“දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” සහ “මහත් සමූහය”
“කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් . . . දුටිමි.”—එළිදරව් 7:9.
1-3. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ඇත්තේ කිනම් මහිමාන්විත ස්වර්ගික අපේක්ෂාවන්ද? (ආ) පළමු සියවසේ සභාව විනාශ කිරීමට සාතන් උත්සාහ කළේ කෙසේද? (ඇ) අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාව දූෂණය කිරීමට සාතන් ගත් උත්සාහයේ අසාර්ථකත්වය පෙන්වීමට 1919දී කිනම් දෙයක් සිදුවීද?
පොදු යුගයේ 33දී, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” පිහිටුවනු ලැබීම, යෙහෝවඃවහන්සේගේ අරමුණුවල ඉටුවීමේ ප්‍රධාන පියවරක් විය. (ගලාති 6:16) අමරණීය ආත්මික මැවිලි බවට පත්වීමේ සහ ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය පාලනය කිරීමේ බලාපොරොත්තුව එහි අභිෂේක ලත් සාමාජිකයන්ට ඇත. (1 කොරින්ති 15:50, 53, 54) එම තත්වයේ සිටින ඔවුන්ට, යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ කිරීමෙහි සහ මහත් එදිරිකාරයා වන සාතන් නමැති යක්ෂයාගේ හිස පොඩි කිරීමෙහි ප්‍රධාන කොටසක් තිබේ. (උත්පත්ති 3:15; රෝම 16:20) එයට පීඩා කිරීම මගින් සහ එය දූෂණය කිරීමට මාන බැලීම මගින් මෙම නව සභාව විනාශ කිරීමට සාතන් තම බලයෙන් සියල්ල කිරීම ගැන පුදුම වන්ට දෙයක් නැත.—2 තිමෝති 2:18; යූද් 4; එළිදරව් 2:10.
2 ප්‍රේරිතයන් ජීවත්ව සිටින අතරතුර, සාතන්ට සාර්ථක වීමට නොහැකි විය. කෙසේවුවද, ඔවුන්ගේ මරණින් පසු, ඇදහිල්ල අත්හැර යෑම ඉවක් බවක් නැති ව පැතිර යන්ට විය. අවසානයේදී, යේසුස්වහන්සේ විසින් ස්ථාපිත කරනු ලැබූ නිර්මල ක්‍රිස්තියානි සභාව, අදදින ක්‍රිස්තියානි ලෝකය ලෙස හඳුන්වන, සාතන් විසින් ගෙනෙන්ට යෙදුන ඇදහිල්ල අත්හැර ගිය ආගමික විකෘතියක් බවට පෙරළුණු බවක් මිනිස් ඇස්වලට පෙනී ගියාක් වැන්න. (2 තෙසලෝනික 2:3-8) කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානි ධර්මය නොකඩවා දිගටම පැවතිණ.—මතෙව් 28:20.
3 කිරිඳි සහ තිරිඟු පිළිබඳ සිය උපමාවේ, සැබෑ ක්‍රිස්තියානීන් යම් කලකට “කිරිඳි” හෙවත් බොරු ක්‍රිස්තියානීන් සමඟ වැඩෙනු ඇති බව යේසුස්වහන්සේ පුරෝකථනය කළ අතර, මෙය සිදුවිණ. එහෙත්, අන්තිම දවස්වලදී, ‘රාජ්‍යයේ පුත්‍රයන්’ දෘශ්‍යමාන ලෙස ‘කිරිඳිවලින්’ වෙන් වනු ඇති බවද උන්වහන්සේ පැවසූසේක. (මතෙව් 13:36-43) මෙයද සැබෑ බවට ඔප්පු විය. වර්ෂ 1919දී, අව්‍යාජ අභිෂේක ලත් ක්‍රිස්තියානීහු බබිලෝනීය වහල්භාවයෙන් පිටතට ආහ. ඔවුන්ව “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් දිව්‍යමය ලෙසට පිළිගනු ලැබූ අතර, ඔවුහු රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම නිර්භීතව පෙරට තැබූහ. (මතෙව් 24:14, 45-47; එළිදරව් 18:4) ඔවුහු සියල්ලෝම පාහේ අන්යජාතිකයෝ වූහ; නමුත් ඔවුන්ට ආබ්‍රහම්ගේ ඇදහිල්ල තිබූ බැවින්, ඔවුහු ඇත්තටම ‘ආබ්‍රහම්ගේ උරුමක්කාරයෝ’ වූහ. ඔවුහු වනාහි ‘දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ගේ’ සාමාජිකයෝ වූහ.—ගලාති 3:7, 26-29.
“මහත් සමූහය”
4. විශේෂයෙන්ම, 1930 ගණන්වලදී, ක්‍රිස්තියානීන්ගේ කිනම් කණ්ඩායමක් දිස්වීමට පටන්ගත්තේද?
4 ආරම්භයේදී, මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ දේශනා වැඩයට ප්‍රතිචාරය දැක්වූ අයද, ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති 1,44,000දෙනාගේ ඉතිරි කොටස ලෙසින් ආත්මික ඉශ්රායෙල් බවට පත්වූහ. (එළිදරව් 12:17) කෙසේවුවද, විශේෂයෙන් 1930 ගණන්වල, තවත් කණ්ඩායමක්ද දිස්වන්ට විය. ඔවුන් වනාහි බැටළුගාල පිළිබඳ උපමාවේ “වෙනත් බැටළුවන්” ලෙසට හඳුනාගනු ලැබිණ. (යොහන් 10:16) ඔවුහු වනාහි පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇති, යේසුස්වහන්සේගේ ගෝලයෝ වූහ. රූපික ආකාරයෙන් ගත් කල, ඔවුහු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ආත්මික ජනිතයෝ වූහ. (යෙසායා 59:21; 66:22; සසඳන්න 1 කොරින්ති 4:15, 16) අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාව විශ්වාස වූ නුවණ ඇති දාසයා ලෙස ඔවුන් විසින් හඳුනාගෙන ඇති අතර, තම අභිෂේක ලත් සහෝදරයන්ට මෙන් ඔවුන්ටද, යෙහෝවඃවහන්සේ උදෙසා ගැඹුරු ගෞරවයක්ද, යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ලක්ද, දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා ජ්වලිතයක්ද, ධර්මිෂ්ඨකමේ නාමයෙන් දුක් විඳීමට කැමැත්තක්ද තිබේ.
5. වෙනත් බැටළුවන්ගේ තත්වය ප්රගතිශීලී ලෙස වඩාත් හොඳින් අවබෝධ කරගෙන තිබෙන්නේ කෙසේද?
5 මුල් අවස්ථාවේදී, මෙම වෙනත් බැටළුවන්ගේ තත්වය මැනවින් තේරුම්ගෙන නොතිබිණ, නමුත් කාලය ගත වීමත් සමඟම, දේවල් පැහැදිලි වන්ට විය. වර්ෂ 1932දී, දේශනා වැඩය තුළ හවුල් වීමට වෙනත් බැටළුවන්ගෙන් උදක්ම ඉල්ලා සිටීමට අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දිරිගන්වන ලදි—මෙය ඒ වන විටත් බැටළුවන්ගෙන් බොහෝදෙනෙක් කරමින් සිටියාහ. වර්ෂ 1934දී, වතුර බව්තීස්මයට යටත් වීමට වෙනත් බැටළුවන්ට දිරිගන්වන ලදි. වර්ෂ 1935දී, එළිදරව් 7 පරිච්ඡේදයේ සඳහන් “මහත් සමූහය” ලෙසට ඔවුන්ව හඳුනාගනු ලැබිණ. වර්ෂ 1938දී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට නිරීක්ෂකයන් වශයෙන් පැමිණීමට ඔවුන්ට ආරාධනා කෙරිණ. වර්ෂ 1950දී, ඔවුන් අතර සිටි මේරූ පුරුෂයන් “සුළඟෙන් මුවාවෙන ඉඩමක්. . මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද” සේවය කරන “අධිපතීහු” බව වටහාගන්නා ලදි. (ගීතාවලිය 45:16; යෙසායා 32:1, 2) වර්ෂ 1953දී, වෙනත් බැටළුවන්ගේ වැඩි ප්‍රමාණයකින් සෑදී තිබූ දෙවියන්වහන්සේගේ භූමික සංවිධානය, නව ලෝකයේ පවතින්ට යන භූමික සමාජයක න්‍යෂ්ටිය ලෙසට දකින්ට ලැබිණ. වර්ෂ 1985දී වටහාගන්නා ලද්දේ, හර්මගෙදොන්හිදී බේරී ජීවත්වීමේ අරමුණින් යේසුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවේ පදනම මත වෙනත් බැටළුවන්ව ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කර ඇති බවයි.
6. අදදින අභිෂේක ලත් අයගේ සහ වෙනත් බැටළුවන්ගේ සාපේක්ෂී තත්වයන් මොනවාද, මෙය කිනම් ප්‍රශ්නවලට මඟ පෙන්වයිද?
6 මේ වන විට, එනම් මෙම “අන්තිම දවස්වල” අවසාන භාගයේ, 1,44,000දෙනාගේ විශාල බහුතරයක් මියගොස් තම ස්වර්ගික ත්‍යාගය ලබා සිටිත්. (2 තිමෝති 3:1; එළිදරව් 6:9-11; 14:13) භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීන් දැන් ශුභාරංචිය දේශනා කිරීමේ වැඩි කොටසක් කරන අතර, මේ තුළ යේසුස්වහන්සේගේ අභිෂේක ලත් සහෝදරයන්ට අනුබල දීමට ලැබීම ඔවුහු වරප්‍රසාදයක් ලෙස සලකති. (මතෙව් 25:40) කෙසේවුවද, විශ්වාස වූ නුවණ ඇති දාසයා වනාහි මෙම අභිෂේක ලත් අය වන අතර, මෙම අන්තිම දවස් අතරතුරේදී ආත්මික ආහාර සපයනු ලැබ ඇත්තේ ඔවුන් තුළිනි. අභිෂේක ලත් සියලුදෙනා තමන්ගේ ස්වර්ගික ත්‍යාගය ලැබ තිබෙන විට, වෙනත් බැටළුවන්ගේ තත්වය කුමක් වනු ඇත්ද? වෙනත් බැටළුවන් සඳහා කිනම් සැපයුම් කරනු ලබනු ඇත්ද? ඉපැරණි ඉශ්රායෙලය දෙස කෙටි බැල්මක් හෙළීම, මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට අපට උපකාරවත් වනවා ඇත.
‘පූජක රාජ්‍යයක’ ආදර්ශයක්
7, 8. ඉපැරණි ඉශ්රායෙලය, ව්‍යවස්ථා ගිවිසුම යටතේ, පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් බවට පත්වූයේ කිනම් දුරකටද?
7 ඉශ්රායෙලය ස්වකීය විශේෂ ජාතිය වශයෙන් තෝරාගත් අවස්ථාවේ, යෙහෝවඃවහන්සේ, ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කළේ මෙසේ පවසමිනි: “දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය. නුඹ විසින් ඉශ්රායෙල් පුත්‍රයන්ට කිය යුතු වචන මේයයි කීසේක.” (නික්මයාම 19:5, 6) ඉශ්රායෙල් වනාහි, ව්‍යවස්ථා ගිවිසුම් පදනම මත යෙහෝවඃවහන්සේගේ විශේෂ ජනයා වූහ. එහෙත්, පූජක රාජ්‍යයක් පිළිබඳ සහ ශුද්ධ ජාතියක් පිළිබඳ පොරොන්දුව ඉටුවනු ඇත්තේ කෙසේද?
8 ඉශ්රායෙලය, ඇදහිලිවන්තව සිටින විට, යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය සහ උන්වහන්සේ ඔවුන්ගේ රජ හැටියට පිළිගත්හ. (යෙසායා 33:22) මෙසේ, ඔවුහු රාජ්‍යයක් වූහ. එහෙත්, පසුව හෙළි කරනු ලැබුවාක් මෙන්, “රාජ්‍යයක්” ගැන පොරොන්දුව මීටත් වඩා යමක් අදහස් කරනවා ඇත. තවදුරටත්, ඔවුන් යෙහෝවඃවහන්සේගේ නීතියට කීකරු වූ විට, ඔවුහු පිරිසිදුව, තමන් අවට සිටි වෙනත් ජාතීන්ගෙන් වෙන්වූ අය වූහ. ඔවුහු ශුද්ධ ජාතියක් වූහ. (ද්විතීය කථාව 7:5, 6) ඔවුහු පූජකයන්ගේ රාජ්‍යයක් වූවෝද? ඇත්තෙන්ම, ඉශ්රායෙලයේ ලෙවී ගෝත්‍රය දේවමාළිගා සේවය සඳහා වෙන් කරනු ලැබීය, තවද එම ගෝත්‍රය අතර, ලෙවීය පූජකත්වයක් තිබිණ. මෝසෙස්ගේ නීතිය ස්ථාපනය කරනු ලැබූ විට, සෑම ඉශ්රායෙල් නොවන පවුලක කුලුඳුලන් වෙනුවට, ලෙවී ගෝත්‍රයේ පිරිමින්ව ගනු ලැබිණ.a (නික්මයාම 22:29; ගණන් කථාව 3:11-16, 40-51) මේ අනුව, හරියටම කියනවා නම්, ඉශ්රායෙල්හි සෑම පවුලක්ම, දේවමාළිගාවේ සේවය තුළ නියෝජනය කළහ. ජාතිය පූජකභාවයකට වඩාත් ළංවූ ඉතා කිට්ටුම මාර්ගය මෙය වූයේය. කෙසේවෙතත්, ඔවුහු ජාතීන් ඉදිරියෙහි යෙහෝවඃවහන්සේව නියෝජනය කළහ. සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට කැමති වූ ඕනෑම විදේශිකයෙකුට එසේ කිරීමට සිදුවූයේ ඉශ්‍රායෙල්ගේ ඇසුර තුළය.—2 ලේකම් 6:32, 33; යෙසායා 60:10.
9. උතුරු ඉශ්රායෙල් රාජ්‍යය, ‘පූජකයෙකු වශයෙන් තමන්වහන්සේට සේවය කිරීම’ ප්‍රතික්ෂේප කිරීමට යෙහෝවඃවහන්සේහට හේතු වූයේ කුමක්ද?
9 සාලමොන්ගේ මරණින් පසු, යෙරොබොවම් රජ යටතේ උතුරු ඉශ්රායෙල් ජාතියටද, රෙහොබොවම් රජු යටතේ දකුණු යූදා ජාතියටද දෙවියන්වහන්සේගේ ජනයා බෙදුණාහ. නිර්මල නමස්කාරයේ මධ්‍යස්ථානය වූ දේවමාළිගාව යූදා බල ප්‍රදේශයේ පිහිටි නිසා, යෙරොබොවම් තමන්ගේම ජාතික බල ප්‍රදේශයේ වසු පිළිම තැබීම මගින් නීති විරෝධී නමස්කාර ආකාරයක් ස්ථාපිත කළේය. එපමණක්ද නොව, “ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.” (1 රාජාවලිය 12:31) ආහබ් රජ, තමාගේ විදේශීය බිරිඳ වූ යෙසබෙල්ට දේශය තුළ බාල් නමස්කාරය පිහිටුවන්ට ඉඩහැරිය විට, උතුරු ජාතිය බොරු නමස්කාරයේ තවත් පහළට කිඳා බැස්සේය. අවසානයේදී, යෙහෝවඃවහන්සේ එම කැරලිකාර රාජ්‍යය මතට විනිශ්චය ප්‍රකාශ කළසේක. හොෂෙයා තුළින් උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මාගේ සෙනග දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි.” (හොෂෙයා 4:6) ඉන්පසු වැඩිකල් යෑමට මත්තෙන්, අෂූරිවරු එම උතුරු ඉශ්රායෙල් රාජ්‍යය නැති කර දැමූහ.
10. දකුණු යූදා රාජ්‍යය, ඇදහිලිවන්තව සිටි විට, ජාතීන් ඉදිරියේ යෙහෝවඃවහන්සේව නියෝජනය කළේ කෙසේද?
10 දකුණු යූදා ජාතිය ගැන කුමක් කිව හැකිද? හෙසකියාගේ දවස්වල, යෙහෝවඃවහන්සේ යෙසායා තුළින් ඔවුන්ට මෙසේ පැවසූසේක: “නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවා[ය], . . . මා විසින් මටම උපදවාගත් ඒ සෙනග මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.” (යෙසායා 43:10, 21; 44:21) ඇදහිලිවන්තව සිටින විට, මෙම දකුණු රාජ්‍යය ක්‍රියා කළේ, යෙහෝවඃවහන්සේගේ මහිමය ජාතීන්ට ප්‍රකාශ කිරීමටත්, හරි හෘදයක් ඇති අයව උන්වහන්සේට නමස්කාර කිරීම සඳහා ආකර්ෂණය කරගෙන, නීත්‍යනුකූල ලෙවී පූජක පංතියේ සේවය ඔවුන්ට ලබා දීමටත්ය.
ඉශ්රායෙලයේ විදේශීහු
11, 12. ඉශ්රායෙල් සමඟ ඇසුරු කරමින් යෙහෝවඃවහන්සේට සේවය කිරීමට පැමිණි ඇතැම් විදේශීන්ව නම් කරන්න.
11 මෙම ජාතිය විසින් දෙන ලද මෙම සාක්ෂියට විදේශීන් ප්‍රතිචාර දක්වත්ම, මෝසෙස් තුළින් දෙන ලද ව්‍යවස්ථාවේ ඔවුන් සඳහා සැපයුමක් කර තිබිණ, ඇරත් මෝසෙස්ගේ භාර්යාව වූ ශිප්පොරාද මිදියන් දේශයේ කාන්තාවක් වූවාය. ඉශ්රායෙල් නොවන “මිශ්‍ර සමූහයක්” මිසරයෙන් පිටවූ අතර, ව්‍යවස්ථාව දෙනු ලැබූ අවස්ථාවේ ඔවුහු එහි සිටියහ. (නික්මයාම 2:16-22; 12:38; ගණන් කථාව 11:4) රාහබ් සහ ඇගේ පවුලේ අයව යෙරිකෝ විනාශයේදී බේරාගනු ලැබූ අතර, පසුව ඔවුන්ව යුදෙව්වන්ගේ සභාවට භාරගන්නා ලදි. (යෝෂුවා 6:23-25) ඉන්පසු වැඩිකල් යන්ට මත්තෙන්, ගිබියොන්වරු ඉශ්රායෙල්වරුන් සමඟ සාමය ඇති කරගත් අතර, මණ්ඩපයේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ වැඩවලට පැවරුම් ලැබූහ.—යෝෂුවා 9:3-27; 1 රාජාවලිය 8:41-43; එස්තර් 8:17ද බලන්න.
12 අවසානයේදී, විදේශියයෝ ඉහළ තනතුරුවල සේවය කළහ. බැත්-ෂෙබාගේ සැමියා වූ හිත්තීය උරියා, දාවිත්ගේ “සේනාවල බලවන්තයෝ” අතර ගණන් ගනු ලැබීය, අම්මොනිය ශෙලෙක්ද එසේම විය. (1 ලේකම් 11:26, 39, 41; 2 සාමුවෙල් 11:3, 4) ඉතියෝපියෙකු වූ එබෙද්-මෙලෙක් මාළිගාවේ සේවය කළ අතර, රජු වෙතට යෑමට ඔහුට හැකිකම තිබුණේය. (යෙරෙමියා 38:7-9) ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ වහල්භාවයෙන් නැවත හැරී ආපසු, පූජකයන්ට උපකාර කිරීමෙහිලා ඉශ්රායෙල් නොවන නෙතිනිම්වරුන්ට වැඩිමනත් වගකීම් දෙන ලදි. (එස්රා 7:24) මෙම ඇදහිලිවන්ත විදේශීන්, හෙවත් අන්‍යජාතික වැසියන් ගණනක් අදදින මහත් සමූහයට පූර්ව ඡායාවක් බවට සලකනු ලබන නිසා, ඔවුන්ගේ තත්වය අපට උනන්දුව දනවන්නකි.
13, 14. (අ) ඉශ්රායෙලය තුළ, යුදෙව් ආගමට හැරුණු අයගේ වරප්රසාදයන් සහ වගකීම් කුමක් වීද? (ආ) ඉශ්‍රායෙලිතයන්, ඇදහිලිවන්ත වූ යුදෙව් ආගමට හැරුණු අයව සැලකිය යුතුව තිබුණේ කෙසේද?
13 එවැන්නවුන්, මෝසෙස්ගේ නීතිය යටතේ යෙහෝවඃ වහන්සේගේ කැප වූ නමස්කාරකයන් වූද, ඉශ්රායෙල්වරුන් සමඟ ජාතීන්ගෙන් වෙන්ව සිටියාවූද, යුදෙව් ආගමට හරවාගත් අය වූහ. (ලෙවී කථාව 24:22) ඉශ්රායෙල්වරුන් කළාක් මෙන්, ඔවුහු පූජා ඔප්පු කළෝය, බොරු නමස්කාරයෙන් වැළකී සිටියෝය, එමෙන්ම ලේවලින්ද වැළකී සිටියෝය. (ලෙවී කථාව 17:10-14; 20:2) ඔවුහු සාලමොන්ගේ දේවමාළිගාව ගොඩනැඟීමෙහිලා උපකාර කළ අතර, ආසා සහ හෙසකියා යන රජවරුන් යටතේ සැබෑ නමස්කාරය නැවත ස්ථාපිත කිරීමෙහිලා හවුල් වූහ. (1 ලේකම් 22:2; 2 ලේකම් 15:8-14; 30:25) පොදු යුගයේ 33දී පේතෘස්, රාජ්‍යයේ පළමු යතුර පාවිච්චි කළ අවස්ථාවේ, ඔහුගේ වචන අසන ලද්දේ, “යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු [යුදෙව් නොවන අය]” විසිනි. එදින බව්තීස්ම වූ තුන්දහසෙන් ඇතමුන් යුදෙව් ආගමට හැරුණු අය වීමට බොහෝ ඉඩකඩ තිබිණ. (ක්‍රියා 2:10, 41) ඉන් වැඩි කලක් යෑමට පෙර, කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් පේතෘස් විසින් රාජ්‍යයේ තුන්වන යතුර පාවිච්චි කිරීමට පෙර, යුදෙව් ආගමට හැරුණු එතියෝපියයෙකු පිලිප් විසින් බව්තීස්ම කරනු ලැබිණ. (මතෙව් 16:19; ක්‍රියා 8:26-40; 10:30-48) මෙම යුදෙව් ආගමට හැරුණු අය අන්‍යජාතීන් ලෙස සලකනු නොලැබූ බව පැහැදිලිය.
14 කෙසේවෙතත්, දේශය තුළ මෙම යුදෙව් ආගමට හැරුණු අයගේ තත්වය, එම දේශයේ උපන් ඉශ්රායෙල්වරුන්ගේ තත්වයට සමාන වූයේ නැත. යුදෙව් ආගමට හැරුණු අය පූජකයන් ලෙස සේවය කළේ නැත, තවද ඔවුන්ගේ කුලුඳුලන් ලෙවීය පූජකත්වය තුළ නියෝජනය නොවිණ.b තවද යුදෙව් ආගමට හැරුණු අයට ඉශ්රායෙලය තුළ දේශයේ උරුමයක් නොවීය. එහෙත්, යුදෙව් ආගමට හැරුණු එම ඇදහිලිවන්ත අය කෙරෙහි සැලකිල්ල දක්වන ලෙසටත්, ඔවුන්ට තම සහෝදරයන් මෙන් සලකන ලෙසත්, ඉශ්‍රායෙලිතයන්ට අණ කෙරිණ.—ලෙවී කථාව 19:33, 34.
ආත්මික ජාතිය
15. ස්වාභාවික ඉශ්රායෙල් මෙසියස්වහන්සේව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ විට, ප්‍රතිඵල කුමක් වූයේද?
15 නීතිය සකස් කරන ලද්දේ, ඉශ්රායෙල් ජාතිය, පිරිසිදුව, තමන් අවට සිටි ජාතීන්ගෙන් වෙන්ව තබාගැනීම පිණිසය. එහෙත්, තවත් අරමුණක් ඉටු කිරීමටද එය දායක වූයේය. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.” (ගලාති 3:24) ඉශ්රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් නීතිය මගින් ක්‍රිස්තුස්වහන්සේ වෙතට මඟ පෙන්වනු ලැබීමට අසමත් වූ බව අසන්තෝෂයට කරුණකි. (මතෙව් 23:15; යොහන් 1:11) එමනිසා, එම ජාතිය ප්‍රතික්ෂේප කළ යෙහෝවඃ දෙවියන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” ජනිත වීමට සැලැස්වූසේක. එපමණක්ද නොව, මෙම නව ඉශ්රායෙලයේ පූර්ණ සුදුසුකම් සහිත පුරවැසියන් බවට පත්වීම සඳහා උන්වහන්සේ යුදෙව් නොවන්නන්ටද ආරාධනා කළසේක. (ගලාති 3:28; 6:16) නික්මයාම 19:5, 6හි රාජකීය පූජකත්වයක් ගැන යෙහෝවඃවහන්සේගේ පොරොන්දුවේ පුදුමාකාර අවසාන ඉටුවීම ඇත්තේ මෙම නව ජාතිය මතය. කෙසේද?
16, 17. පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්, “රාජකීය” වන්නේ සහ “පූජකත්වයක්” වන්නේ කිනම් අර්ථයෙන්ද?
16 පේතෘස් සිය දවසේ විසූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට නික්මයාම 19:6න් උපුටා ලියන විට, එය දක්වා සිටියේ මෙසේය: “නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) මින් අදහස් කරන්නේ කුමක්ද? පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීහු රජවරු වෙත්ද? නැත, ඔවුන්ගේ රාජකීයත්වය තවමත් තිබෙන්නේ ඉදිරියටය. (1 කොරින්ති 4:8) කෙසේවෙතත්, ඔවුන් “රාජකීය” වන්නේ, ඔවුන් අනාගතයේ රාජකීය වරප්රසාදයන් සඳහා ලකුණු කර තිබේය යන අර්ථයෙනි. දැන් පවා ඔවුන්, ශ්‍රේෂ්ඨ පරමාධිපති යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් පත් කරනු ලැබූ රජෙකු වන යේසුස්වහන්සේ යටතේ සිටින ජාතියක්ය. පාවුල් මෙසේ ලීවේය: “[යෙහෝවඃවහන්සේ] අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.”—කොලොස්සි 1:13.
17 පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීහු පූජකත්වයක් වෙත්ද? එක් අර්ථයකින්, එය එසේය. සභාවක් වශයෙන්, ඔවුහු ප්‍රශ්න කළ නොහැකි පූජක සේවයක් ඉටු කරති. මෙසේ පවසන විට පේතෘස් එය පැහැදිලි කළේය: “නුඹලාත් . . . ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය.” (1 පේතෘස් 2:5; 1 කොරින්ති 3:16) අදදින, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස, මණ්ඩලයක් වශයෙන්, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වන අතර, ආත්මික ආහාර බෙදා දීම සඳහා වූ මාර්ගය වෙයි. (මතෙව් 24:45-47) ඉපැරණි ඉශ්රායෙලයේ මෙන්, යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට කැමති ඕනෑම කෙනෙකුට එය කරන්ට සිදුවන්නේ, මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඇසුර තුළය.
18. පූජකත්වයක් ලෙස, පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවට තිබෙන මූලික වගකීම කුමක්ද?
18 එපමණක්ද නොව, මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීහු, ජාතීන් අතර යෙහෝවඃවහන්සේගේ මහිමතාවට සාක්ෂිදැරීමේ වරප්‍රසාදය ඉශ්රායෙල්වරුන්ගෙන් ඉවතට ගත්හ. මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව රාජකීය පූජකත්වයක්යයි පේතෘස් හැඳින්වූ විට, දේශනා වැඩය ඔහුගේ මනසේ තිබූ බව පසුබිම් පාඨ සම්බන්ධයෙන් පෙන්වයි. ඇත්තෙන්ම, නික්මයාම 19:6හි යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව එක් තැනකින් උපුටා ගනිමින්, යෙසායා 43:21හි උන්වහන්සේ ඉශ්රායෙල් ජනයාට පැවසූ වදන් සම්බන්ධ කරමින්, පේතෘස් මෙසේ පැවසීය: “නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස, නුඹලා . . . රාජකීය පූජකයෝ[ය].” (1 පේතෘස් 2:9) මීට අනුකූලව, දේවමාළිගා පූජාවක, යෙහෝවඃවහන්සේගේ මහිමතාවන් ප්‍රකාශ කිරීම ගැන පාවුල් කතා කළේය. ඔහු ලීවේ මෙසේය: “එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නැමති පූජාව [යේසුස්වහන්සේ] කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.”—හෙබ්‍රෙව් 13:15.
ස්වර්ගික ඉටුවීමක්
19. ඉශ්රායෙලය පූජක රාජ්‍යයක් වනු ඇති එම පොරොන්දුවේ අවසාන, උදාර ඉටුවීම කුමක්ද?
19 කෙසේවුවද, අවසානයේදී නික්මයාම 19:5, 6ට මීටත් වඩා දුරට විහිදෙන මහිමාන්විත ඉටුවීමක් තිබේ. එළිදරව්ව නමැති බයිබල් පොතේ, ස්වර්ගික මැවිලි විසින් නැවත නැගිටුවනු ලැබූ යේසුස්වහන්සේට ප්‍රශංසා කරත්ම, මෙම ශුද්ධ ලියවිලි පදය ඔවුන් විසින් අදාළ කරනවා ප්‍රේරිත යොහන්ට ඇසෙයි: “ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන, ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරති.” (එළිදරව් 5:9, 10) එසේනම්, එහි අවසාන අර්ථයෙන් ගත් කල, මෙම රාජකීය පූජකත්වය වනාහි දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයයි, යාච්ඤා කිරීමට යේසුස්වහන්සේ අපට ඉගැන්වූ පාලන අධිකාරයයි. (ලූක් 11:2) අවසානය දක්වා විඳදරාගන්නාවූ සියලු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාට, එම රාජ්‍යය විධිවිධානය තුළ තමන්ගේ කොටස ලැබ තිබෙනවා ඇත. (එළිදරව් 20:4, 6) මෝසෙස් තුළින් මීට බොහෝ කලකට පෙර කරන ලද පොරොන්දුවක මොනතරම් පුදුමාකාර ඉටුවීමක්ද!
20. තවමත් පිළිතුරු ලැබීමට ඇත්තේ කිනම් ප්‍රශ්නවලටද?
20 සියලු අභිෂේක ලත් අය, තමන්ගේ මෙම පුදුමාකාර උරුමය ලබාගෙන තිබෙනු ඇති විට, මහත් සමූහයේ තත්වය සහ ඔවුන්ගේ අනාගතය සමඟ මේ සියල්ලේ ඇති සම්බන්ධය කුමක්ද? මෙම ලිපි මාලාවේ අවසාන ලිපිය තුළ මෙය පැහැදිලි වනවා ඇත.
[පාදසටහන්වල]
a ඉශ්රායෙලයේ පූජකත්වය ස්ථාපිත කරනු ලැබූ කල, ඉශ්රායෙලයේ යුදෙව් නොවන ගෝත්‍රවල කුලුඳුල් පුත්‍රයන්ව සහ ලෙවී ගෝත්‍රයේ පිරිමින්ව ගණන් කරන ලදි. ලෙවීවරුන්ගේ පිරිමින්ට වඩා කුලුඳුල් පුත්‍රයෝ 273ක් සිටියෝය. මෙබැවින්, අතිරික්තය සඳහා මිදීමේ මිලයක් වශයෙන් ෂෙකෙල් 273ක් ගෙවිය යුතුයයි යෙහෝවඃවහන්සේ නියෝග කළසේක.
b පොදු යුගයට පෙර 1513දී නීතිය ස්ථාපිත කරනු ලැබූ විට, යුදෙව් නොවන මෙම මිශ්‍ර සමූහය එහි පෙනී සිටියහ, නමුත් මොවුන්ගේ කුලුඳුලන්ව, ඉශ්රායෙල්හි කුලුඳුලන් උදෙසා ලෙවීවරුන්ව ගනු ලැබූ විට මෙම මිශ්‍ර සමූහයේ කුලුඳුලන්ව ගණනට ඇතුළත් නොකරන ලදි. (8 ඡේදය බලන්න.) මෙබැවින්, මෙම ඉශ්රායෙල් නොවන කුලුඳුලන් උදෙසා ලෙවීවරුන්ව ගණන් නොගන්නා ලදි.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ වෙනත් බැටළුවන්ගේ තත්වය ප්රගතිශීලී ලෙස වඩාත් හොඳින් තේරුම්ගෙන ඇත්තේ කෙසේද?
◻ තමන්වහන්සේට පූජකයෙකු ලෙස සේවය කිරීමෙන් උතුරු ඉශ්රායෙල් රාජ්‍යය යෙහෝවඃවහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මන්ද?
◻ ඇදහිලිවන්ත වූ විට, ජාතීන් ඉදිරියෙහි යූදා රාජ්‍යයේ තත්වය කුමක් වීද?
◻ ඉශ්රායෙලය තුළ, යුදෙව් ආගමට හැරුණු ඇදහිලිවන්තයන්ගේ තත්වය කුමක් වීද?
◻ අභිෂේක ලත් අයගේ සභාව පූජක රාජ්‍යයක් ලෙස සේවය කරන්නේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
රාජකීය පූජකත්වයක් ලෙස, අභිෂේක ලත් ක්‍රිස්තියානීහු පොළොව මත යෙහෝවඃවහන්සේගේ මහිමතාව ප්‍රකාශ කරති
[18වන පිටුවේ පින්තූරය]
නික්මයාම 19:6හි අවසාන ඉටුවීම නම් රාජ්‍යයය