ඔහු මෙසියස්වහන්සේට පෙරටුව යන්නෙක් විය
පළල් හම්පටියක්, අව්වට පිළිස්සුණු ඔහුගේ සම හොඳින් කැපීපෙනෙන්ට සැලැස්වීය. ඔටුරෝම වස්ත්‍ර ඇඳගත් ඔහු, ඇත්තෙන්ම දිස්වූයේ දිවැස්වරයෙකු විලසිනි. බොහෝදෙනෙක් යොර්දාන් ගඟ අසල සිටි මොහු වෙතට ඇදී ආහ. එහිදී මෙම චිත්තාකර්ෂණීය මිනිසා, පසුතැවිලි වන අයව බව්තීස්ම කරන්ට තමා සූදානම් බැව් නිර්භීතව ප්‍රකාශ කළේය.
ජනයා පුදුමයට පත්වූහ. මොහු කවුද? ඔහුගේ අරමුණ කුමක් වූයේද?
මොහු පිළිබඳව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, නුඹලාට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය. . . . සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය.” (මතෙව් 11:9-11) යොහන් මෙතරම් සුවිශේෂිත මිනිසෙක් වූයේ මක්නිසාද? ඔහු මෙසියස්වහන්සේගේ පෙරටුව යන්නාව සිටි නිසාය.
ඔහුගේ දේවසේවය පුරෝකථනය කර තිබ්ණ
යොහන්ගේ උපතට වසර 700කට වැඩි කාලයකට පෙර, මොහු “ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරපල්ලා” යනුවෙන් වනාන්තරයෙහි මොරගසනු ඇති බව යෙහෝවඃවහන්සේ නිවේදනය කළසේක. (යෙසායා 40:3; මතෙව් 3:3) යොහන්ගේ උපතට වසර 400කට වැඩි කලකට පෙර, සර්වබලධාරි දෙවියන්වහන්සේ “බලව, ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි” යයි ප්‍රකාශ කළසේක. (මලාකි 4:5) යේසුස්වහන්සේගේ උපතට මාස හයකට පමණ පෙර උපත ලද එම යොහන් බව්තීස්ත අහම්බෙන් ඉපදුණේ නැත, එමෙන්ම එය හුදු ස්වභාවික ක්‍රමයකට සිදුවුණේද නැත. පොරොන්දු වූ දරුවෙක්ව සිටි ඊසාක්ගේ උපත හා සමානව, යොහන්ගේ උපත දරුවන් බිහි කරන සාමාන්‍ය වයස පසු කර සිටි ඔහුගේ මව්පියන් වන සෙකරියස්ටත්, එලිසබෙත්ටත් ආශ්චර්යයක් විය.—ලූක් 1:18.
යොහන්ගේ පිළිසිඳ ගැනීමට පෙර පවා, ඔහුගේ පැවරුම, සේවය හා ජීවත් වන ක්‍රමය ගාබ්‍රියෙල් දේවදූතයා විසින් එළිදරව් කර තිබිණ. එලියාගේ උනන්දුව හා ස්වභාවයෙන් යුක්තව, යොහන් මරණයේ මාවතෙන් අකීකරු අයව හරවනු ඇති අතර, මෙසියස් හැටියට යේසුස්වහන්සේව පිළිගැනීමට ඔවුන්ව සූදානම් කරනවා ඇත. උපතේ පටන්, යොහන් සහමුලින්ම දෙවියන්වහන්සේට කැපවූ කෙනෙක් හැටියට ඉඳිමින්, මුද්‍රිකපානයෙන් හෝ මද්‍යපානයෙන් වැළකී සිට නසරීයයෙකු විය යුතුව තිබිණ. ඇත්තවශයෙන්ම, වනාන්තරයේ ඔහුගේ ආහාරය “පළගැටියන්ද වනමීද” විය. (මාර්ක් 1:6; ගණන් කථාව 6:2, 3; ලූක් 1:13-17) සාමුවෙල් මෙන්, බාල කාලයේ පටන් යොහන්ව මහෝත්තම දෙවියන්වහන්සේගේ මහිමාන්විත සේවය සඳහා වෙන් කරනු ලැබීය.—1 සාමුවෙල් 1:11, 24-28.
යොහන් යන නාමය පවා තෝරාගෙන තිබුණේ දෙවියන්වහන්සේ විසිනි. “යොහන්” යන නාමයේ හෙබ්‍රෙව් අර්ථය “යෙහෝවඃවහන්සේ අනුග්‍රහය දක්වා ඇත, යෙහෝවඃවහන්සේ කරුණාභරිත වී ඇත” යනුයි.
අටවන දින දරුවා චර්මච්ඡේදනය කරනු ලැබූ අවස්ථාවේදී, ඔහුගේ පියා වන, සෙකරියස්ව, මෙසේ පවසන්ට දේවානුභාවයෙන් පොලඹවනු ලැබීය: “එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට, එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනගට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට, උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් . . . ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේය.” (ලූක් 1:76-79) යොහන්ගේ ප්‍රසිද්ධ දේවසේවය ඔහුගේ ජීවිතයේ අතිවැදගත් දෙයක් විය යුතුව තිබිණ. ඒ හා සැසඳීමේදී, අන් සියල්ල එතරම් වැදගත් වූයේ නැත. එබැවින්, ශුද්ධ ලියවිල්ල යොහන්ගේ ජීවිතයේ පළමු වසර 30 එක් වගන්තියකින් පියවන්නේ මෙසේය: “දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්රායෙල්ට තමා ප්රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.”—ලූක් 1:80.
වනාන්තරයේ හඬක්
තිබේරියස් කායිසර්ගේ පාලනයේ 15වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව සිටියදී, යොහන් බව්තීස්ත “පසුතැවිලිවෙයල්ලා: මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟය” යන පුදුමසහගත පණිවුඩය ඉදිරිපත් කරමින් වනාන්තරයේ ප්‍රකාශ විය. (මතෙව් 3:2; මාර්ක් 1:4; ලූක් 3:1, 2) ඒ මුළු ප්‍රදේශයේම ජනයා අවදි වූහ. එම නිර්භීත ප්‍රකාශය, සැබෑ බලාපොරොත්තුවක් සොයමින් සිටි ජනයාගේ හෘදයට කාවැදිණ. යොහන්ගේ නිවේදනය හෘදයාංගම පසුතැවිල්ල ඉල්ලා සිටි බැවින්, කෙනෙකුගේ යටහත් පහත් භාවයටද අභියෝග කළේය. ඔහුගේ අවංකකමත්, ස්ථිර විශ්වාසයත්, දෙවියන්වහන්සේ විසින් එවන ලද කෙනෙක් හැටියට තමාව සලකන්ට අවංක හා සත්‍යවාදී සමූහයාව පෙලඹවීය.
යොහන්ගේ ප්‍රසිද්ධත්වය අලුත් දිනයක් උදාවන්නාක් මෙන් පැතිර ගියේය. යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයෙක් හැටියට, ඔහුගේ වස්ත්‍රයෙන් හා කැපවීමෙන් ඔහුව පහසුවෙන්ම හඳුනාගනු ලැබීය. (මාර්ක් 1:6) මෙම උනන්දුව දනවන දෙය සෙවීම සඳහා පූජකයෝ හා ලෙවීවරු පවා යෙරුසලමට ගියහ. පසුතැවිලි වන්න? මන්ද, තවද කුමක් ගැනද? මේ මිනිසා කවුද? ඔවුන්ට දැනගන්ට වුවමනා විය. යොහන් විස්තර කරමින්: “මම ක්‍රිස්තුස්වහන්සේ නොවෙමියි කීවේය. ඔව්හුද: එසේනම් කුමක්ද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තර දුන්නේය. එබැවින් ඔව්හු කථා කොට: අපි එවූවන්ට උත්තරදෙන පිණිස, නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට—ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරපල්ලාය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය. ඔවුන් එවනු ලැබුවේ ඵරිසිවරුන් කෙරෙන්ය. එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.”—යොහන් 1:20-25.
පසුතැවිලිවීමත්, බව්තීස්මය ලැබීමත්, රාජ්‍යයට ඇතුල් වන අය සඳහා අත්‍යවශ්‍ය පියවර විය. එබැවින්, යොහන් මෙසේ පිළිතුරු දුන්නේය: ‘මම වනාහි පසුතැවිලි වන පව්කාරයන් වතුරෙන් බව්තීස්ම කරමි. නුමුත් මට පසුව බලවන්තයෙක් ශුද්ධාත්මයෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනවා ඇත. උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේක.’ (ලූක් 3:15-17; ක්‍රියා 1:5) ඇත්තවශයෙන්ම, ශුද්ධාත්මය මෙසියස්වහන්සේගේ අනුගාමිකයන් මතට වගුරුවනු ලැබුවද, උන්වහන්සේගේ සතුරන් ගින්නේ විනාශය අද්දකිනවා ඇත.
‘සියලු ආකාර මනුෂ්‍යයන්ට’ අනතුරු අඟවනු ලැබේ
අවංක හෘද ඇති යුදෙව්වෝ බොහෝදෙනෙක් යොහන්ගේ වදන්වලින් මහත් පෙලඹීමක් ලද අතර, ව්‍යවස්ථා ගිවිසුමට තමන් නොඇදහිලිවන්තව සිටීමෙන් තමන් කළ පව් විවෘතව කියා සිටියහ. යොර්දාන් ගඟේ බව්තීස්ම කිරීමට යොහන්ට ඉඩ දීමෙන්, ඔවුහු ප්‍රසිද්ධියේ සිය පසුතැවිල්ල නිරූපනය කළහ. (මතෙව් 3:5, 6) එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙසියන්වහන්සේව පිළිගැනීමට ඔවුන්ගේ හෘදයන් යෝග්‍ය තත්වයක තිබිණ. දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ අවශ්‍යතා පිළිබඳව දැනගැන්මක් ලැබීමට ඔවුන් තුළ තිබූ පිපාසාව සංසිඳුවමින්, යොහන් යාච්ඤා කරන ආකාරය පවා ඔවුන්ට උගන්වමින්, සිය ගෝලයන් හැටියට සතුටින් ඔවුන්ට උපදෙස් දුන්නේය.—ලූක් 11:1.
මෙසියස්වහන්සේගේ මෙම පෙරටුව යන්නා සම්බන්ධයෙන්, ප්‍රේරිත යොහන් ලිව්වේ, “ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය” යනුවෙනි. (යොහන් 1:7) එබැවින් මෙහිදී සිදුවූයේ යොහන් බව්තීස්ත “ඉශ්‍රායෙල්ගේ මුළු සෙනඟට පශ්චාත්තාපයේ බව්තීස්මය ප්‍රකාශ” කරත්ම, සියලු ආකාර මිනිසුන් ඔහුට සවන් දෙන්ට ඇදී ඒමකි. (ක්‍රියා 13:24) අසාධාරණ අය කිරීම්වලට එරෙහිව ඔහු බදු අයකරන්නන්ට අනතුරු ඇඟවීය. යමෙකුට අතිශයින් හිරිහැර කිරීම හෝ වැරදි චෝදනා කිරීම යනාදියට එරෙහිව ඔහු සෙබළුන්ට අනතුරු ඇඟවීය. එමෙන්ම ඔහු භක්තිමත්, කුහක ඵරිසිවරුන්ට හා සද්දුසිවරුන්ට කියා සිටියේ මෙසේය: “පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද? එබැවින් ආබ්‍රහම් අපගේ පියාණෝයයි කියාගන්ට නොසිතා, පසුතැවිල්ලට සුදුසු ඵල උපදවාපල්ලා. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.”—මතෙව් 3:7-9; ලූක් 3:7-14.
පන්තියක් හැටියට, යොහන්ගේ දවසේ ආගමික නායකයෝ ඔහුව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඔහුට යක්ෂයෙක් ආරූඪ වී ඇතැයි බොරුවට චෝදනා කළහ. ඔවුහු සදාකාල ජීවනයට මඟ පෙන්වන ධර්මිෂ්ඨ මාර්ගය ප්‍රතික්ෂේප කළහ. අනික් අතට, යොහන්ගේ සාක්ෂිය විශ්වාස කළ පව්කාර බදු එකතුකරන්නන් හා වේශ්‍යාවන් බව්තීස්ම කරනු ලැබූහ. කාලයාගේ ඇවෑමෙන්, ඔවුහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මෙසියස් හැටියට පිළිගත්හ.—මතෙව් 21:25-32; ලූක් 7:31-33.
මෙසියස්වහන්සේ හඳුන්වා දෙනු ලැබීය
මාස හයකට—එනම්, වසන්තයේ සිට පො.යු. 29යේ අවසානය දක්වා—දෙවියන්වහන්සේගේ විශ්වසනීය සාක්ෂිකරුවෙක් වන යොහන්, පැමිණෙන මෙසියස්වහන්සේ කෙරෙහි යුදෙව්වන්ගේ අවධානය යොමු කළසේක. එය මෙසියානු රජට ප්‍රකාශ වීමට නියම කාලය විය. එහෙත් උන්වහන්සේ එසේ කළ විට, උන්වහන්සේ යොර්දාන් ගඟට පැමිණ බව්තීස්ම කරන හැටියට ඉල්ලා සිටිසේක. මුලදී යොහන් විරුද්ධ වුවද, පසුව ඔහු එය ඉටු කළේය. ශුද්ධාත්මය යේසුස්වහන්සේ කෙරෙහි පැමිණි විට, එමෙන්ම යෙහෝවඃවහන්සේගේ හඬ ස්වකීය පුත්‍රයාණන් කෙරෙහි අනුමැතිය ප්‍රකාශ කරනු ඔහු ඇසූ විට, ඔහුගේ ප්‍රීතිය සිතා බලන්න.—මතෙව් 3:13-17; මාර්ක් 1:9-11.
යේසුස්වහන්සේව මෙසියස් හැටියට මුලින්ම යොහන් පිළිගත් අතර, පසුව ඔහු සිය ගෝලයන්ට මෙම ආලේප ලත් තැනැත්තාව හඳුන්වා දුන්නේය. “අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!” ඔහු මෙසේද ප්‍රකාශ කළේය: “මට වඩා උතුම්වී සිටින මනුෂ්‍යයෙක් මට පසුව එන්නේයයි මා කීවේ මුන්වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක. මම උන්වහන්සේ නෑඳින සිටියෙමි; නුමුත් මා වතුරෙන් බව්තීස්මකරමින් ආවේ උන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්රකාශවන පිණිසය.”—යොහන් 1:29-37.
යොහන්ගේ ක්‍රියාවන් යේසුස්වහන්සේගේ දේවසේවයට සමාන්තරව මාස හයක් පුරා ඇදී ගියේය. ඒ එක් එක්කෙනා අනික් තැනැත්තා කරමින් සිටි දෙය තේරුම්ගත්තේය. තමා මනාලයාගේ මිත්‍රයා හැටියට යොහන් කල්පනා කළ අතර තමාත්, තමාගේ වැඩයත් වියැකී යත්ම ක්‍රිස්තුස්වහන්සේ වැඩිදියුණු වෙනවා දකින්ට සතුටු විය.—යොහන් 3:22-30.
එලියා විසින් මූර්තිමත් කරන ලද, යොහන්ව පෙරටුව යන්නා හැටියට යේසුස්වහන්සේ හඳුන්වා දුන්සේක. (මතෙව් 11:12-15; 17:12) එක් අවස්ථාවක, යේසුස්වහන්සේ මෙසේද පැවසූසේක: “ව්‍යවස්ථාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරනු ලැබේ, සියල්ලෝද බලෙන් ඊට ඇතුල්වෙති.”—ලූක් 16:16.
අවසානය දක්වා විශ්වසනීයව
යොහන් නිර්භීතව සත්‍යය ප්‍රකාශ කළ නිසා ඔහුව අත්අඩංගුවටගෙන සිරගත කරනු ලැබීය. ඔහු හෙරොද් රජුගේ පාපය පවා නිරාවරණය කිරීමේ වගකීම පැහැර හැරියේ නැත. දේවනීතිය උල්ලංගනය කරමින්, එම රජ තමාගේම සහෝදරයාගේ භාර්යාව වන, හෙරෝදියස් සමඟ වේශ්‍යාකමින් ජීවත්ව සිටියේය. යොහන් නිර්භීතව කතා කළේ, එම මිනිසා පසුතැවිලි වී දෙවියන්වහන්සේගේ දයාව ලැබීමට හැකිවන පිණිසය.
යොහන් විශ්වාසයේ හා ප්‍රේමයේ කොතරම් ආදර්ශයක් වූයේද! ඔහුගේ පෞද්ගලික නිදහස පරිත්‍යාග කරමින්, ඔහු යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇති සිය විශ්වාසයත් සෙසු මිනිසුන් සඳහා වූ සිය ප්‍රේමයත් සනාථ කළේය. වසරක් සිරගතව සිටීමෙන් පසු, ඔහුට එරෙහිව “වෛරබැඳ” සිටි, දුෂ්ට හෙරෝදියස් විසින් යොදන ලද යක්ෂානුභාවයෙන් යුත් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් යොහන්ගේ හිස ගසාදමනු ලැබීය. (මාර්ක් 6:16-19; මතෙව් 14:3-12) මෙසියස්වහන්සේගේ පෙරටුව යන්නා යෙහෝවඃවහන්සේ කෙරෙහි සිය අඛණ්ඩතාව පැවැත්වූ අතර, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ජීවිතය ප්‍රීතියෙන් භුක්තිවිඳිනු පිණිස ඉක්මනින්ම නැවත නැගිටුවනු ලබනවා ඇත.—යොහන් 5:28, 29; 2 පේතෘස් 3:13.