ්ඩු ඵාරාවෝ හා ඔහුගේ සේනාව රතු මුහුදේදී විනාශ කිරීමෙන් ඔහු ක්‍රියා කළ නිසයි. එමෙන්ම යෙහෝවා තරාතිරම් නොබලා කටයුතු කරයි. ඔහුගේ අනුග්‍රහය ලත් සෙනඟ වූ ඉශ්රායෙල්වරුන් දිගටම වරදෙහි නියැලී සිටි නිසා අවසානයේදී ඔවුන්ට ඔහුගේ අනුග්‍රහය අහිමි වී ගියේ එනිසයි. සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ව තම නමස්කාරකයන් හැටියට දෙවි පිළිගත්තත්, එසේ පිළිගන්නේ තම ධර්මිෂ්ඨ මාර්ගවලට අනුකූල වන අයව පමණයි.—ක්‍රියා 10:34, 35.
21. (අ) එළිදරව් 15:2-4 අපට දෙවි ගැන උගන්වන්නේ කුමක්ද? (ආ) දෙවි හරියි කියන දේ කිරීමට අපට වඩාත් පහසු කරවන්නේ කුමක්ද?
21 දෙවිගේ “ධර්මිෂ්ඨ නියෝග” ඉගෙනීමේ ඇති වැදගත්කම එළිදරව් නමැති බයිබල් පොතෙන් කාවද්දයි. ස්වර්ගික මැවිලි මෙසේ ගායනා කරන බව එහි පවසයි: “සර්ව පරාක්රමවූ ස්වාමිවූ [දෙවි], ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය [පක්ෂපාතීය, NW]; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා [නියෝග, NW] ප්‍රකාශකරනලද්දේය.” (එළිදරව් 15:2-4) යෙහෝවා හරියයි පවසන දේට අනුකූල වීමෙන් අප ඔහුට පෙන්වන්නේ හිතකර භයක් නැත්නම් මහත් ගෞරවයකි. දෙවිගේ ප්‍රඥාව සහ ප්‍රේමය සිහි කරගැනීමෙන්, මෙය වඩාත් පහසු කාර්යයක් බවට පත් වේ. මන්දයත් ඔහුගේ සෑම ආඥාවක්ම දී තිබෙන්නේ අපේම යහපත උදෙසාය.—යෙසායා 48:17, 18.
‘අපේ දෙවි වූ යෙහෝව එක්කෙනෙක්ය’
22. බයිබලය පිළිගන්නා අය ත්‍රිත්වයකට නමස්කාර නොකරන්නේ ඇයි?
22 පුරාණ මිසරවරුන් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළ බව ඇත්තයි. නමුත් යෙහෝවා “අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය රක්ෂා කරන්නාවූ, NW] . . . දෙවිකෙනෙක්ය.” (නික්මයාම 20:5, 6ආ) “අපේ දෙවිවූ [යෙහෝවා] එකම [යෙහෝවා]” බව මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට සිහි කළේය. (ද්විතීය කථාව 6:4, ඇල අකුරු අපේය.) යේසුස් ක්‍රිස්තුස් එම වදන් යළි සඳහන් කරන්නට විය. (මාර්ක් 12:28, 29) එනිසා බයිබලය දේවවචනය ලෙස පිළිගන්නා අය, එක්කෙනෙකු තුළ පුද්ගලයන් හෝ දෙවිවරුන් තිදෙනෙකු සිටින ත්‍රිත්වයකට නමස්කාර කරන්නේ නැත. ඇත්තටම කියනවා නම්, “ත්‍රිත්වය” යන වචනය පවා බයිබලයේ සඳහන් නොවේ. සැබෑ දෙවි තනි පුද්ගලයෙක් වන අතර, ඔහු සහ යේසුස් ක්‍රිස්තුස් යනු පුද්ගලයන් දෙදෙනෙකි. (යොහන් 14:28; 1 කොරින්ති 15:28) දෙවිගේ ශුද්ධාත්මය පුද්ගලයෙක් නොවෙයි. එය යෙහෝවාගේ ක්‍රියාකාරී බලයයි. සර්වබලධාරි දෙවි තම අරමුණු ඉටු කිරීම සඳහා එය යොදාගනී.—උත්පත්ති 1:2; ක්‍රියා 2:1-4, 32, 33; 2 පේතෘස් 1:19, 21.
23. (අ) දෙවි සඳහා ඔබට ඇති ප්‍රේමය වැඩිවර්ධනය වෙන්නේ කොහොමද? (ආ) දෙවිට ප්‍රේම කිරීම ගැන යේසුස් කිව්වේ කුමක්ද? අප ක්‍රිස්තුස් ගැන ඉගෙනගත යුත්තේ කුමක්ද?
23 යෙහෝවා මොනතරම් පුදුමාකාරද කියා සිතන විට, ඔබේ නමස්කාරය ලබන්න ඔහු වටිනවා කියන කාරණයට ඔබ එකඟ වන්නේ නැද්ද? ඔහුගේ වචනය වන බයිබලය අධ්‍යයනය කරත්ම, ඔබ ඔහුව වඩාත් හොඳින් දැනගැනීමට යන අතර, ඔබේ සදාකාලික ශුභසිද්ධිය සහ සන්තෝෂය සඳහා ඔහුට ඔබෙන් ඕනෑ කරන්නේ කුමක්ද යන්නත් ඔබ ඉගෙන ගනු ඇත. (මතෙව් 5:3, NW, මතෙව් 5:6) ඊට අමතරව, එමගින් දෙවි සඳහා ඇති ඔබේ ප්‍රේමයත් වැඩිවර්ධනය වනවා ඇත. මෙය යෝග්‍යය. මන්දයත් යේසුස් මෙසේ පවසන්නට විය: “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකරන්න.” (මාර්ක් 12:30) යේසුස්ට දෙවි සඳහා එවන් ප්‍රේමයක් තිබූ බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් යේසුස් ක්‍රිස්තුස් ගැන බයිබලය හෙළි කරන්නේ කුමක්ද? යෙහෝවාගේ අරමුණ තුළ ඔහුට නියම වී ඇති කාර්යභාරය කුමක්ද?
ඔබේ දැනුම මැන බලන්න
දෙවිගේ නාමය කුමක්ද? එය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල කොපමණ වාර ගණනක් භාවිත කොට තිබෙනවාද?
ඔබ දෙවිගේ නාමය භාවිත කළ යුත්තේ ඇයි?
ඔබේ සිත විශේෂයෙන්ම ඇදී යන්නේ යෙහෝවාගේ කිනම් ගුණාංග වෙතටද?
[29වන පිටුවේ පින්තූරය]
සියලු දේවල මැවුම්කරුව ඔබ කොතරම් හොඳින් දන්නවාද?