හතරවන පරිච්ඡේදය
අතිවිශාල රූපයක නැඟීම සහ වැටීම
1. නෙබුකද්නෙශර් දානියෙල්ව සහ අනිත් අයව වහල්භාවයට ගෙන ගොස් අවුරුදු දහයකට පමණ පසු පැනනැඟුණු තත්වයක් ගැන අප උනන්දු විය යුත්තේ මන්ද?
නෙබුකද්නෙශර් දානියෙල්වද යුදා ‘දේශයේ බලවන්තයන්වද’ බබිලෝනියේ වහල්භාවයට ගෙන ගොස් දස වසරක් ගත වී තිබුණා. (2 රාජාවලිය 24:15) ජීවිතයට තර්ජන කරන තත්වයන් පැනනැඟුණු මොහොතේදී, යෞවන දානියෙල් සේවය කරමින් සිටියේ රජ වාසලෙයි. අපට මෙය වැදගත් වන්නේ ඇයි? එයට හේතුව, මෙම කාරණයට යෙහෝවා දෙවි මැදිහත් වූ ආකාරයෙන්, දානියෙල්ගෙත් අනිත් අයගෙත් ජීවිත ගැළවුණා පමණක් නොව, බයිබල් අනාවැකියේ ලෝක බලවතුන්ගේ ඉදිරි ගමන අපේ කාලය තෙක් ඇදෙන ආකාරය ගැනත් අපට යම් දෘෂ්ටියක් ලබා දෙන නිසායි.
රජෙක් දුෂ්කර ගැටලුවක් මැද
2. නෙබුකද්නෙශර් තම මුල්ම අනාවැකිමය සිහිනය දුටුවේ කවදාද?
2 “නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය” කියා අනාගතවක්තෘ දානියෙල් ලිව්වා. (දානියෙල් 2:1) සිහිනය දැක්කේ, බබිලෝනීය අධිරාජ්‍යයේ රජ වූ නෙබුකද්නෙශර්. යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කිරීමට යෙහෝවා දෙවි ඔහුට ඉඩහළ පො.යු.පෙ. 607 සිට, ඔහු ලෝක බලවතා බවට පත් වී තිබුණා. ලෝක පාලකයා ලෙස ඔහුගේ පාලනයේ දෙවන අවුරුද්දේදී (පො.යු.පෙ. 606/605), දෙවි ඔහුට භය උපදවන සිහිනයක් දැකීමට සැලැස්සුවා.
3. රජුගේ සිහිනය තෝරා දීමට අසමත් වුණේ කවුරුන්ද? එමෙන්ම, නෙබුකද්නෙශර්ගේ ප්‍රතිචාරය කුමක් වීද?
3 මේ සිහිනය නෙබුකද්නෙශර්ව කොපමණ චිත්ත පීඩාවකට පත් කළාද කිවහොත්, ඔහුට නිදාගැනීමට පවා බැරි වුණා. එහි අර්ථය දැනගැනීමට දැඩි ආශාවකින් පෙළීම ස්වාභාවිකයි. එහෙත්, මේ බලවත් රජුට සිහිනය අමතක වී තිබුණා! ඒ නිසා, ඔහු බබිලෝනියේ සිටි විජ්ජාකරුවන්ව, මෝහනයකරන්නන්ව සහ මායාකරුවන්ව එක්රැස් කර, සිහිනය කියා එය තේරුම් කළ යුතුයයි අණ කළා. භාර දුන් වැඩය ඔවුන්ගේ හැකියාවෙන් කොහෙත්ම කිරීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ අසමත් වීම, නෙබුකද්නෙශර්ව මහත් සේ කුපිත කළ අතර, ඔහු “බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට” අණ කළා. මේ සඳහා පත් කර සිටි වදකයා හා මුහුණට මුහුණලා කතා කිරීමට, මේ ආඥාව අනාගතවක්තෘ දානියෙල්ට අවස්ථාව ලබා දෙනවා. ඒ ඇයි? ඒ, ඔහුවත්, ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා වන හනනියා, මීෂායෙල් සහ අසරියා යන අයවත්, බබිලෝනියේ ප්‍රඥාවන්තයන් අතරෙහිලා ගණන්ගැනුණු නිසායි.—දානියෙල් 2:2-14.
දානියෙල් පිහිටට පැමිණේ
4. (අ) නෙබුකද්නෙශර්ගේ සිහිනයේ අඩංගු දේ සහ අර්ථය දානියෙල් දැනගත්තේ කෙසේද? (ආ) කෘතඥපූර්වක වෙමින් දානියෙල් යෙහෝවා දෙවිට කීවේ කුමක්ද?
4 නෙබුකද්නෙශර්ගේ දරදඬු ආඥාව සඳහා හේතුව දැනගත් විට, “දානියෙල් ඇතුළට ගොස්, අර්ථය රජුට පෙන්වාදෙන පිණිස තමාට කල්දෙන හැටියට රජුගෙන් ඉල්ලුවේය.” ඉල්ලීම පිළිගනු ලැබුවා. දානියෙල් නැවත ඔහුගේ නිවසට ගිය අතර, ඔහුත් ඔහුගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනාත් යාච්ඤා කරමින්, “ඒ රහස ගැන ස්වර්ගයේ [දෙවිගෙන්] අනුකම්පාව” ඉල්ලුවා. එම රාත්‍රියේදීම, දර්ශනයකින්, සිහිනයේ රහස යෙහෝවා දානියෙල්ට හෙළි කළා. ‘දෙවිගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා වේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති ඔහුටය. කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස් කරන්නෙත් රජවරුන් පහ කරන්නෙත් රජවරුන් පත් කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් ඔහුය. ගැඹුරු වූ රහස් වූ කාරණා එළිදරව් කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දෙන්නෙත් ඔහුය. ආලෝකයද ඔහු සමඟ වාසය කරන්නේය’ කියා දානියෙල් කෘතඥපූර්වකව කිව්වා. එවන් තීක්ෂ්ණ බුද්ධියක් ලබා දීම ගැන දානියෙල් යෙහෝවාට ප්‍රශංසා කළා.—දානියෙල් 2:15-23.
5. (අ) රජු ඉදිරියේදී, දානියෙල් යෙහෝවාට ගෞරවය දුන්නේ කෙසේද? (ආ) දානියෙල්ගේ පැහැදිලි කිරීම අදදින අපට ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
5 පසුවදා, දානියෙල් බබිලෝනියේ ප්‍රඥාවන්තයන්ව විනාශ කිරීමට පත් කර සිටි රජුගේ ආරක්ෂක ඇමති වූ අරියොක්ව මුණගැසුණා. සිහිනයේ අර්ථය කියා දීමට දානියෙල්ට හැකි බව දැනගත් විට, අරියොක් ඉක්මන් කර ඔහුව රජු වෙතට කැඳවාගෙන ගියා. දානියෙල් තමාට කිසිම ප්‍රශංසාවක් නොගෙන “රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි [සිටින්නේය. ඔහු] මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුද්නෙශර් රජුට දන්වා තිබේ” කියා නෙබුකද්නෙශර්ට ප්‍රකාශ කළා. දානියෙල් සූදානම්ව සිටියේ, බබිලෝනීය අධිරාජ්‍යයේ අනාගතය ගැන පමණක් නොව, නෙබුකද්නෙශර්ගේ දවසේ සිට අපගේ කාලයටත් ඉන් ඔබ්බටත් සිදු වන සිදුවීම් ගැනත් විස්තරයක් හෙළි කිරීමටයි.—දානියෙල් 2:24-30.
සිහිනය—මතක් වේ
6, 7. දානියෙල් රජුට මතක් කර දුන් සිහිනය කුමක්ද?
6 දානියෙල් එය මෙසේ පහදා දෙද්දී, නෙබුකද්නෙශර් ඉතා ඕනෑකමින් ඇහුම්කන් දුන්නා. “රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය. ඒ රූපයේ හිස අනර්ඝ රත්රන්ව, ඒකේ ළය සහ අත් රිදීව, ඒකේ බඩ සහ කළවා පිත්තලව [තඹව, NW], ඒකේ කෙණ්ඩා යකඩව, ඒකේ පාදවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණේය. අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලා සිටියෙහිය. එකල යකඩද මැටිද පිත්තලද [තඹද, NW] රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය.”—දානියෙල් 2:31-35.
7 දානියෙල් සිහිනය අනාවරණය කිරීම අසා නෙබුකද්නෙශර් මොනතරම් සතුටු වන්න ඇද්ද! මොහොතක් ඉන්න! බබිලෝනියේ ප්‍රඥාවන්තයන් බේරෙන්නේ දානියෙල් සිහිනය තෝරා දුන්නොත් පමණයි. තමන් සහ තම හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා වෙනුවෙන් කතා කරමින්, දානියෙල් මෙසේ ප්‍රකාශ කළා: “ස්වප්නය ඒකය; එහි අර්ථය රජු ඉදිරියේ කියන්නෙමු.”—දානියෙල් 2:36.
සත්කීර්තිමත් රාජ්‍යයක්
8. (අ) දානියෙල් අර්ථ දැක්වූයේ, රන් හිස කවරෙකු හෝ කුමක් වන බවද? (ආ) රන් හිසෙහි ආරම්භය සිදු වූයේ කවදාද?
8 “රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ [දෙවි] රජකමද බලයද පරාක්‍රමයද ඓශ්වර්යයද ඔබට දී තිබේ. මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා [කළේය.] රත්රන් හිස නම් ඔබය.” (දානියෙල් 2:37-38) පොදු යුගයට පෙර 607දී, යෙරුසලම විනාශ කිරීමට යෙහෝවා නෙබුකද්නෙශර්ව පාවිච්චි කළාට පසුව ඔහුටම මේ වචන අදාළ වුණා. මෙය මෙසේ වූයේ, යෙරුසලම පාලනය කළ රජවරු යෙහෝවා ආලේප කළ රජු වූ දාවිත්ගේ පෙළපතින් පැමිණි නිසායි. දෙවිගේ සංකේතාත්මක රාජ්‍යය, එනම් යූදාහි අගනුවර වූ යෙරුසලම, පොළොව මත යෙහෝවාගේ පරමාධිපත්‍යය නියෝජනය කළා. පොදු යුගයට පෙර 607දී නුවර විනාශ කිරීමත් සමඟම, දෙවිගේ මේ සංකේතාත්මක රාජ්‍යය අවසන් වුණා. (1 ලේකම් 29:23; 2 ලේකම් 36:17-21) රූපයේ ලෝහමය කොටස්වලින් නියෝජනය කළාවූ, පසුව පැමිණි ලෝක බලවතුන්ට දෙවිගේ සංකේතාත්මක රාජ්‍යයේ බලපෑමෙන් තොරව, ලෝක ආධිපත්‍යය ක්‍රියාත්මක කරවීමට හැකි වී තිබෙනවා. ඉපැරණි කාලයේ, රත්රන් අනර්ඝතම ලෝහය වූ අතර, රන් හිස හැටියට යෙරුසලම විනාශ කිරීමේ ගෞරවය නෙබුකද්නෙශර් හිමි කරගෙන තිබුණා.—63වන පිටුවේ “රණශූර රජෙක් අධිරාජ්‍යයක් ගොඩනඟයි” යන කොටස බලන්න.
9. රන් හිසෙන් නියෝජනය කළේ කුමක්ද?
9 නෙබුකද්නෙශර් අවුරුදු 43ක් රජකම් කළ අතර, බබිලෝනීය අධිරාජ්‍යය පාලනය කළ රාජ වංශයක් බිහි කළා. ඔහුගේ බෑනා වූ නැබොනිඩස්ද ඔහුගේ වැඩිමහල් පුත්‍ර එවිල්-මෙරොදක්ද එයට ඇතුළත් වුණා. එම රාජ වංශය, පො.යු.පෙ. 539, නැබොනිඩස්ගේ පුත්‍ර බේල්ෂශර්ගේ මරණය සිදු වන තෙක් තවත් අවුරුදු 43ක් පැවතුණා. (2 රාජාවලිය 25:27; දානියෙල් 5:30) මෙසේ, සිහිනයේ දුටු රූපයේ රන් හිස නියෝජනය කරන්නේ, හුදෙක් නෙබුකද්නෙශර්ව පමණක් නොව, මුළු බබිලෝනීය රාජ වංශයයි.
10. (අ) බබිලෝනීය ලෝක බලය සදහටම පවතින්නේ නැති බව නෙබුකද්නෙශර්ගේ සිහිනයෙන් අඟවන්නේ කෙසේද? (ආ) බබිලෝනිය පරාජය කළ පුද්ගලයා ගැන ප්‍රොපේත යෙසායා පුරෝකථනය කරන්නේ කුමක්ද? (ඇ) මේද-පර්සියාව බබිලෝනියට වඩා පහත් වූයේ කිනම් අර්ථයෙන්ද?
10 දානියෙල් නෙබුකද්නෙශර්ට කීවේ, ‘ඔබට පසුව ඔබට වඩා පහත් වූ වෙන රාජ්‍යයක් නැඟී එන්නාහ’ කියායි. (දානියෙල් 2:39) රූපයේ රිදී ළය සහ අත්වලින් සංකේතවත් කළ රාජ්‍යයක් නෙබුකද්නෙශර්ගේ රාජ වංශයේ අනුප්‍රාප්තිකයා බවට පත් වුණා. මේ රාජ්‍යයේ විජයග්‍රාහී රජු වූ කෝරෙෂ්ව නමින්ම සඳහන් කරමින් එම රාජ්‍යය ගැන අවුරුදු 200කට පෙර යෙසායා පුරෝකථනය කළා. (යෙසායා 13:1-17; 21:2-9; 44:24–45:7, 13) එය නම්, මේද-පර්සියානු අධිරාජ්‍යයයි. මේද-පර්සියාව, බබිලෝනීය අධිරාජ්‍යයට දෙවැනි නොවූ මහත් ශිෂ්ටාචාරයක් බිහි කළද, එය නියෝජනය කළේ රන්වලට වඩා අනර්ඝත්වයෙන් අඩු ලෝහයක් වූ රිදීවලින්. එය බබිලෝනීය ලෝක බලයට වඩා පහත් වූයේ, දෙවිගේ සංකේතාත්මක රාජ්‍යය වූ යූදා දේශය, එහි අගනුවර වූ යෙරුසලම සමඟ විනාශ කිරීමේ ගෞරවය ඊට නොතිබූ නිසායි.
11. නෙබුකද්නෙශර්ගේ රාජ වංශය අවසන් වූයේ කවදාද?
11 සිහිනය තෝරා දීමෙන් අවුරුදු 60ක් පමණ ගත වූවායින් පසු, දානියෙල් නෙබුකද්නෙශර්ගේ රාජ වංශයෙහි අවසානය දුටුවා. පොදු යුගයට පෙර 539 ඔක්තෝබර් 5/6වනදා, මේද-පර්සියානු හමුදාව, අපරාජිතයයි පෙනෙන්න තිබූ බබිලෝනිය අල්ලාගෙන, බේල්ෂශර් රජුව මරා දැමූ රාත්රියේදී දානියෙල් එහි සිටියා. බේල්ෂශර්ගේ මරණයත් සමඟම, සිහිනයේ දුටු රූපයේ රන් හිස එනම් බබිලෝනීය අධිරාජ්‍යය අවසන් වුණා.
රාජ්‍යයක් වහල් සෙනඟකට නිදහස දෙයි
12. පොදු යුගයට පෙර 537දී කෝරෙෂ් නිකුත් කළ ආඥාව, යුදෙව්වන්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද?
12 පොදු යුගයට පෙර 539දී, ප්‍රධාන ලෝක බලය ලෙස, බබිලෝනිය වෙනුවට මේද-පර්සියාව පත් වුණා. අත් කරගත් බබිලෝනීය නුවරේ මුල් පාලකයා හැටියට, හැටදෙහැවිරිදි මේදිය දාරියුස් පත් වුණා. (දානියෙල් 5:30, 31) ඔහු ටික කලකට, පර්සියාවේ කෝරෙෂ් සමඟ මේද-පර්සියානු අධිරාජ්‍යයේ හවුල් පාලනයක යෙදුණා. දාරියුස් මියගිය විට, කෝරෙෂ් පර්සියානු අධිරාජ්‍යයේ තනි පාලකයා බවට පත් වුණා. කෝරෙෂ්ගේ පාලනය බබිලෝනියේ සිටි වහලුන්ට මිදීම අදහස් කළා. පොදු යුගයට පෙර 537දී, බබිලෝනියේ සිටි යුදෙව් වහලුන්ට තම මව් බිම කරා නැවත යන්නත්, යෙරුසලම සහ යෙහෝවාගේ දේවමාළිගාව නැවත ගොඩනඟන්නත් අවසර දෙමින් කෝරෙෂ් ආඥාවක් නිකුත් කළා. කෙසේවෙතත්, දෙවිගේ සංකේතාත්මක රාජ්‍යය යූදාහි සහ යෙරුසලමෙහි යළි පිහිටෙව්වේ නැහැ.—2 ලේකම් 36:22, 23; එස්රා 1:1–2:2අ.
13. නෙබුකද්නෙශර් සිහිනයෙන් දුටු රූපයේ රිදී ළය සහ අත් මගින් සංකේතවත් කළේ කුමක්ද?
13 සිහිනයේ දුටු රූපයේ රිදී ළය සහ අත්, මහා කෝරෙෂ්ගෙන් පටන්ගෙන පර්සියානු රජ පෙළපත සංකේතවත් කළා. එම රාජ වංශය අවුරුදු 200කට වඩා වැඩි කලක් පැවතුණා. කෝරෙෂ් පො.යු.පෙ. 530දී යුධ ව්‍යාපාරයකදී මියයන්න ඇතැයි විශ්වාස කරනවා. ඔහුට පසුව පර්සියානු අධිරාජ්‍යයේ කිරුළ පළන් රජවරු 12දෙනෙක් පමණ සිටි අතර, අඩුම තරමින් ඔවුන්ගෙන් දෙදෙනෙක්වත් යෙහෝවාගේ තෝරාගත් සෙනඟ සමඟ හිතවත් ලෙස කටයුතු කරන්න ඇති. එක් අයෙක් වූයේ (පර්සියානු) Iවන දාරියුස්. අනික් තැනැත්තා වූයේ Iවන අර්තක්ෂස්තා.
14, 15. මහා දාරියුස් සහ Iවන අර්තක්ෂස්තා යුදෙව්වන්ට ලබා දුන්නේ කිනම් උපකාරයද?
14 මහා කෝරෙෂ්ට පසු පර්සියානු රජ පෙළපතේ තුන්වැන්නා වූයේ Iවන දාරියුස්ය. ඊට පෙර සිටි දෙදෙනා වූයේ, IIවන කැම්බිසස් සහ ඔහුගේ සහෝදරයා වූ බාඩිය (හෝ සමහරවිට ගෝමාටා නමින් මේජීය ව්‍යාජ හිමිකම් පාන්නෙක්) යන අයයි. පළවන දාරියුස් හෙවත් මහා දාරියුස් පො.යු.පෙ. 521දී සිංහාසනාරූඪ වෙද්දී, යෙරුසලමේ දේවමාළිගාව යළි ගොඩනැඟීමේ වැඩවලට තහංචි දමා තිබුණා. අක්මෙතාහි තිබූ පොත් ගබඩාවෙන් කෝරෙෂ්ගේ නියෝගය අඩංගු ලියවිල්ල සොයාගැනීමත් සමඟ, පො.යු.පෙ. 520දී තහංචිය ඉවත් කළා පමණක් නොව දේවමාළිගාව නැවත ගොඩනැඟීමට රාජකීය භාණ්ඩාගාරයෙන් අරමුදල්ද සැපයුවා.—එස්රා 6:1-12.
15 යුදෙව්වන්ව යළි පිහිටුවීමට සහය දැක්වූ මීළඟ පර්සියානු පාලකයා වූයේ, පො.යු.පෙ. 475දී අහෂ්වේරොෂ්ගේ (Iවන තක්ෂස්තා) අනුප්‍රාප්තිකයා බවට පත් වූ ඔහුගේ පුත්‍ර අර්තක්ෂස්තායි. අර්තක්ෂස්තාට ලොංගිමානස් ලෙස අමතර නාමයක්ද තිබූ අතර, ඒ ඔහුගේ දකුණත වමතට වඩා දිග වූ නිසායි. ඔහුගේ රජකම් කිරීමේ 20වන අවුරුද්දේදී, එනම් පො.යු.පෙ. 455දී, ඔහු තම යුදෙව් කුසලාන දරන්නාවූ නෙහෙමියාව යූදාහි ආණ්ඩුකාරයා වීමටත්, යෙරුසලමේ තාප්ප යළි ගොඩනැඟීමටත් පත් කළා. මේ ක්‍රියාව දානියෙල් නවවන පරිච්ඡේදයේ දක්වා ඇති ‘වර්ෂ සති සැත්තෑව’ සනිටුහන් කරන අතර, මෙසියස් හෙවත් ක්‍රිස්තුස් වූ නාසරෙත්හි යේසුස්ගේ පැමිණීම සහ මරණය සිදු වන දිනය එමගින් සනිටුහන් කළා.—දානියෙල් 9:24-27; නෙහෙමියා 1:1; 2:1-18.
16. මේද-පර්සියානු ලෝක බලය අවසන් වූයේ කවදාද? එමෙන්ම, කිනම් රජ සමයේදීද?
16 පළමුවන අර්තක්ෂස්තාට පසුව පර්සියානු අධිරාජ්‍යයේ කිරුළ හිමි වූ රජවරු හයදෙනාගෙන් අන්තිමයා වූයේ IIIවන දාරියුස්. පොදු යුගයට පෙර 331දී, පුරාණ නිනිවය අසල පිහිටි ගෝගමේලාහිදී, මහා ඇලෙක්සැන්ඩර් අතින් අන්ත පරාජයක් අද්දැකීමත් සමඟ ඔහුගේ පාලනය ක්ෂණික අවසානයක් අද්දැක්කා. මේ පරාජයත් සමඟම, නෙබුකද්නෙශර්ගේ සිහිනයේ දුටු රූපයේ රිදී කොටස සංකේතවත් කළ මේද-පර්සියානු ලෝක බලය අවසන් වුණා. පැමිණීමට සිටි බලවතා විවිධ ආකාරවලින් උසස් වුවත්, තවත් ආකාරවලින් පහත් වුණා. නෙබුකද්නෙශර්ගේ සිහිනය තේරුම් කිරීමේදී දානියෙල් විස්තර කළ දේවලට සවන් දීමෙන් මෙය පැහැදිලි වෙනවා.
පුළුල් නමුත් පහත් රාජ්‍යයක්
17-19. (අ) තඹවලින් සෑදුණු බඩ සහ කළවාවලින් නියෝජනය කළේ කිනම් ලෝක බලයද? එහි පාලන බලය කොතරම් ව්‍යාප්ත වීද? (ආ) තුන්වන ඇලෙක්සැන්ඩර් කවරෙකු වීද? (ඇ) ග්‍රීක්, ජාත්‍යන්තර භාෂාවක් බවට පත් වූයේ කෙසේද? එමෙන්ම, එය කුමක් සඳහා ඉතා සුදුසු වුණාද?
17 දැවැන්ත රූපයේ බඩ සහ කළවා “මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල [තඹ, NW] වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්” පිහිටුවනු ලබන බව දානියෙල් නෙබුකද්නෙශර්ට කිව්වා. (දානියෙල් 2:32, 39) මේ තුන්වන රාජ්‍යය පැමිණෙන්නේ, බබිලෝනියාවට සහ මේද-පර්සියාවට පසුවයි. යෙහෝවාගේ සෙනඟව මුදවාගැනීම වැනි පැවරුමක් ඔවුන්ට නොලැබුණු නිසා, තඹ රිදීවලට වඩා පහත් වන්නා සේම, මේ නව ලෝක බලයත් මේද-පර්සියාවට වඩා පහත් වෙනවා. කෙසේවෙතත්, මේ තඹ වැනි රාජ්‍යය, “මුළු පොළොව කෙරෙහි [ආණ්ඩු කරන්නේය]” කීමෙන්, එය බබිලෝනියාවට සහ මේද-පර්සියාවට වඩා පුළුල් වන බව අඟවනවා. මේ ලෝක බලය ගැන ඓතිහාසික සාක්ෂි කියාපාන්නේ කුමක්ද?
18 පොදු යුගයට පෙර 336දී, මැසිදෝනියාවේ සිහසුන උරුම කරගෙන වැඩි කල් යෑමට මත්තෙන්, 20 හැවිරිදි අභිලාෂකාමී IIIවන ඇලෙක්සැන්ඩර් විජයග්‍රාහි යුධ ව්‍යාපාරයක යෙදුණා. ඔහු රණ බිමේ ලැබූ ජයග්‍රහණ නිසා, ඔහුව මහා ඇලෙක්සැන්ඩර් කියා හැඳින්වීමට පටන්ගත්තා. ජය පිට ජය ලබමින් ඔහු පර්සියානු අධිරාජ්‍යයට අයත් ප්‍රදේශය තුළටද ඇතුල් වෙන්න පටන්ගත්තා. පොදු යුගයට පෙර 331, ගෝගමේලාහි පැවති යුද්ධයේදී, IIIවන දාරියුස්ව පරාජය කිරීමත් සමඟ පර්සියානු අධිරාජ්‍යය බිඳ වැටෙන්න පටන්ගත් අතර, ඇලෙක්සැන්ඩර් අලුත් ලෝක බලය ලෙස ග්‍රීසිය පිහිටෙව්වා.
19 ගෝගමේලාහි ජයග්රහණයෙන් පසු, පර්සියානු නගර වන බබිලෝනිය, සූසා, පර්සෙපොලිස් සහ අක්මෙතා අත් පත් කරගැනීමට ඇලෙක්සැන්ඩර් සමත් වුණා. පර්සියානු අධිරාජ්‍යයේ ඉතිරි කොටසත් ජයගෙන, ඔහු තම යටත් විජිතයන් බටහිර ඉන්දියාව දක්වා ව්‍යාප්ත කළා. යටත් කළ දේශවල ග්‍රීක් ජනපදයන් පිහිටුවනු ලැබුවා. මෙසේ, ග්‍රීක භාෂාවත්, සංස්කෘතියත් එම දේශවල ව්‍යාප්ත වුණා. ඇත්තවශයෙන්ම, ග්‍රීක අධිරාජ්‍යය පෙර තිබූ ඕනෑම එකකට වඩා බලවත් වුණා. දානියෙල් පුරෝකථනය කළ ලෙස, තඹ රාජ්‍යය ‘මුළු පොළොව කෙරෙහි ආණ්ඩු කළා.’ මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ, ග්‍රීක් (කොයිනෙ) ජාත්‍යන්තර භාෂාවක් බවට පත්වීමයි. නිවැරදි ලෙස වචන හැසිරවීමට ඊට තිබූ හැකියාව නිසා, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ලිවීමට සහ දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය පැතිරවීමට එය ඉතාමත්ම සුදුසු බව ඔප්පු වුණා.
20. මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු ග්‍රීක අධිරාජ්‍යයට කුමක් සිදු වීද?
20 ලෝක පාලකයා ලෙස මහා ඇලෙක්සැන්ඩර් ගත කළේ අවුරුදු අටක් පමණයි. තරුණව සිටියදී, එනම්, වයස අවුරුදු 32ක්ව සිටියදී, මංගල උත්සවයකින් පසුව ඔහු ලෙඩ වුණා. ඉන් ටික කලකට පසු, එනම් පො.යු.පෙ. 323 ජූනි 13වනදා මරණයට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ අතිවිශාල අධිරාජ්‍යය ප්‍රදේශ හතරකට බෙදුණා. එක් එක් කොටස ඔහුගේ සේනාධිපතිවරුන් විසින් පාලනය කරනු ලැබුවා. මෙසේ අතිවිශාල තනි රාජ්‍යයක්, රාජ්‍යයන් හතරක් බවට පත් වී, අන්තිමේදී රෝම අධිරාජ්‍යය විසින් ඒවා ගිලගත්තා. තඹ වැනි ලෝක බලය පැවතුණේ පො.යු.පෙ. 30 දක්වා පමණයි. මෙම රාජ්‍යයන් හතරෙන් අවසාන රාජ්‍යය වන මිසරය පාලනය කරමින් තිබූ ටොලමි රාජ වංශය, රෝමය අතට පත්වීමත් සමඟ අවසන් වුණා.
සුනු විසුනු කරන රාජ්‍යයක්
21. දානියෙල් “සතරවෙනි රාජ්‍යය” ගැන විස්තර කරන්නේ කෙසේද?
21 දානියෙල් දිගටම සිහිනයේ දුටු රූපය ගැන විස්තර කිරීමෙහි යෙදෙනවා. බබිලෝනිය, මේද-පර්සියාව සහ ග්‍රීසියෙන් පසු “සතරවෙනි රාජ්‍යය යකඩ මෙන් බලවත්වන්නේය. මක්නිසාද යකඩ සියල්ල පොඩිකර සුණුකරයි. යකඩෙන් සුණු කරන්නාක්මෙන් ඒ රාජ්‍යය ඒ සියල්ල පොඩි කර සුණු කරනවා ඇත.” (දානියෙල් 2:40) පොඩි කර දැමීමට ඊට ඇති හැකියාව නිසා, මේ ලෝක බලය යකඩ මෙන් වෙයි. රන්, රීදී සහ තඹවලින් නියෝජනය කළ අධිරාජ්යයන්ටත් වඩා මෙය බලවත් වුණා. රෝම අධිරාජ්‍යය එවන් බලයක්.
22. රෝම අධිරාජ්‍යය යකඩ මෙන් වූයේ කෙසේද?
22 රෝමය ග්‍රීක අධිරාජ්‍යය සුනු විසුනු කර, මේද-පර්සියානු සහ බබිලෝනීය ලෝක බලයන්ගේ ඉතිරි කොටස් ගිල දැම්මා. යේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රචාරය කළ දෙවිගේ රාජ්‍යය කෙරෙහි කිසි ගරුසරුවක් නොපෙන්වමින්, පො.යු. 33දී, ඔහුව ගසක එල්ලා මරා දැම්මා. සැබෑ ක්‍රිස්තියානි ධර්මය මුලිනුපුටා දැමීමේ අටියෙන්, රෝමය යේසුස්ගේ ගෝලයන්ට පීඩා ගෙනාවා. ඊටත් වඩා, පො.යු. 70දී, යෙරුසලම සහ එහි දේවමාළිගාව රෝමය විසින් විනාශ කර දැම්මා.
23, 24. රෝම අධිරාජ්‍යයට අමතරව, රූපයේ කෙණ්ඩාවලින් සංකේතවත් කරන්නේ කුමක්ද?
23 නෙබුකද්නෙශර්ගේ සිහිනයේ යකඩ කෙණ්ඩා මගින් සංකේතවත් කළේ, රෝම අධිරාජ්‍යය පමණක් නොව දේශපාලනික වශයෙන් එයින් නික්මුණු ශාඛාවන් පවා එයින් සංකේතවත් කළා. එළිදරව් 17:10හි වාර්තා කර ඇති වචන සලකා බලන්න. එහි කියා ඇත්තේ, “ඒ . . . රජවරු සත්දෙනෙක්ය; පස්දෙනෙක් වැටී ගියෝය, එක්කෙනෙක් දැන් සිටින්නේය, අනික් තැනැත්තා තවම ආවේ නැත; ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්ට ඕනෑය.” ප්‍රේරිත යොහන් මේ වචන ලියන අවස්ථාවේදී, රෝමය ඔහුව වහලෙක් ලෙස පත්මොස් දූපතේ රඳවා තිබුණා. වැටී ගිය රජවරු පස්දෙනා හෙවත් ලෝක බලයන් නම්, මිසරය, අෂූරිය, බබිලෝනිය, මේද-පර්සියාව සහ ග්‍රීසියයි. හයවැන්නා, රෝම අධිරාජ්‍යය වූ අතර, එය එවකට පාලන බලයේ රැඳී සිටියා. එහෙත්, එයත් වැටීමට නියමව තිබූ අතර, රෝම යටත් විජිතයකින් හත්වන රජෙක් පැමිණෙන්න නියමිතව තිබුණා. එය කිනම් ලෝක බලය වේවිද?
24 බ්‍රිතාන්‍යය කලකට රෝම අධිරාජ්‍යයේ වයඹ කොටසට අයත් වුණා. එහෙත්, වර්ෂ 1763 වන විට, එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බවට පත් වුණා. එය සත් සමුදුර පාලනය කළ බ්‍රිටැනියා බවට පත් වුණා. ඊට අයත්ව තිබූ අමෙරිකානු යටත් විජිත 13, වර්ෂ 1776දී අමෙරිකානු එක්සත් ජනපදය පිහිටුවීම සඳහා නිදහස ප්‍රකාශ කළා. කෙසේවෙතත්, පසු අවුරුදුවලදී, යුද්ධයේදීත්, සාමයේදීත් බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් වුණා. මෙසේ, එංගලන්ත-අමෙරිකානු හවුල බයිබල් අනාවැකියේ හත්වන ලෝක බලය බවට පත් වුණා. රෝම අධිරාජ්‍යය මෙන්, එයද යකඩ වැනි ආධිපත්‍යය පැතිරවූ අතර, ඒ තුළ “යකඩවල සවිය” තිබුණා. මේ අනුව, රෝම අධිරාජ්‍යය සහ එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලය යන දෙකම, සිහිනයේ දුටු රූපයේ යකඩ කෙණ්ඩාවලට අයත් වුණා.
බිඳෙනසුලු හවුලක්
25. රූපයේ පාද සහ ඇඟිලි ගැන දානියෙල් කියන්නේ කුමක්ද?
25 දානියෙල් මීළඟට නෙබුකද්නෙශර්ට මෙසේ ප්‍රකාශ කළා. “පාදවලින්ද පාද ඇඟිලිවලින්ද කොටසක් කුම්භකාරයාගේ මැටිත් කොටසක් යකඩත් බව ඔබ දුටුහෙයින්, ඒ රාජ්‍යය බෙදී තිබෙනවා ඇත; නුමුත් යකඩ මැටි සමග මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, යකඩවල සවිය ඒක තුළ වන්නේය. පාදවල ඇඟිලිවලින් කොටසක් යකඩව කොටසක් මැටිව තිබුණාක්මෙන්, ඒ රාජ්‍යයෙන් කොටසක් සවිවන්නේය, කොටසක් බිඳී යන්නේය. යකඩ මැටි සමග මිශ්‍රව තිබෙනවා ඔබ දුටු හෙයින්, ඔව්හු මනුෂ්‍ය ජාතීන් සමග මිශ්‍රවන්නෝය; එහෙත් යකඩ මැටි සමග මිශ්‍ර නොවන්නාක්මෙන් ඔව්හු එකිනෙකාට ඇලී නොසිටින්නෝය.”—දානියෙල් 2:41-43.
26. පාද සහ ඇඟිලිවලින් සංකේතවත් කළ පාලන ක්‍රමය බලයට පත් වන්නේ කවදාද?
26 නෙබුකද්නෙශර් සිහිනෙන් දුටු රූපයේ විවිධාකාර කොටස් නියෝජනය කරමින් පසුව පැමිණි ලෝක බලයන්, හිසේ සිට පාද දක්වාම ව්‍යාප්ත වුණා. තර්කානුකූලව, “යකඩ මැටි සමග මිශ්‍රව” තිබූ පාද සහ ඇඟිලි, “අන්තිම කාලය” තුළ ක්‍රියාත්මක වන මිනිස් පාලනවල අවසාන ප්‍රකාශ වීම සංකේතවත් කරනවා.—දානියෙල් 12:4.
27. (අ) මැටි සහ යකඩ මිශ්‍ර වූ පාද සහ ඇඟිලි සංකේතවත් කරන්නේ කිනම් ලෝක තත්වයක්ද? (ආ) රූපයේ ඇඟිලි දහයෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
27 විසිවන සියවසේ මුල් කාලයේදී, පොළොව මත සිටි ජනගහනයෙන් හතරෙන් පංගුවක්ම පාලනය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින්. වෙනත් යුරෝපීය අධිරාජ්‍යයන්ද මිලියන ගණන් ජනයාව පාලනය කළා. එහෙත්, Iවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස, අධිරාජ්‍යයන් වෙනුවට, ජාතීන් වෙන වෙනම කණ්ඩායම් වශයෙන් මතු වුණා. දෙවන ලෝක සංග්රාමයෙන් පසුව මේ ප්‍රවණතාව උග්‍ර වුණා. ජාතිවාදය තව තව වර්ධනය වීමත් සමඟම, ලෝකයේ සිටි ජාතීන් සංඛ්‍යාව පුදුමාකාර ලෙස වැඩි වෙන්න පටන්ගත්තා. මෙසේ, රූපයේ ඇඟිලි දහය එකම කාලයක පවතින සියලුම බලයන් සහ ආණ්ඩු නියෝජනය කරනවා. ඊට හේතුව, බයිබලය ඇතැම් අවස්ථාවලදී, අංක දහය භූමික සම්පූර්ණත්වය අඟවන නිසායි.—සසඳන්න නික්මයාම 34:28; මතෙව් 25:1; එළිදරව් 2:10.
28, 29. (අ) දානියෙල් පවසන ආකාරයට මැටිවලින් නියෝජනය කළේ කුමක්ද? (ආ) යකඩ සහ මැටි මිශ්‍රණය ගැන කිව හැක්කේ කුමක්ද?
28 අප දැන් “අන්තිම කාලය” තුළ සිටින නිසා, අප රූපයේ පාද වෙත පැමිණ තිබෙනවා. යකඩ සහ මැටි මිශ්‍රිත රූපයේ පාද සහ ඇඟිලි නියෝජනය කරන සමහර ආණ්ඩු යකඩ වැනි ඒකාධිපති හෝ කෲර ඒවායි. අනිත් ඒවා මැටි වගෙයි. කිනම් ආකාරයෙන්ද? දානියෙල් මැටි සමඟ ‘මනුෂ්‍ය ජාතීන්ව’ සම්බන්ධ කරනවා. (දානියෙල් 2:43) බිඳෙනසුලු මැටිවලින් මනුෂ්‍ය ජාතීන්ව නියෝජනය කර තිබෙනවා. එනමුත් තමන්ව පාලනය කළ යුත්තේ කුමන ආණ්ඩුවදැයි කීමට අයිතියක් ඇති මැටි බඳු පොදු ජනයාට වැඩි වැඩියෙන් ඇහුම්කන් දීමට, යකඩ වැනි පාරම්පරික පාලන ක්‍රමවලට සිදු වී ඇති බවක් පෙනෙනවා. (යෝබ් 10:9) යකඩ සහ මැටි එකට එක් නොවන්නා සේම, ඒකාධිපති පාලන ක්‍රම සහ පොදු ජනයාද එකට බැඳෙන්නේ නැහැ. රූපයේ අභාවය සිදු වන අවස්ථාවේදී, මේ ලෝකය දේශපාලනමය වශයෙන් බෙදී තිබේවි!
29 පාදයේ සහ ඇඟිලිවල බෙදුණු තත්වය මුළු රූපයේම බිඳවැටීමට හේතු වෙයිද? රූපයට කුමක් සිදු වේවිද?
චමත්කාරජනක උච්චාවස්ථාවක්!
30. නෙබුකද්නෙශර්ගේ සිහිනයේ උච්චාවස්ථාව විස්තර කරන්න.
30 සිහිනයේ උච්චාවස්ථාව සලකා බලන්න. රජුට දානියෙල් මෙසේ කිව්වා: “අතින් නොකැපූ ගලක් ගැළවී ඇවිත් රූපයේ යකඩ සහ මැටිවූ පාදවලට ගසා ඒ පොඩිකරන තුරු, ඔබ බලා සිටියෙහිය. එකල යකඩද මැටිද පිත්තලද [තඹද, NW] රිදීද රත්රන්ද එකවිටම පොඩීවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය.”—දානියෙල් 2:34, 35.
31, 32. නෙබුකද්නෙශර්ගේ සිහිනයේ අවසාන කොටස ගැන පුරෝකථනය කළේ කුමක්ද?
31 පැහැදිලි කිරීමක් වශයෙන්, අනාවැකියෙහි දිගටම මෙසේ සඳහන් වෙනවා: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ [දෙවි] කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [පිහිටුවන්නේය], ඒකේ ආණ්ඩුව අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය; අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැළවී ඇවිත් යකඩද පිත්තලද [තඹද, NW] මැටිද රිදීද රත්රන්ද පොඩිකරනවා ඔබ දුටු හෙයින්, ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය. මහෝත්තම [දෙවි] මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑය, එහි අර්ථයද සත්තකය.”—දානියෙල් 2:44, 45.
32 තම සිහිනය මතක් කර එය පැහැදිලි කරනු ලැබූ බව ඒත්තුගනිමින් නෙබුකද්නෙශර්, දානියෙල්ගේ දෙවි පමණක් ‘රජවරුන්ගේ ස්වාමීන් බවත් රහස් එළිදරව් කරන තැනැත්තා’ බවත් පිළිගත්තා. රජු දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තිදෙනාට උසස් නිලතලද දුන්නා. (දානියෙල් 2:46-49) කෙසේවෙතත්, දානියෙල්ගේ ‘සත්තක [විශ්වසනීය, NW] ලෙස අර්ථය තෝරා දීමෙහි’ වත්මන් දින සුවිශේෂත්වය කුමක්ද?
‘පොළොව පිරී යන කන්දක්’
33. “ගල” ගැළවී ආ ‘කන්ද’ කුමක්ද? එමෙන්ම, මෙය සිදු වූයේ කෙසේද? කවදාද?
33 වර්ෂ 1914 ඔක්තෝබර් මාසයේදී “අන්‍යජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල්” අවසන් වෙද්දී, ‘ස්වර්ගයේ දෙවි’ තම ආලේප ලත් පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව, ‘රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමීන්’ ලෙස සිංහාසනාරූඪ කරමින් ස්වර්ගීය රාජ්‍යය පිහිටෙව්වා.a (ලූක් 21:24; එළිදරව් 12:1-5; 19:16) මෙසේ, යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යය නියෝජනය කරන “කන්දෙන්” ගැළවී ආ මෙසියානු රාජ්‍යය නමැති “ගල” පැමිණියේ මිනිස් බලයෙන් නොව, නමුත් දිව්‍ය බලයෙනුයි. මේ ස්වර්ගීය ආණ්ඩුව ඇත්තේ දෙවි අමරණීයත්වය ප්රදානය කළ යේසුස් ක්‍රිස්තුස් අතෙයි. (රෝම 6:9; 1 තිමෝති 6:15, 16) මේ අනුව, යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යයේ ප්‍රකාශ වීමක් වන ‘අපගේ ස්වාමීන්ටද [දෙවිටද] ඔහුගේ ක්‍රිස්තුස්ටද අයත් වූ’ මේ රාජ්‍යය වෙන කිසිම කෙනෙකු අතට පත් වන්නේ නැහැ. එය සදාකාලයටම පවතින්න යනවා.—එළිදරව් 11:15.
34. “ඒ රජුන්ගේ දවස්වලදී” දෙවිගේ රාජ්‍යය උපත ලැබුවේ කෙසේද?
34 රාජ්‍යයේ උපත “ඒ රජුන්ගේ දවස්වලදී” සිදු වුණා. (දානියෙල් 2:44) මේ අයට, රූපයේ ඇඟිලි දහයෙන් සංකේතවත් කළ රජුන් පමණක් නොව, නමුත් යකඩ, තඹ, රිදී සහ රත්රන් නියෝජනය කළ කොටස්ද අයිතියි. බබිලෝනීය, පර්සියානු, ග්‍රීක සහ රෝම අධිරාජ්‍යයන් ලෝක බලවතුන් ලෙස දැන් නොපැවතුණත්, ඒවායේ ඉතිරි කොටස් 1914 වන විටද පැවතුණා. තුර්කීය ඔටොමන් අධිරාජ්‍යය බබිලෝනීය ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අතර, පර්සියාවේ (ඉරානයේ), ග්‍රීසියේ සහ ඉතාලියේ රෝම ජාතික ආණ්ඩු ක්‍රියාත්මක වෙමින් තිබුණා.
35. “ගල” රූපයට පහර දෙන්නේ කවදාද? එමෙන්ම, රූපයේ විනාශය කොතරම් දුරකට සිදු වේවිද?
35 දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය, සංකේතාත්මක රූපයේ පාදවලට ඉතා ඉක්මනින්ම පහර දෙන්න යනවා. ප්‍රතිඵලයක් හැටියට, එයින් නියෝජනය කළ සියලුම රාජ්‍යයන් කැබලි කර, ඊට අවසානයක් ගෙනෙනවා. ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී,’ එම “ගල,” රූපය දූලි වී යන තරමටම පොඩි කර දමමින්, දෙවිගේ සුළඟින් කමතක වී හුළං කරන්නාක් මෙන් ගසාගෙන යන්න සලස්වනවා. (එළිදරව් 16:14, 16) ඉන්පසු, එම ගල කන්දක් තරම් විශාල වී පොළොව එයින් පිරුණාක් මෙන්, දෙවිගේ රාජ්‍යය “මුළු පොළොව” කෙරෙහි බලපාන්නා වූ ආණ්ඩුමය කන්ද බවට පත් වෙනවා.—දානියෙල් 2:35.
36. මෙසියානු රාජ්‍යය ස්ථිරසාර ආණ්ඩුවක් කියා කිව හැක්කේ මන්ද?
36 මෙසියානු රාජ්‍යය ස්වර්ගික එකක් වුණත්, පොළොව මත වසන සියලුම කීකරු වැසියන්ට ආශීර්වාද ගෙන ඒම සඳහා එහි බලය මේ පොළොව පුරාම පතුරුවනවා. මේ ස්ථිර ආණ්ඩුව ‘කිසි කලක නැති වන්නේවත්, අන් සෙනඟකට අත්අරිනු ලබන්නේවත්’ නැහැ. මියෙනසුලු මිනිස් පාලකයන්ගේ රාජ්‍යයන් මෙන් නොව, “[එය] සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45) සදාකාලයටම එහි යටත් වැසියෙක් වීමේ වරප්‍රසාදය ඔබට උරුම වේවා!
[පාදසටහන]
a මේ පොතේ හයවන පරිච්ඡේදය බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• නෙබුකද්නෙශර් සිහිනයෙන් දුටු අතිවිශාල රූපයේ විවිධ කොටස්වලින් නියෝජනය වන ලෝක බලවතුන් කවුරුන්ද?
• මැටි මිශ්‍රිත යකඩෙන් වූ පාද සහ ඇඟිලි දහය මගින් කිනම් ලෝක තත්වයක් නියෝජනය කරයිද?
• “ගල” ගැළවී ආවේ කවදාද? එමෙන්ම කිනම් ‘කන්දෙන්ද?’
• “ගල” රූපයට පහර දෙන්නේ කවදාද?
[63-67වන පිටුවේ කොටුව⁄පින්තූර]
රණශූර රජෙක් අධිරාජ්‍යයක් ගොඩනඟයි
බබිලෝනියේ ඔටුන්න හිමි කුමරු සහ ඔහුගේ හමුදාව, සිරියාවේ කර්කෙමිෂ්හිදී ඵාරාවෝ-නෙකොගේ මිසර හමුදාව වනසා දමනවා. පරාජයට පත් මිසර හමුදාව දකුණු දෙසින් පිහිටි මිසරය වෙත පලා යන අතර, බබිලෝනීය හමුදාව ඔවුන් පසුපස ලුහුබඳිනවා. කෙසේවෙතත්, බබිලෝනියෙන් පැමිණි පණිවිඩයක්, විජයග්‍රාහී කුමරුව තම ලුහුබැඳීම නැවතීමට පොලඹවනවා. පණිවිඩය වූයේ ඔහුගේ පියා වන නැබොපොලසාර්ගේ අභාවයයි. අල්ලාගත්තවුන්ව සහ කොල්ලය ගෙන ඒම තම සේනාධිපතීන්ට පවරමින්, මව්බිම කරා පැමිණෙන නෙබුකද්නෙශර් තම පියාගේ හිස් වූ සිංහාසනය හිමි කරගන්නවා.
පොදු යුගයට පෙර 624වන වර්ෂයේදී, නෙබුකද්නෙශර් බබිලෝනීය සිහසුන හිමි කරගත් අතර, නව බබිලෝනීය අධිරාජ්‍යයේ දෙවන රජු බවට පත් වුණා. ඔහුගේ 43 අවුරුදු රජ සමයේදී, ඔහු අෂූරිය ලෝක බලය අල්ලාගෙන තිබූ ප්‍රදේශ අයිති කරගෙන තම ආධිපත්‍යය එහි පිහිටෙවූ අතර, උතුරු දෙසින් සිරියාවද, බටහිරින් පලස්තීනයද මිසරයේ මායිම් දක්වාද තම ආධිපත්‍යය ව්‍යාප්ත කළා.—සිතියම බලන්න.
නෙබුකද්නෙශර් තම රජකම් කිරීමේ හතරවන අවුරුද්දේදී (පො.යු.පෙ. 620දී), යූදා දේශය යටත් රාජ්‍යයක් බවට පත් කළා. (2 රාජාවලිය 24:1) අවුරුදු තුනකට පසුව යුදෙව්වන්ගේ කැරලිගැසීම හේතුවෙන් බබිලෝනිය විසින් යෙරුසලම වැටලුවා. නෙබුකද්නෙශර්, යෙහෝයාඛින්, දානියෙල් සහ වෙනත් වහලුන්ව බබිලෝනියට ගෙන ගියා. රජු දෙවිගේ ගෘහයෙන් සමහර භාණ්ඩ ගෙන ගියා. ඔහු යෙහෝයාඛින්ගේ බාප්පා වූ ශෙදෙකියාව යූදාහි කප්පම් ගෙවන රජු බවට පත් කළා.—2 රාජාවලිය 24:2-17; දානියෙල් 1:6, 7.
කලකට පසුව, ශෙදෙකියාද මිසරය සමඟ එකතු වී කැරලිගැසුවා. නෙබුකද්නෙශර් නැවතත් යෙරුසලම වටලා පො.යු.පෙ. 607දී එහි තාප්ප බිඳ දැමූ අතර, දේවමාළිගාවට ගිනි තබා, නුවර විනාශ කළා. ශෙදෙකියාගේ දරුවන් සියලුදෙනාවම මරා දමා, සිරකරුවෙකු හැටියට බබිලෝනියට ගෙන යෑම සඳහා ඔහුව අන්ධ කර බඳිනු ලැබුවා. නෙබුකද්නෙශර් දේවමාළිගාවේ ඉතිරි භාණ්ඩ සමඟින් එහි සිටි වැඩිදෙනෙකුව වහලුන් ලෙස බබිලෝනියට ගෙන ගියා. “මෙසේ යූදාවරු තමුන්ගේ ප්රවේණි භූමියෙන් ගෙනයනලද්දෝය.”—2 රාජාවලිය 24:18–25:21.
පුරා වසර 13ක් වටලාගෙන සිට අවසානයේදී, නෙබුකද්නෙශර් තීර්ද ජයගත්තා. වටලා සිටි කාලය තුළදී, හිස් වැසුම් පැළඳ සිටීම හේතුවෙන් හේවායන්ගේ හිස් ‘මුඩු වුණා.’ වැටලීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය කරගසාගෙන ඒම හේතුවෙන් ඔවුන්ගේ උරහිස් ‘හම ගියා.’ (එසකියෙල් 29:18) අවසානයේදී, තීර් බබිලෝනීය හමුදාවට යටත් වුණා.
පෙනෙන විදිහට, බබිලෝනියේ රජු අතිදක්ෂ යුධ උපක්රමශීලියෙක්. විශේෂයෙන්ම බබිලෝනීය මූලාරම්භයක් ඇති සමහර සාහිත්‍ය ආශ්‍රේය ග්රන්ථ පවා විස්තර කරන්නේ ඔහු සාධාරණ රජෙක් හැටියටයි. නෙබුකද්නෙශර් සාධාරණ කෙනෙක් කියා බයිබලය කෙළින්ම පවසන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අනාගතවක්තෘ යෙරෙමියා පැවසුවේ, ශෙදෙකියා කැරලිගසා තිබුණත්, ‘බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගියා නම්’ ඔහුව සාධාරණ ලෙස සලකන බවයි. (යෙරෙමියා 38:17, 18) යෙරුසලමේ විනාශයෙන් පසුව, නෙබුකද්නෙශර් යෙරෙමියාට ගෞරවයෙන් සැලකුවා. “ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු නුඹට කියන හැටියටම ඔහුට කරන්නැයි” රජු යෙරෙමියා ගැන අණ දුන්නා.—යෙරෙමියා 39:11, 12; 40:1-4.
නෙබුකද්නෙශර් පරිපාලකයෙක් හැටියට, දානියෙල්ගේ සහ හනනියා, මීෂායෙල් සහ අසරියා යන හෙබ්‍රෙව් නම් තිබූ ඔහුගේ මිත්‍රයන් තිදෙනා වන ශද්රක්, මේෂක් සහ අබේද්-නෙගෝගේ ගුණාංග සහ හැකියාවන් ඉතා ඉක්මනින් හඳුනා ගත්තා. ඒ නිසා, රජු ඔවුන්ට ඔහුගේ රාජ්‍යයේ සැලකිය යුතු අන්දමේ තනතුරු දුන්නා.—දානියෙල් 1:6, 7, 19-21; 2:49.
නෙබුකද්නෙශර්ගේ භක්තිය විශේෂයෙන්ම, බබිලෝනියේ ප්‍රධාන දෙවියා වූ මාර්ඩුක්ට පුද කෙරුණා. තමා ලද සියලුම ජයග්රහණයන් සම්බන්ධයෙන් රජ මාර්ඩුක්ට ගෞරවය පුද කළා. ඔහු මාර්ඩුක්ගේ මෙන්ම වෙනත් බොහෝ දෙවිදේවතාවුන්ගේ දේවාල ගොඩනඟා ඒවා අලංකාර කළා. දූරා සමභූමියෙහි රනින් තැනූ දැවැන්ත රූපය මාර්ඩුක්ට කැප කර තිබෙන්න ඇති. එමෙන්ම, ඔහු තම යුධ මෙහෙයුම් සැලසුම් කිරීම සඳහා, පේන කීම මත මහත් සේ රඳා සිටි බව පෙනෙනවා.
එවකට තිබූ ශ්‍රේෂ්ඨතම බලකොටු නුවර වූ බබිලෝනිය ප්‍රතිසංස්කරණය කිරීම ගැන නෙබුකද්නෙශර් මහත් සේ ආඩම්බර වුණා. තම පියා ආරම්භ කළ නුවර වටේට යෝධ ද්විත්ව තාප්ප ගොඩනැඟීම සම්පූර්ණ කිරීමෙන්, පෙනෙන විදිහට නෙබුකද්නෙශර් එම අගනුවර පරාජය කළ නොහැකි තැනක් බවට පත් කළා. රජු නුවර මැද තිබූ පැරණි මාළිගාවක් අලුත්වැඩියා කර, එහි සිට කිලෝමීටර් දෙකක් පමණ උතුරට වෙන්න ග්‍රීෂ්ම මාළිගාවක් ගොඩනැඟුවා. ඇගේ මව් බිමේ ඇති කඳු සහ වනාන්තරවලට දැඩි ආශාවක් දැක්වූ තම මේදීය ජාතික රැජිනව සතුටු කිරීම සඳහා, වාර්තා වන අන්දමට නෙබුකද්නෙශර් එල්ලෙන උයනක් සෑදුවා. එය පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙනවා.
දිනක් බබිලෝනියේ රාජකීය මාළිගාවේ සක්මන් කරමින් සිටි රජ “මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි” පුරසාරම් දෙඩුවා. “ඒ වචන රජුගේ මුඛයෙහි තිබෙද්දීම” ඔහු සිහි විකල් වුණා. දානියෙල් පුරෝකථනය කළාක් මෙන්, පාලනය කිරීමට තිබූ ඔහුගේ සුදුසුකම් නැති වී ගොස් වසර හතක් පුරා තෘණ කෑමට ඔහුට සිදු වුණා. එම කාලපරිච්ඡේදය අවසන් වූ විට, රාජ්‍යය නැවතත් නෙබුකද්නෙශර් අතට පත් වූ අතර, පො.යු.පෙ. 582දී ඔහු මියයන තුරු රජකම් කළා.—දානියෙල් 4:30-36.
ඔබ වටහාගත්තේ කුමක්ද?
නෙබුකද්නෙශර් ගැන කිව හැක්කේ මොනවාද?
• යුධ උපක්රමශීලියෙක් හැටියට
• පරිපාලකයෙක් හැටියට
• මාර්ඩුක්ගේ නමස්කාරකයෙක් හැටියට
• ඉදිකරන්නෙක් හැටියට
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
බබිලෝනීය අධිරාජ්‍යය
රතු මුහුද
යෙරුසලම
යුප්‍රටීස් ගඟ
ටයිග්‍රීස් ගඟ
නිනිවය
සූසා
බබිලෝනිය
ඌර්
[පින්තූරය]
එවකට තිබූ ශ්‍රේෂ්ඨතම බලකොටු නුවර වූ බබිලෝනිය
[පින්තූරය]
මකරා මාර්ඩුක්ගේ සංකේතයක් විය
[පින්තූරය]
බබිලෝනියේ සුප්‍රකට එල්ලෙන උයන
[56වන පිටුවේ රූප සටහන/පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
දානියෙල්ගේ අනාවැකියේ ලෝක බලවතුන්
අතිවිශාල රූපය (දානියෙල් 2:31-45)
බබිලෝනියාව පො.යු.පෙ. 607 සිට
මේද-පර්සියාව පො.යු.පෙ. 539 සිට
ග්‍රීසිය පො.යු.පෙ. 331 සිට
රෝමය පො.යු.පෙ. 30 සිට
එංගලන්ත-අමෙරිකානු ලෝක බලය පො.යු. 1763 සිට
අන්තිම කාලයේ පවතින දේශපාලනිකව බෙදුණු ලෝකය
[47වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[58වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]