දෙවියන්වහන්සේ ක්‍රියා කරන විට ඔබට ගැළවීම අත් වේවිද?
“ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.”—මතෙව් 24:22.
1, 2. (අ) අපේ අනාගතය ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක් වන්නේ ඇයි? (ආ) සාමාන්‍ය උනන්දුවක් කුමන අතිවැදගත් ප්‍රශ්නවලට සම්බන්ධ විය හැකිද?
ඔබට ඔබ ගැන කෙතරම් උනන්දුවක් තිබෙනවාද? අදදින බොහෝදෙනෙක් තමුන් ගැන අන්තයටම උනන්දු වෙති. ඔවුහු මමත්වයට මුල් තැන දෙති. කෙසේ නමුත්, අපට බලපාන දේවල් කෙරෙහි යෝග්‍ය උනන්දුවක් දැක්වීම බයිබලයෙහි හෙළාදැක නැත. (එපීස 5:33) අපේ අනාගතය ගැන උනන්දු වීමද ඊට ඇතුළත්ය. ඔබේ අනාගතය කුමන එකක් වේවිද කියා දැනගැනීම සාමාන්‍ය දෙයක් වනු ඇත. ඔබට උනන්දුවක් තිබෙනවාද?
2 යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ට තම අනාගතය ගැන එවැනි උනන්දුවක් තිබූ බවට අපට සහතික විය හැක. (මතෙව් 19:27) ඔවුන් හතරදෙනෙකු යේසුස්වහන්සේ සමඟ ඔලීව කන්දෙහි සිටි විට, උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීමට එය හේතුවක් වන්ට ඇත. ඔවුහු මෙසේ විමසුවෝය: “ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනව.” (මාර්ක් 13:4) අනාගතය කෙරෙහි ඔවුන්ටත් අපටත් තිබෙන සාමාන්‍ය උනන්දුව යේසුස්වහන්සේ නොසලකා හැරියේ නැත. තම ගෝලයන්ට එය බලපානු ඇති ආකාරයත්, අවසාන ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද යන්නත් උන්වහන්සේ නිතරම අවධාරණය කළ දෙයකි.
3. යේසුස්වහන්සේ දුන් පිළිතුර අප අපේ කාලයට සම්බන්ධ කරන්නේ ඇයි?
3 යේසුස්වහන්සේගේ පිළිතුරෙහි අනාවැකියක් ගැබ්ව තිබුණු අතර, ඊට අපේ කාලයේදී ප්‍රධාන ඉටුවීමක් තිබේ. අපේ සියවසේ දක්නට ලැබූ ලෝක යුද්ධවලින් හා වෙනත් ගැටුම්වලින්, ජීවිත බොහෝ ගණනක් බිලිගෙන තිබෙන භූමිකාම්පාවලින්, අසනීප හා මරණය ගෙනෙන ආහාර හිඟකම්වලින් හා 1918 පටන් පැතිරුණු ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ සිට වර්තමාන ඒඩ්ස් රෝගය දක්වා දිවයන වසංගතවලින් අපට මෙය දැකගත හැක. කෙසේවෙතත්, පො.යු. 70දී රෝමවරුන් සිදු කළ යෙරුසලමේ විනාශය ඇතුළුව එයට මඟ පෑදූ දෙය තුළ යේසුස්වහන්සේගේ පිළිතුරෙහි සෑහෙන කොටසක ඉටුවීමක්ද තිබිණ. යේසුස්වහන්සේ තම ගෝලයන්ට මෙසේ අනතුරු ඇඟවූසේක: “නුඹලා ප්‍රවේසම්වෙයල්ලා. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතීන්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.”—මාර්ක් 13:9.
යේසුස්වහන්සේ පුරෝකථනය කළ දෙය හා සිදු වූ දෙය
4. යේසුස්වහන්සේගේ පිළිතුරට ඇතුළත් සමහර අනතුරු ඇඟවීම් මොනවාද?
4 අනුන් තම ගෝලයන්ට සලකන ආකාරය ගැන පුරෝකථනය කිරීමට පමණක් යේසුස්වහන්සේ සීමා වූයේ නැත. උන්වහන්සේ ඔවුන් කටයුතු කළ යුතු ආකාරය ගැනත් ඔවුන්ව අවදි කළසේක. උදාහරණයක් හැටියට: “පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.” (මාර්ක් 13:14) ලූක් 21:20හි තිබෙන සමාන්තර වාර්තාවේ සඳහන් වන්නේ: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද” යන්නය. පළමු ඉටුවීමේදී මෙය සැබෑ බවට ඔප්පු වූයේ කෙසේද?
5. පොදු යුගයේ 66දී යුදයෙහි සිටි යුදෙව්වන් අතර සිදු වූයේ කුමක්ද?
5 දි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලොපීඩියා (1982) අපට මෙසේ කියයි: “රෝම ආධිපත්‍යය යටතේ යුදෙව්වන් වැඩි වැඩියෙන් උද්ඝෝෂණකාරි ගතියක් දැක්වූ අතර, රෝම නායකයෝ එන්ට එන්ටම දරුණු, කුරිරු හා වංක ආකාරයකින් කටයුතු කළෝය. ක්‍රිස්තු වර්ෂ 66දී එළිපිට කැරැල්ලක් හටගත්තේය. . . . යුදෙව් අතිඋද්යෝගවාදීන් මසදාව අල්ලාගත් විට යුද්ධය පටන්ගත් අතර, ඉන් අනතුරුව මෙනචෙම් යටතේ ඔවුහු යෙරුසලමට ගමන් කළෝය. ඒ හා සමඟම ආණ්ඩුකාරයෙකුගේ බලය යටතේ පැවති කායිසාරිය නගරයේ යුදෙව්වන් ඝාතනය කරනු ලැබූ අතර, මෙම කුරිරු ක්‍රියාව පිළිබඳ පුවත රට පුරා පැතිර ගියේය. කැරැල්ලේ පළමු වසරේ සිට පස්වන වසර සිහිගැන්වීමට අලුත් කාසි නිකුත් කරන ලදි.”
6. යුදෙව් කැරැල්ලට රෝමවරුන්ගේ ප්‍රතිචාරය කුමක් වීද?
6 සිරියාවේ සිට ගමන්ගත්, සෙස්ටියස් ගැලස් යටතේ සිටි රෝම දොළොස්වන පාබළ සේනාංකය ගලීලය හා යුදය විනාශ කොට අගනුවරට පහර දුන්නේය. ඔවුහු “ශුද්ධ නුවර වන යෙරුසලමෙහි” ඉහළ කෙළවර පවා යටත් කරගත්තෝය. (නෙහෙමියා 11:1; මතෙව් 4:5; 5:35; 27:53) සිදු වූ දේවල් සාරාංශ කොට දක්වද්දී, ද රෝමන් සීජ් ඔෆ් ජෙරූසලම් යන කෘතිය මෙසේ පවසයි: “දවස් පහක් පුරා රෝමවරුන් පවුරට නැඟීමට වෑයම් කළත්, ඔවුන්ගේ උත්සාහයන් දිගටම නිෂ්ප්‍රභ කරන ලදි. කල්යත්ම, එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයට ගොදුරු වූ ආරක්ෂකයෝ තම උත්සාහය අත්හැරියෝය. තම හිස්වලට උඩින් පලිස්වලින් ආරක්ෂක වියනක් සේ සකස් කරගන්නා ලද ටෙස්ටූඩෝ නමැති උපක්‍රමය යොදා ගනිමින්, රෝම සෙබළු පවුර බිඳ, ඇතුල්වීමේ දොරටුවට ගිනි තැබීමට තැත් කළෝය. ආරක්ෂකයන් තුළ මහත් භයක් ඇති විය.” නුවරෙහි සිටි ක්‍රිස්තියානීන්ට යේසුස්වහන්සේගේ වචන සිහිවන්ට ඇති අතර, පිළිකුලක් ශුද්ධස්ථානයක සිටි බව තේරුම්ගැනීමට හැකි විය.a එහෙත් නුවර වටවී තිබූ බැවින්, යේසුස්වහන්සේ අවවාද කළ පරිදි එවන් ක්‍රිස්තියානීන්ට පලායෑමට හැකි වනු ඇත්තේ කෙසේද?
7. පොදු යුගයේ 66දී රෝමවරුන්ගේ ජයග්‍රහණය ඉතා සමීපව පැවති අවස්ථාවක, ඔවුන් කළේ කුමක්ද?
7 ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස් මෙසේ විස්තර කරයි: “වට කර සිටි අයගේ බලාපොරොත්තු රහිත බව ගැනවත් ජනයාගේ හැඟීම් ගැනවත් අවබෝධයක් නැතුව සිටි සෙස්ටියස් ගැලස්, හදිස්සියේම තම සෙබළුන්ට සටන නවත්වන්නැයි අණ කොට, කිසිම පසුබැසීමක් අත් නොදුටුවද, ජයගැනීමේ ප්‍රස්තාව අත්හැර ගියේය. එමෙන්ම ඔහු නුවර හැර ගිය අතර, මීට කිසිම යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැක.” (ද ජුවිෂ් වෝර්, II, 540 [xix, 7]) ගැලස් පසුබැස ගියේ මන්ද? හේතුව කුමක් වෙතත්, ඔහුගේ පසුබැසීම, ක්‍රිස්තියානීන්ට යේසුස්වහන්සේගේ ආඥාවට කීකරු වී, ආරක්ෂාව සඳහා කඳු බලා පලායෑමට ඉඩ සැලසීය.
8. යෙරුසලමට එරෙහිව රෝමවරුන්ගේ ප්රයත්නයේ දෙවන අදියර කුමක්ද, එමෙන්ම බේරී ජීවත්වන්නන් අද්දුටුවේ කුමක්ද?
8 කීකරු වීම ජීවිත ගළවාගැනීමට මාර්ගය උදා කළේය. වැඩි කලක් යන්ට පෙර, රෝමවරු කැරැල්ල සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට පැමිණියෝය. සේනාධිපති ටයිටස් යටතේ සිදු වූ යුද්ධ ප්රයත්නයේ උච්චාවස්ථාව වූයේ, පො.යු. 70 අප්‍රියෙල් සිට අගෝස්තු දක්වා පැවති යෙරුසලම වටලෑමයි. යුදෙව්වන් දුක් වින්ද ආකාරය පිළිබඳ ජොසීෆස්ගේ විස්තරය කියවීමෙන් ඇඟේ ලේ වතුර වෙයි. සටන් කළ රෝමවරුන්ට බිලි වූ අයට අමතරව, වෙනත් යුදෙව්වන්ව ඔවුන්ට විරුද්ධ වූ යුදෙව් කල්ලි විසින් ඝාතනය කරන ලදි. තවද හාමතෙන් පෙළීම මිනීමස් කෑමට මඟ පෑදීය. රෝමවරුන් ජයගත් විට, යුදෙව්වන් 11,00,000ක් මියගොස් තිබිණ.b බේරී ජීවත්වූ 97,000න් ඇතමෙක්ව වහාම ඝාතනය කරනු ලැබූහ; තවත් අයව වහල්භාවයට ගෙනයන ලදි. ජොසීෆස් මෙසේ පවසයි: “වයස අවුරුදු දාහතට වැඩි අයව යකඩ විලංගුවලින් බැඳ බර වැඩ සඳහා මිසරයට යවන ලදි. ඒ සමඟම ටයිටස් විසින් විශාල සංඛ්‍යාවක් රෝම ආධිපත්‍යය යටතේ පැවති ප්‍රදේශවලට භාර දෙන ලදි; ඔවුහු රංග භූමිවල කඩුව හෝ වනමෘගයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූහ.” මෙම බෙදා වෙන් කිරීම සිදු වෙද්දී පවා, සිරකරුවන් 11,000ක් කුසගින්නෙන් මියගියහ.
9. යුදෙව්වන්ට විඳින්ට සිදු වූ දෙය ක්‍රිස්තියානීන් අද්නොදුටුවේ ඇයි, නමුත් කුමන ප්‍රශ්නවලට උත්තර ලැබිය යුතුද?
9 ස්වාමියාගේ අවවාදයට කීකරු වී, රෝම හමුදාවන්ගේ ආපසු පැමිණීමට කලින් නුවරින් පලාගොස් තිබීම ගැන ක්‍රිස්තියානීන්ට ස්තුතිවන්ත වීමට පුළුවන් විය. මෙසේ යේසුස්වහන්සේ විස්තර කළ පරිදි, යෙරුසලම පිට ‘ලෝකයේ පටන්ගැන්මේ සිට ඒ අවස්ථාව දක්වා සිදු නොවී තිබූ, මතු කොයි කලෙකවත් සිදු නොවනු ඇති මහත් පීඩාවකින්’ ඔවුහු බේරුණෝය. (මතෙව් 24:21) යේසුස්වහන්සේ තවදුරටත් මෙසේ පැවසූසේක: “ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.” (මතෙව් 24:22) ඒ කාලයේදී ඉන් අදහස් වූයේ කුමක්ද, එමෙන්ම දැන් එයින් අදහස් කරන්නේ කුමක්ද?
10. අප මතෙව් 24:22 මීට කලින් පහදා දී ඇත්තේ කෙසේද?
10 ‘ගැළවෙන අය’ පො.යු. 70දී යෙරුසලම පිට සිදු වූ පීඩාවෙන් බේරුණාවූ යුදෙව්වන්ට යොමු දැක්වූ බව අතීතයේදී පැහැදිලි කර ඇත. ක්‍රිස්තියානීන් පලාගොස් තිබුණු හෙයින්, දෙවියන්වහන්සේගේ අවසරය ඇතුව ශීඝ්‍ර විනාශයක් සිදු කිරීමට රෝමවරුන්ට හැකි විය. වෙනත් වචනවලින් කිවහොත්, “තෝරාගනු ලැබූවන්” අන්තරාදායක තත්වයකින් ඉවත් වී සිටි බවට වූ කාරණය නිසා, පීඩාවේ දවස් ලුහුඬු කරනු ලැබීමට හැකි විය. ඉන් යුදෙව්වන්ගෙන් සමහර ‘අයට’ බේරී ජීවත්වීමට ඉඩ කඩ සලසනු ලැබීය. බේරී ජීවත්වූ යුදෙව්වන් අපේ කාලයේ පැමිණෙන මහත් පීඩාවෙන් බේරී ජීවත් වන අයව පූර්වාදර්ශනය කළ බවට අදහසක් තිබිණ.—එළිදරව් 7:14.
11. මතෙව් 24:22හි පහදා දීම නැවත සලකා බැලිය යුතු බව පෙනෙන්නේ ඇයි?
11 එහෙත් එම පැහැදිලි කිරීම පො.යු. 70දී සිදු වූ දෙයට එකඟද? මනුෂ්‍යයන් පීඩාවෙන් ‘ගැළවෙන’ බව යේසුස්වහන්සේ කීසේක. බේරී ජීවත් වූ 97,000දෙනාගෙන් දහස් සංඛ්‍යාවක් හාමතෙන් මියගිය නිසාත්, එසේ නැතහොත් රංග භූමිවල ඝාතනය කරනු ලැබූ නිසාත්, ඔවුන් සඳහා “ගැළවෙන්නෝය” යන වචනය ඔබ පාවිච්චි කරන්ට යනවාද? කායිසාරියේ පිහිටි එක් රංග භූමියක් ගැන ජොසීෆස් මෙසේ පවසයි: “වනමෘගයන් සමඟ හෝ එකිනෙකාට විරුද්ධව සටන් කිරීම හේතුවෙන් නැතහොත් පණපිටින් පිලිස්සීම හේතුවෙන් මියගිය අයගේ සංඛ්‍යාව 2,500 ඉක්මවා ගියේය.” වටලෑමේදී ඔවුන් මිය නොගියත්, ඔවුන් ‘ගැළවීමක්’ ලැබූ බව කිසිසේත් කිව නොහැක. ඔවුන් මතු පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ සන්තෝෂයෙන් බේරී ජීවත් වන අයට සමාන බව යේසුස්වහන්සේ සලකනු ඇද්ද?
පුද්ගලයන්ට ගැළවීම—කෙසේද?
12. දෙවියන්වහන්සේ උනන්දුවක් දැක්වූ පළමු සියවසේ “තෝරාගනු ලැබූවන්” කවුරුන්ද?
12 පොදු යුගයේ 70 වන විට, දෙවියන්වහන්සේ තවදුරටත් ස්වාභාවික යුදෙව්වන්ව තම තෝරාගත් සෙනඟ ලෙස සැලකුවේ නැත. දෙවියන්වහන්සේ එම ජාතිය ප්‍රතික්ෂේප කර තිබූ බවත්, එහි අගනුවර, දේවමාළිගාව හා නමස්කාර පිළිවෙත විනාශ වීමට ඉඩ දෙන බවත්, යේසුස්වහන්සේ පෙන්වූසේක. (මතෙව් 23:37–24:2) දෙවියන්වහන්සේ අලුත් ජාතියක්, එනම් ආත්මික ඉශ්‍රායෙල්ව තෝරාගත්සේක. (ක්‍රියා 15:14; රෝම 2:28, 29; ගලාති 6:16) හැම ජාතියකින්ම තෝරාගෙන සිටි ශුද්ධාත්මයෙන් ආලේප කර තිබූ පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් එය සකස් වී තිබිණ. (මතෙව් 22:14; යොහන් 15:19; ක්‍රියා 10:1, 2, 34, 35, 44, 45) සෙස්ටියස් ගැලස්ගේ ප්‍රහාරයට වසර කිහිපයකට කලින් පේතෘස් “ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් . . . පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා” එවීය. ඒ ආත්මයෙන් ආලේප ලැබූ අය “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද” වූහ. (1 පේතෘස් 1:1, 2; 2:9) යේසුස්වහන්සේ සමඟ රජකම් කිරීම සඳහා තෝරාගත් ඒ අයව දෙවියන්වහන්සේ ස්වර්ගයට ගන්නාසේක.—කොලොස්සි 1:1, 2; 3:12; තීතස් 1:3; එළිදරව් 17:14.
13. මතෙව් 24:22හි සඳහන් යේසුස්වහන්සේගේ වදන්වලට කුමන අදහසක් තිබීමට ඉඩ තිබුණාද?
13 “තෝරාගනු ලැබූවන් උදෙසා” පීඩාවේ දවස් ලුහුඬු කරන බව යේසුස්වහන්සේ පුරෝකථනය කළ බැවින්, තෝරාගත් අයව මෙලෙස හඳුනාගැනීම උපකාරවත් වේ. “උදෙසා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය, “නිසා” හෝ “වෙනුවෙන්” [NW] ලෙසද පරිවර්තනය කළ හැක. (මාර්ක් 2:27; යොහන් 12:30; 1 කොරින්ති 8:11; 9:10, 23; 11:9; 2 තිමෝති 2:10; එළිදරව් 2:3) එනිසා යේසුස්වහන්සේ මෙසේ පැවසුවා හා සමානයි: ‘ඒ දවස් ලුහුඬු කරන්නේ නැත්නම්, කිසි කෙනෙක් ගැළවෙන්නේ නැත; නමුත් තෝරාගනු ලැබූවන් වෙනුවෙන් ඒ දවස් ලුහුඬු කරනු ලැබේ.’c (මතෙව් 24:22) යෙරුසලමෙහි කොටු වී සිටි තෝරාගනු ලැබූ ක්‍රිස්තියානීන් ‘වෙනුවෙන්’ නැතහොත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යම්කිසි දෙයක් සිදු වූවාද?
14. පොදු යුගයේ 66දී රෝම හමුදාව අනපේක්ෂිත ලෙස යෙරුසලමෙන් ඉවත් වූ විට, ඇතැම් ‘අය’ ගැළවුණේ කෙසේද?
14 පොදු යුගයේ 66දී රෝමවරුන් දේශය හරහා ගමන් කොට, ඉහළ යෙරුසලම යටත් කරගෙන, පවුර බිඳ දැමීමට පටන්ගත් බව මතක් කරගන්න. ජොසීෆස් මෙසේ අදහස් දක්වයි: “ඔහු වටලෑම තවත් ටිකකට පවත්වාගත්තා නම්, ඔහුට එකවරම නුවර අත් පත් කරගන්ට අවස්ථාව තිබිණ.” ‘බලසම්පන්න රෝම හමුදාව, තම යුද ප්රයත්නය අත්හැර “කිසිම යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැ[කි]” ආකාරයකින් පලා ගියේ ඇයි’ කියා ඔබෙන්ම අසන්න. යුද ඉතිහාසය අර්ථ දැක්වීමේ විශේෂඥ රූපර්ට් ෆර්නෝ මෙසේ අදහස් පළ කරයි: “ගැලස්ගේ පුදුමසහගත මෙන්ම අවාසනාවන්ත තීරණයට යෝග්‍ය වූ හේතුවක් ඉදිරිපත් කිරීමට කිසිම ඉතිහාසඥයෙකුට බැරි වී තිබෙනවා.” කුමක්වුවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පීඩාව ලුහුඬු කරන ලදි. රෝමවරුන් පසුබැස්ස අතර, ඔවුන් ඉවත් වන අතරතුර යුදෙව්වෝ ඔවුන්ට පහර දුන්හ. කොටු වී සිටි ආලේප ලත් ක්‍රිස්තියානි “තෝරාගනු ලැබූවන්[ට]” සිදු වූයේ කුමක්ද? වටලෑම අත්හිටවනු ලැබූ නිසා, පීඩාව අතරතුර ඝාතනය වීමේ තර්ජනයෙන් ඔවුන්ව බේරාගන්නා ලදි. එබැවින්, පො.යු. 66දී සිදු වූ පීඩාව ලුහුඬු කිරීමෙන් ප්‍රයෝජන ලැබූ එම ක්‍රිස්තියානීහු, මතෙව් 24:22හි සඳහන් ගැළවූ ‘අය’ වූහ.
ඔබේ අනාගතයේදී කුමක් සිදු වේද?
15. මතෙව් 24වන පරිච්ඡේදය අපේ කාලය සඳහා විශේෂ උනන්දුවකට හේතු විය යුතු බව ඔබ පවසන්නේ ඇයි?
15 ‘යේසුස්වහන්සේගේ වචන ගැන අමතරව පැහැදිලි කරන ලද මේ අවබෝධය ගැන මා විශේෂ උනන්දුවක් දැක්විය යුත්තේ ඇයි,’ කියා ඇතමෙකු අසනවා විය හැක. හොඳයි, පො.යු. 70 දක්වා හා ඒ අතරතුර කාලයේදී සිදු වූ දේවල් අභිභවා, යේසුස්වහන්සේගේ අනාවැකියට වඩාත් පුළුල් ඉටුවීමක් තිබෙයි කියා නිගමනය කිරීමට හොඳ හේතු තිබේ.d (සසඳන්න මතෙව් 24:7; ලූක් 21:10, 11; එළිදරව් 6:2-8.) ඉතා ළඟදී මහා පරිමාණයේ ‘මහත් පීඩාවක්’ අපට අපේක්ෂා කළ හැකි වග අපේ කාලයේ සිදු වන ප්‍රධාන ඉටුවීමෙන් ඔප්පු වන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දශක ගණනාවක් පුරා දේශනා කර තිබේ. ඒ අතරතුරේදී, මතෙව් 24:22හි අනාවැකිමය වචන ඉටු වනු ඇත්තේ කෙසේද?
16. මතු පැමිණෙන මහත් පීඩාව ගැන එළිදරව්ව සපයා දෙන්නේ කුමන දිරිගන්වන කාරණයද?
16 යෙරුසලමෙහි සිදු වූ පීඩාවෙන් දශක දෙකකට පමණ පසුව, ප්‍රේරිත යොහන් එළිදරව් පොත ලීවේය. මහත් පීඩා ඉදිරියෙහි තිබෙන බව එයින් සනාථ කෙරිණ. අපට පෞද්ගලිකව බලපාන දෙය කෙරෙහි අප උනන්දුවක් දක්වන නිසා, මතු පැමිණෙන මෙම මහත් පීඩාවෙන් බේරී ජීවත් වන මනුෂ්‍යයන් සිටින බව එළිදරව්ව අනාවැකිමය ලෙස සහතික කිරීමෙන් අපට සහනයක් ලබාගත හැක. “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණෙන “මහත් සමූහයක්” ගැන යොහන් පුරෝකථනය කළේය. ඔවුහු කවරහුද? ස්වර්ගයෙන් එන හඬක් මෙසේ පිළිතුරු දෙයි: “මොව්හු මහත් පීඩා[ව] මැදින් එන්නෝය.” (එළිදරව් 7:9, 14) ඔව්, බේරී ජීවත්වන්නන් සිටිනු ඇත! දේවල් මතු පැමිණෙන මහත් පීඩාවේදී වර්ධනය වන්නේ කෙසේද කියාත් මතෙව් 24:22 ඉටු වන්නේ කෙසේද කියාත් එළිදරව්ව අපට තීක්ෂ්ණ බුද්ධියක් ලබා දෙයි.
17. මහත් පීඩාවේ මුල් අදියරට කුමක් ඇතුළත් වේද?
17 මෙම පීඩාවේ මුල් අදියර ආරම්භ වන්නේ “මහත් බබිලෝනිය” යනුවෙන් හඳුන්වනු ලබන සංකේතාත්මක වේශ්‍යාවකට ප්‍රහාර එල්ල කිරීමෙනි. (එළිදරව් 14:8; 17: 1, 2) ඇය බොරු ආගමේ ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යය නියෝජනය කරන අතර, ක්‍රිස්තියානි ලෝකය එහි වඩාත් දෝෂ සහිත කොටස වේ. එළිදරව් 17:16-18හි වචනවලට අනුව, දෙවියන්වහන්සේ දේශපාලනමය කොටසේ සිත තුළට සංකේතාත්මක වේශ්‍යාවට පහර දීමේ අදහස දමනසේක.e දෙවියන්වහන්සේගේ ආලේප ලත් “තෝරාගනු ලැබූවන්” හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන “මහත් සමූහය” ඉදිරියෙහි එය සිදු විය හැකි ආකාරය ගැන කල්පනා කර බලන්න. ආගම පිට සිදු වන මෙම විනාශකාරි ප්‍රහාරය දිගටම ඇදී යත්ම, යෙහෝවඃවහන්සේගේ ජනයා ඇතුළුව, සියලුම ආගමික සංවිධාන ඒ හේතුවෙන් ඉවත් වනු ඇති බව පෙනී යා හැක.
18. මහත් පීඩාවේ මුල් කොටස තුළදී කිසිම “කෙනෙක්” නොගැළවෙන බව පෙනී යා හැක්කේ මන්ද?
18 මතෙව් 24:22හි දක්නට ලැබෙන යේසුස්වහන්සේගේ වචන පුළුල් පරිමාණයකින් ඉටු වන්නේ මේ අවස්ථාවේදීය. යෙරුසලමෙහි සිටි තෝරාගනු ලැබූවන් අවදානමකට ලක් වූ අවස්ථාවේ මෙන්, ආගම් කෙරෙහි සිදු කරන ප්‍රහාර අතරතුර විනාශ වී යෑමේ අවදානමට යෙහෝවඃවහන්සේගේ සේවකයන් ලක් වී තිබෙන බව පෙනී යා හැක; එනම් දෙවියන්වහන්සේගේ සියලු ජනයා එම ප්‍රහාරයෙන් වැනසී ගොස් ඇති බව පෙනී යා හැක. එහෙත්, පො.යු. 66දී සිදු වූ දේ අපි සිතේ තබාගනිමු. රෝමවරුන් සිදු කළ පීඩාව ලුහුඬු කරනු ලැබූ අතර, එමගින් දෙවියන්වහන්සේගේ ආලේප ලත් තෝරාගනු ලැබූවන්ට පලායෑමටත් බේරී ජීවත්වීමටත් ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තාවක් සලසා දෙන ලදි. එසේනම්, ආගමට සිදු වන විනාශකාරි ප්‍රහාරයෙන්, සැබෑ නමස්කාරකයන්ගේ ලෝක ව්‍යාප්ත සභාව විනාශ වී යෑමට ඉඩ ප්‍රස්තාව නොලැබෙන බවට අපට නිසැක විය හැක. හරියටම “එක දවසේම” සිදු වන්නාක් මෙන්, එය විගස සිදු වන්නේය. කෙසේවෙතත්, එය ලුහුඬු කරනු ලබන්නේය; එනම් එහි පරමාර්ථය ඉටු කිරීමට ඉඩ ප්‍රස්තාවක් නොලැබේ; එමගින් දෙවියන්වහන්සේගේ ජනයාට ‘ගැළවිය’ හැක.—එළිදරව් 18:8.
19. (අ) මහත් පීඩාවේ මුල් කොටසින් පසු, කුමක් පැහැදිලිව දකිනු ලැබේද? (ආ) මෙය මඟ පාදන්නේ කුමකටද?
19 ඉන් අනතුරුව සාතන් නමැති යක්ෂයාගේ සංවිධානයේ වෙනත් අංග යම් කලකට පවතින අතර, ඔවුහු තම නැසීගිය ආගමික වේශ්‍යාව සමඟ කළ ගනු දෙනු අහිමි වීමෙන් සිදු වූ පාඩුව ගැන ශෝක වන්නෝය. (එළිදරව් 18:9-19) “නිසැකව” හා “පවුරු නැතුව” වාසය කරන දෙවියන්වහන්සේගේ සැබෑ සේවකයන්, පහසු ගොදුරක් සේ දිස්වෙමින්, තවමත් ඉතිරි වී සිටින බව, යම් අවස්ථාවකදී ඔවුන්ගේ අවධානයට ලක් වනු ඇත. ඔවුන්ට මොනතරම් අනපේක්ෂිත දෙයක් සිදු වනු ඇද්ද! තම සේවකයන්ට විරුද්ධව කරන සැබෑ ප්‍රහාරයකට නැතහොත් ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනයකට ප්‍රතිචාරය දක්වමින්, මහත් පීඩාවේ අවසාන කොටසෙහි තම සතුරන් විනිශ්චය කිරීමට දෙවියන්වහන්සේ නැඟිටිනසේක.—එසකියෙල් 38:10-12, 14, 18-23.
20. මහත් පීඩාවේ දෙවන අදියර දෙවියන්වහන්සේගේ සෙනඟට අන්තරාදායක නොවන්නේ මන්ද?
20 රෝමවරුන් පො.යු. 70දී යෙරුසලමට හා එහි වැසියන්ට විරුද්ධව කළ දෙවන ප්‍රහාරයේදී සිදු වූ දෙය මහත් පීඩාවේ දෙවන අදියරෙහි සිදු වන දෙයට සමාන්තරය. එය “ලෝකයේ පටන්ගැන්මේ සිට [ඒ] දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක්” බවට ඔප්පු වනු ඇත. (මතෙව් 24:21) දෙවියන්වහන්සේගේ තෝරාගනු ලැබූවන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් අන්තරාවක, මරුමුවට පත්වීමේ අවදානමකට ලක් නොවන බවට අපට සහතික විය හැක. ඇත්තෙන්ම, ඔවුන් පොළොවේ යම් නිශ්චිත ස්ථානයකට පලායනවා නොවේ. යෙරුසලමෙහි විසූ පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට එම නගරයෙන් යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පෙලා වැනි කඳුකර ප්‍රදේශ කරා පලායෑමට හැකි විය. කෙසේවෙතත්, ඉදිරි අනාගතයේදී, දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලොව පුරා සිටිනු ඇත; එබැවින් ආරක්ෂාව හා රැකවරණය, සිටින ස්ථානය මත පදනම් වන දෙයක් නොවේ.
21. අවසාන යුද්ධයේදී සටනෙහි යෙදෙන්නෝ කවරහුද, එහි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?
21 එම විනාශය රෝමයේ සේනා මගින් හෝ වෙනත් මනුෂ්‍ය බලයක් මගින් සිදු වන එකක් නොවේ. ඒ වෙනුවට විනාශය සිදු කරන මෙම සේනා ස්වර්ගයෙන් පැමිණෙන බව එළිදරව් පොත විස්තර කරයි. ඔව්, මහත් පීඩාවේ අවසාන කොටස මනුෂ්‍ය හමුදාවක් මගින් නොව, නමුත් “දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝ,” එනම් රජ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් සිදු කරනු ලැබේ; නැවත නැඟිටුවන ලද ආලේප ලත් ක්‍රිස්තියානීන් ඇතුළුව, ‘ස්වර්ගික සේනා’ උන්වහන්සේට සහාය වනු ඇත. “ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝ,” රෝමවරුන් විසින් පො.යු. 70දී සිදු කරන ලද විනාශයට වඩා බෙහෙවින් සම්පූර්ණ වූ විනාශයක් සිදු කරනසේක. ඒ හේතුවෙන් දෙවියන්වහන්සේට විරුද්ධව සිටින රජවරුන්, සේනාධිපතීන්, නිර්දාසයන්, දාසයන්, ලොකු කුඩා තැනැත්තන් ඉවත් කරනු ලබනවා ඇත. සාතන්ගේ ලෝකයේ මනුෂ්‍ය සංවිධාන පවා විනාශ වනු ඇත.—එළිදරව් 2: 26, 27; 17:14; 19:11-21; 1 යොහන් 5:19.
22. ඇතැම් ‘අයට’ ගැළවීම අත් වන්නේ තවත් කුමන අර්ථයකින්ද?
22 මහත් පීඩාවේ මුල් කොටසේදී මහ බබිලෝනිය ක්ෂණයකින් සම්පූර්ණයෙන්ම විනාශ වන විට, ආලේප ලත් අය හා “මහත් සමූහය” යන දෙකොටසේම ‘අය’ ගැළවීම ලැබ තිබෙනු ඇති බව මතක් කරන්න. ඒ හා සමානව, පීඩාවේ අවසාන කොටසේදී, යෙහෝවඃවහන්සේගේ පැත්තට පලා ගොස් ඇති ‘අයටත්’ ගැළවීම අත් වේ. පොදු යුගයේ 70දී කැරලිකාර යුදෙව්වන්ට සිදු වූ දෙයට වඩා මෙය කෙතරම් වෙනස් වනු ඇද්ද!
23. බේරී ජීවත් වන ‘අයට’ කුමක් බලාපොරොත්තු විය හැකිද?
23 ඔබේ මෙන්ම ඔබේ හිත මිතුරන්ගේ අනාගතයේදී සිදු විය හැකි දේ ගැන කල්පනා කරමින්, එළිදරව් 7: 16, 17හි දී ඇති පොරොන්දුව සැලකිල්ලට ගන්න: “ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත. මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන—දිය—උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක.” ඇත්තෙන්ම, එය පුදුම දනවන, කල්පවතින අන්දමකින් ‘ගැළවීම’ අත්වීමක් වනවා නොඅනුමානය.
[පාදසටහන්වල]
b ජොසීෆස් මෙසේ පවසයි: “නුවරට ඇතුල් වූ විට, එහි ශක්තිය ගැන ටයිටස් පුදුමයට පත් විය . . . ඔහු ශබ්ද නඟා මෙසේ ප්‍රකාශ කළේය: ‘දෙවියන්වහන්සේ අපේ පැත්තේ ඉඳලා තියෙනවා; මේ බලකොටුවලින් යුදෙව්වන් හෙළා තිබෙන්නේ දෙවියන්වහන්සෙයි; ඇයි කිව්වොත් මේ වගේ බලකොටුවලට එරෙහිව මනුෂ්‍ය අත්වලට නැත්නම් ආයුධවලට කරන්න පුළුවන් මොනවාද?’ ”
c මතෙව් 24:22හි ෂෙම්-ටොබ්ගේ පාඨයෙහි ʽඅ·වූර්ʹ යන හෙබ්‍රෙව් වචනය පාවිච්චි කිරීම සිත් ඇදගන්නා දෙයකි; එහි තේරුම, “වෙනුවෙන්, නිසා, යමක් කිරීම පිණිස” යන්නයි.—කලින් ලිපියේ 13වන පිටුව බලන්න.
d මුරටැඹ 1994 පෙබරවාරි 15 කලාපයේ 11, 12 පිටු හා 14, 15 පිටුවල තිබෙන වගුව බලන්න; එහිදී මතෙව් 24වන පරිච්ඡේදයේ, මාර්ක් 13වන පරිච්ඡේදයේ හා ලූක් 21වන පරිච්ඡේදයේ සොයාගත හැකි යේසුස්වහන්සේගේ අනාවැකිමය පිළිතුර සමාන්තර තීරුවල දක්වා තිබේ.
e වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1988දී ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! 235-58 පිටු බලන්න.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
◻ යෙරුසලමට විරුද්ධව රෝම හමුදාව කළ ප්‍රහාරයට ඇතුළත් වූ අදියරයන් දෙක කුමක්ද?
◻ පොදු යුගයේ 70දී බේරී ජීවත් වූ යුදෙව්වන් 97,000දෙනා, මතෙව් 24:22හි සඳහන් ගැළවෙන ‘අයට’ ඇතුළත් නොවූ බව කිව හැක්කේ මන්ද?
◻ යෙරුසලමෙහි පීඩාවේ දවස් ලුහුඬු කරනු ලැබුවේ කෙසේද, මෙසේ ඇතැම් ‘අය’ ගැළවුණේ කෙසේද?
◻ මතු පැමිණෙන මහත් පීඩාවේදී, දවස් ලුහුඬු කරනු ලබන්නෙත්, ඇතැම් ‘අයව’ ගළවනු ලබන්නෙත් කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
කැරැල්ලෙන් පසු අච්චු ගැසූ යුදෙව් කාසියක්. හෙබ්‍රෙව් අක්ෂරවලින් කියවෙන්නේ “දෙවන වසර” එනම්, ඔවුන්ගේ ස්වාධීනත්වයේ දෙවන අවුරුද්ද වන පො.යු. 67යි.
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[17වන පිටුවේ පින්තූරය]
පොදු යුගයේ 71දී අච්චු ගැසූ රෝම කාසියක්. වම්පස අවි සන්නද්ධ රෝමානුවෙක් සිටී; දකුණුපසින් සිටින්නේ ශෝකයෙන් පසු වන යුදෙව් කාන්තාවකි. යූඩයිආ කාප්ටා යන වචනවල තේරුම “වහල් වූ යුදය” යන්නයි.
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.