ඔබව බලවත් කිරීමට යෙහෝවඃවහන්සේට හැක
“උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය [ගතික ශක්තිය, NW] නැත්තාට සවිය වැඩිකරනසේක.”—යෙසායා 40:29.
1, 2. යෙහෝවඃවහන්සේගේ අධික බලය සම්බන්ධව සාක්ෂි සමහරක් මොනවාද?
යෙහෝවඃවහන්සේ වූ කලි “බලයෙන් අධික” දෙවිකෙනෙක්ය. දෙවියන්වහන්සේගේ භෞතික මැවිල්ලේ මහානුභාවසම්පන්නභාවය තුළින් අපට උන්වහන්සේගේ ‘සදාකාලික බලයේ හා දෙවිකමේ’ සාක්ෂි දැකිය හැකියි. උන්වහන්සේගේ මැවුම්කාරභාවයේ එවැනි සාක්ෂි පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නවුන්හට කිසිදු නිදහසට කරුණක් නැත.—ගීතාවලිය 147:5, NW; රෝම 1:19, 20.
2 විද්‍යාඥයන් විසින්, ආලෝක වර්ෂ මිලියන සිය ගණනක් ඈතට විහිදෙන්නාවූ ගණන් කළ නොහැකි මන්දාකිණි සහිත විශ්වය තුළට ගැඹුරට ගවේෂණ කර බලත්ම, යෙහෝවඃවහන්සේගේ බලය එන්ට එන්ටම පැහැදිලි ලෙස දිස්වෙයි. අඳුරු නමුත් පැහැදිලි රාත්‍රියක අහස දෙස ඉතා ඕනෑකමින් බලා, මෙසේ හැඟුණු ගීතිකාකරුට මෙන් ඔබටත් හැඟෙන්නේ නැද්දැයි බලන්න: “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” (ගීතාවලිය 8:3, 4) එමෙන්ම යෙහෝවඃවහන්සේ මිනිසාව, එනම් අපව කොතරම් හොඳින් රැක බලා සිටිනසේක්ද! උන්වහන්සේ පළමු මිනිසා හා ස්ත්‍රියට අලංකාර භූමික නිවසක් සැපයූසේක. එහි පස්වලට පවා, ශාක වර්ධනය කර, පෝෂ්‍යදායක, දූෂණය නොවූ ඵලදැරීමට බලය තිබිණි. මිනිසා සහ සත්ත්වයන් භෞතික බලය ලබාගන්නේ දෙවියන්වහන්සේගේ බලයේ මෙම විදහාපෑමෙන්ය.—උත්පත්ති 1:12; 4:12; 1 සාමුවෙල් 28:22.
3. විශ්වයේ භෞතික දේවල්වලට අමතරව, දෙවියන්වහන්සේගේ බලය පිළිබිඹු වන්නේ තවත් කුමකින්ද?
3 අහස් කුස චිත්තාකර්ෂණීයව හා පොළොවේ වෘක්ෂලතාදිය සහ සත්ත්වවර්ගයා සුන්දරව තිබෙනවාට අමතරව, ඒවා අපට දෙවියන්වහන්සේගේ බලය විදහාපායි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ [ගුණාංග, NW] වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.” (රෝම 1:20) එහෙත් අපගේ අවධානය හා අගය කිරීම ලැබීමට වටින්නාවූ, උන්වහන්සේගේ බලයේ තවත් සාක්ෂියක් තිබේ. ‘විශ්වයට වඩා දෙවියන්වහන්සේගේ බලය විදහාපාන්නේ වෙන කුමක්ද?’ යනුවෙන් ඔබ කල්පනා කරන්ට පුළුවන. පිළිතුර නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනුයි. ඇත්ත වශයෙන්ම, ආනුභාවය යටතේ ප්‍රේරිත පාවුල් පවසන්නේ, වධකණුවක ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ, “දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව” කියාය. (1 කොරින්ති 1:24) ‘ඒ ඇයි?’ ‘තවද ඉන් මගේ ජීවිතයට දැන් ඇති විය හැකි බලපෑම කුමක්ද?’ කියා ඔබ අසනවා විය හැක.
ස්වකීය පුත්රයාණන්ගෙන් පිළිබිඹු වන බලය
4. දෙවියන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ පුත්‍රයාණන් සම්බන්ධව පෙන්වනු ලැබුවේ කෙසේද?
4 දෙවියන්වහන්සේගේ බලය පළමුවෙන්ම නිරූපනය කරන ලද්දේ, උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන්ව උන්වහන්සේගේම ස්වරූපයට අනුව මවනු ලැබූ විටය. අනෙකුත් සියලු දේවල් මැවීමට දෙවියන්වහන්සේගෙන් අධික ලෙස ලැබූ බලය යොදාගැනීමෙන් මෙම ආත්ම පුත්‍රයා, “ප්‍රධාන කර්මාන්තකාරයා” වශයෙන් යෙහෝවඃවහන්සේට සේවය කළේය. (හිතෝපදේශ 8:22, 30) පාවුල්, කොලොස්සියේ විසූ තම සහෝදරයන්හට මෙසේ ලීවේය: “ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවනලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ.”—කොලොස්සි 1:15, 16.
5-7. (අ) අතීතයේදී, දෙවියන්වහන්සේගේ බලය විදහාපෑම තුළ මිනිසුන් හවුල් වූයේ කෙසේද? (ආ) අදදින ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ බලය විදහාපෙන්විය හැකි බව විශ්වාස කිරීමට තිබෙන හේතුව කුමක්ද?
5 අපි වනාහි ‘පොළොව මත මවා ඇති දේවල්හි’ කොටසක් වන්නෙමු. එසේනම්, දෙවියන්වහන්සේගේ බලය මිනිසුන් වන අපහට පවරනු ලැබිය හැකිද? ඇත්තෙන්ම, දෙවියන්වහන්සේ අසම්පූර්ණ මිනිසුන් සමඟ කටයුතු කළ විට, යෙහෝවඃවහන්සේ, ස්වකීය අරමුණු ස්වකීය සේවකයන් ලවා දිගටම ඉටු කරගෙන යෑම පිණිස කලින් කලට ඔවුන්හට අමතර බලය දානය කර තිබේ. සාමාන්‍යයෙන් අසම්පූර්ණ මිනිසුන්ට අවුරුදු 70ක් හෝ 80ක් ජීවත් විය හැකි බව මෝසෙස් දැන සිටියේය. (ගීතාවලිය 90:10) මෝසෙස් ගැනම කුමක් කිව හැකිද? ඔහු අවුරුදු 120ක් ජීවත් වූ නමුත්, “ඔහුගේ ඇස් අඳුරුනොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.” (ද්විතීය කථාව 34:7) දෙවියන්වහන්සේ ස්වකීය සෑම සේවකයෙකුටම එතරම් දිගු කලක් ජීවත් වීමට හෝ එවන් ශක්තියක් තබාගැනීමට හෝ හැකියාව ලබා දෙන බව ඉන් අදහස් නොකළත්, ඉන් ඇත්තටම ඔප්පු කරන්නේ මිනිසුන්ව බලවත් කිරීමට යෙහෝවඃවහන්සේට හැකි බවයි.
6 පුරුෂයන්ව හා ස්ත්‍රීන්ව බලවත් කිරීමට දෙවියන්වහන්සේට ඇති හැකියාව, උන්වහන්සේ ආබ්‍රහම්ගේ භාර්යාව සම්බන්ධයෙන් කළ දෙයින් පෙන්නුම් කෙරේ. “ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.” නැතහොත් යෙහෝවඃවහන්සේ ඉශ්‍රායලයේ විනිශ්චයකරුවන්ව සහ තවත් අයව බලවත් කළ ආකාරය සැලකිල්ලට ගන්න: “ගිඩියොන්ද බාරාක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද [වෙනත්, NW] ප්‍රොපේතවරුන්ද . . . දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය.”—හෙබ්‍රෙව් 11:11, 32-34.
7 එවන් බලයක් අප සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය හැකිය. ඇත්තෙන්ම, අපට දැන් ප්රාතිහාර්යක් තුළින් දරුසම්පත අපේක්ෂා කළ නොහැක, නැත්නම් අප සම්සොන්ට සමාන ශක්තියක් විදහා නොපෙන්වනවා විය හැකිය. එහෙත්, පාවුල් කොලොස්සියේ විසූ සාමාන්‍යය මිනිසුන්ට සඳහන් කළාක් මෙන්, අපටද බලවත් විය හැකියි. එසේය, පාවුල් ලීවේ, අදදින අප සභාව තුළ සිටින අය හා සමාන පුරුෂයන්ටය, ස්ත්රීන්ටය, දරුවන්ටය, එමෙන්ම, ඔවුන් “සියලු ආකාර බලයෙන් ශක්තිමත්” වෙමින් සිටි බව ඔහු පැවසුවේය.—කොලොස්සි 1:11.
8, 9. පළමු සියවසේදී, අප හා සමාන මිනිසුන් සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ බලය විදහාපානු ලැබුවේ කෙසේද?
8 යේසුස්වහන්සේගේ භූමික දේව සේවා කාලය අතරතුරේදී, යෙහෝවඃවහන්සේ, ස්වකීය පුත්‍රයාණන් තුළින් ස්වකීය බලය ක්‍රියාත්මක වෙමින් තිබූ බව පැහැදිලිව පෙන්වූසේක. නිදසුනක් වශයෙන්, කපර්ණවුමේදී විශාල සංඛ්‍යාවක් ජනයා යේසුස්වහන්සේ කරා එක්රොක්වූ අවස්ථාවක, “සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.”—ලූක් 5:17.
9 උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසුව, සිය අනුගාමිකයන්, ‘ශුද්ධාත්මය ඔවුන් කරා පැමිණි කල, බලය ලබනු ඇති’ බව යේසුස්වහන්සේ ඔවුන්ට සහතික කළසේක. (ක්‍රියා 1:8) කොතරම් සැබෑද! පොදු යුගයේ 33 පෙන්තකොස්තයට දවස් ස්වල්පයකට පසු සිදුවූ දේ ගැන ඉතිහාසඥයෙක් මෙසේ වාර්තා කරයි: “ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත-නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය.” (ක්‍රියා 4:33) පාවුල් වනාහි දෙවියන්වහන්සේ විසින් ඔහුට පවරන ලද බලපැවරුම කරගෙන යෑමට බලවත් කරනු ලැබූ තැනැත්තන්ගෙන් කෙනෙක් වූයේය. ඔහුගේ හැරීමට හා ඇස් පෙනීම ලැබුවායින් පසු ඔහු, “වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි [තර්කානුකූලව, NW] ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල්කෙළේය.”—ක්‍රියා 9:22.
10. දෙවියන්වහන්සේගෙන් පැමිණි බලය, පාවුල්ගේ තත්ත්වය තුළ උපකාරවත් වූයේ කෙසේද?
10 සැතපුම් දහස් ගණනක් ආවරණය කරන මිෂනාරි ගමන් තුනක යෙදීමට අවශ්‍ය ආත්මික හා මානසික ශක්තිය ගැන අප විසින් සලකා බලන විට, පාවුල්ට අමතර වශයෙන් ශක්තියක් අවශ්‍ය වූ බව සහතිකය. එමෙන්ම ඔහු සිරගත වීම් අද්දකිමින් හා ප්‍රාණය දීමට මුහුණපාමින් සියලු ආකාර අසීරුතාද විඳදරාගත්තේය. කෙසේද? ඔහු මෙසේ පිළිතුරු දුණි: “මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක.”—2 තිමෝති 4:6-8, 17; 2 කොරින්ති 11:23-27.
11. දෙවියන්වහන්සේගේ බලය සම්බන්ධයෙන්, කොලොස්සියේ විසූ තම සෙසු සේවකයන්හට පාවුල් යොමු දැක්වූයේ කිනම් බලාපොරොත්තුවටද?
11 එසේනම්, කොලොස්සියේ සිටින “ක්‍රිස්තුස්වහන්සේ තුළ . . . [තම] සහෝදරයන්ට” ලියන විට, ඔවුන් “ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් [විඳදරාගැනීමටත්, NW] [බොහෝ, NW] ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ] තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත්” විය හැකි බව පාවුල් ඔවුන්ට සහතික කිරීම පුදුමයක් නොවේ. (කොලොස්සි 1:2, 11) එම වචන මූලික වශයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙතට යොමු කළද, ක්‍රිස්තුස්වහන්සේගේ අඩිපාරේ ගමන් කරන සියල්ලන්ටම පාවුල් ලිවූ දෙයින් ඉමහත් ප්‍රයෝජන ගත හැකිය.
කොලොස්සියේදී බලවත් කරනු ලැබ
12, 13. කොලොස්සිවරුන්ට ලියන ලද ලිපියේ පසුබිම කුමක්ද, තවද පෙනෙන විදිහට මීට ප්‍රතිචාරය කුමක් වීද?
12 ආසියාව නමැති රෝම පළාතේ පිහිටා තිබූ කොලොස්සි සභාව, පෙනෙන විදිහට ස්ථාපිත කරනු ලැබුවේ, එපප්‍රස් නමැති ඇදහිලිවන්ත ක්රිස්තියානිවරයාගේ දේශනා කිරීම තුළින්ය. පොදු යුගයේ 58දී පමණ පාවුල් සිරගත කරනු ලැබීම ගැන එපප්රස්ට ආරංචි වූ විට, පාවුල් වෙතට ගොස් ඔහු බැහැදැක, කොලොස්සියේ තම සහෝදරයන්ගේ ප්‍රේමය සහ ස්ථිරත්වය ගැන කදිම වාර්තාවක් සමඟින් ප්‍රේරිතවරයාව දිරිගැන්වීමට ඔහු අධිෂ්ඨාන කරගත් බව පෙනෙන්ට තිබේ. එමෙන්ම, කොලොස්සි සභාවේ උද්ගත වී තිබූ, හරිගැස්වීමක් අවශ්‍ය වූ ඇතැම් ගැටලු පිළිබඳ විශ්වසනීය වාර්තාවක්ද එපප්‍රස් ඉදිරිපත් කළ බවක් පෙනෙන්ට තිබේ. මෙහි ප්‍රතිඵලයක් වූයේ, දිරිගන්වමින් හා අනුශාසනා දෙමින් මෙම සභාව වෙතට ලිපියක් යැවීමට පාවුල් තුළ දැඩි වුවමනාවක් හැඟීයෑමයි. ඔබටත් එම ලිපියේ කොලො 1වෙනි පරිච්ඡේදයෙන් සැලකිය යුතු දිරිගැන්වීමක් ලබාගත හැක, මන්දයත් යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් බලවත් කරන ආකාරය මත එය ආලෝකය හෙළන බැවිනි.
13 “ක්‍රිස්තුස්වහන්සේ තුළ . . . විශ්වාස සහෝදරයන්” යයි පාවුල් ඔවුන්ව විස්තර කළ විට, කොලොස්සියේ සිටි සහෝදර සහෝදරියන්ට කෙසේ හැඟුණා විය යුතුදැයි ඔබට සිතාගත හැක. ඔවුන් ක්‍රිස්තියානීන් බවට පත්වූ දා පටන්, සියලු ‘ශුද්ධවන්තයන් කෙරෙහි ඔවුන්ගේ ප්‍රේමයත්’ මෙන්ම ‘ශුභාරංචියේ ඵල දැරීමත්’ නිසා ඔවුන්ට ප්‍රශංසා කළ යුතුව තිබුණි! අපගේ සභාව ගැනත්, පුද්ගලයන් වශයෙන් අප ගැනත් මෙලෙසම පැවසිය හැකිද?—කොලොස්සි 1:2-8.
14. කොලොස්සිවරුන් සම්බන්ධයෙන් පාවුල්ගේ ආශාව වූයේ කුමක්ද?
14 තමාට ලැබුණු වාර්තාවෙන් පාවුල් කොතරම් පෙලඹුණාද කියතොත්, ඔවුන්, “සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස [දෙවියන්වහන්සේගේ] කැමැත්ත [ඒකාන්තව, NW] දැනගැනීමෙන් පූර්ණවී . . . ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ඔබිනලෙස . . . හැසිරෙන ලෙස” ඔවුන් සඳහා යාච්ඤා කිරීමෙන් තමා නොනැවතුණු බව ඔහු කොලොස්සිවරුන්ට පැවසුවේය. ඔවුන් “සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේගේ [ඒකාන්ත, NW] දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද, ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් [විඳදරාගැනීමටත්, NW] [බොහෝ, NW] ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්” සිටින ලෙස ඔහු යාච්ඤා කළේය.—කොලොස්සි 1:9-11, 12ආ.
අදදිනද බලවත් වී
15. පාවුල් කොලොස්සිවරුන්ට ලියන විට ඒ තුළ පිළිබිඹු වූ ආකල්පයම අපට විදහාපෑමට හැක්කේ කෙසේද?
15 පාවුල් අපහට තැබුවේ මොනතරම් කදිම ආදර්ශයක්ද! පොළොව පුරා සිටින අපගේ සහෝදරයන් තම දුක්කම්කටොලු තිබියදී ඒවා විඳදරාගෙන, තම ප්‍රීතිය පවත්වාගැනීමට අපගේ යාච්ඤා ඔවුන්ට අවශ්‍යය. වෙනත් සභාවක, වෙනත් රටක, සිටින අපගේ සහෝදරයන් දුෂ්කරතාවලට මුහුණ දෙන බව අපට සැල වන විට පාවුල් මෙන් අපත්, විශේෂයෙන් ඔවුන් උදෙසා යාච්ඤා කළ යුතුය. ළඟපාත සභාවක් ස්වාභාවික විපතකට ගොදුරු වූවා විය හැක, නැතහොත් යම් ආත්මික දුෂ්කරතාවකට මුහුණ දෙනවා වන්ට පුළුවන. නොඑසේනම්, ක්‍රිස්තියානීන් සිවිල් යුද්ධයෙන් හෝ අන්තර්ගෝත්‍රික ඝාතනවලින් දෙදරා ගොස් ඇති රටක විඳදරාගනිමින් සිටිනවා විය හැකිය. අපගේ සහෝදරයන්, ‘යෙහෝවඃවහන්සේට ඔබින ආකාරයට හැසිර,’ ඔවුන් විඳදරාගන්නා විට රාජ්‍යය ඵල දැරීමටත් දැනුමෙන් වර්ධනය වන පිණිස ඔවුන්ට උපකාර කරන ලෙස අප දෙවියන්වහන්සේට යාච්ඤා කළ යුතුය. මේ අන්දමින්, දෙවියන්වහන්සේගේ සේවකයන් උන්වහන්සේගේ ආත්මය මගින් බලය ලබන අතර, ‘සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙති.’ ඔබගේ පියාණන් එම යාච්ඤා අසා ඒවාට ප්‍රතිචාර දක්වනු ඇති බවට ඔබට සහතික විය හැක.—1 යොහන් 5:14, 15.
16, 17. (අ) පාවුල් ලීවාක් මෙන්, අප ස්තුතිවන්ත විය යුත්තේ කුමක් සඳහාද? (ආ) දෙවියන්වහන්සේගේ ජනයා මුදවා ඇත්තේද සමාව ලැබ තිබෙන්නේද කුමන අර්ථයෙන්ද?
16 තමන් ‘ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට තමන් සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්’ සිටිය යුතු බව පාවුල් කොලොස්සිවරුන්ට පැවසුවේය. එමෙන්ම අපගේ තැන අපගේ ස්වර්ගික පියාණන්ගේ රාජ්‍යයේ ස්වර්ගික හෝ භූමික විෂයෙහි හෝ වේවා උන්වහන්සේගේ විධිවිධානයේ අපට තිබෙන එම තැනට අපි උන්වහන්සේට ස්තුති දෙමු. දෙවියන්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි අසම්පූර්ණ මිනිසුන්ව සුදුස්සන් කළේ කෙසේද? පාවුල් සිය අභිෂේකලත් සහෝදරයන්ට මෙසේ ලීවේය: “පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.”—කොලොස්සි 1:12-14.
17 ස්වර්ගික වේවා, භූමික වේවා, අපගේ බලාපොරොත්තුව කුමක් වුවත්, යෙහෝවඃවහන්සේගේ සහෘද පුත්‍රයාණන්ගේ මිදීමේ මිල යාගය නමැති අනර්ඝ සැපයුම තුළ අපගේ ඇදහිල්ල මගින් සම්පූර්ණ කරනු ලැබූ, අන්ධකාරයේ මෙම නපුරු පිළිවෙළෙන් අපගේ ගැළවීම ගැන අපි දෙවියන්වහන්සේට නිතිපතා ස්තුති දෙමු. (මතෙව් 20:28) ආත්මයෙන් අභිෂේකලත් ක්‍රිස්තියානීන් ‘දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට පමුණුවාගත’ හැකි වන පිණිස, ඔවුන් විශේෂ ආකාරයකින් මිදීමේ මිලය අදාළ වීමෙන් ප්‍රයෝජන ගෙන තිබේ. (ලූක් 22:20, 29, 30) එහෙත්, ‘වෙනත් බැටළුවෝද’ දැන් පවා මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගනිති. (යොහන් 10:16) දෙවියන්වහන්සේගේ මිත්‍රයන් වශයෙන් උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ තත්ත්වයක් ඇතිව සිටිනු පිණිස ඔවුන්ට උන්වහන්සේගේ සමාව ලබාගත හැක. මෙම අන්තිම කාලයේදී, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ප්‍රකාශ කිරීමෙහිලා ඔවුන්ට විශාල පංගුකාරකමක් ඇත. (මතෙව් 24:14) මීට අමතරව, ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය අවසානය වන විට, මුළුමනින්ම ධර්මිෂ්ඨ කරනු ලැබ, කායිකව පරිපූර්ණ තත්ත්වයට පැමිණීමේ පුදුමාකාර බලාපොරොත්තුව ඔවුන්ට තිබේ. ඔබ එළිදරව් 7:13-17හි විස්තරය කියවත්ම මෙය, ගළවනු ලැබ ආශීර්වාද කරනු ලැබීම පිළිබඳ සාක්ෂියක් වන බවට ඔබ එකඟ නොවන්නේදැයි බලන්න.
18. දෙවියන්වහන්සේ තවමත් ඉටු කරමින් සිටින්නේ කොලොස්සි පොතේ සඳහන් කිනම් සමගි කිරීමද?
18 මෙතෙක් ජීවත්වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාට අප කොතරම් ණය ගැතිදැයි වටහාගැනීමට පාවුල්ගේ ලිපිය අපට උපකාර කරයි. දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඉටු කරමින් සිටියේ කුමක්ද? “[ඒ වනාහි] උන්වහන්සේ කුරුසියේ [වධකණුවේ, NW] ලෙයින් සමාදානය උපදවා, උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමගිකරගැනීමය.” දෙවියන්වහන්සේගේ අරමුණ වනුයේ, ඒදන්හි කැරැල්ලට කලින් තිබුණාක් මෙන්, සියලු මැවිලි මුළුමනින්ම තමන්වහන්සේ සමඟ ආපසු එකඟතාවට ගෙන ඒමටය. සියලු දේවල් මැවීමට යොදාගත් තැනැත්තාත්, මෙම සමගි කිරීම සාක්ෂාත් කරගැනීමට දැන් යොදාගනු ලබන තැනැත්තාත් එක්කෙනෙක්මය.—කොලොස්සි 1:19ආ, 20.
බලවත් කරනු ලබන්නේ කුමන අරමුණක් සඳහාද?
19, 20. අපගේ ශුද්ධකම හා නොකිලිටිභාවය රඳා පවතින්නේ කුමක් මතද?
19 දෙවියන්වහන්සේ සමඟ සමගි වී සිටින අය වන අපහට වගකීම්ද පැමිණේ. අපි වරක් පව්කාරව, දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටියෙමු. එහෙත් දැන්, යේසුස්වහන්සේගේ යාගය කෙරෙහි ඇදහිල්ල තබා, අපගේ මනස් තවදුරටත් දුෂ්ට ක්‍රියා මත තබා නොතිබෙන නිසා, අප මූලික වශයෙන් සිටගෙන සිටින්නේ, “[දෙවියන්වහන්සේ] ඉදිරියෙහි කිසිදු චෝදනාවකට විවෘත නොවූ” “ශුද්ධ හා නොකැලැල්” තත්ත්වයකය. (කොලොස්සි 1:21, 22, NW) මේ ගැන කල්පනා කර බලන්න. එනම්, දෙවියන්වහන්සේ එම ඉපැරණි විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ගැන ලජ්ජා නොවුණාක් මෙන්, අපගේ දෙවියන්වහන්සේ වශයෙන් හඳුන්වනු ලැබීමට අප ගැන ලජ්ජා නොවනසේක. (හෙබ්‍රෙව් 11:16) උන්වහන්සේගේ අලංකාර නාමය වැරදිසහගත ලෙස දරනවා කියා හෝ එම නාමය පොළොව පුරා ප්‍රකාශ කිරීමට අප භය වෙනවා කියා හෝ චෝදනා කිරීමට අදදින කිසිවෙකුට බැරිය!
20 එහෙත්, කොලොස්සි 1:23හි පාවුල් එකතු කළ මෙම අවවාදය සැලකිල්ලට ගන්න: “නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය.” එතරම්ම බොහෝ දේවල් රඳා පවතින්නේ, ස්වකීය සහෘද පුත්‍රයාණන්ගේ අඩිපාරේ ගමන් කරමින්, යෙහෝවඃවහන්සේට අප විසින් විශ්වාසවන්තව සිටීම මතය. යෙහෝවඃවහන්සේ සහ යේසුස්වහන්සේ අප උදෙසා මොනතරම් බොහෝ දෑ කර තිබේද! පාවුල්ගේ උපදෙස අනුගමනය කිරීම මගින් අපි උන්වහන්සේලා සඳහා අපගේ ප්‍රේමය පෙන්වමු.
21. අදදින බෙහෙවින් සතුටු වීමට අපට මහත් හේතු තිබෙන්නේ මන්ද?
21 ‘තමන් ඇසූ ශුභාරංචිය’ එවිටමත් ‘අහසින් යට මුළු මැවිල්ලේ දේශනා කර’ තිබුණා යයි ඇසීම ගැන කොලොස්සි ක්‍රිස්තියානීන් ඉතා සතුටු වූවා විය යුතුය. අදදින රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරනු ලබමින් තිබෙන තරම ඇසීම ඊටත් වඩා ප්රබෝධය දනවනසුලුය—එනම්, රටවල් 230කටත් වඩා වැඩියෙන්, සාක්ෂිකරුවන් මිලියන හතරාමාරකටත් වඩා වැඩි දෙනෙකු මාර්ගයෙන්ය. ඇයි, සෑම වසරකම සියලු ජාතීන්ගෙන් 3,00,000ක පමණ ජනකායක් දෙවියන්වහන්සේ හා සමගි වෙති!—මතෙව් 24:14; 28:19, 20.
22. අප දුක්කම්කටොළු වින්දත්, අප සඳහා දෙවියන්වහන්සේට කුමක් කළ හැකිද?
22 පාවුල් කොලොස්සිවරුන්ට තම ලිපිය ලියන විට, ඔහු සිරගත වී සිටි බව පෙනෙන්ට තිබුණද, ඔහු තමා සිටි තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ළත වූයේ නැත. ඒ වෙනුවට: “දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීති” වෙමියි හේ පැවසීය. ‘ප්‍රීතිය ඇතුව, සියලු ආකාර විඳදරාගැනීම සහ බොහෝ ඉවසිලිවන්තකම’ දැක්වීම යන්නෙහි අදහස පාවුල් දැන සිටියේය. (කොලොස්සි 1:11, 24) එහෙත්, තමාගේම ශක්තියෙන් තමා මෙය නොකළ බව හේ දැන සිටියේය. යෙහෝවඃවහන්සේ ඔහුව බලවත් කර තිබුණි! අදදිනත් එසේමය. සිරගත කරනු ලැබූ සහ පීඩා කරනු ලැබූ දහස් ගණන් සාක්ෂිකරුවන්, යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා තම ප්‍රීතිය අහිමි කරගෙන නැත. ඒ වෙනුවට, යෙසායා 40:29-31හි සඳහන් පරිදි, දෙවියන්වහන්සේගේ වචනවල සත්‍යතාව අගය කිරීමට ඔවුහු පැමිණ සිටිති: “උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය.”
23, 24. කොලොස්සි 1:25හි සඳහන් පරිශුද්ධ රහස කුමක්ද?
23 ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගතව ඇති ශුභාරංචියේ දේව සේවය පාවුල්ට එතරම්ම වැදගත් විය. දෙවියන්වහන්සේගේ අරමුණෙහි ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යභාරයේ වටිනාකම අන්‍යයන් විසින් අගය කිරීම පාවුල්ට වුවමනා වූ අතර, එමනිසා ඔහු එය විස්තර කළේ, “පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී ති[බූ], . . . [පරිශුද්ධ, NW] රහස” හැටියටය. එහෙත්, එය සෑමවිටම රහසක් වීමට නොතිබුණි. පාවුල් මෙසේද පැවසීය: ‘දැන් එය උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශ වී තිබේ.’ (කොලොස්සි 1:25) ඒදන් උයනේදී කැරැල්ල සිදුවූ විට, ‘ස්ත්‍රියගේ වංශය සර්පයාගේ හිස පොඩි කරනු ඇති’ බවට පුරෝකථනය කරමින්, යෙහෝවඃවහන්සේ, පැමිණීමට තිබෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ පොරොන්දුවක් දුන්සේක. (උත්පත්ති 3:15) මින් අදහස් වූයේ කුමක්ද? පරම්පරා ගණනාවකට, සියවස් ගණනාවකට, එය අභිරහසක්ව තිබුණු බවය. අනතුරුව යේසුස්වහන්සේ පැමිණිසේක, තවද උන්වහන්සේ, “ශුභාරංචිය තුළින් ජීවනය සහ අජරාමරභාවය කෙරෙහි ආලෝකය හෙළූසේක.”—2 තිමෝති 1:10, NW.
24 එසේය, එම “පරිශුද්ධ රහස” ක්‍රිස්තුස්වහන්සේ සහ මෙසියානු රාජ්‍යය වටා කේන්ද්‍රගත වී තිබේ. පාවුල් සඳහන් කළ, “ස්වර්ගවල තිබෙන දේවල්” යොමු දක්වන්නේ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ රාජ්‍යය පාලනයේ හවුල් වනු ඇති අයටයි. මේ අය වනාහි, “පොළොවෙහි තිබෙන [සියලු] දේවල්” සඳහා, එනම් මිහිපිට සදාකාලික පාරාදීසයක් භුක්ති විඳින්ට යන අය සඳහා කිව නොහැකි ආශීර්වාද ගෙන ඒමෙහිලා දායක වනු ඇත. එසේනම්, පාවුල්, “මේ [පරිශුද්ධ, NW] රහසේ තේජස් සම්පත් කෙරෙහි” යොමු දැක්වීම කෙතරම් යෝග්‍යදැයි ඔබට දැකිය හැක.—කොලොස්සි 1:20, 27, NW.
25. කොලොස්සි 1:29හි අඟවා ඇති පරිදි, දැන් අපගේ ආකල්පය විය යුත්තේ කුමක්ද?
25 පාවුල්, රාජ්‍යය තුළ සිය ස්ථානය දෙස බලා සිටියේය. එහෙත්, එය වනාහි කිසිවක් නොකර තමාට නිකම්ම බලා සිටිය හැකි යමක් නොවන බව ඔහු වටහාගත්තේය. “මා තුළ බලවත්ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.” (1 කොලොස්සි 1:29) යෙහෝවඃවහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළින් පාවුල්ව ජීවිත ගළවන මෙහෙයක් ඉටු කිරීම සඳහා ප්‍රබල කෙරෙවූ බව සැලකිල්ලට ගන්න. අදදින අප සම්බන්ධයෙන්ද එසේම කිරීමට යෙහෝවඃවහන්සේට හැකිය. එහෙත්, අප අපගෙන්ම මෙසේ ඇසිය යුතුය, ‘මා පළමු වතාවට සත්‍යය ඉගෙනගත් විට තිබූ එම එවැන්ජලිස්ත ස්වභාවයම මට තිබෙනවාද?’ ඔබගේ පිළිතුර කුමක්ද? ‘යෙහෝවඃවහන්සේගේ බලයේ ක්‍රියාත්මක වීමට එකඟව, මහන්සි වී වැඩ කිරීමත්, අපම වීර්ය කිරීමත්’ දිගටම කරගෙන යෑමට අප එක් එක්කෙනාට උපකාර වන්නේ කුමක්ද? ඊළඟ ලිපිය මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කරයි.
ඔබ සටහන් කරගත්තාද?
◻ යෙහෝවඃවහන්සේට මිනිසුන් වෙනුවෙන් ස්වකීය බලය විදහාපෑ හැකි බව අපට ස්ථිර විය හැක්කේ මන්ද?
◻ කොලොස්සි 1වන පරිච්ඡේදයේ පාවුල්ගේ වචනවල පසුබිම කුමක්ද?
◻ දෙවියන්වහන්සේ, කොලොස්සි 1:20හි සඳහන් සමගි කිරීම ඉදිරියට කරගෙන යන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේට, ස්වකීය බලය කරණකොටගෙන අප තුළින් ඉෂ්ට කළ හැක්කේ කුමක්ද?
[8වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
කොලොස්සි නගරය