97වෙනි පරිච්ඡේදය
මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය
“අන්තිමයන්” “ප්‍රථමයන්” වෙයි
යේසුස් තවමත් ඉන්නේ පෙරයාවේ. “ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි” කියලා ඔහු කියපු දේ තේරුම් කරන්න දැන් ඔහු නිදර්ශනයක් කියනවා.—මතෙව් 19:30.
“තම මිදිවත්තට වැඩකරුවන්ව කුලියට ගැනීම සඳහා හිමිදිරි උදෑසනින්ම පිටත්ව ගිය වතුහිමියෙකුට ස්වර්ග රාජ්‍යය සමානයි. ඔහු වැඩකරුවන්ට දවසකට ඩිනාරිය බැගින් දීමට එකඟ වී, ඔවුන්ව තම මිදිවත්තේ වැඩට පිටත් කළා. තුන්වෙනි පැයේදී පමණ ඔහු පිටත්ව යද්දී රැකියාවක් නැතුව වෙළඳපොළේ සිටගෙන සිටින තවත් අයව ඔහු දුටුවා. ‘ඔබත් මිදිවත්තට යන්න. ඔබට ලැබිය යුතු දේ මම ඔබට දෙන්නම්’ කියා ඔහු ඔවුන්ට පැවසුවා. එහෙයින් ඔවුන්ද මිදිවත්තට ගියා. නැවතත් ඔහු හයවෙනි පැයේදී හා නවවෙනි පැයේදී පමණ පිටත්ව ගොස් තවත් අයව වැඩට පිටත් කළා. අවසානයේදී ඔහු එකොළොස්වෙනි පැයේදී පමණ පිටත්ව යද්දී තවත් අය සිටගෙන සිටිනවා දැක, ‘ඔබ රැකියාවක් නැතුව දවස මුළුල්ලේම මෙතැන සිටගෙන සිටින්නේ ඇයි’ කියා ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන්ද, ‘කිසිවෙකු අපව කුලියට නොගත් නිසයි’ කියා ඔහුට පිළිතුරු දුන්නා. ‘ඔබත් මිදිවත්තට යන්න’ කියා ඔහු ඔවුන්ට පැවසුවා.”—මතෙව් 20:1-7.
“ස්වර්ග රාජ්‍යය” සහ “වතුහිමියෙකු” ගැන කියනවා ඇහෙද්දී යේසුස්ට ඇහුම්කන් දෙමින් ඉන්න අයට යෙහෝවා දෙවියන් ගැන මතක් වෙන්න ඇති. මොකද ශුද්ධ ලියවිල්ලේ යෙහෝවා දෙවිව මිදිවත්තක අයිතිකරු විදිහටත් ඊශ්‍රායෙල් ජාතියව මිදිවත්තකටත් සමාන කරලා තියෙනවා. (ගීතාවලිය 80:8, 9; යෙසායා 5:3, 4) මෝසෙස් මාර්ගයෙන් දීපු නීතිය යටතේ ඉන්න අයව තමයි මිදිවත්තක වැඩ කරන අය විදිහට හඳුන්වලා තියෙන්නේ. හැබැයි යේසුස් මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය කිව්වේ දැන් සිද්ධ වෙන දෙයක් පැහැදිලි කරන්නයි.
යේසුස්ගේ වැරදි හොයන පරිසිවරුන් ඇතුළු ආගමික නායකයන් තමයි වෙහෙස මහන්සි වෙලා දෙවියන්ට සේවය කරන අය වගේ පෙනී ඉන්නේ. ඒ නිසා ඔවුන්ව මුළු දවස පුරාම මිදිවත්තේ වැඩ කරලා ඩිනාරියක් බලාපොරොත්තුවෙන් ඉන්න සේවකයන්ට සමාන කරන්න පුළුවන්.
පූජකයන් ඇතුළු ඒ කණ්ඩායමට අයිති අය සාමාන්‍ය යුදෙව් මිනිසුන්ව සලකන්නේ දෙවිගේ මිදිවත්තේ අඩු පැය ගණනක් වැඩ කරන වටිනාකමෙන් අඩු අය විදිහටයි. යේසුස් කියපු නිදර්ශනයේ ඒ අයව සමාන කරලා තියෙන්නේ “තුන්වෙනි පැයේදී” (උදේ 9) නැත්නම් ඊටපස්සේ ඒ කියන්නේ හයවෙනි පැයේදී, නවවෙනි පැයේදී සහ එකොළොස්වෙනි පැයේදී (හවස 5) වැඩට ආපු අයට.
යේසුස්ව අනුගමනය කරන සාමාන්‍ය මිනිසුන්ව ආගමික නායකයන් සලකන්නේ “දේවශාපයට ලක් විය යුතු පිරිසක්” විදිහට. (යොහන් 7:49) ධීවරයන් සහ කම්කරුවන් විදිහට තමයි ඒ මිනිසුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවිලා තියෙන්නේ. හැබැයි ක්‍රි.ව. 29දී “මිදිවත්තේ ස්වාමියා” ඒ අසරණ මිනිසුන් වෙතට යේසුස්ව එව්වා. ඔහු එහෙම කළේ ඒ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙලා තමන්ට සේවය කරන්න අවස්ථාව දෙන්නයි. ඔවුන්ව තමයි “අන්තිමයන්” විදිහට හඳුන්වන්නේ. යේසුස් කියපු නිදර්ශනයේ 11වෙනි පැයේදී වැඩට ආපු අයට සමාන කරලා තියෙන්නේ ඔවුන්ව.
නිදර්ශනයේ අන්තිමට වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “සවස් වූ විට මිදිවත්තේ ස්වාමියා තම වැඩ බලන තැනැත්තාට අඬගසා, ‘වැඩකරුවන් කැඳවා, අන්තිමට පැමිණි අයගෙන් පටන්ගෙන මුලින්ම පැමිණි අය දක්වා ඔවුන්ට ඔවුන්ගේ කුලිය ගෙවන්න’ කියා පැවසුවා. එකොළොස්වෙනි පැයේදී පැමිණි වැඩකරුවන්ටත් ඩිනාරිය බැගින් ලැබුණා. මුලින්ම වැඩට ගිය අය සිතුවේ තමන්ට වැඩියෙන් ගෙවයි කියායි. නමුත් ඔවුන්ටත් ගෙවනු ලැබුවේ ඩිනාරිය බැගින් පමණයි. එවිට ඔවුන් වතුහිමියාට විරුද්ධව මැසිවිලි නඟමින්, ‘අන්තිමට පැමිණි මේ අය වැඩ කළේ පැයක් විතරයි. නමුත් ඔබ, මුළු දවසම අව් රස්නයේ දුක් විඳිමින් වැඩ කළ අපට සැලකුවෙත් ඔවුන්ට සැලකූ විදිහටමයි’ කියා පැවසුවා. එවිට ඔහු ඔවුන්ගෙන් එක් කෙනෙකුට පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මා ඔබට අසාධාරණයක් කරනවා නොවෙයි. ඔබ මා හා එකඟ වුණේ ඩිනාරියකටයි. එසේ නොවෙයිද? ඔබට අයිති දේ රැගෙන යන්න. ඔබට දුන් දෙයම අන්තිමට පැමිණි මොහුටත් දෙන්න මම කැමතියි. මා සතු දෙයින් මා කැමති දෙයක් කිරීමට මට අයිතියක් නැද්ද? නැතහොත් ඔබ, දුෂ්ට විදිහට කටයුතු කරන්නේ මා යහපත් කෙනෙක් වන නිසාද?’ එයාකාරයෙන් අන්තිමයන් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන් අන්තිමයන් බවටත් පත් වෙයි.”—මතෙව් 20:8-16.
ඒ දේ ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ගෝලයන් කල්පනා කරනවා ඇති. “ප්‍රථමයන්” කියලා හිතන් ඉන්න යුදෙව් ආගමික නායකයන් “අන්තිමයන්” වෙන්නේ කොහොමද? යේසුස්ගේ නියෝජිතයන් “ප්‍රථමයන්” වෙන්නේ කොහොමද?
පරිසිවරුන් සහ අනිත් අය “අන්තිමයන්” විදිහට හිතන් ඉන්න යේසුස්ගේ අනුගාමිකයන් තමයි “ප්‍රථමයන්” වෙන්න යන්නේ. යේසුස්ගේ මරණයෙන් පස්සේ දෙවියන් ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට අලුත් සෙනඟක්ව තෝරාගන්නවා. ඔවුන්ව “දෙවිගේ ඊශ්‍රායෙලය” විදිහට හඳුන්වනවා. (ගලාති 6:16; මතෙව් 23:38) ඒ අයව තමයි දෙවිගේ බලයෙන් බව්තීස්ම කරන අය හැටියට යොහන් බව්තීස්ත හැඳින්නුවේ. මුලින්ම, දෙවිගේ බලයෙන් බව්තීස්ම වෙලා “පොළොවේ දුර ඈත කෙළවර” වෙන කල් යේසුස් ගැන සාක්ෂි දරන්න අවස්ථාව ලැබෙන්නේ ඒ අයට. (ක්‍රියා 1:5, 8; මතෙව් 3:11) ඔව්, “අන්තිමයන්” විදිහට හඳුන්වලා තියෙන ඔවුන් අන්තිමේදී “ප්‍රථමයන්” වෙනවා. යේසුස් පැහැදිලි කරන ඒ වෙනස ගෝලයන් වටහාගත්තා නම් “අන්තිමයන්” වෙන්න යන ආගමික නායකයන්ගෙන් තමන්ට හුඟක් පීඩා විඳින්න වෙයි කියලා ඔවුන් තේරුම්ගන්න ඇති.