දහහත්වන පරිච්ඡේදය
අන්තිම කාලයේ සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීම
1. දානියෙල් හත්වන පරිච්ඡේදයට අනුව, අපේ දවසේ සිටින කුඩා අනාරක්ෂිත මිනිසුන් කණ්ඩායමකට කිනම් අතිවිශේෂ අද්දැකීමක් ලබන්න නියමිතව තිබුණාද?
කුඩා, අනාරක්ෂිත මිනිසුන් කණ්ඩායමක් බලවත් ලෝක බලයක දරුණු ප්‍රහාරයකට ලක් වෙයි. ඔවුන් හානියකින් තොරව ගැළවෙනවා පමණක් නොව, පුනර්ජීවයක්ද අද්දකියි. ඒ, ඔවුන්ගේම ශක්තියේ ප්‍රතිඵලයක් හැටියට නොව, නමුත් දෙවි ඔවුන්ව අනර්ඝ ලෙස සලකන නිසායි. විසිවන සියවසේ මුලදී සිදු වූ මේ සිදුවීම්, දානියෙල් හත්වන පරිච්ඡේදයේ පුරෝකථනය කළා. කෙසේවෙතත්, මේ මිනිසුන් කවුරුන්ද? දානියෙල් පොතේ එම පරිච්ඡේදයේම ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ, යෙහෝවා දෙවි වන ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්’ හැටියටයි. මේ අය අන්තිමේදී මෙසියානු රාජ්‍යයේ හවුල් පාලකයන් වෙන්න යන බවත් එය හෙළි කළා!—දානියෙල් 7:13, 14, 18, 21, 22, 25-27.
2. (අ) තම ආලේප ලත් සේවකයන් ගැන යෙහෝවාට දැනෙන්නේ කෙසේද? (ආ) මේ කාලයේදී අනුගමනය කිරීමට තිබෙන ඥානවන්තම ක්‍රියා මාර්ගයක් වන්නේ කුමක්ද?
2 දානියෙල් 11වන පරිච්ඡේදයේ අප ඉගෙනගත් පරිදි, උතුරු දිශාවේ රජ ඇදහිලිවන්ත ජනයාගේ ආත්මික සුරක්ෂිත දේශයට තර්ජන එල්ල කළාට පසුව, ඔහු තම අන්තිම අවසානය අද්දකින්න යනවා. (දානියෙල් 11:45; සසඳන්න එසකියෙල් 38:18-23.) ඔව්, තම ඇදහිලිවන්ත ආලේප ලත් අයව යෙහෝවා ඉතා පරෙස්සමින් රැකබලා ගන්නවා. ගීතාවලිය 105:14, 15 අපට මෙසේ කියනවා: “ඔවුන් ගැන රජුන්ට [යෙහෝවා මෙසේ] තරවටුකරමින්: මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි [කීවේය].” එසේ නම්, මේ අර්බුදකාරි කාලවලදී, වැඩි වෙමින් පවතින “මහත් සමූහය” මේ ශුද්ධවන්තයන් සමඟ හැකි තාක් කිට්ටුවෙන් ආශ්‍රය කිරීම ඥානවන්ත බවට ඔබ එකඟ වන්නේ නැද්ද? (එළිදරව් 7:9; සෙකරියා 8:23) යේසුස් ක්‍රිස්තුස් බැටළු ගුණැති අය සම්බන්ධයෙන් නිර්දේශ කළේ ඒ දෙයමයි: එනම් ඔවුන් තම ආලේප ලත් ආත්මික සහෝදරයන්ගේ වැඩයට සහයෝගය දැක්වීම මගින් ඔවුන්ගේ ආශ්‍රිතයන් විය යුතු බවයි.—මතෙව් 25:31-46; ගලාති 3:29.
3. (අ) යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ව සොයාගෙන ඔවුන්ට සමීපව සිටීම පහසු දෙයක් නොවන්නේ මන්ද? (ආ) මේ සම්බන්ධයෙන් දානියෙල් 12වන පරිච්ඡේදය අපට උපකාර කරන්නේ කෙසේද?
3 කෙසේවෙතත්, දෙවිගේ විරුද්ධකාරයා වන සාතන්, ආලේප ලත් අයට විරුද්ධව යුද්ධ කිරීම සඳහා හැකි උපරිම වෑයම දරමින් සිටිනවා. ඵලදායී ලෙස ව්‍යාජ ක්‍රිස්තියානීන්ගෙන් ලෝකය පුරවමින්, ඔහු බොරු ආගමට අනුබල දී තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, බොහෝ ජනයා නොමඟ ගොස් තිබෙනවා. තවත් සමහරු සැබෑ ආගම නියෝජනය කරන අයව කිසිදාක සොයාගැනීමට නොහැකි වේයයි සිතමින් බලාපොරොත්තු අත්හැර දමා තිබෙනවා. (මතෙව් 7:15, 21-23; එළිදරව් 12:9, 16) “කුඩා රැළ” සොයාගෙන ඔවුන් සමඟ ආශ්‍රය කරන අය පවා, ඔවුන්ගේ ඇදහිල්ල දිගටම පවත්වාගැනීම සඳහා සටන් කළ යුතු වන්නේ, ඇදහිල්ල කා දැමීමට මේ ලෝකය නිරතුරුවම මාන බලන නිසායි. (ලූක් 12:32) ඔබ සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්ව’ සොයාගෙන, ඔවුන් සමඟ ඔබ ආශ්‍රය කරමින් සිටිනවාද? ඔබ සොයාගෙන තිබෙන්නේ, ඇත්තෙන්ම දෙවි විසින් තෝරාගත් අය බවට ඔප්පු කරන ස්ථිර සාක්ෂි මොනවාද කියා ඔබ දන්නවාද? ඔබේ ඇදහිල්ල වඩා ශක්තිමත් කරන්න එවැනි සාක්ෂිවලට හැකියි. අදදින ලෝකයේ ආගමික ව්‍යාකූලත්වය තුළින් එහි ඇත්ත නැත්ත දැකීමට අනිත් අයට උපකාර කරන්නත් එය අපව සන්නද්ධ කරන්න යනවා. මෙවන් ජීවිත ගළවන දැනුම් සම්භාරයක් දානියෙල් 12වන පරිච්ඡේදයේ අන්තර්ගතයි.
උතුම් අධිපතියා ක්‍රියාත්මක වෙයි
4. (අ) දානියෙල් 12:1හි මිකායෙල් ගැන කිනම් සුවිශේෂ කරුණු දෙකක් පුරෝකථනය කරනවාද? (ආ) දානියෙල්ගේ පොතේ, රජුගේ ‘නැඟිටීම’ කීමෙන් බොහෝවිට අදහස් කර තිබෙන්නේ කුමක්ද?
4 දානියෙල් 12:1හි [NW] මෙසේ කියවීමට තිබෙනවා: “ඒ කාලයේදී නුඹේ සෙනගගේ පුත්‍රයන් උදෙසා [නැඟිට, NW] සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය.” මිකායෙල් ගැන සුවිශේෂ කරුණු දෙකක් මේ පදයෙහි පුරෝකථනය කරනවා: එක, ඔහු ‘නැඟිට සිටිනවා’ යන්නයි. ඉන් යම් කාලපරිච්ඡේදයක් පුරා විහිදෙන තත්වයක් අදහස් කරනවා. දෙක, ඔහු “නැගිටින්නේය” කීමෙන් අදහස් කරන්නේ, එම කාලපරිච්ඡේදය තුළදී සිදු වන සිදුවීමකටයි. මුලින්ම, මිකායෙල් ‘[දානියෙල්ගේ] සෙනඟගේ පුත්‍රයන් උදෙසා නැඟිටින’ කාලපරිච්ඡේදය අප දැනගැනීම අවශ්‍යයි. මිකායෙල් කියන්නේ, ස්වර්ගීය පාලකයෙකු හැටියට යේසුස්ගේ කාර්යභාරය වෙනුවෙන් ඔහුට දී ඇති නමක් බව මතක් කරගන්න. ‘නැඟිට සිටිනවා’ යන යොමු දැක්වීම, දානියෙල් පොතේ වෙනත් තැන්වල මේ වචනය පාවිච්චි කර ඇති ආකාරය අපට මතක් කරනවා. බොහෝවිට, කෙනෙකු රජ බවට පත්වීම වැනි රජෙකුගේ ක්‍රියාකාරිත්වයට එය යොමු දක්වනවා.—දානියෙල් 11:2-4, 7, 20, 21.
5, 6. (අ) මිකායෙල් නැඟිටින්නේ කිනම් කාලපරිච්ඡේදයකදීද? (ආ) මිකායෙල් “නැගිටින්නේ” කෙසේද? කවදාද? එමෙන්ම, කිනම් ප්‍රතිඵල ඇතුවද?
5 දේවදූතයා මෙහිදී යොමු දක්වන්නේ, වෙනත් බයිබල් අනාවැකියක පැහැදිලි කර ඇති කාලපරිච්ඡේදයකට බව පැහැදිලියි. ස්වර්ගයේ රජෙක් ලෙස පාලනය කරන තමන්ගේ “පැමිණ සිටීම” (ග්‍රීක්, ප·රු·සීʹආ) ලෙස යේසුස් එය හැඳින්නුවා. (මතෙව් 24:37-39, NW) මේ කාලපරිච්ඡේදය “අන්තිම දවස්” සහ “අන්තිම කාලය” ලෙසද හඳුන්වනවා. (2 තිමෝති 3:1; දානියෙල් 12:4, 9) මේ කාලපරිච්ඡේදය 1914දී ඇරඹුණු දා පටන්, මිකායෙල් රජෙක් ලෙස ස්වර්ගයේ නැඟිට තිබෙනවා.—සසඳන්න යෙසායා 11:10; එළිදරව් 12:7-9.
6 කෙසේවෙතත්, මිකායෙල් “නැගිටින්නේ” කවදාද? විශේෂ කාර්යයක් සඳහා ඔහු නැඟිට සිටින අවස්ථාවේදීයි. යේසුස් මෙය කරන්නේ අනාගතයේදීයි. එළිදරව් 19:11-16හි යේසුස්ව අනාවැකියම ලෙස විස්තර කරන්නේ, දේවදූත හමුදාවක් ඉදිරියෙන් ගමන් කරමින්, දෙවිගේ සතුරන්ට විනාශය ගෙන එන බලවත් මෙසියානු රජ හැටියටයි. දානියෙල් 12:1 දිගටම මෙසේ කියනවා: “ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය.” යෙහෝවාගේ ප්‍රධාන වදකයා වශයෙන් ක්‍රිස්තුස්, පුරෝකථනය කළ ‘මහත් පීඩාවේදී’ ඔහු මුළු මහත් දුෂ්ට දේවල පිළිවෙළටම අවසානයක් ගෙනෙන්න යනවා.—මතෙව් 24:21; යෙරෙමියා 25:33; 2 තෙසලෝනික 1:6-8; එළිදරව් 7:14; 16:14, 16.
7. (අ) පැමිණෙන “විපත්ති කාලය” තුළදී, සියලුම ඇදහිලිවන්තයන්ට ඇත්තේ කිනම් බලාපොරොත්තුවක්ද? (ආ) යෙහෝවාගේ පොත කුමක්ද? එමෙන්ම, එයට ඇතුළත් වීම වැදගත් වන්නේ මන්ද?
7 මේ අඳුරු කාලයේදී, ඇදහිල්ල පවත්වන අයට කුමන ඉරණමක් අත් වේවිද? දානියෙල්ට තවදුරටත් කියා සිටියේ මේ ආකාරයටයි: “ඒ කාලයේදී නුඹේ සෙනගගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.” (ලූක් 21:34-36 සසඳන්න.) මේ පොත කුමක්ද? මූලිකව එයින් නියෝජනය කරන්නේ, දේවකැමැත්ත කරන අය ගැන යෙහෝවා දෙවිට ඇති මතකයයි. (මලාකී 3:16; හෙබ්‍රෙව් 6:10) මේ ජීවන පොතේ නම් ලියා ඇති අය මේ ලෝකයේ සිටින සුරක්ෂිතම සෙනඟයි. එසේ වන්නේ, ඔවුන් දිව්‍ය රැකවරණය ලබන නිසායි. ඔවුන් වෙත පැමිණෙන ඕනෑම හානියක් නැති වී යනවා හෝ නැති වෙන්න යනවා. පැමිණෙන ‘විපත්ති කාලයට’ කලින් ඔවුන් මරණයට පත් වුණත්, ඔවුන් යෙහෝවාගේ අසීමිත මතකයේ සුරක්ෂිතව සිටින්න යනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, දෙවි ඔවුන්ව මතක් කර නැවත නැඟිටුවන්න යනවා.—ක්‍රියා 24:15; එළිදරව් 20:4-6.
ශුද්ධවන්තයන් ‘පිබිදෙයි’
8. දානියෙල් 12:2 ඉදිරිපත් කරන්නේ කිනම් ප්රබෝධජනක බලාපොරොත්තුවද?
8 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇත්තෙන්ම සැනසිලිදායකයි. දානියෙල් 12:2හි මේ ගැන සඳහන් කරමින් මෙසේ කියනවා: “පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.” (යෙසායා 26:19 සසඳන්න.) සාමාන්‍ය නැවත නැඟිටීමක් ගැන යේසුස්ගේ හද දනවන පොරොන්දුව එම වචනවලින් අපට හොඳ හැටි මතක් කර දෙනවා. (යොහන් 5:28, 29) කොතරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! දැන් මියගොස් සිටින ප්‍රේමනීය මිතුරන්ට සහ පවුල් සාමාජිකයන්ට අනාගතයේදී යළිත් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබීම ගැන සිතා බලන්න! එහෙත්, දානියෙල් පොතේ මේ පොරොන්දුව යොමු දක්වන්නේ, මූලිකව තවත් වර්ගයක නැවත නැඟිටීමකටයි. එනම් දැනටමත් සිදුව ඇති දෙයකටයි. එය එසේ වන්නේ කෙසේද?
9. (අ) දානියෙල් 12:2, අවසාන කාලය තුළදී එහි ඉටුවීම අද්දකිනවා කියා අපේක්ෂා කිරීම සාධාරණ වන්නේ මන්ද? (ආ) අනාවැකිය යොමු දක්වන්නේ කිනම් ආකාරයේ නැවත නැඟිටුවීමකටද? එමෙන්ම ඒ බව අප දන්නේ කෙසේද?
9 අවට පාඨ සම්බන්ධය සලකා බලන්න. අප දුටු ආකාරයට දානි 12වන පරිච්ඡේදයේ මුල් පදය අදාළ වන්නේ, මේ දේවල පිළිවෙළේ අවසානයට පමණක් නොව, අන්තිම දවස්වල සම්පූර්ණ කාලපරිච්ඡේදයටයි. ඇත්තෙන්ම, මෙම පරිච්ඡේදයේ සඳහන් අනාවැකි වැඩි ප්‍රමාණයක් ඉටු වන්නේ, පැමිණෙන්නාවූ භූමික පාරාදීසයේදී සිදු වන දේවල් සම්බන්ධයෙන් නොව, අවසාන කාලයේදී සිදු වන දේවල් සම්බන්ධයෙනුයි. මේ කාලපරිච්ඡේදය තුළදී, නැවත නැඟිටීමක් සිදුව තිබෙනවාද? “ඔහුගේ පැමිණ සිටීම අතරතුරේදී” නැවත නැඟුටුවන “ක්‍රිස්තුස්ට අයිති අය” ගැන ප්‍රේරිත පාවුල් ලිව්වා. කෙසේවෙතත්, ස්වර්ගීය ජීවිතය සඳහා නැවත නැඟිටුවන අයව නැඟිටුවන්නේ “නොදිරන” ස්වභාවයකිනුයි. (1 කොරින්ති 15:23, NW, 1 කොරි 15:52) දානියෙල් 12:2 පුරෝකථනය කළ ආකාරයට, “නින්දාව සහ සදාකාල නීචකම” පිණිස ඔවුන්ගෙන් කිසිවෙක් නැඟිටින්න යන්නේ නැහැ. තවත් ආකාරයක නැවත නැඟිටීමක් තිබෙනවාද? බයිබලයේ, නැවත නැඟිටීම කියන දෙය සමහර අවස්ථාවලදී, ආත්මික විශේෂත්වයක් ගන්නවා. උදාහරණයක් හැටියට, ආත්මික ප්‍රකෘතිමත්භාවය හෝ නැවත නැඟිටීම පිළිබඳ අනාවැකිමය කොටස් එසකියෙල් සහ එළිදරව් යන පොත් දෙකේම අඩංගුයි.—එසකියෙල් 37:1-14; එළිදරව් 11:3, 7, 11.
10. (අ) අන්තිම කාලය තුළදී, ආලේප ලත් ඉතිරි කොටසව නැඟිටවුනු ලැබුවේ නැවත නැඟුටුණේ කිනම් අර්ථයෙන්ද? (ආ) ප්‍රකෘතිමත්භාවයට පමුණුවන ලද ආලේප ලත් අයගෙන් සමහරු ‘නින්දාවට සහ සදාකාල නීචකමට’ පත් වූයේ කෙසේද?
10 අවසාන කාලයේ දෙවිගේ ආලේප ලත් සේවකයන් එවැනි ආත්මික ප්‍රකෘතිමත්භාවයක් අද්දැක්කාද? ඔව්! වර්ෂ 1918දී ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස මත එල්ල කෙරුණු අසාමාන්‍ය ප්‍රහාරය හේතුවෙන්, ඔවුන් සංවිධානය කර තිබූ ප්‍රසිද්ධ දේවසේවය කඩාකප්පල් වී යෑම ඓතිහාසික යථාර්ථයක්. ඉන්පසු, 1919දී, නොසිතූවිරූ ලෙස ආත්මික අර්ථයෙන් ඔවුන් නැවත ජීවනයට පැමිණියා. මේ තොරතුරු දානියෙල් 12:2හි පුරෝකථනය කර ඇති නැවත නැඟිටීම පිළිබඳ විස්තරය සමඟ හොඳින් ගැළපෙනවා. සමහරුන් ඒ කාලයේදී මෙන්ම පසු කාලයේදී ආත්මිකව ‘පිබිදුණා.’ කෙසේවෙතත්, කනගාටුදායක ලෙස ඒ සියලුදෙනාම ආත්මිකව ජීවමානව සිටියේ නැහැ. පිබිදුණාට පසුව පවා මෙසියානු රාජ්‍යය ප්‍රතික්ෂේප කර දෙවිගේ සේවය අත්හළ ඇතමුන් දානියෙල් 12:2හි විස්තර කර තිබෙන විදිහට, තමුන්ටම “නින්දාව සහ සදාකාල නීචකම” උපයාගත්තා. (හෙබ්‍රෙව් 6:4-6) කෙසේවෙතත්, ඇදහිලිවන්ත ආලේප ලත් අය, තම ආත්මික ප්රකෘතිමත්භාවයෙන් උපරිම ප්‍රයෝජන නෙළාගනිමින් මෙසියානු රජුට පක්ෂපාතව සහයෝගය දුන්නා. අනාවැකියේ සඳහන් කරන ආකාරයට, ඇදහිලිවන්තකම අවසානයේදී “සදාකාල ජීවනයට” මඟ පෑදුවා. පීඩා මධ්‍යයේ ඔවුන් දැක්වූ ආත්මික ප්‍රාණවත්කම, ඔවුන් කවුද කියා හඳුනාගැනීමට අපට උපකාර කරනවා.
ඔවුන් ‘තාරකා මෙන් බැබළේ’
11. අදදින, “තීක්ෂ්ණ බුද්ධිය” ඇති අය කවුරුන්ද? එමෙන්ම, ඔවුන් තාරකා ලෙස බැබළෙන්නේ කිනම් අර්ථයෙන්ද?
11 ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්ව’ හඳුනාගන්න දානියෙල් 12වන පරිච්ඡේදයේ ඊළඟ ඡේද දෙක අපට තවත් උපකාර කරනවා. තුන්වන පදයේ දේවදූතයා දානියෙල්ට මෙසේ කියනවා: “නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.” අදදින, “තීක්ෂ්ණ බුද්ධිය ඇත්තෝ” කවුරුන්ද? තිබෙන සාක්ෂි, නැවතත් ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්’ වෙත යොමු දක්වනවා. වර්ෂ 1914දී, රජු ලෙස නැඟිට සිටි උතුම් අධිපතියා වූ මිකායෙල්ව හඳුනාගැනීමට තීක්ෂ්ණ බුද්ධිය තිබුණේ ඇදහිලිවන්ත ආලේප ලත් කොටසට මිස වෙන කාටද? මෙවැනි සත්‍යයන් දේශනා කිරීම මගින් මෙන්ම, ක්‍රිස්තියානි හැසිරීම පවත්වාගැනීම මගින් ආත්මික අන්ධකාරයෙන් වෙළුණු මේ ලෝකය තුළ ඔවුන් ‘දීප්තිමත් ප්‍රදීපක මෙන් බැබළී’ තිබෙනවා. (පිලිප්පි 2:15, NW; යොහන් 8:12) ඔවුන් ගැන යේසුස් මෙසේ පුරෝකථනය කළා: “එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ [පියාගේ] රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය.”—මතෙව් 13:43.
12. (අ) අවසාන කාලයේදී, ‘බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨකමට හරවාගන්න’ ආලේප ලත් අය සම්බන්ධ වී තිබෙන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළ ආලේප ලත් අය, බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨකමට හරවන්නෙත් ‘තාරකා මෙන් බැබළෙන්නෙත්’ කෙසේද?
12 අන්තිම කාලයේදී, මේ ආලේප ලත් ක්‍රිස්තියානීන් නිරත වන වැඩය ගැන පවා දානියෙල් 12:3 අපට කියනවා. ඔවුන් ‘බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨකමට හරවාගන්න’ යනවා. ආලේප ලත් ඉතිරි කොටස, ක්‍රිස්තුස්ගේ හවුල් උරුමක්කාරයන් වන 1,44,000දෙනාගේ ඉතිරි අයව එකතු කිරීමට පටන්ගත්තා. (රෝම 8:16, 17; එළිදරව් 7:3, 4) තිබෙන සාක්ෂිවලට අනුව එම වැඩය 1930 ගණන්වල මැද භාගයේදී සම්පූර්ණ වූ විට, ඔවුන් ‘වෙනත් බැටළුවන්ගේ’ “මහත් සමූහය” එකතු කිරීම ඇරඹුවා. (යොහන් 10:16; එළිදරව් 7:9) ඔවුනුත් යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල පවත්වනවා. එමනිසා, ඔවුන්ට යෙහෝවා ඉදිරියේ පවිත්‍ර ස්ථාවරයක් තිබෙනවා. අද දවසේදී, මිලියන ගණනක් දක්වා වර්ධනය වෙමින් සිටින ඔවුන්, මේ දුෂ්ට ලෝකය මත පැමිණෙන්නාවූ විනාශයෙන් ගැළවීමේ අපේක්ෂාව රැකගනිමින් සිටිනවා. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, යේසුස් සහ ඔහුගේ හවුල් රජවරුන් මෙන්ම පූජකයන් වන 1,44,000දෙනා කීකරු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් මිදීමේ මිලයේ පූර්ණ ප්‍රයෝජන ක්‍රියාත්මක කරන්න යනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, ඇදහිල්ල පවත්වන සියල්ලන්ටම ආදම්ගෙන් උරුම වූ පාපයේ සෑම අංශු මාත්‍රයක්ම ඉවත් කිරීමට උපකාර ලැබෙන්න යනවා. (2 පේතෘස් 3:13; එළිදරව් 7:13, 14; 20:5, 6) පූර්ණ අර්ථයෙන් ගත් කල, ආලේප ලත් අය ‘බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨකමට හරවාගැනීමෙහි’ සහභාගි වන අතර, අහසේ ‘තාරකා මෙන් බබළන්න’ යනවා. ක්‍රිස්තුස් සහ ඔහුගේ හවුල් පාලකයන්ගේ තේජවත් ස්වර්ගීය ආණ්ඩුව යටතේ මේ පොළොවේ ජීවත් වීමේ බලාපොරොත්තුව ඔබ අගයෙන් යුක්තව සලකන්නේ නැද්ද? දෙවිගේ රාජ්‍යයේ මේ ශුභාරංචිය දේශනා කිරීමේදී “ශුද්ධවන්තයන්” සමඟ හවුල් වීම මොනතරම් වරප්‍රසාදයක්ද!—මතෙව් 24:14.
ඔවුන් “ගවේෂණය කරනවා ඇත”
13. දානියෙල්ගේ පොත මුද්‍රා කර රහසක්ව පැවතුණේ කිනම් අර්ථයෙන්ද?
13 දානියෙල් 10:20න් ඇරඹුණු, දේවදූතයා දානියෙල්ට කළ ප්‍රකාශය හද උණුසුම් කරන මේ වචනවලින් දැන් අවසන් වෙනවා: “නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා [ගවේෂණය කරනවා, NW] ඇත, [සැබෑ, NW] දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.” (දානියෙල් 12:4) දානියෙල්ට ලිවීමට ආනුභාවය දුන් වැඩි හරියක්, ඇත්තෙන්ම මිනිසාට තේරුම්ගැනීමට නොහැකි රහසිගත මෙන්ම මුද්‍රා කළ දේවල් වුණා. දානියෙල්ම පසුව ලිව්වේ මෙහෙමයි: “මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි.” (දානියෙල් 12:8) මේ අර්ථයෙන් ගත් කල, දානියෙල් පොත සියවස් ගණනාවක් පුරා මුද්‍රා කර තිබුණා. එහෙත්, අද ගැන කුමක් කිව හැකිද?
14. (අ) ‘අන්තිම කාලයේදී ගවේෂණය’ කිරීමෙහි නියැලී ඇත්තේ කවුරුන්ද? එමෙන්ම, ඒ කොහේද? (ආ) මෙම ‘ගවේෂණයට’ යෙහෝවා ආශීර්වාද කර තිබෙන බවට ඇති සාක්ෂි මොනවාද?
14 දානියෙල් පොතේ පුරෝකථනය කර ඇති ආකාරයට, අපට ‘අන්තිම කාලයේ’ ජීවත් වීමට ලැබීම වරප්‍රසාදයක්. පුරෝකථනය කළ ආකාරයට, බොහෝ ඇදහිලිවන්තයන් දෙවිගේ වචනයේ පිටු “ගවේෂණය කර” තිබෙනවා. ප්‍රතිඵලය කුමක්ද? යෙහෝවාගේ ආශීර්වාදය ඇතුව, සැබෑ දැනුම බහුලව ලැබී තිබෙනවා. යෙහෝවාගේ ඇදහිලිවන්ත ආලේප ලත් අය තීක්ෂ්ණ බුද්ධියෙන් ආශීර්වාද ලබා තිබෙනවා. උදාහරණ කිහිපයක් සඳහන් කරනවා නම්, 1914දී මනුෂ්‍ය පුත්‍රයාගේ රජවීම තේරුම්ගන්නත්, දානියෙල්ගේ අනාවැකියේ මෘගයන්ව හඳුනාගන්නත්, ‘පාළු කරන පිළිකුලට’ විරුද්ධව අනතුරු අඟවන්නත් ඔවුන්ට හැකිව තිබෙනවා. (දානියෙල් 11:31) එසේ නම්, මේ දැනුම් සම්භාරය ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්ව’ හඳුනාගැනීමේ තවත් ලකුණක් වෙනවා. එහෙත්, දානියෙල්ට තවත් සාක්ෂි ලැබුණා.
ඔවුන්ව ‘විසුරුවා හැරේ’
15. දේවදූතයෙක් මතු කරන ප්රශ්නය කුමක්ද? මේ ප්රශ්නය අපට මතක් කරවන්නේ කාවද?
15 ටයිග්‍රීස් ලෙසද හැඳින්වූ හිද්දෙකෙල් නම් “මහත් ගංගාව” අසබඩදී දානියෙල්ට මේ දේවදූතමය පණිවිඩ ලැබුණු බව අපට මතකයි. (දානියෙල් 10:4) මෙහිදී, ඔහු දේවදූතයන් තුන්දෙනෙක්ව දැක මෙසේ කියනවා: “එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි. එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට [මෙසේ ඇසුවා]: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් [ගත වෙනවාද?]” (දානියෙල් 12:5, 6) දේවදූතයා මෙහිදී ඇසූ ප්රශ්නය අපට නැවතත් ‘මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන්ව’ මතකයට ගෙනෙනවා වෙන්න පුළුවන්. වර්ෂ 1914දී, එනම් ‘අන්තිම කාලයේ’ මුලදී, දෙවිගේ පොරොන්දු ඉටුවීමට කොපමණ කාලයක් තිබෙනවාද යන ප්රශ්නය ගැන ඔවුන් මහත් සේ සැලකිලිමත් වුණා. මේ ප්රශ්නයේ උත්තරය දෙස බලද්දී, එම අනාවැකිය යොමු දක්වන්නේ ඔවුන්ට බව පැහැදිලියි.
16. දේවදූතයා ප්‍රකාශ කරන අනාවැකිය කුමක්ද? එහි ඉටුවීමේ ස්ථිරසාරභාවය ඔහු අවධාරණය කරන්නේ කෙසේද?
16 දානියෙල්ගේ වාර්තාව තවදුරටත් මෙසේ කියනවා: “එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන [තැනැත්තා] ගැන දිවුරා [මෙසේ කියනවා]: [නියම කරන ලද, NW] කාලයකටත් [නියම කරන ලද, NW] කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනගගේ බලය විසිර වීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේය [අවසන් වන්නේය, NW].” (දානියෙල් 12:7) මෙය බැරෑරුම් කාරණයක්. දේවදූතයා අත් දෙකම ඔසවා දිවුරනවා. සමහරවිට මෙය ගං ඉවුර දෙපැත්තේ සිටින දේවදූතයන් දෙදෙනාද දකින්න ඇති. අනාවැකිය කිසිදු සැකයකින් තොරව ඉටු වන බව අවධාරණය කරනවා. කෙසේවෙතත්, මේ නියම කරන ලද කාලවල් මොනවාද? උත්තරය සොයාගැනීම ඔබ සිතන තරම් දුෂ්කර දෙයක් නෙවෙයි.
17. (අ) දානියෙල් 7:25, දානියෙල් 12:7 සහ එළිදරව් 11:3, 7, 9හි වාර්තා කර ඇති අනාවැකිවල දක්නට තිබෙන සමාන්තරයන් මොනවාද? (ආ) කාලවල් තුනහමාර කොපමණ දීර්ඝද?
17 මේ අනාවැකිය තවත් අනාවැකි දෙකකට විශිෂ්ට ලෙස සමාන වෙනවා. පළමුවැන්න, මේ පොතේ නවවන පරිච්ඡේදයෙන් අප සලකා බැලූ පරිදි දානියෙල් 7:25හිත්, දෙවැන්න, එළිදරව් 11:3, 7, 9හිත් දකින්න පුළුවන්. සමාන්තරයන් කිහිපයක් සලකා බලන්න. දෙකම සිදු වන්නේ, අන්තිම කාලයේදීයි. අනාවැකි දෙකම දෙවිගේ ශුද්ධ සේවකයන්ට යොමු දක්වනවා. ඔවුන්ගේ ප්‍රසිද්ධ දේශනා වැඩය තාවකාලිකව ඇණහිටුවීම ඇතුළුව ඔවුන්ට පීඩා ගෙන එන බවද එහි කියැවෙනවා. අනාවැකි දෙකම පෙන්වන්නේ, දෙවිගේ සේවකයන් ප්‍රකෘතිමත් වී, පීඩාකරන්නන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් තම වැඩය යළි ආරම්භ කරන ආකාරයයි. එමෙන්ම අනාවැකි දෙකම ශුද්ධවන්තයන් අද්දකින මෙම දුෂ්කරතා සහිත කාලපරිච්ඡේදය කොතරම් දීර්ඝදැයි සඳහන් කරනවා. දානියෙල් (7:25 සහ 12:7) පොතේ ඇති අනාවැකි දෙකම ‘කාලයකටත් කාලවලටත් කාල භාගයකටත්’ යොමු දක්වනවා. බයිබල් විශාරදයන් සාමාන්‍යයෙන් මින් කාලවල් තුනහමාරක් අදහස් කරන බව කියනවා. එළිදරව් පොතේ, එම කාලපරිච්ඡේදයටම මාස 42ක් නැතහොත් දින 1,260ක් ලෙස යොමු දක්වනවා. (එළිදරව් 11:2, 3) දානියෙල් යොමු දක්වන කාලවල් තුනහමාර, අවුරුද්දකට දින 360 බැගින් වූ කාලවල් තුනහමාරක් බව මෙය සනාථ කරනවා. කෙසේවෙතත්, මේ දින 1,260 ඇරඹුණේ කවදාද?
18. (අ) දානියෙල් 12:7ට එකඟව, දින 1,260 අවසන් වීම සලකුණු කරන්නේ කුමක්ද? (ආ) ‘ශුද්ධවන්තයන්ගේ බලය විසිර වීම’ සිදු වූයේ කවදාද? එමෙන්ම, එය සිදු වූයේ කෙසේද? (ඇ) දින 1,260 ඇරඹුණේ කවදාද? එමෙන්ම, එම කාලය තුළදී, ආලේප ලත් අය ‘ගෝනි රෙදි ඇඳ අනාවැකි කීවේ’ කෙසේද?
18 දින 1,260 අවසන් වන්නේ, එනම්, “ශුද්ධවන්ත සෙනගගේ බලය විසිර වීම තීන්දු” කිරීම සිදු වන්නේ කවදාද යන්න පිළිබඳව අනාවැකිය ඉතා පැහැදිලියි. වර්ෂ 1918 මැද භාගයේදී, මුරටැඹ බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති වූ ජේ. එෆ්. රද’ෆ’ඩ් ඇතුළු ප්රමුඛ සාමාජිකයන්ව බොරු චෝදනා මත වැරදිකරුවන් කළ අතර, දිගු කාලීන සිර දඬුවම් නියම කර, බන්ධනාගාරගත කළා. දෙවිගේ ශුද්ධවන්තයන්ගේ වැඩය “විසිර වීම,” එනම් ඔවුන්ගේ බලය බෙලහීන කිරීම ඔවුන් ඇත්තෙන්ම අද්දැක්කා. වර්ෂ 1918 මැද භාගයේ සිට වසර තුනහමාරක් ආපස්සට ගණන් කළ විට, එය අපව 1914 අගට ගෙන යනවා. එම කාලයේදී, ආලේප ලත් අයගේ කුඩා කණ්ඩායම දරුණු පීඩා සඳහා සූදානම් වෙමින් සිටියා. පළමුවන ලෝක සංග්‍රාමය ඇරඹීමත් සමඟ ඔවුන්ගේ වැඩයට පැමිණි විරෝධතා ක්‍රමානුකූලව වැඩි වුණා. වර්ෂ 1915දී, ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ගෙන් ඇසූ මේ ප්රශ්නය පවා ඔවුන්ගේ වාර්ෂික පදය කරගත්තා: “මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට [පුළුවන්ද?]” (මතෙව් 20:22) එළිදරව් 11:3හි කලින් පවසා තිබූ ආකාරයට, දින 1,260ක කාලපරිච්ඡේදය ආලේප ලත් අයට දුක්ඛිත කාලයක් වුණා. එය හරියට ඔවුන් ගෝනි රෙදි ඇඳ අනාවැකි කීවා හා සමානයි. පීඩා තව තවත් නරක අතට හැරුණා. සමහරුන්ව බන්ධනාගාරගත කළා. තවත් අයට අඩන්තේට්ටම් කළා. තවත් අයට වද දුන්නා. වර්ෂ 1916දී, සමිතියේ මුල් සභාපති වූ සී. ටී. රසල්ගේ මරණයෙන් බොහෝදෙනෙක් අධෛර්යයට පත් වුණා. කෙසේවෙතත්, දේශනා කිරීමේ සංවිධානයක් හැටියට, මේ ශුද්ධවන්තයන්ව මරණයට පත් කිරීමේ අඳුරු කාලයෙන් පසුව සිදුවීමට තිබුණේ කුමක්ද?
19. ආලේප ලත් අය දිගු කාලයකට නිහඬ නොවන බව එළිදරව් 11වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය අපට සහතික කරන්නේ කෙසේද?
19 එළිදරව් 11:3, 9, 11හි ඇති සමාන්තර අනාවැකිය පෙන්වන්නේ, ‘සාක්ෂිකාරයන් දෙදෙනාව’ මැරුවාට පසුව, ප්‍රකෘතිමත් වන තුරු, ඔවුන් ටික කාලයකට පමණක් එනම්, දින තුනහමාරකට මැරී සිටි බවයි. ඒ හා සමානව, ශුද්ධවන්තයන් නිහඬව සිටින්න යන්නේ නැති බවත්, ඔවුන් ඉදිරියේ වැඩකටයුතු රාශියක් තිබුණු බවත් දානියෙල් 12වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය පෙන්නුම් කරනවා.
ඔවුන්ව “ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදු” කෙරේ
20. දානියෙල් 12:10ට අනුව, තම දුෂ්කර අද්දැකීම්වලින් පසු, ආලේප ලත් අය ලබන ආශීර්වාද මොනවාද?
20 කලින් සඳහන් කළ ආකාරයට, දානියෙල් මේ දේවල් ලියා තැබුවාට ඔහුට ඒවා තේරුම්ගන්න බැරි වුණා. ඒ කෙසේවෙතත්, “මේ දේවල තීන්දුව කිමෙක්ද” කියා ඔහු ඇසීමෙන් පැහැදිලි වන්නේ, පීඩා කරන්නන් අතින් මේ ශුද්ධවන්තයන් ඇත්තෙන්ම විනාශ වෙයිද කියා ඔහු කල්පනා කරන්න ඇති බවයි. දේවදූතයා මේ විදිහට උත්තර දුන්නා: “දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුද්‍රකොට තිබේ. බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇත්තෝ තේරුම්ගනිති.” (දානියෙල් 12:8-10) ශුද්ධවන්තයන්ට ස්ථිර බලාපොරොත්තුවක් තිබුණා! විනාශ වෙලා යනවා වෙනුවට, ඔවුන් පවිත්‍ර වෙන්න යනවා. එනම්, යෙහෝවා දෙවි ඉදිරියේ පවිත්‍ර ස්ථාවරයක් තබාගැනීමෙන් ආශීර්වාද ලබන්න යනවා. (මලාකී 3:1-3) ආත්මික කාරණා කෙරෙහි ඔවුන්ට ඇති තීක්ෂ්ණ බුද්ධිය, දෙවිගේ ඇස් ඉදිරියේ පවිත්‍රකම පවත්වාගැනීමට උපකාර වෙන්න යනවා. අනිත් අතට, ආත්මික දේවල් තේරුම්ගැනීම දුෂ්ට අය ප්‍රතික්ෂේප කරන්න යනවා. එහෙත්, මේ සෑම දෙයක්ම සිදු වෙන්න යන්නේ කවදාද?
21. (අ) දානියෙල් 12:11හි පුරෝකථනය කළ කාලපරිච්ඡේදය ආරම්භ වන්නේ කවර අවශ්‍යතා ඉටු වූවායින් පසුවද? (ආ) “දවස්පතා පූජාව” යනු කුමක්ද? එමෙන්ම එය පහ කළේ කවදාද? (298වන පිටුවේ කොටුව බලන්න.)
21 දානියෙල්ට මෙසේ කිව්වා: “දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.” ඉතින්, මේ කාලපරිච්ඡේදය ආරම්භ වන්නේ යම් අවශ්‍යතාවන් ඉටු වුණාට පසුවයි. “දවස්පතා පූජාව” නැතහොත් “අඛණ්ඩ පූජාව” පහ කළ යුතු වුණා.a (දානියෙල් 12:11, NW පාද සටහන) දේවදූතයා අදහස් කළ පූජාව කුමක්ද? එය යම් භූමික දේවමාළිගාවක ඔප්පු කළ සත්ව පූජාවක් නෙවෙයි. කලින් යෙරුසලමේ තිබූ දේවමාළිගාව ‘සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශයක්’ පමණයි. සැබෑ එක, පො.යු. 29දී ක්‍රිස්තුස් එහි උත්තම පූජකයා බවට පත් වූ විට ක්‍රියාත්මක වූ යෙහෝවාගේ මහත් ආත්මික දේවමාළිගාවයි. නිර්මල නමස්කාරය සඳහා දෙවිගේ විධිවිධානය නියෝජනය කරන මේ ආත්මික දේවමාළිගාව තුළ, ‘බොහෝදෙනෙකුගේ පව් උසුලන පිණිස ක්‍රිස්තුස් එක වරක් පූජා වූ’ නිසා, නිරන්තර පාප පූජා අවශ්‍ය වුණේ නැහැ. (හෙබ්‍රෙව් 9:24-28) එහෙත්, සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම මේ දේවමාළිගාවේ පූජා ඔප්පු කරනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘දෙවිගේ නාමයට ස්තුති කරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව ඔහුම කරණකොටගෙන නිතරම දෙවිට ඔප්පු කරමු.’ (හෙබ්‍රෙව් 13:15) මෙසේ මේ අනාවැකියේ පළමුවන අවශ්‍යතාව වූ “දවස්පතා පූජාව” පහ කිරීම ඇරඹුණේ 1918 මැද භාගයේදී, දේශනා වැඩය සහමුලින්ම වාගේ අත්හිටුවනු ලැබූ විටයි.
22. (අ) පාළු කරන “පිළිකුල” කුමක්ද? එමෙන්ම, එය පිහිටෙව්වේ කවදාද? (ආ) දානියෙල් 12:11හි පුරෝකථනය කළ කාලපරිච්ඡේදය ඇරඹුණේ කවදාද? එමෙන්ම, එය අවසන් වූයේ කවදාද?
22 දෙවන අවශ්‍යතාව එනම්, ‘පාළු කිරීම සිදු කරන පිළිකුල පිහිටුවීම’ ගැන කුමක් කිව හැකිද? දානියෙල් 11:31හි අපේ සාකච්ඡාවෙන් දුටු පරිදි මේ පිළිකුල මුලින්ම ජාතීන්ගේ සංගමයත් පසුව යළි මතු වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වුණා. ඒ දෙකම පිළිකුල්සහගත වන්නේ, පොළොව මත සාමය සඳහා එකම බලාපොරොත්තුව ලෙස ප්‍රශංසා ලබා තිබෙන නිසායි. මෙසේ, මේ ආයතන බොහෝදෙනෙකුගේ හෘදවල දෙවිගේ රාජ්‍යයට හිමි තැන ගෙන තිබෙනවා! ජාතීන්ගේ සංගමය නිල වශයෙන් යෝජනා කළේ, 1919 ජනවාරි මාසයේදීයි. එම අවස්ථාවේදී, දානියෙල් 12:11 සඳහන් අවශ්‍යතා දෙකම ඉටු වුණා. මෙලෙස, දින 1,290, වර්ෂ 1919 මුල් භාගයේදී ආරම්භ වී, 1922 සරත් සමය (උතුරු අර්ධගෝලයේ) දක්වා දිව ගියා.
23. දානියෙල් 12වන පරිච්ඡේදයේ පුරෝකථනය කළ දින 1,290 තුළදී, දෙවිගේ ශුද්ධවන්තයන් පවිත්‍ර ස්ථාවරයක් ලබාගැනීම සඳහා ප්‍රගතිශීලීව කටයුතු කළේ කෙසේද?
23 මේ කාලය තුළදී, ශුද්ධවන්තයන් දෙවිගේ ඇස් ඉදිරියේ ශුද්ධ පවිත්‍ර වී පිරිසිදු වීම සඳහා කටයුතු කළාද? ඔවුන් නිසැකවම එසේ කළා! වර්ෂ 1919 මාර්තු මාසයේදී, වොච් ටවර් සමිතියේ සභාපති සහ ඔහුගේ සමීප ආශ්‍රිතයන්ව සිරෙන් මුදනු ලැබුවා. පසුව ඔවුන්ට විරුද්ධව තිබූ බොරු චෝදනාවලින් ඔවුන්ව නිදොස් කළා. තමන්ගේ වැඩය කොහෙත්ම අවසන් වී නැති බව වටහාගනිමින්, ඔවුන් කඩිනමින්ම 1919 සැප්තැම්බර් මාසයේදී සමුළුවක් සංවිධානය කළා. එම අවුරුද්දේදීම, මුරටැඹ සඟරාවට සහයක සඟරාවක් මුල්ම වතාවට ප්‍රකාශයට පත් කළා. එය රන්වන් යුගය (දැන් පිබිදෙව්!) ලෙස මුලින්ම හැඳින්වූ අතර, මේ ලෝකයේ දූෂිතකම් අභීතව හෙළි කිරීමට මුරටැඹට සැමවිටම සහය වී තිබෙනවා. එමෙන්ම, දෙවිගේ සෙනඟට පවිත්‍රව සිටීමටද උපකාර කර තිබෙනවා. පුරෝකථනය කළ දින 1,290 අවසානයේදී, ශුද්ධවන්තයන් පවිත්‍ර සහ යථා තත්වයට ගෙනෙන ස්ථාවරයකට ළඟා වෙමින් සිටියා. වර්ෂ 1922 සැප්තැම්බර් මාසයේදී, මේ කාලපරිච්ඡේදය අවසන් වන කාලයේදීම වගේ, ඔවුන් අ.එ.ජ. ඔහයෝ, සීඩා පොයින්ට්හිදී සුවිශේෂ සමුළුවක් පැවැත්වුවා. එය දේශනා වැඩයට මහත් දිරිගැන්වීමක් ලබා දුන්නා. කෙසේවෙතත්, ඒ වෙද්දිත් තවදුරටත් ප්‍රගතිය ලැබීමේ අවශ්‍යතාව තිබුණා. එහෙත්, එම අවශ්‍යතාව සලකුණු කළ ඊළඟ කාලපරිච්ඡේදය දක්වා තිබුණා.
ශුද්ධවන්තයන්ට සන්තෝෂය
24, 25. (අ) දානියෙල් 12:12හි පුරෝකථනය කර ඇති කාලපරිච්ඡේදය කුමක්ද? තිබෙන සාක්ෂිවලට අනුව, එය ඇරඹුණේ සහ අවසන් වුණේ කවදාද? (ආ) දින 1,335හි ආරම්භයේදී ආලේප ලත් ඉතිරි කොටසේ ආත්මික තත්වය කුමක් වීද?
24 යෙහෝවාගේ දූතයා ශුද්ධවන්තයන් ගැන පැවසූ අනාවැකිය මෙම වදන්වලින් අවසන් කරනවා: “එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය, [සන්තෝෂවත්ය, NW].” (දානියෙල් 12:12) මේ කාලපරිච්ඡේදය පටන්ගන්නේ හෝ අවසන් වන්නේ කවදාද යන්න ගැන දේවදූතයා ඉඟි දෙන්නේ නැහැ. ඉතිහාසය පෙන්වන්නේ, එය ඊට කලින් පැවති කාලපරිච්ඡේදයේ නිමවීමත් සමඟම සිදු වන බවයි. එය එසේ නම්, එය 1922 සරත් සමයේ සිට 1926 වසන්තයේ (උතුරු අර්ධගෝලය) අග දක්වා දිවෙන්න අවශ්‍යයි. එම කාලපරිච්ඡේදය අවසානයේදී, ශුද්ධවන්තයන් සන්තෝෂයට පත් වුණාද? ඔව්, ඒ විශේෂ ආත්මික අර්ථයකින්.
25 වර්ෂ 1922දී පැවති (302වන පිටුවේ පෙන්වා ඇති) සමුළුවෙන් පසුව පවා, දෙවිගේ සමහර ශුද්ධවන්තයන් අතීතය සමඟ ඇලී සිටියා. ඔවුන්ගේ රැස්වීම්වලදී, ඒ වන විටත් මූලික පාඩම් පැවැත්වූයේ, බයිබලය සහ සී. ටී. රසල්ගේ ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (ඉංග්‍රීසියෙන්) යන පොත් කාණ්ඩ පදනම් කරගෙනයි. එම කාලයේදී, ප්රකටව පැවති ප්‍රසිද්ධ අදහසක් වර්ෂ 1925ට යොමු දැක්වූ අතර, නැවත නැඟිටීම සහ පොළොව පාරාදීසයක් බවට යළි පිහිටුවන වර්ෂය එය බව කියා සිටියා. මේ අනුව, බොහෝදෙනෙක් සේවය කරමින් සිටියේ දිනයක් මනසේ තබාගෙනයි. සමහරුන් මහජනයාට ප්‍රසිද්ධියේ දේශනා කිරීම උඩඟු ලෙස ප්‍රතික්ෂේප කළා. මෙය සන්තෝෂයට කරුණක් වුණේ නැහැ.
26. දින 1,335 ඉදිරියට ඇදෙනවාත් සමඟ ආලේප ලත් අයගේ ආත්මික තත්වය වෙනස් වූයේ කෙසේද?
26 කෙසේවෙතත්, දින 1,335 ඉදිරියට ඇදෙනවාත් සමඟ, මේ සියල්ලක්ම වෙනස් වෙන්න පටන්ගත්තා. සියලුදෙනාටම ක්ෂේත්‍ර දේවසේවයේ සහභාගි වීමට ස්ථිර විධිවිධාන පිහිටුවීමත් සමඟ දේශනා කිරීම ප්රමුඛ ස්ථානයට පැමිණියා. සෑම සතියකම රැස්වීම්වලදී මුරටැඹ පාඩම පවත්වන්න සැලසුම් යෙදුවා. දෙවිගේ සෙනඟට සම්පූර්ණ අවබෝධයක් ලබා දෙමින්, 1925 මාර්තු 1වනදා කලාපයෙහි, වර්ෂ 1914-19 අතර කාලපරිච්ඡේදයේ සිදු වූ සිද්ධීන් අළලා “ජාතියේ උපත” නම් ඓතිහාසික ලිපියක් පළ කළා. වර්ෂ 1925 ගෙවුණාට පසුව, ශුද්ධවන්තයන් තවදුරටත් දෙවිට සේවය කළේ හදිසි, නිශ්චිත දිනයක් මනසේ තබාගෙන නෙවෙයි. ඒ වෙනුවට, යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම ප්‍රධාන දෙය වුණා. මේ වැදගත් සත්‍යය වෙන කිසිමදාකට වඩා, 1926 ජනවාරි 1 මුරටැඹහි (ඉංග්‍රීසියෙන්) “යෙහෝවාට ගෞරව කරන්නේ කවුද?” යන ලිපියෙන් කාවද්දනු ලැබුවා. වර්ෂ 1926 මැයි මාසයේ පැවැත්වූ සමුළුවේදී, ගැළවීම නමැති පොත මුදාහැරියා. (302වන පිටුව බලන්න.) මෙය ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය වෙනුවට සකස් කළ අලුත් පොත් කාණ්ඩයෙන් එකක් වුණා. ශුද්ධවන්තයන් තවදුරටත් අතීතය දෙස බලමින් සිටියේ නැහැ. ඔවුන් නිසැකකමින් අනාගතය දෙසත්, ඉදිරියේ ඇති වැඩය දෙසත් බැලුවා. මේ නිසා, පුරෝකථනය කළ දින 1,335 ශුද්ධවන්තයන්ට සන්තෝෂවත් තත්වයකින් අවසන් වුණා.
27. දානියෙල් 12වන පරිච්ඡේදය පිළිබඳ සමස්ත අදහසක් ලැබීම, යෙහෝවාගේ ආලේප ලත් අය නිශ්චිත ලෙස හඳුනාගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද?
27 ඇත්ත වශයෙන්ම, එම ව්‍යාකූල යුගයෙන් සියලුදෙනාම ජයගත්තේ නැහැ. ‘බලා සිටීමේ’ අවශ්‍යතාව දේවදූතයා අවධාරණය කළේ මේ හේතුවෙන් වූ බවට කිසිම සැකයක් නැහැ. විඳදරාගත් සහ බලාපොරොත්තු තබාගෙන සිටි අය මහත් සේ ආශීර්වාද ලැබුවා. ඒ බව දානියෙල් 12වන පරිච්ඡේදය සාරංශ කිරීමේදී පැහැදිලි වෙනවා. පුරෝකථනය කළ ලෙස, ආලේප ලත් අය ආත්මික අර්ථයකින් ප්‍රකෘතිමත් වුණා නැතහොත් නැවත නැඟිටුවනු ලැබුවා. යුග ගණනාවක් පැරණි අභිරහස් අනාවරණය කිරීමට, දෙවිගේ වචනය සම්බන්ධයෙන් විශිෂ්ට තීක්ෂ්ණ බුද්ධියක් ඔවුන්ට දෙනු ලැබූ අතර, දේවවචනය ‘ගවේෂණය කිරීමට’ ඔවුන් ශුද්ධාත්ම බලයේ මඟ පෙන්වීමද ලැබුවා. යෙහෝවා ඔවුන්ව පවිත්‍ර කර, ආත්මිකව ගත් කල, තාරකා මෙන් බබළන්න සැලැස්සුවා. ප්‍රතිඵලයක් හැටියට, ඔවුන් බොහෝදෙනෙකුව යෙහෝවා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ස්ථාවරයකට ගෙන ආවා.
28, 29. “අන්තිම කාලය” එහි නිමාවට ළඟා වෙනවාත් සමඟම අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?
28 ‘මහෝත්තමයාගේ ශුද්ධවන්තයන්ව’ හඳුනාගැනීම සඳහා මෙතරම් අනාවැකිමය ලකුණු තිබියදීත්, ඔවුන්ව හඳුනාගැනීමට සහ ආශ්‍රය කිරීමට අසමත් වීම ගැන කීමට, නිදහසට කරුණක් තිබිය හැකිද? ගණනින් අඩු වන මෙම ආලේප ලත් පංතිය සමඟ යෙහෝවාට සේවය කිරීමෙහි හවුල් වන මහත් සමූහයට පුදුමාකාර ආශීර්වාද රැස් කර තිබෙනවා. දෙවිගේ පොරොන්දු ඉටුවීම කෙරෙහි අප සියලුදෙනාම බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි. (හබක්කුක් 2:3) අපගේ වකවානුවේදී, උතුම් අධිපතියා වන මිකායෙල් දශක ගණනාවක් පුරා දෙවිගේ සෙනඟ ඉදිරියේ නැඟී සිට තිබෙනවා. ඉතා ඉක්මනින්, පත් කරන ලද දිව්‍ය වදකයා ලෙස, ඔහු මේ දේවල පිළිවෙළට විරුද්ධව කටයුතු කරන්න යනවා. ඔහු එසේ කරද්දී, ඔබේ ස්ථාවරය කුමක් වනු ඇද්ද?
29 එම ප්‍රශ්නයට උත්තරය රඳා පවතින්නේ, අඛණ්ඩතාවෙන් යුත් ජීවිතයක් ගත කරන්න අප දැන් තෝරාගන්නවාද නැද්ද යන්න මතයි. “අන්තිම කාලය” එහි නිමාවට ළඟා වෙනවාත් සමඟම, එසේ කිරීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත් කිරීම සඳහා දානියෙල් පොතේ අවසාන පදය අපි සලකා බලමු. දානියෙල් තම දෙවි ඉදිරියේ සිටියේ කෙසේද සහ අනාගතයේදී ඔහු දෙවි ඉදිරියේ සිටින්න යන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරන්න ඊළඟ පරිච්ඡේදය අපට උපකාර කරනවා.
[පාදසටහන]
a ග්‍රීක් සෙප්ටූඅජින්ට්හි පරිවර්තනය කර ඇත්තේ නිකම්ම “පූජාව” ලෙසයි.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• මිකායෙල් “නැඟිටින්නේ” කිනම් කාලපරිච්ඡේදයක් තුළද? එමෙන්ම, ඔහු ‘නැඟිටිනු ඇත්තේ’ කෙසේද? කවදාද?
• දානියෙල් 12:2හි යොමු දක්වන්නේ කිනම් ආකාරයේ නැවත නැඟිටීමකටද?
• මේ දින ආරම්භ වන්නේ සහ අවසන් වන්නේ කවදාද?
දානියෙල් 12:7හි සඳහන් කාලවල් තුනහමාර
දානියෙල් 12:11හි පුරෝකථනය කළ දින 1,290
දානියෙල් 12:12හි පුරෝකථනය කළ දින 1,335
• යෙහෝවාගේ සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීමට, දානියෙල් 12වන පරිච්ඡේදයට අවධානය යොමු කිරීම අපට උපකාර කරන්නේ කෙසේද?
[298වන පිටුවේ කොටුව]
දවස්පතා පූජාව පහ කිරීම
දානියෙල් පොතේ, “දවස්පතා පූජාව” යන ප්‍රකාශය පස් වතාවක් සඳහන් වෙනවා. එය යොමු දක්වන්නේ, යෙහෝවා දෙවිට ඔහුගේ සෙනඟ විසින් නොකඩවාම පුද කරන “තොල්වල ඵල” වන ප්‍රශංසාව නමැති පූජාවටයි. (හෙබ්‍රෙව් 13:15) දානියෙල් 8:11, 11:31 සහ දානි 12:11හි, එහි පුරෝකථනය කළ පහ කිරීමට, යොමු දක්වා තිබෙනවා.
ලෝක සංග්රාම දෙකේදීම, “උතුරු දිශාවේ රජ” සහ “දකුණු දිශාවේ රජු” යන අයගේ පාලන ක්‍රම දෙකේදීම යෙහෝවාගේ සෙනඟ දරුණු පීඩා වින්දා. (දානියෙල් 11:14, 15) “දවස්පතා පූජාව” පහ කිරීම සිදු වූයේ, Iවන ලෝක සංග්‍රාමය අවසන් වෙනවාත් සමඟ, එනම් 1918 මැද භාගයේදී, දේශනා වැඩය සම්පූර්ණයෙන්ම වාගේ තාවකාලිකව අත්හිටුවනු ලැබූ විටයි. දෙවන ලෝක සංග්‍රාමය අතරතුරේදී, ඒ හා සමානවම එංගලන්ත-අමෙරිකානු ලෝක බලය විසින් දින 2,300කට “දවස්පතා පූජාව” ‘පහ කරනු’ ලැබුවා. (දානියෙල් 8:11-14; මේ පොතේ 10වන පරිච්ඡේදය බලන්න.) බයිබලයේ නිශ්ච්ත ලෙස සඳහන් නොකළ කාලපරිච්ඡේදයකට, නාට්සි “සේනා” විසින්ද එය පහ කරනු ලැබුවා.—දානියෙල් 11:31; මේ පොතේ 15වන පරිච්ඡේදය බලන්න.
[301වන පිටුවේ වගුව⁄පින්තූර]
දානියෙල් පොතේ සඳහන් අනාවැකිමය කාලපරිච්ඡේද
කාලවල් සත (අවුරුදු 2,520): පො.යු.පෙ. 607 ඔක්තෝබර් සිට
දානියෙල් 4:16, 25 පො.යු. 1914 ඔක්තෝබර් දක්වා
(මෙසියානු රාජ්‍යය පිහිටෙව්වා.
මේ පොතේ 6වන පරිච්ඡේදය බලන්න.)
කාලවල් තුනහමාර 1914 දෙසැම්බර් සිට 1918 ජූනි දක්වා
(දින 1,260): (ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අඩන්තේට්ටම්
දානියෙල් 7:25; 12:7 කළා. මේ පොතේ 9වන පරිච්ඡේදය බලන්න.)
රැයවල් 2,300ක් සහ 1938 ජූනි 1 හෝ 15 සිට
දාවල්: 1944 ඔක්තෝබර් 8 හෝ 22 දක්වා
දානියෙල් 8:14 (“මහත් සමූහය” මතු වී, වැඩි වෙයි.
මේ පොතේ 10වන පරිච්ඡේදය බලන්න.)
සති 70 (අවුරුදු 490): පො.යු.පෙ. 455 සිට පො.යු. 36 දක්වා
දානියෙල් 9:24-27 (මෙසියස්ගේ පැමිණීම සහ ඔහුගේ
භූමික දේවසේවය. මේ පොතේ 11වන
පරිච්ඡේදය බලන්න.)
දින 1,290: 1919 ජනවාරි සිට
දානියෙල් 12:11 1922 සැප්තැම්බර් දක්වා
(ආලේප ලත් ක්‍රිස්තියානීන් පිබිදී
ආත්මිකව ප්‍රගතිය ලබයි.)
දින 1,335: 1922 සැප්තැම්බර් සිට 1926 මැයි දක්වා
දානියෙල් 12:12 (ආලේප ලත් ක්‍රිස්තියානීන්
සන්තෝෂවත් තත්වයට පත් වෙයි.)
[287වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ ප්රමුඛ සේවකයන්ව අසාධාරණ ලෙස අ.එ.ජ. ජෝර්ජියා, ඇට්ලන්ටාහි රාජ්‍ය සිරභාරයට යැව්වා. වමේ සිට දකුණට: (වාඩි වී) ඒ. එච්. මැක්මිලන්, ජේ. එෆ්. රද’ෆ’ඩ්, ඩබ්ලිව්. ඊ. වැන් ඇම්බ’ග්; (සිටගෙන) ජී. එච්. ෆිෂර්, ආර්. ජේ. මාටින්, ජී. ඩිචෙකා, එෆ්. එච්. රොබින්සන් සහ සී. ජේ. වුඩ්ව’ත්
[299වන පිටුවේ පින්තූර]
1919දී (ඉහළ) සහ 1922දී (පහළ) අ.එ.ජ. ඔහයෝ, සීඩා පොයින්ට්හිදී සුවිශේෂ සමුළු පැවැත්වුවා
[302වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]