මුදලට ප්‍රේම කිරීමේ ඇති වරද කුමක් ද?
පෝල් හා මේරි දිළිඳු අප්‍රිකානු ප්‍රජාවක් තුළ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන ගියහ.a දිවා රෑ වෙහෙසා වැඩ කිරීමෙන්, ඔවුහු මුදල් සම්භාරයක් ඉපැයූහ. යම් කලකට පසු, සුඛෝපභෝගී ගෘහභාණ්ඩවලින් පිරි විශාල අලුත් ගෙයක් ගැන මේරිට ආඩම්බරයෙන් කථා කළ හැකි විය. පෝල් දෙස බැලීමේ දී, ඔහුටත් සුඛෝපභෝගී මෝටර් රථයක ආධාරයෙන් ගමන් බිමන් යා හැකි ව තිබිණ.
දිනක් ආණ්ඩු විරෝධී පිරිසක් පෝල් වෙතට පැමිණියහ. “අපගේ අරමුණට අනුබලයක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය අපට මාසික ව [ඩොලර් 100ක්] පරිත්‍යාග කළ යුතු” යයි ඔවුහු බලකර කියා සිටියහ. දේශපාලන අරගලයන්හි පැති ගැනීමට අකැමති වූ පෝල් හා මේරි, ධෛර්ය සම්පන්න ව එය ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ මෙම මධ්‍යස්ථ ස්ථාවරය නිසා, ඔවුහු ආණ්ඩුවෙන් මූල්‍යාධාර ලබන බව සැක කරනු ලැබූහ. එක් සති අන්තයක, පෝල් හා මේරි නගරයෙන් පිට වී සිටි අවස්ථාවේ, ඔවුන්ගේ සාප්පුව සොරාගනු ලැබ, මෝටර් රථයටත්, ප්‍රියංකර නිවසටත් ගිනි තබනු ලැබී ය.
මෙය කනගාටුදායක වාර්තාවකි, එහෙත් ඇත්ත වශයෙන් ම ඉන් අපට පාඩමක් ඉගෙන ගත හැකි ද? පොහොසත් වීමට වෙහෙසා වැඩ කළ බොහෝ දෙනා, තමන්ගේ වස්තු තමන්ට අහිමි වීමේ මහත් ආපදාවකින් පහර නොලබන්නට ඇතිමුත්, අනාගතය ගැන කුමක් කිව හැකි ද? “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය” යයි බයිබලය පවසන්නේ මක්නිසා ද?—1 තිමෝති 6:9.
මුදල් පිළිබඳ සමබර දෘෂ්ටියක්
බයිබලයට අනුව, සැබෑ ක්‍රිස්තියානියෙක් ඔහුගෙන් හෝ ඇයගෙන් යැපෙන පවුලේ සාමාජිකයන්ට ඕනෑ කරන ද්‍රව්‍යමය දේවල් සැපයීම කළ යුතු ය. විරැකියාව හෝ සෞඛ්‍ය ගැටලු වැනි තත්ත්වයන්, ඇතැම් අවස්ථාවල දී මෙය අපහසු කරවිය හැකි ය. අනෙක් අතට, තමාගේ පවුලට සැපයුම් කිරීම වුවමනාවෙන් ම නොසලකා හරින ක්‍රිස්තියානියෙක් “ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”—1 තිමෝති 5:8.
ඇතැම් ගැමි ප්‍රජාවන්හි, ජනයා තමන්ගේ ම ආහාර වගා කරමින් ද, සතුන් ඇති කරමින් ද ජීවත්වීම සඳහා ගොවිකම මත රැඳී සිටිති. ඇතැමෙක් භාණ්ඩ හා සේවාවන් සඳහා බඩු හුවමාරු කර ජීවිතයේ අවශ්‍යතාවන් සපයා ගැනීමෙන්, මුදල් සඳහා එතරම් අවශ්‍යතාවක් නොමැති තත්ත්වයක සිටිති. කෙසේ වෙතත්, මුදල් උපයන්නන් තමන්ගේ පවුල්වලට සැපයුම් කරන වඩාත් පොදු ක්‍රමය වනුයේ, වේතනයකට හුවමාරුවක් වශයෙන් යම් ආකාරයක රැකියාවක නිරත වීම ය. ඔවුහු උපයන ලද මුදල් සිය පවුලේ සුභසාධනයට දායක වන ආහාර මෙන් ම වෙනත් දෑ මිල දී ගැනීමට පාවිච්චි කරති. මීට අමතර ව, ඥානවන්ත ලෙස ඉතුරු කරන ලද මුදල්, දුෂ්කර හා ආපදා සහිත කාලවල යම් ප්‍රමාණයක ආරක්ෂාවක් සැපයිය හැකි ය. උදාහරණයක් වශයෙන්, එය වෛද්‍ය වියදම් පියවීමට හෝ කෙනෙකුගේ නිවසේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කිරීමට හෝ පාවිච්චි කළ හැකි ය. “මුදල ආරක්ෂාවක්” යයි ද, එය “සියලු දේ ඉෂ්ට” කරයි යනුවෙන් ද බයිබලය යථාර්ථ වශයෙන් පවසන්නේ ඒ නිසා ය.—දේශනාකාරයා 7:12; 10:19.
මුදල් මෙතරම් මහත් දෑ සපුරාලන බැවින්, එහි බලය පිළිබඳ ව යථාර්ථ නොවන දෘෂ්ටියක් වර්ධනය වීමේ අන්තරාය ඇත. වැඩි වැදගත්කමකින් යුත් වෙනත් දෑ හා සැසඳීමේ දී, එහි සීමාවන් ගැන ක්‍රිස්තියානියෙක් දැනුම් තේරුම් ඇති ව සිටිය යුතු ය. උදාහරණයක් වශයෙන්, බයිබලය මෙසේ පවසමින්, මුදලේ අගය දිව්‍ය ප්‍රඥාව හා සසඳයි: “මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) දිව්‍ය ප්‍රඥාව මුදලට එරෙහි ව මෙවන් වාසිදායක තත්ත්වයක් අත්කර ගන්නේ කොයි ආකාරයෙන් ද?
අතීතයෙන් පාඩමක්
පොදු යුගයේ 66 දී යෙරුසලමේ සිදු වූ සිද්ධීන්, මුදලට එරෙහි ව දිව්‍ය ප්‍රඥාවේ වාසිය පැහැදිලි කරයි. ආක්රමණයේ යෙදී සිටි රෝමානු හමුදාවන් පන්නා දැමීමෙන් පසු, යෙරුසලමේ වාසය කරමින් සිටි යුදෙව්වෝ ව්‍යාපාර අපේක්ෂාවන් යහපත් ව තිබුණේ යයි පෙනෙන හැටියට විශ්වාස කළහ. ඇත්ත වශයෙන් ම, ඔවුහු අලුතින් අත්කර ගත් නිදහසට ප්‍රශංසා කිරීමක් වශයෙන් තමන්ගේ ම මුදල් නිපදවීමට පටන් ගත්හ. ඔවුන්ගේ කාසිවල, “සියෝනයේ නිදහස වෙනුවෙන්” හා “පරිශුද්ධ යෙරුසලම” වැනි හෙබ්‍රෙව් බසින් වූ ප්‍රකාශන මුද්‍රා කොට තිබිණ. සෑම අලුත් අවුරුද්දක් පාසා ම, ඔවුහු “දෙවන වසර,” “තුන්වන වසර,” හා “හතරවන වසර” යනාදි ලෙසින් ඒවායේ අනන්‍යතාව ගැබ් වූ අලුත් කාසි සෑදූහ. පුරාවේදීන්, පො.යු. 70 වසරට අනුරූප වන, “පස්වන වසර” සඳහන් කාසි කිහිපයක් ද පොළොව යට තිබී සොයා ගෙන ඇත. යුදෙව් ක්‍රිස්තියානිහු අලුත් යුදෙව් මුදල කල්පවතින සාමයේ වලංගු සංකේතයක් හැටියට කල්පනා කළෝ ද?
නැත, හේතුව ඔවුන් තමන්ගේ ස්වාමියාගේ ප්‍රඥාවේ වදන් සිතැති ව සිටීම ය. යේසුස් වහන්සේ පො.යු. 66 හි සිදු වූ රෝමානු ආක්‍රමණය පුරෝකථනය කර තිබුණි. එය සිදු වූ විට, ඔවුහු ‘යෙරුසලමෙන් පිටතට යා යුතු’ බව උන් වහන්සේ සිය අනුගාමිකයන්ට අවවාද කර තිබුණි. (ලූක් 21:20-22) යුදෙව් ක්‍රිස්තියානින් එසේ කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුහු යෙරුසලම අත්හැර යාමෙන් තමන්ට අයත් වූ දේපළ, වස්තු හා ව්‍යාපාර ප්‍රස්තාවන්හි පාඩු විඳින්නට පැහැදිලි ව ම කැමැත්තෙන් සිටියහ. ඉන් වසර හතරකට පසු, රෝමානු හමුදාවෝ හැරී ඇවිත් නගරය වටලා ගත්හ.
ඉතිහාසඥ ජොසේෆස්ගේ, ඇසින් දුටු සාක්ෂියට අනුව, “නගරයේ විශාල රන් ප්‍රමාණයක් තිබිණ.” එහෙත් විශාල මුදල් ප්රමාණයන්ට, යෙරුසලම සාගතයෙන් බේරා ගත නොහැකි වූ අතර, කනගාටුදායක ලෙසින්, එය “බලවත්” වී “මුළු ගෙවැසියන් හා පවුල් විනාශ කළේ ය.” සමහරක් වැසියන් රන් කාසි ගිලදමා නගරයෙන් පැන යාමට වෑයම් කළහ. එහෙත් එම මුදල් ඉවතට ගැනීමට ඔවුන්ගේ ම සතුරන් විසින් ඔවුන්ගේ උදරයන් කපා විවෘත කර, ඔවුන් ව ඝාතනය කරනු ලැබී ය. “වත් පොහොසත් අය ගත් කල, නගරයේ රැඳී සිටීම, ඉන් ඉවත්වීම තරම් ම අනතුරුදායක විය; ඊට හේතුව, හෙතෙම පලායන්නෙක් බවට වූ සැකකාර හේතුව මත, බොහෝ දෙනෙකු තමාගේ මුදල් වෙනුවෙන් ඝාතනය කරනු ලැබී ය.”
වටලෑම පටන්ගෙන මාස හයකටත් අඩු කාලයක් තුළ යෙරුසලම විනාශ කරනු ලැබූ අතර එහි වාසය කළ මිලියනයකටත් වැඩි ජන සංඛ්‍යාවක් සාගතයෙන්, වසංගතයෙන්, හා කඩුවෙන් මරණයට පත් කරනු ලැබූහ. මුදලට තිබූ ප්‍රේමය බොහෝ දෙනෙකු ව විනාශයට හා ව්‍යසනයට පත් කරමින් ඔවුන්ගෙන් අවබෝධය ඉවත් කළ ද, ප්‍රඥාවේ වදන් අදාළ කර ගැනීම, යුදෙව් ක්‍රිස්තියානින්ට ඉන් බේරීමට හැකියාව ලබා දුණි.
ඉතිහාසය තුළ මුදල් උග්රාවස්ථාවන්හි ජනයා ව බෙලහීනත්වයට පත් කළ එක ම අවස්ථාව එය නොවෙයි. මුදලට ප්‍රේම කිරීම, කොතරම් කෲර ස්වාමියෙකු විය හැකි ද! (මතෙව් 6:24) එපමණක් ද නොව, එය ඔබට වර්තමානයේ පවතින සන්තෝෂය ද අහිමි කළ හැකි ය.
මුදලට මිල දී ගත නොහැකි ආස්වාදයක්
ධනවත් වීමට ඇති තදබල සිතිවිල්ල, එතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොකරන බොහෝ ආස්වාදයක් සම්බන්ධ ව කෙනෙකු ව අන්ධ කළ හැකි ය. උදාහරණයක් හැටියට, සන්තෝෂවත් පවුල් සබඳතා, සැබෑ මිත්‍රයන්, ස්වභාවික ආශ්චර්යයන්, කැපී පෙනෙන ඉරු බැස යාමක්, ප්‍රබල වූ කුණාටුවක්, තරුවලින් පිරි ගුවන්තලයක්, සත්ත්වයන්ගේ උසුළු විසුළු, නැතහොත් නොඉඳුල් වනාන්තරවල මල් හා ගස් සලකා බලන්න.
ඇතැම් ධනවත් අයට ඉහත සඳහන් කළ ආස්වාදයන් භුක්ති විඳීමට වැඩි කාලයක් ඇති බව සැබෑවක් වුවත්, ඔවුන්ගෙන් වැඩි දෙනා තමන්ගේ ඉතිරිය නැතහොත් වත්කම් වැඩි කර ගැනීමට දරන වෑයමෙහි අතිශයින් කාර්ය බහුල ව සිටිති. එය පුදුම සහගත යමක් සේ දිස් වනවා වුවත්, සතුට බොහෝ විට විවේකී ව සිටින අයට පවා අත්කර ගත නොහැකි යමක් සේ පවතී. මෙය නවීන දින පර්යේෂකයන් ව පුදුමයට පත් කරවයි. “විශාල ජන පිරිසක් විසින් මහත් ආශාවෙන් බලා සිටින්නා වූ ද, සියල්ල සුව කරන්නක් හැටියට විශ්වාස කරනු ලබන්නා වූ ද, යමක් අත්කර ගනු ලැබූ විට බලාපොරොත්තු බිඳ වැටීමේ පටන් චිත්ත වේගාත්මක කම්පනය දක්වා වෙනස් වන්නා වූ අහිතකර බලපෑම් මාලාවක් ඇති වීම අපට පැහැදිලි කළ හැක්කේ කෙසේ ද?” යයි තොමස් වයිස්මන්, ද මනි මෝටිව්—ඒ ස්ටඩි ඔෆ් ඇන් ඔබ්සෙෂන් නම් සිය පොතේ විමසයි.
ධනවත් පුද්ගලයෙකුගෙන් සතුට ඉවත් කළ හැකි එක් දෙයක් නම්, ඔහුගේ සැබෑ මිත්‍රයන් කවුරුන් වන්නේදැයි දැනගැනීමට ඇති අපහසුව ය. ධනවත් සාලමොන් රජ “යහපත් දේවල් බහුල වන විට, ඒවා අනුභව කරන්නෝ ද නිසැක ව ම වැඩි” වන බව අත්දුටුවේ ය. (දේශනාකාරයා 5:11, NW) බොහෝ ධනවත් අය තමන්ගේ වස්තුවේ අගය, අඛණ්ඩ පවත්වා ගැනීමට හෝ වැඩි කර ගැනීමට වෑයම් කිරීමේ දී කාන්සාවෙන් ද වේදනා විඳිති. මෙනිසා ඔවුන්ට සුවබර නින්දක් අහිමි වෙයි. මෙය බයිබලය පැහැදිලි කරන්නේ මෙසේ ය: “වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.”—දේශනාකාරයා 5:12.
මුදලට ඇති ප්‍රේමය කෙනෙකු ව වංක හා අපරාධිත ක්‍රියාවන්ට පෙලඹවිය හැකි නිසා, එය පවුල හා මිත්‍රයන් අතර සම්බන්ධතාවයට හානි කළ හැකි ය. මුදලට ප්‍රේම කරන්නෝ බොහෝ විට සූදුවට හැරෙති. කනගාටුදායක ලෙසින්, හුදු තවත් එක් වතාවක් සූදුවේ නියැලීමට වූ බලවත් ආශාව බොහෝ දෙනෙකු ව ණයගැති භාවයට පත් කරයි. “ඔවුන් මා වෙතට එන අවස්ථාව වන විට, ඔවුන්ට හැරෙන්නට බැරි තත්ත්වයකට ඔවුහු පත් ව සිටිති; ඔවුන්ට රැකියා, ව්‍යාපාර, නිවාස අහිමි වී ඇති අතර ඔවුන්ගේ පවුල් බොහෝ විට ඔවුන් ව අත්හැර ගොස් ඇත” යයි දකුණු අප්‍රිකානු මනෝ චිකිත්සකයෙක් පැවසී ය. මෙහිදී “විශ්වාසනීය ක්‍රියා ඇති මිනිසා බොහෝ ආශීර්වාද ලබන්නේ ය, එහෙත් වස්තු උපයා ගැනීමට ඉක්මන් වන්නා නිර්දෝෂකමින් දුරුවෙන්නේ ය.” යන බයිබල් අනතුරු ඇඟවීම කොතරම් සැබෑ ද?—හිතෝපදේශ 28:20, NW.
එය “පියාපත් සාදාගෙන . . . ඉගිලී” යයි
මුදලට ඇති ප්‍රේමය මෙතරම් අන්තරාදායක වීමට තවත් හේතුවක් වනුයේ, මනුෂ්‍ය ආණ්ඩු සම්පූර්ණයෙන් ම සහයෝගී වීමට නැතහොත් මුදලේ අගය ජාත්‍යන්තර වශයෙන් ස්ථායී ව පවත්වා ගැනීම සහතික කිරීමට අසමත් වීම ය; තව ද ඒවා ආර්ථිකය පසුබැස්ම, අර්ථ හානිය, ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළ බිඳ වැටීම්, වැළැක්වීමට අසමත් වී ඇත. වැළැක්විය නොහැකි ව ඇති වංචාව ද සොරකම ද උද්ධමනය ද මතු සඳහන් දේවානුභාවය ලත් වදන්වල සත්‍යතාව අවධාරණය කරයි: “පොහොසත් වෙන්ට නොවෙහෙසන්න; ඒ අදහස අත්ඇරපන්න. නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.”—හිතෝපදේශ 23:4, 5.
උද්ධමනය. එම ගැටලුව ඒකාන්තයෙන් ම දිළිඳු රටවලට පමණක් සීමා වී නොමැත. මෙම ශතවර්ෂයේ මූලාරම්භයේ දී, ජවන උද්ධමනය මධ්‍යම යුරෝපයේ කාර්මික රටවල්වලට පහර දුණි. උදාහරණයක් හැටියට, Iවන ලෝක යුද්ධයට පෙර, ජර්මානු මාර්ක් එකක වටිනාකම බොහෝ දුරට බ්‍රිතාන්‍ය සිලිමකට, ප්රංස ෆ්රෑන්කයකට, එසේත් නැතහොත් ඉතාලියානු ලීරාවකට සමාන ව තිබිණ. ඉන් අවුරුදු දහයකට පසු, සිලිමක්, ෆ්රෑන්කයක්, හා ලීරාවක් බොහෝ දුරට මාර්ක් 10,00,00,00,00,000කට සමාන විය. වේගයෙන් ඉහළ යන උද්ධමනය ධනවත් සමාජයන්ට අයත් අය කෙරෙහි ඇති කරවනුයේ කිනම් බලපෑමක් ද? “එක්දහස් නවසිය විසි ගණන්වල පරාජයට පත් කරන ලද මධ්‍යම බලවතුන්ට සිදු වූ දෙය, විනිශ්චයක් කරන්නට යම් මිම්මක් ලෙස ගතහොත්, කිසිදු සමාජයකට දුර්වල හා වෙනස් නොවී දිගට ම පැවතිය නොහැකි තත්ත්වයක් බවට පත්කරමින් බොහෝ දුරට භය නිසා උත්පාදනය වන එවන් ගිජුකම, සැහැසියාව, අසතුට, හා බද්ධ වෛරය යනාදියට [මූල්‍ය බිඳවැටීම] මුල පුරයි” යනුවෙන් ඇඩම් ෆර්ගර්සන්, වෙන් මනි ඩයිස් නම් සිය පොතේ සඳහන් කරයි.
වර්ෂ 1923 දී, ජර්මනිය, පැරණි මාර්ක් 10,00,00,00,00,000ක් හදිසියේ ම, අලුත් මාර්ක් එකකට සමාන වන සේ, බින්දු 12 කපා හැරීමෙන් එහි ව්‍යවහාර මුදල නැවත අගය කිරීමකට යටත් කළේ ය. මෙම පියවර උද්ධමනය නැවැත් වුව ද, එමගින් වෙනත් විනාශකාරී විපාක ඇති විය. එය ෆර්ගර්සන් මෙසේ පැහැදිලි කරයි: “දහස් සංඛ්‍යාවක් බංකොලොත් භාවයට පත් කළා වූ ද, මිලියන සංඛ්‍යාවකගෙන් සිය ජීවනෝපාය සොරා ගත්තා වූ ද, එමෙන් ම තවත් මිලියන සංඛ්‍යාවකගේ බලාපොරොත්තු විනාශ කළා වූ ද, මූල්‍ය ස්ථායිතාවක් නැවත ඇති කිරීම මුළු ලෝකයට ම ගෙවන්නට සිදු වූ වඩාත් දරුණු ප්‍රතිඵලයක් අනියම් ආකාරයෙන් නියම කළේ ය.” පෙනෙන හැටියට, ලේඛකයාගේ මනසේ තබා ගෙන සිටි “දරුණු ප්‍රතිඵලය” නාට්සිවාදය හා IIවන ලෝක යුද්ධය බිහිවීම විය හැකි ය.
විශාල බැංකු ගිණුම් අතීතයේ බොහෝ දෙනෙකු ව පිරිහීමට ලක් කර තිබීම, අවිනිශ්චිත ආර්ථිකයක් ලෝක ව්‍යාප්ත ව ඇති මෙම කාලයේ සැලකිය යුතු බැරෑරුම් අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියා කළ යුතු ය. මුදල පිරිහීමට ලක් වනු ඇතැයි දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම අනතුරු අඟවා ඇති අතර වාර ගණනාවක් නිසැක ව ම එසේ සිදු වී ඇත. (ලූක් 16:9) එහෙත් විශාලතම හා වඩාත් ම පුළුල් මූල්‍ය පිරිහීම යෙහෝවඃ දෙවියන් වහන්සේ මෙම දුෂ්ට ලෝකය කෙරෙහි විනිශ්චයක් ඉටු කරන විට ක්‍රියාත්මක වෙනවා ඇත. “උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.”—හිතෝපදේශ 11:4.
එබැවින්, අප සෑම කෙනෙක් ම අපගේ සැබෑ මිත්‍රයන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟත් ධර්මිෂ්ඨ ස්ථාවරත්වයක් ඇති ව සිටීමට වෑයම් කිරීම කොතරම් වැදගත් ද!
කල්පවතින සන්තෝෂයේ උල්පත
මුල දී සඳහන් කරන ලද පෝල් හා මේරි, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වූහ. වසර ගණනාවකට ඔවුහු පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවයේ සහභාගි වූහ. කෙසේ වෙතත්, වස්තු සඳහා ඔවුන් තුළ තිබූ ආශාව ඔවුන් ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට පැමිණීම නැවැත් වූ අතර මෙසේ ඔවුහු ප්‍රසිද්ධ සේවයේ සිය ඇදහිල්ල හවුලේ බෙදා ගැනීම ද නැවැත් වූහ. එහෙත් ඔවුහු යළි අවදි වූහ. සොරකමට ලක් ව තමාගේ නිවස විනාශ වීමෙන් පසු, “මාගේ මුළු කාලයත් ශක්තියත් විනාඩි කිහිපයකින් අතුරුදහන් විය හැකි යමක් වෙනුවෙන් වැය කිරීම කොතරම් මෝඩ දැයි දැන් මට පෙනේ” යයි මේරි පැවසුවා ය. සතුටු විය හැකි ලෙසින්, මෙම යුවළ ප්‍රමාද වන්නට කලින් අප්රමාදී ව පාඩමක් ඉගෙන ගැනීමට සමත් වූහ. එසේ ය, මුදලට ප්‍රේම කිරීම, සිදු කළ හැකි විශාලතම හානිය නම් යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ පවත්වන අනුමැතිය ලත් සම්බන්ධතාව බිඳ හෙළීම ය. මෙම මිත්‍රයන් නොමැති ව, මෙම දුෂ්ට ලෝකයේ අවසානයෙන් බේරී පොරොන්දු වූ ධර්මිෂ්ඨකමේ නව ලෝකයට ඇතුල්වීම ගැන අපට තැබිය හැක්කේ කිනම් බලාපොරොත්තුවක් ද?—මතෙව් 6:19-21, 31-34; 2 පේතෘස් 3:13.
එනිසා ඔබ පොහොසත් ව හෝ දිළිඳු ව යන කොයි ආකාරයෙන් සිටියත්, මුදලට ප්‍රේමයක් වර්ධනය කිරීම ගැන ආරක්ෂා වන්න. ශ්‍රේෂ්ඨතම නිධානය එනම්—යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ අනුමැතිය ලත් ස්ථාවරත්වයක්—ලබා ගෙන එය පවත්වා ගැනීමට ක්‍රියා කරන්න. මෙය ඔබට කළ හැක්කේ “ආත්මයාණන්වහන්සේද [ආත්මය ද NW] මණමාලීද: වරෙන්නැයි කියති. අසන්නාද: වරෙන්නැයි කියාවා. පියාසා ඇත්තාද ඒවා කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා” යන හදිසි ආරාධනයට නිරන්තර අවධානයක් යොමු කිරීමෙනි.—එළිදරව් 22:17.
[පාදසටහන්වල]
a ඔවුන්ගේ සැබෑ නාම පාවිච්චි කර නැත.
[8, 9වන පිටුවේ පින්තූර]
යුදෙව් විප්ලවය තුළ “දෙවන වසර” යනුවෙන් කොටන ලද කාසියක දෙපැත්ත
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.