16වෙනි පාඩම
යෝබ් කියන්නේ කාටද?
ඌෂ් දේශයේ යෙහෝවාට නමස්කාර කරපු පොහොසත් කෙනෙක් හිටියා. එයාගේ නම යෝබ්. එයාට දරුවෝ හුඟක් හිටියා. එයා දුප්පත් අයට, සැමියා මැරුණු අයට, අම්මලා තාත්තලා නැති දරුවන්ට උදව් කරපු, හරිම කරුණාවන්ත කෙනෙක්. ඒත් කොච්චර හොඳ වුණත් එයාට කිසිම ප්රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වුණා කියලා ඔයා හිතනවාද?
සාතන් යෝබ් දිහා බලාගෙනයි හිටියේ. යෙහෝවා සාතන්ට මෙහෙම කිව්වා. ‘මගේ සේවක යෝබ් ගැන ඔයා මොනවාද හිතන්නේ? එයා වගේ හොඳ කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. එයා මං කියන දේ අහන, හරි දේ කරන කෙනෙක්.’ එතකොට සාතන් මෙහෙම කිව්වා. ‘ඔයා එයාව ආරක්ෂා කරලා එයාට ආශීර්වාද කරනවා. ඒකයි එයා ඔයාට කීකරු වෙන්නේ. එයාට ඉඩකඩම්, සත්තු ඇති තරම් දීලා තියෙනවානේ. ඒ ඔක්කොම අරන් බලන්නකෝ එයා ඔයාට නමස්කාර කරන එක නවත්තන්නේ නැද්ද කියලා.’ එතකොට යෙහෝවා කිව්වේ මෙහෙමයි. ‘ඔයා යෝබ් ගැන කියපු දේ ඇත්තද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒත් එයාව මරන්න එපා.’ යෙහෝවා එහෙම කිව්වේ ඒ පරීක්ෂණයෙන් යෝබ් ජය ගන්නවා කියලා දන්න නිසයි.
සාතන් යෝබ්ට ගොඩක් ප්රශ්න ගෙනාවා. ඉස්සෙල්ලාම ෂෙබාවරු ඇවිත් යෝබ්ගේ ගොන්නුයි කොටළුවොයි හොරකම් කළා. ගින්නකින් බැටළුවෝ ටික විනාශ වුණා. කල්දිවරු ඇවිත් එයාගේ ඔටුවෝ බලාගත්ත අයව මරලා උන්ව හොරකම් කළා. යෝබ්ගේ දරුවෝ හැමෝම කෑම කකා ඉද්දී ගේ කඩන් වැටිලා එයාලා මැරුණා. යෝබ්ට ඒ දුක දරාගන්න බැරි වුණා. ඒත් එයා යෙහෝවාව අත්හැරියේ නැහැ.
සාතන්ට ඕන වුණා යෝබ්ට තවත් කරදර කරන්න. යෝබ්ගේ ඇඟ පුරාම තුවාල දැම්මා. ඒ හැම දෙයක්ම වුණේ ඇයි කියලා යෝබ් දැනගෙන හිටියේ නැති වුණත් යෙහෝවාට නමස්කාර කරන එක එයා නැවැත්තුවේ නැහැ. දෙවියන් යෝබ් ගැන හුඟක් සතුටු වුණා.
සාතන් මිනිස්සු තුන්දෙනෙක්ව යෝබ් ළඟට යැව්වා. එයාලා යෝබ්ට මෙහෙම කිව්වා. ‘ඔයා වරදක් කරලා ඒක හංගනවා ඇති. ඒකයි දෙවියන් ඔයාට දඬුවම් කරන්නේ.’ එතකොට යෝබ් කිව්වා ‘මං කිසිම වරදක් කරලා නෑ’ කියලා. ඒත් ඊටපස්සේ ඒ හැම කරදරයක්ම ගේන්නේ යෙහෝවා කියලා එයා හිතන්න පටන්ගත්තා. ඔහු එයාට අසාධාරණ විදිහට සලකනවා කියලත් එයා කිව්වා.
එයාලාගේ කතාව අහගෙන හිටිය එලිහු මෙහෙම කිව්වා. ‘ඔයාලා වැරදියි. අපි හිතනවාට වඩා යෙහෝවා උසස්. ඔහු කවදාවත් නපුරු දෙයක් කරන්නෑ. ඔහු හැම දේම දකිනවා. ප්රශ්නවලට මුහුණ දෙන අයට උදව් කරනවා.’
යෙහෝවා යෝබ්ට මෙහෙම කිව්වා. ‘මං අහසයි පොළොවයි හදද්දී ඔයා හිටියේ කොහෙද? මං අසාධාරණ කෙනෙක් කියලා ඔයා කියන්නේ ඇයි? දේවල් තේරුම්ගන්නේ නැතුවයි ඔයා කතා කරන්නේ.’ ඊටපස්සේ යෝබ් මෙහෙම කිව්වා. ‘මං වැරදියි. මං ඔබ ගැන අහලා තිබුණත් දැන් තමයි ඔබ ගැන හොඳටම දැනගත්තේ. ඔබට කරන්න බැරි දෙයක් නෑ. මට සමාවෙන්න.’
පරීක්ෂණය ඉවර වුණාම යෙහෝවා යෝබ්ගේ ලෙඩේ හොඳ කළා. කලින් තිබුණාට වඩා දේවල් දුන්නා. යෝබ් ගොඩක් කල් සතුටින් ජීවත් වුණා. අමාරු වෙලාවලදී වුණත් යෙහෝවා කියපු දේ අහපු නිසා ඔහු යෝබ්ට ආශීර්වාද කළා. මොන දේට මුහුණ දෙන්න වුණත් ඔයාත් යෝබ් වගේ දිගටම යෙහෝවාට නමස්කාර කරනවාද?
“යෝබ් විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. යෙහෝවා දෙවියන් එයාට ආශීර්වාද කරපු විදිහ ගැනත් ඔයාලා දන්නවා.”—යාකොබ් 5:11