7වෙනි පරිච්ඡේදය
කැරලිගසන්නෙක් නිවසෙහි සිටීද?
1, 2. (අ) යුදෙව් ආගමික නායකයන්ගේ අවිශ්වාසවන්තකම හුවා දැක්වීමට යේසුස්වහන්සේ කුමන උපමාව දුන්සේක්ද? (ආ) යේසුස්වහන්සේගේ උපමාවෙන් අපට යෞවනයන් පිළිබඳ කුමන කාරණා ඉගෙනිය හැකිද?
යේසුස්වහන්සේ සිය මරණයට දින කීපයකට පෙර, යුදෙව් ආගමික නායකයන්ගේ කණ්ඩායමකින් සිතුවිලි-කලතන ප්‍රශ්නයක් ඇසූසේක. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරපන්නැයි කීවේය. ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය. ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක.” යුදෙව් නායකයෝ මෙසේ පිළිතුරු දුන්හ: “පළමුවෙනියා.”—මතෙව් 21:28-31.
2 යේසුස්වහන්සේ මෙහිදී හුවා දක්වමින් සිටියේ, යුදෙව් නායකයන්ගේ අවිශ්වාසවන්තකම ගැනය. ඔවුහු දේවකැමැත්ත කිරීමට පොරොන්දු වුවත්, තම පොරොන්දුව ඉටු නොකළ දෙවන පුත්‍රයා මෙන් වූහ. එහෙත් යේසුස්වහන්සේගේ උපමාව පදනම්ව තිබුණේ, පවුල් ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් මත බව බොහෝ දෙමාපියන් වටහාගනු ඇත. උන්වහන්සේ හොඳින් පෙන්නුම් කළ පරිදි, යෞවන අය සිතන්නේ කුමක්දැයි දැනගැනීමට හෝ ඔවුන් කුමක් කරනු ඇද්දැයි උපකල්පනය කිරීමට බොහෝවිට අසීරුය. යෞවනයෙක් සිය තරුණවියේදී බොහෝ ගැටලු ඇති කළ හැකි අතර, ඉන්පසු වගකීමකින් යුතු, ගරුනම්බු ලබන වැඩිහිටියෙකු බවට පත්වීම සඳහා වැඩෙයි. නහඹරවියේ කැරලිගැසීම පිළිබඳ ගැටලුව ගැන අප සාකච්ඡා කරන විට, මෙය මතකයේ තබාගත යුතු දෙයකි.
කැරලිගසන්නෙක් යනු කවරෙක්ද?
3. තම දරුවා කැරලිගසන්නෙකුගේ ගණයට දැමීමට දෙමාපියන් ඉක්මන් නොවිය යුත්තේ මන්ද?
3 තම දෙමාපියන්ට විරුද්ධව මුළුමනින්ම කැරලිගසන නහඹරයන් ගැන ඔබ කලින් කලට අසනවා විය හැක. එපමණක්ද නොව, පාලනය කළ නොහැකි බව පෙනෙන්ට තිබෙන යෞවනයෙකු සිටින පවුලක් ගැන ඔබ පෞද්ගලිකවම දන්නවා විය හැක. කෙසේවුවද, දරුවෙකු සැබවින්ම කැරලිගසන්නෙකුදැයි දැනගැනීම සැමවිටම පහසු නොවේ. ඇරත්, ඇතැම් දරුවන් කැරලිගසද්දී වෙනත් අය—එකම ගෘහයෙහි පවා—එසේ නොකරන්නේ මන්දැයි තේරුම්ගැනීම අසීරු දෙයක් විය හැක. තම දරුවෙකු සම්පූර්ණයෙන්ම කැරලිගසන්නෙකු බවට පත් විය හැකියයි දෙමාපියන් සැක කරනවා නම්, ඔවුන් කළ යුත්තේ කුමක්ද? මෙයට පිළිතුරු දීම සඳහා, කැරලිගසන්නෙක් යනු කවරෙක්ද යන්න ගැන පළමුව කතා කිරීමට අපට සිදු වේ.
4-6. (අ) කැරලිගසන්නෙක් යනු කවරෙක්ද? (ආ) තම නහඹර දරුවා කලින් කලට අකීකරු වේ නම්, දෙමාපියන් කුමක් මතකයේ තබාගත යුතුද?
4 සරලව පවසනවා නම්, කැරලිගසන්නෙක් වූ කලි හිතා මතා, නිරතුරුවම අකීකරු වන හෝ එරෙහිව සිටින හා ඉහළ අධිකාරයකට විරෝධය පාන තැනැත්තෙකි. ‘ළමයෙකුගේ හෘදය තුළ මෝඩකම තිබෙන බව’ නොකිවමනාය. (හිතෝපදේශ 22:15) එබැවින් කවර මොහොතකදී හෝ සියලු දරුවෝ දෙමාපිය හා වෙනත් අධිකාරියකට විරුද්ධ වෙති. තරුණවිය ලෙසින් හැඳින්වෙන ශාරීරික හා චිත්තවේගීය වර්ධන සමයේදී මෙය විශේෂයෙන්ම සැබෑය. ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ වෙනස්වීමක්, දැඩි පීඩනයක් ඇති කරන අතර, තරුණවිය වනාහි බොහෝ වෙනස්වීම් සිදු වන සමයකි. ඔබේ නහඹර පුත්‍රයා හෝ දියණිය ළමාවියෙන් ඉකුත් වී, වැඩිහිටිවියට පා නඟමින් සිටියි. මේ හේතුව නිසා, තරුණවියේදී, ඇතැම් දෙමාපියන්ට හා දරුවන්ට පෑහී සිටීම දුෂ්කර කාර්යයකි. බොහෝවිට මෙසේ සිදු වන වෙනස්වීම් ප්‍රමාද කිරීමට දෙමාපියන් නිතැතින්ම වෑයම් කරද්දී, නහඹරයන්ට වුවමනා වන්නේ එය වේගවත් කිරීමටය.
5 කැරලිගසන නහඹරයෙක් දෙමාපියන්ගේ සාරධර්ම ප්‍රතික්ෂේප කරයි. එහෙත්, අකීකරුකමේ ක්‍රියාවන් ස්වල්පයක් කැරලිගසන්නෙකු වීමට සලස්වන්නේ නැති බව මතක තබාගන්න. තවද ආත්මික කාරණා සම්බන්ධයෙන් සලකා බලන විට, ඇතැම් දරුවන් පළමුව බයිබල් සත්‍යය කෙරෙහි සුළු උනන්දුවක් දැක්විය හැකි හෝ උනන්දුවක් නොදැක්විය හැකි මුත්, ඔවුන් කැරලිගසන්නන් නොවිය හැක. දෙමාපියෙකු වශයෙන්, ඔබේ දරුවාව වර්ග කිරීමට ඉක්මන් නොවන්න.
6 සියලු යෞවනයන්ගේ තරුණවිය දෙමාපිය අධිකාරිත්වයට එරෙහිව කැරලිගසන්නන්ගේ ගතිලක්ෂණ පිළිබිඹු කරයිද? නැත, කොහෙත්ම නැත. ඇත්තෙන්ම, දරුණු කැරලිගැසීමක් විදහාපාන්නේ නහඹරයන්ගෙන් සුළු ප්‍රමාණයක් පමණක් බවට සාක්ෂි දක්වන බවක් පෙනෙන්ට තිබේ. එහෙත්, මුරණ්ඩු ලෙස හා නිරතුරුවම කැරලිගසන දරුවෙකු ගැන කුමක් කිව හැකිද? එවන් කැරලිගැසීමකට පොලඹවන්නේ කුමක්ද?
කැරලිගැසීමට හේතු
7. සාතන් බලපවත්වන වාතාවරණය දරුවාට කැරලිගසන්නෙකු වීමට සැලසිය හැක්කේ කෙසේද?
7 කැරලිගැසීම සම්බන්ධ ප්‍රධාන හේතුවක් වන්නේ සාතන් බලපවත්වන පරිසරයයි. ‘මුළු ලෝකයා නපුරා තුළය.’ (1 යොහන් 5:19) සාතන්ගේ බලය යටතේ පවතින ලෝකය, ක්‍රිස්තියානීන්ට සටනක යෙදීමට සිදු වන විනාශකාරි සංස්කෘතියක් ගොඩනඟා ඇත. (යොහන් 17:15) එම සංස්කෘතියෙන් වැඩි කොටසක් අතීතයට වඩා වර්තමානයෙහි ඉතා අශික්ෂිත, අනතුරුදායක හා නරක බලපෑම්වලින් පිරී තිබේ. (2 තිමෝති 3:1-5, 13) දෙමාපියන් තම දරුවන්ව දැනුවත් කිරීම, ඔවුන්ට අවවාද දීම හා ආරක්ෂා කිරීම නොකළහොත්, යෞවනයන් පහසුවෙන්ම “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය” මගින් යටපත් වී යා හැක. (එපීස 2:2) සමවයසේ මිතුරන්ගේ පීඩනය මෙයට සම්බන්ධය. බයිබලය මෙසේ පවසයි: “අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) එලෙසම, මෙම ලෝකයේ ආත්මය සිතට කාවැදී ඇති අයගේ ඇසුරේ සිටින තැනැත්තා එම ආත්මය මගින් බලපෑම් ලැබිය හැක. ඉතා හොඳම ජීවිත ක්රමයේ අත්තිවාරම දේවප්‍රතිපත්තිවලට කීකරුවීම බව අගය කිරීමට නම්, යෞවනයන්ට නිරතුරු උපකාරය අවශ්‍යය.—යෙසායා 48:17, 18.
8. දරුවෙකුගේ පැත්තෙන් බලන කල කැරලිගැසීමට මඟ පැදිය හැක්කේ කුමන සාධකද?
8 ගෘහයේ පවතින වාතාවරණය කැරලිගැසීම සඳහා තවත් හේතුවක් විය හැක. උදාහරණයක් වශයෙන්, දෙමාපියෙකු මත්ලෝලියෙකු, මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කරන්නෙකු හෝ අනික් දෙමාපියා වෙත සාහසිකකම් කරන්නෙකු නම්, ජීවිතය පිළිබඳ නහඹරයාගේ දෘෂ්ටිය විකෘති විය හැක. තම දෙමාපියන් තමා ගැන උනන්දුවක් නොදක්වන බව දරුවෙකුට හැඟෙන විට, සාපේක්ෂ වශයෙන් ශාන්තදායක වාතාවරණයක් ඇති ගෘහවල පවා කැරලිගැසීම හටගැනීමට ඉඩ තිබේ. කෙසේවුවද, නහඹර කැරලිගැසීම සැමවිටම බාහිර බලපෑම් නිසා සිදුවන්නක් නොවේ. දේවප්‍රතිපත්ති අදාළ කරගන්නාවූ මෙන්ම සෑහෙන දුරකට, දරුවන්ගේ අවට ලෝකයෙන් ඔවුන්ව රැකගන්නාවූ දෙමාපියන් සිටියත්, ඇතැම් දරුවෝ දෙමාපියන්ගේ සාරධර්ම ප්‍රතික්ෂේප කරති. මන්ද? සමහරවිට අපගේ ගැටලුවලට තවත් මුලක් වන මිනිස් අසම්පූර්ණකම තිබෙන බැවිනි. පාවුල් මෙසේ පැවසුවේය: “එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) ආදම් ආත්මාර්ථකාමී කැරලිගසන්නෙකු වූ අතර, ඔහු සිය සියලු දරුවන් වෙත නරක උරුමයක් තබා ගියේය. ඇතැම් යෞවනයෝ, තම ආදි පිතෘ කළ අයුරින්ම කැරලිගැසීමට තීරණය කරති.
ඉඩ දුන් ඒලී සහ දැඩි සීමා පැනවූ රෙහොබොවම්
9. දරුවෙකු ඇති දැඩි කිරීමේදී ඔහුට කැරලිගසන්නෙකු වීමට සලස්වන අන්තයන් මොනවාද?
9 දෙමාපියන්ගේ පැත්තෙන් දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් අසමබර වීම, නහඹර කැරලිගැසීමට මඟ පෑදූ තවත් හේතුවකි. (කොලොස්සි 3:21) වගකීම් නොපිරිහෙලා ඉටු කරන ඇතැම් දෙමාපියෝ තම දරුවන්ට දැඩි ලෙස සීමා පනවන අතර ඔවුන්ව හික්මවති. අනික් අය, තම අද්දැකීම් නොලත් තරුණයන්ව ආරක්ෂා කරනු ඇති මාර්ගෝපදේශ සපයන්නේ නැතුව ඕනෑම දෙයකට ඉඩ දෙති. මෙම අන්තයට යෑම් දෙක අතර සමබරතාවක් තක්සේරු කරගැනීම හැමවිටම පහසු දෙයක් නොවේ. එමෙන්ම විවිධ දරුවන්ට විවිධ අවශ්‍යතා තිබේ. එක්කෙනෙකුට තවත් කෙනෙකුට වඩා වැඩි අධීක්ෂණයක් අවශ්‍ය විය හැක. එහෙත්, දැඩි සීමා පැනවීමේ හෝ ඉඩ දීමේ අන්තයට යෑමෙන් වන අනතුරු පෙන්වීමට බයිබල් ආදර්ශ දෙකක් උපකාරවත් වනු ඇත.
10. ඒලී ඇතැම්විට විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වුවත්, දුර්වල දෙමාපියෙකු වූයේ මන්ද?
10 පුරාණ ඉශ්රායෙලයේ උත්තම පූජක ඒලී පියෙකුව සිටියේය. වසර 40ක් සේවය කළ ඔහුට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන හසළ දැනුමක් තිබූ බව නිසැකය. ඒලී ඉතා විශ්වාසවන්ත ලෙස තම පූජක වගකීම් ස්ථාවරව කරගෙන ගිය අතර, තම පුත්‍රයන් වූ හොප්නී හා පීනෙහාස්ට දේවනීති මැනවින් ඉගැන්වූවාද විය හැක. කෙසේවුවද, ඒලී, සිය පුත්‍රයන් සමඟ අනවශ්‍ය ලෙස ලිහිල්ව කටයුතු කළේය. හොප්නී සහ පීනෙහාස් නිල ලත් පූජකයන් ලෙස සේවය කළ මුත්, තම ආහාර රුචිය හා දුරාචාර ආශාවන් තෘප්තිමත් කරගැනීමට පමණක් උනන්දු වූ “දුර්ජනයෝ,” වූහ. එහෙත්, ඔවුන් පරිශුද්ධ භූමියක පිළිකුල්සහගත ක්‍රියා කළද, ඔවුන්ව නිලයෙන් පහ කිරීමට ඒලීට ධෛර්යය නොතිබුණේය. ඔහු කළේ යන්තම් තරවටු කිරීම පමණි. ඒලී ඕනෑම දෙයකට ඉඩ දීම මගින් දෙවියන්වහන්සේට වඩා තම පුත්‍රයන්ට ගෞරව කළේය. ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ පුත්‍රයන් යෙහෝවඃවහන්සේගේ පවිත්‍ර නමස්කාරයට එරෙහිව කැරලිගැසූ අතර, ඒලීගේ ගෘහවාසීහු සියලුදෙනාම විපතට පත් වූහ.—1 සාමුවෙල් 2:12-17, 22-25, 29; 3:13, 14; 4:11-22.
11. ඒලීගේ වැරදි ආදර්ශයෙන් දෙමාපියන්ට ඉගෙනිය හැක්කේ කුමක්ද?
11 මෙම සිද්ධීන් සිදු වූ අවස්ථාව වන විට, ඒලීගේ දරුවන් වැඩිහිටියන්ව සිටි බව සත්‍යයක් නමුත්, මෙම ඉතිහාසය, හික්මවීම වැළැක්වීමේ අනතුර අවධාරණය කරයි. (හිතෝපදේශ 29:21 සසඳන්න.) ඇතැම් දෙමාපියන් පැහැදිලි, අඛණ්ඩ හා සාධාරණ සීමා පිහිටුවීමට හා පැනවීමට අසමත් වෙමින් ප්‍රේමය සමඟ ඉඩ දීම පටලවා ගත හැක. දේවප්‍රතිපත්ති උල්ලංගනය කළ විට පවා, ඔවුහු ප්‍රේමනීය හික්මවීම දීම අතපසු කරති. එවැනි ඉඩ දීමක් නිසා, ඔවුන්ගේ දරුවන් දෙමාපිය හෝ වෙනත් ඕනෑම ආකාරයක අධිකාරිත්වයකට අවධානය නොදී සිටිය හැක.—දේශනාකාරයා 8:11 සසඳන්න.
12. අධිකාරිත්වය පැවැත්වීමේදී රෙහොබොවම් කළ වරද කුමක්ද?
12 රෙහොබොවම් ආදර්ශ වශයෙන් දක්වන්නේ, අධිකාරිත්වය මෙහෙයවීම සම්බන්ධයෙන් අනික් අන්තයට යෑමය. ඔහු එක්සත් ඉශ්රායෙල් රාජධානියේ අන්තිම රජ වූ නමුත්, යහපත් රජ කෙනෙක් නොවීය. රෙහොබොවම්ට උරුම වී තිබුණේ, සිය පිය වූ සාලමොන් විසින් ජනතාව මත ඇති කර තිබූ පීඩා හේතුවෙන් කලකිරුණාවූ ජනතාවක් සිටි දේශයකි. රෙහොබොවම් වටහාගැනීමක් ඇති බව පෙන්වූයේද? නැත. පැටවී තිබූ අධික පීඩා බර ඉවත් කරන්නැයි නියෝජිත පිරිසක් පැවසූ විට, ඔහුගේ වැඩිමහල්ලන්ගෙන් ලද මේරූ උපදෙස් පිළිපැදීමට ඔහු අසමත් වූ අතර, ජනතාවගේ වියගහ තව තවත් බර කිරීමට අණ කළේය. ඔහුගේ අහංකාරකම උතුරු ගෝත්‍ර දහයේ කෝපය ඇවිස්සූ අතර, රාජ්‍යය දෙකඩ කරවීය.—1 රාජාවලිය 12:1-21; 2 ලේකම් 10:19.
13. දෙමාපියන්ට රෙහොබොවම් කළ වරදින් වැළකිය හැක්කේ කෙසේද?
13 රෙහොබොවම්ගේ බයිබල් වාර්තාවෙන් වැදගත් පාඩම් ඉගෙනීමට දෙමාපියන්ට හැක. ඔවුන් යාච්ඤාව තුළින් ‘යෙහෝවඃවහන්සේව සෙවීමටත්,’ බයිබල් ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයකින් තම දරුවන් ඇති දැඩි කිරීමේ ක්‍රම පරීක්ෂා කිරීමටත් අවශ්‍යය. (ගීතාවලිය 105:4) “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය,” යයි දේශනාකාරයා 7:7 පවසයි. හොඳින් කල්පනා කර පනවන සීමාවන් ඔවුන්ව අනතුරෙන් ආරක්ෂා කරන අතර, වැඩීමට ඉඩ සලසයි. එහෙත් දැඩි තහංචි දැමූ, ආත්ම-ශක්තිය හා ආත්ම-විශ්වාසය යම් සාධාරණ ප්‍රමාණයකට වර්ධනය වීම වළක්වන වාතාවරණයක, දරුවන් ජීවත් නොවිය යුතුය. සාධාරණ නිදහසක් සහ පැහැදිලිව විග්රහ කරන ලද ස්ථිරසාර සීමා අතර, සමබරතාවක් තබාගැනීමට දෙමාපියන් පරිශ්‍රමයක් දරන විට, නහඹරයන් වැඩිදෙනෙකු කැරලිගැසීමට නොපෙලඹෙනු ඇත.
මූලික අවශ්‍යතා සපුරාලීමෙන් කැරලිගැසීම වළකාගත හැක
14, 15. දෙමාපියන් තම දරුවාගේ වර්ධනය සම්බන්ධයෙන් සැලකිය යුතු වන්නේ කෙසේද?
14 දෙමාපියන් තම බාලයා ළදරුවියෙන් වැඩිහිටිවියට ශාරීරිකව වැඩෙනවා දකින විට ප්‍රීතිවෙනවා වුවත්, තම නවයොවුන් දරුවා තමා කෙරෙහි රඳාපැවතීමේ සිට යෝග්‍ය ආත්ම-ශක්තිය ලැබීමට පටන්ගන්නා විට, ඔවුන් කැළඹීමට පත් විය හැක. මෙම වෙනස්වීම් සිදු වන සමයේදී, ඔබේ නහඹරයා ඉඳ හිට මුරණ්ඩු වේ නම් හෝ සහයෝගය නොදක්වනවා නම්, පුදුමයට පත් නොවන්න. ක්‍රිස්තියානි දෙමාපියන්ගේ ඉලක්කය විය යුත්තේ මේරූ, ස්ථාවර මෙන්ම වගකීමකින් යුතු ක්‍රිස්තියානියෙකු ඇති දැඩි කිරීම බව මතක තබාගන්න.—සසඳන්න 1 කොරින්ති 13:11; එපීස 4:13, 14.
15 කෙතරම් අසීරු යමක් සේ පෙනුණත් තම තරුණයන් වැඩි නිදහසක් ඉල්ලා සිටින විට, දෙමාපියන් නිෂේධාත්මක ලෙස ප්‍රතිචාරය දැක්වීමේ පුරුද්ද අත්හළ යුතුය. දරුවෙකු යම් හිතකර ආකාරයකින් තනි පුද්ගලයෙකු වශයෙන් වැඩීම අවශ්‍යය. ඇත්තෙන්ම, යම් සාපේක්ෂිත බාල වයසකදී, ඇතැම් නහඹරයන් තුළ සම්පූර්ණයෙන් මේරූ ආකල්පයක් ඇතිවීමට පටන්ගනියි. උදාහරණයක් වශයෙන්, බයිබලය බාල යොෂියා ගැන මෙසේ පවසයි: “ඔහු බාලව [වයස 15ක් පමණව] සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්[ගත්තේය].” මෙම අද්විතීය නහඹරයා පැහැදිලිවම වගකීම් සහිත පුද්ගලයෙක් විය.—2 ලේකම් 34:1-3.
16. දරුවන් වැඩි වගකීම් ලබන විට, ඔවුන් මුහුණ දිය යුත්තේ කුමකටද?
16 කෙසේවුවද, නිදහස ගණන් දිය යුතු බවක්ද ඇති කරයි. එමනිසා, වැඩිහිටියෙකු වෙමින් සිටින ඔබේ දරුවාට ඔහුගේ තීරණ හා ක්‍රියාවලින් සමහරක ප්‍රතිඵල අද්දැකීමට ඉඩහරින්න. “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය,” යන ප්‍රතිපත්තිය නහඹරයන්ට මෙන්ම වැඩිහිටියන්ටද අදාළ වේ. (ගලාති 6:7) දරුවන්ට සදහටම රැකවරණයක් දීමට නොහැක. එහෙත්, මුළුමනින්ම අනුමත කළ නොහැකි යම් දෙයක් කිරීමට ඔබේ දරුවාට වුවමනා නම් කුමක්ද? වගකීම් සහිත දෙමාපියෙකු වශයෙන් “එපා,” යයි පැවසීමට ඔබට සිදු වේ. තවද, ඔබ හේතු පැහැදිලි කළ හැකි අතරතුර, ඔබේ එපාය යන්න, හා ඒකට කමක් නෑ යන්නට වෙනස් නොවිය යුතුය. (මතෙව් 5:37 සසඳන්න.) කෙසේනමුත්, “මෘදු උත්තරයකින් කෝපය පහවෙ[න]” බැවින්, සන්සුන්, සාධාරණ ආකාරයකින් “එපාය” යන්න පැවසීමට වෑයම් කරන්න.—හිතෝපදේශ 15:1.
17. දෙමාපියෙකු සපුරාලිය යුතු නහඹරයෙකුගේ ඇතැම් අවශ්‍යතා මොනවාද?
17 යෞවනයන්ට පනවන සීමා හා නීතිවලට ඔවුන් සැමවිටම පහසුවෙන් එකඟ නොවුවත් ස්ථිරසාර හික්මවීමෙන් හැඟෙන සුරක්ෂිතභාවය ඔවුන්ට අවශ්‍යයි. ඒ ඒ අවස්ථාවට අනුව දෙමාපියෙකුට හැඟෙන ආකාරය මත නිතර නීති වෙනස් වේ නම් එය කලකිරවන්නකි. තවදුරටත්, ඉදිරිපත් නොවීම, ලජ්ජාශීලීභාවය හෝ ආත්ම විශ්වාසයේ ඌනතාවක් ඇති වන විට, නහඹරයන්ට අවශ්‍ය පරිදි දිරිගැන්වීම ලැබේ නම්, ඔවුන් වඩාත් ස්ථිරත්වයකින් වැඩීමට ඇති ඉඩ කඩ වැඩිය. නහඹරයන් උපයාගෙන තිබෙන විශ්වාසය ඔවුන්ට ලැබෙන විටද ඔවුහු අගය කරති.—සසඳන්න යෙසායා 35:3, 4; ලූක් 16:10; 19:17.
18. නහඹරයන් පිළිබඳව දිරිගන්වනසුලු ඇතැම් සත්‍යයන් මොනවාද?
18 ගෘහවාසීන් තුළ සාමය, ස්ථාවරත්වය හා ප්‍රේමය පවතින විට, දරුවන් සාමාන්‍යයෙන්ම සමෘද්ධිමත් වන බව දැනගැනීමෙන් දෙමාපියන්ට සැනසීමක් ලබාගත හැක. (එපීස 4:31, 32; යාකොබ් 3:17, 18) මත්පැන්වලට ඇබ්බැහි වූ, සාහසික හෝ වෙනත් යම් හානිකර බලපෑම් තිබූ පවුල්වලින් පැමිණියත්, නුසුදුසු ගෘහ පරිසරයක් තුළ ඇති දැඩි වූ බොහෝ බාලයන් පවා ඇත්තෙන්ම, යහපත් වැඩිහිටියන් බවට පත්ව ඇත. එබැවින්, ඔබේ නහඹරයන්ට සුරක්ෂිතභාවයක් හැඟෙන මෙන්ම ඔවුන්ට ප්‍රේමය, ස්නේහය හා අවධානය ලැබෙන බවට නිසැක විය හැකි ගෘහයක් ඔබ සපයන්නෙහි නම්—එම උපකාරය සපයනු ලබන්නේ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිවලට එකඟව සාධාරණ සීමා හා හික්මවීම ඇතුව වුවත්—ඔවුන් ඔබට ආඩම්බරයක් විය හැකි වැඩිහිටියන් බවට වැඩීමට ඇති ඉඩ කඩ වැඩිය.—හිතෝපදේශ 27:11 සසඳන්න.
දරුවන් කරදරේ වැටෙන විට
19. දෙමාපියන් විසින් දරුවෙකු යා යුතු මාර්ගයෙහි ඔහුව පුහුණු කළ යුතු වන අතර, දරුවාට ඇත්තේ කුමන වගකීමක්ද?
19 දෙමාපියන්ගේ වගකීම හොඳින් හැසිරවීම ස්ථිරයෙන්ම වෙනසක් ඇති කරයි. හිතෝපදේශ 22:6 මෙසේ පවසයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරපන්න. එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” එහෙත්, හොඳ දෙමාපියන් සිටියත් බරපතළ ගැටලු තිබෙන දරුවන් ගැන කුමක් කිව හැකිද? මෙය සිදු විය හැකිද? එසේය. හිතෝපදේශයෙහි වචන තේරුම්ගත යුත්තේ දෙමාපියන්ට ‘ඇහුම්කන් දීමට’ හා කීකරුවීමට දරුවාගේ වගකීම අවධාරණය කරන වෙනත් පද සලකා බලමිනි. (හිතෝපදේශ 1:8) පවුලේ එකඟතාවක් තිබීමට නම්, දෙමාපියා හා දරුවා යන දෙදෙනාම ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමේදී සහය විය යුතුය. දෙමාපියන් හා දරුවන් එකට වැඩ නොකරනවා නම්, කරදර තිබෙනු ඇත.
20. දරුවන් නොසැලකිලිමත් වීම හේතුවෙන් වැරදි කරන විට, දෙමාපියන්ට නැණවත්ව තත්වය වෙත එළඹිය හැක්කේ කුමන අයුරින්ද?
20 නහඹරයෙකු වැරදි කර, කරදරේ වැටෙන විට දෙමාපියන් ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? එවිට, විශේෂයෙන්ම බාලයාට උපකාරය අවශ්‍යය. තමන් කටයුතු කරන්නේ අද්දැකීම් නොලත් යෞවනයෙකු සමඟ බව දෙමාපියන්ට මතක නම්, ඔවුන් පහසුවෙන්ම නුසුදුසු ලෙස ප්‍රතික්‍රියා කිරීමේ ප්රවණතාවෙන් වළකිනු ඇත. පාවුල් සභාවේ මේරූ අයට මෙසේ අවවාද කළේය: “සහෝදරයෙනි, තම අවබෝධයට එය ලක්වීමට පෙර, මනුෂ්‍යයෙක් යම් වැරදි පියවරක් ගත් විටදී පවා, ආත්මික සුදුසුකම් ඇත්තාවූ ඔබ, පෞද්ගලිකව පරීක්ෂාවට නොපැමිණෙන පිණිස ඔබ ගැන අවධානයෙන් සිටින අතරතුර, එවන් මනුෂ්‍යයෙකු මෘදුකමේ ස්වභාවයකින් යළි සකස් කිරීමට වෑයම් කරන්න.” (ගලාති 6:1, NW ) නොසැලකිලිමත් වීමේ හේතුවෙන් වරදක් කරන යෞවනයෙකු සමඟ කටයුතු කරන විට, දෙමාපියන්ට එම ක්‍රියාමාර්ගයම අනුගමනය කළ හැක. ඔහුගේ හැසිරීම වැරදි මන්ද, යළිත් වරද කිරීමෙන් වැළකිය හැක්කේ කෙසේද කියා හොඳින් පැහැදිලි කරන අතරතුර, නරක, එම යෞවනයා නොව, නමුත් වැරදි හැසිරීම බව දෙමාපියන් පැහැදිලි කර දිය යුතුය.—යූද් 22, 23 සසඳන්න.
21. තම දරුවන් බරපතළ පාපයක් කරනවා නම්, ක්‍රිස්තියානි සභාවේ ආදර්ශය අනුගමනය කරමින් දෙමාපියන් ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
21 යෞවනයාගේ නොමනා හැසිරීම ඉතා දරුණු එකක් නම්, කුමක් කිව හැකිද? එසේනම් දරුවාට විශේෂ උපකාරය හා දක්ෂ මඟ පෙන්වීම අවශ්‍යය. සභා සාමාජිකයෙකු දරුණු පාපයක් කරන විට පසුතැවිලි වී, උපකාරය සඳහා වැඩිමහල්ලන් වෙත ළඟාවීමට ඔහුට දිරිගන්වා ඇත. (යාකොබ් 5:14-16) පසුතැවිලි වන විට, ඔහුගේ ආත්මිකත්වය යළි ගොඩනැංවීමට වැඩිමහල්ලෝ ඔහු සමඟ කටයුතු කරති. දෙමාපියන් වැඩිමහල්ලන් සමඟ කාරණය සාකච්ඡා කිරීමට අවශ්‍යව තිබුණා විය හැකි වුවත්, වැරදි කරන නහඹරයාට උපකාර කිරීම සඳහා පවුල තුළ දෙමාපියන්ට වගකීමක් පැවරේ. තම දරුවන්ගෙන් කෙනෙකු කළ යම් බරපතළ පාප, වැඩිමහල් මණ්ඩලයෙන් සැඟවීමට ඔවුන් ඇත්තෙන්ම වෑයම් නොකළ යුතුය.
22. තම දරුවා බරපතළ වරදක් කරනවා නම්, යෙහෝවඃවහන්සේව අනුකරණය කිරීම සඳහා දෙමාපියන් පවත්වාගැනීමට වෑයම් කරනු ඇත්තේ කුමන ආකල්පයද?
22 තමන්ගේම දරුවන් සම්බන්ධ වන බරපතළ ගැටලුවක් දරාගන්ට අමාරු දෙයකි. චිත්තවේගීව වියවුල්ව සිටින දෙමාපියන්ට හිතුවක්කාර වූ දරුවාට කෝපයෙන් තර්ජනය කිරීමට පවා පෙලඹීමක් ඇති විය හැක; නමුත් ඇතැම්විට ඔහු තවත් මුරණ්ඩු වීමට පුළුවන. මෙම යෞවනයාගේ අනාගතය රඳාපවතිනු ඇත්තේ, මෙම උවදුරු අවස්ථාවේදී සලකනු ලබන ආකාරය මත බව මතක තබාගන්න. තම ජනයා හරි දෙයින් ඈත් වූ විට—ඔවුන් පසුතැවිලි වෙනවා නම් පමණක්—යෙහෝවඃවහන්සේ සමාව දීමට සූදානම්ව සිටි බවත් මතක තබාගන්න. උන්වහන්සේගේ ප්‍රේමනීය වචනවලට සවන් දෙන්න: “ඉතින් වරෙල්ලා, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.” (යෙසායා 1:18) දෙමාපියන් සඳහා කෙතරම් කදිම ආදර්ශයක්ද!
23. තම දරුවෙකුගේ බරපතළ පාපයක් හමුවේ, දෙමාපියන් ක්‍රියා කළ යුත්තේ කෙසේද, තවද ඔවුන් වැළකිය යුත්තේ කුමකින්ද?
23 මෙබැවින්, හිතුවක්කාරයාට සිය ක්‍රියා මාර්ගය වෙනස් කරගැනීමට දිරිගැන්වීමට වෑයම් කරන්න. පලපුරුදු දෙමාපියන්ගෙන් හා සභා වැඩිමහල්ලන්ගෙන් නැණවත් උපදෙස් ලබාගන්න. (හිතෝපදේශ 11:14) ඔබේ දරුවාට ඔබ වෙත ඒමට අසීරු වන අන්දමින් වහා ක්‍රියා කිරීමට හා දේවල් පැවසීමට හෝ කිරීමට වෑයම් නොකරන්න. පාලනය කළ නොහැකි කේන්තිය හා තරහව වළක්වාගන්න. (කොලොස්සි 3:8) අත්හැර දැමීමට ඉක්මන් නොවන්න. (1 කොරින්ති 13:4, 7) නරක දේට ද්වේෂ කරන අතරම, ඔබේ දරුවා වෙත දැඩිව හා අප්‍රසන්නව ක්‍රියා නොකරන්න. දෙමාපියන් කදිම ආදර්ශයක් තැබීමට හා දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට පරිශ්‍රමයක් දැරිය යුතු වීම වඩාත් වැදගත්ය.
හිතා මතා කැරලිගසන්නෙකු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
24. ක්‍රිස්තියානි පවුලක ඇතැම්විට කුමන දුක්මුසු තත්වයක් ඇති වේද, තවද දෙමාපියෙකු ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
24 සමහර අවස්ථාවලදී, යෞවනයෙකු කැරලිගැසීමට හා සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි සාරධර්ම ප්‍රතික්ෂේප කිරීමට තිර අධිෂ්ඨානයක් ගෙන ඇති බව පැහැදිලි වේ. එවිට ඉතිරි අයගේ පවුල් ජීවිතය පවත්වාගැනීම හෝ යළි ගොඩනැංවීම වෙත අවධානය යොමු කළ යුතුය. අනික් දරුවන්ව නොසලකා හරිමින්, ඔබේ මුළු ශක්තියම කැරලිගසන්නා වෙත යොමු නොකිරීමට පරෙස්සම් වන්න. පවුලේ ඉතිරි අයගෙන් ගැටලුව සැඟවීමට වෑයම් කරනවා වෙනුවට, විශ්වාසය ගොඩනැඟෙන ආකාරයකින් යම් දුරකට කාරණය ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.—හිතෝපදේශ 20:18 සසඳන්න.
25. (අ) දරුවෙකු හිතා මතා කැරලිගසන්නෙකු බවට පත් වේ නම්, ක්‍රිස්තියානි සභාවේ ආදර්ශය අනුගමනය කරමින් දෙමාපියන් ක්‍රියා කළ යුතු වන්නේ කෙසේද? (ආ) තම දරුවෙකු කැරලිගසනවා නම්, දෙමාපියන් කුමක් මතකයෙහි තබාගත යුතුද?
25 සභාවෙහි මෙල්ල කළ නොහැකි කැරලිගසන්නෙකු බවට පත් වන කෙනෙකු ගැන ප්‍රේරිත යොහන් පැවසීය: “ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න.” (2 යොහන් 10, නව අනුවාදය.) වයස් පූර්ණත්වයට පැමිණ සිටින දරුවා මුළුමනින්ම කැරලිකාරයෙකු බවට පත්වුවහොත් තමන්ගේම දරුවා කෙරෙහිද එවැනිම ස්ථාවරයක් ගත යුතුයයි දෙමාපියන්ට හැඟිය හැක. (ද්විතීය කථාව 21:18-21 සසඳන්න.) එවන් ක්‍රියාවක් අමාරු හා ඉමහත් වේදනාවක් ඇති කළ හැකි වුවත්, පවුලේ ඉතිරි අය රැකගනු වස්, ඇතැම්විට එසේ කිරීම අත්‍යවශ්‍යය. ඔබේ ගෘහවාසීන්ට ඔබේ ආරක්ෂාව සහ නිරන්තර අධීක්ෂණය අවශ්‍යය. මෙබැවින්, පැහැදිලිව තේරුම් කරන ලද, නමුත් සාධාරණ, හැසිරීම පිළිබඳ සීමා පවත්වාගන්න. අනික් දරුවන් සමඟ අදහස් හුවමාරු කරන්න. පාසැලේදී හා සභාවේදී ඔවුන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් උනන්දු වන්න. තවද, ඔබ කැරලිකාර දරුවාගේ ක්‍රියා අනුමත නොකළත්, ඔහුව පිළිකුල් නොකරන බව දැනගැනීමට ඔවුන්ට සලස්වන්න. දරුවා හෙළාදකිනවා වෙනුවට නරක ක්‍රියාව හෙළාදකින්න. යාකොබ්ගේ පුත්‍රයන් දෙදෙනෙකුගේ නපුරු ක්‍රියාව පවුලට හිරිහැර ගෙනා නිසා, යාකොබ් පුත්‍රයන්ට නොව, ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරි කෝපයට ශාප කළේය.—උත්පත්ති 34:1-31; 49:5-7.
26. තම දරුවෙකු කැරලිගසනවා නම්, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන දෙමාපියන්ට සැනසීමක් ලබාගත හැක්කේ කුමකින්ද?
26 ඔබේ පවුලේ සිදු වී තිබෙන දෙයට ඔබ වගකිව යුතුයයි ඔබට හැඟිය හැක. එහෙත් ඔබට හැකි පමණ යෙහෝවඃවහන්සේගේ උපදෙස් පිළිපදිමින් යාච්ඤාපූර්වකව ඔබට හැකි සියල්ල කර ඇත්නම්, අසාධාරණ ලෙස ඔබ ගැනම විවේචනය කිරීමට අවශ්‍ය නැත. කිසිවෙකුට පරිපූර්ණ දෙමාපියෙකු වීමට නොහැකි මුත් ඔබ යුතුකම් නොපිරිහෙළා ඉටු කළ දෙමාපියෙකු වීමට වෑයම් කළාය යන කාරණයෙන් සැනසීමක් ලබන්න. (ක්‍රියා 20:26 සසඳන්න.) මුරණ්ඩු කැරලිගසන්නෙකු පවුලක සිටීම හද කම්පා කරවන මුත් ඔබට එවැන්නක් සිදු වුවහොත්, දෙවියන්වහන්සේ තේරුම්ගන්නා බවටත්, කැපවූ ස්වකීය සේවකයන්ව කිසිදා අත් නාරින බවටත් නිසැක වන්න. (ගීතාවලිය 27:10) එබැවින් අනිත් දරුවන් සඳහා ඔබේ ගෘහය ආරක්ෂිත, ආත්මික ක්ෂේම භූමියක් ලෙස තබාගැනීමට අධිෂ්ඨාන කරගන්න.
27. අකීකරු පුත්‍රයාගේ උපමාව මතකයේ තබාගනිමින්, කැරලිකාර දරුවෙකුගේ දෙමාපියන්ට නිරන්තරයෙන්ම බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
27 එපමණක් නොව, ඔබ කිසිවිටකත් බලාපොරොත්තුව අත් නොහළ යුතුය. සුදුසු පුහුණුව දීම සඳහා ඔබ කලින් දැරූ වෑයම් අවසානයේදී අයාලේ ගිය දරුවාගේ හෘදයට බලපා, ඔහුව ප්‍රකෘති තත්වයට පත් කළ හැක. (දේශනාකාරයා 11:6) ක්‍රිස්තියානි පවුල් කීපයක්ම ඔබේ අද්දැකීමම විඳ ඇති අතර, යේසුස්වහන්සේගේ අකීකරු පුත්‍රයාගේ උපමාවේ පියා දුටුවාක් මෙන්ම, තමන්ගේ හිතුවක්කාර දරුවන් යළිත් හැරී පැමිණෙනවා සමහරුන් දැක ඇත. (ලූක් 15:11-32) ඔබටත් එයම සිදු විය හැක.