ක්‍රිස්තියානින් නිවාඩු දවසක් පැවැත්විය යුතු ද?
ජූනි මාසය විශේෂයෙන් වැසි බර මාසයක් ව තිබිණි. මේ හේතුවෙන්, ආදි කාලයේ ලෞකික සම්ප්‍රදායන්, 1991 වසරේ විම්බෙල්ඩන් ශූරතාවය තිබුණු කාලය අතරතුරේ දී බිඳ දමන ලදි. ඉතිහාසයේ පළමු වතාවට, අහිමි වූ කාලය හිලව් කර ගැනීම සඳහා ඉරු දිනක ටෙනිස් තරඟ පැවැත්විණි. මේ අවස්ථාව වැනි ඉඳ හිට නීති නොසලකා හැරීම හැර, ඉරු දින, එංගලන්තයේ මෙන් ම වෙනත් බොහෝ රටවල පරිශුද්ධ නිවාඩු දිනයක් සේ පවතී.
ඇතැම් ජනයා වෙනස් නිවාඩු දිනයක් පවත්වති. ලොව වටා සිටින යුදෙව්වෝ, සිකුරාදා හිරු බැස යාමේ සිට සෙනසුරාදා හිරු උදාව දක්වා සබතක් දැඩි සේ පවත්වති. සබත් අතරතුරේ දී, ඊශ්‍රායෙල් ජාතික ගුවන් සේවයේ ගුවන් යානා පියාසර නොකරන අතර, ඇතැම් නගරවල මහජන ගමනාගමනය ක්‍රියාත්මක නොවේ. යෙරුසලමේ සාම්ප්‍රදායිකයන්, නීති විරෝධී යයි ඔවුන් විසින් සලකන ඇතැම් මාර්ග සියලු ම වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබේ.
බොහෝ ආගම් තවමත් සතියේ නිවාඩු හෝ සබත් දිනයක් පවත්වන්නේ ය යන කාරණය, ප්‍රශ්න කිහිපයක් මතු කරයි. සබත් පැවැත්වීම යුදෙව්වන්ට පමණක් ද? ක්‍රිස්තියානි ලෝකයේ ආගම් බොහොමයක් වෙනස් නිවාඩු දිනයන් පිළිගෙන ඇත්තේ මන්ද? සතියේ නිවාඩු දිනයක් පැවැත්වීම අද දිනටත් බයිබලයේ අවශ්‍යතාවයක් ලෙස පවතී ද?
සබත් සැම දා පැවත තිබේ ද?
සබත් පැවැත්වීමක් ගැන අපට පළමුවෙන් ම ශුද්ධ ලියවිල්ලේ සොයා ගත හැක්කේ නික්මයාම පොතෙහි ය. ඊශ්‍රායෙල්වරුන් කාන්තාරයේ සිටි විට, ඔවුහු යෙහෝවඃ වහන්සේ වෙතින් ප්රාතිහාර්යමය ආහාරයක් වූ මන්නා ලැබූහ. සතියේ සෑම හයවෙනි දිනයේ දී, දෙගුණයක් රැස්කර ගැනීමට ඔවුනට තිබිණි, මන්දයත් සත්වෙනි දවස “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW ] පවත්වන සබතක්” වීමට තිබූ අතර, එම දිනයේ දී සියලු වැඩ තහනම් විණි.—නික්මයාම 16:4, 5, 22-25.
එපමණක් නොව, ඊශ්‍රායෙල්වරුන්ට සබත් පැවැත්වීමක් දෙන ලද්දේ, ඔවුන් මිසර දේශයේ වහලුන් ව සිටි බව සිහිගැන්වීමට ය. ඔවුන් මීට පෙර එවන් නීතියකට ගෞරව කර තිබුණා නම්, මෙම සිහිගැන්වීම ඔවුන් හට තිබෙනු ඇත්තේ සුළු වැදගත්කමක් ය. එම නිසා, සබත් හසුරුවන්නා වූ නියමයන් දෙන ලද්දේ ඊශ්රායෙල්වරුනට පමණි.—ද්විතීය කථාව 5:2, 3, 12-15.
අකුරට ම පිළිපැදිය යුතු වූ පීඩාකාරී පිළිවෙත්
සබත් පිළිබඳ ව මෝසෙස්ගේ ව්‍යවස්ථාව බොහෝ සවිස්තරාත්මක නොවූ හෙයින්, සියවස් ගණනාවක් පුරා, රබ්බිවරු, ප්‍රධාන කොට ම සබත් දවසේ සියලු ආකාරයේ වැඩකටයුතු තහනම් කරමින්, තහංචි ගණනාවක් පැනවූහ. මිෂ්නාහ් ලියවිල්ලට අනුව, තහනම් කර තිබූ වැඩ, මැසීම, ලිවීම, සහ ගොවිපලවල වැඩ වැනි ප්‍රධාන ප්‍රභේද 39කට වර්ග කොට තිබිණි. මෙම රෙගුලාසිවලින් බොහොමයක් බයිබලය මත පදනම් වූ ඒවා නොවේ. මිෂ්නාහ් ලියවිල්ල උපුටා දක්වමින්, එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා පිළිගන්නේ, මේවා වනාහි “හිසකෙස් ගසකින් එල්ලෙන කඳු බව ය, මන්දයත් විෂය ගැන ශුද්ධ ලියවිල්ලේ තිබෙන්නේ මඳ වශයෙනි, නමුත් නීති බොහොමයක් ය.”
මිනිසෙක් “සබත් දවසේ තමාගේ ස්ථානයේ සිට යා” නොයුතුය යන නීතිය අදාළ කර ගැනීමට, අවම දුරක් නිශ්චය කෙරුණු අතර, මෙය “සබත් සීමාව” යනුවෙන් නම් කරන ලදි. එක්තරා මූලාශයක් පවසන පරිදි, එය රියන් දෙදහකට හෙවත් මීටර් 900කට අනුරූප විය. (නික්මයාම 16:29, කිං ජේම්ස් වර්ෂන්) කෙසේ වුවද, මෙම කොන්දේසිය සියුම් ලෙස මඟ හැරිය හැකි විණි. ඊට පෙරදා සවස, නිවසේ සිට රියන් දෙදහක දුරක සබත් ආහාර තැබිය හැකි විණි: එවිට මෙම ස්ථානය පවුලේ නිවසට එකතු කරන ලද්දක් හැටියට සලකනු ලැබිය හැකි වූ අතර, මෙම ස්ථානයේ සිට තවත් රියන් දෙදහක් ගණන් කළ හැකි විය.
මිනිසා විසින් සාදන ලද මෙම තහංචිවලින් බොහොමයක් යේසුස් වහන්සේගේ දවසේ දී ක්‍රියාත්මක වූයේ ය. මෙසේ, යේසුස් වහන්සේගේ ගෝලයන් ධාන්‍ය කෙත් මැදින් ගමන් කරන අතර ධාන්‍ය කරල් කඩා කෑ විට ආගමික නායකයෝ ඔවුන්ට පරිභව කළෝ ය. ඔවුන්ට චෝදනා නැඟුණේ සබත් කඩ කළා කියා ය—එනම් ධාන්‍ය කරල් කැඩීම කැපීමක් ලෙස සලකනු ලැබුණු අතර, ඒවා පොඩි කිරීම ඇඹරීමක් හෝ පොඩි කිරීමක් සේ සැලකිණි. යේසුස් වහන්සේ අවස්ථා කිහිපයක දී ඔවුන්ගේ මෙම අන්තවාදී දෘෂ්ටීන් ගැන තරවටු කළ සේක, මන්දයත් ඒවායින් සිදු වූයේ, යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාවේ හරය වැරදි ලෙස නියෝජනය වීමයි.—මතෙව් 12:1-8; ලූක් 13:10-17; 14:1-6; යොහන් 5:1-16; 9:1-16.
සෙනසුරාදාවක සිට ඉරිදාවක සබත් දක්වා
“ඉරු දිනයන් ශ්රද්ධාවන්ත ව දෙවියන් වහන්සේට සේවය කිරීමට වෙන් කරනු ලැබේ.” කතෝලික සභාව මගින් ඉදිරිපත් කරනු ලැබ ඇති පරිදි සබත් පිළිබඳ හතර වෙනි පනත එවැන්නකි. මෑතක දී පළ කරන ලද ප්‍රංශ කටේෂීස්ම පූ අඩ්යූල්ට මෙසේ පැහැදිලි කරයි: “ක්‍රිස්තියානි ඉරු දින පවත්වන්නේ සබත් දිනයට පසු ව ය; අට වෙනි දවසේ ය, එනම් අලුත් මැවිල්ලේ පළමු දවසේ දී ය. එය සබත්හි අත්‍යවශ්‍ය කොටස් පිළිගන්නා නමුත්, එය කේන්ද්‍රගත වී තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කුව මත ය.” මෙම සෙනසුරාදා සබතේ සිට ඉරිදා සබත දක්වා වෙනස සිදුවූයේ කෙසේ ද?
ඉරු දින යේසුස් වහන්සේ නැවත නැගිටවනු ලැබූ දිනය වුව ද, ක්‍රිස්තියානින් උදෙසා එය අනෙක් දවස් මෙන් වැඩ කරන දිනයක් විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සෙනසුරාදා පවත්වන ලද යුදෙව් සබත ඉරිදා දින “ක්‍රිස්තියානි” සබතක් මගින් අනුයුක්ත වී යයි ලෙවොදීසියානු සභා කවුන්සලයකින් ගන්නා ලද තීරණයකින් හෙළි වෙයි. මෙම විනය නීතිය, “යුදෙව් ක්‍රමය පිළිපැදීම හා [යුදෙව්] සබත් දින වැඩ නොකර සිටීම ක්‍රිස්තියානින් හට තහනම් කළේ ය, තව ද ස්වාමීන් වහන්සේගේ දවස [උන් වහන්සේ ව නැවත නැගිටවනු ලැබූ සතියේ දවස] ක්‍රිස්තියානි ක්‍රමයකට ගෞරව කරනු ලැබිය යුතු විය.” එතැන් පටන් ක්‍රිස්තියානි ලෝකයට අයත් භක්තිකයන්ට සෙනසුරාදා වැඩ කිරීමට සිදු වූ අතර, ඉරු දිනවල වැඩ කිරීමෙන් වළකින්නට සිදුවිණි. පසු ව, ඉරිදා පූජාවට පැමිණීම ඔවුන්ගෙන් අවශ්‍ය කරවී ය.
ලෞකික අධිකාරින්ගේ අනුග්‍රහය ඇති ව, ඉරු දිනවල වැඩ කිරීම ක්‍රිස්තියානි ලෝකය පුරා, ඉක්මනින් ම තහනම් විණි. හයවැනි සියවසේ සිට, එම නීතිය කඩකරන්නන්ට දඩ ගසනු ලැබිණි, නැතහොත් කස පහර කන්නට සිදු විණි, ඔවුන්ගේ ගවයන් රාජ සන්තක කෙරිණි. එක් අවස්ථාවක දී, පසුතැවිලි නොවූ පව්කාරයන් ව දාසකමට පහත් කරන ලදි.
එක් අර්ථයකින් ගත් කල, ඉරිදා කරන්නට තිබූ පිළිගත් වැඩ, යුදෙව් සබත හැසිරෙවූ සම්ප්‍රදායන් මෙන් ම සංකීර්ණ විය. ද ඩීක්සියෝනාර ඩ’ ටෙයෝලෝජී කටෝලීක්, පල්ලියේ ධර්මාධර්ම විචාරයේ දියුණුව සම්බන්ධ ව දීර්ඝ විස්තරයක් දෙන අතර, තහනම් කර ඇති දේ අතර, පහත් වැඩ, ගොවිපලවල වැඩ, නීතික ක්‍රියා පිළිවෙත්, වෙළෙඳාම, සහ දඩයම් කිරීම සඳහන් කරයි.
යුදෙව් සබත මෙම තහනම් කිරීම් සඳහා වූ යුක්ති සහගත දෙයක් ලෙස යොමු දැක්වීම පරස්පර විරෝධී යමක් විය. ද න කැතොලික් එන්සයික්ලොපීඩියා, ඉරිදා දින සම්බන්ධ ව ෂාලිමන් අධිරාජ්‍යයාගේ නීති ගැන මෙසේ සඳහන් කරයි: “සාන්ත ජෙරෝම් විසින් පැහැදිලි ව ප්‍රතික්ෂේප කරනු ලැබුවා වූ 538 ඕලියෙන්ස් මන්ත්‍රණ සභාව මගින් යුදෙව් යමක් හා ක්‍රිස්තියානි නොවන යමක් සේ හෙලා දකින ලද්දා වූ සබත පිළිබඳ අදහස, 789 ෂාලිමන්ගේ නියෝගයේ පැහැදිලි ව සඳහන් කොට තිබුණු අතර, [දස පනත] කඩ කිරීමක් හැටියට එය ඉරු දිනේ සියලු ආකාරයේ වැඩ කිරීම තහනම් කළේ ය.” මෙසේ, ලෞකික අධිකාරීන් විසින් ඉරු දින නිවාඩු දිනයක් බවට අණ කරනු දැකීම පල්ලියේ සතුටට කාරණයක් වුවත්, එය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා වූ නීත්‍යානුකූල පදනම, එනම් සබත් පිළිබඳ ව මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් මෙම තහංචි හරි බව ප්‍රකාශ කිරීමට පල්ලිය මෙම ලෞකික හස්තයට ඉඩ හැරියේ ය.
ශුද්ධ ලියවිලිමය නොවන ස්ථාවරයක්
සියවස් කිහිපයකට පෙර, සභා පියවරුන් කිහිප දෙනෙක්, විශේෂයෙන් ඔගස්ටින්, සබත් වනාහි යුදෙව්වන් සඳහා වෙන් වූ තාවකාලික විධිවිධානයක් බව හරි ලෙස ප්‍රකාශ කළෝ ය. එසේ කිරීමෙන් එම සභා පියවරුන් කළේ, හුදෙක් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පහදා දුන් දෙය, එනම් සබත් වනාහි යේසුස් වහන්සේ මිදීමේ මිල පූජාව මගින් අවලංගු කරනු ලැබූ ව්‍යවස්ථා ගිවිසුමේ අවයවීය කොටසක් ය යන්න හුදෙක් ඉදිරිපත් කිරීමයි.—රෝම 6:14; 7:6; 10:4; ගලාති 3:10-14, 24, 25.
සමකාලීන කෘතියක් වූ වෝකාබ්යූලාර් බීබ්ලීක් හි, රෙපරමාදු දේවධර්මාචාර්ය ඔස්කා කුල්මාන් මෙසේ එකඟ වන බවට උපුටා දක්වා තිබේ, එනම්, “යේසුස් වහන්සේ පැමිණ, මිය ගොස්, නැවත නැගිටුවනු ලැබූ නිසා, ප[රණ] ගි[විසුමේ] උත්සවයන් දැන් ඉටු වී හමාර ය, ඒවා පැවැත්වීම යනුවෙන් ‘අදහස් කරන්නේ, ක්‍රිස්තුස් වහන්සේ කිසිවිටෙකත් නොපැමිණියා සේ, පැරණි ගිවිසුමට ආපසු යාම ය.’ ” මෙම වලංගු කරුණ සැලකිල්ලට ගැනීමේ දී, සබත් පැවැත්වීමට බල කිරීම යුක්ති සහගත කළ හැකි ද?
හවුලේ ආහාර ගැනීම සඳහා පාවුල් තම සහයකයන් ව හමු වූ, “සතියේ පළමුවෙනිදා” (ඉරු දින) ගැන පවසන ක්‍රියා 20:7 හි අනුබලය ලබා ගැනීමට අද දින, කතෝලික ලේඛකයෝ සාමාන්‍යයෙන් යත්න දරති. කෙසේ වෙතත්, මෙය හුදෙක් වාර්තාව විස්තර කිරීම සඳහා වූ එක් කරුණක් පමණි. එය ආදර්ශයක් ය කියාත්, ක්‍රිස්තියානින් විසින් එය අනුගමනය කළ යුතු ය කියාත් මෙම වාර්තාවෙන් අදහස් කළ බවට අඟවන්නා වූ කිසිවක් මෙම පදයේවත් වෙනත් බයිබල් පදවලවත් අඟවන්නේ නැත, සහතික ව ම මෙය අනුගමනය කළ යුතු යුතුකමක් නොවී ය. එසේ ය, ඉරු දිනවල සබත් පැවැත්වීමට ශුද්ධ ලියවිල්ලෙන් අනුග්‍රහයක් නොලැබේ.
ක්‍රිස්තියානින් සඳහා වූ විශ්‍රාමය කුමක් ද?
සතියේ සබත් දිනයක් පැවැත්වීමට ක්‍රිස්තියානින් බැඳී නොසිටිය ද, එහෙත්, වෙනත් ආකාරයක සබතක් පැවැත්වීමට ඔවුන් හට ආරාධනා කොට තිබේ. පාවුල් මෙය තම සෙසු යුදෙව් ක්‍රිස්තියානින්ට පහදා දෙමින්, මෙසේ කියයි: “එබැවින් දෙවියන්වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. . . . එබැවින් . . . ඒ විශ්රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු.” (හෙබ්‍රෙව් 4:4-11) ක්‍රිස්තියානින් බවට පත් වෙන්නට පෙර, මෙම යුදෙව්වන්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුගමනය කොට තිබුණේ, තමන්ට හැකි තරම් සුපරීක්ෂාවෙනි. දැන් පාවුල්, ක්‍රියා තුළින් ගැලවීම සෙවීමට ඔවුනට තවදුරටත් දිරිගන්වමින් සිටියේ නැත, නමුත් ඔහු ඔවුන්ට දිරිගන්වමින් සිටියේ ඔවුන්ගේ මළ ක්‍රියාවන්ගෙන් “නිවාඩු” ගැනීමට ය. මින් මතුවට, ඔවුනට යේසුස් වහන්සේගේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමට වූ අතර, මිනිස් වර්ගයා දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි ධර්මිෂ්ඨ වන්නා වූ එක ම මාර්ගය මෙය පමණක් විය.
දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය කෙරෙහි එම සැලකිල්ල ම දැක්වීමට අද දින අපට හැක්කේ කෙසේ ද? තම සෙසු ජනයා මෙන්, සාධාරණ මිනිසුන් වශයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ද, බොහෝ රටවල ක්‍රියාත්මක වන්නා වූ ලෞකික වැඩකටයුතුවලින් සතියකට වරක් නිවාඩු දවසක් ගත කිරීම අගය කරති. ඔවුන්ගේ පවුල් ඇසුර හා නැවුම් බවක් විඳීම සඳහා අවශ්‍ය කරන කාලය ලබා ගැනීමට මේ මගින් ඉඩ සැලසෙයි. එහෙත් වඩාත් විශේෂ ලෙස, එය වෙනත් ක්‍රිස්තියානි ලුහුබැඳීම් සඳහා කාල පරිච්ඡේදයක් වන බවට ඔප්පු වී තිබේ. (එපීස 5:15, 16) රැස්වීම්, ප්‍රසිද්ධ දේව සේවයේ හවුල්වීම, ඇදහිලිවන්ත මිනිස් වර්ගයා ලෝක ව්‍යාප්ත සාමය අත්දකින්නා වූ එළඹෙමින් තිබෙන කාලය පිළිබඳ බයිබලයේ තොරතුරු බෙදා ගැනීම සඳහා තමන්ගේ අසල්වැසියන් බැහැදැකීම මීට ඇතුළත් වෙයි. ඔබ මේ ගැන දැනගැනීමට කැමති වන්නේ නම්, සෙනසුරාදා හෝ ඉරිදා හෝ සතියේ කිනම් දවසක වේවා, ඔබට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සතුටු වනු නියත ය.
[28වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේ, යුදෙව් සම්ප්‍රදායන් පවත්වනවා වෙනුවට, සබත් නීතිය පරිපූර්ණ ලෙස රැකගත් සේක
[29වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්, නිවාඩු දිනවල ලෞකික වැඩකටයුතුවලින් නිදහස් කරමින්, නැවුම් බවක් ගෙන දෙයි