සැබෑ සන්තෝෂය යතුර කුමක්ද?
මිනිසුන්ගෙන් අපේක්ෂා කළේ, සන්තෝෂයෙන් ජීවත් වීමයි. අපිට ඒ ගැන නිසැක වෙන්න පුළුවන් ඇයි? හොඳයි, මිනිසාගේ ආරම්භය ගැන සලකා බලන්න.
යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළව මැව්වේ සන්තෝෂ වීමේ හැකියාව ඇතුවයි. ආදම් සහ ඒවව පාරාදීසයක, එනම් ඒදන් කියා හැඳින්වූ සතුට පිරි උයනක තැබුවා. ජීවත් වීමට අවශ්‍ය කරන හැම දෙයක්ම මැවුම්කරු ඔවුන්ට සැපයෙව්වා. “දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්” ඒ උයනේ තිබුණා. (උත්පත්ති 2:9) ආදම් සහ ඒව නිරෝගිව, ශක්තිසම්පන්නව හා ශෝභමානව සිටියා—ඔවුන් පරිපූර්ණව මෙන්ම සැබෑ සන්තෝෂයෙන් සිටියා.
කොහොම වුණත්, ඔවුන්ගේ සන්තෝෂයට යතුර වූයේ කුමක්ද? එය ඔවුන්ගේ පාරාදීසයක් බඳු නිවසද නැත්නම් සමහරවිට ඔවුන්ගේ ශාරීරික පරිපූර්ණත්වයද? දෙවිගෙන් ලැබුණු මේ ත්‍යාග ඔවුන්ගේ ජීවිතයේ සතුටට දායක වුණා. නමුත් ඔවුන්ගේ සන්තෝෂය රඳා පැවතුණේ, එවැනි පෙනෙන දේවල් මත නොවෙයි. ඒදන් උයන අලංකාර උද්‍යානයකට වඩා වැඩි යමක් වුණා. එය ශුද්ධස්ථානයක්, එනම් දෙවිට නමස්කාර කරන ස්ථානයක් වුණා. ඔවුන්ගේ සදාකාලික සන්තෝෂයට යතුර වූයේ, මැවුම්කරු සමඟ ප්‍රේමනීය සබඳතාවක් ඇති කරගෙන එය දිගටම පවත්වාගෙන යෑම සඳහා ඔවුන් සතු වූ හැකියාවයි. සන්තෝෂය භුක්ති විඳීමට නම්, ඔවුන් මුලින්ම ආත්මික පුද්ගලයන් විය යුතුව තිබුණා.—මතෙව් 5:3 සසඳන්න.
ආත්මිකත්වය සන්තෝෂයට මඟ පාදනවා
මුලදී ආදම්ට දෙවි සමඟ ආත්මික සබඳතාවක් තිබුණා. එය පියෙකු හා පුතෙකු අතර තිබෙන සබඳතාවක් මෙන් ප්‍රේමනීය හා මෘදු මොළොක් සබඳතාවක් වුණා. (ලූක් 3:38) ආදම් සහ ඒවට නමස්කාර පිරිනැමීම සඳහා වූ තමන්ගේ ආශාව තෘප්තිමත් කරගැනීමට ඉඩ කඩ සලසා දුන් ඉතා විශිෂ්ට තත්වයන් ඒදන් උයනේ තිබුණා. ඔවුන්ගේ කැමැත්තෙන්ම හා ප්‍රේමයෙන් යෙහෝවාට කීකරු වීම මගින් දෙවිට ගෞරවය හා මහිමය ගෙන ඒමට ඔවුන්ට හැකිකම තිබුණා; මෙය කවදාවත් සතුන්ට කළ නොහැකි දෙයක්. තම බුද්ධිය යොදවමින් දෙවිගේ විශිෂ්ට ගුණාංග සඳහා ඔහුට ප්‍රශංසා කිරීමටත්, ඔහුගේ ස්වාධිපත්‍යයට සහයෝගය දැක්වීමටත් ඔවුන්ට හැකි වුණා. යෙහෝවාගේ ප්‍රේමනීය හා මෘදු මොළොක් සැලකිල්ල දිගටම ලබාගැනීමටත් ඔවුන්ට හැකි වුණා.
මැවුම්කරු සමඟ පැවති මෙම සමීප සබඳතාව හා ඔහුගේ නීතිවලට කීකරු වීම අපේ මුල් දෙමාපියන්ට සැබෑ සන්තෝෂය ගෙන දුන්නා. (ලූක් 11:28) සන්තෝෂයට යතුර සොයාගැනීමට කලින්, අවුරුදු ගණනාවක් ඒ සඳහා විවිධ දේවල් අත්හදා බැලීම ආදම් සහ ඒවගෙන් අපේක්ෂා කළේ නැහැ. ඔවුන්ව මවනු ලැබූ මොහොතේ පටන් ඔවුන් සිටියේ සන්තෝෂයෙනුයි. ඔවුන්ව සන්තෝෂයට පත් කළේ, දෙවි සමඟ සාමකාමී වීම හා ඔහුගේ අධිකාරියට යටත් වීමයි.
කොහොම වුණත්, ඔවුන් දෙවිට අකීකරු වූ අවස්ථාවේදී ඒ සන්තෝෂය අවසන් වුණා. කැරලිගැසීම නිසා ආදම් සහ ඒව යෙහෝවා සමඟ තිබූ ඔවුන්ගේ ආත්මික සබඳතාව බිඳගත්තා. ඔවුන් තවදුරටත් දෙවිගේ මිත්‍රයන් වුණේ නැහැ. (උත්පත්ති 3:17-19) පෙනෙන විදිහට ඔවුන්ව උයනෙන් නෙරපා දැමූ දා පටන්, යෙහෝවා ඔවුන් සමඟ තිබූ අදහස් හුවමාරු කරගැනීම් සියල්ලම නතර කර දැම්මා. ඔවුන් තමන්ගේ පරිපූර්ණත්වය, සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව හා උයනක් බඳු නිවස අහිමි කරගත්තා. (උත්පත්ති 3:23) නමුත් වඩාත් වැදගත් ලෙස, දෙවි සමඟ තිබූ ඔවුන්ගේ සබඳතාව නැති කරගැනීම හේතුවෙන්, ඔවුන් සන්තෝෂයට යතුර නැති කරගත්තා.
අප සතු තෝරාගැනීමේ හැකියාව
මියයන්න කලින් ආදම් සහ ඒව තමන්ගේ මානව ගතිලක්ෂණ, තමන්ට සහජයෙන්ම ලැබුණු හෘදය සාක්ෂිය හා ආත්මික දේවල් ග්‍රහණය කරගැනීමේ හැකියාව තමන්ගේ පැවතෙන්නන්ට උරුම කර දුන්නා. මිනිස් පවුල සතුන්ගේ මට්ටමට ඇද වැටුණේ නැහැ. අපිට පුළුවන් මැවුම්කරු සමඟ නැවතත් සාමකාමී සබඳතාවක් ඇති කරගන්න. (2 කොරින්ති 5:18) බුද්ධිමත් මැවිලි හැටියට, දෙවිට කීකරු වීම හෝ නොවීම හා සම්බන්ධ තෝරාගැනීමේ හැකියාව මිනිසුන්ට දිගටම තිබෙනවා. යෙහෝවා අලුතින් බිහි වූ ඉශ්රායෙල් ජාතියට ජීවනය හෝ මරණය තෝරාගැනීමට අවස්ථාවක් දුන් විට, සියවස් ගණනාවකට පසු මෙය පැහැදිලි වුණා. තමාගේ නියෝජිතයා වූ මෝසෙස් මගින් දෙවි මෙසේ පැවසුවා: “මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.”—ද්විතීය කථාව 30:15-18.
දැන් පවා, එනම් මුල් පාරාදීසය අහිමි වී අවුරුදු දහස් ගණනක් ගතවීමෙන් පසුවත්, මිනිසුන් වන අපිට හරි තේරීම කිරීමේ හැකියාව තවමත් තිබෙනවා. අපිට ක්‍රියාකාරි හෘදය සාක්ෂියක් සහ දෙවිගේ නීතිවලට කීකරු වීම සඳහා අවශ්‍ය කරන මූලික හැකියාව තිබෙනවා. “අපේ ඇතුල් මනුෂ්‍යයා” ගැනත් “අභ්‍යන්තර” මනුෂ්‍යයා ගැනත් බයිබලය කතා කරනවා. (2 කොරින්ති 4:16; රෝම 7:22) දෙවිගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීමට, ඔහුගේ චින්තනයට අනුව කල්පනා කිරීමට හා ආත්මික පුද්ගලයන් වීමට අපි සියලුදෙනාටම තිබෙන සහජ හැකියාවට එම යෙදුම්වලින් යොමු දැක්වෙනවා.
අපේ සදාචාරාත්මක ගතිපැවතුම් හා හෘදය සාක්ෂිය සම්බන්ධව ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද? ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.”—රෝම 2:15, 16.
යතුර—දේවප්‍රඥාව සහ කීකරුකම
කාරණය එසේ වුවත්, ‘දෙවිට නමස්කාර කිරීමේ සහජ නැඹුරුව අපි හැම කෙනෙකුටම තියෙනවා නම්, ඒ වගේම එහි ප්‍රතිඵලයක් හැටියට සැබෑ සන්තෝෂය භුක්ති විඳිය හැකි නම්, අසන්තෝෂය මේ තරම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඇයි?’ කියා යමෙක් අසන්න පුළුවන්. එසේ වීමට හේතුව, සන්තෝෂය අත් කරගැනීම සඳහා අපි හැම කෙනෙක්ම අපේ ආත්මිකත්වය දියුණු කළ යුතු වීමයි. මිනිසාව මුලින්ම දෙවිගේ ස්වරූපයෙන් මැව්වත්, ඔහු තම මැවුම්කරුගෙන් ඈත් වී සිටිනවා. (එපීස 4:17, 18) ඒ නිසා, දෙවි සමඟ ආත්මික සබඳතාවක් ඇති කරගෙන එය දිගටම පවත්වා ගැනීම සඳහා අපි එක් එක්කෙනා ඒකාන්ත පියවර ගත යුතුයි. එවන් සබඳතාවක් ඉබේම ඇති වෙන්නේ නැහැ.
ආත්මිකත්වය වර්ධනය කරගැනීමේදී වැදගත් ප්‍රතිපත්ති දෙකක් යේසු ගෙනහැර දැක්වුවා. එකක් නම් දෙවි පිළිබඳ ඒකාන්ත දැනුම ලබාගැනීමයි; අනිත් එක ඔහුගේ කැමැත්ත කිරීමට කීකරු ලෙස ඉදිරිපත් වීමයි. (යොහන් 17:3) දේවවචනය උපුටා දක්වමින් යේසු මෙසේ පැවසුවා: “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ.” (මතෙව් 4:4) තවත් අවස්ථාවකදී යේසු මෙසේ සඳහන් කළා: “මාගේ කෑම නම් මා එවූ [තැනැත්තාගේ] කැමැත්තකොට [ඔහුගේ] වැඩ ඉෂ්ට කිරීමය.” (යොහන් 4:34) සන්තෝෂය සඳහා කෙරෙන සෙවීමේදී අපිට දශක ගණනාවක් අත්හදා බැලීම් කිරීම් සඳහා යොදවන්න අවශ්‍ය වන්නේ නැහැ. සන්තෝෂය සඳහා යතුර අද්දැකීම් නොවෙයි. ඒ වෙනුවට, ජීවිතයේ සැබෑ ප්‍රීතියට මඟ පෑදිය හැක්කේ, දේවප්රඥාවට හා අපේ මැවුම්කරුට කීකරු වීමට පමණයි.—ගීතාවලිය 19:7, 8; දේශනාකාරයා 12:13.
දේවප්‍රඥාව ක්‍රියාවට නැංවීමෙන් හා දෙවි ඉදිරියෙහි කදිම ස්ථාවරයක් පවත්වාගැනීමෙන් අද්දකින සන්තෝෂය, අපිට අත් කරගත නොහැකි දෙයක් නොවන බව පැහැදිලියි. (ක්‍රියා 17:26, 27) යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණ ගැනත් දැනුම සෑම කෙනෙකුටම ලබාගන්න පුළුවන්. භාෂා බොහෝ ගණනකින් හා පිටපත් බිලියන සංඛ්‍යාවකින් ලබාගත හැකි බයිබලය, ලොව පුරා වැඩියෙන්ම බෙදාහරින පොත හැටියට දිගටම පවතිනවා. දෙවිගේ මිත්‍රයෙකු වී සැබෑ සන්තෝෂය භුක්ති විඳීම සඳහා ඔබට උපකාර කරන්න බයිබලයට පුළුවන්; මොකද “යෙහෝවාව තමන්ගේ දෙවි කරගත් සෙනඟ සන්තෝෂවත්හුය!” කියා ශුද්ධ ලියවිලිවල පවසනවා.—ගීතාවලිය 144:15, NW.
[6වන පිටුවේ කොටුව]
සන්තෝෂයට මඟ පෙන්වන පියවර
1. ආත්මිකත්වය අවබෝධ කරගෙන එය වර්ධනය කරගන්න. යේසු මෙසේ පැවසුවා: “දෙවිගේ වචනය අසා එය පවත්වන්නෝ සන්තෝෂවත්හුය!”—ලූක් 11:28, NW.
2. ධනය නැතහොත් සුඛෝපභෝගී දේවලට වඩා වැදගත්ම දෙය දෙවිගේ අනුමැතිය බව තේරුම්ගන්න. පාවුල් මෙසේ ලිව්වා: “ලත් පමණින් සතුටුවීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය. . . . කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.”—1 තිමෝති 6:6-8.
3. බයිබලය මත පුහුණු කළ හෘදය සාක්ෂියක් වර්ධනය කරගෙන, ඊට අනුකූලව කටයුතු කිරීමට දැඩි ප්රයත්නයක් දරන්න.—රෝම 2:14, 15.
4. යෙහෝවා දෙවිට කීකරු වීමෙන් ඔහුගේ සෙනඟට අයත් කෙනෙකු වීමට අදිටන් කරගන්න. පුරාණයේ විසූ දාවිත් මෙසේ ලිව්වා: “යෙහෝවාව තමන්ගේ දෙවි කරගත් සෙනඟ සන්තෝෂවත්හුය!”—ගීතාවලිය 144:15, NW.
[7වන පිටුවේ පින්තූරය]
“තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්හුය.”—මතෙව් 5:3, NW