15වන පරිච්ඡේදය
යේසුස් “පොළොවෙහි යුක්තිය ඉටු කරයි”
1, 2. යේසුස් උදහස් වූයේ කිනම් අවස්ථාවේදීද? ඒ මන්ද?
පෙනෙන විදිහට යේසුස් උදහස් වෙලා. ඒ හොඳ හේතුවකට. යේසුස් ගැන ඔබට ඒ විදිහට සිතන්න අමාරු වෙන්න පුළුවන්. මන්ද ඔහු එතරම්ම මුදු මොළොක් කෙනෙක් නිසා. (මතෙව් 21:4) මේ අවස්ථාවේදී ඔහු තුළ ධර්මිෂ්ඨ කෝපයක් ඇති වුවත් යේසුස් ක්‍රියා කළේ මනා සංයමයකින් යුතුවයි.a එහෙත් සාමයට ලැදි මේ මිනිසා තුළ මෙතරම් උදහසක් ඇති කිරීමට හේතු වූයේ මොකක්ද? ඉතා දරුණු අයුක්තියක් සිදු වී තිබුණු නිසයි.
2 යෙරුසලමේ තිබූ දේවමාළිගාවට යේසුස් හදවතින් මහත් ලෙන්ගතුකමක් දැක්වූවා. තම ස්වර්ගික පියාණන්ට නමස්කාර කිරීම සඳහා මුළු ලෝකයේම තිබූ එකම කැප කළ ස්ථානය එයයි. බොහෝ රටවලින් යුදෙව්වන් නමස්කාරය සඳහා එහි පැමිණියේ බොහෝ දුරු කතර ගෙවාගෙනයි. දේවභයැති අන්‍ය ජාතීන්ට පවා දේවමාළිගාවට ඇතුල් වී නමස්කාර කරන්නට එහි වෙන් කරන ලද විශේෂ මළුවක් තිබුණා. නමුත් සිය දේවසේවයේ ආරම්භයේදීම වාගේ දේවමාළිගා පෙදෙසට ඇතුල් වූ යේසුස්ට දක්නට ලැබුණේ ඉතා පිළිකුල්සහගත දර්ශනයක්. අපොයි! එය නමස්කාර ගෘහයකට වඩා වෙළඳාම් පළක් වගෙයි. එය වෙළෙන්දන්ගෙන්ද මුදල් මාරුකරන්නන්ගෙන්ද ගහනව තිබුණා. එහෙත් අයුක්තියක් සිදු වී තිබුණේ කොහේද? මේ මිනිසුන්ට නම් දෙවිගේ මාළිගාව නිකම්ම වෙනත් මිනිසුන්ව සූරා කන එහෙම නැත්නම් ඔවුන්ගෙන් සොරකම්ද පවා කරන තැනක් විතරයි. ඒ කොහොමද?—යොහන් 2:14.
3, 4. යෙහෝවාගේ ගෘහයේ ගිජු ලෙස කෙරෙමින් තිබුණු සූරාකෑම කුමක්ද? මෙම කාරණා නිවැරදි කිරීමට යේසුස් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
3 මෙහි සිටි ආගමික නායකයන් නීතියක් පනවා තිබුණා. එය තමයි, කෙනෙකුට දේවමාළිගාවට බදු ගෙවන්නට අවශ්‍ය නම්, එක් විශේෂ කාසි වර්ගයක් පමණක් ඒ සඳහා භාවිත කළ හැකි බව. එවන් කාසි ලබාගැනීම සඳහා තමන්ගේ මුදල් මාරු කරගැනීමට පිටින් එන අයට සිදු වුණා. ඉතින් මුදල් මාරුකරන්නන් මෙහිදී කළේ ඔවුන්ගේ මේස හරියටම දේවමාළිගාව ඇතුලේ තබාගැනීමයි. තවද කෙරෙන සෑම ගනුදෙනුවකදීම යම් ගාස්තුවක් අය කිරීමත් එහිදී සිදු කළා. සතුන්ව විකිණීමෙන්ද ඉතා හොඳ ආදායමක් ලබාගත හැකි වුණා. පූජා ඔප්පු කිරීමට පිටින් එන අමුත්තන්ට නගරයේ ඕනෑම වෙළෙන්දෙකුගෙන් පූජාව සඳහා අවශ්‍ය දේ මිල දී ගන්ට පුළුවන්කම තිබුණා. නමුත් දේවමාළිගාවේ නිලධාරීන් ඒවා පූජාවට නුසුදුසුයයි කියා ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබුණා. එහෙත්, දේවමාළිගාවට අයත් පෙදෙසේ විකුණනු ලැබූ දේවල් පූජාව සඳහා මිල දී ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒවා පූජාවට භාරගන්නවාමයි. මෙහිදී, පූජා ඔප්පු කරන අයගේ අසරණකමෙන් ප්‍රයෝජන ගත් වෙළෙන්දන් ඇතැම් අවස්ථාවල පූජාවට අවශ්‍ය භාණ්ඩ වික්කේ අධික මිල ගණන්වලටයි.b මෙතැන සිදු වූයේ නිකම්ම වෙළඳාමක් නොවෙයි. එය එක්තරා විදිහක සොරකම් කිරීමක්!
4 එවැනි අයුක්තියක් අසාධාරණයක් ඉවසා සිටින්නට යේසුස්ට පුළුවන්ද? බැහැ, කොහෙත්ම බැහැ! මෙය ඔහුගේම පියාණන්ගේ ගෘහයයි! කසයක් සාදාගත් හෙතෙම වසු පැටවුන් හා බැටළුවන් රංචු පිටින් එළවා දැම්මා. අනතුරුව මිල මාරුකරන්නන් වෙතට වේගයෙන් ගමන් කර ඔවුන්ගේ මේස පෙරළා දැම්මා. මේස මත තිබුණු ඒ සියලු කාසි මාබල් ඇල්ලූ පොළොවෙහි සිලිං සිලිං හඬ නඟමින් පෙරළීගෙන යන හැටි සිතා බලන්න! පරෙවියන් විකුණමින් සිටි මිනිසුන්ට යේසුස් තදින් අණ කරමින් “මේ දේවල් මෙතැනින් අරන් යන්න” යයි කියා සිටියා. (යොහන් 2:15, 16) පෙනෙන විදිහට මේ එඩිතර මිනිසාට එරෙහි වන්නට හැකි කිසිවෙකු එතැන සිටියේ නැහැ.
“පියා පුතා එක වගේ”
5-7. (අ) යුක්තිය පිළිබඳ යේසුස්ගේ හැඟීම කෙරෙහි මිනිසෙකු වීමට පෙර තිබූ ඔහුගේ පැවැත්ම බලපෑම් කළේ කොහොමද? තවද ඔහුගේ ආදර්ශය අධ්‍යයනය කිරීම මගින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) යෙහෝවාගේ පරමාධිපත්‍යය සහ නාමය සම්බන්ධ අයුක්තිසහගත චෝදනාවන්ට එරෙහිව ක්‍රිස්තුස් සටන් කර ඇත්තේ කොහොමද?
5 ඇත්තෙන්ම, වෙළෙන්දන් නැවත එතැනට ආවා. අවුරුදු තුනකට පමණ පසුව, යේසුස් එම අයුක්තිය ගැනම කතා කරමින්, දෙවිගේ ගෘහය “සොරුන්ගේ ගුහාවක්” කළේය යන යෙහෝවාගේම වචනය උපුටා දක්වමින් මේ අවස්ථාවේදීත් ඉහත කී ක්‍රියාමාර්ග ගත්තා. (මතෙව් 21:13; යෙරෙමියා 7:11) ඔව්, මේ වංචාකාර වෙළෙන්දන් මිනිසුන්ව සූරාකමින් දේවමාළිගාව කිලිටි කරනවා දුටු විට යේසුස්ට දැනුණෙත් සිය පියාණන්ට දැනුණු විදිහටමයි. ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැහැ! වසර මිලියන ගණනාවක් පුරා, යේසුස් සිය පියාණන්ගෙන් ඉගෙනගෙන තිබුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යුක්තිය පිළිබඳව යේසුස්ට හැඟුණේ යෙහෝවාට හැඟුණු ආකාරයටමයි. “පියා පුතා එක වගේ” යන ප්‍රසිද්ධ කියමනේ ජීවමාන ආදර්ශයක් බවට යේසුස් පත් වුණා. එබැවින් යෙහෝවාගේ යුක්තිය නමැති ගුණාංගය ගැන පැහැදිලි පින්තූරයක් ලබාගන්නට අපට වුවමනා නම්, යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය ගැන මෙනෙහි කරනවාට වඩා අපට කළ හැකි වෙන කිසිවක් නැහැ.—යොහන් 14:9, 10.
6 යෙහෝවා දෙවි බොරු කීවේයැයි අසාධාරණ ලෙස කියමින්, දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන සාතන් ප්‍රශ්න කළ විට යෙහෝවාගේ ඒක ජාතක පුත්‍රයා එතැන සිටියා. එය මොනතරම් දරුණු අපහාසයක්ද! කිසිවෙක් පරාර්ථකාමී ලෙස එනම් ප්‍රේමයෙන් පෙලඹී යෙහෝවාට සේවය නොකරනු ඇති බවට පසුව සාතන් කළ චෝදනාවද මෙම පුත්‍රයා අසා සිටියා. මෙම බොරු චෝදනා මේ පුත්‍රයාගේ ධර්මිෂ්ඨ සිත පෑරූ බවට කිසිම සැකයක් නැහැ. මෙම චෝදනාවලට පිළිතුරු සපයා කාරණාව හරිගැස්සවීමෙහිලා රඟන මේ නාට්‍යය තුළ ප්‍රධාන චරිතය රඟපාන්නේ තමා බව දැනගන්න ලැබීමෙන් ඔහු කොතරම් සතුටු වන්ට ඇද්ද! (2 කොරින්ති 1:20) ඔහු එය කරනු ඇත්තේ කොහොමද?
7 අප 14වන පරිච්ඡේදයෙන් ඉගෙනගත්තාක් මෙන්, යෙහෝවාගේ මැවිලිවල අඛණ්ඩතාව අභියෝගයට ලක් කළාවූ සාතන්ගේ චෝදනාවලට යේසුස් ක්‍රිස්තුස් දුන්නේ අවසාන, තීරණාත්මක පිළිතුරක්. යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව සහමුලින්ම තහවුරු කිරීමට සහ ඔහුගේ නාමය විශුද්ධ කිරීමට යේසුස් ඒ මගින් පදනම දැමුවා. යෙහෝවාගේ ප්‍රධාන නියෝජිතයා වශයෙන්, යේසුස් විශ්වය පුරාම දිව්‍ය යුක්තිය ස්ථාපිත කරනු ඇති. (ක්‍රියා 5:31) ඒ හා සමානව, පොළොව මත ඔහු ගත කළ ජීවිතය තුළින්ද දිව්‍ය යුක්තිය පිළිබිඹු වුණා. යෙහෝවා ඔහු ගැන කීවේ මෙසේයි. “මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි. ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය [යුක්තිය යනු කුමක්දැයි, NW] ප්‍රකාශ කරන්නේය.” (මතෙව් 12:18) යේසුස් එම වචන ඉෂ්ට කළේ කොහොමද?
යේසුස් “යුක්තිය යනු කුමක්ද” යන්න පැහැදිලි කරයි
8-10. (අ) යුදෙව් ආගමික නායකයන්ගේ වාචික සම්ප්‍රදායන් යුදෙව් නොවන අයව සහ ස්ත්‍රීන්ව ඉතා පහත් කොට සැලකීමේ ආකල්පයකට දිරි දුන්නේ කෙසේද? (ආ) වාචික නීති යෙහෝවාගේ සබත් නීතිය මහා බරක් බවට පත් කර තිබුණේ කෙසේද?
8 යෙහෝවාගේ ව්‍යවස්ථාවට ප්‍රේම කළ යේසුස් ඊට අනුකූලව ජීවත් වුණා. නමුත් ඔහුගේ සමයේ විසූ ආගමික නායකයන් එම ව්‍යවස්ථාව විකෘති කර එය වැරදි විදිහට අදාළ කළා. යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාර වූ නුඹලාට දුක් වේ! . . . යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ.” (මතෙව් 23:23) පැහැදිලිවම පෙනී යන කාරණයක් නම්, දෙවිගේ ව්‍යවස්ථාව උගන්වන එම ගුරුවරුන් “යුක්තිය යනු කුමක්ද” කියා පැහැදිලිව කියා දෙමින් සිටියේ නැති බවයි. ඒ වෙනුවට, ඔවුන් කරමින් සිටියේ දිව්‍ය යුක්තිය බොඳ කිරීමයි. ඒ කොහොමද? උදාහරණ කිහිපයක් සලකා බලන්න.
9 අවට සිටින මිථ්‍යා දෘෂ්ටික ජාතීන්ගෙන් වෙන්ව සිටින ලෙස පවසමින් යෙහෝවා සිය ජනයාට මඟ පෙන්වූවා. (1 රාජාවලිය 11:1, 2) කෙසේවුවද, ඇතැම් අන්තවාදී නායකයන් මිනිසුන්ට දිරිගන්වමින් සිටියේ යුදෙව් නොවන සියල්ලන්ව පහත් කොට සැලකීමටයි. මිෂ්නාහි මෙම නීතිය පවා ඇතුළත් කොට තිබුණා. “අන්‍ය ජාතිකයන් සතු ලැගුම්ගන්නා ස්ථානවල ගෘහස්ත සතුන්ටවත් ලැගුම් ගැනීමට ඉඩ නොදිය යුතුයි. මන්ද ඔවුන් සතුන් සමඟ ලිංගික අපචාරයේ යෙදෙන බවට සැකයක් ඇති බැවිනි.” යුදෙව් නොවන සියල්ලන් සඳහා තිබූ එවැනි අත්තනෝමතික අගතිසහගත අදහස් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සාරයට ඉඳුරාම පටහැනියි. (ලෙවී කථාව 19:34) මිනිසුන් විසින් සාදන ලද තවත් නීතිවලින් ස්ත්‍රීන්ව ඉතා පහත් කොට සලකනු ලැබුවා. එක්තරා වාචික සම්ප්රදායක කියැවුණේ භාර්යාවක් පුරුෂයා සමඟ නොව ඔහුට පිටුපසින් ගමන් කළ යුතු බවයි. මිනිසෙක් ස්ත්‍රියක සමඟ, තමාගේ බිරිඳ සමඟ පවා ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු බවට අවවාද කර තිබුණා. ඒ වගේම වහලුන් සම්බන්ධව අදාළ වූවාක් මෙන්, අධිකරණයකදී සාක්ෂි දීමට ස්ත්‍රියකට ඉඩ ලැබුණේ නැහැ. තවත්, තමන් ස්ත්‍රීන් වී නූපන් නිසා පුරුෂයන් විසින් දෙවිට ස්තුති කරන ලද ප්‍රසිද්ධ යාච්ඤාවක්ද තිබුණා.
10 ආගමික නායකයන් කළේ මිනිසුන් විසින් සාදන ලද නීති හා කොන්දේසි කන්දරාවක් යට දෙවිගේ ව්‍යවස්ථාව සැඟවීමයි. නිදසුනක් සලකා බලන්න. සබත් දවසේදී වැඩ කිරීම තහනම් කර තිබුණා. එසේ කර තිබුණේ එම දවස නමස්කාරය සඳහා එනම් ආත්මික ප්රබෝධය හා විශ්‍රාමය සඳහා වෙන් කර තැබීමටයි. නමුත් ඵරිසිවරුන් කළේ එම ව්‍යවස්ථාව මහා බරක් බවට පත් කිරීමයි. එම “වැඩ කිරීම” යන්නෙන් අදහස් කළ දේ හරියටම කුමක්දැයි තීරණය කිරීම ඔවුන් තමුන් අතට ගත්තා. අස්වැන්න නෙළීම හෝ දඩයම් කිරීම වැනි එකිනෙකට වෙනස් ක්‍රියාවන් 39ක් “වැඩ” ලෙස ඔවුන් නම් කෙරුවා. මේ ප්රභේදයන් නිසා නිමක් නැති ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වුණා. යම් මිනිසෙක් සබත් දවසේදී මැක්කෙක් මැරුවා නම් එය දඩයම් කිරීමක්ද? ඔහු ගමන් කරමින් සිටින විට ධාන්‍ය අහුරක් කඩාගෙන කෑවා නම්, එය අස්වැන්න නෙළීමක්ද? අසනීපව සිටි කෙනෙකුව සුවපත් කළා නම් ඔහු කරමින් සිටියේ “වැඩක්ද?” එවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා නම් ඒ නිමක් කොනක් නැති සවිස්තරාත්මක දැඩි නීති රීති සමඟිනුයි.
11, 12. ශුද්ධ ලියවිල්ලට පටහැනි වූ ඵරිසිවරුන්ගේ සම්ප්‍රදායන් ගැන යේසුස් තම විරෝධය පළ කළේ කොහොමද?
11 එවන් වාතාවරණයක් මැද, යුක්තිය යනු කුමක්ද කියා තේරුම්ගැනීමට යේසුස් විසින් මනුෂ්‍යයන්ට උපකාර කළේ කොහොමද? තමා ඉගැන්වූ දෙයින් සහ තමා ජීවත් වූ ආකාරයෙන් යේසුස් එම ආගමික නායකයන්ට එරෙහිව එඩිතර ලෙස නැඟී සිටියා. ඔහුගේ ඉගැන්වීම් සමහරක් ගැන පළමුව සලකා බලන්න. මිනිසුන් විසින් සාදන ලද නීති සමුදාය යේසුස් ඉතා තදින් හෙළා දැක්කේ මෙසේයි. “නුඹලා භාර දී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවිගේ වචනය අවලංගු කරන්නහුය.”—මාර්ක් 7:13.
12 සබත් නීතිය සම්බන්ධව ඵරිසිවරුන් දරන මත ඉතා වැරදිසහගත බව යේසුස් ප්‍රබල ලෙස ඉගැන්වූයේ එම ව්‍යවස්ථාවේ හෙවත් නීතියේ පූර්ණ හරය වටහාගැනීමට ඔවුන් අසමත්ව සිටි බව හෙළි කරමිනුයි. මෙසියස් “සබත් දවසේ ස්වාමියා” යයි පැහැදිලි කළ ඔහු, මේ හේතුවෙන් සබත් දවසේදී මිනිසුන්ව සුව කිරීමට තමාට අයිතියක් ඇති බව කියා සිටියා. (මතෙව් 12:8) මේ කාරණය හොඳින් කාවැද්දීම පිණිස, යේසුස් කළේ සබත් දවසේදී එළිපිටම ප්රාතිහාර්ය කිරීමයි. (ලූක් 6:7-10) එවන් සුව කිරීම් අනාගතයේ එක්තරා සංසිද්ධියක පෙර නිමිත්තක් වුණා. එයින් පෙන්වූයේ සිය දහස් අවුරුදු පාලනයේදී යේසුස් විසින් පොළොව පුරාම සුව කිරීමක් කරනු ඇති බවයි. සහස්‍රය හෙවත් එම දහස් අවුරුද්ද, ශ්‍රේෂ්ඨතම සබත එනම් පාපයේ හා මරණයේ බර මෙතෙක් කර ගසාගෙන ආ විශ්වාසවන්ත මිනිස් සංහතියට අයත් සියල්ලන්ම අන්තිමේදී නිදහස ලබන කාලයක් වනවා නිසැකයි.
13. ක්‍රිස්තුස්ගේ භූමික දේවසේවයේ ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ කිනම් ව්‍යවස්ථාවද? තවද කලින් තිබූ ව්‍යවස්ථාවට වඩා මෙම ව්‍යවස්ථාව වෙනස් වූයේ කෙසේද?
13 යුක්තිය යනු කුමක්දැයි නව ව්‍යවස්ථාවක් මගින් යේසුස් පැහැදිලි කළා. එය නම් “ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවයි.” එය ක්‍රියාත්මක වුණේ යේසුස් සිය භූමික දේවසේවය අවසන් කළාට පසුවයි. (ගලාති 6:2) මීට කලින් තිබූ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව මෙන් නොව මෙම නව ව්‍යවස්ථාව බෙහෙවින් රඳා පැවතුණ් ලේඛනගත කරන ලද නීති සමුදායක් මත නොව නමුත් ප්‍රතිපත්ති මතයි. එහෙත් යම් ඍජු නීතිද එයට ඇතුළත් වුණා. මින් එකක් යේසුස් හැඳින්වූයේ “අලුත් ආඥාවක්” කියායි. තමා තම අනුගාමිකයන්ට ප්‍රේම කළාක් මෙන් ඔවුන් එකිනෙකාට ප්‍රේම කළ යුතුයයි යේසුස් තම අනුගාමිකයන් සියල්ලන්ට ඉගැන්වූවා. (යොහන් 13:34, 35) ඔව්, ආත්ම පරිත්‍යාගී ප්‍රේමය යනු ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ එකඟව ජීවත් වීමට කැමති සියල්ලන් හඳුනාගැනීමේ ප්‍රධාන සලකුණයි.
යුක්තිය පිළිබඳ ජීවමාන ආදර්ශයක්
14, 15. තමන් සතු අධිකාරිත්වයේ සීමාවන් තමන් වටහාගෙන තිබූ බව යේසුස් පෙන්වූයේ කොහොමද? මෙය අපට අස්වැසිල්ලක් වන්නේ ඇයි?
14 ප්‍රේමය ගැන උගන්වනවාට වඩා වැඩි යමක් යේසුස් කළා. ඔහු ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාවට’ අනුව ජීවත් වුණා. එය ඔහුගේ ජීවිතය පුරාම දැකගත හැකිව තිබුණා. යුක්තිය යනු කුමක්ද කියා යේසුස්ගේ ආදර්ශයෙන් පැහැදිලිව පෙන්වන ක්‍රම තුනක් ගැන සලකා බලන්න.
15 පළමුව, ඕනෑම ආකාරයක අයුක්තියක් කිරීමෙන් යේසුස් සහමුළින්ම වැළකුණා. බොහෝ අයුක්තීන් සිදු වන්නේ අසම්පූර්ණ මිනිසුන් උද්ධච්ච ලෙස තමන් සතු අධිකාරියේ නිසි සීමා බන්ධන කඩාගෙන ගිය අවස්ථාවලදී බව සමහරවිට ඔබ දැක ඇති. යේසුස් කවදාවත් එවැන්නක් කළේ නැහැ. එක්තරා අවස්ථාවක, යේසුස් වෙත එළැඹි එක් මිනිසෙක් මෙසේ ඉල්ලා සිටියා. “ආචාරිනි, මා සමඟ උරුමය බෙදාගන්ට මාගේ සහෝදරයාට කිව මැනව.” යේසුස්ගේ ප්‍රතිචාරය? “මනුෂ්‍යය, නුඹලා කෙරෙහි විනිශ්චයකාරයෙකු නොහොත් බෙදන්නෙකු කොට මා පත් කළේ කවුද?” (ලූක් 12:13, 14) එය කැපීපෙනෙන යමක් නොවේද? යේසුස්ගේ බුද්ධිය, ඔහුගේ විනිශ්චමය හැකියාව පමණක් නොව, දෙවි විසින් ඔහුට දානය කර ඇති අධිකාරිත්වයේ මට්ටම පොළොව මත සිටින ඕනෑම අයෙකුගේ අධිකාරියට වඩා බොහෝ උසස්. එහෙත් මේ කාරණයට මැදිහත් වීම ඔහු ප්‍රතික්ෂේප කළා. මන්ද එවැනි දෙයක් කිරීමට සුවිශේෂ අධිකාරිත්වයක් ඔහුට දානය කර නැති බැවිනුයි. මේ අන්දමින් යේසුස් සෑම විටම නිහතමානී වී තිබෙනවා. මිනිසෙකු වීමට පෙරාතුව ඔහු ජීවත් වූ ගණන් කළ නොහැකි සහස්රයන්ගෙන් යුත් කාලය තුළදීත් ඔහු එලෙසම නිහතමානි වුණා. (යූද් 9) යුක්තිය යනු කුමක්දැයි තීරණය කිරීමට ඔහු යෙහෝවා මත යටහත් පහත්ව රඳා පවතින බව එයින් බොහෝ සේ කියාපානවා.
16, 17. (අ) දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙහිලා යේසුස් යුක්තිය විදහාපෑවේ කොහොමද? (ආ) යුක්තිය පිළිබඳ තමාගේ හැඟීමට දයානුකම්පාව මුසු වී තිබූ බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද?
16 දෙවනුව, යුක්තිය යනු කුමක්දැයි යේසුස් පැහැදිලිව පෙන්වා දුන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඔහු දේශනා කළ අන්දම මගිනුයි. ඔහු කිසිම විදිහක අගතිසහගත බවක් හෙවත් පැති ගෙන කටයුතු කරන බවක් පෙන්වූයේ නැහැ. ඒ වෙනුවට, පොහොසත් හෝ වේවා දුප්පත් හෝ වේවා සියලු ආකාරයේ ජනයා වෙතට ළඟා වෙන්නට ඔහු මහත් වෑයමක් දැරුවා. මීට හාත්පසින්ම වෙනස් ලෙස, ඵරිසිවරුන් කළේ දුප්පත් සාමාන්‍ය ජනතාව හෙළා දැකීමයි. අම්හාරෙට්ස් යන යෙදුම හෙවත් “භූමියේ වැසියන්” යන උපහාසාත්මක යෙදුම ඔවුන් සාමාන්‍ය ජනතාවට අදාළ කළා. එම අසාධාරණය යේසුස් නිවැරදි කළේ ඉතාමත් එඩිතරවයි. ජනතාවට ශුභාරංචිය උගන්වන විට, නැත්නම් ඔවුන් සමඟ ආහාර ගන්නා විට, ඔවුන්ට කෑම ලබා දෙන විට, ඔවුන්ව සුව කරන විට හෝ ඔවුන්ව නැවත නැඟිටුවන විට පවා ඔහු කළේ ‘සියලු මනුෂ්‍යයන් ගළවනු ලබනවාට’ කැමති වූ දෙවිගේ යුක්තිය තහවුරු කිරීමයි.c—1 තිමෝති 2:3, 4.
17 තුන්වෙනුව, යුක්තිය පිළිබඳ යේසුස්ගේ හැඟීමට ඉතා ගැඹුරු ලෙසින් දයානුකම්පාව මුසු වී තිබුණා. පව්කාරයන්ට උපකාර කිරීමට හේ තම දෑත් දිගු කළා. (මතෙව් 9:11-13) තමන්වම ආරක්ෂා කරගැනීමට කිසිදු බලයක් නැති ජනයාගේ ආධාරයට ඔහු පැමිණියේ ඉතා විගසින්. නිදසුනක් හැටියට, සියලුම අන්‍ය ජාතිකයන් කෙරෙහි ඇති අවිශ්වාසය ගොඩනැංවීමට යේසුස් ආගමික නායකයන්ට එකතු වුණේ නැහැ. යේසුස්ගේ මූලික බල පැවරුම වුණේ යුදෙව්වන්ට උපකාර කිරීමයි. එහෙත්, දයානුකම්පාවෙන් පෙලඹුණු ඔහු, අන්‍ය ජාතීන්ගෙන් සමහරක් දෙනෙකුට උපකාර කළා, ඉගැන්වූවා. රෝම හමුදා නිලධාරියෙකු වෙනුවෙන් ප්රාතිහාර්යමය සුව කිරීමක් කරන්නට ඔහු ඉදිරිපත් වුණේ මෙසේ කියමිනුයි. “ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.”—මතෙව් 8:5-13.
18, 19. (අ) යේසුස් ස්ත්රීන්ගේ ගෞරවය ඔප් නැංවූයේ කිනම් ආකාරවලින්ද? (ආ) නිර්භීතකම හා යුක්තිය අතර ඇති සබැඳියාව දැකගැනීමට යේසුස්ගේ ආදර්ශය අපට උපකාර කරන්නේ කෙසේද?
18 ඒ හා සමානව, ස්ත්‍රීන් සම්බන්ධව පැතිර පැවති මතවලට යේසුස් කිසිම අනුබලයක් දුන්නේ නැහැ. ඒ වෙනුවට, යුක්තිසහගතව තිබූ දෙය ඔහු ක්‍රියාත්මක කළේ ඉතා නිර්භීතවයි. සමරිතානු ස්ත්‍රීන්ව සැලකුවේ අන්‍ය ජාතිකයන් මෙන් අපවිත්‍ර අය ලෙසයි. එහෙත්, සිඛාර්හි ළිඳ ළඟදී සමාරිතානු ස්ත්‍රියකට දේශනා කිරීමට යේසුස් පසුබට වූයේ නැහැ. ඇත්තෙන්ම, පොරොන්දු වූ මෙසියස් තමායයි පළමු වතාවට යේසුස් පැහැදිලිව ප්‍රකාශ කළේ මේ ස්ත්රියටයි. (යොහන් 4:6, 25, 26) ඵරිසිවරුන් කීවේ ස්ත්රීන්ට දෙවිගේ ව්‍යවස්ථාව නොඉගැන්විය යුතු බවයි. නමුත් යේසුස් ස්ත්‍රීන්හට ඉගැන්වීම සඳහා වැඩි කාලයක් හා ශක්තියක් වැය කළා. (ලූක් 10:38-42) අනික් අතට, ස්ත්‍රීන් දෙන සාක්ෂියක් විශ්වාස නොකළ යුතු බවට සම්ප්රදාය තුළ කියා තිබුණත්, තම නැවත නැඟිටීමෙන් පසුව පළමු වරට තමාව දැකගැනීමේ වරප්‍රසාදය යේසුස් ස්ත්‍රීන් කිහිපදෙනෙකුට ලබා දුන්නේ ඔවුන්ට ගෞරව කරමින්. තම පිරිමි ගෝලයන් වෙතට ගොස් මෙම අතිවැදගත් සිද්ධිය ගැන කියන ලෙසට පවා ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.—මතෙව් 28:1-10.
19 ඔව්, යුක්තිය යනු කුමක්දැයි ජාතීන් හට පැහැදිලිව කියා දුන්නේ යේසුස් විසිනුයි. බොහෝ අවස්ථාවලදී ඔහු මෙය කළේ තමාගේ ජීවිතය පරදුවට තබමින්. යේසුස්ගේ ආදර්ශයෙන් අපට උගන්වන පාඩමක් තියෙනවා. එය තමයි, සැබෑ යුක්තිය තහවුරු කිරීමට නිර්භීතකම අවශ්‍ය බව. “යූදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයා” යනුවෙන් ඔහුව හඳුන්වා තිබීම ඉතා සුදුසුයි. (එළිදරව් 5:5) සිංහයා යනු නිර්භීත යුක්තියේ සංකේතය බව මතකයට ගන්න. එහෙත් නුදුරු අනාගතයේදී යේසුස් මීටත් වඩා මහා පරිමාණයෙන් යුක්තිය ස්ථාපිත කරාවි. උපරිම පරිපූර්ණ ආකාරයෙන්, ඔහු “පොළොවෙහි යුක්තිය” ඉටු කරයි.—යෙසායා 42:4, NW.
මෙසියානු රජ “පොළොවෙහි යුක්තිය ඉටු කරයි”
20, 21. අප ජීවත් වන මේ වත්මන් කාලයේදී, මෙසියානු රජු පොළොව පුරා මෙන්ම ක්‍රිස්තියානි සභාව තුළද යුක්තියට රුකුල් දී තිබෙන්නේ කොහොමද?
20 වර්ෂ 1914දී මෙසියානු රජු බවට පත් වූ දා පටන්, යේසුස් පොළොවෙහි යුක්තිය නඟා සිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ කොහොමද? මතෙව් 24:14හි සඳහන් සිය අනාවැකිය ඉටු කිරීමේ වගකීම ඔහු තම කරට ගෙන තිබෙනවා. පොළොව පුරා සිටින යේසුස්ගේ අනුගාමිකයන් සියලු රටවල ජනයාට උගන්වා තිබෙන්නේ යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ සත්‍යයයි. යේසුස් මෙන්ම ඔවුන්ද පැති නොගෙන යුක්තිසහගත අන්දමින් දේශනා කර තිබෙනවා. මෙසේ කරන්නේ බාල මහලු, දුප්පත් පොහොසත්, ගැහැනු පිරිමි යන භේද නොසලකා යුක්තියේ දෙවි වන යෙහෝවාව දැනගැනීමට ප්‍රස්තාවක් ඔවුන්ට ලබා දෙමිනුයි.
21 තවත් දෙයක් තමයි, තමා මූලිකත්වය දරන ක්‍රිස්තියානි සභාව තුළද යේසුස් විසින් යුක්තියට රුකුල් දීම. ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගැනීම සඳහා ඔහු “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” හෙවත් විශ්වාසවන්ත ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව සපයා තිබෙනවා. (එපීස 4:8-12, NW) දෙවිගේ අති අනර්ඝ රැළ රැකබලා ගැනීමෙහිදී, එවන් පුරුෂයන් යුක්තියට රුකුල් දෙමින් අනුගමනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශයයි. ඔවුන් සෑම විටකම මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. එය තමයි, යේසුස්ට වුවමනා කරන්නේ තමන්ගේ බැටළුවන්, එනම් ඔවුන්ගේ තත්වය, තරාතිරම හෝ ආර්ථික තත්වයන් කුමක් හෝ වේවා, ඔවුන් සියල්ලන්වම යුක්තිසහගත අන්දමින් සලකනු ලැබිය යුතුය යන කාරණය.
22. වත්මන් ලොවේ හාත්පස පැතිර පවත්නා අයුක්තිසහගත තත්වයන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? තවද ඔහු සිය පුත්‍රයාව පත් කර තිබෙන්නේ ඒ ගැන කුමක් කිරීමටද?
22 එහෙත්, නුදුරු අනාගතයේදී යේසුස් පෙර නොවූ විරූ ආකාරයෙන් පොළොව පුරා යුක්තිය ස්ථාපිත කරාවි. අයුක්තිය මේ දූෂිත ලෝකය පුරා හාත්පස පැතිර තිබෙන්නක්. හාමතෙන් මිය යන සෑම දරුවෙකුම කිසි විටෙකත් සමාව දිය නොහැකි අයුක්තියේ ගොදුරක් බව පවසන්නට පුළුවන්. විශේෂයෙන්ම ආයුධ නිපදවීමට ඉවක් බවක් නැතුව වැය කරන මුදල් හා ඉඳුරන් පිනවීමටම ජීවත්වන්නන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් විසි කරන මුදල් දෙස බලද්දී අපට මෙය තවත් සනාථ වන්නේ නැද්ද? ඇරත් සෑම වසරකම මිලියන ගණනක් දෙනා නිරපරාදේ මිය යෑමත් නන් අයුරින් අයුක්තිය විඳීමක් නොවේද? මේ සියල්ල ගැන යෙහෝවාගේ ධර්මිෂ්ඨ කෝපය ඇවිළීම ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ. සියලු අයුක්තීන් සදහටම තුරන් කිරීම සඳහා මේ මුළු මහත් දුෂ්ට ක්‍රමයටම එරෙහිව යුධ වැදීමට ඔහු සිය පුත්‍රයාව පත් කර තිබෙනවා.—එළිදරව් 16:14, 16; 19:11-15.
23. අර්මගෙදොන්වලට පසුව, සදාකාලයටම ක්‍රිස්තුස් යුක්තියේ උන්නතියට දායක වනු ඇත්තේ කොහොමද?
23 කෙසේවෙතත්, යෙහෝවාගේ යුක්තියට දුෂ්ටයන්ව නිකම්ම විනාශ කර දැමීමට වඩා යමක් ඇතුළත් වෙනවා. ඔහු සිය පුත්‍රයාව පත් කර තිබෙන්නේ “සමාදානයේ කුමාරයා” ලෙසද පාලනය කිරීමටයි. අර්මගෙදොන් යුද්ධයට පසුව, යේසුස්ගේ පාලනය පොළොව පුරා සාමය පිහිටුවනු ඇති. තවද ඔහු “යුක්තියෙන්ද” පාලනය කරනවා ඇති. (යෙසායා 9:6, 7) මේ ලෝකයට මෙතරම් අතිමහත් දුක් වේදනා කන්දරාවක් ගෙන ආ සියලු අයුක්තීන් සදහටම තුරන් කිරීමෙන් යේසුස් එවිට මහත් සේ ප්‍රීති වේවි. සදාකාලයටම, ඔහු විශ්වාසවන්ත ලෙස යෙහෝවාගේ පරිපූර්ණ යුක්තිය රැකගනීවි. එසේනම්, අතිශයින් වැදගත් වන්නේ අප දැන් යෙහෝවාගේ යුක්තිය අනුකරණය කිරීමට උත්සාහ කිරීමයි. එය කළ හැකි ආකාරය අපි බලමු.
[පාදසටහන්වල]
a සියලු දුෂ්ටකම්වලට එරෙහිව තම ධර්මිෂ්ඨ කෝපය පළ කිරීමේදී, යේසුස්ද යෙහෝවා මෙන් “උදහසින් පූර්ණ වූ” කෙනෙක්. (නාහුම් 1:2) නිදසුනක් වශයෙන්, යෙහෝවා අයාලේ ගිය තම ජනයාට කතා කරමින් කියා සිටියේ, ඔවුන් තම ගෘහය “සොරුන්ගේ ගුහාවක්” කළ බවයි. ඉන් පසුව ඔහු මෙසේ පැවසුවා. “බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට . . . වගුරුවනු ලබන්නේය.”—යෙරෙමියා 7:11, 20.
b මිෂ්නා ග්රන්ථයට අනුව, දේවමාළිගාවේ විකුණන ලද පරෙවියන් අධික මිලකට විකුණූ බවට වසර කිහිපයකට පසුව විරෝධතාවක් මතු වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම මිල වහාම පහත බැස්සුවේ සියයට 99කිනි. මේ මුදල් ගරන ව්‍යාපාරයෙන් වැඩියෙන්ම ලාභ ඉපදවූයේ කවුරුන්ද? දේවමාළිගාවේ පිහිටුවා තිබූ වෙළඳාම්පොළවල් උත්තම පූජක අන්නස්ට අයත්ව තිබූ බවත්, පූජක පවුලේ මහා ධන සම්භාරයට වැඩියෙන්ම මුදල් ලැබුණේ එයින් බවත් ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහසයි.—යොහන් 18:13.
c ව්‍යවස්ථාව ගැන හසළ දැනුමක් නොතිබූ සාමාන්‍ය ජනතාව ඵරිසිවරුන් විසින් සලකුණු ලැබුවේ “ශාපලද්දෝ” හැටියටයි. (යොහන් 7:49) කිසිවෙකු ඔවුන්ට ඉගැන්විය නොයුතුයි කියාද ඔවුන් සමඟ ව්‍යාපාරවල නිරත නොවිය යුතුය කියාද ඔවුන් සමඟ කෑම නොකෑ යුතුය කියාද යාච්ඤා නොකළ යුතුය කියාද ඔවුන් පැවසුවා. යමෙක් තම දියණියව ඔවුන්ගෙන් කෙනෙකුට විවාහ කර දීම ඇයව වන සතුන්ට කොටු වෙනවාට වඩා දරුණු යමක් වනු ඇති බවද ඔවුන්ගේ මතය වුණා. ඒ වගේම නැවත නැඟිටුවනු ලැබීමේ වරප්‍රසාදය එවන් පහත් ජනයා සඳහා විවෘත නැති බවත් ඔවුන් විශ්වාස කළා.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 45:1-7 මෙසියානු රජු පරිපූර්ණ යුක්තියේ උන්නතියට දායක වනු ඇතැයි කියා අපට විශ්වාස කළ හැක්කේ ඇයි?
මතෙව් 12:19-21 අනාවැකිවලට අනුව, මෙසියස් පහත් අයට සලකනු ඇත්තේ කොහොමද?
මතෙව් 18:21-35 නියම යුක්තිය දයානුකම්පාවෙන් පිරී ඇති බව යේසුස් ඉගැන්වූයේ කෙසේද?
මාර්ක් 5:25-34 දිව්‍ය යුක්තිය පුද්ගලයාගේ තත්වයන් සැලකිල්ලට ගන්නා බව යේසුස් නිරූපණය කළේ කොහොමද?
[150වන පිටුවේ පින්තූරය]
“මේ දේවල් මෙතැනින් අරන් යන්න”