ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය
පරිපූර්ණ දරුවෙකු ඔබගේ භාරයේ තබා ඔහුව නිසිලෙස හදාවඩාගැනීම ඔබෙන් අපේක්ෂා කරනු ලැබුවායයි සිතන්න. මොනතරම් අභියෝගයක්ද! ඕනෑම අසම්පූර්ණ මිනිසෙකුට එය කළ හැක්කේ කෙසේද? දිව්‍ය මඟ පෙන්වීම පිළිගෙන එය එදිනෙදා ජීවිතය තුළ අදාළ කිරීමෙන් පමණි.
යේසුස්වහන්සේව හදාවඩාගත් පිය වූ යෝසෙප් විසින් කරන ලද්දේ හරියටම එම දෙයමය. ද්විතීය සම්මත ග්‍රන්ථවල අඩංගු සවිස්තර කථා මෙන් නොව, යේසුස්වහන්සේගේ මුල් ජීවිතයේ ඔහුගේ නිහතමානි භූමිකාව ගැන බයිබලය කථා කරන්නේ අල්ප වශයෙනි. යෝසෙප් සහ ඔහුගේ භාර්යාව වූ මරියා, යේසුස්වහන්සේව, තවත් පුත්‍රයන් සිව්දෙනෙකුව හා දූවරුන්ව හදාවඩාගත් බව අපි දනිමු.—මාර්ක් 6:3.
යෝසෙප් වනාහි ඉශ්‍රායලයේ රජ වූ දාවිත් තුළින් සාලමොන්ගේ පෙළපතින් පැමිණියෙකු විය. ඔහු යාකොබ්ගේ පුත්‍රයා වූ අතර, හේලීගේ බෑනා විය. (මතෙව් 1:16; ලූක් 3:23) ගලීලයේ නාසරෙත් නුවර වඩුවෙකු වශයෙන්, යෝසෙප්ට තිබුණේ සීමිත ආර්ථික සම්පත්ය. (මතෙව් 13:55; ලූක් 2:4, 5ආ, 24; සසඳන්න ලෙවී කථාව 12:8.) එහෙත්, ඔහු ආත්මිකව පොහොසතෙක් වූයේය. (හිතෝපදේශ 10:22) සහතිකවම මෙය මෙසේ වූයේ ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත් නිසාය.
යෝසෙප් වනාහි දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබූ සහ හරිව තිබූ දේ කිරීමට ආශා කළ මොළොක් සහ නිහතමානී යුදෙව්වෙකු වූ බවට කිසිම සැකයක් නැත. ඔහු සෑමවිටම යෙහෝවඃවහන්සේගේ නියෝගවලට කීකරු වූ බව ශුද්ධ ලියවිල්ලේ, ඔහුගේ ජීවිතය ගැන වාර්තා වී ඇති සිද්ධීන් ස්වල්පය පෙන්නුම් කරයි. මෙම නියෝග ව්‍යවස්ථාවේ අන්තර්ගත වුවද, දේවදූතයන් මගින් යෝසෙප්හට ඍජුවම ලැබුණද, ඔහු මෙසේ කීකරු වූයේය.
ගැටලු තිබූ ධර්මිෂ්ඨ මිනිසෙක්
විශාල ගැටලුවකට මුහුණ පාන විට දේව භක්තික මිනිසෙක් කුමක් කළ යුතුද? ඇයි, ඔහු ‘යෙහෝවඃවහන්සේ පිට තම බර තබා’ දිව්‍ය මඟ පෙන්වීම අනුගමනය කළ යුතුය! (ගීතාවලිය 55:22) යෝසෙප් කළේ මෙයයි. ඔහු මරියා හා විවාහ ගිවිසගෙන සිටි විට, “ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදි.” යෝසෙප්, ‘ධර්මිෂ්ඨයෙක්ව සිටි [නිසා] ඇය නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඇයව අත්හරින්ට සිතුවේය.’ යෝසෙප් මෙම කාරණය ගැන කල්පනා කළායින් පසු, යෙහෝවඃවහන්සේගේ දූතයා ඔහුට හීනෙන් පෙනී, මෙසේ පැවසුවේය: “දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] කරණකොටගෙනය. ඈ පුත්‍රයෙකු වදන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේය.” යෝසෙප් නින්දෙන් පිබිද, “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය; නුමුත් ඈ පුත්‍රයෙකු වදන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.” (මතෙව් 1:18-25) යෝසෙප් දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය.
ජනයා තමන්ගේම නගරවල ලියාපදිංචි විය යුතු බවට අගොස්තුස් කායිසර් ආඥාවක් නිකුත් කළේය. මීට කීකරු වෙමින්, යෝසෙප් මරියා සමඟ යුදයේ බෙත්ලෙහෙමට ගියේය. එහිදී මරියා යේසුස්වහන්සේව ප්‍රසූත කළ අතර, වෙනත් නවාතැනක් ලබාගත නොහැකිව තිබූ නිසා උන්වහන්සේව ගව ඔරුවක තැබීමට සිදුවිය. එම රාත්රියේදී, මෙම සුවිශේෂ උපත ගැන දේවදූතමය නිවේදනය ඇසූ එඬේරු, ළදරුවා බැලීමට පැමිණියෝය. දවස් 40කට පමණ පසුව, යෙරුසලමේ දේව මාළිගයේදී පූජාවක් සමඟ යේසුස්වහන්සේව ඉදිරිපත් කිරීම මගින් යෝසෙප් සහ මරියා ව්‍යවස්ථාවට එකඟව ක්‍රියා කළහ. යේසුස්වහන්සේ කරන්ට යන මහත් දේවල් පිළිබඳව මහලු සිමියොන්ගේ අනාවැකිමය වචන ඇසූ ඔවුහු දෙදෙනාම මවිත වූහ.—ලූක් 2:1-33; සසඳන්න ලෙවී කථාව 12:2-4, 6-8.
යෝසෙප් සහ මරියා දේව මාළිගාවේදී යේසුස්වහන්සේව ඔප්පු කළ සැණින් නාසරෙත් බලා ගිය බවක් ලූක් 2:39හි පෙනෙන්ට තිබුණා විය හැකි වුවත්, මෙම පාඨය සංක්ෂිප්ත වාර්තාවක කොටසක්ය. දේව මාළිගාවේ මෙම ඔප්පු කිරීමෙන් ටික කලකට පසුව, ප්‍රාචීන දේශයෙන් පැමිණි නක්ෂත්රකරුවන් (ශාස්ත්රකරුවන්) බෙත්ලෙහෙම් නිවසකදී මරියා සහ යේසුස්වහන්සේව බැහැදුටු බව පෙනී යයි. මෙම බැහැදැකීමෙන් යේසුස්වහන්සේට මරණය පැමිණීම දිව්‍ය මැදිහත්වීමෙන් වළකන ලදි. ශාස්ත්රකරුවන් පිටවී ගියායින් පසුව, යෙහෝවඃවහන්සේගේ දූතයා සිහිනයකින් යෝසෙප්ට පෙනී, මෙසේ පැවසීය: “හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇත.” යෝසෙප් තම සාමාන්‍ය පුරුද්දට අනුව, දිව්‍ය මඟ පෙන්වීමට අවනත වී, ඔහුගේ පවුල රැගෙන මිසරයට ගියේය.—මතෙව් 2:1-14.
හෙරොද්ගේ මරණින් පසු, මිසරයේ සිටි යෝසෙප්ට දේවදූතයෙක් දර්ශනය වී, මෙසේ පැවසීය: “නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්රායෙල් දේශයට පලයන්න.” හෙරොද්ගේ පුත්‍ර අර්කෙලාවුස් තමාගේ පියා වෙනුවට රජකම් කරන බව අසා, යෝසෙප් යුදයට නැවත යෑමට භය විය. සිහිනයෙන් දෙනු ලැබූ දිව්‍ය අවවාදයට අවනත වෙමින්, හේ, ගලීල ප්‍රදේශයට ගොස්, එහි නාසරෙත් නුවරෙහි වාසය කළේය.—මතෙව් 2:15-23.
ආත්මික මිනිසෙක්
තම පවුල දිව්‍ය නීතියට එකඟව ක්‍රියා කොට ආත්මිකව පෝෂණය කරනු ලැබූ බවට යෝසෙප් වගබලාගත්තේය. සෑම වසරකම ඔහු තම මුළු පවුලත් සමඟ යෙරුසලමේ පාස්කු මංගල්‍යයට ගියේය. මේ එක් අවස්ථාවකදී, යෝසෙප් සහ මරියා නැවත නාසරෙත් කරා යමින් සිටි විට, ඔවුහු යෙරුසලමින් දවසක දුරක් ඇවිත් තිබුණ විට, වයස අවුරුදු 12ක්වූ යේසුස්වහන්සේ, ආ ගිය අතක් නැති බව සොයාගත්හ. නැවත යෙරුසලමට ගිය ඔවුහු, ඉතා වෙහෙස මහන්සි වී උන්වහන්සේව සෙවූ අතර, උන්වහන්සේ එහි සිටි ගුරුවරුන්ට සවන් දෙමින් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටිනවා ඔවුන්ට සම්බවිය.—ලූක් 2:41-50.
ඇතැම් දේවලදී තම භාර්යාවට මුල පිරීමට යෝසෙප් ඉඩහැරිය බවක් පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, ඔවුන් යෙරුසලමට ආපසු පැමිණ යේසුස්වහන්සේ දේව මාළිගාවේ සිටිනවා සම්බ වූ කල, මෙම කාරණය සම්බන්ධයෙන් සිය යෞවන පුත්‍රයාට කථා කළේ මරියාය. (ලූක් 2:48, 49) “වඩුවාගේ පුත්‍රයා” ලෙස හැදී වැඩෙන අතර, යේසුස්වහන්සේ ආත්මික උපදෙස් ලැබූසේක. යෝසෙප් උන්වහන්සේට වඩු කර්මාන්තයද ඉගැන්වීය, මන්ද, යේසුස්වහන්සේව හඳුන්වනු ලැබුවේ, “මරියාගේ පුත්‍රවූ . . . වඩුවා” ලෙසය. (මතෙව් 13:55; මාර්ක් 6:3) දේව භක්තික දෙමාපියන්, විශේෂයෙන්ම ආත්මික පුහුණුව දෙමින් තම දරුවන්ට උපදෙස් දීම සඳහා ඒ හා සමාන ප්රස්තාවන්ගෙන් උපරිම ප්රයෝජනගත යුතුය.—එපීස 6:4; 2 තිමෝති 1:4අ, 5; 3:14-16.
යෝසෙප්ගේ අපේක්ෂා
යෝසෙප්ගේ මරණය පිළිබඳව ශුද්ධ ලියවිලි නිහඬය. එහෙත්, මාර්ක් 6:3හි යේසුස්වහන්සේව හඳුන්වා ඇත්තේ, යෝසෙප්ගේ හැටියට නොව, “මරියාගේ පුත්‍රයා” යනුවෙනි. මින් අඟවන්නේ එවකට යෝසෙප් මියගොස් සිටි බවයි. එපමණක්ද නොව, යෝසෙප් පො.යු. 33 දක්වා ජීවත්ව සිටියා නම්, ඇණගසනු ලැබූ යේසුස්වහන්සේ, තම මෑණියන්ව බලාගැනීම සඳහා ප්‍රේරිත යොහන්ට පවරන්නේ නැති බව පෙනේ.—යොහන් 19:26, 27.
එසේනම්, මනුෂ්‍ය පුත්‍රයාගේ හඬ අසා, නැවත නැගිටීමක් ලබනු ඇති අය අතර යෝසෙප්ද සිටිනු ඇත. (යොහන් 5:28, 29) සදාකාල ජීවනය සඳහා වූ යෙහෝවඃවහන්සේගේ සැපයුම ඉගෙනගැනීමෙන්, යෝසෙප් ඉතා සතුටින් එම සැපයුමෙන් ප්‍රයෝජනගැනීමට ඉදිරිපත් වනු ඇති අතර, ඔහු මීට වසර 1,900කට පෙර දිව්‍ය මඟ පෙන්වීමට අවනත වූවාක් මෙන්, ශ්‍රේෂ්ඨ ස්වර්ගික රජ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කීකරු යටත් වැසියෙක් වනවා නොඅනුමානය.
[31වන පිටුවේ පින්තූරය]
යෝසෙප් යේසුස්වහන්සේට ආත්මික උපදෙස් දුන්නේය එමෙන්ම උන්වහන්සේට වඩු කර්මාන්තයද ඉගැන්වීය