බොරු කිවනොහැකි දෙවියන්වහන්සේ විසින් උසුලනු ලැබීම
මේරි විලිස් පැවසූ පරිදි
ලෝකයට බලපෑ ආර්ථික විෂාදයේ ප්‍රතිඵල 1932වන විට බටහිර ඕස්ට්‍රේලියාවේ හුදකලා පෙදෙස්වලටද බලපාන්නට විය. එම වසරේ, එවිට මට අවුරුදු 19ක්ව තිබියදී, එලන් ඩේවීස්ටත් මටත් ලැබුණේ වර්ග සැතපුම් 40,000ක් පමණ ආවරණය කළ යුතු දේශනා පැවරුමකි. අප මෙය පටන් ගත යුතු වූයේ විලූනා නම් කුඩා නගරයක සිටයි. මෙය පිහිටා තිබුණේ බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරය වන, පර්ත්හි පිහිටි අපගේ නිවසෙන් සැතපුම් 600ක් පමණ ඊශාන දිගින්ය.
එලන් හා මා එම නගරයට යන විට, අප ගමන් කළේ, දුම්රියේ සේවක පිරිස සඳහා එහි සම්බන්ධිත විශේෂ මැදිරියක සිටි මිත්‍රශීලී දුම්රිය නියාමකවරයෙක් සමඟය. දුම්රිය මාර්ගයේ පසෙකින් පිහිටි නතරවීම සඳහාවූ සෑම “සයිඩිමක්” (පසෙකින් පිහිටි කෙටි දුම්රිය මාර්ගය) අසල දුම්රිය නවතත්ම, එම නියාමකවරයා අප එහි කොතරම් වේලාවක් නැවතී සිටිනු ඇද්දැයි කාරුණිකව අපට පැවසුවේය. මෙය දුම්රියෙන් බැස, එම දුම්රිය මාර්ගය දිගේ හුදකලාව ජීවත්වූ වැසියන්ට සාක්ෂි දැරීමට අපට ප්‍රස්තාවක් ලබා දුණි. අප අවසානයේ පතල් කර්මාන්තය කෙරෙන විලූනා නම් නගරයට පැමිණියේ දූලි කුණාටුවක් පවතින මොහොතකය.
කෙසේවෙතත්, විලූනාහි දුම්රිය සයිඩිමය පිහිටා තිබුණේ එම නගරයේ සිට සැතපුම් දෙකක් පමණ දුරකින්ය. ඉතා බරැති ප්‍රකාශන පෙට්ටි තුනක් මෙන්ම සූට්කේස් දෙකක් අප සතුව තිබූණු අතර අපෙන් කිසිවෙක් එය උසුලාගෙන යන්නට තරම් ශක්තිමත්ව සිටියේ නැත. අප කළ යුත්තේ කුමක්ද? අපි එක් පෙට්ටියක් ලීයක එල්ලා, එක් එක්කෙනා එම ලීයේ එක් එක් කොන ඉස්සුවෙමු. මෙයාකාරයෙන් අප එම පෙට්ටි ප්රවාහණය කළේ වරකට එක බැගින්ය. මෙසේ එම පෙට්ටි තුනත් අපගේ සූට්කේස් යනාදියත් සැතපුම් දෙකක් දුරින් පිහිටි නගරය වෙත රැගෙන යාමට අපට ගමන් වාර හතක් යෑමට සිදු විය. අපගේ අත් අතිශයින් රිදෙන්නට පටන් ගත් නිසා නිතර නිතර අපි නැවතී මදක් විවේක ගත්තෙමු.
දූවිලි, වේදනා ගෙනදුන් අත් හා වෙහෙසවූ පාද නොසලකා, අප එම අභියෝගය හා දුෂ්කරවූ ක්‍රියාව තුළින් ලැබුවේ ප්‍රීතියකි. අප දෙදෙනාටම දැනුණේ යෙහෝවඃවහන්සේ අප සමඟ සිටින බවත්, හුදකලා ස්ථානයන්හි දේශනා කිරීමට වූ මෙම දුෂ්කර ආරම්භය සමඟ පොර බැදීමට උන්වහන්සේ අපව ශක්තිමත් කරමින් සිටි බවත්ය. අපගේ සේවය කෙරෙහිද අපි ඉක්මනින්ම උන්වහන්සේගේ ආශීර්වාදය අද්දුටුවෙමු. මන්දයත් අප එම ගමනේදී දැරූ වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් යෞවන බොබ් හෝර්න් බයිබල් සත්‍යය වැළඳගත් නිසාය. බොබ්ට බෙතෙල් සේවයේ වසර ගණනාවක් ගත කිරීමට ලැබීම ගැනත්, 1982 සිය මරණය සිදුවන තෙක් වසර 50ක් පමණ ඔහු දිගටම විශ්වාසනීයව යෙහෝවඃවහන්සේට සේවය කිරීම ගැනත් අපි ප්‍රීති වන්නෙමු.
විලූනා සිට වෙරළාසන්න නගරයක් වන ජෙරල්ඩ්ටන් දක්වා තිබෙන සැතපුම් 450කට වැඩි දුර ප්‍රමාණය අප ගමන් කරන විට අපට හමුවූ ජනාවාසවල අපි දේශනා කළෙමු. එතැන් සිට අප ආපසු හැරී ගමන් කළේ පර්ත් වෙතටය. ඇතැම් රාත්‍රීන්වල අප දුම්රිය ස්ථානයන්හි තිබෙන පහසුකම් නැති විවේකාගාරවල නිදාගත් අතර, වරක් දුම්රිය මාර්ගයේ පැත්තක තිබුණු පිදුරු ගොඩක් මත පවා අපි නිදා ගත්තෙමු.
තිරිඟුවලින් නිවසේ සෑදූ බිස්කට් ඇහුරූ කොට්ට උරයක් අපි ගෙනාවෙමු. අපගේ ගමනේ මුල් භාගය සඳහා ප්‍රධාන ආහාරය වූයේ මෙයයි. ඇතැම් අවස්ථාවන්හි අප අපගේ ආහාර උපයා ගත්තේ පීරිසි සේදීමෙන් හා නවාතැන්වල හා බෝඩිම්වල බිම පිරිසිදු කිරීමෙන්ය. අනෙක් අවස්ථාවන්හි අප කළේ දැවෙන අව්වේ වැඩ කර බෝංචි හෝ මෑ වැනි ධාන්‍ය නෙලීමයි. බයිබල් ප්‍රකාශන පිළිගත් උනන්දුව දැක්වූ අයගේ සම්මාදම් අපගේ වියහියදම් පියවීමට උපකාරවත් විය.
යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇදහිල්ල පවත්වා ගැනීමටත්, ඒ දිනවල තිබූ දුෂ්කර තත්ත්වයන් සමඟ පසුබට නොවී සන්තෝෂයෙන් කටයුතු කිරීමටත් මාව ශක්තිමත් කළේ, මගේ මවගේ ආදර්ශය හා ඇගෙන් ලැබූ මුල් පුහුණුවය.
ක්‍රිස්තියානි උරුමයක්
මැවුම්කරුවෙකු කෙරෙහි මගේ මව තුළ දැඩි ඇදහිල්ලක් තිබූ අතර මට මතක තිබෙන කාලයක පටන්, ඇය දරුවන් වන අප සමඟ උන්වහන්සේ ගැන කථා කළේය. කෙසේවෙතත්, ඇයගේ ඇදහිල්ල තදබල ලෙස පරීක්ෂාවට ලක්වූයේ, අවුරුදු හතක් වයසැති අපගේ සහෝදරයා පාසලේදී ඛේදනීය හදිසි අනතුරකින් මියගිය විටයි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි අහිතකර හැඟීම් ඇතිකර ගනු වෙනුවට, මව උනන්දුවෙන් බයිබලය ඉගෙන ගන්නට පටන් ගත්තාය. හැකියාවක් තිබේ නම්, එවන් ඛේදවාචකයන් සඳහා හේතුව ඉගෙන ගැනීමට ඇයට වුවමනාවක් තිබුණි. බයිබල් සත්‍යය සඳහා ඇයගේ සෙවිල්ලට විපාක ලැබුණු අතර සැබෑ දෙවිවූ, යෙහෝවඃවහන්සේට ඇය ඇයගේ කැපවීම සංකේතවත් කළේ 1920 ගණන්වල මුල් භාගයේදී ජලයෙන් බව්තිස්ම වීමෙන්ය.
එවක් පටන්, ඇය අප සමඟ සාකච්ඡාවලින් කාවද්දනු ලැබුවේ දෙවියන්වහන්සේගේ පොරොන්දු කොතරම් නිසැකද යන වගය. කුමක් සිදුවෙතත් ‘දෙවියන්වහන්සේට බොරු කිව නොහැකි’ බව මනසේ තබා ගන්නා හැටියට ඇය හැමවිටම අපෙන් ඉල්ලා සිටිනු ඇත. (තීතස් 1:1) ප්‍රතිඵලයක් වශයෙන්, මගේ සහෝදරියත් මමත් අපගේ සහෝදරයන් දෙදෙනෙකුත්, අපගේ පවුල් මෙන්ම මුනුබුරන් හා මිනිබිරියන් යනාදීන් අදදින සිටින්නේ යෙහෝවඃ දෙවියන්වහන්සේව ප්‍රශංසා කරන අය හැටියටයි. ඇලන් හා පෝල් මේසන් යන මගේ බෑනලා දෙදෙනෙක්, සංචාරක අවේක්ෂකයන් හැටියට සේවය කරමින් සිටිති.
එවැන්ජලිස්ත සේවයේ යෙදෙන්නට මුල් ආශාව
මම දක්ෂ ශිෂ්‍යාවක නොවූ අතර මට අවුරුදු 13ක්ව තිබියදී, මම පාසලෙන් ඉවත් වුණෙමි. එහෙත් බයිබලය ගැන මා ඉගෙන ගත් දේවල් අන්‍යයන් සමඟ බෙදා ගැනීමට මා තුළ දැඩි ආශාවක් තිබුණි. කිසිවෙකුට උපකාර කිරීමට තරම් මා උගත් නැතැයි පියා කල්පනා කළද, මව පැවසුවේ මෙසේය: “පැමිණෙන්නාවූ අර්මගෙදොන් යුද්ධය ගැන හා මොළොක් ගුණැති අය පොළොව උරුම කර ගන්නා බවට වූ කරුණ පමණක් ඇය කියා සිටියත්, එය දේව රාජ්‍යය ප්‍රචාරය කිරීමක් වේවි.” එබැවින් මගේ නව යොවුන් වියේ මුල් භාගයේ පටන් මම ගෙයින් ගෙට සේවයේ හවුල් වන්නට පටන් ගත්තත්, වර්ෂ 1930 දක්වා මාව බව්තීස්ම කරනු ලැබුවේ නැත. බව්තීස්මයත් සමඟ, පර්ත් අවට ප්‍රදේශයේ මම පූර්ණ-කාලීන එවැන්ජලිස්ත සේවය පටන් ගත්තෙමි.
ඊළඟ වසරේ, එනම් 1931දී, අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන අලුත් නාමය පාව්චිචි කරන්නට පටන් ගත්තෙමු. කෙසේවෙතත්, බොහෝ ගෙවැසියන් දෙවියන්වහන්සේගේ මෙම පරිශුද්ධ නාමය අප විසින් භාවිතා කිරීම ගැන විරුද්ධත්වය පළ කළ අතර ප්‍රතිචාරය දැක්වූයේ කර්කශ ආකාරයකටයි. අප්‍රසන්න මුණගැසීම් තිබුණද, මම දිගටම මගේ දේව සේවයේ නිරත වුණෙමි. ‘උන්වහන්සේ සපයා දෙන ශක්තිය මත රැඳී සිටින්නට’ සිය සේවකයන්ට පුළුවන් බව දෙවියන්වහන්සේ පොරොන්දු කරන විට, උන්වහන්සේ බොරු නොකියන බවට මා තුළ නිසැකභාවයක් තිබුණි.—1 පේතෘස් 4:11; පිලිප්පි 4:13.
“මහත් සමූහය” හඳුනා ගැනීම
වර්ෂ 1935දී, මට පැවරුමක් ලැබුණේ අතිවිශාල වූ ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ අනික් පැත්තේ සේවය කරන්නටයි. මෙසේ, එවක් පටන් වසර ගණනාවක් පුරා, මම නිව් සවුත් වේල්ස් ජනපදයේ නව එංගලන්ත දිස්ත්‍රික්කය අවට පුරෝගාමි දේව සේවකයෙක් හැටියට සේවය කළෙමි. මෙය පිහිටා තිබුණේ පර්ත්හි පිහිටි මගේ නිවසෙන් සැතපුම් 2,500ක් පමණ දුරින්ය.
ඒ වනතෙක්, යේසුස්වහන්සේගේ මරණය සිහිකිරීමේ වාර්ෂික උත්සවයේදී එහි සංකේතයන් වන නුමුහුන් රොටි හා රතු වයින්වලට මම පංගුකාරයෙක් වී සිටියෙමි. මෙය, විශේෂාකාරයෙන් ජ්වලිත පූර්ණ-කාලීන දේව සේවකයන්හට, කළ යුතු නිවැරදි දෙය හැටියට සලකනු ලැබුවත්, මට ස්වර්ගීය කැඳවීමක් තිබුණු බව මා කිසිවිටෙක ඒත්තුගෙන තිබුණේ නැත. අනතුරුව, පොළොව මත සදාකාලයටම ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති මහත් සමූහයක් රැස්කරනු ලබන බව, 1935දී, අපට පැහැදිලි කරනු ලැබීය. එම මහත් සමූහයෙන් කොටසක් බව තේරුම් ගැනීමට අපෙන් බොහෝ දෙනෙක් ප්‍රීති වූ අතර අපි එම සංකේතවලට පංගුකාරයන් වීමෙන් නැවතුනෙමු. (යොහන් 10:16; එළිදරව් 7:9) යෙහෝවඃවහන්සේ පොරොන්දු දී තිබූ ආකාරයට, බයිබල් සත්‍යය ප්‍රගතිශීලීව වඩාත් දීප්තිමත්ව බැබළෙන්නට විය.—හිතෝපදේශ 4:18.
දේශනා කිරීමේ අලුත් ක්‍රම
එක්දහස් නවසිය තිස් ගණන්වල මැද භාගයේදී, අපි තැටිවාදක යන්ත්‍ර අපගේ දේව සේවයේ පාවිච්චි කරන්නට පටන් ගත්තෙමු. මෙසේ බරැති තැටිවාදක යන්ත්‍ර සඳහා පමණක් නොව, එහෙත් ඒවායේ තැටි හා අපගේ ප්‍රකාශන මලු සඳහාද, අපගේ ශක්තිමත් පාපැදි ඉදිරියෙන් හා පසුපසින් ආධාරක සවි කරන්නට සිදු විය. මාගේ පාපැදිය සම්පූර්ණයෙන් පටවා තිබූ විට මට වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්නට සිදු විය, මන්දයත් එය වැටුණොත්, යළිත් එය කෙළින් කිරීමට එය මට බර වැඩි වීමයි!
ඒ කාලයේදී පමණ, තොරතුරු දැක්වීමේ පෙළපාළි යනුවෙන් හඳුන්වන ගමන්ද අපි ආරම්භ කළෙමු. නගරවල ප්‍රධාන මාවත් දිගේ අප ගමන් කරත්ම, අපව ආකර්ෂණය වන උද්යෝග පාඨ ප්‍රදර්ශනය කළ ලොකු දැන්වීම් පත්‍ර, නැතහොත් කෙනෙකුගේ ඉදිරිපසට හා පසුපසට ඔහුගේ උරහිසේ සිට එල්ලෙන පුවරු අපි පැළඳ සිටියෙමු. විශේෂාකාරයෙන් ලිස්මෝර් නම් නගරයේ මාව අත්අඩංගුවට ගෙන රැයක් පුරා කුඩා සිර කුටියක සිරකර තබනු ලැබූ අවස්ථාවේදී, මට හැඟුනේ මෙය ඇදහිල්ල පිළිබඳ නිශ්චිත පරීක්ෂණයක් හැටියටයි. ඊළඟ දවසේ මගේ හිසවත් පීරන්නට අවසර නොදී, අධිකරණය හමුවට ගෙනෙනු ලැබීම අවමන්සහගත විය! එහෙත් යළිත් වරක්, යෙහෝවඃවහන්සේ පොරොන්දු දී තිබූ ආකාරයට උන්වහන්සේ මා උසුලා මට රුකුල් දුන් සේක. මා පැළඳගෙන සිටි ලොකු දැන්වීම තමාගේ ආගමට පහරක් වීම මා අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකුගේ එකම චෝදනාව වීම නිසා, එම නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබීය.
යළිත් බටහිර දිසාවට
එක්දහස් නවසිය හතලිස් ගණන්වල මුල්භාගයේදී, මගේ පුරෝගාමි දේශනා සේවය යළිත් වරක් මාව බටහිර ඕස්ට්‍රේලියාවේ පිටිසර නගර කරා රැගෙන ගියේය. මෙහිදී මම අමතක නොවන අද්දැකීම් හා ආත්මික ආශීර්වාදයන් දිගටම භුක්ති වින්ඳෙමි. නෝර්තම් නම් නගරයේ සේවයේ යෙදී සිටින අතර නගරයෙන් සැතපුම් හතක් පමණ පිටතින් වාසය කළ ෆ්ලෝ ටිමින්ස් නම් කාර්යබහුල ගෘහණියක මට හමු වූවා. රෙකන්සිලියේෂන් නම් පොත ඇය ලබා ගත් අතර වැඩි කලක් යන්නට මත්තෙන්, ඈ යෙහෝවඃ දෙවියන්වහන්සේගේ කැප වූ සාක්ෂිකාරියක බවට පත්වූවාය. ඇය තවමත් රාජ්‍යය සේවයේ ක්‍රියාශීලීව සිටින අතර එවකට අවුරුදු හතරක්ව සිටි ඇයගේ දියණිය වැඩී, විශේෂ පුරෝගාමි දේව සේවිකාවක බවට පත්විය.
එහෙත් අමතක කළ නොහැකි වෙනත් අද්දැකීම්ද තිබුණි. වරක්, මගේ හවුල්කරු හා මම අශ්ව කරත්තයෙන් නෝර්තම්හි පාලමක් උඩින් ගමන් කරමින් සිටියෙමු. එවිට සුළි නගමින් පහත් වේගයෙන් ගලා යමින් තිබූ ඒවන් ගඟේ ජලය මතින් භයංකර ගමනක අපව ගෙන යමින්, එහි අශ්වයා හදිසියේම කුලප්පු වී ඉතා වේගයෙන් දුවන්නට පටන් ගත්තේය. එම අශ්වයා වේගය අඩු කළේ සැතපුමක් පමණ දිවීමෙන් පසුවය.
විවාහය හා පවුලක්
වර්ෂ 1950දී, වසර ගණනාවකට පුරෝගාමියෙක්ව සිටි ආතර් විලිස් සමඟ මම විවාහ වුණෙමි. අප බටහිර ඕස්ට්‍රේලියානු ගැමි නගරයක් වන පින්ජෙලිහි පදිංචි වූ අතර එහිදී අපට බෙන්ට්ලි නම් පුතෙකු හා යූනිස් නම් දියණියක සමඟින් ආශීර්වාද ලැබුණි. දරුවන් පාසලෙන් ඉවත්වීමට ඉතා ආසන්නව සිටියදී, යළිත් පුරෝගාමියෙක් හැටියට කටයුතු කරන්නට ආතර් තීරණය කළේය. සිය පියාගේ යහපත් ආදර්ශය තමන් සුදුසුකම් ලැබූ විගස ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කිරීමට අපගේ දරුවන්ට දිරිගැන්වීය.
ආතර් නිතර දේශනා කිරීම සඳහා ඉතා දුරස්තර ග්‍රාමීය ප්‍රදේශවලට දරුවන්ව කැඳවාගෙන ගියේය. ඇතැම් අවස්ථාවල, සෑම රාත්‍රියකම කූඩාරම්වල වාසය කරමින්, ඔහු ඔවුන් සමඟ සතියක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් නිවසෙන් බැහැරව සිටිනු ඇත. ගෙදර නැති මෙම අවස්ථාවන්හි, ඔවුන් තිදෙනාට පුරෝගාමි සේවයේ යෙදෙන්නට හැකියාව සලසමින්, මම පවුලේ ගෘහභාණ්ඩ ව්‍යාපාරය ගෙනයෑම සඳහා ගෙදර සිටියෙමි.
මුල් වැසියන් අතර දේව සේවය
පවුලේ අය ඔවුන්ගේ ග්‍රාමීය දේශනා ගමනකින් හැරී පැමිණීමත් සමඟ එක් උදෑසනක, අනපේක්ෂිත ආගන්තුකයෙක් අප බලන්නට ආවේය. එසේ පැමිණි තැනැත්තා ඕස්ට්‍රේලියානු මුල් වැසියෙකු වූ අතර ඔහු ප්‍රශ්න කළේ, “නැවත එන්ට මා කුමක් කළ යුතුද?” යන්නයි. මුලදී අපි ව්‍යාකූලත්වයට පත්වීමු. වසර ගණනාවකට පෙර බීමත්කම වෙනුවෙන් ක්‍රිස්තියානි සභා ඇසුරෙන් ඉවත් කරන ලද මිනිසෙක් හැටියට අනතුරුව ආතර් ඔහුව හඳුනා ගත්තේය. එවක් පටන් ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීම හා ණයට ගැනීම පිළිබඳව කම්පනය ඇති කරන මහත් අපකීර්තියක් ලැබ තිබුණි.
ඔහුව යෙහෝවඃවහන්සේගේ පවිත්‍ර සංවිධානය තුළට යළි පිහිටුවනු ලැබීම සඳහා ඔහු කළ යුතුව තිබූ දේවල් ආතර් පැහැදිලි කළේය. ඔහු වැඩි යමක් කථා නොකර පිටත්ව ගිය අතර ඔහු කුමක් කරනු ඇද්දැයි අපි සියල්ලන්ම කල්පනා කළෙමු. ඊළඟ මාස ස්වල්පය තුළ සිදු වූ දේවල් අප කිසිවෙක් බලාපොරොත්තු නොවු තරම්ය. ඒ මිනිසා කළ වෙනස්කම් ඇත්තෙන්ම විශ්වාස කළ නොහැකි තරම්! ඔහු තමාගේ බීමත්කමේ ගැටලුවෙන් මිදුණා පමණක් නොව, එම දිස්ත්‍රික්කයේ ඔහු ණය වී සිටි අයව හමු වී ඒ ගැන ඔවුන්ට මතක් කර අනතුරුව ඔහු ණය වී සිටි මුදල්ද ගෙව්වේය! අදදින ඔහු යළිත් ඇදහිල්ලේ සහෝදරයෙකුව සිටින අතර ඔහු යම් කලකට පුරෝගාමි දේව සේවකයෙකු හැටියටද සේවය කළේය.
පින්ජෙලිහි බොහෝ මුල්වැසියන් සිටි අතර මෙම නිහතමානි ජනයාට දේව වචනයේ සත්‍යය ඉගෙන පිළිගැනීමට උපකාර කරමින්, අපි මහත් තෘප්තියක් ගෙනදෙන දේව සේවයක් භුක්ති වින්දෙමු. ඕස්ට්‍රේලියානු මුල්වැසි ජනයාගෙන් බොහෝ දෙනෙකුට සත්‍යය ඉගෙන ගැනීමට සහාය වීමෙහි මටත් යම් පංගුකාරකමක් ඇතිව සිටීමට හැකිවීම කොතරම් ඇදහිල්ල ශක්තිමත් කරවන්නක්ද!
පින්ජෙලිහි සභාවක් අරඹනු ලැබූ අතර, මුලදී, ඊට අයත්ව සිටි සාමාජිකයන් වැඩි දෙනෙක් මුල්වාසීන් වූහ. අපට ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ලියන්නටත් කියවන්නටත් උගන්වන්නට සිදුවිය. ඔවුන්ට එරෙහිව එම මුල් අවුරුදුවල බොහෝ අගතිසහගත හැඟීම් ඉදිරිපත් කරනු ලැබුවද, ඔවුන්ගේ පිරිසිදු ජීවිත ක්‍රමය මෙන්ම විශ්වාස කළහැකි පුරවැසියන්ව සිටීම වෙනුවෙන් නාගරික ජනයා ක්‍රමයෙන් ආදිවාසී සාක්ෂිකරුවන්ට ගෞරව කරන්නටද පටන් ගත්හ.
යෙහෝවඃවහන්සේගේ නොවරදින උපකාරය
දෙවියන්වහන්සේට වසර 57ක් පුරා විශ්වාසනීයව සේවය කළ මගේ ආදරණීය පුරුෂයා වන, ආතර්, 1986 මුල් භාගයේදී මියගියේය. ඔහු පින්ජෙලිහි සියලු ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම දිස්ත්‍රික්කයේ ජනයාගෙන්ද මහත් ගෞරවයක් ලැබීය. යළිත්වරක් මෙම හදිසි වියෝව දැරීමට මට ශක්තිය ලබා දෙමින්, යෙහෝවඃවහන්සේ මාව ඉසිලූ සේක.
මගේ පුත්‍රයා වන, බෙන්ට්ලි, බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු කොටසේ වැඩිමහල්ලෙකු හැටියට සේවය කරන අතර එහිදී ඔහු හා ඔහුගේ භාර්යාව වන ලොර්නා, තමන්ගේ පවුල සත්‍යයේ හදාවඩාගෙන ඇත්තාහ. මගේ දියණිය වන, යූනිස් මෙදින දක්වා පූර්ණ-කාලීන දේව සේවයේ දිගටම නියැලී සිටීම මට ප්‍රීති වීමට තවත් හේතුවකි. ඇයද ඇයගේ පුරුෂයා වන ජෙෆ්ද, පුරෝගාමින් හැටියට සේවය කරමින් සිටිති. මා දැන් ඔවුන් සමඟ වාසය කරන අතර, අඛණ්ඩව උපකාරික පුරෝගාමි සේවයේ නියැලීමට හැකිවීමේ ආශීර්වාදය මම දැන් භුක්ති විඳින්නෙමි.
යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් ශක්තිමත් කිරීමටත්, තමන්ට මුහුණ දීමට සිදුවන ඕනෑම තත්ත්වයක් සමඟ ක්‍රියා කිරීමට උපකාර කිරීමටත් දෙන ලද ප්‍රේමනීය පොරොන්දු ඉෂ්ටවීම, ගතවූ වසර 60කට වැඩි කාලයක් පුරා, මම අද්දැක ඇත්තෙමි. අප උන්වහන්සේව කිසිවිටෙක සැක නොකරන්නේ හෝ නොසලකා නොසිටින්නේ නම් උන්වහන්සේ අපගේ සෑම අවශ්‍යතාවක්ම සපයනු ඇත. දෙවියන්වහන්සේගේ හස්තය ක්‍රියා කරන අයුරු මා අද්දැක ඇති අතර, අපට තේරුම් ගැනීමට නොහැකි තරමට උන්වහන්සේ සිය ආශීර්වාදයන් වගුරුවන ආකාරය මගේ ඇදහිල්ල ශක්තිමත් වී ඇත. (මලාකී 3:10) ඇත්තෙන්ම, දෙවියන්වහන්සේට බොරු කිව නොහැක!
[27වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1933දී මේරි
[29වන පිටුවේ පින්තූර]
මහලු වයසේදී මේරි හා ආතර්