බලාපොරොත්තුව—දුක්මුසු ලෝකයක අති වැදගත් ආරක්ෂාවකි
අනාගතය සඳහා බලාපොරොත්තුවෙන් යුක්ත ව සිටීම කොතරම් වැදගත් දැයි පාසල් ශිෂ්‍යාවකට ඒත්තු ගැන්වීම සඳහා කොරියානු පිරිමි ළමයෙකුට සිය මවට උපකාර කිරීමට වුවමනා විය. ඔහු ක්‍රිස්තියානි රැස්වීමක දී ඇසූ නිදර්ශනයක් මතකයට නගමින්, ප්‍රහේලිකාවක් විසඳීමට ඇය තමාට උපකාර කරන්නේ දැයි එම ශිෂ්‍යාවගෙන් ඇසුවේ ය. ඇය එකඟ වූවා ය. එවිට ඔහු මෙසේ පැවසුවේ ය: “පවුල් දෙකක් හිටියා. ඒ දෙක ම ඉතා දුප්පත්. හයියෙන් වහින්නට පටන් ගත් අතර ගෙවල් දෙකේ ම වහලවල්වලින් ජලය කාන්දු වන්නට පටන් ගත්තා. එක් පවුලක් ඉතා කනගාටුවට පත් වී, කාන්දු වීම ගැන හුඟක් මැසිවිලි කියන්නට පටන් ගත්තා. නමුත් අනෙක් පවුල, තමන්ගේ වහලේ සිදුරු වසාලන අතර ප්‍රීතියෙන් හා සතුටින් සිටියා. මේ පවුල් දෙක අතර මෙතරම් වෙනසක් තිබුණේ මන්ද?” කුතුහලයෙන් සිටි, එම යෞවන කාන්තාව තමා දන්නේ නැතැයි පිළිතුරු දුන්නා ය. “ඇත්තෙන් ම, එම දෙවන පවුල ප්‍රීතියෙන් සිටියේ නාගරික ආණ්ඩුවෙන් ඔවුන්ට අලුත් ගෙයක් දෙන බවට නිවේදනයක් ලැබී තිබූ නිසායි. එනිසා ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුණා. වෙනස එයයි!”
එම පිරිමි ළමයාගේ ප්‍රහේලිකාව සරල සත්‍යයක් පැහැදිලි කරයි: බලාපොරොත්තුව, බොහෝ විට අපගේ තත්ත්වයන් නොසලකා, අපට ජීවිතය ගැන දැනෙන ආකාරය වෙනස් කරයි. ඔහු විස්තර කළ පවුල් දෙක මෙන්, අප බොහෝ දෙනෙකුට ජීවිතයේ කුණාටුවලට—එනම් සෞඛ්‍ය ගැටලු, මුදල් ප්‍රශ්න, පවුලේ ආතතිය, අපරාධ, මෙන් ම වෙනත් අසංඛ්‍යාත පීඩා හා උවදුරුවලට මුහුණ දීමට සිදු වේ. අපගේ දෘෂ්ටි පථයෙන් ඉවත් ව යන්නැයි කුණාටුවකට අණ කළ නොහැක්කා සේ ම, බොහෝ විට අපට මෙම ගැටලු ඉවත් කිරීමට හැකියාවක් නොමැත. එනිසා අපට කලකිරීමක්, තනි වී සිටින බවක්—කෙටියෙන් කියතොත්, අසරණ බවක්—දැනෙන්නට පුළුවන. තත්ත්වය වඩාත් දුෂ්කර කරවන්නට, පව්කාරයන් වැඩි දෙනෙකුට අනාගතය අඳුරු බවත්, සදාකාලයට ම දඬුවම් කරනු ලැබීම ඊට අයත් විය හැකි බවත් පල්ලියේ අපට උගන්වනු ලැබ තිබෙන්නට පුළුවන.
අසරණ භාවය හා බලාපොරොත්තු රහිත භාවය, කලකිරීම නමැති ඵලය සකසන්නා වූ එක් වට්ටෝරුවක් යයි පැවසේ. එහෙත් අපට එය සෑදීම සඳහා දායක වන හේතුකාරකවලින් එකක් ඒකාන්තයෙන් ම ඉවත් කළ හැකි ය; අපෙන් කිසිවෙකුට බලාපොරොත්තු රහිත තත්ත්වයක සිටින්නට වුවමනාවක් නැත. තව ද බලාපොරොත්තුව ම අනෙක් හේතුකාරකය වන, අසරණ භාවයේ හැඟීම් වළක්වාලීමට හොඳ ම අවිය විය හැකි ය. අපට බලාපොරොත්තුවක් තිබේ නම්, ජීවිතයේ ඇති වන පීඩාවන්හි දී, මහත් දුක්ඛිත තත්ත්වයකින් යුක්ත ව පොර බදිනවා වෙනුවට යම් ප්‍රමාණයක සන්සුන් භාවයක් හා සෑහීමක් ඇති ව අපට ඒවා විඳදරා ගත හැකි ය. එසේ ය, බලාපොරොත්තුව අති වැදගත් ආරක්ෂාවකි.
එවන් ප්‍රකාශයක් ඔබ තුළ සැක සහිත ආකල්පයක් ඇති ව සිටීමට සලස්වයි ද? සැබවින් ම මහත් වෙනසක් ඇති කරන්නට තරම්, බලාපොරොත්තුව, එපමණට ම බලගතු ද? එමෙන් ම අප සෑම කෙනෙකුට ම විශ්වාස කටයුතු බලාපොරොත්තුවක් විවෘත ව පවතී ද?
ආරක්ෂා හිස්වැස්මක් මෙන්
බලාපොරොත්තුවේ ඇති සැලකිය යුතු බලය වෛද්‍ය ක්ෂේත්රය පිළිගන්නට පටන් ගෙන ඇත. නාට්සි සමයේ සිදු වූ මහත් සමූලඝාතනයෙන් නොනැසී බේරුණු අයෙක්, ක්ලමථය (අධික පීඩාකාරී හැඟීම්) පිළිබඳ විශේෂඥයෙක් වන ආචාර්ය ෂ්ලෝමෝ බ්රෙස්නිට්ස් පැවසුවේ මෙසේ ය, ජීවිතයේ ගැටලුවලින් බොහොමයක දී “ක්ලමථය පැමිණෙන්නේ ගැටලුවලින් ම නොව, ඒවායේ දුෂ්කරත්වය අප අර්ථ දක්වන ආකාරයෙන් ය. බලාපොරොත්තුව ඒවායේ පීඩාකාරී භාවය අඩු කරයි.” ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් ඇසෝසියේෂන් නම් ප්‍රකාශයේ ලිපියක්, බලාපොරොත්තුව “බලගතු ඖෂධයක්” යයි පැවසී ය. අමෙරිකන් හෙල්ත් නම් සඟරාව වාර්තා කළේ මෙසේ ය: “යමක් ඔවුන්ට බලාපොරොත්තුව අත් හැරීමට සලසන විට, හදිසියේ ම තමන්ගේ තත්ත්වය අයහපත් අතට හැරෙන—එසේත් නැතහොත්, ජීවත්වීම සඳහා තව හේතුවක් සොයා ගන්නා විට, හදිසියේ ම තත්ත්වය යහපත් අතට හැරෙන—රෝගීන් පිළිබඳ, විශේෂාකාරයෙන් පිළිකා රෝගීන් පිළිබඳ අත්දැකීම් බොහොමයක් ඇත.”—හිතෝපදේශ 17:22 සසඳන්න.
බයිබල් ශිෂ්‍යයෝ දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවේ ඇති වැදගත්කම අවබෝධ කර ගෙන සිටිති. පළමු තෙසලෝනික 5:8 හි, ප්‍රේරිත පාවුල් ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ “අපි . . . ගැළවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී [සිහි ඇති ව NW ] සිටිමු” යනුවෙනි. “ගැළවීමේ බලාපොරොත්තුව” ආරක්ෂක තොප්පියක් හෙවත් ආරක්ෂක හිස්වැස්මක් වන්නේ කෙසේ ද?
ආරක්ෂක හිස්වැස්මක් කරන දෙය සලකා බලන්න. බයිබල් කාලවල විසූ යුද්ධ සෙබළෙක් පෙල්ට්, ලොම්, හෝ හම් කොපුවකට සවි කළ, තඹ හෝ යකඩ ආරක්ෂක හිස්වැස්මක් පැළඳී ය. යුද්ධයේ දී තමන් වෙතට ඉගිලී ආ ඊතල, අතින් විහිදුවනු ලැබූ මුගුරු මෙන් ම, ගසන ලද කඩු පහර යනාදියෙන් මෙම ආරක්ෂක හිස්වැස්ම ඔහුගේ හිස ආරක්ෂා කළේ ය. මෙසේ, ආරක්ෂක හිස්වැස්මක් තිබුණේ නම්, එය පැළඳීමට පසුබට වූ සෙබළුන් නැති තරම් ය. කෙසේ වෙතත්, ආරක්ෂක හිස්වැස්මක් පැළඳ සිටීම සෙබළා පරාජය නොකළ හැකි බව හෝ ඔහුගේ හිසට පහර දෙනු ලැබූ විට ඔහුට කිසිවක් නොදැනුන බව අදහස් කළේ නැත; ඒ වෙනුවට, ආරක්ෂක හිස්වැස්ම, මාරාන්තික හානියක් සිදු කරනු වෙනුවට ගසන ලද පහරවල් බොහොමයක් වෙනතකට හැරවීම සහතික කළේ ය.
ආරක්ෂක හිස්වැස්මක් හිස ආරක්ෂා කරන්නා සේ ම, බලාපොරොත්තුව ද මනස ආරක්ෂා කරයි. බලාපොරොත්තුව එක් එක් අර්බුදකාරී අවස්ථාව හෝ පසුබෑම කිසිත් නැතුවා සේ පහකරන්නට අපට හැකියාවක් ලබා නොදෙන්නට පුළුවන. එහෙත් බලාපොරොත්තුව එවන් ප්‍රහාරයන්වල ප්‍රබල බව අඩු කරමින්, ඒවා අපගේ මානසික, චිත්තවේගී හෝ ආත්මික සුවය අසාධ්‍ය තත්ත්වයකට පත් නොවන බව සහතික වීමට උපකාර කරයි.
පැහැදිලි ව දැකිය හැකි ලෙසින්, ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක් වූ ආබ්‍රහම් මෙම සංකේතවත් ආරක්ෂක හිස්වැස්ම පැළඳ සිටියේ ය. තම ප්‍රේමනීය පුත්‍රයා වන ඊසාක් ව පූජා කරන ලෙස යෙහෝවඃ වහන්සේ ඔහුගෙන් ඉල්ලා සිටි සේක. (උත්පත්ති 22:1, 2) දෙවියන් වහන්සේට අකීකරු වීමට මඟ පෙන්වන හැඟීමක් දනවමින්, එය ආබ්‍රහම් ව කොතරම් පහසුවෙන් බලාපොරොත්තු රහිත භාවයට පත් කරන්නට ඉඩ තිබුණේ ද. එවන් හැඟීම් ඇති වීමෙන් ඔහුගේ මනස ආරක්ෂා කළේ කුමක් ද? බලාපොරොත්තුව මූලික කාර්ය භාරයක් ඉටු කළේ ය. හෙබ්‍රෙව් 11:19ට අනුව, “මළවුන්ගෙන් පවා [ඊසාක් ව] නැගුටුවන්ට දෙවියන්වහවන්සේට පුළුවනැයි ඔහු කල්පනා” කළේ ය. සමානාකාරයෙන්, නැවත නැගිටීම පිළිබඳ ව යෝබ්ගේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේට ශාප කරන්නට ඔහුට මඟ පෙන්වන්නට ඉඩ තිබූ තික්ත භාවයෙන් ඔහුගේ මනස ආරක්ෂා කර ගැනීමට උපකාරවත් විය. (යෝබ් 2:9, 10; 14:13-15) වේදනාකාරී මරණයකට මුහුණ දෙමින් සිටි යේසුස් වහන්සේ ද, අනාගතය සම්බන්ධයෙන් උන් වහන්සේ තුළ තිබූ ප්‍රීතිමත් බලාපොරොත්තුවෙහි පිහිටා ශක්තිය හා සැනසිල්ල ලැබූ සේක. (හෙබ්‍රෙව් 12:2) දෙවියන් වහන්සේ කිසිසේත් වැරැද්දක් නොකරන බවට, උන් වහන්සේගේ වචනය ඉෂ්ට කරන්නට කිසිසේත් අසමත් නොවන බවට වූ විශ්වාසය, බලාපොරොත්තුව සඳහා අඩිතාලම වන්නේ ය.—හෙබ්‍රෙව් 11:1.
අව්‍යාජ බලාපොරොත්තුව සඳහා පදනම
ඇදහිල්ල මෙන්, අව්‍යාජ බලාපොරොත්තුව පදනම් ව ඇත්තේ සැබෑ කරුණු, යථාර්ථය, සත්‍යය මත ය. මෙය සමහරෙක් ව පුදුමයට පත් කරවන්නට පුළුවන. එක් ලේඛකයෙක් එය සඳහන් කළ ආකාරයට, “වැඩි දෙනෙක් බලාපොරොත්තුව, සත්‍යය ප්‍රතික්ෂේප කිරීමේ හුදු මෝඩ ක්‍රමයක් යයි කල්පනා කරන බව පෙනේ.” එහෙත්, සැබෑ බලාපොරොත්තුව අහසේ මාලිගා තැනීමක් හා සමාන ශුභ වාදයක්, එනම් අපට ඕනෑ කරන ඕනෑ ම දෙයක් අපට ලැබෙනු ඇති බවට හෝ අපගේ කුඩා ම ගැටලු පවා අප සඳහා විසඳනු ලබන බවට හෝ වන නීරස විශ්වාසයක් නොවේ. මෙවන් දීප්තිමත් උන්මත්තක බලාපොරොත්තු ජීවිතයේ යථාර්ථය මගින් සුනුවිසුනු වීම කෙසේ හෝ සිදු වේ.—දේශනාකාරයා 9:11.
සැබෑ බලාපොරොත්තුව වෙනස් ය. එය නික්මෙන්නේ දැනුමෙන් විනා ප්රාර්ථනාවන්ගෙන් නොවේ. මුල දී සඳහන් කළ ප්‍රහේලිකාවේ දෙවන පවුල සලකා බලන්න. තමන්ගේ ආණ්ඩුව, දෙන ලද පොරොන්දුවලට ද්‍රෝහී ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එය නම් දරා තිබුණි නම්, ඔවුන්ට තැබිය හැකි වනුයේ කිනම් බලාපොරොත්තුවක් ද? ඒ වෙනුවට, පොරොන්දුවත් එහි විශ්වාසනීයත්වයත් පිළිබඳ සාක්ෂීන් ද එම පවුලට බලාපොරොත්තුව සඳහා ස්ථිර පදනමක් දිය හැකි ය.
සමානාකාරයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට අද දින ආණ්ඩුවක්—එනම් දේව රාජ්‍යය—සමඟ කිට්ටුවෙන් බැඳී පවතින බලාපොරොත්තුවක් ඇත. මෙම රාජ්‍යය, බයිබලයේ ඇති පණිවුඩයේ හරයේ ම ගැබ් වී තිබේ. වසර දහස් ගණන් පුරා එය ආබ්‍රහම් වැනි පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් බලාපොරොත්තුවේ ප්රභවය වී ඇත. (හෙබ්‍රෙව් 11:10) දෙවියන් වහන්සේගේ රාජ්‍යය කරණ කොට ගෙන, උන් වහන්සේ මෙම පැරණි ලෝක පිළිවෙළට අවසානයක් ගෙනෙමින්, අලුත් පිළිවෙළක් උදා කරන බව උන් වහන්සේ පොරොන්දු වන සේක. (රෝම 8:20-22; 2 පේතෘස් 3:13) මෙම රාජ්‍යය බලාපොරොත්තුව සිහිනයක් නොව, සැබෑවකි. එහි ප්රභවය—එනම් විශ්වයේ පරමාධිපති ස්වාමින් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ—කොටින් ම කියතොත්, දෝෂාභියෝගයකට ලක් කළ නොහැකි තත්ත්වයක සිටින සේක. උන් වහන්සේ පවතින බවත්, තමන් වහන්සේගේ සියලු පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාණවත් බලයක් ඇති බවත් දැකීමට අප කළ යුත්තේ දෙවියන් වහන්සේගේ භෞතික මැවීම් පරීක්ෂා කර බැලීම පමණකි. (රෝම 1:20) උන් වහන්සේගේ වදන් ඉෂ්ට නොවී නොපවතින බව දැකීමට අප කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයා සමඟ උන් වහන්සේ ක්‍රියා කර ඇති ආකාරය පරීක්ෂා කර බැලීම පමණි.—යෙසායා 55:11.
කෙසේ වෙතත්, තමන් ක්‍රිස්තියානින් යයි කියා සිටින බොහෝ දෙනෙකුට සැබෑ බලාපොරොත්තු අමතක වී තිබීම කනගාටුවට කරුණකි. පෝල් ටිලිච් නම් දේව ධර්ම ශාස්ත්රඥයාගේ මෑතක ප්‍රකාශයට පත් කරන ලද දේශනයක ඔහු මෙසේ කියා සිටියේ ය: “[මුල්] ක්‍රිස්තියානිහු අවසානය එන තෙක් බලා සිටින්නට ඉගෙන ගත්හ. එහෙත් සෙමින් ඔවුන් බලා සිටීම නැවැත්වූහ. . . . කෙනෙක් ස්වාමීන්ගේ යාච්ඤාව කරනු ලබන සෑම වතාවක ම, ඒ සඳහා—ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද කරනු ලැබේවා—කියා යාච්ඤා කළ ද, පොළොව මත දේවල අලුත් තත්ත්වයක් කෙරෙහි අපේක්ෂාව දුර්වල විය!”
කොතරම් දුක්ඛදායක සිද්ධියක් ද! බලාපොරොත්තුවක් අතිශයින් ඕනෑ කරන තත්ත්වයක සිටින මිලියන ගණනකට, ඇතැම් විට බිලියන ගණනකට, කිසිදු බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් තිබුණ ද, ඔවුන්ගේ ම බයිබල්වල ඔවුන්ට බලාපොරොත්තුවක් විවෘත ව පවතී. දුක්මුසු ඵලදාව දෙස බලන්න! තමන්ගේ මනස් ආරක්ෂා කිරීමට විශ්වාසනීය බලාපොරොත්තුවක් නොමැති ව, බලාපොරොත්තු රහිත, ‘අනුමැතිය රහිත මානසික තත්ත්වයක් බොහෝ දෙනෙකු ව බහුල ව පැතුරුණු දුරාචාරයෙන් හා සැහැසියාවෙන් ලෝකය දූෂ්‍ය කිරීමට මඟ පෙන්වා තිබීම පුදුමයක් ද? (රෝම 1:28, NW) අපත් එම උගුලට අසු නොවීම ඉතා වැදගත් ය. බලාපොරොත්තුවේ ආරක්ෂක හිස්වැස්ම ඉවත දමනු වෙනුවට, අප නිතර ම එය ශක්තිමත් කළ යුතු ය.
ඔබගේ බලාපොරොත්තුව ගොඩනැංවිය යුතු ආකාරය
බලාපොරොත්තුව ගොඩනගන්නට ඇති හොඳ ම ක්‍රමය වනුයේ එහි ප්රභවය වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ ව සැලකිල්ලට ගැනීම ය. උන් වහන්සේගේ වචනය වන, බයිබලය කඩිසර ව ඉගෙන ගන්න. “ඉවසිල්ල [විඳදරා ගැනීම NW] කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය” යයි රෝම 15:4 පවසයි.
මීට අමතර ව, අනාගතය සඳහා ඇති අපගේ බලාපොරොත්තුව හුදු අවිනිශ්චිත කල්පනා මාත්‍රයක් නොවන බවට ද අප සහතික විය යුතු ය. අප එය අපගේ මනස්වල සැබෑ කර ගත යුතු ය. ඔබ පොළොව මත පාරාදීසයෙහි සදාකල් ජීවත් වන්නට බලාපොරොත්තු වන්නෙහි ද? පොළොව මතට ඔබගේ මළා වූ ප්‍රේමනීයයන් නැවත නැගිටින විට, ඔවුන් ව හමුවීමට ඔබ කැමැත්තෙන් සිටින්නෙහි ද? එසේ නම්, ඔබ ඒ කාලයෙහි එහි සිටින අයුරු මනසින් චිත්‍රයට නඟා ගන්නෙහි ද? උදාහරණයක් වශයෙන්, එක් එක් තැනැත්තා තමාගේ ම ගෙය ගොඩනගා එහි වාසය කිරීම ගැන යෙසායා 65:21, 22 කථා කරයි. ඔබට ඔබගේ ඇස් වසා ගෙන, ඔබ ඔබගේ අලුත් නිවසේ වහල මත වැඩ කරනවා, එහි අවසාන මුදුන් උළු කැටය සවි කරනවා සිතේ මවාගත හැකි ද? ඔබ වටා ඇති ඔබගේ මුළු සැලසුම් කිරීම්වල හා පරිශ්රමයේ ප්‍රතිඵල දෙස බැලීම ගැන කල්පනා කර බලන්න. ගොඩනැගීමේ ප්‍රියමනාප ශබ්ද නිහඬ වේ; දහවල් සෙවනැලි දසත පැතිරෙත් ම ඔබ එහි සිට භූ-දර්ශනය නරඹන්නෙහි ය. ගස්කොළන් මෘදු ලෙස සලිත කරමින් හමන මද පවන, ඔබගේ වෙහෙසට පත් කය සංසිඳුවාලයි. කුරුලු ගී හා මුසු වූ දරුවන්ගේ සිනහ ඔබගේ දෙසවන් කරා සමීප වේ. ඔබ ආදරය කරන අයගේ කථා බහ නිවස තුළින් ඔබට ඇසේ.
මෙවන් සන්තෝෂවත් අවස්ථාවක් රූපයක් මෙන් සිතෙන් මවා ගැනීම නොවටිනා අනුමාන සිතුවිල්ලක් නොවේ; ඒ වෙනුවට එය නිසැක ව ම ඉටුවන අනාවැකියක් මත මෙනෙහි කිරීමකි. (2 කොරින්ති 4:18) එම අපේක්ෂාව ඔබට සැබෑ වන පමණට ම, ඔබ එහි සිටිනු ඇති බවට වූ ඔබගේ බලාපොරොත්තුව ද ශක්තිමත් වේ. මෙවන් ස්ථිර, විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්, ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදා ගැනීමට වූ ඔබගේ පැවරුමෙන් ඔබ ව වළක්වා තැබිය හැකි, “ශුභාරංචිය ගැන ලජ්ජා” හැඟීමෙන් ඔබ ව ආරක්ෂා කරනු ඇත. (රෝම 1:16) ඊට වෙනස් ව, ප්‍රේරිත පාවුල් කළාක් මෙන්, එය අන්‍යයන් සමඟ නිසැකකමින් යුක්ත ව බෙදා ගැනීමෙන්, ‘බලාපොරොත්තුවේ පාරට්ටු’ කිරීමට ඔබට වුවමනා වනු ඇත.—හෙබ්‍රෙව් 3:6.
සදාකාලික අනාගතයට වැඩි යමක් ද බලාපොරොත්තුව පිරිනමයි. වර්තමානයේ පවා බලාපොරොත්තුවේ ප්‍රභවයන් ඇත. ඒ කෙසේ ද? පොදු යුගයේ පස්වන ශතවර්ෂයේ විසූ කැසිඩෝරස් නම් රෝමානු දේශපාලනඥයෙක් “අනාගතික ප්‍රයෝජන කෙරෙහි බලාපොරොත්තුවක් ලබන්නේ, ඒ වන විටත් ලැබී ඇති ප්‍රයෝජන පිළිගන්නා තැනැත්තා ය” යයි පවසයි. ප්‍රඥාවන්ත වදන්! වර්තමානයේ ඇති ආශීර්වාදයන් අපට අගය කළ නොහැකි නම්, අනාගතික ආශීර්වාදයන් පිළිබඳ පොරොන්දුවලින් අප ලබනු ඇත්තේ කිනම් සහනයක් ද?
යාච්ඤාව ද මේ මොහොතේ බලාපොරොත්තුව වර්ධනය කරයි. දීර්ඝ කාලීන අනාගතයක් වෙනුවෙන් යාච්ඤා කරනවාට අමතර ව, අප අපගේ වර්තමාන අවශ්‍යතාවයන් සඳහා ද යාච්ඤා කළ යුතු ය. අපට පවුලේ සාමාජිකයන් හා සෙසු ක්‍රිස්තියානින් සමඟ වඩා හොඳ සම්බන්ධතාවයක් වෙනුවෙන්, අපගේ ඊළඟ ආත්මික ආහාර වේල වෙනුවෙන්, අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවා, බලාපොරොත්තුවෙන් යුතු ව යාච්ඤා කරන්නට පුළුවන. (ගීතාවලිය 25:4; මතෙව් 6:11) යෙහෝවඃ වහන්සේගේ හස්තයෙහි එවන් බලාපොරොත්තු තැබීම දවසින් දවස විඳදරා ගෙන කටයුතු කිරීමට අපට උපකාරවත් වනු ඇත. (ගීතාවලිය 55:22) අප විඳදරා කටයුතු කරත් ම, අපගේ විඳදරා ගැනීම ම බලාපොරොත්තුවේ ආරක්ෂක හිස්වැස්ම ශක්තිමත් කරනු ඇත.—රෝම 5:3-5.
ජනයා පිළිබඳ ව බලාපොරොත්තුවෙන් යුත් දෘෂ්ටියක් තබා ගැනීම
නිෂේධාත්මක කල්පනාව බලාපොරොත්තුවේ ආරක්ෂක හිස්වැස්ම මත ඇති මලකඩ හා සමාන ය. එය මලකඩ කෑමට තුඩු දෙන අතර ක්‍රමයෙන් එය එම ආරක්ෂක හිස්වැස්ම ප්‍රයෝජන නැති තත්ත්වයට පත් කළ හැකි ය. ඔබ නිෂේධාත්මක කල්පනාවන් හැඳින ගෙන ඒ හා සටන් කිරීමට ඉගෙන ගෙන සිටින්නෙහි ද? සැක සහිත, විවේචනාත්මක, අශුභවාදී ආකල්පයක් බුද්ධිමත්කම හා සමාන බවට වූ වැරදි සහගත කල්පනාවෙන් නොරැවටෙන්න. ඇත්ත වශයෙන් ම, නිෂේධාත්මක ව කරන කල්පනා කිරීමට එතරම් බුද්ධියක් අවශ්‍ය නොවේ.
අප සමඟ වෙසෙන අන් අය ගැන බලාපොරොත්තු නැති ආකල්පයක් ඇති කර ගැනීම ඉතා පහසු ය. ඇතැමෙක්, අතීතයේ තමන් ලද වේදනාකාරී අත්දැකීම් හේතුවෙන්, කවදාවත් ජනයාගෙන් උපකාරය හෝ සහනය ලැබීම සඳහා වන බලාපොරොත්තු අත්හැර සිටිති. “ගිනිපෙණෙල්ලෙන් බැට කෑ මිනිසා කලාමැදිරි එළියටත් බයයි” යන්න ඔවුන්ගේ ආදර්ශ වාක්‍යය වේ. ඔවුන් සිය ගැටලුවලට උපකාරය සඳහා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වෙත යාමට පවා ළත වන්නට පුළුවන.
ජනයා සම්බන්ධ ව වඩාත් සමබර දෘෂ්ටියක් තබා ගැනීමට බයිබලය අපට උපකාර කරයි. ඇත්තෙන් ම, ජනයා මත අපගේ සියලු ම බලාපොරොත්තු තැබීම අඥාන දෙයකි. (ගීතාවලිය 146:3, 4) එහෙත් ක්‍රිස්තියානි සභාවේ, වැඩිමහල්ලෝ යෙහෝවඃ වහන්සේගෙන් ලැබුණු ‘මනුෂ්‍ය තෑගි’ හැටියට සේවය කරන්නාහ. (එපීස 4:8, 11) ඔවුහු අවංක ව ම “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්” වන්නට වෑයම් කරන්නා වූ හෘදය සාක්ෂියට අනුකූල ව ක්‍රියා කරන, අත්දැකීම් ලත් ක්‍රිස්තියානිහු වන්නාහ.—යෙසායා 32:2.
ක්‍රිස්තියානි සභාවේ තවත් බොහෝ දෙනෙක් ද බලාපොරොත්තුවේ ප්‍රභවයක් වීම ගැන මහත් සැලකිල්ලක් දක්වති. දැනටමත් තමන්ගේ ම පවුල් අහිමි වී සිටින අයට මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් හා දරුවන් මෙන් ක්‍රියා කරන්නා වූ සිය දහස් සංඛ්‍යාව ගැන මොහොතකට කල්පනා කර බලන්න; තවත් කොතරම් සංඛ්‍යාවක් චිත්ත පීඩාවට පත් ව සිටින්නන්ට “සහෝදරයෙකුට වඩා ඇලුම්” ව සිටින මිත්‍රයන් ලෙස ක්‍රියා කරන්නේ දැයි කල්පනා කර බලන්න.—හිතෝපදේශ 18:24; මාර්ක් 10:30.
ඔබ උපකාරය ඉල්ලා යෙහෝවඃ වහන්සේට යාච්ඤා කර ඇත්නම්, බලාපොරොත්තුව අත් නොහරින්න. උන් වහන්සේ දැනටමත් ඔබට පිළිතුරු දී තිබෙනවා වන්නට පුළුවන; ඔබගේ අවශ්‍යතාව දැන්වීමත් සමඟ ඔබට උපකාර කිරීමට සූදානමින් සිටින වැඩිමහල්ලෙක් හෝ වෙනත් මේරූ ක්‍රිස්තියානියෙක් සිටිනවා විය හැක. ජනයා කෙරෙහි සමතුලිත බලාපොරොත්තුවක් ඇති ව සිටීම ආත්මාර්ථකාමී, ප්‍රායෝගික නොවන හැසිරීමකට මඟ පෙන්විය හැකි, සෑම කෙනෙකුගෙන් ම ඉවත් වීමෙනුත්, අප ව තනි කර ගැනීමෙනුත් අප ව ආරක්ෂා කරනු ඇත.—හිතෝපදේශ 18:1.
මීට අමතර ව, අපට සෙසු ක්‍රිස්තියානියෙක් සමඟ ගැටලුවක් තිබේ නම්, අප බලාපොරොත්තු රහිත, නිෂේධාත්මක ආකල්පයකින් යුක්ත ව ඒ ගැන ක්‍රියා නොකළ යුතු ය. මන්දයත් “ප්‍රේමය . . . සියල්ල බලාපොරොත්තු” වන බැවිනි. (1 කොරින්ති 13:4-7) යෙහෝවඃ වහන්සේ බලන ආකාරයට—බලාපොරොත්තුවෙන් යුක්ත ව—ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් දෙස බැලීමට වෑයම් කරන්න. ඔවුන්ගේ හොඳ ගුණාංග බලන්න, සැකයේ වාසිය ඔවුන්ට දෙන්න. එමෙන් ම ඔබගේ වෑයම ගැටලු විසඳීම කෙරෙහි යොමු කරන්න. එවන් බලාපොරොත්තුවක් කිසිවෙකුට ප්‍රයෝජනවත් නොවන, ආරවුල් හා කෝලාහලවලින් අප ව ආරක්ෂා කරයි.
මියයමින් තිබෙන මෙම පැරණි ලෝකයේ බලාපොරොත්තු රහිත භාවයට කිසිවිටෙක යටත් නොවන්න. අපගේ සදාකාලික අනාගතය සඳහාත්, අපගේ එදිනෙදා ගැටලු සඳහාත්—බලාපොරොත්තුව ඇත. ඔබ බලාපොරොත්තුව අල්ලා ගෙන සිටිනු ඇත් ද? ගැලවීමේ බලාපොරොත්තුව ආරක්ෂක හිස්වැස්මක් මෙන් පැළඳීමෙන්, යෙහෝවඃ වහන්සේගේ කිසි සේවකයෙක්—තත්ත්වය කොතරම් පීඩාකාරී වුවත්—බලාපොරොත්තු රහිත තත්ත්වයක නොසිටිනු ඇත. අප ම කලකිරීමට පත් නොවුවහොත්, ස්වර්ගයෙහි හෝ පොළොවෙහි කිසිවකට යෙහෝවඃ වහන්සේ අපට දී ඇති බලාපොරොත්තුව අපෙන් උදුරා ගත නොහැකි ය.—රෝම 8:38, 39 සසඳන්න.