21වන පරිච්ඡේදය
යේසුස් “දෙවිගෙන් වූ ප්‍රඥාව” හෙළි කරයි
1-3. යේසුස්ගේ අසල්වැසියන් වී සිටි අය ඔහුගේ ඉගැන්වීමට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? ඔහු ගැන කුමක් වටහාගැනීමට ඔවුන් අසමත් වුණාද?
මුළු සබයම බිරන්තට්ටු වෙලා. යේසුස් නම් යෞවනයා සිනගෝගයේ ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ ඔවුන්ට උගන්වමිනුයි. ඔහු ඔවුන්ට අමුත්තෙක් නම් නොවෙයි. ඔහු හැදී වැඩුණේ ඔවුන්ගේ නුවරේ. ඇරත් වසර ගණනාවක්ම ඔහු ඔවුන් අතර වඩුවෙකු ලෙස වැඩ කර තිබුණා. ඇතැම්විට ඔවුන් ජීවත් වුණේ ගොඩනැඟීමට යේසුස් හවුල් වූ නිවෙස්වල වෙන්නට ඇති. නැත්නම් ඔහුගේ අතින්ම සාදන ලද නඟුල් සහ වියගස්වලින් ඔවුන් ගොවිතැන් වැඩ කරන්නට ඇති.a නමුත් කලින් වඩුවෙකුව සිටි මේ තැනැත්තාගේ ඉගැන්වීම්වලට ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද?
2 ඔහුට සවන් දීගෙන සිටි වැඩිදෙනෙක් පුදුම වී “මොහුට මේ ප්‍රඥාව . . . කොයින්ද?” කියා ඇසුවා. ඒත් එක්කම “මොහු මරියාගේ පුත්‍ර වූ . . . වඩුවා නොවේද?” කියාත් ඔවුන් ඇසුවා. (මතෙව් 13:54-58; මාර්ක් 6:1-3) ‘මේ වඩුවා අපි වගේම ගමේ මිනිහෙක්’ යයි කලෙක යේසුස්ගේම අසල්වැසියන්ව සිටි අය තර්ක කිරීම කනගාටුවට කරුණක්. ඔහුගේ වචනවල ප්‍රඥාව තිබෙන බව දුටුවත්, ඔවුන් කළේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි. ඔහු තමන් සමඟ බෙදාගත් ප්‍රඥාව ඔහුගේම නොවන බව ඔවුන් දැන සිටියේ නැහැ.
3 ඇත්තෙන්ම යේසුස්ට ප්‍රඥාව ලැබුණේ කොහෙන්ද? “මා උගන්වන දේ මාගේ නොව, නමුත් මාව එවූ තැනැත්තාට අයිතිය” කියායි ඔහු පැවසුවේ. (යොහන් 7:16, NW) යේසුස් “අප සඳහා දෙවිගෙන් වූ ප්‍රඥාව බවට . . . පත් වූ තැනැත්තා” යයි ප්‍රේරිත පාවුල් පැහැදිලි කළා. (1 කොරින්ති 1:30, NW) යෙහෝවාගේම ප්‍රඥාව සිය පුත් යේසුස් තුළින් හෙළි කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, මෙය කොතරම් දුරට සත්‍යයක්ද කියනවා නම්, “මාද පියාණන්ද එකය” යයි කියන්නට යේසුස්ට හැකි වුණා. (යොහන් 10:30, NW) දැන් අපි යේසුස් “දෙවිගෙන් වූ ප්‍රඥාව” විදහාපෙන්වූ පැති තුනක් ගැන සෝදිසි කර බලමු.
ඔහු ඉගැන්වූ දෙය
4. (අ) යේසුස්ගේ පණිවුඩයේ තේමාව වූයේ කුමක්ද? එය අතිශයින් වැදගත් වූයේ ඇයි? (ආ) යේසුස්ගේ උපදෙස් ප්‍රායෝගික වූයෙත්, ඔහුට සවන් දුන් අයගේ උපරිම යහපතට හේතු වූයෙත් ඇයි?
4 පළමුව, යේසුස් ඉගැන්වූ දෙය සැලකිල්ලට ගන්න. ඔහුගේ පණිවුඩයේ තේමාව වූයේ, ‘රාජ්‍යය ගැන ශුභාරංචියයි.’ (ලූක් 4:43, NW) මෙය අතිශයින්ම වැදගත් දෙයක් වුණා. මන්ද යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගත බව තහවුරු කිරීමටත්, මිනිස් සංහතියට සදාකාලික ආශීර්වාද ගෙන ඒමටත් මෙම රාජ්‍යය මගින් කාර්යභාරයක් සිදු කෙරෙන නිසයි. යේසුස්ගේ ඉගැන්වීම්වල තවත් විශේෂත්වයක් තමයි, ඔහු සිය ඉගැන්වීම් තුළින් එදිනෙදා ජීවිතය සඳහා ප්‍රඥාවන්ත උපදෙස් රාශියක් පිරිනැමීම. පුරෝකථනය කර තිබූ ලෙසින්ම තමා “අපූර්ව උපදේශකයා” බව ඔහු ඔප්පු කළා. (යෙසායා 9:6, NW) ඇත්ත වශයෙන්ම, ඔහුගේ උපදෙස් අපූරු නොවේ කියා පැවසිය හැකිද? දෙවිගේ වචනය හා කැමැත්ත ගැන ගැඹුරු දැනුමක්ද, මිනිස් ස්වභාවය ගැන තියුණු අවබෝධයක්ද, මිනිස් සංහතිය උදෙසා ගැඹුරු ප්‍රේමයක්ද ඔහුට තිබුණා. මෙබැවින්, ඔහුගේ උපදෙස් සෑමවිටම ප්‍රායෝගිකයි. ඒ වගේම ඒවා පැවසුවේ ඔහුට සවන්දෙන්නන්ගේ උපරිම යහපත උදෙසායි. යේසුස්ගේ මුවින් පිට වූයේ ‘සදාකාල ජීවනයේ වචනයි.’ ඔව්, ඔහුගේ උපදෙස් අනුගමනය කරන විට ඒවා මඟ පාදන්නේ ගැළවීමටයි.—යොහන් 6:68.
5. කන්ද උඩ දේශනාවේදී යේසුස් ආවරණය කළ ඇතැම් විෂයන් මොනවාද?
5 කන්ද උඩ දේශනාව යනු යේසුස්ගේ ඉගැන්වීම්වල දක්නට ලැබෙන අසමසම ප්‍රඥාවේ කැපීපෙනෙන උදාහරණයක්. මතෙව් 5:3–7:27 දක්වා වාර්තා කර ඇති මේ දේශනාව, විනාඩි 20ක පමණ කෙටි කාලයකින් ඉදිරිපත් කරන්නට හැකි වේවි. කෙසේවෙතත්, එහි උපදෙස් කෙටි කාලයකට සීමා වී නැහැ. ඒවා එදාට මෙන්ම අදටත් එක හා සමානව ගැළපෙනවා. විෂයන් ගණනාවක් ගැන යේසුස් එහිදී කතා කළා. ඒවාට ඇතුළත් වූ විෂයන් කිහිපයක් මෙන්න. අනුන් සමඟ සම්බන්ධතා දියුණු කරගන්නා ආකාරය (මතෙව් 5:23-26, 38-42; 7:1-5, 12), සදාචාර පවිත්‍රකම පවත්වාගන්නා අන්දම (5:27-32) සහ අර්ථාන්විත ජීවිතයක් ගත කරන ආකාරය (6:19-24; 7:24-27). එහෙත් ප්‍රඥාවේ ක්‍රියා මාර්ගය කුමක්ද කියා නිකම්ම පවසනවාට වඩා වැඩි යමක් යේසුස් කළා. පැහැදිලි කිරීමෙන්, තර්ක කිරීමෙන් සහ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඔහු ඒ ක්‍රියාමාර්ගය කුමක්ද කියා පෙන්වා දුන්නා.
6-8. (අ) කනස්සල්ලෙන් වැළකීම සඳහා යේසුස් ඉදිරිපත් කළ හොඳ හේතු මොනවාද? (ආ) යේසුස්ගේ උපදෙස්වලින් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පිළිබිඹු වන බව පෙනී යන්නේ කුමකින්ද?
6 නිදසුනක් වශයෙන්, මතෙව් 6වන පරිච්ඡේදයේ සඳහන් ලෙස, ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් ඇති වන සිත්තැවුල සමඟ කටයුතු කරන විදිහ ගැන යේසුස් දුන් ප්‍රඥාවන්ත උපදෙස සලකා බලන්න. “කුමක් කමුද කුමක් බොමුද කියා ඔබේ ජීවිතය ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීරය ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න” කියා යේසුස් අපට අවවාද කරනවා. (25 පදය, NW) ආහාර සහ ඇඳුම් පැළඳුම් මූලික අවශ්‍යතාවන්. මේ දේවල් ලබාගැනීම ගැන සැලකිලිමත් වීම ස්වාභාවිකයි. නමුත් එවැනි දේවල් ගැන “තවදුරටත් කනස්සලු නොවන්න” කියා යේසුස් අපට කියනවා.b ඒ ඇයි?
7 ඉතා පැහැදිලි තර්ක යොදාගෙන කාරණා ඒත්තුගැන්වීමට උත්සාහ කරන යේසුස්ට සවන් දෙන්න. අපට ජීවිතය හා ශරීරය දුන්නේ යෙහෝවා නොවේද? එසේ නම් ජීවිතය පෝෂණය කිරීමට ආහාර දීමටත් ශරීරයේ පැළඳවීම සඳහා ඇඳුම් සැපයීමටත් ඔහුට බැරිද? (25 පදය) දෙවි කුරුල්ලන්ට ආහාර සපයනවා නම්, මල් අලංකාරයෙන් පළඳවනවා නම්, තමන්ට නමස්කාර කරන මිනිසුන් ගැන ඔහු ඊට වඩා කොතරම් සැලකිල්ලක් දක්වයිද! (26, 28-30 පද) ඇත්තෙන්ම, අනවශ්‍ය කනස්සල්ලෙන් අබමල් රේණුවක තරම්වත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එක තත්පරයකින්වත් අපේ ජීවිත දිගු කරන්නට එමගින් බැහැ.c (27 පදය) කනස්සල්ලෙන් වැළකීමට අපට හැක්කේ කොහොමද? යේසුස් අපට දෙන උපදෙස මේකයි. ඔබේ ජීවිතය තුළ දිගටම දෙවිගේ නමස්කාරයට මුල් තැන දෙන්න. එසේ කරන අයට තම ස්වර්ගික පියාණන් විසින් තමන්ගේ දෛනික අවශ්‍යතා ‘දෙනු ලබන’ බවට නිසැක විය හැකියි. (33 පදය) අවසන් වශයෙන්, යේසුස් දෙන්නේ වඩාත් ප්‍රායෝගිකම යෝජනාවයි. එනම්, එක වරක එක දවසක් ගැන සිතන්න කියායි. හෙට තිබෙන සිත්තැවුල් අදදිනට ඈඳාගන්නේ ඇයි? (34 පදය) ඊට අමතරව, ඇතැම්විට සිදු නොවන දේවල් ගැන අනවශ්‍ය ලෙස ලත වෙන්නේ හෝ කරදර වෙන්නේ ඇයි? එවන් ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගැනීමෙන් අපට මේ පීඩාකාරි ලෝකයේ තිබෙන හෘද වේදනාවන් බොහොමයකින් වැළකී සිටින්න පුළුවන්.
8 පැහැදිලිවම, යේසුස් දුන් උපදෙස් මීට වසර 2,000කට පෙරදී මෙන්ම අදදිනටත් එක සේ ප්‍රායෝගිකයි. එය ඉහළින් පැමිණි ප්‍රඥාව සඳහා සාක්ෂියක් නොවේද? මිනිස් උපදේශකවරුන් දෙන හොඳම උපදෙස් පවා කාලයක් යන විට යල් පැන යන අතර ඒවා ඉක්මනින්ම සංශෝධනය කෙරෙනවා, නැත්නම් ඒවා වෙනුවට වෙනත් උපදෙස් අනුයුක්ත කෙරෙනවා. කෙසේ වුවත්, යේසුස්ගේ ඉගැන්වීම් නම් එදා මෙදා තුර එලෙසම වලංගුයි. එහි වෙනසක් වී නැහැ. නමුත් ඒ ගැන අප පුදුම වෙන්න ඕනෑත් නැහැ. මන්ද මේ අපූර්ව උපදේශකයා කතා කළේ “දෙවිගේ කියමන්” නිසයි.—යොහන් 3:34, NW.
ඔහු ඉගැන්වූ අන්දම
9. හේවායන් යේසුස්ගේ ඉගැන්වීම් ගැන පැවසුවේ කුමක්ද? මෙය අතිශයෝක්තියක් නොවූයේ ඇයි?
9 යේසුස් විසින් දෙවිගෙන් වූ ප්‍රඥාව විදහා පෑ දෙවෙනි පැත්ත නම් ඔහු ඉගැන්වූ අන්දමයි. එක්තරා අවස්ථාවක, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා යවන ලද හේවායන් හිස් අතින් නැවත හැරී ඇවිත් පැවසුවේ මෙසේයි. “කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ කතා කළේ නැත.” (යොහන් 7:45, 46, NW) මේ නිකම් අතිශයෝක්තියෙන් කී දෙයක් නොවෙයි. එතෙක් ජීවත් වූ මිනිසුන් අතුරින් ‘ඉහළින් වූ’ එකම තැනැත්තා වූයේ යේසුස් පමණයි. ඒ වගේම ඇදගැනීමට හැකි අතිමහත් දැනුම් සහ අද්දැකීම් සම්භාරයක් ඔහුට තිබුණා. (යොහන් 8:23) ඔහු ඉගැන්වූ දේවල් වෙනත් කිසිම මිනිසෙකුට උගන්වන්නට හැකි වූයේ නැහැ. මෙම ප්‍රඥාවන්ත ගුරුවරයාණන්ගේ ඉගැන්වීම් ක්‍රම දෙකක් පමණක් සලකා බලන්න.
10, 11. (අ) යේසුස් විසින් උපමා භාවිත කළ ආකාරය ගැන අප සැබවින්ම පුදුමයට පත් වන්නේ ඇයි? (ආ) උපමා කතන්දර යනු මොනවාද? ඉගැන්වීම සඳහා යේසුස් විසින් යොදාගත් උපමා කතන්දර එතරම් බලපෑමෙන් යුක්ත ඒවා බව පෙන්වන්නේ කිනම් උදාහරණයද?
10 බලපෑමෙන් යුතුව උපමා යොදාගැනීම. “යේසුස් මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කතා කළේය” යයි අපට කියවීමට තිබෙනවා. ඔහු “උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කතා නොකළේය.” (මතෙව් 13:34) එදිනෙදා ජීවිතයේ දකින දේවල් යොදාගනිමින් ගැඹුරු සත්‍යතාවන් ඉගැන්වීමට ඔහුට තිබූ අසමසම හැකියාව දෙස බලන විට අපි ඇත්තටම පුදුම වෙමු. වී වපුරන ගොවියන්, රොටි තැනීමට සූදානම් වන කාන්තාවන්, වෙළඳාම්පොළේ සෙල්ලම් කරන ළමුන්, මාළු දැල් අදින ධීවරයන්, නැති වූ බැටළුවන් සොයා යන එඬේරුන්—මේ වගේ දේවල් ඔහුට සවන් දුන් අය බොහෝ වතාවක් දැක තිබුණා. ඒ වගේ හොඳින් දැක පුරුදු දේවල් සමඟ වැදගත් සත්‍යතාවන් එකට සම්බන්ධ කළ විට, ඒවා මිනිසුන්ගේ මනස්වල හා හදවත්වල ඉතා ඉක්මනින්ම හා ඉතා ගැඹුරින් කාවැදුණා.—මතෙව් 11:16-19; 13:3-8, 33, 47-50; 18:12-14.
11 ඒ වගේම කෙටි උපමා කතන්දරද යේසුස් බොහෝ විට යොදාගත්තා. මේ දේවලින් සදාචාරමය හා ආත්මික සත්‍යතාවන් උකහාගත හැකියි. වටහාගැනීමට අමාරු අදහස්වලට වඩා එවන් කෙටි කතන්දර ඉතා පහසුවෙන් මතකයේ රඳවාගත හැකි නිසා, යේසුස්ගේ ඉගැන්වීම් සිහියේ රඳවා ගැනීමට ඒවා ඉවහල් වුණා. මේ බොහෝ උපමාවල, යේසුස් සිය පියාණන්ව විස්තර කළේ පහසුවෙන් අමතක නොවන වර්ණවත් වචනවලින් තම පියාණන් ගැන පින්තූරු අඳිමිනුයි. නිදසුනක් වශයෙන්, නාස්තිකාර පුත්‍රයා පිළිබඳ උපමාවේ මූලික කරුණ වටහාගත නොහැක්කේ කාටද? අයාලේ ගිය කෙනෙක් අවංකව පසුතැවිලි වී හැරී එන විට, මහත් අනුකම්පාවෙන් යුතුව පෙලඹෙන යෙහෝවා එම තැනැත්තාව ඉතා මුදු මොළොක් සෙනෙහසින් යුතුව නැවත භාරගන්නවාය යන කාරණයයි ඔහු මින් පෙන්වා දුන්නේ.—ලූක් 15:11-32.
12. (අ) යේසුස් සිය ඉගැන්වීම්වලදී ප්‍රශ්න යොදාගත්තේ කිනම් ආකාරයෙන්ද? (ආ) තමන්ගේ අධිකාරිත්වය ගැන ප්‍රශ්න කළ අයව යේසුස් විසින් නිහඬ කළේ කොහොමද?
12 දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගැනීම. ඒ වගේම යේසුස් ප්‍රශ්නද යොදාගත්තා. එසේ යොදාගත්තේ තමන්ට සවන්දෙන්නන්ටම නිගමනවලට එළඹීමට, ඔවුන්ගේම චේතනාවන් පරීක්ෂා කර බැලීමට, නොඑසේනම් ඔවුන්ටම යම් යම් තීරණ ගැනීමට උපකාර කිරීමටයි. (මතෙව් 12:24-30; 17:24-27; 22:41-46) තමාට දෙවිගෙන් ලැබූ අධිකාරියක් තිබෙනවාදැයි ආගමික නායකයන් යේසුස්ගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පිළිතුරු දුන්නේ මෙසේයි. “යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන්ද?” එම ප්‍රශ්නයෙන් බිරාන්ත වී ගිය ඔවුන් තමන් අතර මෙසේ කොඳුරන්න පටන්ගත්තා. “අපි ‘ස්වර්ගයෙන්’ කියා කීවොත්, ‘එසේ නම් ඔබ ඔහුව විශ්වාස නොකළේ මන්දැයි’ ඔහු අපෙන් අසන්නේය. නමුත් ‘මිනිසුන්ගෙන්’ යයි කීවොත්, සමූහයාට භයවීමට අපට සිදු වේ. මන්ද, ඒ සියලුදෙනාම යොහන්ව අනාගතවක්තෘවරයෙකු ලෙස සලකති.” එබැවින් ඔවුන්, “අපි නොදනිමු” යයි උත්තර දුන්නා. (මාර්ක් 11:27-33, NW; මතෙව් 21:23-27) ඒ සරල ප්‍රශ්නයෙන් ඔවුන්ව නිහඬ කළ යේසුස් මෙහිදී කළේ ඔවුන්ගේ හදවත්වල තිබූ කපටි ස්වභාවය හෙළි කිරීමයි.
13-15. කාරුණික සමරිතානුවරයාගේ උපමා කතන්දරය තුළ යේසුස්ගේ ප්‍රඥාව පිළිබිඹු වන්නේ කොහොමද?
13 ඇතැම් අවස්ථාවලදී යේසුස් මේ ක්‍රම දෙකම එකට මුසු කළේ තම නිදර්ශන අතරට සිත් කලතන ප්‍රශ්න ඇතුල් කිරීමෙන්. එක්තරා යුදෙව් නීතිධරයෙක් යේසුස් වෙතට පැමිණ සදාකාල ජීවනය ලැබීමට කුමක් කළ යුතුදැයි ඇසූ විට, යේසුස් කළේ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව වෙතට ඔහුව යොමු කිරීමයි. එහි ආඥා කර තිබෙන්නේ දෙවිටත් අසල්වැසියාටත් ප්‍රේම කරන ලෙසයි. තමා ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීමට වුවමනා වූ මේ මිනිසා ඇසුවේ මේ වගේ ප්‍රශ්නයක්. “ඇත්තටම මාගේ අසල්වැසියා කවුද?” යේසුස් මීට පිළිතුරු දුන්නේ එක්තරා කතන්දරයක් ඔහුට පවසමින්. එක්තරා යුදෙව් මිනිසෙක් තනිවම ගමනක් යමින් සිටින විට, පාරේ සිටි මංපහරන්නන් ඔහුට පහර දී ඔහු සතු දේ කොල්ලකා, ඔහුව අඩපණ කර දමා ගියා. යුදෙව්වන් දෙදෙනෙක් ඔහු පසු කර යන්ට ගියා. එක්කෙනෙක් පූජකයෙක්. අනෙක් තැනැත්තා ලෙවීයෙක්. මේ දෙදෙනාම ඔහුව තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. නමුත් එතැනින් ගිය එක්තරා සමරිතානුවරයෙක් ඔහු දැක ඔහු අසලට පැමිණ, අනුකම්පාවෙන් පෙලඹී, ඉතා මුදුමොළොක් ලෙසින් ඔහුගේ තුවාල බැඳ, ඔහුව සුව කළ හැකි තානායමකට ඔහුව රැගෙන ගියේ ඉතා ප්‍රේමනීය ලෙසටයි. තම කතන්දරය අවසන් කරමින් යේසුස් එම නීතිධරයාගෙන් මෙසේ ඇසුවා. “කොල්ලකරුවන්ට හසු වූ මිනිසාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වැසියා වූයේ කවුරුන් කියාද ඔබ සිතන්නේ?” එම මිනිසාට පිළිතුරු දීමට සිදු වුණේ මෙලෙසයි. “ඔහු කෙරෙහි දයාන්විතව ක්‍රියා කළ තැනැත්තාය.”—ලූක් 10:25-37, NW.
14 මේ උපමා කතන්දරය තුළින් යේසුස්ගේ ප්‍රඥාව පිළිබිඹු වන්නේ කොහොමද? යේසුස් විසූ කාලයේදී, “අසල්වැසියා” යන යෙදුම යුදෙව්වන් විසින් අදාළ කළේ තමන්ගේම සම්ප්‍රදායන් පවත්වමින් සිටි අයට පමණයි. සහතිකවම ඒ සමරිතානුවරුන්ට නම් නොවේ. (යොහන් 4:9) මෙම උපමාවේ සොරුන්ගේ පහරට ලක් වුණේ සමරිතානුවරයෙකු නම්, ඔහුට උදව් කළේ යුදෙව්වෙකු නම්, පැවති අගතිසහගත අදහස් පෙරළා දමන්නට එම උපමාව සමත් වේවිද? සමරිතානුවෙක් යුදෙව්වෙකුට මුදු මොළොක් ලෙස සැලකූ අයුරු පෙන්වීමට යේසුස් එම කතන්දරය සකස් කරගත්තේ ඉතා ඥානවන්ත විදිහටයි. ඒ වගේම කතන්දරය අවසානයේදී යේසුස් ඇසූ ප්‍රශ්නයද සැලකිල්ලට ගන්න. “අසල්වැසියා” යන යෙදුම යෙදූ ආකාරයද ඔහු වෙනස් කළා. ඇත්තටම එම නීතිධරයා ඇසුවේ මේ වගේ දෙයක්. ‘මම අසල්වැසි ප්‍රේමය පෙන්විය යුත්තේ කාටද?’ නමුත් යේසුස් පැවසුවේ “මොවුන් තුන්දෙනාගෙන් අසල්වැසියා වූයේ කවුරුන් කියාද ඔබ සිතන්නේ?” යනුවෙනුයි. යේසුස්ගේ අවධානය යොමු වී තිබුණේ කරුණාව ලැබූ පහර දීම්වලට ගොදුරු වූ තැනැත්තා කෙරෙහි නොව නමුත් කරුණාව පෙන්වූ සමරිතානුවරයා කෙරෙහියි. සැබෑ අසල්වැසියෙක් අනුන්ගේ වාර්ගික පසුබිම නොසලකා ඔවුන්ට ප්‍රේමය පෙන්වීමට මූලික පියවර ගන්නවා. මේ පාඩම මීට වඩා ප්‍රබල අන්දමින් ඉගැන්වීමට වෙනත් ක්‍රමයක් යේසුස්ට නැති තරම්ය.
15 එසේ නම්, යේසුස් “උගන්වන ආකාරය” දැක මවිත වූ මිනිසුන් ඔහු වෙතට ඇදී යෑම පුදුමයක්ද? (මතෙව් 7:28, 29, NW) එක්තරා අවස්ථාවකදී, “විශාල සමූහයක්” ඔහු අසල දින තුනක් රැඳී සිටියේ ආහාර පවා නොගනිමිනි.—මාර්ක් 8:1, 2.
ඔහු ජීවත් වූ ආකාරය
16. තමා දිව්‍ය ප්‍රඥාවෙන් පාලනය වූ බවට යේසුස් විසින් “ප්‍රායෝගික සාක්ෂි” දුන්නේ කිනම් ආකාරයෙන්ද?
16 යේසුස් විසින් යෙහෝවාගේ ප්‍රඥාව පිළිබිඹු කළාවූ තුන්වෙනි පැත්ත තමයි ඔහු ජීවත් වූ ආකාරය. ප්‍රඥාව ප්‍රායෝගිකයි. එය ක්‍රියාත්මක කළ හැකියි. “ඔබ අතුරින් ප්‍රඥාවන්ත කවුද?” කියා ශ්‍රාවක යාකොබ් ඇසුවා. අනතුරුව ඔහු මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙසේ කියමින්. “ඔහුගේ නිවැරදි හැසිරීම තුළින් ඊට ප්‍රායෝගික සාක්ෂි ඉදිරිපත් කෙරේවා!” (යාකොබ් 3:13, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) තමා දිව්‍ය ප්‍රඥාවෙන් පාලනය වූ බවට යේසුස් ජීවත් වූ ආකාරයෙන් “ප්‍රායෝගික සාක්ෂි” දුන්නා. තමා ජීවත් වූ ආකාරයෙන් හා අනුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් තමාට දේවල් නිවැරදිව විනිශ්චය කිරීමට හැකි බවට යේසුස් නිරූපණය කළ අන්දම දැන් අපි සලකා බලමු.
17. යේසුස්ට සිය ජීවිතය තුළ පරිපූර්ණ සමබරතාවක් තිබූ බව පෙනී යන්නේ කුමකින්ද?
17 නිවැරදි විනිශ්චයක් කරගන්නට බැරි මිනිසුන් බොහෝ විට යම් කාරණයක අන්තයටම යන බව ඔබ දැක තිබෙනවාද? ඔව්, දේවල් දෙස බැලීමේදී හා කිරීමේදී සමබර වීමට අවශ්‍ය කරන්නේ ප්රඥාවයි. දිව්‍ය ප්‍රඥාව විදහාපෙන්වීමෙහිලා යේසුස් පෙන්වූයේ පරිපූර්ණ සමබරතාවක්. මේ සියල්ලටම වඩා, තම ජීවිතයේ ආත්මික දේවලට ඔහු දුන්නේ මුල් තැනයි. ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහිලාද ඔහු ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටියා. “ඒ සඳහාම පිටත්ව ආවෙමියි” කියා ඔහු පැවසුවා. (මාර්ක් 1:38) ඔහුට ද්‍රව්‍යමය දේවල් එතරම් වැදගත්කමක් ගත්තේ නැහැ. පෙනෙන විදිහට ඔහුට ද්‍රව්‍යමය දේවල් තිබුණේ අල්ප වශයෙන්. (මතෙව් 8:20) එහෙත්, ඔහු තාපසයෙකු වූයේද නැහැ. “සන්තෝෂවත් දෙවි” වූ සිය පියාණන් මෙන්, යේසුස් ප්‍රීතිමත් පුද්ගලයෙකුව සිටි අතර, අනුන්වත් ප්‍රීති කළා. (1 තිමෝති 1:11, NW; 6:15) වරක් ඔහු විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වුණා. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍ය උත්සවයක සංගීතය, ගී ගැයීම හා ප්‍රීති ඝෝෂා දක්නට ලැබෙනවා. ඔහු එම අවස්ථාවේ එතැනට ගියේ එතැන තිබූ ප්‍රීතිය මැඩපැවැත්වීමට නම් නොවේ. වයින් හිඟ වූ විට ඔහු වතුර, “මනුෂ්‍යයාගේ සිත සතුටු කරන” බීමක් වන හොඳ වයින් බවට පත් කළා. (ගීතාවලිය 104:15; යොහන් 2:1-11) කෑමක් ගැනීමට එන්න කියා කළ බොහෝ ආරාධනයන් ඔහු පිළිගත්තා. ඒ වගේම ඔහු එවැනි අවස්ථාවල් නිතරම ඉගැන්වීම සඳහා යොදාගත්තා.—ලූක් 10:38-42; 14:1-6.
18. යේසුස් සිය ගෝලයන් සමඟ කටයුතු කිරීමේදී කළ විනිශ්චය දෝෂ රහිත එකක් වූ බව පෙන්වූයේ කොහොමද?
18 අනුන් සමඟ කටයුතු කිරීමේදී යේසුස් කළ විනිශ්චයන් තුළ කිසිම දෝෂයක් දක්නට තිබුණේ නැහැ. මිනිස් ස්වභාවය ගැන තියුණු අවබෝධයක් තිබූ නිසා තමන්ගේ ගෝලයන්ගේ ඇතුළාන්තය තේරුම්ගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඔවුන් පරිපූර්ණ නොවූ අය බව ඔහු මැනවින් දැන සිටියා. එහෙත්, ඔවුන්ගේ හොඳ ගුණාංග ඔහු පැහැදිලිව වටහාගත්තා. යෙහෝවා විසින් තමා වෙතට ඇදගෙන තිබෙන මේ මිනිසුන් තුළ ඇති හැකියාවන්, දක්ෂතා, කුසලතා ඔහුට හොඳ හැටි තේරුණා. (යොහන් 6:44) ඔවුන්ට අඩුලුහුඬුකම් තිබුණත් ඔහු කළේ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමයි. තමා තුළ එබඳු විශ්වාසයක් තිබෙන බව පෙන්වමින් ඔහු කළේ සිය ගෝලයන්ට බරපතළ වගකීම් පැවරීමයි. ශුභාරංචිය දේශනා කිරීමට ඔවුන්හට පැවරූ ඔහුට, එම පැවරුම ඉටු කිරීමට ඔවුන්ට තිබෙන හැකියාව කෙරෙහි තිබුණේ විශ්වාසයක් හෙවත් නිසැකකමක්. (මතෙව් 28:19, 20) ක්‍රියා පොතේ අපට යම් කාරණයක් සහතික කරනවා. ඒ, ඔහු විසින් ඔවුන්ට පවරන ලද එම මෙහෙය ඔවුන් ඉතා විශ්වාසවන්ත ලෙස ඉටු කළ බවයි. (ක්‍රියා 2:41, 42; 4:33; 5:27-32) එසේ නම්, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීම යේසුස්ගේ පැත්තෙන් ප්‍රඥාව පෙන්වීමක් කියා කියන්නට පුළුවන්.
19. තමා “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු” බව යේසුස් නිරූපණය කළේ කොහොමද?
19 බයිබලය යටහත් පහත්කම සහ මෘදුකම, ප්‍රඥාව සමඟ සම්බන්ධ කරනවා අපි 20වන පරිච්ඡේදයෙන් දුටුවා ඔබට මතක ඇති. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබන්නේ යෙහෝවායි. නමුත් යේසුස් ගැන කුමක් කිව හැකිද? යේසුස් සිය ගෝලයන් සමඟ කටයුතු කිරීමේදී දැක්වූ යටහත් පහත්කම අපේ හද උණුසුම් කරනවා. පරිපූර්ණ මිනිසෙකු වශයෙන්, ඔහු ඔවුන්ට වඩා ඉතා උසස්. එහෙත්, සිය ගෝලයන්ව ඔහු හෙළා දැක්කේ නැහැ. ඔවුන් තමන්ට වඩා පහත්ය හෝ අදක්ෂය යන හැඟීමක් ඔහු කිසිවිටෙකත් ඔවුන් තුළ ඇති කළේ නැහැ. ඊට වෙනස්ව, ඔවුන්ගේ සීමාවන් ගැන සැලකිලිමත්ව සිටිමින් ඔවුන්ගේ අඩුලුහුඬුකම්වලදී ඔවුන් සමඟ ඉවසීමෙන් වැඩ කළා. (මාර්ක් 14:34-38; යොහන් 16:12) යේසුස් ළඟ සිටිද්දී දරුවන් පවා පහසු බවක් අද්දැකීම අතිසුවිශේෂී දෙයක් නොවේද? ඔවුන් ඔහු ළඟට ඒමට කැමති වුණා. මන්ද ඔහු “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු” බව ඔවුන්ට දැනුණු නිසයි.—මතෙව් 11:29, NW; මාර්ක් 10:13-16.
20. භූතාත්මයක බලපෑමට ලක්ව සිටි දියණියකගේ මව වූ අන්‍ය ජාතික කාන්තාවක් හා කටයුතු කිරීමේදී යේසුස් සාධාරණකම පෙන්වූයේ කොහොමද?
20 තවත් වැදගත් ආකාරයකින්, යේසුස් දිව්‍ය යටහත් පහත්කම විදහාදැක්වූවා. දයාව පෙන්විය යුතු සුදුසු අවස්ථාවලදී, ඔහු සාධාරණ පුද්ගලයෙක් වුණා, නැතහොත් නම්‍යශීලී වුණා. නිදසුනක් වශයෙන්, අන්‍ය ජාතික ස්ත්‍රියක් පැමිණ භූතාත්මයක බලපෑමට ලක්ව සිටි තම දියණිය සුවපත් කරන ලෙස ඔහුගෙන් අයැද සිටි අවස්ථාව මතක් කරගන්න. තමා ඇයට උපකාර කරන්නට අකමැති බව ඔහු මුලදී ක්‍රම තුනකින්ම කියා සිටියා. පළමුව, ඇයට පිළිතුරු දීමෙන් වැළකී සිටීමෙන්, දෙවනුව, තමාව එවා තිබෙන්නේ අන්‍ය ජාතීන් වෙතට නොව නමුත් යුදෙව්වන් වෙතට බව කෙළින්ම ඇයට පැවසීමෙන් හා තුන්වෙනුව, එම කරුණම ඉතා කාරුණිකව තහවුරු කරන නිදර්ශනයක් ගෙනහැර දැක්වීමෙන්. කෙසේවෙතත්, කාන්තාවගේ ඇවටිල්ල නතර වූයේ නැහැ. ඉන් ඇය පෙන්වූයේ ඇගේ සුවිශේෂී ඇදහිල්ලයි. ඇගේ සුවිශේෂී ඇදහිල්ල සලකා බලන විට, යේසුස් ඊට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? තමා කරන්නේ නැතැයි අඟවා සිටි දෙයම ඔහු කළා. ඔහු එම කාන්තාවගේ දියණියව සුවපත් කළා. (මතෙව් 15:21-28) මෙය නම් කැපීපෙනෙන යටහත් පහත්කමක් නොවේද? ඇරත් මෙයත් මතක තබාගනිමු. යටහත් පහත්කම යනු අව්‍යාජ ප්‍රඥාවේ පදනමයි.
21. යේසුස්ගේ පෞද්ගලිකත්වය, කතාව හා ක්‍රියා පිළිවෙත් අනුකරණය කිරීමට අප මහත් උත්සාහයක් ගත යුත්තේ ඇයි?
21 මේ පොළොව මත ජීවත් වූ ප්‍රඥාවන්තම මිනිසාගේ වචන හා ක්‍රියාවන් සුවිශේෂ වාර්තාවල හෙළි කර තිබීම ගැන අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද! යේසුස් සිය පියාණන්ගේ පරිපූර්ණ පිළිබිඹුව බව අපි මතක තබාගනිමු. යේසුස්ගේ පෞද්ගලිකත්වය, කතාව සහ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් අනුකරණය කිරීම මගින් අපි ඉහළින් පැමිණෙන ප්‍රඥාව අනුකරණය කරන්නෙමු. ඊළඟ පරිච්ඡේදයේදී, අප බලනු ඇත්තේ අපගේ ජීවිතවල දේව ප්‍රඥාව ක්‍රියාත්මක කළ හැකි ආකාරයයි.
[පාදසටහන්වල]
a බයිබල් කාලවලදී, නිවෙස් ඉදි කිරීමට, ගෘහ භාණ්ඩ සෑදීමට හා ගොවි උපකරණ සෑදීමට වඩුවන්ව යොදාගනු ලැබුවා. පොදු යුගයේ දෙවෙනි සියවසේ විසූ ජස්ටින් මාටර්, යේසුස් ගැන මෙසේ ලීවා. “මිනිසුන් සමඟ ගත කළ ජීවිතයේදී, නඟුල් සහ වියගස් සාදන වඩුවෙකු ලෙස වැඩ කිරීමේ පුරුද්ද ඔහුට තිබුණා.”
b ‘කනස්සලු වීම’ යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ අර්ථය නම් “මනස වෙනතකට හැරී තිබීමයි.” මතෙව් 6:25හි යොදාගෙන ඇතිවාක් මෙන්, ඉන් විස්තර කෙරෙන්නේ සිත්තැවුල නිසා ඇති වෙන බියයි. කෙනෙකුගේ ජීවිතයේ ප්‍රීතිය සොරාගන්න එම බිය එම තැනැත්තාගේ මනස වෙනතකට හරවයි, නැත්නම් බෙදී යෑමට සලස්වයි.
c ඇත්ත වශයෙන්ම, අනවශ්‍ය ලතවීම් හා මානසික පීඩනයන් නිසා යමෙකුගේ ජීවිතය කෙටි කිරීමට හැකි හෘද රෝග වැළඳීමේ අවදානමක් ඇති බවත්, තවත් රෝග ගණනාවක් වැළඳීමට ඉඩ තිබෙන බවත් විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
හිතෝපදේශ 8:22-31 පුද්ගලාරෝපණය කරන ලද ප්‍රඥාව පිළිබඳ විස්තරය යෙහෝවාගේ කුලුඳුල් පුත්‍රයා පිළිබඳව බයිබලය පවසන දෙයට ගැළපෙන්නේ කොහොමද?
මතෙව් 13:10-15 තමාට සවන් දී සිටි අයගේ හෘද ආකල්පයන් හෙළි කිරීමේදී යේසුස්ගේ උපමා බලපෑමෙන් යුක්ත වූයේ කෙසේද?
යොහන් 1:9-18 දෙවිගෙන් වූ ප්‍රඥාව හෙළි කිරීමට යේසුස්ට හැකි වූයේ ඇයි?
යොහන් 13:2-5, 12-17 යේසුස් ආදර්ශ පාඩමක් යොදාගත්තේ කෙසේද? මේ මගින් ඔහු සිය ප්රේරිතයන්හට ඉගැන්වූයේ කුමක්ද?
[210වන පිටුවේ පින්තූරය]
“සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ”