ක්‍රිස්තියානි වනිතාවෝ ගරු බුහුමන් ලැබීමට වටිති
“පුරුෂයෙනි, . . . වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, . . . ඔවුන්ට ගෞරව දීපල්ලා.”—1 පේතෘස් 3:7.
1, 2. (අ) ළිඳ අසල සමාරිය ස්ත්‍රිය සමඟ යේසුස්වහන්සේ කළ සංවාදය කුමන සැලකිල්ලට හේතුවීද, තවද ඒ මන්ද? (පාද සටහනද බලන්න.) (ආ) සමාරිය ස්ත්‍රියට දේශනා කිරීමෙන්, යේසුස්වහන්සේ කුමක් විදහා පෙන්වූසේක්ද?
සිඛාර් නුවරෙහි පරණ ළිඳක් අසල පො.යු. 30දී, දහවල් 12ට පමණ, යේසුස්වහන්සේ ස්ත්රීන්ට සැලකිය යුතු අන්දම ගැන තමන්ට හැඟුණු ආකාරය එළිදරව් කළසේක. කඳු බෑවුම් සහිත සමාරිය රට තුළ උදෑසන පුරා ඇවිද සිටි යේසුස්වහන්සේ, ළිඳ සමීපයට පැමිණි විට, වෙහෙසින්, කුසගින්නෙන් හා පිපාසයෙන් සිටිසේක. උන්වහන්සේ ළිඳ අසල හිඳගෙන සිටි විට, සමාරිය ස්ත්‍රියක් ළිඳෙන් වතුර ඇදගැනීමට පැමිණියාය. “මට බොන්ට දියන්නැයි” යේසුස්වහන්සේ ඈට කීසේක. ස්ත්‍රිය උන්වහන්සේ දෙස පුදුමයෙන් ඇස් ඇර බලන්ට ඇත. “යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි” ඈ ඇසුවාය. පසුව, ගෝලයන් කෑම මිලට ගෙන ආපසු පැමිණි විට, ‘යේසුස්වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරන්නේ’ මන්ද කියා කල්පනා කරමින්, ඔවුහු මවිතවූවෝය.—යොහන් 4:4-9, 27.
2 ස්ත්‍රියගේ ප්‍රශ්නයටද ගෝලයන්ගේ සැලකිල්ලටද හේතු වූයේ කුමක්ද? ඈ සමාරිය ස්ත්‍රියක් වූවාය, ඇරත් යුදෙව්වරු සමාරිවරුන් සමඟ කටයුතු නොකළෝය. (යොහන් 8:48) එහෙත් පෙනෙන ප්‍රකාරයට සැලකිලිමත් වීමට තවත් හේතුවක්ද තිබිණ. ඒ කාලයේදී, රබ්බිවරුන්ගේ සම්ප්රදාය අනුව, පුරුෂයන් ප්‍රසිද්ධියේ ස්ත්රීන්ට කතා කිරීම දිරි නොගන්වන ලදි.a එහෙත්, නොවළහා මෙම අවංක ස්ත්‍රියට දේශනා කළ යේසුස්වහන්සේ, තමන් මෙසියස් බව පවා ඇයට හෙළි කළසේක. (යොහන් 4:25, 26) මෙසේ යේසුස්වහන්සේ පෙන්නුම් කළේ, ස්ත්‍රීන් අවමානයට පත් කළ සම්ප්‍රදායන් ඇතුළත්ව, ශුද්ධ ලියවිල්ලට පටහැනි සම්ප්‍රදායන් මගින් තමන් සීමා නොවන බවය. (මාර්ක් 7:9-13) ඊට පටහැනිව, යේසුස්වහන්සේ කළ දෙයින් හා ඉගැන්වූ දෙයින්, ස්ත්රීන්ට ගරු බුහුමන්ව සැලකිය යුතු බව උන්වහන්සේ විදහා පෙන්වූසේක.
යේසුස්වහන්සේ ස්ත්රීන්ට සැලකූ ආකාරය
3, 4. (අ) තම වස්ත්‍රය ස්පර්ශ කළ ස්ත්‍රියට යේසුස්වහන්සේ කෙසේ ප්‍රතිචාරය දැක්වූසේක්ද? (ආ) ක්‍රිස්තියානි පුරුෂයන් සඳහා, විශේෂයෙන්ම අවේක්ෂකයන් සඳහා යේසුස්වහන්සේ යහපත් ආදර්ශයක් තැබුවේ කෙසේද?
3 යේසුස්වහන්සේ ජනයාට දැක්වූ මුදු මොළොක් දයානුකම්පාව උන්වහන්සේ ස්ත්‍රීන් සමඟ කටයුතු කළ ආකාරයෙන් පිළිබිඹු වේ. එක් අවස්ථාවක මහලේ රෝගයෙන් අවුරුදු 12ක් පුරා පීඩා විඳිමින් සිටි ස්ත්‍රියක්, සමූහයක් අතර යේසුස්වහන්සේව සෙව්වාය. ඇගේ රෝග තත්වය නිසා ඇය චාරිත්‍රානුකූලව අපවිත්‍ර වූ බැවින්, ඇය එතැන නොසිටිය යුතුව තිබිණ. (ලෙවී කථාව 15:25-27) එහෙත් ඇය එතරම්ම බලාපොරොත්තුවෙන් තොර තත්වයක සිටි බැවින් ඈ යේසුස්වහන්සේ පිටුපසට ළං වූවාය. උන්වහන්සේගේ වස්ත්‍රය ස්පර්ශ කළ විට, ඈ ක්ෂණිකව සුවය ලැබුවාය! තම දියණිය අසාධ්‍ය ලෙස අසනීපව සිටි යායිරස්ගේ නිවසට යමින් සිටියදී පවා, යේසුස්වහන්සේ නතර වූසේක. තමන් කෙරෙන් බලය පිටවී යනවා තේරුම්ගත් උන්වහන්සේ, තමන් ස්පර්ශ කළ තැනැත්තා සොයමින්, අවට බැලූසේක. අන්තිමේදී, ස්ත්‍රිය පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් වැටුණාය. සමූහයා අතර සිටීම නිසාත්, තම අවසර නොමැතිව උන්වහන්සේගේ වස්ත්‍රය ස්පර්ශ කිරීම නිසාත්, උන්වහන්සේ ඇයට බැණ වදිනසේක්ද? ඊට වෙනස්ව උන්වහන්සේ ඉතා උණුසුම් කාරුණික කෙනෙකු බව ඈ අද්දුටුවාය. උන්වහන්සේ, “දියණියනි, . . . නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය” යනුවෙන් කීසේක. යේසුස්වහන්සේ ස්ත්‍රියකට “දියණියනි” හැටියට ආමන්ත්‍රණය කළ එකම අවස්ථාව මෙය වූයේය. එම වචනය ඇයට මොනතරම් සහනයක් ගෙනෙන්ට ඇද්ද!—මතෙව් 9:18-22; මාර්ක් 5:21-34.
4 යේසුස්වහන්සේ ව්‍යවස්ථාව අකුරට පිළිපැදීමෙන් ඔබ්බට බැලූසේක. උන්වහන්සේ එහි සැබෑ අභිප්‍රායද, දයාව හා දයානුකම්පාවේ අවශ්‍යතාවද දුටුසේක. (මතෙව් 23:23 සසඳන්න.) යේසුස්වහන්සේ එම රෝගාතුර ස්ත්‍රියගේ බලාපොරොත්තු සුන් තත්වය වටහාගත් අතර, ඇය ඇදහිල්ලෙන් පෙලඹී ගිය බව සැලකිල්ලට ගත්සේක. මෙසේ උන්වහන්සේ ක්‍රිස්තියානි පුරුෂයන් සඳහා, විශේෂයෙන් අවේක්ෂකයන් සඳහා හොඳ ආදර්ශයක් තැබූසේක. ක්‍රිස්තියානි සහෝදරියක පෞද්ගලික ගැටලුවලට නැතහොත් විශේෂයෙන් පීඩාකාරි වූ තත්වයකට මුහුණ දෙනවා නම්, කෙළින්ම ඇසෙන වචන හෝ දකින ක්‍රියාවලින් ඔබ්බට වැඩිමහල්ලන් බැලීමට උත්සාහ කළ යුතු අතර, අදාළ තත්වයන් හා චේතනා සැලකිල්ලට ගත යුතුය. උපදෙස් හා නිවැරදි කිරීම් වෙනුවට, ඉවසීම, අවබෝධය හා දයානුකම්පාව අවශ්‍ය බව එවන් තීක්ෂ්ණ බුද්ධියකින් ඇඟවිය හැක.—හිතෝපදේශ 10:19; 16:23; 19:11.
5. (අ) ස්ත්රීන්ට රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් මගින් කවර සීමා පමුණුවනු ලැබීද? (පාදසටහන බලන්න.) (ආ) නැවත නැගිටුවන ලද යේසුස්වහන්සේව පළමුකොට දුටුවෙත්, ඒ ගැන සාක්ෂි දැරුවෙත් කවුරුන්ද?
5 යේසුස්වහන්සේ මිහිපිට සිටියදී, රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් මගින් සීමා වූ ස්ත්‍රීන්ව නීතික සාක්කිකරුවන් හැටියට පවා සේවය කිරීමෙන් වළක්වන ලදි.b පොදු යුගයේ 33දී, නීසාන් 16වන දා, උදෑසනදී යේසුස්වහන්සේගේ නැවතනැගිටීමෙන් වැඩි වේලා යන්ට මත්තෙන්, සිදුවූ දේ සලකා බලන්න. නැවත නැගිටුවන ලද යේසුස්වහන්සේව දැක, තම ස්වාමියා නැගිටුවා තිබූ බව අනික් ගෝලයන්හට සාක්ෂි දැරීමට පළමුවැන්නා කවරෙකු වනු ඇද්ද? උන්වහන්සේ සිය අවසාන හුස්ම හෙළන තෙක්, වධකණුවේ එල්ලා මැරූ ස්ථානය පෙනෙන තෙක් මානයක සිටි ස්ත්‍රියක්, එම තැනැත්තිය වූවාය.—මතෙව් 27:55, 56, 61.
6, 7. (අ) සොහොන් ගෙයට පැමිණි ස්ත්රීන්ට යේසුස්වහන්සේ කුමක් කීසේක්ද? (ආ) යේසුස්වහන්සේගේ පුරුෂ ගෝලයන් මුලදී ස්ත්‍රීන්ගෙන් ලැබූ සාක්ෂියට ප්‍රතික්‍රියා කළේ කෙසේද, තවද මින් කුමක් උගත හැකිද?
6 සතියේ පළමු දවසේ අලුයමේදී, මග්දලායේ මරියා හා වෙනත් ස්ත්‍රීහු, යේසුස්වහන්සේගේ ශරීරය පිළියෙළ කිරීම සඳහා සුවඳ ද්‍රව්‍ය රැගෙන සොහොන් ගෙයට ගියෝය. සොහොන් ගෙය හිස් බව දුටු මරියා, පේතෘස්ට හා යොහන්ට ඒ ගැන කීමට දිවගියාය. අනික් ස්ත්‍රීහු රැඳී සිටියහ. වැඩි වේලාවක් යන්ට මත්තෙන් දේවදූතයෙක් ඔවුන්ට දර්ශනය වී යේසුස්වහන්සේ නැවතනැගිට තිබූ බව ඔවුන්ට කීවේය. “ඉක්මනින් ගොස් . . . උන්වහන්සේගේ ගෝලයන්ට කියාපල්ලා” යයි දේවදූතයා උපදෙස් දුන්නේය. එම ආරංචිය දීමට ස්ත්‍රීන් ඉක්මනින් යමින් සිටියදී, යේසුස්වහන්සේම ඔවුන්ට දර්ශනය වූසේක. “මාගේ සහෝදරයන් ළඟට ගොස් . . . කියාපල්ලා” යයි උන්වහන්සේ ඔවුන්ට පැවසූසේක. (මතෙව් 28:1-10; මාර්ක් 16:1, 2; යොහන් 20:1, 2) දේවදූතයාගේ දර්ශනය වීම ගැන නොදැන සිටි මග්දලායේ මරියා, ශෝකයෙන් වෙළී, හිස් සොහොනට යළි පැමිණියාය. යේසුස්වහන්සේ එහිදී ඇයට දර්ශනය වූ අතර, අන්තිමේදී ඇය උන්වහන්සේව හඳුනාගත් පසු, උන්වහන්සේ මෙසේ කීසේක: “මාගේ සහෝදරයන් ළඟට ගොස්—මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියාපන්න.”—යොහන් 20:11-18; සසඳන්න මතෙව් 28:9, 10.
7 පළමුව පේතෘස්ට, යොහන්ට, නැතහොත් අනික් පුරුෂ ගෝලයන්ගෙන් කෙනෙකුට දර්ශනය වීමට යේසුස්වහන්සේට හැකියාව තිබිණ. ඒ වෙනුවට, ඔවුන්ව සිය නැවතනැගිටීමේ පළමු ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත් කිරීමෙන්ද, සිය පුරුෂ ගෝලයන්ට ඒ පිළිබඳව සාක්ෂිදැරීමට ඔවුන්ට අණ කිරීමෙන්ද, එම ස්ත්රීන්ට අනුග්‍රහ දැක්වීමට උන්වහන්සේ තෝරාගත්සේක. පුරුෂයන් මුලදී ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? වාර්තාවෙහි මෙසේ පැවසේ: “මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය.” (ලූක් 24:11) එම සාක්ෂිය ස්ත්‍රීන්ගෙන් පැමිණි නිසා, එය ඔවුන්හට පිළිගැනීමට අපහසු යමක් වූවා විය හැකිද? එසේ වී නම්, කල් යත්ම, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටුවා තිබූ බව ඔවුන්ට බහුල සාක්ෂි ලැබිණ. (ලූක් 24:13-46; 1 කොරින්ති 15:3-8) අදදින, ක්‍රිස්තියානි පුරුෂයන් සිය ආත්මික සහෝදරියන්ගේ නිරීක්ෂණ සැලකිල්ලට ගනිත්ම, ඔවුහු ඥානවන්තව ක්‍රියා කරති.—උත්පත්ති 21:12 සසඳන්න.
8. යේසුස්වහන්සේ ස්ත්‍රීන් සමඟ කටයුතු කළ අන්දමින් කුමක් හෙළි කළසේක්ද?
8 යේසුස්වහන්සේ ස්ත්‍රීන් සමඟ කටයුතු කිරීම සැබවින්ම හද උණුසුම් කරවන්නක්ය. ස්ත්‍රීන් සමඟ කටයුතු කිරීමේදී මනා දයානුකම්පාවක්ද, පූර්ණ සමබරතාවක්ද දක්වමින්, උන්වහන්සේ කිසිවිටකත් ඔවුන්ව අනිසි ලෙස උසස් කළේවත්, අවමන් කළේවත් නැත. (යොහන් 2:3-5) ඔවුන්ගේ ගරුත්වය ඔවුන්ගෙන් සොරා ගත්තාවූද, දේවවචනය අවලංගු කළාවූද, රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළසේක. (මතෙව් 15:3-9 සසඳන්න.) ස්ත්රීන්ට ගරු බුහුමන්ව සැලකිල්ල දැක්වීමෙන්, යේසුස්වහන්සේ ඔවුන්ට සැලකිය යුතු අන්දම ගැන කෙළින්ම යෙහෝවඃ දෙවියන්වහන්සේට හැඟෙන ආකාරය හෙළි කළසේක. (යොහන් 5:19) එමෙන්ම යේසුස්වහන්සේ ක්‍රිස්තියානි පුරුෂයන්ට අනුකරණය කිරීම සඳහා විශිෂ්ට ආදර්ශයක් තැබූසේක.—1 පේතෘස් 2:21.
ස්ත්‍රීන් ගැන යේසුස්වහන්සේ ඉගැන්වූ දෙය
9, 10. යේසුස්වහන්සේ ස්ත්‍රීන් පිළිබඳ රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් කෙසේ නිෂ්ප්‍රභ කළසේක්ද, තවද ඵරිසිවරුන් දික්කසාදය ගැන ප්‍රශ්නයක් ඉස්මතු කිරීමෙන් පසු, උන්වහන්සේ කුමක් කීසේක්ද?
9 යේසුස්වහන්සේ රබ්බිවරුන්ගේ සම්ප්‍රදායන් නිෂ්ප්‍රභ කොට ස්ත්‍රීන්ව ගෞරවයට පත් කළේ තම ක්‍රියාවලින් පමණක් නොව, නමුත් තම ඉගැන්වීම්වලින්ද එසේ කළසේක. උදාහරණයක් හැටියට උන්වහන්සේ දික්කසාදය හා කාමමිථ්‍යාචාරය ගැන ඉගැන්වූ දෙය සලකා බලන්න.
10 දික්කසාදය සම්බන්ධයෙන් යේසුස්වහන්සේගෙන් මෙම ප්රශ්නය අසන ලදි: “යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය [දික්කසාද කළ, NW] යුතුද”? මාර්ක්ගේ වාර්තාව අනුව යේසුස්වහන්සේ මෙසේ කීසේක: “[වේශ්‍යාකම නිසා මිස] තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවාගන්න කවරෙක් නුමුත් ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය කෙරේ. ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීය.” (මාර්ක් 10:10-12; මතෙව් 19:3, 9) ඉතා සරලව ප්‍රකාශ කරන ලද එම වදන් ස්ත්රීන්ගේ ගරුත්වය සඳහා ගෞරවය දැක්වීය. ඒ කෙසේද?
11. “වේශ්‍යාකම නිසා මිස” යන යේසුස්වහන්සේගේ වදන්වලින් විවාහ බැම්ම ගැන ඇඟවූයේ කුමක්ද?
11 පළමුව, (මතෙව්ගේ සුවිශේෂ වාර්තාවේ තිබෙන), “වේශ්‍යාකම නිසා මිස” යන වදන් ඇසුරෙන්, විවාහ බැම්ම සුළු කොට තැකිය හැකි පහසුවෙන් කඩාදැමිය හැකි යමක් නොවන බව යේසුස්වහන්සේ ඇඟවූසේක. භාර්යාවක ආහාර වේළක් හරි හැටි නොපිසීම හෝ නොදත් පුරුෂයෙකු සමඟ කතා බහ කිරීම වැනි සුළු හේතු මත දික්කසාදය සඳහා, පැවති රබ්බිවරුන්ගේ ඉගැන්වීම් මගින් අවකාශ සලසන ලදි. ඇයි, ස්වාමිපුරුෂයෙකු වඩාත් සිත්ඇදගන්නා ස්ත්‍රියක හමුවූවොත් ඒ සඳහා පවා දික්කසාදයට ඉඩ කඩ තිබිණ! එක් බයිබල් විශාරදයෙක් මෙසේ සටහන් කරයි: “යේසුස්වහන්සේ එසේ කතා කළ විට, උන්වහන්සේ . . . විවාහය එය පැවතිය යුතු ස්ථානයෙහි දැමීමට යත්න දැරීමෙන්, ස්ත්රීන්ට පක්ෂව කතා කරමින් සිටිසේක. ඇත්තෙන්ම, විවාහය ස්ත්‍රියට සුරක්ෂිතභාවයක් හැඟිය හැකි ස්ථිරසාර එකමුතුවක් විය යුතුය.—මාර්ක් 10:6-9.
12. “ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය” කිරීම යන වදන් මගින්, යේසුස්වහන්සේ හඳුන්වා දෙමින් සිටියේ කුමන සංකල්පයද?
12 දෙවනුව, “ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය” කිරීම යන යෙදුම භාවිතයෙන්, යේසුස්වහන්සේ රබ්බිවරුන්ගේ උසාවිවල නොපිළිගන්නා ලද දෘෂ්ටියක් හැඳින්වූසේක—එනම් ස්වාමිපුරුෂයෙකු තම භාර්යාවට විරුද්ධව කාමමිථ්‍යාචාරය කිරීම පිළිබඳ සංකල්පයයි. දි එක්ස්පොසිටර්’ස් බයිබල් කොමෙන්ට්‍රි මෙසේ පැහැදිලි කරයි: “රබ්බිවරුන්ගේ යුදෙව්වාදයට අනුව ස්ත්‍රියක ද්‍රෝහී වීමෙන් තම පුරුෂයාට විරුද්ධව කාමමිථ්‍යාචාරය කළ හැකිය; තවද පුරුෂයෙකු වෙන පුරුෂයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරයෙහි යෙදීමෙන්, ඔහුට විරුද්ධව කාමමිථ්‍යාචාරය කළ හැක. එහෙත් පුරුෂයෙකු කුමක් හෝ කළත් ඔහුට කිසිවිටක තම භාර්යාවට විරුද්ධව කාමමිථ්‍යාචාරය කළ නොහැකිය. භාර්යාව මෙන් පුරුෂයාව එකම සදාචාරමය බැඳීම යටතේ දැමීමෙන් යේසුස්වහන්සේ ස්ත්රීන්ගේ තත්වය හා ගරුත්වය ඉහළ නැංවූසේක.”
13. දික්කසාදය සම්බන්ධයෙන්, ක්‍රිස්තියානි පිළිවෙත යටතේ, ස්ත්‍රී පුරුෂ දෙදෙනාට එකම ප්‍රමිතියක් තිබෙනු ඇති බව යේසුස්වහන්සේ කෙසේ පෙන්නුම් කළසේක්ද?
13 තුන්වනුව, “ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර” යන යෙදුම මගින්, අවිශ්වාසවන්ත පුරුෂයෙකු දික්කසාද කිරීමට ස්ත්‍රියක සතු අයිතිය යේසුස්වහන්සේ පිළිගත්සේක—පෙනෙන ප්‍රකාරයට මෙම සිරිත ගැන දැනුමක් තිබුණත්, ඒ කාලයේදී යුදෙව් නීතිය යටතේ පොදුවේ කරන ලද්දක් නොවීය.c “ස්ත්‍රියක ඇගේ කැමැත්ත ඇතුව හෝ නැතුව දික්කසාද කළ හැකි නමුත්, පුරුෂයෙකු තම කැමැත්ත ඇතුව පමණක් දික්කසාද කළ හැකි බව” පවසා තිබිණ. කෙසේවෙතත්, යේසුස්වහන්සේ පැවසූ පරිදි, ක්‍රිස්තියානි පිළිවෙත අනුව, එකම ප්‍රමිතිය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම අදාළ වනු ඇත.
14. සිය ඉගැන්වීම් මගින් යේසුස්වහන්සේ කුමක් පිළිබිඹු කළසේක්ද?
14 යේසුස්වහන්සේගේ ඉගැන්වීම්, ස්ත්රීන්ගේ ශුභසිද්ධිය සඳහා ගැඹුරු සැලකිල්ලක් පැහැදිලිව හෙළි කරයි. එසේනම්, සමහර ස්ත්‍රීන් යේසුස්වහන්සේට කොතරම් දුරට ප්‍රේම කළාද කිවහොත්, තමන්ගේම වත්කම්වලින් උන්වහන්සේගේ අවශ්‍යතා පිරිමසාදුන් බව තේරුම්ගැනීම අපහසු යමක් නොවේ. (ලූක් 8:1-3) “මාගේ ඉගැන්වීම මාගේ නොව හා එවූ තැනැන්වහන්සේගේය” කියා යේසුස්වහන්සේ කීසේක. (යොහන් 7:16) යේසුස්වහන්සේ ඉගැන්වූ දෙයින්, උන්වහන්සේ, ස්ත්‍රීන් සඳහා යෙහෝවඃවහන්සේගේම මුදු මොළොක් සැලකිල්ල පිළිබිඹු කළසේක.
‘ඔවුන්ට ගෞරව දීම’
15. පුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුතු අන්දම ගැන ප්‍රේරිත පේතෘස් ලීවේ කුමක්ද?
15 යේසුස්වහන්සේ ස්ත්‍රීන් සමඟ කටයුතු කළ ආකාරය ප්‍රේරිත පේතෘස් සියැසින්ම දුටුවේය. වසර 30කට පමණ පසු, පේතෘස් භාර්යාවන්ට ප්‍රේමනීය උපදෙස් දෙමින් ඉන් අනතුරුව මෙසේ ලීවේය: “පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා.” (1 පේතෘස් 3:7) ‘ඔවුන්ට ගෞරව දීම’ යන වදන්වලින් පේතෘස් අදහස් කළේ කුමක්ද?
16. (අ) “ගෞරවය” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් නාම පදයෙහි තේරුම කවරේද? (ආ) යෙහෝවඃවහන්සේ, අන්වෙසක් වීම තුළදී යේසුස්වහන්සේට ගෞරව කළේ කෙසේද, තවද අපට මින් කුමක් උගත හැකිද?
16 එක් ශබ්දකෝෂ කර්තෘවරයෙකුට අනුව, “ගෞරවය” (ටයි·මෙʹ) ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් නාම පදය වනාහි “මිල, වටිනාකම, නම්බුව, ගෞරවය” අදහස් කරයි. මෙම ග්‍රීක් වචනයේ ස්වරූප “තෑගි” හා “අනර්ඝ” ලෙස පරිවර්තනය කෙරේ. (ක්‍රියා 28:10, NW; 1 පේතෘස් 2:7, NW) පේතෘස් විසින් එම වචනයම 2 පේතෘස් 1:17හි භාවිත කර තිබෙන අන්දම අපි පරීක්ෂා කර බලන්නෙමු නම්, අප යමෙකුට ගෞරව දීමෙහි අර්ථය කෙරෙහි තීක්ෂ්ණ බුද්ධියක් ලබමු. එහිදී, යේසුස්වහන්සේගේ අන්වෙසක් වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක.” යේසුස්වහන්සේගේ අන්වෙසක් වීමේදී, යෙහෝවඃවහන්සේ යේසුස්වහන්සේ කෙරෙහි ස්වකීය අනුමැතිය ප්‍රකාශ කිරීමෙන් ස්වකීය පුත්‍රයාට ගෞරව කළ අතර, දෙවියන්වහන්සේ එසේ කළේ අනුන්ට ඇසෙන පිණිසය. (මතෙව් 17:1-5) එසේනම්, තම භාර්යාවට ගෞරව කරන පුරුෂයා, ඇයව නින්දාවට හෝ අවමානයට ලක් නොකරයි. ඒ වෙනුවට, පෞද්ගලිකව හා ප්‍රසිද්ධියේ, කියන හා කරන දෙයින්, ඇයව උසස් කොට සලකන බව ඔහු විදහා පෙන්වන්නේය.—හිතෝපදේශ 31:28-30.
17. (අ) ක්‍රිස්තියානි භාර්යාවට ගෞරවය පිරිනැමිය යුත්තේ මන්ද? (ආ) ස්ත්‍රියකට වඩා තමාට දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි වැඩි අගයක් තිබෙන බව පුරුෂයෙකුට නොහැඟිය යුත්තේ මන්ද?
17 පේතෘස් පවසන පරිදි, මෙම ගෞරවය ක්‍රිස්තියානි පුරුෂයන් විසින් තම භාර්යාවන්ට ‘දිය’ යුතුය. මෙය ලබා දිය යුතු වන්නේ, දීමනාවක් ලෙස නොව, නමුත් තම භාර්යාවගේ යුක්තිසහගත අයිතිවාසිකමක් හැටියටය. භාර්යාවන්ට මෙවන් ගෞරවයක් හිමිවිය යුත්තේ මන්ද? “ඔවුන් ජීවනයේ අනුග්‍රහයට [ඔබ ඔවුන් සමඟ] හවුල් උරුමක්කාරියන්ද බැවින්” කියා පේතෘස් පැහැදිලි කරයි. පොදු යුගයේ පළමු සියවසේ, පේතෘස්ගේ ලිපිය ලැබූ පුරුෂයන් හා ස්ත්‍රීන් සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන් හැටියට කැඳවනු ලැබීය. (රෝම 8:16, 17; ගලාති 3:28) ඔවුන්ට සභාව තුළ එකම වගකීම් නොතිබුණත්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනයට ඔවුන් අන්තිමේදී සහභාගි වනු ඇත. (එළිදරව් 20:6) අදදින පවා, දෙවියන්වහන්සේගේ සෙනඟ අතුරින් වැඩිදෙනෙකුට භූමික බලාපොරොත්තුවක් තිබෙන කාලයේදී, ක්‍රිස්තියානි පුරුෂයෙකු තමාට සභාව තුළ තිබිය හැකි වරප්‍රසාද නිසා, ස්ත්රීන්ට වඩා තමාට දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි වැඩි අගයක් තිබෙන බවට හැඟී යෑම බරපතළ වරදකි. (ලූක් 17:10 සසඳන්න.) යේසුස්වහන්සේගේ පූජනීය මරණය ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම එකම ප්‍රස්තාව—එනම් සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇතුව, පාපයට හා මරණයට ගොදුරු වීමෙන් නිදහස් වීම—විවෘත කර දුන් බැවින්, පුරුෂයන්ට හා ස්ත්රීන්ට දෙවියන්වහන්සේ ඉදිරියේ එකම ආත්මික ස්ථාවරය තිබේ.—රෝම 6:23.
18. පුරුෂයෙකු තම භාර්යාවට ගෞරව කළ යුතු බව පෙන්වීමට පේතෘස් දෙන බලපවත්වන හේතුව කවරේද?
18 පේතෘස් පුරුෂයෙකු තම භාර්යාවට ගෞරව කළ යුතු බවට තවත් ප්‍රබල හේතුවක් දෙයි, එනම් “[ඔහුගේ] යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස[ය].” ‘බාධා පැමිණීම’ යන යෙදුම, පදගතාර්ථයෙන් “යමක් තුළට කැපීම” යන අදහස දෙන ග්‍රීක් ක්‍රියා පදයකින් (එන්·ඛොʹප්ටො) පැමිණේ. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නියූ ටෙස්ටමන්ට් වර්ඩ්ස් අනුව, “මහාමාර්ගය කඩාදැමීමෙන් හෝ ගමන් මඟෙහි යම් බාධකයක් එකහෙළා තැබීමෙන් පුද්ගලයන්ට බාධා පැමිණවීම හා සම්බන්ධව එය භාවිත කරන ලදි.” එබැවින් තම භාර්යාවට ගෞරව දීමට අපොහොසත් වන පුරුෂයාට, තම යාච්ඤා හා දෙවියන්වහන්සේ ඒවාට සවන්දීම අතර යම් මාර්ග බාධකයක් තිබෙන බව අවබෝධ විය හැක. එම පුරුෂයාට දෙවියන්වහන්සේ වෙත එළඹීමට තමා නුසුදුසු බව හැඟී යා හැකිය, නැතහොත් යෙහෝවඃවහන්සේ සවන් දීමට අකමැති වනවා විය හැක. පුරුෂයන් ස්ත්රීන්ට සැලකිල්ල දක්වන අන්දම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ ඉතා සැලකිලිමත් වන බව මොනවට පැහැදිලිය.—විලාප ගී 3:44 සසඳන්න.
19. සභාවේ පුරුෂයන් හා ස්ත්‍රීන් අන්‍යොන්‍ය ගෞරවය ඇතුව එකට සේවය කළ හැක්කේ කෙසේද?
19 ගෞරව දැක්වීමට බැඳී සිටින්නේ පුරුෂයා පමණක් නොවේ. පුරුෂයෙකු තම භාර්යාවට ප්‍රේමයෙන් හා ගරුත්වයෙන් සැලකිල්ල දැක්වීමෙන් ඇයට ගෞරවය දැක්විය යුතු අතරම, භාර්යාවක තම පුරුෂයාට යටත් වීමෙන් හා ගැඹුරු ගෞරවය පෙන්වීමෙන් ඔහුට ගෞරවය දැක්විය යුතුය. (1 පේතෘස් 3:1-6) එපමණක්ද නොව, ක්‍රිස්තියානීන් ‘එකිනෙකාට ගෞරවයෙන් සැලකීමට’ පාවුල් අවවාද කළේය. (රෝම 12:10) මෙය වනාහි සභාව තුළ සිටින පුරුෂයන්ට හා ස්ත්රීන්ට එකිනෙකා කෙරෙහි අන්‍යොන්‍ය ගෞරවයකින් යුතුව සේවය කිරීමට වූ ඉල්ලීමකි. එවන් ස්වභාවයක් පවතින විට, පෙරමුණ ගන්නන්ගේ අධිකාරය අඩපණ කරන අන්දමකින් ක්‍රිස්තියානි ස්ත්‍රීහු කතා නොකරන්නෝය. ඒ වෙනුවට, ඔවුහු වැඩිමහල්ලන්ට රුකුලක් වෙමින් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෝය. (1 කොරින්ති 14:34, 35; හෙබ්‍රෙව් 13:17) ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ පැත්තෙන් බලන කල, ඔවුහු “වැඩිමහල් ස්ත්රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද” සලකන්නෝය. (1 තිමෝති 5:1, 2) වැඩිමහල්ලෝ ඥානවන්ත ලෙස, තම ක්‍රිස්තියානි සහෝදරියන්ගේ අදහස්වලට කාරුණික සැලකිල්ලක් දෙන්නෝය. මෙසේ, සහෝදරියක දේවාණ්ඩු මූලිකත්වයට ගෞරවය දක්වමින්, ගෞරවාන්විතව ප්‍රශ්නයක් ඇසුවොත්, නැතහොත් අවධානය අවශ්‍ය යමක් පැහැදිලි කළොත් පවා, වැඩිමහල්ලෝ සතුටින් ඇගේ ප්‍රශ්නයට නැතහොත් ගැටලුවට අවධානය යොමු කරන්නෝය.
20. ශුද්ධ ලියවිලිමය වාර්තාවට අනුව, ස්ත්රීන්ට සැලකිල්ල දැක්විය යුත්තේ කෙසේද?
20 ඒදන්හි පාපයේ අවතීර්ණ වීමත් සමඟ, බොහෝ සංස්කෘතවල ස්ත්‍රීන් අගෞරවය ලබන තත්වයක් දක්වා පහතට හෙළා තිබේ. එහෙත් යෙහෝවඃවහන්සේ ඔවුන්හට අද්දැකීමට මුලින්ම අදහස් කළේ එවන් සැලකීමක් නොවේ. ස්ත්‍රීන් කෙරෙහි කවර සංස්කෘතික අදහස් පැවතියද, දේවභක්තික ස්ත්රීන්ට ගරු බුහුමන් දැක්විය යුතු බව හෙබ්‍රෙව් මෙන්ම ග්‍රීක් ශුද්ධ ලියවිලිමය වාර්තාව පැහැදිලිව පෙන්නුම් කරයි. එය වනාහි දෙවියන්වහන්සේ විසින් හිමි කර දුන් ඔවුන්ගේ අයිතිවාසිකමය.
[පාදසටහන්වල]
a දි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා මෙසේ පැහැදිලි කරයි: “ස්ත්‍රීහු පුරුෂ අමුත්තන් සමඟ ආහාර අනුභව නොකළෝය, ස්ත්‍රීන් සමඟ කතා කිරීමට පුරුෂයන්ට දිරි නොදෙන ලදි. . . . ප්‍රසිද්ධ ස්ථානයක ස්ත්‍රියක සමඟ කතා කිරීම විශේෂයෙන්ම නින්දිත දෙයක් විය.” රබ්බිවරුන්ගේ ඉගැන්වීම්වල එකතුවක් වන, යුදෙව් මිෂ්නා මෙසේ අවවාද කළේය: “ස්ත්‍රී පක්ෂය සමඟ වැඩියෙන් කතා නොකරන්න. . . . ස්ත්‍රී පක්ෂය සමඟ වැඩියෙන් කතා කරන්ට යන තැනැත්තා තමා කෙරෙහි නපුර ගෙනෙන අතර හේ, ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම නොසලකා හරින්නේය, තවද අන්තිමේදී ගෙහෙන්නාව උරුම කරගන්නේය.”—ඇබොත් 1:5.
b පැලස්ටයින් ඉන් ද ටයිම් ඔෆ් ක්රයිස්ට් නම් පොත මෙසේ ප්‍රකාශ කරයි: “ඇතැම් අවස්ථාවන්හිදී, ස්ත්‍රියකට වහලියකගේ තත්වය දෙන ලදි. උදාහරණයක් ලෙස, යුක්තියේ උසාවියක ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණය ගැන සාක්ෂි දීම හැර, ඇයට සාක්ෂි දීමට නොහැකි විය. ලෙවී කථාව 5:1ට යොමු දක්වමින්, මිෂ්නා මෙසේ පැහැදිලි කරයි: “ ‘සාක්ෂිදැරීමට දිවුරුම්දීම’ [පිළිබඳ නීතිය] ස්ත්රීන්ට නොව, පුරුෂයන්ට අදාළ වේ.”—ෂෙබුඔත් 4:1.
c පළමු සියවසේ යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරන්නේ, හෙරොද් රජුගේ සහෝදරී වූ සලෝමි, ඇගේ පුරුෂයාට “යුදෙව් නීතියට එකඟ නොවූ, විවාහය අහෝසි කරන සහතික පත්‍රයක් යැව්වාය. මන්දයත් අප විසින් මෙසේ කිරීමට අවසර තිබෙන්නේ පුරුෂයාට (පමණක්) වන බැවිනි.”—ජුවිෂ් ඇන්ටික්විටීස්, XV, 259 [vii, 10].
ඔබේ පිළිතුර කුමක්ද?
◻ යේසුස්වහන්සේ ස්ත්රීන්ට ගරු බුහුමන් දැක්වූ බව විදහා පෙන්වන්නේ කවර ආදර්ශද?
◻ යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ස්ත්රීන්ගේ ගරුත්වයට ගෞරව පෙන්වූයේ කෙසේද?
◻ පුරුෂයෙකු තම ක්‍රිස්තියානි භාර්යාවට ගෞරව දිය යුත්තේ මන්ද?
◻ ගෞරව දැක්වීම සඳහා සෑම ක්‍රිස්තියානියෙකුට තිබෙන බැඳීම කුමක්ද?
[17වන පිටුවේ පින්තූරය]
නැවත නැගිටුවනු ලැබූ යේසුස්වහන්සේව පළමුවෙන්ම දුටුවේ, දේවභක්තික ස්ත්රීන්ය, මෙය ඔවුන්ගේ ඉමහත් සතුටට හේතු විය, උන්වහන්සේ ඒ පිළිබඳව සිය සහෝදරයන්ට සාක්ෂිදැරීමට ඔවුන්ට නියම කළසේක