‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’
“මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද?”—මාර්ක් 11:17.
1. ආදම් සහ ඒව දෙවියන්වහන්සේ සමඟ මුලදී භුක්තිවින්දේ කෙබඳු සබඳතාවක්ද?
ආදම් සහ ඒවව මවනු ලැබූ විට, ඔවුහු සිය ස්වර්ගික පියාණන් සමඟ සමීප සබඳතාවක් භුක්තිවින්දෝය. ඔවුන් සමඟ අදහස් හුවමාරු කළ යෙහෝවඃ දෙවියන්වහන්සේ, මිනිස් ජාතිය සඳහා ස්වකීය පුදුමාකාර අරමුණ සංක්ෂිප්තව විස්තර කළසේක. යෙහෝවඃවහන්සේගේ මහිමාන්විත මැවිලි සම්බන්ධයෙන් උන්වහන්සේට උනන්දුවෙන් ප්‍රශංසා කිරීමට ඔවුන් නොයෙක් විට පෙලඹුණු බව සහතිකය. මිනිස් පවුලේ අනාගත පියා සහ මව වශයෙන් ඔවුන්ට හිමි වන්ට තිබූ භූමිකාව ගැන කල්පනා කරද්දී, ආදම් සහ ඒවට යම් මඟ පෙන්වීමක් අවශ්‍ය වූයේ නම්, සිය පාරාදීස නිවසේ ඕනෑම ස්ථානයක සිට දෙවියන්වහන්සේ වෙත එළඹීමට ඔවුන්ට හැකිකම තිබිණ. දේවමාළිගාවක පූජකයෙකුගේ සේවාවන් ඔවුන්ට අවශ්‍ය නොවීය.—උත්පත්ති 1:28.
2. ආදම් සහ ඒව පව් කළ විට කවර වෙනස්වීමක් සිදු වීද?
2 ඒව යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කළා නම්, ඇගේ ජීවන තත්වය දියුණු වේවියයි සිතීමට කැරලිකාර දේවදූතයෙකු ඇයව මුළා කළ විට, තත්වය වෙනස් විය. ඔහු ඇයට කිව්වේ ඇය “දෙවියන්වහන්සේට සමාන වන” බවයි. ඊට එකඟව, ඒව දෙවියන්වහන්සේ තහනම් කර තිබූ ගහෙන් ඵල කෑවාය. ඊළඟට ඇගේ පුරුෂයාව පරීක්ෂා කිරීමට සාතන් ඒවව යොදාගත්තේය. ආදම් සිය පව්කාර භාර්යාවට සවන් දීම ඛේදජනකය, මින් ඔහු පෙන්නුම් කළේ, දෙවියන්වහන්සේ සමඟ තිබෙන තම සබඳතාවට වඩා ඔහු ඇය සමඟ තිබෙන සබඳතාව අනර්ඝ කොට සැලකූ බවය. (උත්පත්ති 3:4-7) ඇත්තෙන්ම, ආදම් සහ ඒව සාතන්ව තම දෙවියන් ලෙස තෝරාගත්තෝය.—2 කොරින්ති 4:4, සසඳන්න.
3. ආදම් සහ ඒවගේ කැරැල්ලේ අයහපත් ප්‍රතිඵල කවරේද?
3 එසේ කිරීමෙන්, පළමු මිනිස් යුවළට දෙවියන්වහන්සේ සමඟ තිබූ තම අනර්ඝ සබඳතාව අහිමි වූවා පමණක් නොව, නමුත් භූමික පාරාදීසයක් මත සදාකල් ජීවත්වීමේ අපේක්ෂාවද අහිමි විය. (උත්පත්ති 2:16, 17) අවසානයේදී ඔවුන් මියයන තෙක්ම ඔවුන්ගේ පව්කාර ශරීර පිරිහී ගියේය. මෙම පව්කාර තත්වය ඔවුන්ගෙන් ජනිතවූවන්ටද උරුම විය. එබැවින්, බයිබලය පැහැදිලි කරන පරිදි, “සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12.
4. පව්කාර මිනිස්වර්ගයා සඳහා දෙවියන්වහන්සේ ඉදිරිපත් කළේ කවර බලාපොරොත්තුවක්ද?
4 පව්කාර මිනිස්වර්ගයා හා ඔවුන්ගේ ශුද්ධ මැවුම්කරුවාණන් අතර සාමකාමී සබඳතා යළි පිහිටුවීම සඳහා යමක් අවශ්‍ය විය. ආදම් සහ ඒව කෙරෙහි තීන්දුව ප්‍රකාශ කරද්දී, සාතන්ගේ කැරැල්ලේ බලපෑම්වලින් මිනිස්වර්ගයාව බේරාගනු ඇති ‘වංශයක්’ ගැන පොරොන්දු වීම මගින් ඔවුන්ගේ අනාගත ජනිතයන්ට දෙවියන්වහන්සේ බලාපොරොත්තුවක් සැපයූසේක. (උත්පත්ති 3:15) පසුව, ආශීර්වාද ලබා දෙන වංශය ආබ්‍රහම් තුළින් පැමිණෙන බව දෙවියන්වහන්සේ හෙළි කළසේක. (උත්පත්ති 22:18) මෙම ප්‍රේමනීය අරමුණ මනසේ පෙරදැරි කරගෙන, දෙවියන්වහන්සේ ස්වකීය තෝරාගත් ජාතිය වීමට ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වන ඉශ්රායෙල්වරුන්ව තෝරාගත්සේක.
5. ඉශ්රායෙල් සමඟ කළ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා ගිවිසුමේ තොරතුරු සම්බන්ධයෙන් අප උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද?
5 පොදු යුගයට පෙර 1513දී, දෙවියන්වහන්සේ සමඟ ගිවිසගත් සබඳතාවකට ඇතුල් වූ ඉශ්රායෙල්වරු, උන්වහන්සේගේ නීතිවලට කීකරු වීමට එකඟ වූහ. අදදින දෙවියන්වහන්සේට නමස්කාර කරන්ට කැමති සෑම කෙනෙකුටම එම ව්‍යවස්ථා ගිවිසුම මහත් උනන්දුවකට හේතුවක් විය යුතුය, මන්දයත් එය පොරොන්දු වූ වංශයට යොමු දැක්වූ බැවිනි. “මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක්” එහි අන්තර්ගත වූ බව පාවුල් පැවසීය. (හෙබ්‍රෙව් 10:1) පාවුල් මෙම ප්‍රකාශය කළ විට, එහා මෙහා ගෙන යා හැකි මණ්ඩපයක නොහොත් නමස්කාරය සඳහා කූඩාරමක ඉශ්රායෙල්හි පූජකයන්ගේ සේවාව සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කරමින් සිටියේය. ඊට ‘යෙහෝවඃවහන්සේගේ මාළිගාව’ නොහොත් ‘යෙහෝවඃවහන්සේගේ ගෘහය’ යන නම දී තිබිණ. (1 සාමුවෙල් 1:9, 24) යෙහෝවඃවහන්සේගේ භූමික ගෘහයේ සිදු කරන ලද පරිශුද්ධ සේවය සෝදිසි කර බැලීමෙන්, අදදින පව්කාර මිනිසුන් හා දෙවියන්වහන්සේ අතර සාමකාමී සබඳතා යළි පිහිටුවීමට දායක විය හැකි දයාන්විත විධිවිධානය වඩාත් හොඳින් අගය කිරීමට අපට හැකි වේවි.
අතිශුද්ධස්ථානය
6. අතිශුද්ධස්ථානයේ පිහිටා තිබුණේ කුමක්ද, තවද දෙවියන්වහන්සේ එහි සිටි බව නියෝජනය කරන ලද්දේ කෙසේද?
6 “අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක” යනුවෙන් බයිබලය ප්‍රකාශ කරයි. (ක්‍රියා 7:48) කෙසේවෙතත්, දෙවියන්වහන්සේ ස්වකීය භූමික ගෘහයෙහි සිටි බව, අතිශුද්ධස්ථානය යනුවෙන් හඳුන්වනු ලැබූ ඇතුළෙන්ම පිහිටි මැදිරියේ වලාකුළක් මගින් නියෝජනය කෙරිණ. (ලෙවී කථාව 16:2) අතිශුද්ධස්ථානයට ආලෝකය සපයමින් මෙම වලාකුළ දීප්තිමත්ව බැබළූ බව පැහැදිලිය. දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ට දුන් ආඥා සමහරක් කොටන ලද ගල් ලෑලි අඩංගු වූ, “සාක්ෂි පෙට්ටිය” යනුවෙන් හඳුන්වනු ලැබූ පරිශුද්ධ පෙට්ටියකට ඉහළින් එය පිහිටා තිබිණ. විහිදුණු පියාපත් සහිත රන් කෙරුබ්වරුන් දෙදෙනෙකු පෙට්ටියේ පියන මත සිටි අතර, දෙවියන්වහන්සේගේ ස්වර්ගික සංවිධානයෙහි උසස් නිලයන් දැරූ ආත්ම මැවිලි මින් පිළිබිඹු කෙරිණ. ආශ්චර්යවත් ආලෝක වලාකුළ පියනට ඉහළින් හා කෙරුබ්වරුන් අතර පිහිටා තිබිණ. (නික්මයාම 25:22) ජීවමාන කෙරුබ්වරුන් විසින් උසුලනු ලබන ස්වර්ගික රථයක සිංහාසනාරූඪව සිටින සර්වබලධාරි දෙවියන්වහන්සේව මින් දක්වන ලදි. (1 ලේකම් 28:18) “කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස” යනුවෙන් හෙසකියා රජු යාච්ඤා කිරීමට හේතුව ඉන් පැහැදිලි කෙරේ —යෙසායා 37:16.
ශුද්ධස්ථානය
7. ශුද්ධස්ථානයේ තිබුණේ කවර භාණ්ඩද?
7 මණ්ඩපයේ දෙවන මැදිරිය ශුද්ධස්ථානය යනුවෙන් හඳුන්වනු ලැබීය. මෙම කොටසෙහි, ඇතුල්වීමේ දොරටුවේ වම් පැත්තේ අලංකාර අතු සතකින් යුත් පහන් රුකක්ද, දකුණු පැත්තේ පිදීමේ රොටි තබන මේසයක්ද පිහිටා තිබිණ. ඉදිරියේ පිහිටා තිබූ පූජාසනයේ දවන සුවඳ දුම්වල සුගන්ධය ඉහළට ඇදී ගියේය. ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කළ තිරය ඉදිරියෙහි එය පිහිටා තිබිණ.
8. පූජකයන් නිතිපතා ශුද්ධස්ථානයේ ඉටු කළ වගකීම් කවරේද?
8 සෑම උදයකම හා සෑම සවසකම, මණ්ඩපයට ඇතුල් වී සුවඳ දුම් පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීමට පූජකයෙකුට සිදු විය. (නික්මයාම 30:7, 8) උදෑසන, සුගන්ධ ද්‍රව්‍ය දැවෙන අතරතුර, රන් පහන් රුකෙහි සවි කර තිබූ පහන් සතට යළි තෙල් පිරවිය යුතු විය. ශුද්ධස්ථානයට ආලෝකය සැපයීම සඳහා සවස් වරුවේදී එම පහන් දල්වනු ලැබීය. සෑම සබත් දවසකම පිදීමේ රොටි මේසය මත අලුත් රොටි 12ක් තැබීමට පූජකයෙකුට සිදු විය.—ලෙවී කථාව 24:4-8.
මළුව
9. ජල භාජනයේ අරමුණ කුමක් වීද, තවද අපට මින් උගත හැකි පාඩම කුමක්ද?
9 කූඩාරම් සෑදීමට යොදාගත් රෙදිවලින් සාදන ලද වැටකින් වටවූ මළුවක්ද මණ්ඩපයෙහි තිබිණ. ශුද්ධස්ථානයට ඇතුල්වීමට පෙර පූජකයන් සිය අත් පා සේදීමට යොදාගත් විශාල භාජනයක්ද මෙම මළුවේ තිබිණ. මළුවේ පිහිටා තිබුණු පූජාසනය මත යාග ඔප්පු කිරීමට පෙරත්, අත් පා සේදීමට ඔවුන්ට සිදු විය. (නික්මයාම 30:18-21) පිරිසිදුකම සඳහා මෙම අවශ්‍යතාව වූ කලි, දෙවියන්වහන්සේ ඉදිරියෙහි තම නමස්කාරය පිළිගත හැකි එකක් කරවීමට අදදින දේවසේවකයන්ට වුවමනා නම්, ඔවුන් ශාරීරික, සදාචාරමය, මානසික හා ආත්මික නිර්මලභාවය අත් කරගැනීමට වෑයම් කළ යුතු බවට ප්‍රබල සිහිගැන්වීමකි. (2 කොරින්ති 7:1) කල් යත්ම, දේවමාළිගාවේ ඉශ්‍රායෙලිතයන් නොවූ දාසයන් විසින් පූජාසනයේ ගින්න සඳහා අවශ්‍ය දරද, භාජනය සඳහා ජලයද සපයන ලදි.—යෝෂුවා 9:27.
10. යාග ඔප්පු කරන පූජාසනය පිට පුදන ලද යාග සමහරක් මොනවාද?
10 සෑම උදෑසනකම හා සෑම සන්ධ්‍යාවකම බැටළු වස්සෙකුද ධාන්‍ය හා පාන පූජාවක්ද පූජාසනය මත දවන ලදි. (නික්මයාම 29:38-41) වෙනත් පූජාවන් විශේෂ දවස්වලදී කරන ලදි. ඇතැම්විට යම් නිශ්චිත පෞද්ගලික පාපයක් නිසා පූජාවක් පිදිය යුතු විය. (ලෙවී කථාව 5:5, 6) වෙනත් අවස්ථාවල ස්වේච්ඡාවෙන් ශාන්ති පූජාවක් ඔප්පු කිරීමට ඉශ්රායෙලිතයෙකුට හැකි වූ අතර, එහි කොටස් පූජකයන් විසින්ද පූජාව ඔප්පු කළ තැනැත්තා විසින්ද අනුභව කරන ලදි. රූපික අර්ථයකින් ගත් කල, දෙවියන්වහන්සේ සමඟ ආහාර වේලක් භුක්තිවිඳිමින්, උන්වහන්සේ සමඟ සාමදායී සම්බන්ධයක් පවත්වාගැනීමට පව්කාර මිනිසුන්ට හැකි වූ බව මින් අඟවන ලදි. යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයෙකු වී, උන්වහන්සේගේ ගෘහයෙහි ස්වේච්ඡාවෙන් යාග ඔප්පු කිරීමේ වරප්‍රසාදය පරදේශික වැසියෙකුට පවා විවෘතව තිබිණ. එහෙත් යෙහෝවඃවහන්සේට නිසි ගෞරවය පෙන්වීම සඳහා, ගුණයෙන් උසස් යාග පමණක් පිළිගැනීමට පූජකයන්ට සිදු විය. ධාන්‍ය පූජාවල පිටි සිහින් වන සේ හොඳින් ඇඹරිය යුතු වූ අතර, පූජා සඳහා පාවිච්චි කළ සතුන් නිකැළැල් තත්වයක සිටිය යුතු විය.—ලෙවී කථාව 2:1; 22:18-20; මලාකී 1:6-8.
11. (අ) සත්ව පූජාවල රුධිරයට කරනු ලැබුවේ කුමක්ද, තවද මෙය අවධානය යොමු කළේ කුමකටද? (ආ) මිනිස් මෙන්ම සත්ව රුධිරය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දෘෂ්ටිය කුමක්ද?
11 මෙම පූජාවල රුධිරය පූජාසනය වෙත ගෙනෙන ලදි. මින් දිනපතාම ජාතියට සිහිගන්වනු ලැබුවේ, ඔවුන් මිදුම්කරුවෙකු අවශ්‍ය පව්කාරයන් බවය, එම මිදුම්කරු වැගිරෙවු රුධිරයට ඔවුන්ගේ පව්වලට නිත්‍ය සමඟිකමක්ද, මරණයෙන් මිදීමක්ද සැපයිය හැක. (රෝම 7:24, 25; ගලාති 3:24; සසඳන්න හෙබ්‍රෙව් 10:3.) මෙලෙස රුධිරය පරිශුද්ධව භාවිත කිරීම, රුධිරයෙන් ජීවිතය නියෝජනය කෙරෙන බවත්, ජීවිතය දෙවියන්වහන්සේ සතු බවත්, ඉශ්රායෙල්වරුන්ට සිහිගැන්වීමක්ද විය. මිනිසුන් විසින් රුධිරය වෙනත් ඕනෑම අන්දමකින් භාවිත කිරීම දෙවියන්වහන්සේ සෑමවිටම තහනම් කර තිබිණ.—උත්පත්ති 9:4; ලෙවී කථාව 17:10-12; ක්‍රියා 15:28, 29.
සමඟි කිරීමේ දවස
12, 13. (අ) සමඟි කිරීමේ දවස කුමක් වීද? (ආ) උත්තම පූජකයා රුධිරය සමඟින් අතිශුද්ධස්ථානයට ඇතුල්වීමට කලින්, ඔහු කුමක් කිරීම අවශ්‍ය වීද?
12 අවුරුද්දකට වතාවක්, සමඟි කිරීමේ දවස හැටියට හැඳින්වූ දවසක යෙහෝවඃවහන්සේට නමස්කාර කළ පරදේශික වැසියන් ඇතුළුව, මුළු ඉශ්රායෙල් ජාතියටම සියලුම වැඩවලින් වැළකී නිරාහාරව සිටීමට සිදු විය. (ලෙවී කථාව 16:29, 30) මෙම වැදගත් දවසේදී, තවත් අවුරුද්දකට දෙවියන්වහන්සේ සමඟ සාමකාමී සබඳතා භුක්තිවිඳීමට හැකි වන පරිද්දෙන්, උපමේය ආකාරයකින් ජාතිය පාපයෙන් පවිත්‍ර කරනු ලැබීය. අපි දර්ශනය සිතින් මවාගෙන කැපීපෙනෙන අංග සමහරක් සලකා බලමු.
13 උත්තම පූජකයා මණ්ඩපයේ මළුවේ සිටී. ජලය තිබෙන භාජනයෙන් තමාගේ ශරීරය සෝදාගෙන සිටින ඔහු, පූජා කිරීම සඳහා ගොනෙකු මරා දමයි. ගොනාගේ රුධිරය බඳුනකට වත් කරනු ලැබේ; ලෙවී නමැති පූජක ගෝත්‍රයේ පාප සඳහා සමඟිකමක් කිරීමට එය විශේෂ අන්දමකින් භාවිත කරනු ලබන්නේය. (ලෙවී කථාව 16:4, 6, 11) එහෙත් පූජාවට සම්බන්ධ කටයුතු තවදුරටත් කරගෙන යෑමට කලින්, උත්තම පූජකයා කළ යුතු යමක් තිබේ. ඔහු (ඇතැම්විට ලොකු හැන්දක දැමූ) සුගන්ධ ද්‍රව්‍යද, ධූප භාජනයක පූජාසනයෙන් ගිනි අඟුරුද ගෙන යන්නේය. ඔහු දැන් ශුද්ධස්ථානයට ඇතුල් වී, අතිශුද්ධස්ථානයේ තිරය දක්වා පියමං කරයි. කෙමෙන් කෙමෙන් තිරය පසු කරගෙන යන ඔහු, ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටගනී. වෙනත් කිසිදු මිනිසෙකුට දැකිය නොහැකි මෙම ස්ථානයෙහි සිටින ඔහු, ඊළඟට ගිනි අඟුරු මත සුගන්ධ ද්‍රව්‍ය දමන අතර, අතිශුද්ධස්ථානය මිහිරි සුවඳකින් යුත් වලාපටලයකින් පිරී යයි.—ලෙවී කථාව 16:12, 13.
14. වෙනස් සතුන් දෙදෙනෙකුගේ රුධිරය ඇතුව අතිශුද්ධස්ථානයට ඇතුල්වීමට උත්තම පූජකයාට සිදු වූයේ මන්ද?
14 දැන් දයාව පෙන්වීමටත්, උපමේය අන්දමකින් අනුග්‍රහය නැවත ලබා දීමටත්, දෙවියන්වහන්සේ කැමැත්තෙන් සිටිනසේක. මෙම හේතුව නිසා පෙට්ටියේ පියන “කරුණාසනය” නොහොත් “අනුග්‍රහය නැවත ලබා දෙන පියන” යනුවෙන් හඳුන්වනු ලැබීය. (හෙබ්‍රෙව් 9:5, NW පාදසටහන) අතිශුද්ධස්ථානයෙන් උත්තම පූජකයා ඉවත්ව ගොස් ගොනාගේ රුධිරය රැගෙන ආපසු අතිශුද්ධස්ථානයට ඇතුල් වන්නේය. ව්‍යවස්ථාවේ ආඥා කොට ඇති පරිදි, හෙතෙම සිය ඇඟිල්ල රුධිරයෙහි දමා, පෙට්ටියේ පියන ඉදිරියෙහි එය සත් වරක් ඉසියි. (ලෙවී කථාව 16:14) ඊළඟට ඔහු මළුවට ගොස් එළුවෙකු මරයි, මෙය “සෙනඟ උදෙසා” පාප පූජාවක් වේ. ඔහු එළුවාගේ රුධිරයෙන් කොටසක් අතිශුද්ධස්ථානයට ගෙනෙන අතර, ගොනාගේ රුධිරයෙන් කළ දෙයම එයින්ද කරන්නේය. (ලෙවී කථාව 16:15) සමඟි කිරීමේ දවසේදී වෙනත් වැදගත් සේවාවන්ද සිදු කරන ලදි. උදාහරණයක් ලෙස, දෙවන එළුවෙකුගේ හිස පිට තම අත් තබා, “ඉශ්රායෙල් පුත්‍රයන්ගේ . . . අයුතුකම්” කියා දීමට උත්තම පූජකයාට සිදු විය. උපමේය අන්දමකින් ජාතියේ පාප දරාගෙන මෙම පණැති එළුවාව වනාන්තරයට යන්ට හරින ලදි. මේ අන්දමින්, “පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසා” වාර්ෂිකව සමඟිකමක් කරන ලදි.—ලෙවී කථාව 16:16, 21, 22, 33.
15. (අ) සාලමොන්ගේ දේවමාළිගාව මණ්ඩපයට සමාන වූයේ කෙසේද? (ආ) මණ්ඩපයේ මෙන්ම දේවමාළිගාවේ සිදු කරන ලද පරිශුද්ධ සේවය සම්බන්ධයෙන් හෙබ්‍රෙව් පොත පවසන්නේ කුමක්ද?
15 දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමකට බැඳුණු ස්වකීය සෙනඟ වශයෙන් ඉශ්රායෙල් ඉතිහාසයේ පළමු වර්ෂ 486 තුළදී, තම දෙවි වූ යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සඳහා ස්ථානයක් වශයෙන් එහා මෙහා ගෙන යා හැකි මණ්ඩපය යොදාගැනිණ. අනතුරුව, ස්ථිර ගොඩනැඟිල්ලක් තැනීමේ වරප්‍රසාදය ඉශ්රායෙල්හි සාලමොන්ට පිරිනමන ලදි. මෙම දේවමාළිගාව වඩාත් විශාලව හා විසිතුරු අන්දමකින් තැනීමට අදහස් කරනු ලැබුවත්, දිව්‍යමය ලෙස දෙන ලද පිඹුරු පත, මණ්ඩපයේ විලාසයම ගත්තේය. “මනුෂ්‍යයා විසින් නොව,” යෙහෝවඃවහන්සේ ‘පිහිටුවනු ලබන’ වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම, වඩාත් බලපෑමෙන් යුත් නමස්කාර විධිවිධානයක් උපමේය අන්දමකින් දැක්වීමට එය මණ්ඩපයට සමානව යොදාගන්නා ලදි.—හෙබ්‍රෙව් 8:2, 5; 9:9, 11.
පළමුවන හා දෙවන දේවමාළිගාව
16. (අ) දේවමාළිගාව කැප කළ විට සාලමොන් කවර ප්‍රේමනීය ඉල්ලීමක් කළේද? (ආ) සාලමොන්ගේ යාච්ඤාව පිළිගත් බව යෙහෝවඃවහන්සේ පෙන්නුම් කළේ කෙසේද?
16 එම ශ්‍රේෂ්ඨ දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී, සාලමොන් මෙම දේවානුභාවය ලත් ඉල්ලීම ඇතුළත් කළේය: “ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමය . . . නිසා දුරු රටක සිට ඇවිත් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, ඔබගේ සෙනඟවූ ඉශ්රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟද ඔබගේ නාමය හැඳිනගන ඔබ කෙරෙහි භයවෙන පිණිසත්, මා විසින් ගොඩනැගූ මේ ගෘහයට ඔබගේ නාමය තබා තිබෙන බව දැනගන්නා පිණිසත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශියා ඔබගෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට කළමැනව.” (2 ලේකම් 6:32, 33) සාලමොන්ගේ කැප කිරීමේ යාච්ඤාව දෙවියන්වහන්සේ පිළිගත් බව, උන්වහන්සේ නොවරදිනසුලු ආකාරයකින් පෙන්වූසේක. අහසින් ගිනි බැස පූජාසනය පිට තිබූ සත්ව පූජා දවා දැමූ අතර, යෙහෝවඃවහන්සේගේ තේජසින් දේවමාළිගාව පිරී ගියේය.—2 ලේකම් 7:1-3.
17. සාලමොන් විසින් ගොඩනඟන ලද දේවමාළිගාවට අන්තිමේදී සිදු වූයේ කුමක්ද, තවද ඒ මන්ද?
17 යෙහෝවඃවහන්සේට වූ සිය හිතකර බිය ඉශ්රායෙල්වරුන් විසින් නැති කරගැනීම කනගාටුවට කරුණකි. කාලය ගත වූ විට, රුධිරය වැගිරවීම, රූප නමස්කාරය, කාමමිථ්‍යාචාරය, ව්‍යභිචාරය වැනි ක්‍රියා හා මව්පියන් නැති දරුවන්, වැන්දඹුවන් මෙන්ම විදේශිකයන්ව පීඩාවට ලක් කිරීමෙන් ඔවුහු උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය කෙලසූහ. (එසකියෙල් 22:2, 3, 7, 11, 12, 26, 29) මෙසේ, පො.යු.පෙ. 607දී, දේවමාළිගාව විනාශ කිරීමට බබිලෝනීය සේනාවන් ගෙන්වීමෙන් දෙවියන්වහන්සේ විනිශ්චය ඉටු කළසේක. ඉතිරි වූ ඉශ්‍රායෙලිතයන්ව බබිලෝනියෙහි වහල්භාවයට ගෙනයනු ලැබීය.
18. දෙවන දේවමාළිගාවේදී, යෙහෝවඃවහන්සේට පිරිනමන නමස්කාරයට පූර්ණ හෘදයකින් අත හිත දුන් ඇතැම් ඉශ්රායෙල් නොවූ ජනයාට විවෘත වූයේ කුමන වරප්රසාදද?
18 වසර 70කට පසු, පසුතැවිලි වූ යුදෙව් ඉතිරි කොටසක් යෙරුසලමට නැවත පැමිණි අතර, යෙහෝවඃවහන්සේගේ මාළිගාව නැවත ගොඩනැඟීමේ වරප්‍රසාදය ඔවුන්ට දානය කරන ලදි. මෙම දෙවන දේවමාළිගාවේ සේවය කිරීම සඳහා පූජකයන්ගේ හා ලෙවීවරුන්ගේ හිඟයක් තිබීම අවධානයට යොමු කළ යුතු කරුණක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉශ්රායෙල් නොවූ දේවමාළිගාවේ වහලුන්ගෙන් පැවත ආ නෙතිනීම්වරු, දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවකයන් හැටියට වඩාත් ශ්‍රේෂ්ඨ වරප්‍රසාද ලැබූහ. කෙසේවෙතත්, ඔවුහු කිසිවිටකත් පූජකයන්ගේ හා ලෙවීවරුන්ගේ තත්වයට සමාන නොවූහ.—එස්රා 7:24; 8:17, 20.
19. දෙවන දේවමාළිගාව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව කුමක්ද, තවද මෙම වදන් සැබෑ වූයේ කෙසේද?
19 දෙවන දේවමාළිගාව පළමු එක හා සැසඳූ කල වඩාත් පහත් තත්වයක තිබෙනු ඇති බව මුලදී පෙනී ගියේය. (හග්ගයි 2:3) එහෙත් යෙහෝවඃවහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමි . . . මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේය.” (හග්ගයි 2:7, 9) මෙම වචන සැබෑ කරවමින්, දෙවන දේවමාළිගාව වඩාත් ශ්‍රේෂ්ඨ ගෞරවයක් අත් කරගත්තේය. එය පළමු එකට වඩා අවුරුදු 164කට වැඩි කාලයක් පැවති අතර, තවත් බොහෝ රටවලින් නමස්කාරකයෝ රැසක් එහි මළුවලට එක්රොක් වූහ. (ක්‍රියා 2:5-11, සසඳන්න.) හෙරොද් රජුගේ දවස්වල දෙවන දේවමාළිගාව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹූ අතර, එහි මළු විශාල කරනු ලැබීය. ගලින් තැනූ විශාල වේදිකාවක් මත තවත් උසට ගොඩනඟන ලද, අලංකාර කණු පෙළකින් වට කරනු ලැබූ එය, සාලමොන් විසින් ඉදි කරන ලද මුල් දේවමාළිගාව හා සමාන ඓශ්වර්යයකින් යුක්ත විය. යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට වුවමනා වූ අන්‍යජාතීන් සඳහා විශාල පිටත මළුවක් ඊට ඇතුළත් විය. ගලින් තැනූ බාධකයක් මගින්, අන්‍යජාතීන්ගේ මෙම මළුව, ඉශ්රායෙල්වරුන් සඳහා පමණක් වෙන් කර තිබූ අභ්‍යන්තර මළුවලින් වෙන් කරන ලදි.
20. (අ) නැවත ගොඩනංවනු ලැබූ දේවමාළිගාවට අත් වූ විශිෂ්ට භාග්‍යය කුමක්ද? (ආ) යුදෙව්වන්ට දේවමාළිගාව පිළිබඳව වැරදි දෘෂ්ටියක් තිබූ බව කුමකින් පැහැදිලි වීද, තවද මීට ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන් යේසුස්වහන්සේ කළේ කුමක්ද?
20 දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එහි මළුවල ඉගැන්වීමේ විශිෂ්ට භාග්‍යය මෙම දෙවන දේවමාළිගාව සතු විය. එහෙත් පළමු දේවමාළිගාව සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාරකරුවන් වීමේ සිය වරප්‍රසාදය පිළිබඳ නිසි දෘෂ්ටියක් පොදුවේ යුදෙව්වන්ට නොතිබිණ. ඇත්තෙන්ම, අන්‍යජාතීන්ගේ මළුවෙහි වෙළඳුන්ට වෙළඳාම් කිරීමට පවා ඔවුහු ඉඩ දුන්හ. එපමණක්ද නොව, යෙරුසලමේ විවිධ තැන්වලට භාණ්ඩ ගෙන යද්දී, දේවමාළිගාව කෙටි මාර්ගයක් වශයෙන් භාවිත කිරීමට ජනයාට ඉඩ දී තිබිණ. සිය මරණයට දින සතරකට පෙර, යේසුස්වහන්සේ එවන් ලෞකික කටයුතුවලින් දේවමාළිගාව පවිත්‍ර කළ අතර, ඒ අතරතුර මෙසේ පැවසූසේක: “මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුය.”—මාර්ක් 11:15-17.
දෙවියන්වහන්සේ ස්වකීය භූමික ගෘහය සදහටම අත්හරිනසේක
21. යෙරුසලමේ දේවමාළිගාව පිළිබඳව යේසුස්වහන්සේ ඇඟවූයේ කුමක්ද?
21 දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරයට පක්ෂව කටයුතු කිරීමෙහිලා යේසුස්වහන්සේ ගත් නිර්භීත ක්‍රියාමාර්ගය හේතුකොටගෙන, උන්වහන්සේව මරුමුවට පත් කිරීමට යුදෙව් ආගමික නායකයෝ අදිටන් කරගෙන සිටියහ. (මාර්ක් 11:18) වැඩි කල් යන්ට මත්තෙන් තමාව ඝාතනය කරනු ලබන බව දැන සිටි යේසුස්වහන්සේ, යුදෙව් ආගමික නායකයන්ට මෙසේ පැවසූසේක: “නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:37, 38) යෙරුසලමේ පිහිටි භෞතික දේවමාළිගාවේ පිළිපදිනු ලැබූ නමස්කාර පිළිවෙත දෙවියන්වහන්සේ තවදුරටත් නොපිළිගන්නා බව උන්වහන්සේ මෙනයින් ඇඟවූසේක. එය තවදුරටත් ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’ නොවනු ඇත. යේසුස්වහන්සේගේ ගෝලයන් මහිමාන්විත දේවමාළිගා ගොඩනැඟිලි තම අවධානයට ලක් කළ විට, උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? . . . කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේය.”—මතෙව් 24:1, 2.
22. (අ) දේවමාළිගාව පිළිබඳව යේසුස්වහන්සේගේ වදන් ඉටු වූයේ කෙසේද? (ආ) භූමික නුවරක් මත තම බලාපොරොත්තු රඳවනවාට වඩා, මුල් ක්‍රිස්තියානීන් සෙව්වේ කුමක්ද?
22 රෝම හමුදාවන් යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ කළ විට, අවුරුදු 37කට පසුව පො.යු. 70දී යේසුස්වහන්සේගේ අනාවැකිය ඉටු විය. සැබවින්ම දෙවියන්වහන්සේ ස්වකීය භූමික ගෘහය අත්හැර තිබූ බවට කැපීපෙනෙන සාක්ෂි ඉන් සැපයිණ. යෙරුසලමේ තවත් දේවමාළිගාවක් ගොඩනංවනු ඇති බව යේසුස්වහන්සේ කිසිදාක පුරෝකථනය නොකළසේක. එම භූමික නුවර සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය: “පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය.” (හෙබ්‍රෙව් 13:14) “ස්වර්ගීය යෙරුසලම”—එනම් නුවරක් බඳු දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කොටසක් බවට පත්වීමේ අපේක්ෂාව මුල් ක්‍රිස්තියානීන්ට තිබිණ. (හෙබ්‍රෙව් 12:22) මෙසේ, යෙහෝවඃවහන්සේට පිරිනමන සැබෑ නමස්කාරය තවදුරටත් පොළොවේ භෞතික දේවමාළිගාවක් මත කේන්ද්‍රගතව නොපවතී. දෙවියන්වහන්සේට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට කැමති අය සඳහා උන්වහන්සේ පිහිටුවා තිබෙන උත්කෘෂ්ට විධිවිධානය අපි මීළඟ ලිපියෙහි සලකා බලන්නෙමු.—යොහන් 4:21, 24.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ ආදම් සහ ඒවට අහිමි වූයේ දෙවියන්වහන්සේ සමඟ තිබූ කවර සබඳතාවද?
◻ මණ්ඩපයේ අංග අපේ උනන්දුවට පාත්‍ර විය යුත්තේ මන්ද?
◻ මණ්ඩප මළුවේ ක්‍රියාකාරකම්වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
◻ ස්වකීය දේවමාළිගාව විනාශ වීමට දෙවියන්වහන්සේ ඉඩහැරියේ මන්ද?
[10, 11වන පිටුවේ පින්තූර]
හෙරොද් නැවත ගොඩනැඟූ දේවමාළිගාව
1. අතිශුද්ධස්ථානය
2. ශුද්ධස්ථානය
3. දවන පූජා පිදූ පූජාසනය
4. වාත්තු කළ ජලාධාරය
5. පූජක සභාව
6. ඉශ්රායෙල් සභාව
7. කාන්තා සභාව