ඔබට වඩාත් විචාර බුද්ධියක් වගා කළ හැකිද?
විචාර බුද්ධිය වනාහි “එක් දෙයකින් තවත් දෙයක් වෙන් කර හඳුනාගැනීමට මනසට ඇති බලය හෝ හැකියාවය.” එය “තීව්ර විනිශ්චය” හෝ “දේවල හෝ අදහස්වල වෙනස්කම් තේරුම්ගැනීමේ බලය” හෝ විය හැක. එසේ පවසන්නේ වෙබ්ස්ටර්’ස් යුනිවර්සල් ඩික්ෂනරියයි. පැහැදිලිවම, විචාර බුද්ධිය, ආශා කළ යුතු ගුණාංගයකි. එහි අගය සාලමොන්ගේ වචනවල දක්නට තිබේ: “ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය; . . . ඥානයද [විචාර බුද්ධිය, NW] නුඹ ආරක්ෂාකරන්නේය; නපුරාගේ මාර්ගයෙන් . . . නුඹ ගළවන්නේය.”—හිතෝපදේශ 2:10-12.
එසේය, අදදින බහුලව පවතින “නපුරු මාර්ගය” ප්‍රතික්ෂේප කිරීමට විචාර බුද්ධිය අපට උපකාර කරයි. එමෙන්ම එය වෙනත් ප්‍රයෝජන බොහොමයක් ගෙන දෙයි. උදාහරණයක් වශයෙන්, ‘ඔබට තේරෙන්නේ නෑ!’ යයි තම දරුවන් පවසනවා දෙමව්පියන්ට නිතරම අසන්ට ලැබේ. සුළු සෝදිසි කිරීමකින්, විචාර බුද්ධිය ඇති දෙමව්පියෝ තම දරුවන් තුළ වද දෙන හැඟීම් හා ප්‍රශ්න පිටතට ඇදගැනීමට දනිති. (හිතෝපදේශ 20:5) විචාර බුද්ධිය ඇති සැමියෙකු සිය බිරිඳට සවන් දෙන අතර හදිසි නිගමනවලට එළඹෙනවාට වඩා, ඇගේ සිතුවිලි හා හැඟීම් තීක්ෂ්ණ බුද්ධියෙන් තේරුම්ගනියි. බිරිඳද සිය සැමියා සමඟ එලෙසම ක්‍රියා කරයි. මෙබැවින්, “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් [විචාර බුද්ධියෙන්, NW] එය ස්ථිරවේ.”—හිතෝපදේශ 24:3.
පුද්ගලයෙකුට තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට විචාර බුද්ධිය උපකාර කරයි. හිතෝපදේශ 17:27 මෙසේ පවසයි: “තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය [විචාර බුද්ධිය ඇත්තෙක්ය, NW].” විචාර බුද්ධිය ඇති තැනැත්තෙක් කල්පනා නොකර සෑම අවස්ථාවකදීම හදිසි වන, ඉක්මන්කාරයෙක් නොවේ. ඔහු යම් දෙයක් කිරීමට පෙර ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන පරෙස්සමින් සිතා බලයි. (ලූක් 14:28, 29) “විචාර බුද්ධියේ මුඛයක්” කෙනෙකුට සිය වචන පරෙස්සමින් තේරීමට මඟ පාදන බැවින්, ඔහු අන්‍යයන් සමඟ වඩා සාමකාමී සබඳතාද භුක්තිවිඳියි. (හිතෝපදේශ 10:19; 12:8, NW) එහෙත්, විචාර බුද්ධිය ඇති පුද්ගලයෙක් යටහත් පහත් ලෙස තමන්ගේම සීමාවන් තේරුම්ගන්නා අතර මඟ පෙන්වීම සඳහා මිනිසුන් දෙස බලනවාට වඩා, දෙවියන්වහන්සේ දෙස බැලීම වඩාත්ම වැදගත් දෙය ලෙස සලකයි. මෙය යෙහෝවඃවහන්සේට ප්‍රසන්න වන අතර විචාර බුද්ධිය වර්ධනය කරගැනීම සඳහා තවත් හේතුවක් වේ.—හිතෝපදේශ 2:1-9; යාකොබ් 4:6.
ඉශ්රායෙල්වරුන්ගේ විචාර බුද්ධියේ හිඟකම
ඉශ්රායෙල්වරුන්ගේ මුල් ඉතිහාසයේ සිද්ධියකින් විචාර බුද්ධිය පැවැත්වීමට අසමත් වීමේ අනතුර දක්නට තිබේ. ඒ කාලය දෙස හැරී බලමින්, ආනුභාව ලත් ගීතිකාකරු මෙසේ ලීවේය: “අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.”—ගීතාවලිය 106:7.
මෝසෙස් ඉශ්රායෙල්වරුන්ව මිසරයෙන් පිටතට ගෙනා විට, එම බලවන්ත ලෝක බලවේගය මත පැමිණෙවූ පීඩා මගින්, ස්වකීය සෙනඟ නිදහස් කරගැනීමට යෙහෝවඃවහන්සේ ස්වකීය බලය සහ ස්වකීය අධිෂ්ඨානය ඒ වන විටත් පෙන්වා තිබිණ. ඵාරාවෝ ඉශ්රායෙල්වරුන්ට යන්න හැරිය පසු, මෝසෙස් ඔවුන්ව රතු මුහුද අද්දරට ගෙනාවේය. කෙසේවුවත්, මිසර හමුදාව ඔවුන් පසුපස ලුහුබැන්දෝය. එය හරියට ඉශ්රායෙල්වරුන්ව උගුලට අසුවී, අලුත ලැබුණු ඔවුන්ගේ නිදහස ඉතා කෙටි කලක් පැවති එකක් මෙන් පෙනෙන්ට තිබුණාක් මෙන් විය. එබැවින් බයිබල් වාර්තාව මෙසේ පවසයි: “ඉශ්රායෙල් පුත්‍රයෝ . . . අතිශයින් භයවූවෝය. . . . ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.” තවද ඔවුන් මෝසෙස් වෙත හැරී, මෙසේ පවසන්ට විය: “මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? . . . වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහප[ත්‍ය].”—නික්මයාම 14:10-12.
ඔවුන් ඒ වන විටත් යෙහෝවඃවහන්සේගේ බලයේ විශිෂ්ට විදහා දැක්වීම් දහයක් දැක තිබුණ බව අපට මතක තිබෙන තුරු, ඔවුන්ගේ බිය තේරුම්ගත හැකි බව පෙනෙන්ට තිබිය හැක. වර්ෂ 40කට පමණ පසු මෝසෙස් ඔවුන්ට සිහිගන්වනු ඇති දේ ඔවුහු හොඳින් දැන සිටියහ: “[යෙහෝවඃවහන්සේ] බලවත් හස්තයකින්ද දිඟුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට [පැමිණෙවූසේක.]” (ද්විතීය කථාව 26:8) එබැවින්, ගීතිකාකරු ලියුවාක් මෙන්, ඉශ්රායෙල්වරු මෝසෙස්ගේ මඟ පෙන්වීමට එරෙහි වූ විට, “ඔවුහු කිසි තීක්ෂ්ණ බුද්ධියක් නොපෙන්වූහ” [NW]. කෙසේනමුත්, යෙහෝවඃවහන්සේ ස්වකීය පොරොන්දුවට විශ්වාසව සිටිමින් මිසර හමුදා මත අන්ත පරාජයක් පැමිණෙවූසේක.—නික්මයාම 14:19-31.
අප සැකයෙන් හෝ දෙගිඩියාවෙන් පරීක්ෂා සලකන්ට යෙදුණොත් අපේ ඇදහිල්ලත් එලෙසම චංචල විය හැක. අපට විරුද්ධ විය හැකි ඕනෑම කෙනෙකුට වඩා යෙහෝවඃවහන්සේ කෙතරම් උතුම්දැයි මතක තබාගෙන, සැමවිටම දේවල් දෙස හරි දෘෂ්ටිකෝණයකින් බැලීමට විචාර බුද්ධිය අපට උපකාර කරයි. යෙහෝවඃවහන්සේ දැනටමත් අප වෙනුවෙන් කර තිබෙන දේ මනසේ තබාගැනීමටත් විචාර බුද්ධිය අපට උපකාර කරයි. උන්වහන්සේ වනාහි “තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරන” තැනැන්වහන්සේ යන සත්‍යය කිසිදා අමතක නොකිරීමට එය අපට උපකාර කරනු ඇත.—ගීතාවලිය 145:18-20.
ආත්මික විචාර බුද්ධිය ලබාගැනීම
විචාර බුද්ධිය වයස සමඟ ඉබේම පැමිණෙන්නේ නැත. එය වගා කරගත යුතුය. සිය විචාර බුද්ධිය සඳහා ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබාගත් ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ පැවසීය: “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය [විචාර බුද්ධිය, NW] ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.” (හිතෝපදේශ 3:13, 14) සාලමොන්ට සිය විචාර බුද්ධිය ලැබුණේ කොතැනකින්ද? යෙහෝවඃවහන්සේගෙන්ය. කුමන ආශීර්වාදයක් වුවමනාදැයි යෙහෝවඃවහන්සේ සාලමොන්ගෙන් ඇසූ විට, සාලමොන් මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව.” (1 රාජාවලිය 3:9) එසේය, සාලමොන් සිය උපකාරයාණන් ලෙස සැලකුවේ යෙහෝවඃවහන්සේවය. ඔහු විචාර බුද්ධිය ඉල්ලූ අතර, යෙහෝවඃවහන්සේ අසාමාන්‍ය ප්‍රමාණයකින් ඔහුට එය දුන්සේක. ප්‍රතිඵලය? “සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.”—1 රාජාවලිය 4:30.
විචාර බුද්ධිය සඳහා අපගේ සොයා යෑමේදී, යා යුත්තේ කොතැනටදැයි සාලමොන්ගේ අද්දැකීම අපට පෙන්වයි. සාලමොන් මෙන්, අප යෙහෝවඃවහන්සේ දෙස බැලිය යුතුය. කෙසේද? ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේ ස්වකීය සිතුවිලි සම්බන්ධයෙන් අපට තීක්ෂ්ණ බුද්ධිය දෙන ස්වකීය වචනය වන බයිබලය සපයා දී ඇත. අප බයිබලය කියවන විට, අප හාරමින් සිටින්නේ ආත්මික විචාර බුද්ධියේ පදනම සපයනු ඇති දැනගැන්මේ වටිනා ආකරයක් තුළටය. අපගේ බයිබල් කියවීමෙන් අප එක්රැස්කරගන්නා තොරතුරු මත මෙනෙහි කළ යුතුය. ඉන්පසු, හරි තීරණගැනීමට එය යොදාගත හැක. කල්යත්ම, “හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහාගැනීමට [නැතහොත්, විචාර බුද්ධියෙන් තේරුම්ගැනීමට]” පුළුවන් “අවබෝධාත්මක හැකියාවන් ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු කොට ඇති” තත්වයට පත්වන තුරු, හොඳ නරක විමසා බැලීමේ අපගේ ඉන්ද්රියයන් වර්ධනය වේ.—1 කොරින්ති 14:20; හෙබ්‍රෙව් 5:14, NW; සසඳන්න 1 කොරින්ති 2:10.
යෙහෝවඃවහන්සේ සාලමොන්ට දුන් විචාර බුද්ධියෙන් අපට තවමත් ප්‍රයෝජන ගත හැකිවීම සිත්ගන්නා කරුණකි. කෙසේද? සාලමොන් ප්‍රඥාව හිතෝපදේශ වශයෙන් ප්‍රකාශ කිරීමේදී, පුහුණු ප්‍රවීණයෙක් බවට පත්වූ අතර, ප්‍රතිඵලයක් වශයෙන්, ඒවා දිව්‍යමය ආනුභාව ලත් ප්‍රඥාව පිළිබඳ සංක්ෂිප්තයන් විය. මෙම කියමන්වලින් බොහොමයක් බයිබලයේ හිතෝපදේශ පොතෙහි රක්ෂා කොට ඇත. එම පොත අධ්‍යයනය කිරීමෙන් සාලමොන්ගේ විචාර බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීමටද, එමෙන්ම අප තුළම විචාර බුද්ධිය වර්ධනය කරගැනීමටද, අපට උපකාර ලැබේ.
අපගේ බයිබල් පාඩමේදී උපකාර කරනු වස්, මුරටැඹ සහ පිබිදෙව්! සඟරා වැනි බයිබල් පාඩම් ආධාරක යොදාගැනීමට අපට හැක. වර්ෂ 116කට වඩා වැඩි කාලයක් පුරා, මුරටැඹ අවංක හෘද ඇති අයට යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරමින් සිට ඇත. වර්ෂ 1919 සිට, පිබිදෙව්! සඟරාව සහ එහි පූර්වගාමීන් ලෝක තත්වය ගැන ප්‍රකාශ කරමින් සිට ඇත. මෙම සඟරා දෙක බයිබල් සත්‍යයන් සෝදිසි කර, ප්රගතිශීලී ආත්මික ඥානාලෝක සපයන අතර, එය වැරදි වටහාගැනීමට, එනම් ක්‍රිස්තියානි ලෝකය මගින් නැතහොත් අපගේම සිතුවිලි රටා මගින් උගන්වන වැරදි පවා, විචාර බුද්ධියෙන් වටහාගැනීමට උපකාර කරයි.—හිතෝපදේශ 4:18.
විචාර බුද්ධිය වර්ධනය කරගැනීමට තවත් උපකාරයක් වනාහි, හරි ඇසුරය. සාලමොන් රජුගේ එක් හිතෝපදේශයක් මෙසේ පවසයි: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) සාලමොන් රජුගේ පුත් රෙහොබොවම්ට සිය ජීවිතයේ වැදගත් සන්ධි ස්ථානයකදී මෙම හිතෝපදේශය අමතක වීම කනගාටුවට කරුණකි. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, ඉශ්රායෙලයේ ගෝත්‍ර ඔහු වෙත පැමිණ ඔවුන්ගේ බර සැහැල්ලු කරන මෙන් ඉල්ලා සිටියහ. පළමුව, රෙහොබොවම් වයසින් මුහුකුරාගිය පුරුෂයන්ගෙන් විමසූ අතර, සිය යටත්වැසියන්ට සවන්දෙන්නයයි ඔවුන් ඔහුට දිරිගැන්වූ විට, ඔවුහු විචාර බුද්ධිය පෙන්වූහ. ඉන්පසු, ඔහු යෞවන පුරුෂයන් වෙතට ගියේය. ඉශ්රායෙල්වරුන්ට තර්ජනයෙන් පිළිතුරු දෙන්නයයි රෙහොබොවම්ට දිරිගන්වමින් මොවුහු අද්දැකීම් නොලත් බවක් හා විචාර බුද්ධියේ හීනතාවක් පෙන්වූහ. රෙහොබොවම් යෞවන පුරුෂයන්ට සවන්දුන්නේය. ප්‍රතිඵලය? ඉශ්රායෙල්වරුන් කැරලිගැසූ අතර රෙහොබොවම්ට සිය රාජ්‍යයෙන් විශාල කොටසක් අහිමි විය.—1 රාජාවලිය 12:1-17.
විචාර බුද්ධිය වර්ධනය කරගැනීමේදී වැදගත් කොටසක් වනාහි ශුද්ධාත්මයේ උපකාරය සෙවීමය. ඉශ්රායෙල්වරුන් සිය වහල්භාවයෙන් මිදුණායින් පසු ඔවුන් සමඟ යෙහෝවඃවහන්සේගේ කටයුතු සම්බන්ධයෙන් පුනරීක්ෂණය කිරීමේදී, බයිබල් ලේඛක නෙහෙමියා මෙසේ පැවසුවේය: “ඔවුන්ට ගුරුකම් [විචක්ෂණ බුද්ධිය, NW] දෙන පිණිස ඔබගේ යහපත් ආත්මය ඔබ දුන්සේක.” (නෙහෙමියා 9:20) අපට විචක්ෂණ වීමට උපකාර කිරීමටද යෙහෝවඃවහන්සේගේ ආත්මයට හැක. ඔබට විචාර බුද්ධිය දෙන්න කියා ඔබ යෙහෝවඃවහන්සේගේ ආත්මය ඉල්ලා යාච්ඤා කරන විට, යෙහෝවඃවහන්සේ “වරද නොත[බා], බොහෝ කොට සියල්ලන්ට දෙ[න]” නිසා විශ්වාසයෙන් යුතුව යාච්ඤා කරන්න.—යාකොබ් 1:5; මතෙව් 7:7-11; 21:22.
විචාර බුද්ධිය සහ තීක්ෂ්ණ බුද්ධිය
ජාතීන්ගේ ජනයාට පාවුල් දේශනා කළ විට ඔහු විචාර බුද්ධිය පෙන්වීය. උදාහරණයක් ලෙස, විටක, අතීනසයේ සිටියදී, ඔහු ඔවුන් නමස්කාරයට යොදාගන්නා රූප “පසු කරමින් හා පරෙස්සමින් නිරීක්ෂණය කරමින් ගියේය” [NW]. පාවුල් අවට රූපවලින් වටවී තිබුණු අතර, ඔහුගේ ස්ප්‍රීතුව ඔහු තුළ වද දෙන්ට විය. දැන් ඔහුට තීරණයක්ගැනීමට සිදුවී තිබිණ. ඔහු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලුහුබඳිමින් නිශ්ශබ්දව සිටිය යුතුද? නැතහොත් ඔහු තුළ වද දෙමින් තිබූ, පුළුල්ව පැතිර පවත්නා රූප නමස්කාරය ගැන ඔහු අවංකව කතා කිරීම අනතුරුදායක විය හැකිවුවත්, ඔහු එසේ කළ යුතුද?
පාවුල් විචාර බුද්ධියෙන් ක්‍රියා කළේය. “නාඳුනන දෙවි කෙනෙකුටය” යන ලියවිල්ල සහිත පූජාසනයක් ඔහුගේ නෙතට ගැටී තිබිණ. උපායශීලීව, රූපවලට ඔවුන්ගේ කැපවීම පාවුල් පිළිගත් අතර, එවිට “ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ” ගැන විෂය හඳුන්වා දීමට මාර්ගයක් වශයෙන් එම පූජාසනය යොදාගත්තේය. එසේය, ඔවුන් නොදැන සිටි දෙවියන්වහන්සේ යෙහෝවඃවහන්සේය! කාරණය පිළිබඳ ඔවුන්ගේ සංවේදීතාව ගැන පාවුල් සැලකිල්ලට ගත් අතර, මවිතාකාර සාක්ෂියක් දීමට හැකිවිය. කුමන ප්‍රතිඵල ඇතුවද? “ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද” ඇතුළත්ව බොහෝදෙනෙක් සත්‍යය වැලඳගත්හ. (ක්‍රියා 17:16-34) විචාර බුද්ධිය සම්බන්ධයෙන් මොනතරම් කදිම ආදර්ශයක් වීද!
විචාර බුද්ධිය පහසුවෙන්ම හෝ ස්වභාවයෙන්ම පැමිණෙන්නේ නැති බවට නිසැකය. එහෙත් ඉවසීමෙන්, යාච්ඤාවෙන්, අවංක වෑයමෙන්, ඥානවන්ත ඇසුරෙන්, බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ඒ මත මෙනෙහි කිරීමෙන්, එමෙන්ම යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය මත රඳා සිටීමෙන්, ඔබටත් එය වගා කරගත හැක.