ඔබ ව සන්තෝෂවත් කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ද?
ජනයා විසින් තෝරා පත් කරන ලද දේශපාලනඥයෝ, ඔවුන් ව සන්තෝෂවත් කිරීමට වෑයම් කරති. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ වෘත්තිය රැඳී තිබෙන්නේ ඒ මත නිසා ය. එහෙත් පෝලන්තයේ ඇත්තා වූ “බලාපොරොත්තු කඩවුණු දුරස්වුණු ඡන්ද කොට්ඨාශයක්” ගැන එක්තරා ප්රවෘත්ති සඟරාවක් කථා කරයි. එක්සත් ජනපදය “විධිමත් දේශපාලනය ගැන අවිශ්වාසයෙන් පිරී ඇති” සමාජයක් හැටියට පත්රකලාවේදියෙක් පැහැදිලි කරයි. “ප්‍රංශයේ වර්ධනය වන්නා වූ දේශපාලන උදාසීනත්වය” ගැන තවත් ලේඛකයෙක් අපට පවසයි. නිසැක ව ම මෙම රටවල් තුනට පමණක් සීමා නොවූ නමුත් පුළුල් ව පැතිර ගොස් ඇති මෙයාකාර උදාසීනත්වයෙන් හා අසන්තෝෂයෙන් අඟවන්නේ ජනයා ව සන්තෝෂවත් කිරීමට ගන්නා තමන්ගේ බලවත් උත්සාහයන්හි දේශපාලනඥයන් අසමත් වන බව ය.
ආගමික නායකයෝ ද, මේ ජීවිතයේ දී නොවේ නම්, අඩු තරමින් අනාගත ජීවිතයක දී හෝ සන්තෝෂය පොරොන්දු කරති. විවිධ හේතු නිසා ජනයා ප්‍රතික්ෂේප කරන්නා වූ ද, එසේ ම බයිබලය පැහැදිලි ව ම වැරදි සහගත බව ඔප්පු කරන්නා වූ ද සංකල්පයක් වන, මනුෂ්‍යයන්ට අමරණීය නැතහොත් භවයෙන් භවයට යන ආත්මයක් ඇති බවට වූ නිගමනය මත ඔවුහු මෙය පදනම් කර ගනිති. හිස් වන්නා වූ පල්ලි හා අඩු වෙමින් පවත්නා පල්ලි සාමාජිකත්ව ලැයිස්තු, මිලියන සංඛ්‍යාවක්, සන්තෝෂය උදෙසා තවදුරටත් ආගම අත්‍යවශ්‍ය යයි නොසලකන බව පෙන්වයි.—සසඳන්න උත්පත්ති 2:7, 17; එසකියෙල් 18:4, 20.
තෘප්තියට පත් නොවූ රිදියට ප්‍රේම කරන්නෝ
දේශපාලනයෙන් හෝ ආගමෙන් නොවන්නට, සන්තෝෂය සොයා ගත හැක්කේ කොතැනක ද? ඇතැම් විට වාණිජ ක්ෂේත්රය තුළ එය සොයා ගත හැකි වේවි ද? එයටත් සන්තෝෂය ලබා දිය හැකි බව එය කියා සිටී. සන්තෝෂය ලැබෙන්නේ මුදලට මිල දී ගත හැකි සියලු භාණ්ඩ හා සේවාවන් ඇති ව සිටීමෙන් ය යන තමන්ට වාසිදායක තර්කයන් වෙළෙඳ දැන්වීම් මාධ්‍යයෙන් පැහැදිලි ව ම ඉදිරිපත් කරමින් සිටී.
මෙයාකාරයෙන් සන්තෝෂය සොයන ජන සංඛ්‍යාව වැඩි වන බව පෙනේ. ජර්මනියේ නිවාසවලින් අඩක් දැඩි ණය බරට පත් ව සිටි බව වසර ගණනාවකට පෙර වාර්තා විය. එසේ නම්, සුප්‍රසිද්ධ ජර්මානු පුවත් පත වන ඩී සයිට් “මෙයින් බොහෝ දෙනෙකුට කිසිකලෙක ණය බරෙන් මිදීමට ඇති ඉඩකඩ නැති තරම්” යයි පුරෝකථනය කිරීම පුදුමයක් නොවේ. එය පැහැදිලි කළේ මෙසේ ය: “බැංකුව ඉඩ දෙන සීමාව ඉක්මවා මුදල් ලබා ගැනීම ඉතා පහසු ය—එමෙන් ම ණය ගැතිකමේ උගුලෙන් මිදීම ඉතා අපහසු ය.”
බොහෝ සෙයින් කාර්මික වූ වෙනත් රටවල තත්ත්වය මෙයට සමාන ය. එක්සත් ජනපදයේ මිලියන 20 සිට මිලියන 25 දක්වා වූ පවුල් ප්‍රමාණයක් අධික ණය බරෙන් පසු වන බව, න්යූ යෝක් හි සිටි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙක් වන ඩේවිඩ් කැප්ලොවිට්ස් තක්සේරු කළේ ය. “ජනයා ණය ගැති භාවය තුළ ගිලී සිටින අතර එය ඔවුන්ගේ ජීවිත නාස්ති කරමින් සිටී” යයි ඔහු පැවසී ය.
එය සත්නෝෂය බව පැවසීම උගහට ය! එහෙත් අනෙක් දෙකට (දේශපාලනයට හා ආගමට) නොහැකි දේ වාණිජ ලෝකයට ඉෂ්ට කර ගැනීමට හැකි වෙතැයි අප අපේක්ෂා කළ යුතු ද? “රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘපිතයට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය” යයි ධනවත් සාලමොන් රජ වරක් ලීවේ ය.—දේශනාකාරයා 5:10.
ද්‍රව්‍යමය වස්තු මගින් සන්තෝෂය සෙවීම අහසේ මාලිගා තැනීමක් හා සමාන ය. ඒවා තැනීම සිත්පිනවන යමක් විය හැකි වුවත්, ඔබ එවායේ ජීවත් වන්නට වෑයම් කළොත් ඔබට ගැටලු පැන නගිනු ඇත.
සන්තෝෂය අත්කර ගත හැක, එහෙත් කෙසේ ද?
ප්‍රේරිත පාවුල් යෙහෝවඃ වහන්සේ ව “සන්තෝෂවත් දෙවියන් වහන්සේ” හැටියට අමතයි. (1 තිමෝති 1:11, NW) තමන්ගේ ම ස්වරූපයෙන් මනුෂ්‍යයන් ව මැවීමෙන්, සන්තෝෂවත් දෙවියන් වහන්සේ සන්තෝෂයෙන් සිටීමේ හැකියාව ද ඔවුන්ට ලබා දුන් සේක. (උත්පත්ති 1:26) එහෙත් ඔවුන්ගේ සන්තෝෂය, ගීතිකාකරු පෙන්වූ ආකාරයට, දෙවියන් වහන්සේට කරන ඔවුන්ගේ සේවය මත රැඳි තිබිය යුතු ව තිබිණ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනග වාසනාවන්තයෝය [සන්තෝෂවත් ය NW].” (ගීතාවලිය 144:15ආ) දෙවියන් වහන්සේට කරන අපගේ සේවයට අයත් වන දේ හා අප උන් වහන්සේට සේවය කිරීම සැබෑ සන්තෝෂයට මඟ පෙන්වන ආකාරය, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලයේ “සන්තෝෂවත්” හා “සන්තෝෂය” යන වදන් දක්නට ලැබෙන තැන් 110න් කීපයක් අප සලකා බලන්නේ නම් වඩා හොඳින් තේරුම් ගත හැකි ය.
ආත්මික අවශ්‍යතා හඳුනා ගැනීම
දේව පුත්‍රයා වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයේ දී මෙසේ වදාළ සේක: “තමුන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ සන්තෝෂවත් ය.” (මතෙව් 5:3, NW) සන්තෝෂය සඳහා සුඛෝපභෝගී දෑ මිල දී ගැනීම සෑහේ යයි කල්පනා කරන හැටියට, අප ව මුළා කිරීමට වාණිජ ලෝකය වෑයම් කරයි. සන්තෝෂය වනාහි නිවාස පරිගණකයක්, වීඩියෝ කැමරාවක්, දුරකථනයක්, මෝටර් රථයක්, නවීනතම ක්‍රීඩා උපකරණ, නවීන පන්නයේ ඇඳුම් ඇති ව සිටීම යයි එය අපට පවසයි. එහෙත් එය අපට නොපවසන දෙය නම්, ලෝකයේ මිලියන ගණනකට වැඩි ජන සංඛ්‍යාවකට මේවා නොමැති වුවත්, ඔවුන් අසන්තෝෂ තත්ත්වයක නොසිටින බව ය. මේවා තිබීමෙන් ජීවිතය වඩාත් සැපදායක හා පහසු කරවන සුලු වුවද, මේවා සන්තෝෂය සඳහා අත්‍යවශ්‍ය ම නොවන්නේ ය.
පාවුල් කළාක් මෙන්, ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු [සෑහීමට පත් වෙමු NW]” යයි පවසති. (1 තිමෝති 6:8) ඒ මන්ද? ඊට හේතුව සදාකාලික ජීවිතයට මඟ පෙන්වන්නේ ආත්මික අවශ්‍යතා තෘප්තිමත් කරලීම වන නිසා ය.—යොහන් 17:3.
අපට හොඳ දේවල් මිල දී ගැනීමට මුදල් තිබේ නම් ඒවා භුක්ති විඳීමෙහි යම් වැරැද්දක් තිබේ ද? සමහර විට එසේ නොවේ. එහෙත්, පහළ වෙන සෑම හදිසි ආශාවකට ම ඉඩ නොදීමට හෝ අපට යමක් මිල දී ගැනීමට වත්කමක් තිබෙන නිසා ම එය මිල දී නොගැනීමට ඉගෙන ගැනීම අපගේ ආත්මිකත්වය ශක්තිමත් කරයි. තමාගේ ආර්ථික තත්ත්වය ලෝකයේ මිම්ම අනුව හොඳ ම තත්ත්වයක නොතිබුණ ද, යේසුස් වහන්සේ කළාක් මෙන්, එමගින් අපි සෑහීමට පත්වීමට ඉගෙන ගන්නා අතර සන්තෝෂය පවත්වා ගනිමු. (මතෙව් 8:20) තව ද පාවුල් මෙසේ ලියූ විට, තමා අසන්තෝෂයෙන් සිටි බව ඔහු ප්‍රකාශ කරමින් සිටියේ නැත: “මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට [ස්වයං පෝෂිත ව සිටින්නට NW] මම ඉගෙනගෙන සිටිමි. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘපිතයට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.”—පිලිප්පි 4:11, 12.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීම
යමෙකුගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීම දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට කැමති වීම අඟවයි. මෙය, සාලමොන් රජ පැහැදිලි කළාක් මෙන්, සන්තෝෂය සඳහා දායක වේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත් ය NW].”—හිතෝපදේශ 16:20.
කෙසේ වෙතත්, මිනිසුන් බොහෝ දෙනෙක් තමන් දෙවියන් වහන්සේ කෙරෙහි තබනවාට වඩා වැඩි විශ්වාසයක් මුදල් හා වත්කම් කෙරෙහි තබන බව සැබෑවක් නොවේ ද? මෙම කෝණයෙන් බලන කල, “දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමුව” යන ප්‍රකාශය එක්සත් ජනපදයේ මුදල් මත සඳහන් ව ඇතත්, එම ආදර්ශ වාක්‍යය සඳහන් කිරීමට මුදල් උචිත ස්ථානයක් යයි සිතීම උගහට ය.
මුදලෙන් මිල දී ගත හැකි හොඳ දේවල් නොඅඩු ව ලබා ගෙන සිටි සාලමොන් රජ, ද්‍රව්‍යමය වස්තුව කෙරෙහි විශ්වාසය තැබීම කල් පවතින සන්තෝෂය නොගෙනෙන බව තේරුම් ගත්තේ ය. (දේශනාකාරයා 5:12-15) බැංකුවේ තිබෙන මුදල් උද්ධමනය නිසා බැංකු බංකොලාත් වීමෙන් අහිමි වන්නට පුළුවන. නිශ්චල දේපළ බලවත් කුණාටුවලින් විනාශ විය හැකි ය. රක්ෂණ ඔප්පු, යම්තාක් දුරට ද්‍රව්‍යමය පාඩු පියෙවුව ද, කිසිකලෙක චිත්ත වේගී හානි නොපියවයි. ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළේ හදිසි බිඳ වැටීමක් නිසා එක් රැයකින් ව්‍යාපාර වස්තු හා පිළිණ පත් නොවටිනා තත්ත්වයකට පත් වන්නට පුළුවන. ඉහළ වැටුපක් ලබන රැකියාවක් පවා—හේතු බොහොමයක් නිසා—ඉතා අස්ථාවර තත්ත්වයක පවතී.
මේ හේතූන් නිසා, යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාසය තබන තැනැත්තේ යේසුස් වහන්සේගේ මෙම අනතුරු ඇඟවීමට සවන් දීමේ නැණවත්කම දකී: “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබල්ලා [රැස්කර ගැනීම නවත්වන්න NW]; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබාගනිල්ලා; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.”—මතෙව් 6:19, 20.
යමෙකුට තමාගේ විශ්වාසය, නිතර සැපයුම් කරන්නා වූ, සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි තබා ඇති බව දැනගැනීම හේතුවෙන් තිබිය හැක්කේ කිනම් වැඩිමනත් සුරක්ෂිත භාවයේ ස්වභාවයක් හා සන්තෝෂයේ හැඟීමක් ද?—ගීතාවලිය 94:14; හෙබ්‍රෙව් 13:5, 6.
දිව්‍ය තරවටුව පිළිගැනීම
සැබෑ මිත්‍රයෙක් විසින් ප්‍රේමනීය ස්වභාවයකින් උපදෙස් දෙනු ලැබූ විට, තරවටුව පවා සාදරයෙන් පිළිගනු ලැබේ. දෙවියන් වහන්සේගේ සේවක යෝබ්ගේ මිත්‍රයෙක් යයි කියා සිටි කෙනෙක් තමා ධර්මානුකූල යයි සිතමින් “දෙවියන්වහන්සේගෙන් දඬුවම් [තරවටුව NW] ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක් [සන්තෝෂ ලද්දෙක් ය NW]” යයි පැවසී ය. මෙම ප්රකාශනය සැබෑවක් වුව ද, එලීපස් මෙම වදන්වලින් අදහස් කළ දේ—එනම් යෝබ් බරපතළ වැරදි කිරීම නිසා වරදකාර තත්ත්වයකට පත් ව සිටි බව—සැබෑවක් නොවී ය. කොතරම් ‘කරදරකාරී සැනසිලිකාරයෙක්’ ද! එහෙත්, යෙහෝවඃ වහන්සේ පසු ව යෝබ්ට ප්‍රේමනීය ආකාරයකින් තරවටු කළ විට, යෝබ් යටහත් ව එම තරවටුව පිළිගත් අතර ඔහුට තිබූ ප්‍රමාණයට වඩා වැඩි සන්තෝෂයක් ලැබීමේ තත්ත්වයකට තමා ව ම පත් කර ගත්තේ ය.—යෝබ් 5:17; 16:2; 42:6, 10-17.
යෝබ්ට කළාක් මෙන්, දෙවියන් වහන්සේ ස්වකීය සේවකයන්ට අද දින කෙළින් ම කථා නොකරන සේක. ඒ වෙනුවට, උන් වහන්සේ ස්වකීය වචනයෙන් හා ස්වකීය ආත්මයේ මඟ පෙන්වීම ලබන සංවිධානයෙන් ඔවුන්ට තරවටු කරන සේක. කෙසේ නමුත්, ද්‍රව්‍යමය යහපත ලුහුබඳින ක්‍රිස්තියානින්ට, විධිමත් ව බයිබලය ඉගෙන ගැනීමට හා යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සපයන සියලු ම රැස්වීම්වලට පැමිණීමට බොහෝ විට කාලයවත්, ශක්තියවත්, ඕනෑකමවත් නැත.
දෙවියන් වහන්සේ විසින් තරවටුව ලබන තැනැත්තේ, හිතෝපදේශ 3:11-18 පවසන දෙයට අනුකූල ව, එවන් තරවටුව භාර ගැනීමේ ඥානවන්තකම පිළිගනී: “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය [සන්තෝෂය ලද්දෙක් ය NW]. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලු ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය [සන්තෝෂය ලද්දෝ ය NW].”
නිර්මල ව හා සාමයට ලැදි ව සිටීම
සන්තෝෂවත් අය “හදවතින් නිර්මල” ව හා “සාමකාමී” ව සිටින්නේ යයි යේසුස් වහන්සේ විස්තර කළ සේක. (මතෙව් 5:8, 9, NW) එහෙත් ද්‍රව්‍යවාදී ජීවිත ක්‍රමයකට දිරි දෙන ලෝකයක, ආත්මාර්ථකාමී, ඇතැම් විට අශුද්ධ ආශාවන් පවා අපගේ හෘදයේ මුල් බැස ගැනීම කොතරම් පහසු ද! දිව්‍ය ප්‍රඥාවෙන් මඟ පෙන්වීමක් නොලැබෙනවා නම්, අන්‍යයන් සමඟ තිබෙන සාමකාමී සම්බන්ධතාව විනාශ කරනු ඇති වක්‍ර ක්‍රම මගින් මූල්‍ය යහපත සෙවීමට අප කොතරම් පහසුවෙන් නොමඟ යා හැකි ද! බයිබලය මෙසේ අනතුරු අඟවන්නේ හේතු නැති ව නොවේ: “වස්තු තෘෂ්ණාව [මුදලට ප්‍රේම කිරීම NW] සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.”—1 තිමෝති 6:10.
මුදලට ප්‍රේම කිරීම අතෘප්තිමත් භාවය, කෘතඥ නොවීම, හා ගිජුකම යනාදිය පෝෂණය කරන්නා වූ මමත්වයෙන් පිරුණු දෘෂ්ටියකට අනුබල දිය හැකි ය. එවන් වැරදි සහගත ස්වභාවයක් වර්ධනය වීම වැළැක්වීමට, ඇතැම් ක්‍රිස්තියානිහු, බරපතළ මූල්‍ය තීරණ ගැනීමට පෙර තමන්ගෙන් ම මෙයාකාර ප්‍රශ්න අසා ගනිති: මට එය ඇත්තෙන් ම අවශ්‍ය ද? හොඳ වැටුපක් ලබන මුත් කාලය කා දමන රැකියාවන් නොමැති ව තවත් මිලියන ගණනක් සිටිද්දී, ඒවා මට අවශ්‍ය වේ ද? මට මගේ මුදල් හෝ මගේ කාලය සැබෑ නමස්කාරයේ මගේ වැඩ කොටස වැඩි කිරීමෙන්, ලෝක ව්‍යාප්ත දේශනා සේවයට අනුබල දීමෙන්, හෝ මට වඩා අභාග්‍ය සම්පන්න අයට උපකාර කිරීමෙන්, ඇතැම් විට වඩා හොඳින් වැය කිරීමට හැකියාවක් තිබේ ද?
විඳදරා ගැනීම විදහා පෙන්වීම
ආර්ථික වශයෙන් හිඟකම්වලට මුහුණ දීම යෝබ්ට විඳදරා ගැනීමට බල කරනු ලැබූ පරීක්ෂාවන්ගෙන් එකකි. (යෝබ් 1:14-17) ඔහුගේ ආදර්ශය පෙන්වන ආකාරයට, ජීවිතයේ සෑම අංගයක ම විඳදරා ගැනීම අවශ්‍ය වේ. සමහරක් ක්‍රිස්තියානින් හිංසා පීඩා, තවත් අය පරීක්ෂා, තවත් පිරිසක් අහිතකර ආර්ථික තත්ත්වයන් යනාදිය විඳදරා ගත යුතු ය. එහෙත් ක්‍රිස්තියානි ශ්‍රාවක යාකොබ්, යෝබ්ට යොමු දක්වමින් “ඉවසූ [විඳදරා ගත් NW] අය ආශීර්වාද ලද්දෝයයි [සන්තෝෂවත් යයි NW] අපි කියමු” යයි ලියා දැක්වූ ආකාරයට, සෑම ආකාරයක විඳදරා ගැනීමකට ම යෙහෝවඃ වහන්සේගෙන් විපාක ලැබෙනු ඇත.—යාකොබ් 5:11.
අපගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට ආත්මික දෑ කෙරෙහි වූ උනන්දුව අඩු කිරීම ඇතැම් විට තාවකාලික ආර්ථික සහනයක් ලබා දිය හැකි නමුත්, එය දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ ස්ථිර වූ ආර්ථික සහනය පිළිබඳ අපගේ දෘෂ්ටිය දීප්තිමත් ව තබා ගැනීමට උපකාරවත් වනු ඇද්ද? එවන් අවදානමක නියැලීම වාසිදායක ද?—2 කොරින්ති 4:18.
දැනුත් සදාකාලයටත් සන්තෝෂය අත්කර ගැනීම
ඇතැම් අය මනුෂ්‍යයන් ව සන්තෝෂවත් කිරීමට අවශ්‍ය කරවන දෙය පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටිය ගැන වාද විවාද කරති. වඩාත් වැදගත් වන්නා වූ දීර්ඝ කාලීන ප්‍රයෝජන නොසලකා හරිමින්, ඔවුහු දෙවියන් වහන්සේ උපදෙස් දෙන දෙය කිරීමෙන් ඉක්මන් පුද්ගලික ප්‍රයෝජන කිසිත් අත්වන බව නොදකිති. ද්‍රව්‍යමය දේවල් කෙරෙහි විශ්වාසය තැබීම, පුහුමානයක් වන අතර නිෂ්ඵල භාවයට මඟ පෙන්වන බව තේරුම් ගැනීමට ඔවුහු අසමත් වෙති. බයිබල් ලේඛකයා නිවැරදි ව මෙසේ විමසයි: “දේපළ [හොඳ දේවල් NW] වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?” (දේශනාකාරයා 5:11; එමෙන් ම දේශනාකාරයා 2:4-11; 7:12 ද බලන්න.) කොතරම් ඉක්මනින් අපගේ උනන්දුව අඩු වී, අපට තිබිය යුතු ම යයි අප සිතූ දේවල්, පසෙකට දැමූ දූවිලි එකතු වෙන දේවල් බවට පත්වේ ද!
සැබෑ ක්‍රිස්තියානියෙක් ද්‍රව්‍යමය ආකාරයකට ‘අල්ලපු ගෙදර සිල්වලාට ඇති දේවල් අපටත් තබා ගැනීමේ’ පීඩනයට තමා ව ගොදුරු වන්නට ඉඩ හරින්නට යන්නේ නැත. සැබෑ වටිනාකම මනිනු ලබන්නේ, කෙනෙකුට ඇති දේවලින් නොව, තමා කොයි ආකාර ද යන්න මත බව ඔහු දනී. පුද්ගලයෙකු ව සන්තෝෂවත් කිරීමට—සැබවින් ම සන්තෝෂවත් වීමට අවශ්‍ය කරන දෙය පිළිබඳ ව ඔහුගේ මනසේ සැකයක් නොමැත—එනම් යෙහෝවඃ වහන්සේ සමඟ මාහැඟි සම්බන්ධකමක් භුක්ති විඳීම හා උන් වහන්සේගේ සේවයේ කාර්ය බහුල ව සිටීම ය.
[20වන පිටුවේ පින්තූරය]
ද්‍රව්‍යමය දේවලට පමණක් කල්පවතින සන්තෝෂය ලබා දිය නොහැක
[22වන පිටුවේ පින්තූරය]
“තමුන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ සන්තෝෂවත් ය” කියා බයිබලය පවසයි