දුෂ්චරිතයෙන් පිරුණු ලොවක සුචරිතය පවත්වාගැනීම
“වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, [දෙවිගේ] නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.”—පිලිප්පි 2:14.
1, 2. කානානිවරුන්ගේ සම්පූර්ණ විනාශය දෙවි ඉල්ලා සිටියේ ඇයි?
යෙහෝවාගේ ආඥා නොසලකා හැරීමට කිසිම බුරුලක් නැහැ. ප්‍රොපේත මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට, “හිත්තීවරුද අමෝරිවරුද කානානිවරුද පෙරිස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් නුඹේ දෙවිවූ [යෙහෝවා] නුඹට අණකළ ලෙස නුඹ විසින් සහමුලින්ම විනාශකර දැමිය යුතුය” කියා ආඥා කළ අවස්ථාවේදී, ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්නයි හිටියේ.—ද්විතීය කථාව 7:2; 20:18.
2 යෙහෝවා දයාන්විත දෙවිකෙනෙක් වන නිසා, කානාන්හි වැසියන්ගේ සම්පූර්ණ විනාශය ඔහු බලෙන් ඉල්ලා සිටියේ ඇයි? (නික්මයාම 34:6) එක හේතුවක් වුණේ, ‘තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට කානානිවරුන් ඉශ්රායෙල්ට නූගන්වන පිණිස හා එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට විරුද්ධව පව් නොකරන පිණිසයි.’ (ද්විතීය කථාව 20:17) මෝසෙස් මෙසේද පැවසුවා: “[යෙහෝවා] ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.” (ද්විතීය කථාව 9:4) කානානිවරුන් දුෂ්චරිතයේ ප්‍රතිමූර්තිය වුණා. ලිංගික දූෂිතභාවය සහ පිළිම වන්දනාව ඔවුන්ගේ නමස්කාරයෙහි පැහැදිලි ගතිලක්ෂණ වුණා. (නික්මයාම 23:24; 34:12, 13; ගණන් කථාව 33:52; ද්විතීය කථාව 7:5) ව්‍යභිචාරය, ගුද මෛථුනය සහ පශු මෛථුනය “කානාන් දේශයේ ක්‍රියා” වුණා. (ලෙවී කථාව 18:3-25) අහිංසක දරුවන්ව කෲර ලෙස බොරු දෙවිවරුන්ට පූජා කරනු ලැබුවා. (ද්විතීය කථාව 18:9-12) තම සෙනඟගේ කායික, සදාචාරමය සහ ආත්මික ශුභසිද්ධියට මෙම ජාතීන්ගේ පැවැත්ම තර්ජනයක් කියා යෙහෝවා විනිශ්චය කිරීම පුදුමයක්ද!—නික්මයාම 34:14-16.
3. කානාන්හි වැසියන් පිළිබඳව දෙවි දුන් නියෝග ඉශ්‍රායෙලිතයන් සම්පූර්ණයෙන්ම ඉටු නොකළ නිසා, ඇති වුණ ප්‍රතිඵලය මොකක්ද?
3 දෙවිගේ නියෝග සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනු ලැබුවේ නැති නිසා, ඉශ්‍රායෙල්ගේ පොරොන්දු දේශය යටත් කිරීමේ ප්රයත්නයෙන් කානාන්හි වැසියන් බොහෝදෙනෙක් බේරුණා. (විනිශ්චයකාරයන් 1: 19-21) කාලය ගෙවී යෑමත් සමඟම, කානානිවරුන්ගේ සූක්ෂ්ම බලපෑම දැනුණ අතර, මෙසේ කියන්න පුළුවන් වුණා: “[යෙහෝවාගේ] පනත්ද ඔවුන්ගේ පියවරුන් සමග කළාවූ [ඔහුගේ] ගිවිසුමද ඔවුන්ට [ඔහු] දුන්නාවූ [ඔහුගේ] අවවාදවල්ද ඔවුන් [ඉශ්රායෙල්වරුන්] එපාකර, නිස්සාරකම [නිස්සාර පිළිම, NW] අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට [යෙහෝවා] ඔවුන්ට අණකළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.” (2 රාජාවලිය 17:15) ඔව්, කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම වනසා දැමීමට නියෝග කිරීම සඳහා දෙවිට හේතු වූ දුෂ්චරිතයන්ම, ගත වූ අවුරුදු ගණනාව පුරා ඉශ්‍රායෙලිතයන් බොහෝදෙනෙක් අනුගමනය කළා. පිළිම වන්දනාව, ලිංගික දුරාචාරය සහ ළමයින්ව පූජා කිරීම පවා ඒවාට අයත් වුණා!—විනිශ්චයකාරයන් 10:6; 2 රාජාවලිය 17:17; යෙරෙමියා 13:27.
4, 5. (අ) නොඇදහිලිකාර ඉශ්රායෙල් සහ යූදාට සිදු වුණේ මොකක්ද? (ආ) පිලිප්පි 2:14, 15හි දී තිබෙන්නේ මොන අනුශාසනාවද? එමෙන්ම මොන ප්‍රශ්නද පැනනඟින්නේ?
4 එමනිසා ප්‍රොපේත හොෂෙයා මෙසේ ප්‍රකාශ කළා: “ඉශ්රායෙල් පුත්‍රයෙනි, [යෙහෝවාගේ] වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් [දෙවි] ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමග [යෙහෝවාට] පැමිණිල්ලක් තිබේ. දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි. එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.” (හොෂෙයා 4:1-3) පොදු යුගයට පෙර 740දී, දූෂිත උතුරු ඉශ්රායෙල් රාජ්‍යය අෂූරිය අතින් වනසනු ලැබුවා. සියවසකට පමණ පස්සේ, නොඇදහිලිකාර දකුණු යූදා රාජ්‍යය බබිලෝනිය විසින් යටත් කරගනු ලැබුවා.
5 දුෂ්චරිතයට ගොදුරු වීමට අපටම ඉඩහැරීම කොතරම් අනතුරු සහිතද කියන එක මෙම සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා. දෙවි අධර්මිෂ්ඨකම පිළිකුල් කරන අතර, තම සෙනඟ අතර එහි පැවැත්ම රුස්සන්නේ නැහැ. (1 පේතෘස් 1:14-16) අපි “වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළ” තුළ, දිගින් දිගට දූෂිතකම වැඩි වන ලෝකයක ජීවත් වන බව ඇත්තයි. (ගලාති 1:4, NW; 2 තිමෝති 3:13) ඒ කොහොම වුණත්, “වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ [ඔවුන්] නිදොස්ව, අහිංසකව, [දෙවිගේ] නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස . . . ඔවුන් අතරේ . . . ආලෝකවල් [ප්‍රදීපකයන්, NW] මෙන් ලෝකයෙහි” දකින්න ලැබෙන ආකාරයකින් දිගටම ක්‍රියා කිරීමට, දේවවචනය සියලුම ක්‍රිස්තියානීන්ට අනුශාසනා කරනවා. (පිලිප්පි 2:14, 15) ඒත් දුෂ්චරිතයෙන් පිරුණු ලොවක සුචරිතය පවත්වාගන්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද? එය ඇත්තටම කළ හැක්කක්ද?
දුෂ්චරිතයෙන් පිරුණු රෝම ලෝකය
6. පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් සුචරිතය පවත්වාගැනීමේ අභියෝගයකට මුහුණ දුන්නේ ඇයි?
6 දුෂ්චරිතය රෝම සමාජයේ සෑම අංගයක් පුරාම පැතිර ගිය නිසා, පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් සුචරිතය පවත්වාගැනීමේ අභියෝගයට මුහුණ දුන්නා. රෝම දර්ශනවාදී සෙනෙකා තම සමකාලීනයන් ගැන මෙසේ පැවසුවා: “මනුෂ්‍යයෝ දුෂ්ටකමේ මහත් පොරබැදීමක නියැලෙනවා. දවසින් දවස අවකල් ක්‍රියාව සඳහා තෘෂ්ණාව මහත් වන අතර, ඒ සඳහා තිබෙන බිය අඩු වෙනවා.” ඔහු රෝම සමාජය “මෘග සමාජයක්” හා සැසඳුවා. එසේනම්, විනෝදාස්වාදය සඳහා රෝමවරුන් ඉතා කෲර කඩුසරඹ ප්‍රදර්ශන සහ ඉතා අශික්ෂිත නාට්‍ය ප්‍රදර්ශන පස්සේ හඹායෑම පුදුමයට හේතුවක් නෙමෙයි.
7. පොදු යුගයේ පළමුවන සියවසේදී බොහෝදෙනෙක් අතර පොදුවේ පැවති දුෂ්චරිතයන් පාවුල් විස්තර කළේ කොහොමද?
7 ප්‍රේරිත පාවුල් මතු දැක්වෙන පරිදි ලියූ විට, පළමුවන සියවසේ ජනයාගේ පහත් හැසිරීම ඔහුගේ මනසෙහි තිබෙන්න ඇති: “[දෙවි] ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්[නේය]. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය.” (රෝම 1:26, 27) අපවිත්‍ර මාංසික තෘෂ්ණා පස්සේ හඹායෑමට අධිෂ්ඨාන කරගත් රෝම සමාජය දුෂ්චරිතයෙහි ගිලුණා.
8. ග්‍රීක සහ රෝම සමාජයේ ළමයින්ව බොහෝවිට සූරාකනු ලැබුවේ කොහොමද?
8 රෝමවරුන් අතර සමලිංගිකත්වය කොතරම් පැතිරුණාද කියලා ඉතිහාසය පැහැදිලි කරන්නේ නැහැ. ඔවුන්ට කලින් සිටි ග්‍රීක්වරුන්ගේ බලපෑමට ඔවුන් හසු වුණ බවට සැකයක් නැහැ. ඒ ග්‍රීක්වරුන් එම පුරුද්දෙහි පුළුල් ලෙස නිරත වුණා. වයසින් වැඩි පුරුෂයන් පිරිමි ළමුන්ව දූෂණය කිරීම පුරුද්දක්ව තිබුණා; ඔවුන් එසේ කළේ ශිෂ්‍ය-ගුරු සම්බන්ධතාවක් තුළ ඔවුන්ව තම රැකවරණය යටතට ගැනීමෙන්; මේ සම්බන්ධතාව බොහෝවිට එම තරුණයන්ව අසම්මත ලිංගික හැසිරීමට යොමු කළා. එවැනි දුෂ්චරිතය සහ දරුවන්ව අනිසි ලෙස සැලකීම පිටිපස්සේ සාතන් සහ ඔහුගේ භූතයන් සිටි බවට සැකයක් නැහැ.—යෝවෙල් 3:3; යූද් 6, 7.
9, 10. (අ) පළමුවන කොරින්ති 6:9, 10 විවිධාකාර දුෂ්චරිතයන් හෙළාදුටුවේ මොන ආකාරයකින්ද? (ආ) කොරින්ති සභාවේ සමහරදෙනෙකුගේ පසුබිම මොකක්ද? එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් සිදු වුණේ මොන වගේ වෙනස්වීමක්ද?
9 දිව්‍යානුභාවය යටතේ ලියමින්, පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: “නොහොත් අධර්මිෂ්ඨයන් [දෙවිගේ] රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත්, සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් [දෙවිගේ] රාජ්‍යය උරුමකර නොගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන්ද අපගේ [දෙවිගේ] ආත්මය . . . තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:9-11.
10 මේ අනුව, “වේශ්යාකම්කරන්නෝ” “[දෙවිගේ] රාජ්‍යය උරුමකර නොගන්නෝය” කියා පවසමින්, පාවුල්ගේ දේවානුභාවය ලත් ලිපිය ලිංගික දුරාචාරය හෙළා දුටුවා. කොහොම වුණත්, දුෂ්චරිතයන් කිහිපයක්ම ලැයිස්තුගත කිරීමෙන් පස්සේ, පාවුල් මෙසේ පැවසුවා: “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් . . . නුඹලා සෝදනු ලැබුවහුය.” දෙවිගේ උපකාරය ඇතුව, ඔහුගේ ඇස් ඉදිරියෙහි පවිත්‍ර වීමට අවකල් ක්‍රියාකරන්නන්ට පුළුවන් වුණා.
11. පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ කාලයේ පැවති දුෂ්ට වාතාවරණයෙහි පසු වුණේ කොහොමද?
11 ඔව්, පළමුවන සියවසේ දුෂ්චරිතයෙන් පිරුණු ලොවෙහි පවා ක්‍රිස්තියානි සුචරිතය සඵලව වැඩුණා. ‘ඔවුන්ගේ මනස් සකස් කරගැනීමෙන්’ ඇදහිලිවන්තයන් ‘මුළුමනින්ම වෙනස් වුණා.’ (රෝම 12:2, NW) ඔවුන් තම “පළමු හැසිරීම” පහ කර, ‘තමුන්ගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබුවා.’ මේ අනුව ඔවුන් ලෝකයේ දුෂ්චරිතවලින් පලාගිය අතර, “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද [දෙවිට] සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය, NW] පැළඳග[ත්තා].”—එපීස 4:22-24.
අදදින දුෂ්චරිතයෙන් පිරුණු ලෝකය
12. වර්ෂ 1914 පටන් ලොවෙහි මොන වගේ වෙනසක් සිදු වී තිබෙනවාද?
12 අපේ දවස ගැන මොනවාද කියන්න තිබෙන්නේ? අපි ජීවත් වන ලෝකය වෙන කවරදාකටත් වඩා දුෂ්චරිතයෙන් නැහැවී තිබෙනවා. විශේෂයෙන්ම 1914 ඉඳන්, සමස්ත ලෝක සදාචාර පිරිහීමක් පැවත තිබෙනවා. (2 තිමෝති 3:1-5) සුචරිතය, සදාචාරය, ගෞරවය සහ ආචාරධර්මය ගැන තිබෙන සම්ප්‍රදායික අදහස් ප්‍රතික්ෂේප කරමින්, බොහෝදෙනෙක් ආත්මාර්ථකාමීව කල්පනා කරන්න පටන්ගෙන තිබෙන අතර, “සියලුම සදාචාර හැඟීම්වලින් තොරව” සිටිනවා. (එපීස 4:19, NW) නියූස්වීක් සඟරාව මෙසේ කිව්වා: “අපි ජීවත් වෙන්නේ සදාචාර සාපේක්ෂතාවේ වකවානුවකයි.” පවතින සදාචාර වාතාවරණය නිසා, “හරි සහ වැරැද්ද පිළිබඳ සෑම අදහසක්ම පෞද්ගලික රුචිය, චිත්තවේගීය මනාපය හෝ සංස්කෘතික තෝරාගැනීම අනුව තීරණය කරන දෙයක් බවට පත් වී තිබෙන” බව තවදුරටත් සඳහන් කරනවා.
13. (අ) අදදින විනෝදාස්වාදයෙන් වැඩිහරියක් දුෂ්චරිතයට අනුග්‍රහය දක්වන්නේ කොහොමද? (ආ) නුසුදුසු විනෝදාස්වාදය පුද්ගලයන් කෙරෙහි මොන වගේ නරක බලපෑමක් විය හැකිද?
13 පළමුවන සියවසෙහි මෙන්, අදදින පහත් විනෝදාස්වාදය පොදු දෙයක්ව පවතිනවා. රූපවාහිනිය, ගුවන් විදුලිය, චිත්‍රපට සහ වීඩියෝ දර්ශන ලිංගික ආභාෂයකින් යුත් අඛණ්ඩ තොරතුරු ප්‍රවාහයක් පිට කරනවා. දුෂ්චරිතය පරිගණක ජාලාවලට පවා ඇතුල් වී තිබෙනවා. එක සරසවි අධ්‍යයනයකට අනුව, දැන් පරිගණක කාමුක කෘති “පරිගණක ජාලා පාවිච්චි කරන්නන් විනෝදය සඳහා යොදාගන්නා විශාලම යෙදුම්වලින් එකක් (නැත්නම් විශාලතම එක) වෙනවා.” මේ සියල්ලේ බලපෑම් මොනවාද? එක් පත්රකලාවේදියෙක් මෙසේ කියනවා: “අපේ ජනප්‍රිය සංස්කෘතිය ලෙයින් සහ බලහත්කාරකම වගේම පහත් ලිංගික හැසිරීමෙන් නැහැවී තිබෙන විට, ලේ, බලහත්කාරකම සහ පහත් ලිංගික හැසිරීමට අපි හුරුපුරුදු වෙනවා. අපේ ඉන්ද්‍රියන් මොට වෙනවා. එන්න එන්නම දේවල් අපිව අඩුවෙන් කම්පනයට පත් කරන නිසා, දූෂිතභාවය තව තවත් ඉවසාගන්න පහසු වෙනවා.”—1 තිමෝති 4:1, 2, සසඳන්න.
14, 15. ලිංගික සදාචාරය ලොව පුරාම පිරිහී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
14 ද නියූ යෝක් ටයිම්ස් පුවත්පතේ මෙම වාර්තාව සැලකිල්ලට ගන්න: “අවුරුදු 25කට කලින් නින්දිත යමක් ලෙස සැලකූ දෙයක්, දැන් පිළිගත් ජීවන රටාවක් බවට පත් වී තිබෙනවා. [එක්සත් ජනපදයේ] විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙන්න තෝරාගත් යුවළයන්ගේ සංඛ්‍යාව 1980 සහ 1991 අතර කාලයේදී සියයට 80කින් වැඩි වුණා.” මෙය උතුරු අමෙරිකාවේ විතරක් දකින්න තිබෙන ගතිලක්ෂණයක් නෙමෙයි. ඒෂ්යාවීක් සඟරාව මෙසේ වාර්තා කරනවා: “[ආසියාව] පුරා රටවල සංස්කෘතික විවාදයක් ඇවිළෙනවා. වාදයට භාජන වෙලා තිබෙන විෂය, ලිංගික නිදහසට එරෙහිව සම්ප්‍රදායික සාරධර්ම යන්නයි; එමෙන්ම වෙනස් වීම සඳහා තිබෙන පීඩනයන් දිගින් දිගටම වර්ධනය වෙනවා.” කාමමිථ්‍යාචාරය සහ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, බොහෝ රටවල වැඩි වැඩියෙන් පිළිගන්න බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා.
15 අපේ දවසේදී සාතන්ගේ ක්‍රියාකාරකම් ප්රබලව පවතින බව බයිබලය පුරෝකථනය කළා. (එළිදරව් 12:12) එසේනම්, දුෂ්චරිතය තැතිගන්වන ආකාරයකින් පැතිර තිබෙනවා කියන එක අපිව පුදුමයට පත් නොකළ යුතුයි. උදාහරණයක් හැටියට, දරුවන්ව ලිංගිකව සූරාකෑම වසංගතයක් තරමටම වැඩි වී තිබෙනවා.a “වාණිජ්‍ය ලිංගික සූරාකෑම, ලෝකයේ හැම රටකම පාහේ දරු දැරියන්ට හානි පමුණුවන” බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වාර්තා කරනවා. හැම අවුරුද්දකම “ලොව පුරා දරුවන් දශලක්ෂයකට වැඩිය, ළමා ගණිකා වෘත්තිය තුළට ඇද දමනු ලබනවා; ලිංගික හේතු උදෙසා ප්රවාහණය කරනවා එහෙම නැත්නම් විකුණනු ලබනවා; එමෙන්ම ළමයින් පෙනී සිටින කාමුක කෘති නිෂ්පාදනය සඳහා යොදාගනු ලබනවා.” සමලිංගිකත්වයත් පොදු දෙයක් වී තිබෙන අතර, ඇතැම් දේශපාලනඥයන් සහ ආගමික නායකයන් “විකල්ප ජීවන රටාවක්” වශයෙන් එයට අනුග්‍රහය දැක්වීමේදී පෙරමුණෙහි සිටිනවා.
ලෝකයේ දුෂ්චරිත ප්‍රතික්ෂේප කිරීම
16. ලිංගික සදාචාරය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගන්නේ මොන ස්ථාවරයද?
16 ලිංගික සදාචාරය පිළිබඳව නිර්බාධ ප්‍රමිතිවලට අනුමැතිය දක්වන බහුතරයට යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමුන්ගේ හඬ එකතු කරන්නේ නැහැ. තීතස් 2:11-13 මෙසේ කියනවා: “සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ [දෙවිගේ] කරුණාව ප්‍රකාශවී තිබේ. අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැතිකරන්නේය.” ඔව්, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම්, කාමමිථ්‍යාචාරය සහ සමලිංගික ක්‍රියා වැනි දුෂ්චරිත සඳහා සැබෑ වෛරයක්, ඔව් අතිශය පිළිකුලක් අපි වගා කරනවා.b (රෝම 12:9; එපීස 5:3-5) පාවුල් මෙම අනුශාසනාව දුන්නා: “[යෙහෝවාගේ] නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වා.”—2 තිමෝති 2:19.
17. සැබෑ ක්‍රිස්තියානීන් මත්පැන් භාවිතය සලකන්නේ කොහොමද?
17 සැබෑ ක්‍රිස්තියානීන් දුෂ්චරිත සුළුයයි තකන ලෝකයට තිබෙන මතය ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් හැටියට, අදදින බොහෝදෙනෙක් මත්පැන් අනිසි භාවිතය හාස්‍යජනක දෙයක් සේ සලකනවා. ඒත් යෙහෝවාගේ සෙනඟ එපීස 5:18, 19හි උපදෙස්වලට අවනත වෙනවා: “මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; නුමුත් [ආත්මයෙන්] පූර්ණ [වන්න].” ක්‍රිස්තියානියෙක් බොන්න තෝරාගත්තොත්, ඔහු එසේ කරන්නේ පමණ දැනගෙනයි.—හිතෝපදේශ 23:29-32.
18. පවුලේ සාමාජිකයන්ට සලකන විදිහ සම්බන්ධයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බයිබල් ප්‍රමිති මගින් මඟ පෙන්වනු ලබන්නේ කොහොමද?
18 තමන්ගේ කලත්‍රයාට සහ දරුවන්ට කෑගැසීම හෝ වේදනා ගෙන දෙන වචනවලින් ඔවුන්ට නින්දා කිරීම පිළිගත් හැසිරීම හැටියට ලෝකයේ සමහරදෙනෙකුට තිබෙන මතයත්, යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. සුචරිතවත් හැසිරීමක් ලුහුබඳින්න අධිෂ්ඨානයක් ඇතුව, ක්‍රිස්තියානි පුරුෂයන් සහ භාර්යාවන් පාවුල්ගේ මතු උපදෙස අදාළ කරගන්න එකට වැඩ කරනවා: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.”—එපීස 4:31, 32.
19. දුෂ්චරිතය ව්‍යාපාර ලෝකයෙහි කොතරම් දුරට පැතිර තිබෙනවාද?
19 අදදින වංකකම, වංචාව, බොරුකීම, අනුකම්පා විරහිත ව්‍යාපාරික උපායමාර්ග සහ සොරකම් කිරීම පොදුවේ දක්නට ලැබෙනවා. ව්‍යාපාරික සඟරාවක් වන CFOහි ලිපියක් මෙසේ වාර්තා කරනවා: “ශ්‍රමිකයන් 4,000ක් සමීක්ෂණයකට භාජන වීමෙන් . . . හෙළි වුණේ ඔවුන්ගෙන් සියයට 31ක් පසුගිය වර්ෂය තුළ ‘බරපතළ අවකල් ක්‍රියාවන්’ ඇසින් දුටු බවයි.” එවැනි අවකල් ක්‍රියාවලට බොරුකීම, වංචාව පිණිස ලියකියවිලි වෙනස් කිරීම, ලිංගික හිරිහැර සහ සොරකම් කිරීම ඇතුළත් වුණා. යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි සදාචාරමය ලෙස පවිත්‍රව සිටින්න නම්, එවැනි හැසිරීමෙන් අපි වැළකී සිටිය යුතු අතර, අපේ මූල්‍ය ගනුදෙනුවලදී අවංක විය යුතුයි.—මීකා 6:10, 11.
20. ක්‍රිස්තියානීන් ‘වස්තු තෘෂ්ණාවෙන්’ නිදහස්ව සිටිය යුත්තේ ඇයි?
20 මූල්‍ය ව්‍යාපාරයකින් ගජ වාසියක් ලැබුවොත්, දෙවිගේ සේවය සඳහා තමාට වැඩි කාලයක් තියෙයි කියලා සිතාගත් එක් මනුෂ්‍යයෙකුට වුණ දේ සලකා බලන්න. ඔවුන්ට අපේක්ෂා කළ හැකි ලාභ මහත් ලෙස වැඩි කොට කීමෙන්, ඔහු වෙනත් අයව ආයෝජන ව්‍යාපාරයකට ඇදගත්තා. මෙම ලාභ නොලැබුණු විට, ඇති වූ ඉමහත් පාඩුව වසන්න ඔහු කොතරම් බලාපොරොත්තු රහිත විදිහට කටයුතු කළාද කිව්වොත්, විශ්වාසයෙන් ඔහුට භාර දී තිබුණු මුදල් ඔහු සොරකම් කළා. ඔහුගේ ක්‍රියා සහ දැක්වූ පසුතැවිලි නොවන ආකල්පය නිසා, ඔහුව ක්‍රිස්තියානි සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබුවා. “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය” යන බයිබලයේ අනතුරු ඇඟවීම ඇත්තවශයෙන්ම සැබෑවක්.—1 තිමෝති 6:9, 10.
21. ලෝකයේ බලයෙහි ඉන්න මනුෂ්‍යයන් අතර මොන වගේ හැසිරීමක් පොදුද? ඒත් ක්‍රිස්තියානි සභාවේ වගකිව යුතු තත්වයන්වල ඉන්න අය හැසිරිය යුත්තේ කොහොමද?
21 බලය ඇති හා බලපෑම් කළ හැකි තනතුරුවල සිටින ලෞකික මනුෂ්‍යයන්ට බොහෝදුරට සුචරිතය නැති අතර, ‘බලය දූෂණය වඩවයි’ යන කියමනෙහි සත්‍යතාව නිරූපණය කරනවා. (දේශනාකාරයා 8:9) ඇතැම් දේශවල, විනිසුරුවන්, පොලිස් භටයන් සහ දේශපාලනඥයන් අනුගමනය කරන පිළිවෙතට අල්ලස් සහ වෙනත් දූෂණ ඇතුළත් වෙනවා. කොහොම වුණත්, ක්‍රිස්තියානි සභාවේ පෙරමුණ ගන්නෝ සුචරිතවත් විය යුතු අතර, අනුන් කෙරෙහි බල නොපැවැත්විය යුතුයි. (ලූක් 22:25, 26) වැඩිමහල්ලන් මෙන්ම උපස්ථායක සේවකයන් “නින්දිත ලාභය නිසා” සේවය කරන්නේ නැහැ. පෞද්ගලික වාසි ප්‍රයෝජනයක් ලැබීමේ අපේක්ෂාව මගින් තම විනිශ්චය පෙරළන්න හෝ යම් බලපෑම්වලට යටත් වෙන්න දරන ඕනෑම ප්රයත්නයක් ඉදිරියෙහි ඔවුන් නොසෙල්වී සිටිය යුතුයි.—1 පේතෘස් 5:2; නික්මයාම 23:8; හිතෝපදේශ 17:23; 1 තිමෝති 5:21.
22. ඊළඟ ලිපිය සාකච්ඡා කරන්නේ මොනවාද?
22 සමස්තයක් වශයෙන්, දුෂ්චරිතයෙන් පිරුණු අපේ ලොවෙහි සුචරිතය පවත්වාගැනීමේ වත්මන් අභියෝගයට ක්‍රිස්තියානීන් සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටිනවා. ඒත්, නිකම්ම දුෂ්ටකමින් වැළකී සිටීමට වඩා වැඩි දෙයක් සුචරිතයට ඇතුළත් වෙනවා. සුචරිතය වගා කිරීමේදී ඇත්තටම අවශ්‍ය කරන්නේ මොනවාද කියන දේ ඊළඟ ලිපිය සාකච්ඡා කරන්න යනවා.
[පාදසටහන්වල]
a පිබිදෙව්! 1994 පෙබරවාරි 8හි දක්නට ලැබෙන, “ඔබගේ දරුවන් රැකගන්න!” යන ලිපි මාලාව බලන්න.
b පළමුවන සියවසෙහි සමහරුන් කළාක් මෙන්, කලින් සමලිංගික ක්‍රියාවල නිරත වී සිටින අයට තම හැසිරීමෙහි වෙනස්කම් සිදු කරන්න පුළුවන්. (1 කොරින්ති 6:11) පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1995 මාර්තු 22, 21-3 දක්වා පිටුවල උපකාරවත් තොරතුරු ඉදිරිපත් කර තිබුණා.
පුනරීක්ෂණයට කරුණු
◻ යෙහෝවා කානානිවරුන්ගේ සම්පූර්ණ විනාශය නියෝග කළේ ඇයි?
◻ පළමුවන සියවසේ පොදුව තිබුණේ මොන දුෂ්චරිතද? ක්‍රිස්තියානීන් එවැනි වාතාවරණයක පසු වුණේ කොහොමද?
◻ වර්ෂ 1914 සිට ලෝකය සමස්ත ලෝක සදාචාර පිරිහීමක් දැක ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?
◻ යෙහෝවාගේ සෙනඟ ප්‍රතික්ෂේප කළ යුත්තේ මොන පොදු දුෂ්චරිතද?
[9වන පිටුවේ පින්තූරය]
දුෂ්චරිතයෙන් පිරුණු ලොවක ජීවත් වුණත්, පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් සුචරිතවත්ව හැසිරුණා
[10වන පිටුවේ පින්තූරය]
දුෂ්චරිතය පරිගණක ජාලාවලට පවා ඇතුල් වී තිබෙනවා; ප්‍රතිඵලයක් වශයෙන් යෞවනයන් සහ වෙනත් අයට කාමුක කෘතිවලට ප්‍රවේශ වෙන්න පුළුවන්
[12වන පිටුවේ පින්තූරය]
අනුන්ගේ වංක උපක්‍රම අනුකරණය කරන්නේ නැතුව, ක්‍රිස්තියානීන් සුචරිතය පවත්වාගත යුතුයි