දුක් වේදනාවල නිමාව අත ළඟයි!
‘ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ?’ එම ප්රශ්නය ඔබ කෙදිනක හෝ අසා ඇති. මිනිසා අවුරුදු දහස් ගණනක් පුරා යුද්ධ, දුප්පත්කම, ආපදාවන්, අපරාධ, අයුක්තිය, අසනීප හා මරණය නිසා අනේකවිධ දුක් ගැහැටවලට මුහුණ දී තිබෙනවා. ඇත්තෙන්ම පසුගිය සියවසේ වෙන කවරදාකටත් වඩා වේදනාකාරී සිදුවීම්වලට මනුෂ්‍යයන් මුහුණ දී තිබෙනවා කියා පැවසුවොත් එය නිවැරදියි. මේ හැම දෙයක්ම කවදාහරි අවසන් වෙයිද?
ඔව්, ඉතාමත් ඉක්මනින්ම අවසන් වෙනවා! දෙවිගේ වචනය වන බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය. . . . එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.” මොළොක් ගුණ ඇති අය දේශය නැතහොත් පොළොව උරුම කරගෙන සමාදානයෙන් සිටින්නේ කොයිතරම් කාලයකටද? බයිබලයේ ඊට පිළිතුරු දෙන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.”—ගීතාවලිය 37:10, 11, 29.
දෙවි, දුෂ්ටකම සහ දුක් වේදනාවන් සම්පූර්ණයෙන්ම නැති කර දැමුවාට පසු පොළොව පාරාදීසයක් බවට පත් කරනු ලබයි. එවිට, මනුෂ්‍යයන්ට නිරෝගී සුවයෙන් හා සන්තෝෂයෙන් යුතුව සදාකාලයටම ජීවත් වෙන්න හැකියාවක් ලැබේවි. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය” කියා දේවවචනයේ සඳහන් කර තිබෙනවා.—එළිදරව් 21:4.
මෙම ආශීර්වාද භුක්ති විඳිනු ඇත්තේ අප විතරක් නොවෙයි. මියගොස් සිටින අයව පවා එම පාරාදීස පොළොවේදී නැවත ජීවනයට ගෙනෙන බව බයිබලයේ සඳහන් වෙනවා. ‘ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙනවා.’ (ක්‍රියා 24:15) මේ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබූ පසුතැවිලි වුණ වරදකරුවෙකුට “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය” කියා යේසුස් පැවසුවේ.—ලූක් 23:43.
දුක් වේදනා විඳින්න සිදු වුණේ ඇයි?
දෙවි මිනිසාට එතරම් ලස්සන අනාගතයක් ලබා දීමට අරමුණු කළා නම්, ඔහු දුක් වේදනා ඇතිවීමට ඉඩහැරියේ ඇයි? ඔහු මෙතරම් කාලයකට එයට ඉඩ දී තිබෙන්නේ මන්ද?
දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ ශාරීරිකව හා මානසිකව කිසිම අඩු පාඩුවක් නැතුවයි. ඒ කියන්නේ ඔවුන් පරිපූර්ණයි. පාරාදීසයක් බඳු උද්‍යානයක තමයි දෙවි ඔවුන්ව තැබුවේ. ඒවගේම ඔවුන්ට පැවරුවෙත් තෘප්තියක් ලැබිය හැකි වැඩ කොටසක්. “දෙවි තමන් සෑදූ සියල්ල දුටුවේය. බලව, එය ඉතා යහපත් විය” යනුවෙන් බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 1:31) ඔවුන් දෙවිට කීකරු වුණා නම්, ඔවුන් බිහි කරන්නේ කිසි අඩු පාඩුවක් නැති පරිපූර්ණ දරුවන්. ඒවගේම මේ මුළු පොළොවම, ජනයාට සමාදානයෙන් හා සන්තෝෂයෙන් සදාකාලයටම ජීවත් විය හැකි පාරාදීසයක් බවට පත්වීමටත් ඉඩ තිබුණා.
දෙවි, ආදම් සහ ඒවව නිර්මාණය කරද්දී ඔවුන්ට යම් වටිනා තෑග්ගක් දුන්නා. ඒ තමයි තමන් කැමති දේ තෝරාගැනීමේ නිදහස. ඔවුන්ව සිතන්න පතන්න බැරි රොබෝ යන්ත්‍රයක් විදිහට නිර්මාණය කළේ නැහැ. ඒත් ඔවුන්ගේ සන්තෝෂය දිගටම රැඳී තිබුණේ එම තෝරා බේරාගැනීමේ නිදහස දෙවිගේ නීති රීතිවලට කීකරු වෙමින්, හරි විදිහට පාවිච්චි කිරීම මතයි. දෙවි මෙසේ පවසනවා. “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය.” (යෙසායා 48:17) මිනිසාව දෙවිගේ මඟ පෙන්වීමක් නොමැතිව ස්වාධීනව කටයුතු කර සාර්ථක වීමට ඔවුන්ව නිර්මාණය කළේ නැහැ. ඒනිසා තෝරා බේරාගැනීමේ නිදහස වැරදි ලෙස භාවිත කිරීමෙන් සිදු වන්නේ මහත් විනාශයක්. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහු තුළෙහිම නැති බව දනිමි; තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත.”—යෙරෙමියා 10:23.
අපේ පළමු දෙමාපියන් දෙවිගෙන් ඈත් වෙලා ස්වාධීනව කටයුතු කිරීමෙන් ඔවුන්ට සාර්ථක වෙන්න පුළුවන් කියා සිතීම කනගාටුවට කාරණයක්. ඔවුන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළ විට දෙවිගේ ආශීර්වාදත් පරිපූර්ණ ජීවිතයත් ඔවුන්ට අහිමි වුණා. එමනිසා ඔවුන් පිරිහෙන්න පටන්ගත් අතර අවසානයේදී වයසට ගොස් මියගියා. අප ඔවුන්ගේ දරුවන් නිසා අපටද පරිපූර්ණ ජීවිතය අහිමි වූ අතර මියයන්න සිදු වෙලා තිබෙනවා.—රෝම 5:12.
මූලික ප්රශ්නය—පාලන අයිතිය
දෙවි, ආදම් සහ ඒවව විනාශ කර තවත් දෙන්නෙක්ව නිර්මාණය නොකළේ ඇයි? එයට හේතුව මේ විශ්වය පාලනය කිරීමට දෙවිට බලය තිබුණත් එසේ කිරීමට අයිතිය තිබෙනවාද කියලා ප්‍රශ්න කළ නිසයි. පැනනැඟුණු ප්රශ්නය නම් කාගේ පාලනයද සුදුසු සහ පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ කාටද යන්නයි. මේ ප්රශ්නය සලකා බලන කල තවත් ප්‍රශ්නයක් පැනනඟිනවා. ඒ තමයි, මිනිසුන් දෙවිගෙන් ඈත් වී ස්වාධීන වීමෙන් මිනිසාට ඊට වඩා හොඳ පාලනයක් කිරීමට හැකියාවක් තිබෙනවාද යන ප්රශ්නය. තමන් සාර්ථකත්වයක් ලබන්නේ දෙවිගේ පාලනය යටතේද නැත්නම් තමන්ගේම පාලනය යටතේද කියා ස්ථිර කරගැනීම සඳහා දෙවි ඔවුන්ට පූර්ණ නිදහස සහ ප්‍රමාණවත් කාලයක් දුන්නා. එවැනි කාලයක් අවශ්‍ය වුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් තොරව පවතින දේශපාලන, සමාජීය, ආර්ථික හා ආගමික යන සෑම ක්‍රමයක්ම මිනිසාට අත්හදා බලන්න ඉඩ දීම සඳහායි.
ඇති වී තිබෙන්නේ කුමනාකාරයේ ප්‍රතිඵලයක්ද? මිනිස් ඉතිහාසයේ ගෙවී ගොස් තිබෙන අවුරුදු දහස් ගණන දිහා බලන විට පෙනෙන්නේ දුක් වේදනා දිනෙන් දිනම වැඩි වී තිබෙන බවයි. මිනිසා දරුණුම ලෙස දුක් වේදනා අද්දැක තිබෙන්නේ පසුගිය ශතවර්ෂයේදීයි. දෙවන ලෝක මහ යුධ සමයේ මිනිසුන් කෝටි ගණන් අමු අමුවේ මරා දමනු ලැබුවා. ඒවගේම යුද්ධය නමැති කුරිරු රකුසා විසින් කෝටි දහයකට වැඩි ජනකායක්ව බිලිගෙන තිබෙනවා. අපරාධ හා සැහැසියාව දසත පැතිරිලා. මත්ද්‍රව්‍ය භාවිතයත් වසංගතයක් වෙලා. ලිංගිකව බෝවන රෝග පැතිර යෑම තවම නැවතී නැහැ. මිනිසුන් කෝටි ගණනක් කුසගින්න හා ලෙඩ දුක් නිසා මිය යනවා. කොහේ බැලුවත් දකින්න තිබෙන්නේ පවුල් කඩාකප්පල් වී සදාචාරය බිඳ වැටී තිබෙන ආකාරයයි. මේ ගැටලුවලට විසඳුම් දෙන්න කිසිම මිනිස් ආණ්ඩුවකට හැකි වෙලා නැහැ. ඒවගේම වයසට යෑම, අසනීප වීම සහ මරණය නැති කරන්නත් කිසිම ආණ්ඩුවකට හැකි වී නැහැ.
අද මිනිසා මුහුණ දෙන තත්වය අපගේ කාලය ගැන බයිබලයේ පුරෝකථනය කර තිබෙන දේට සමානයි. දේවවචනයෙහි අපගේ කාලය හඳුන්වන්නේ මේ සමාජ ක්රමයේ “අන්තිම දවස්” ලෙසයි. එම කාලයේදී “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන” අතර ‘දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ වඩ වඩාත් නරක් වන්නෝය’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—2 තිමෝති 3:1-5, 13.
දුක් වේදනාවල අවසානය අත ළඟයි
දෙවිගෙන් ඈත් වී සාර්ථක විය හැකිද කියා අත්හදා බැලීම් කළ කාලය අවසන් වීමට ළඟ බව සාක්ෂිවලින් පෙනී යනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලින් තොරව මිනිසා පාලනය කිරීමට යෑමෙන් ඔවුන්ට සාර්ථක විය නොහැකි බව ඉතා පැහැදිලියි. දෙවිගේ පාලනයට විතරයි සමාදානය, සන්තෝෂය, නිරෝගී සෞඛ්‍යය හා සදාකාලික ජීවිතය උරුම කර දිය හැක්කේ. දුෂ්ටකම සහ දුක් වේදනා සඳහා යෙහෝවා ඉඩ දී තිබෙන කාලය නිමාවීමට ආසන්නයි. දෙවි ඉතා ඉක්මනින් මිනිස්වර්ගයාගේ දුකට හේතු වී තිබෙන මෙම වත්මන් සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට නියමිතයි.
බයිබලයේ අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. “ඒ රජුන්ගේ දවස්වලදී [වත්මන් පාලන ක්‍රම ක්‍රියාත්මක වන විට] ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් [ස්වර්ගයේ] පිහිටුවන්නේය; ඒ රාජ්‍යය . . . මේ සියලු රාජ්‍යයන් [වත්මන් පාලන ක්‍රම] කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.” (දානියෙල් 2:44) යෙහෝවාගේ ස්වර්ගික ආණ්ඩුව මගින් පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය පිළිබඳ ප්රශ්නය විසඳීම තමයි බයිබලයේ මූලික ඉගැන්වීම. “අන්තිම දවස්” පිළිබඳ ලකුණේ ප්‍රධාන අංගය කුමක්දැයි කියා යේසුස් මෙසේ පැහැදිලි කළා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:14.
අවසානය පැමිණෙන විට බේරී ජීවත් වන්නේ කවුද? ඊට පිළිතුර බයිබලයෙන් සොයාගත හැකියි. “ඇද නැති [නිර්දෝෂ] අය දේශයේ වසන්නෝය; ගුණයෙන් සම්පූර්ණ අයද එහි නැවතී සිටින්නෝය. එහෙත් දුෂ්ටයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය; ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නෝද උදුරනු ලබන්නෝය.” (හිතෝපදේශ 2:21, 22) ඇද නැති අය කියන්නේ යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා ඉගෙනගෙන ඊට එකඟව ක්‍රියා කරන නිර්දෝෂ අයයි. ඒ පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දැන් පවතින “ලෝකය . . . පහව යන” බව ස්ථිරයි. “නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” මෙය කෙතරම් අගනා පොරොන්දුවක්ද!—1 යොහන් 2:17.
විශේෂයෙන් සඳහන් වී නැති තැන්හිදී ග්‍රීක ශුද්ධ ලියවිලි පද සඳහා භාවිත කර ඇත්තේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයයි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පද ගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් 1916දී පළ කරන ලද ශුද්ධ බයිබලයේ සංශෝධනයකිනි.