5වන පරිච්ඡේදය
මැවීමේ බලය—“අහසේද පොළොවේද සැදුම්කරුවාණෝ”
1, 2. හිරු යෙහෝවාගේ මැවීමේ බලය නිරූපණය කරන්නේ කෙසේද?
ඔබ කවදා හෝ සීතල රාත්‍රියක ගිනි මැලයක් අසල රැඳී සිට තිබෙනවාද? මේ ගිනි මැලයෙන් විහිදෙන රශ්මියේ උණුසුම විඳීමට ඔබ ඊට සරිලන දුරකින් සිට ඔබේ දෑත දිගු කරගෙන සිටින්නට ඇති. ඔබ පමණට වඩා ඊට ළං වූවා නම්, දැනෙන රශ්මිය ඔබට දරාගන්ට බැරි වෙනවා නියතයි. ඔබ අඩියක් දෙකක් පසුපසට ගියා නම්, රාත්‍රියේ සිසිල් සුළං නිසා ඔබට සීතලක් දැනේවි.
2 දවස පුරා අපේ සම උණුසුම් කරන “ගිනි මැලයක්” තියෙනවා. මේ “ගිනි මැලය” ඇවිළෙන්නේ කිලෝමීටර මිලියන 150ක් දුරින්.a එතරම් දුරක තිබෙන හිරුගෙන් පැමිණෙන රශ්මියෙන් ඔබව උණුසුම් කරන්ට හිරුට කොපමණ බලයක් තිබෙනවා විය යුතුද! එහෙත්, හරියටම නිවැරදි දුරක සිට පොළොව එම අතිමවිතාකාර තාප න්‍යෂ්ටික ඌෂ්මකය වටා භ්‍රමණය වෙනවා. ඕනෑවට වඩා ළඟින් තිබුණොත් පෘථිවියේ ජලය වාෂ්ප වෙයි. ඕනෑවට වඩා ඈත් වුණොත් එය අයිස් බවට මිදෙයි. මේ අන්ත දෙකේම පොළොව තිබුණා නම් කිසිම ජීවියෙක් පවතින්නේ නැහැ. පොළොව මත ජීවිතයට අත්‍යවශ්‍ය වූ මේ හිරු එළිය පිරිසිදුයි, කාර්යක්ෂමයි, ඒ වගේම එය දැකීම ඉතා ප්‍රසන්න දෙයක් බව නොකිවමනායි.—දේශනාකාරයා 11:7.
3. හිරු අපට කියා පාන වැදගත් සත්‍යය කුමක්ද?
3 ඒ කෙසේවෙතත්, මෙම හිරු මත තම ජීවිතය රඳා පැවතුණද, වැඩිදෙනෙක් එය සැහැල්ලුවට ගන්නවා. හිරුගෙන් තමන්ට ඉගෙනගන්ට හැකි දෙය ඔවුන් වටහාගන්නේ නැහැ. බයිබලය යෙහෝවා ගැන කියන්නේ මෙසේයි. ‘ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළ කළේය.’ (ගීතාවලිය 74:16) ‘අහසේද පොළොවේද . . . සැදුම්කරුවා වූ’ යෙහෝවාට හිරු ගෞරවය ගෙනෙයි. (ගීතාවලිය 19:1; 146:6) එය හුදෙක් යෙහෝවාගේ අතිමහත් මැවීමේ බලය ගැන අපට උගන්වන අහස් ගැබේ ගිණිය නොහැකි මැවිලිවලින් එකක් පමණයි. අහස් ගැබේ මෙම මැවිලි සමහරක් දෙස දැන් අපි සමීප බැල්මක් හෙළමු. අනතුරුව පොළොව කෙරෙහිත් ඒ මත වැජඹෙන ජීවය කෙරෙහිත් අපේ අවධානය යොමු කරමු.
“නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න”
4, 5. අපේ හිරු කොතරම් බලවත්ද? කොතරම් විශාලද? එහෙත් එය වෙනත් තාරකාවන් සමඟ සැසඳෙන්නේ කෙසේද?
4 ඔබ දන්නා පරිදි, අපගේ හිරු තරුවක්. එය අප රාත්‍රියේ දකින තරුවලට වඩා ලොකුවට පෙනෙන්නේ අනික් තරුවලට වඩා එය අපට ළඟින් පිහිටා ඇති නිසයි. එය කොතරම් බලවත්ද? හිරුගේ කේන්ද්‍රය හෙවත් මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,50,00,000ක් පමණ වෙනවා. ඔබ හිරුගේ කේන්ද්‍රයෙන් අල්පෙනෙත්ති හිසක තරම් කොටසක් ගෙන එය පොළොව මත තැබුවොත්, එම ඉතා කුඩා තාප ප්‍රභවයේ සිට කිලෝමීටර 140ක දුරකවත් සිටගෙන හානියක් නොවී සිටීමට ඔබට හැකි වන්නේ නැහැ! සෑම තත්පරයකම හිරුගෙන් නිකුත් වන ශක්තිය, න්‍යෂ්ටික බෝම්බ මිලියන සිය ගණනක පිපිරීමකින් ඇති වන ශක්තියට සමානයි.
5 අපගේ හිරු කොතරම් අතිමහා දැවැන්තයෙකුද කියතොත්, අපගේ පෘථිවිය මෙන් වූ පෘථිවි ගෝල 13,00,000ක් හිරු තුළ ‘ගබඩා’ කළ හැකියි. ඇත්තටම හිරු ඒ තරම්ම අසාමාන්‍ය ලෙස දැවැන්ත තාරකාවක්ද? නැහැ. තාරකා විශේෂඥයන් එය හඳුන්වන්නේ කහ මිට්ටා යනුවෙන්. “තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය” කියා ප්‍රේරිත පාවුල් ලීවා. (1 කොරින්ති 15:41) එම වදන් කොතරම් සත්‍යයක්දැයි ඔහුට දැනගැනීමට හැකිකමක් තිබුණේ නැහැ. එක්තරා තාරකාවක් තිබෙනවා. එය කොයිතරම් දැවැන්තද කිවහොත්, එය හරියටම දැන් හිරු තිබෙන තැන තැබුවොත්, අපගේ පෘථිවිය තිබෙනු ඇත්තේ එය ඇතුලෙයි. තවත් පතාක යෝධ තරුවක් ඒ අයුරින්ම තැබුවොත්, එය සෙනසුරු ග්‍රහයා දක්වා වසාගන්නවා ඇති. නමුත් සෙනසුරු ග්‍රහයා පිහිටා තිබෙන්නේ අපේ පෘථිවියේ සිට අතිවිශාල දුරකින්. ප්‍රබල තුවක්කුවකින් නිකුත් වන වෙඩි උණ්ඩයක් පිට වන වේගය මෙන් හතළිස් ගුණයක වේගයකින් ගමන් කරන අජටාකාශ යානයකට ඒ දුර යෑමට වසර හතරක් ගත වේවි!
6. තාරකාවල සංඛ්‍යාව මිනිස් ඇසින් කිසිවිටෙකත් ගිණිය නොහැකි බව බයිබලය පෙන්වන්නේ කෙසේද?
6 තාරකාවල විශාලත්වයට වඩා පුදුමයක් වන්නේ ඒවායේ සංඛ්‍යාවයි. ඇත්ත වශයෙන්ම බයිබලය කියා පාන්නේ, “මුහුදු වැලි” ගණින්ට බැරුවාක් මෙන්, තාරකාවන්ද කොහොමටවත් ගණින්ට බැරි බවයි. (යෙරෙමියා 33:22) අපේ පියවි ඇසට දකින්ට පුළුවන් ප්‍රමාණයට වඩා බොහෝ වැඩි ගණනක් තාරකාවන් තිබෙන බව මෙම ප්රකාශනයෙන් කියා පානවා. ඇත්තෙන්ම යෙරෙමියා වැනි බයිබල් ලේඛකයෙක් රාත්‍රියේ අහස දෙස බලා පෙනෙන තරු ගණින්ට උත්සාහ කළා නම්, ඔහුට ගණින්ට හැකි වන්නේ තාරකා තුන්දහසක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් පමණයි. මන්ද, පැහැදිලි රාත්‍රියක අහස දෙස බලන යමෙකුට, කිසි ආධාරකයක් නොමැතිව සාමාන්‍ය ඇසකින් දැකගත හැකි වන්නේ තාරකාවන් එතරම් සංඛ්‍යාවක් පමණක් වීමයි. එම සංඛ්‍යාව වැලි අහුරක තිබෙන වැලි කැට සංඛ්‍යාවක් සමඟ සැසඳිය හැකි තරම්. එසේ නම්, යථාර්ථවාදීව බලන කල, මුළු තාරකාවන් ගණන මුහුදේ වැලිවලට සමානයි. ඒවා කොහොමටවත් ගණනය කළ නොහැකියි.b එවැනි සංඛ්‍යාවක් ගණනය කළ හැක්කේ කාටද?
7. (අ) අපගේ ක්ෂීරපථ මන්දාකිනියේ කොපමණ තාරකා සංඛ්‍යාවක් අඩංගු වේද? තවද එම සංඛ්‍යාව කොපමණ විශාලද? (ආ) මන්දාකිනි සංඛ්‍යාව ගණනය කිරීමට තාරකා ශාස්ත්‍රඥයන්ට අසීරු වී තිබීම සැලකිය යුතු කාරණයක් වන්නේ මන්ද? මෙය යෙහෝවාගේ මැවීමේ බලය ගැන අපට උගන්වන්නේ කුමක්ද?
7 යෙසායා 40:26හි පිළිතුරු දෙන්නේ මෙසේයි. ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න. මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය; ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’ ගීතාවලිය 147:4හි පවසන්නේ, ‘ඔහු තාරකාවන් ගණන් කරයි’ යනුවෙනුයි. ‘තාරකාවන්හි ගණන’ කීයද? මෙය එතරම්ම සරල ප්‍රශ්නයක් නොවේ. තාරකා ශාස්ත්‍රඥයන් නිගමනය කරන්නේ අපගේ ක්ෂීර පථයේ පමණක් තාරකාවන් බිලියන 100කට වඩා තිබෙන බවයි.c නමුත් අපගේ ක්ෂීර පථය හුදෙක් එක මන්දාකිනියක් පමණයි. මෙවන් තාරකා පොකුරු බොහොමයක තවත් බොහෝ තාරකාවන් අඩංගුයි. මන්දාකිනි කොපමණ සංඛ්‍යාවක් තිබෙනවාද? ඇතැම් තාරකා ශාස්ත්‍රඥයන් ගණනය කර තිබෙන හැටියට බිලියන 50ක් තිබෙනවා. තවත් අය ගණනය කර ඇත්තේ බිලියන 125ක් පමණ තිබිය හැකි බවයි. මෙයින් පෙනෙන්නේ, පවතින මන්දාකිනි ගණන තීරණය කරන්නට මිනිසාට බැරි බවයි. එසේ නම් ඒවායේ පවතින බිලියන ගණන් තාරකාවල නියම සංඛ්‍යාව මිනිසාට ගණනය කරන්ට බැරි බව නොකිවමනායි. එහෙත්, යෙහෝවා එම සංඛ්‍යාව හරියටම දන්නවා. එපමණක්ද නොවේ, ඔහු ඒ එක් එක් තාරකාවට ඊට ආවේණික නමක්ද දී තිබෙනවා.
8. (අ) ක්ෂීරපථ මන්දාකිනියේ තරම ඔබ පැහැදිලි කරනු ඇත්තේ කෙසේද? (ආ) යෙහෝවා විසින් තාරකා මණ්ඩලවල චලන මෙහෙයවනු ලබන්නේ කුමක් මගින්ද?
8 මන්දාකිනිවල විශාලත්වය ගැන අපි ගැඹුරින් කල්පනා කර බලන විට, දෙවි කෙරෙහි අපගේ ගරු බිය දනවන හැඟීම තව තවත් වැඩි වෙනවා. ක්ෂීරපථ මන්දාකිනියේ විෂ්කම්භය ආලෝක වර්ෂ 1,00,000ක පමණ දුරක් බව ගණනය කර තිබෙනවා. එක් ආලෝක කදම්බයක් තත්පරයකට කිලෝමීටර 3,00,000ක වේගයෙන් ගමන් කරනවායයි සිතන්න. එසේ නම් අපගේ මන්දාකිනිය තරණය කිරීමට අවුරුදු 1,00,000ක් ඊට ගත වේවි! ඇරත් ඇතැම් මන්දාකිනි අපගේ මන්දාකිනියට වඩා බොහෝ වාර ගණනක් විශාලයි. යෙහෝවා මේ තාරකා මණ්ඩල හරියට නිකම්ම දිග රෙද්දක් මෙන් “දිගහරින” බව බයිබලය අපට කියයි. (ගීතාවලිය 104:2) එමෙන්ම මෙම මැවිලිවල චලනයද මෙහෙයවනු ලබන්නේ ඔහු විසින්. කුඩා අන්තස්තාරීය (තාරකා අතර) දූවිලි අංශුවක සිට අතිමහා දැවැන්ත මන්දාකිනි දක්වා සෑම දෙයක්ම චලනය වන්නේ දෙවි විසින් ක්‍රියාත්මක කර ඇති භෞතික නීතිවලට එකඟවයි. (යෝබ් 38:31-33) මෙම තාරකා මණ්ඩලවල රමණීය චලනය විද්‍යාඥයන් සමාන කර ඇත්තේ විසිතුරු බැලේ නාට්‍යයක රැඟුම් රඟන්නන්ගේ මනබන්ධනීය නැටුම් රංග විලාසයටයි! එහෙමනම්, මේ සියලු දේවල් මැවූ තැනැත්තා ගැන සිතා බලන්න! මේ තරම් අතිමහත් මැවීමේ බලයක් සතු දෙවි ඉදිරියේ ඔබ ගරු බිය ඇතුව සිටීමට පෙලඹෙන්නේ නැද්ද!
‘සිය බලයෙන් පොළොව සෑදූ තැනැත්තා’
9, 10. අපගේ සෞරග්‍රහ මණ්ඩලය, බ්‍රහස්පති, පෘථිවිය සහ චන්ද්‍රයා පිහිටා තිබෙන විදිහ ගැන කල්පනා කර බලන කල යෙහෝවාගේ බලය විද්‍යමාන වන්නේ කෙසේද?
9 යෙහෝවාගේ මැවීමේ බලය අපේ නිවස එනම් පෘථිවිය තුළ පැහැදිලිව දිස් වෙනවා. ඔහු පෘථිවිය මෙම අතිදැවැන්ත විශ්වය තුළ ඉතා සුපරීක්ෂාවෙන් යුතුව නියම තැන තබා තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, බොහෝ මන්දාකිනි අපේ පෘථිවිය මෙන් ජීවිතය පවත්වාගත හැකි ග්‍රහයන් රඳවාගැනීමට සුදුසු ස්ථාන නොවිය හැකි බවයි. පෙනෙන විදිහට අපගේ මෙම ක්ෂීරපථ මන්දාකිනියේ වැඩි කොටසක් නිර්මාණය කළේ ජීවිතය රඳවාගැනීමට නොවෙයි. මන්දාකිනි කේන්ද්‍රය තාරකාවලින් ගහනව තිබෙනවා. එහි විකිරණය ඉතා ඉහළ බැවින් තාරකාවන් එකිනෙක හා ගැටී නොගැටී යෑමට ඇති අවස්ථා බහුලයි. මන්දාකිනියේ පිටත දාවලුවල, ජීවිතයට අත්‍යවශ්‍ය වූ සංඝටක බොහොමයක් නැහැ. මේ අනුව අපගේ සෞරග්‍රහ මණ්ඩලය නියම ලෙස පිහිටුවා තිබෙන්නේ එවන් අන්ත දෙකක හරි මැදයි.
10 අපගේ පෘථිවිය ඈත සිටින තවත් පතාක යෝධයෙකුගෙන් ආරක්ෂා වෙලා. ඒ තමයි, බ්‍රහස්පති ග්‍රහයා. පෘථිවියේ ප්‍රමාණයට වඩා දහස් ගුණයකින් විශාල මේ බ්‍රහස්පති ග්‍රහයා තුළ අතිමහත් වූ ගුරුත්වාකර්ෂණ බලයක් තිබෙනවා. මෙහි ප්‍රතිඵලය කුමක්ද? එය විශ්වය හරහා වේගයෙන් ගමන් කරන වස්තූන් ඇදගනියි නැතහොත් ඒවායේ ගමන් මඟ වෙනස් කරයි. බ්‍රහස්පති ග්‍රහයා නොසිටියා නම්, පෘථිවිය කරා ඇවිත් හැපෙන ආකාශ වස්තූන් දැනට වඩා 10,000ක ගුණයකින් වැඩි බව විද්‍යාඥයන් ගණනය කර තිබෙනවා. අපේ නිවස වූ පෘථිවියට ළඟින්ම සිටින්නේ අපේ හිතවත් චන්ද්‍රයායි. එය අසාමාන්‍ය චන්ද්‍රිකාවක්. චන්ද්‍රයා හුදෙක් අපේ පෘථිවිය සඳකැන්වලින් නහවන “රෑ පහනක්” වෙනවාට වඩා, පෘථිවිය ස්ථිර ඇලයක තබාගැනීමට උදව් වෙනවා. අප වසර පුරා අද්දකින ඍතු ඇති වන්නේ පෘථිවියේ එම ඇලය නිසයි. එය මිහිමත ජීවිතයට ඉතා වැදගත් වූ තවත් ආශීර්වාදයක්.
11. පෘථිවියේ වායුගෝලය ආරක්ෂාකාරි ස්තරයක් ලෙස සැලසුම් කර ඇත්තේ කෙසේද?
11 යෙහෝවාගේ මැවීමේ බලය, පෘථිවි සැලැස්මේ සෑම අංගයකම පැහැදිලිව දක්නට තිබෙනවා. ආරක්ෂක ස්තරයක් ලෙස ක්‍රියා කරන වායුගෝලය ගැන සලකා බලන්න. හිරු වෙතින් ඉතා හිතකර කිරණ මෙන්ම මාරාන්තික කිරණද නිකුත් වෙනවා. මාරාන්තික කිරණ පෘථිවියේ ඉහළ පිහිටි වායුගෝලය මතට පතිත වන විට, ඒවා සාමාන්‍ය ඔක්සිජන් වායුව ඕසෝන් වායුව බවට හරවනවා. එලෙස ඇති වන ඕසෝන් ස්තරය එම කිරණවලින් වැඩි හරියක් උරාගන්නවා. මේ අනුව අපේ පෘථිවිය සැලසුම් කර තිබෙන්නේ ස්වයං ආරක්ෂක වැස්මක් ඇතුවයි!
12. වායුගෝලීය ජල චක්‍රය යෙහෝවාගේ මැවීමේ බලය නිරූපණය කරන්නේ කෙසේද?
12 මෙය අපගේ වායුගෝලයේ හුදෙක් එක් අංගයක් පමණයි. සංකීර්ණ වායු සම්මිශ්‍රණයක් තිබීම නිසා පොළොව මතු පිට හෝ ඊට යාබදව ජීවත් වන සියලු ජීවීන්ට අවශ්‍ය කරන්නාවූ වාතාවරණයක් බිහි වී තිබෙනවා. වායු ගෝලයේ අරුම පුදුමයන් අතර තිබෙන තවත් දෙයක් නම්, ජල චක්රයයි. සෑම වසරකම හිරු කිරණ මගින් පොළොවේ සාගර සහ මුහුදුවලින් ජලය ඝන කිලෝමීටර 4,00,000ක් පමණ වාෂ්පීකරණය වෙනවා. ජලයෙන් වලාකුළු සෑදෙන අතර, ඒවා වායුගෝලීය සුළං මගින් ගුවන සිසාරා ඈතින් ඈතට විහිදී යනවා. දැන් පෙරා පිරිසිදු කරනු ලැබ ඇති මෙම ජලය, වර්ෂාව, හිම, අයිස් ලෙස වැටෙමින් භූමියේ ජල සැපයුමේ අවශ්‍යතාව පිරිමසයි. මෙය සිදු වන්නේ හරියටම දේශනාකාරයා 1:7හි පවසන ලෙසටමයි. “සියලු ගංගා මුහුදට යති. එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.” එවන් චක්‍රයක් ක්‍රියාත්මක වීමට සැලැස්විය හැක්කේ යෙහෝවාට පමණයි.
13. පොළොවේ වැඩෙන ශාකවල සහ එහි පස තුළ මැවුම්කරුගේ බලය පිළිබඳ කිනම් සාක්ෂි අපට දැකගත හැකිද?
13 අපි කොහේ බැලුවත් ජීවය තුළින් යෙහෝවාගේ බලය පිළිබඳ එමට සාක්ෂි අපි දකිමු. තට්ටු 30ක් උස ගොඩනැඟිල්ලකටත් වඩා උසැති දැවැන්ත රෙඩ්වුඩ් ගසේ සිට අපගේ ආශ්වාසය සඳහා බොහෝ සෙයින් ඔක්සිජන් වායුව සපයන්නාවූ සාගරයේ බහුල වූ ක්ෂුද්‍ර ජීවි පැළෑටි දක්වා බැලූ බැලූ තැන දක්නට ලැබෙන්නේ යෙහෝවාගේ මැවීමේ බලයයි. මුළු පස් තට්ටුවම පිරී ඇත්තේ ජීවීන්ගෙන්. පණුවන්, දිලීර, ක්ෂුද්‍ර ජීවීන් යන මේ සියල්ල සංකීර්ණ ආකාරවලින් එකට එකතු වී පැළෑටි වැඩීමට සලස්වනවා. භූමියට පණ තිබේය යන අදහස බයිබලයේ ඉදිරිපත් කරන්නේ නිකමට නොවේ.—උත්පත්ති 4:12, NW.
14. ඉතා කුඩා පරමාණුවක් තුළ පවා ගබඩා වී තිබෙන්නේ කිනම් ගුප්ත බලයක්ද?
14 යෙහෝවා “තමන්ගේ බලයෙන් පොළොව සෑදූ” බවට කිසිම සැකයක් නැහැ. (යෙරෙමියා 10:12) කුඩාම මැවිලි තුළ පවා දෙවිගේ බලය දකින්ට පුළුවන්. නිදසුනක් වශයෙන්, පරමාණු මිලියනයක් පමණ එකින් එක පිළිවෙළට තැබුවහොත් එය මිනිස් හිසකෙස් ගසක් තරම්වත් ඝනකම් නැහැ. පරමාණුවක් ගෙන එය තට්ටු 14කින් සමන්විත ගොඩනැඟිල්ලක් තරම උසට ඇද්දොත්, එහි න්‍යෂ්ටිය පිහිටනු ඇත්තේ කුඩා ලුණු කැටයක් තරමින් එහි හරි මැද හත්වෙනි මහලෙහියි. එහෙත්, න්‍යෂ්ටික පිපිරුමකදී පිට වන අතිමහත් වූ බලයේ උල්පත වන්නේ ඉතා කුඩා වූ එම න්‍යෂ්ටියයි!
“හුස්ම ඇති සියල්ලෝ”
15. විවිධ වන සතුන් ගැන සාකච්ඡා කිරීම මගින් යෙහෝවා යෝබ්ට ඉගැන්වූයේ කිනම් පාඩමද?
15 යෙහෝවාගේ මැවීමේ බලය පිළිබඳ තවත් අපූරු සාක්ෂියක් පොළොව මත ජීවත් වන සත්ව ජීවීන් තුළ සොයාගැනීමට පුළුවන්. ගීතාවලිය 148වන පරිච්ඡේදයෙහි යෙහෝවාට ප්‍රශංසා කරන බොහොමයක් දේවල් ලැයිස්තුගත කර තිබෙනවා. මෙහි 10වෙනි පදයට ‘තිරිසනුන් හා සියලු සිව්පාවුන්’ ඇතුළත් කර තිබෙනවා. මිනිසා මැවුම්කරුහට ගරු බිය පෙන්විය යුත්තේ මන්ද කියා පෙන්වා දීමට යෙහෝවා එක් අවස්ථාවක සිංහයා, සීබ්රා, කුළුහරකා, බෙහෙමොත් (හෙවත් හිපපොටේමස්) සහ ලෙවීයාතන් (පෙනෙන විදිහට කිඹුලා) ගැන යෝබ්ට විස්තර කළා. මින් කාවද්දන්නේ කුමක්ද? මිනිසා මෙම ශක්තිමත්, බියකරු, හීලෑ කළ නොහැකි සතුන් ඉදිරියේ ගරු බියෙන් යුතුව බලා සිටී නම්, ඔවුන්ගේ මැවුම්කරු ගැන ඔහුට හැඟී යා යුත්තේ කෙසේද?—යෝබ් 38-41 දක්වා පරිච්ඡේද.
16. යෙහෝවා මවා තිබෙන සමහරක් කුරුල්ලන් ගැන ඔබගේ සිතට කාවදින්නේ කුමක්ද?
16 ගීතාවලිය 148:10හි ‘පියාඹන පක්ෂීන්’ ගැනද සඳහන් කරනවා. විවිධ පක්ෂි වර්ග ගැන සිතා බලන්න! යෙහෝවා යෝබ්ට පැස්බරා ගැන කතා කළා. ඌ “අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.” ඇත්ත වශයෙන්ම, අඩි අටක් පමණ උසැති මෙම පක්ෂියාට පියාසර කිරීමට නොහැකි වුවද, මීටර් 4.5ක පමණ දුරකට අඩි තබමින් පැයට කිලෝමීටර 65ක පමණ වේගයකින් දිවීමට ඌට හැකියි! (යෝබ් 39:13, 18) අනෙක් අතට, ඇල්බත්රොසයා වැඩි හරියක් තම ජීවිතය ගෙවන්නේ මුහුදට උඩින් ගුවනේ පියාසර කරමිනුයි. සහජයෙන්ම ගුවනෙහි පාවී යන පක්ෂියෙකු වූ ඇල්බත්රොසයාගේ අත් තටු දිගු කළ විට ඒවා මීටර් තුනක පමණ දිගකට විහිදෙනවා. තටු ගසන්නේ නැතුව එක දිගට පැය ගණනාවක් ගුවනෙහි සැරිසැරීමට ඌට හැකියි. මෙම පක්ෂීන්ට හාත්පසින් වෙනස්ව, සෙන්ටිමීටර් පහක් දිගැති කුරුමිණි (මී මැසි) ගුමන කුරුල්ලා මේ ලොවේ සිටින කුඩාම පක්ෂියා වෙයි. ඌ තත්පරයකට 80 වාරයක් උගේ තටු ගසනවා! දිදුලන මැණික් බඳු තටු සහිත මේ කුඩා ගුමන කුරුල්ලාට හෙලිකොප්ටරයක් මෙන් උඩ කැරකැවෙමින් ගුවනේ රැඳී සිටීමටත් පිටුපසට පියෑඹීමටත් පුළුවන්.
17. නිල් තල්මසා කොතරම් විශාලද? තවද යෙහෝවා මවා ඇති සත්වයන් ගැන කල්පනා කරන කල, අප නිරායාසයෙන්ම එළඹිය යුතු නිගමනය කුමක්ද?
17 ගීතාවලිය 148:7හි [NW] පවසන්නේ “මුහුදේ දැවැන්ත සත්වයන්” පවා යෙහෝවාට ප්‍රශංසා කරන බවයි. මේ පෘථිවිය මත මෙතෙක් ජීවත් වූ බවට සැලකෙන විශාලතම සත්වයා වන නිල් තල්මසා ගැන මඳකට සිතා බලන්න. සාගර ගැඹුරේ ජීවත් වන මේ ‘දැවැන්ත සත්වයා’ දිගින් මීටර 30ක් හෝ ඊට වැඩි විය හැකියි. උගේ බර හොඳින් වැඩුණු ඇතුන් 30දෙනෙකුගේ බරට සමාන වෙන්නට පුළුවන්. උගේ දිවේ බර පමණක් ඇතෙකුගේ බරට සමානයි. උගේ හදවතේ තරම කුඩා කාරයකට සමානයි. මෙම අති යෝධ ඉන්ද්රිය ස්පන්දනය වන්නේ විනාඩියකට 9 වතාවක් පමණයි. එය ගුමන කුරුල්ලාගේ හදවතේ ස්පන්දනයට වඩා බොහෝ වෙනස්. එය විනාඩියකට වාර 1,200ක් පමණ ස්පන්දනය වෙනවා. නිල් තල්මසාගේ එක් රුධිර වාහිනියක් කොතරම් විශාලද කියතොත්, කුඩා ළමයෙකුට ඒ තුළින් රිංගා යන්නට පුළුවන්. මෙවන් දේවල් ඇත්තෙන්ම, ඔව්, ඇත්ත වශයෙන්ම, ගීතාවලිය පොතේ අන්තර්ගත වී ඇති අනුශාසනාව ප්රතිරාව කරන්නට අපගේ හදවත් පොලඹවනවා නියතයි. “හුස්ම ඇති සියල්ලෝම [යෙහෝවාට] ප්‍රශංසා කෙරෙත්වා.”—ගීතාවලිය 150:6.
යෙහෝවාගේ මැවීමේ බලයෙන් ඉගෙනගනිමු
18, 19. යෙහෝවා පොළොව මත සාදා ඇති ජීවමාන දේවල් කොතරම් විවිධාකාරද? මැවිල්ල තුළින් අපට යෙහෝවාගේ පරමාධිපත්‍යය ගැන උගන්වන්නේ කුමක්ද?
18 යෙහෝවා තම මැවීමේ බලය යොදාගෙන ඇති ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? මැවිල්ලේ විවිධත්වයෙන් අපි මහත් ගරු බියට හා මවිතයට පත් වන්නෙමු. එක් ගීතිකාකරුවෙක් මෙසේ හඬ නැගුවා. “[යෙහෝවා], ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! . . . පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” (ගීතාවලිය 104:24) එය කොතරම් සැබෑද! ජීව විද්‍යාඥයන් පොළොව මත ජීවත් වන ජීවී විශේෂයන් මිලියනයකට වඩා හඳුනාගෙන තිබෙන නමුත්, සිටින්නේ මිලියන 10ක්ද මිලියන 30ක්ද හෝ ඊට වඩා වැඩි ගණනක්ද යන්න ගැන ස්ථාවර අදහසක් ඔවුන්ට නැහැ. දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට පවා තමන්ගේ නිර්මාණාත්මක හැකියාව මොට වී ඇතැයි ඇතැම් විට හැඟී යන්නට පුළුවන්. ඊට වඩා වෙනස්ව, යෙහෝවාගේ මැවීමේ හැකියාව, එනම් අලුතෙන් විවිධ දේවල් මැවීමට තිබෙන හැකියාව නම් කිසි විටෙකත් වියැකී යන්නේ නැහැ.
19 යෙහෝවාගේ මැවීමේ බලය ඔහු විසින් යොදාගන්නා ආකාරයෙන් ඔහුගේ පරමාධිපත්‍යය ගැන අපට යමක් උගන්වනවා. “මැවුම්කාරයා” යන වචනයම විශ්වයේ තිබෙන අන් සියල්ලෙන් එනම් “මැවිලිවලින්” යෙහෝවාව වෙන් කර තබනවා. මැවීමේ කාලය අතරතුර, “ප්‍රධාන කර්මාන්තකාරයා” ලෙස කටයුතු කළ යෙහෝවාගේ ඒක ජාතක පුත්රයාවවත් කිසිවිටෙකත් මැවුම්කරු කියා හෝ හවුල් මැවුම්කරුවෙකු කියා හෝ බයිබලයේ හඳුන්වා නැහැ. (හිතෝපදේශ 8:30; මතෙව් 19:4) ඒ වෙනුවට, ඔහුව හඳුන්වා ඇත්තේ “මුළු මැවිල්ලේ කුලුඳුලාණෝ” ලෙසයි. (කොලොස්සි 1:15, අකුරු ඇල කළේ අපය.) මැවුම්කරු හැටියට යෙහෝවාට තිබෙන තත්වය නිසා මුළු මහත් විශ්වය පුරාම තම ඒකීය පරමාධිපති බලය පෑමට ඔහුහට සහජ අයිතියක් තිබෙනවා.—රෝම 1:20; එළිදරව් 4:11.
20. යෙහෝවා සිය භූමික මැවිල්ල මවා නිම කිරීමේ සිට නිවාඩු ගෙන තිබෙන්නේ කිනම් අර්ථයෙන්ද?
20 යෙහෝවා සිය මැවීමේ බලය විදහාපෑම නවතා තිබෙනවාද? ඇත්තෙන්ම, මැවීමේ හයවෙනි දවසේදී යෙහෝවා සිය මැවීමේ වැඩය නතර කළ විට, ‘ඔහු තමන් විසින් කරන ලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්තේය’ යනුවෙන් බයිබලයේ කියන බව ඇත්තයි. (උත්පත්ති 2:2) නමුත් සත්වෙනි “දවස” වසර දහස් ගණනක් දිගු බව ප්‍රේරිත පාවුල් පැවසුවා. ඇරත් එම “දවස” ඔහු විසූ කාලයේදීත් නිමා වී තිබුණේ නැහැ. (හෙබ්‍රෙව් 4:3-6) එහෙත්, ‘නිවාඩු ගැනීම’ කීමෙන් අදහස් කරන්නේ යෙහෝවා වැඩ කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙන බවක්ද? නැහැ. යෙහෝවා කවදාවක්වත් වැඩ කිරීම නවත්වන්නේ නැහැ. (ගීතාවලිය 92:4; යොහන් 5:17) එසේ නම්, නිවාඩු ගැනීම යන්නෙන් අදහස් කළා විය යුත්තේ ඔහු පොළොවේ භෞතික දේවල් මැවීම නැවැත්වූ බවයි. කෙසේවෙතත්, සිය අරමුණ ඉෂ්ට කරගැනීම සඳහා ඔහු කරමින් සිටින දෙය කිසිවිටෙකත් නතර වෙලා නැහැ. ශුද්ධ ලියවිලි දේවානුභාවයෙන් ලිවීමට සැලැස්වීමත් එම වැඩයට ඇතුළත් වෙනවා. ඔහුගේ වැඩයට “අලුත් මැවිල්ලක්” බිහිවීමත් ඇතුළත් වෙනවා. එය 19වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කෙරෙනවා ඇති.—2 කොරින්ති 5:17.
21. සදාකාලය පුරා යෙහෝවාගේ මැවීමේ බලය විශ්වාසවන්ත මිනිසුන්හට ප්‍රබල බලපෑමක් කරන්නේ කෙසේද?
21 යෙහෝවාගේ නිවාඩු දවස අන්තිමේදී නිමාවකට පැමිණෙන විට, මැවීමේ හයවෙනි දවස අවසානයේදී කීවාක් මෙන්, පොළොව මත ඔහුගේ සියලු වැඩ “ඉතා යහපත්” කියා පැවසීමට ඔහුට හැකි වේවි. (උත්පත්ති 1:31) ඔහු සතු අසීමිත මැවීමේ බලය ඉන් පසු කොයි ආකාරයකින් යොදාගනීදැයි දැකබලා ගැනීමට අපට හැකි වන්නේ ඉදිරියේදීයි. කුමක් වුවත්, යෙහෝවා සිය මැවීමේ බලය යොදාගන්නා ආකාරය දිගටම දැකීමෙන් අප මහත් අමානන්දයට පත් වන බවට නිසැක වන්නට අපට පුළුවන්. සදාකාලය පුරාම, අපි යෙහෝවාගේ මැවිලි තුළින් ඔහු ගැන තව තවත් බොහෝ දේ උගනිමු. (දේශනාකාරයා 3:11) අප ඔහු ගැන තව තවත් දැනගනිත්ම, අප තුළ ඔහු කෙරෙහි ඇති ගරු බියේ ගැඹුර තවත් වැඩි වේවි. එනයින් අප අපගේ උදාර මැවුම්කරු වෙතට තවත් ළං වේවි.
[පාදසටහන්වල]
a මෙම යෝධ සංඛ්‍යාව තේරුම්ගැනීමට මේ ගැන සිතා බලන්න. දවසේ පැය 24 පුරාම පැයට කිලෝමීටර 160ක වේගයෙන් එම දුර කාරයකින් ගමන් කරන්නේ නම්, ඒ සඳහා අවුරුදු සියයකට වඩා ගත වනවා ඇති!
b ඇතමුන් සිතන්නේ බයිබල් කාලවල විසූ පැරැන්නෝ ආදි කාලීන යුගයට අයත් යම් ආකාරයක දූරේක්ෂක භාවිතා කරන්නට ඇතියි කියායි. එසේ නොමැති නම්, එම යුගවල විසූවන් එතරම් විශාල එතරම් ගිණිය නොහැකි මහත් තාරකා ගණනක් තිබූ බව දන්නේ කෙසේදැයි ඔවුන් අසනවා. එවැනි කිසිම පදනමක් නැති උපකල්පනයන් බයිබලයේ කර්තෘ වන යෙහෝවාව සම්පූර්ණයෙන්ම චිත්රයෙන් බැහැර කරනවා.—2 තිමෝති 3:16.
c තාරකාවන් බිලියන 100ක් ගණනය කිරීමට ඔබට කොතරම් කාලයක් අවශ්‍ය කරනවාදැයි නිකමට සිතා බලන්න. සෑම තත්පරයකටම එක බැගින් ගණනය කරනවා නම් හා දවසේ පැය විසිහතර පුරාම එය කරනවා නම්, ඒ සඳහා ඔබට වසර 3,171ක් ගත වේවි!
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 8:3-9 යෙහෝවාගේ මැවිලි අපහට යටහත් පහත්කම උගන්වන්නේ කෙසේද?
ගීතාවලිය 19:1-6 යෙහෝවාගේ මැවීමේ බලය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? තවද ඒ මන්ද?
මතෙව් 6:25-34 යෙහෝවාගේ මැවීමේ බලය ගැන කල්පනා කිරීම, කාංසාවට එරෙහිව සටන් කිරීමටත්, අපගේ ජීවිතයේ ප්‍රමුඛතා නිසි තැන තැබීමටත් අපට උපකාරවත් වන්නේ කෙසේද?
ක්‍රියා 17:22-31 රූප වන්දනාව වැරදි බවත් දෙවි අපට නුදුරුව සිටින බවත් යෙහෝවා විසින් මැවීමේ බලය යොදාගන්නා ආකාරයෙන් අපට පෙන්වා දෙන්නේ කෙසේද?
[48වන පිටුවේ පින්තූරය]
යෙහෝවා ‘ආලෝකයද සූර්යයාද පිළියෙළ කළේය’
[49වන පිටුවේ පින්තූරය]
“ඔහු මේ සියල්ලට නම් කියා හඬගසන්නේය”