‘එපිකුරීයයන්ගෙන්’ පරෙස්සම් වන්න
“එයා කොච්චර හොඳ කෙනෙක්ද! එයා උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා. දුම්පානය කරන්නේ නෑ, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා නෑ, අසභ්‍ය භාෂාව පාවිච්චි කරන්නෙත් නෑ. ඇත්තෙන්ම, එයා ක්‍රිස්තියානීන් කියලා කියාගන්න සමහරුන්ට වැඩිය හොඳයි!”
සමහරු ඇති කරගන්නා අයෝග්‍ය මිත්රත්වයන්වල යෝග්‍යතාව ඔප්පු කිරීමට එවැනි හේතු මාලාවක් දෙනවා ඔබ අසා තිබෙනවාද? ශුද්ධ ලියවිලි සෝදිසි කළ විට, එම තර්කය බිඳ නොවැටී පවතීද? මුල් ක්‍රිස්තියානි සභාවේ ආදර්ශයක් මේ කාරණය සම්බන්ධයෙන් ආලෝකය හෙළනවා.
පළමු සියවසේදී, ප්‍රේරිත පාවුල් කොරින්ති සභාවට මෙසේ අනතුරු ඇඟෙව්වා: “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.” සමහරවිට, ඇතැම් ක්‍රිස්තියානීන් එපිකුරීයයන් ඇතුළු ග්‍රීක් දර්ශනයෙන් බලපෑම් ලැබූ අය සමඟ කිට්ටු ආශ්‍රයක් පවත්වමින් සිටියා විය හැකියි. එපිකුරීයයන් කවුද? ඔවුන් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ආත්මික තර්ජනයක් එල්ල කරන්න ඉඩ තිබුණේ ඇයි? අපි ආරක්ෂා විය යුතු එවැන්නන් අදදිනත් ඉන්නවාද?—1 කොරින්ති 15:33.
එපිකුරීයයන් කවුද?
එපිකුරීයයන්, පො.යු.පෙ. 341 සිට 270 දක්වා ජීවත් වූ ග්‍රීක් දාර්ශනිකයෙකු වූ එපිකියුරස්ගේ අනුගාමිකයන්. ජීවිතයේ එකම හෝ ප්‍රධානම හොඳ දේ සතුට ලැබීම බව ඔහු ඉගැන්නුවා. නොකඩවා විනෝදය පසුපස හඹා යෑමේදී පිළිකුල් ක්‍රියාවල යෙදෙමින්, ප්‍රතිපත්ති නොමැතිව නින්දාසහගත ලෙස එපිකුරීයයන් ජීවත් වුණා කියන එක ඉන් අදහස් කරනවාද? පුදුමයකට මෙන්, එපිකියුරස් තම අනුගාමිකයන්ට ඒ අයුරින් ජීවත් වෙන්න ඉගැන්නුවේ නෑ! ඒ වෙනුවට, උපරිම සතුටක් ලැබෙන්නේ දූරදර්ශීව, නිර්භීතව, ආත්ම-දමනයෙන් යුතුව හා යුක්ති යුක්තව ජීවත් වීමෙන් කියා ඔහු ඉගැන්නුවා. ඔහු කතා කළේ ක්ෂණිකව, මොහොතකට ලබන සතුට ලුහුබැඳීමට පක්ෂව නොවෙයි, නමුත් ජීවිත කාලය පුරාම පවතින සතුට වෙනුවෙනුයි. මෙබැවින් බරපතළ පාප සිදු කරන අය සමඟ සැසඳූ විට එපිකුරීයයන් ගුණධර්මවලින් හෙබි පිරිසක් හැටියට දිස්වෙන්න ඇති.—තීතස් 1:12 සසඳන්න.
ක්‍රිස්තු ධර්මයට සමානද?
ඔබ මුල් කොරින්ති සභාවේ සාමාජිකයෙකුව සිටියා නම්, එපිකුරීයයන් වෙත ඔබේ සිත ඇදී ගොස් තිබෙනු ඇද්ද? පෙනෙන විදිහට එපිකුරීයයන්ට තිබෙන උසස් ආචාර ධර්ම නිසා ක්‍රිස්තියානීන්ට ඔවුන්ව ආශ්‍රය කිරීම ආරක්ෂාවක් කියා සමහරු තර්ක කර තිබුණා වෙන්න පුළුවන්. තවදුරටත් හේතු දෙමින්, එපිකුරීය ප්‍රමිති සහ දෙවිගේ ප්‍රමිති අතර සමානතා තිබෙන බව කොරින්තිවරුන් දකින්න ඇති.
උදාහරණයක් වශයෙන්, එපිකුරීයයන් ප්‍රීති ප්‍රමෝදය ලුහුබැන්දේ පමණ දැනයි. ශාරීරික සතුටු වීම්වලට වඩා ඔවුන් මානසික සතුටු වීම් අගේ කළා. පුද්ගලයෙකු තව කෙනෙකු සමඟ කෑ විට, ඔහු කෑ දේ, ඔහු එය කෑ තැනැත්තා සමඟ ඇති සබඳතාවට වඩා වැදගත් වුණේ නැහැ. එපිකුරීයයන් දේශපාලනයට හවුල් වීමෙන් හා රහසින් වැරදි කිරීමෙන් පවා වැළකුණා. මෙසේ උපකල්පනය කරන්න කොයිතරම් පහසු වෙන්න ඇද්ද: “ඔවුන් හුඟක් අපි වගෙයි!”
කෙසේවුවත්, එපිකුරීයයන් ඇත්තෙන්ම මුල් ක්‍රිස්තියානීන් වාගේ වුණාද? කොහෙත්ම නෑ. හොඳ නරක අවබෝධ කරගැනීමට පුරුදු පුහුණු වූ ඉන්ද්රියයන් ඇති අයට සැලකිය යුතු වෙනස්කම් සොයාගත හැකියි. (හෙබ්‍රෙව් 5:14) ඔබට පුළුවන්ද? එපිකියුරස්ගේ ඉගැන්වීම් වෙත අපි කිට්ටු අවධානයක් යොමු කරමු.
එපිකුරීයවාදයේ අඳුරු පැත්ත
දේවතාවන් හා මරණය ගැන තියෙන භය ජයගැනීමට ජනයාට උපකාර කිරීම සඳහා එපිකියුරස් ඉගැන්නුවේ දෙවිවරුන්ට මිනිස්සු ගැන උනන්දුවක් නෑ, මිනිස්සුන්ගේ කටයුතුවලට මැදිහත් වෙන්නේ නෑ කියලයි. එපිකියුරස්ට අනුව, දෙවිවරුන් විශ්වය මැව්වේ නෑ; ජීවිතයේ පැවැත්ම ඇති වුණේ අහඹු සිද්ධියකින්. ඉන්නේ මැවුම්කාරයා වන “එක දෙවිකෙනෙක්,” එමෙන්ම ඔහු තම මිනිස් මැවිලි සඳහා සැලකිල්ලක් දක්වනවාය යන බයිබල් ඉගැන්වීම සමඟ පැහැදිලිවම මෙය ගැටෙන්නේ නැද්ද?—1 කොරින්ති 8:6; එපීස 4:6; 1 පේතෘස් 5:6, 7.
මරණයෙන් පස්සේ ජීවිතයක් තිබිය නොහැකියි යන්නද එපිකියුරස් ඉගැන්නුවා. ඇත්තෙන්ම, මෙය, නැවත නැඟිටීම සම්බන්ධයෙන් වූ බයිබල් ඉගැන්වීමට පටහැනියි. ඇරත්, ප්‍රේරිත පාවුල් ඇරියෝපගයේදී කතා කළ විට, නැවත නැඟිටීමේ ධර්මය පිළිබඳව පාවුල් සමඟ එකඟ නොවූ අය අතර එපිකුරීයයන්ද සිටියා විය හැකියි.—ක්‍රියා 17:18, 31, 32; 1 කොරින්ති 15:12-14.
එපිකියුරස්ගේ දර්ශනයේ ඉතාමත්ම භයානකම අංගය ඉතාමත්ම ප්රයෝගකාරි එකක්ද වුණා වෙන්න පුළුවන්. මතු ජීවිතයක් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම, මිනිසා මේ පොළොව මත ඉන්න කෙටි කාලය තුළදී තමන්ට හැකි තරම් සන්තෝෂයෙන් ජීවත් විය යුතුයි යන නිගමනයට එළඹෙන්න ඔහුට මඟ පෑදුවා. අපි දැක ඇති පරිදි, ඔහුගේ අදහස වුණේ පාපතර ජීවිතයක් ගත කිරීම නොවෙයි, නමුත් අපිට මතු ජීවිතයක් නැති නිසා වර්තමානයේදී ප්‍රීතියෙන් ජීවත් වීමයි.
මෙබැවින්, වත්මන් සන්තෝෂයට පැහැදිලි තර්ජනයක් වන වැරදි අසුවීමේ බියෙන් වැළකීමට රහසිගතව වැරදි වැඩ කිරීම වළක්වන්න එපිකියුරස්ට ඕනෙ වුණා. වත්මන් සන්තෝෂයට තවත් බාධාවක් වන පමණ ඉක්මවා යමක නියැලීමෙන් ඇති වන විපාක වැළැක්වීම සඳහා ඔහු පමණ දැන දේවල නියැලීමට දිරිගැන්නුවා. අන්‍යයන් සමඟ හොඳ සබඳතාවන් තබාගැනීමටත් ඔහු දිරිගැන්නුවා; මන්දයත් එසේ කිරීමෙන් අන්‍යයන්ද එලෙසම ක්‍රියා කරන බැවිනුයි. රහසිගත වැරදි වැඩවලින් වැළකීම, පමණ දැන ක්‍රියා කිරීම හා මිත්‍රත්වයන් ගොඩනැඟීම යහපත් දේවල් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. එහෙමනම් එපිකියුරස්ගේ දර්ශනය ක්‍රිස්තියානියෙකුට අනතුරුදායක වුණේ ඇයි? ඔහුගේ අවවාදය නොඇදහිලිකාර ආකල්පයක් මත පදනම් වී තිබෙන නිසයි: “හෙට මැරෙන බැවින් කමු, බොමු.”—1 කොරින්ති 15:32.
දැන් සතුටින් ජීවත් වන ආකාරය බයිබලය ජනයාට පෙන්වන බව ඇත්තයි. කොහොමනමුත්, එය මෙසේ අවවාද කරයි: “සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] දයාව බලාසිටිමින්, [දෙවිගේ] ප්‍රේමයෙහි පවතින්න.” (යූද් 21) ඔව්, වේගයෙන් පහවී යන වර්තමානය වෙත නොව සදාකාල අනාගතය වෙත බයිබලය වඩා වැඩි අවධාරණයක් දෙනවා. දෙවිට සේවය කිරීම ක්‍රිස්තියානියෙකුගේ ප්‍රධාන වැඩ කටයුත්ත වන අතර ඔහු දෙවිට ප්‍රථම තැන දෙන විට, ඔහු සතුටෙන් හා තෘප්තියෙන් ඉන්න බව ඔහුට දැනෙනවා. ඒ හා සමානාකාරයකින්, යේසු තමන්ගේ පෞද්ගලික අවශ්යතාවලම යෙදී ඉන්නවා වෙනුවට පරාර්ථකාමීව යෙහෝවාට සේවය කරමින් හා ජනයාට උදව් කරමින් තම ශක්තීන් වැය කළා. සෙස්සන්ට යහපත කරන්න ඔහු තම ගෝලයන්ට ඉගැන්නුවේ යළි ලබාගැනීමේ අරමුණින් කරන්නක් හැටියට කිරීමට නොවෙයි, නමුත් ඔවුන් වෙත ඇති අව්‍යාජ ප්‍රේමයේ පෙලඹීමෙන් එසේ කිරීමටයි. පැහැදිලිවම, එපිකුරීයවාදයේ හා ක්‍රිස්තු ධර්මයේ ප්‍රධාන අභිප්රායන් සම්පූර්ණයෙන්ම වෙනස්.—මාර්ක් 12:28-31; ලූක් 6:32-36; ගලාති 5:14; පිලිප්පි 2:2-4.
සියුම් උවදුරක්
ඊට පරස්පර විරෝධීව, සතුටෙන් සිටීම වෙත එපිකුරීයයන් එවැනි අවධාරණයක් දී තිබුණත්, හොඳම තත්වයන් යටතේ පවා ඔවුන්ගේ සන්තෝෂය සීමා සහිත එකක් වුණා. “[යෙහෝවා] කෙරෙහි ප්‍රීතිවීම” හීනව සිටි එපිකියුරස්, ජීවිතය “දුක්ඛිත ත්‍යාගයක්” හැටියට හැඳින්නුවා. (නෙහෙමියා 8:10) සසඳා බලන කල මුල් ක්‍රිස්තියානීන් මොනතරම් සතුටෙන් සිටියාද! තමන් ලැබිය යුතු සන්තෝෂය නොලබා අසතුටුදායක ජීවිතයක් ගත කිරීම යේසු විසින් නිර්දේශ කළේ නෑ. ඇත්තවශයෙන්ම, ශ්‍රේෂ්ඨතම සන්තෝෂයට මාර්ගය, ඔහුගේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමයි.—මතෙව් 5:3-12.
තමන්ගේ ඇදහිල්ලට හානි පමුණුවා නොගෙන එපිකුරීය අදහස්වලින් බලපෑම් ලත් අය සමඟ ඇසුරු කළ හැකියි කියා කොරින්ති සභාවේ සමහර සාමාජිකයන් සිතුවා නම්, ඔවුන්ට වැරදීමක් වෙලයි තිබුණේ. පාවුල් කොරින්තිවරුන්ට ඔහුගේ පළමු ලිපිය ලියද්දී, ඔවුන්ගෙන් සමහරෙකුට ඒ වන විටත් නැවත නැඟිටීම සම්බන්ධයෙන් වූ ඇදහිල්ල හීන වී තිබුණා.—1 කොරින්ති 15:12-19.
අදදින එපිකුරීයවාදය?
එපිකුරීයවාදය පො.යු. හතරවන සියවසේදී අතුරුදහන් වී ගියත්, අපිට තියෙන්නේ දැනට ජීවත් වෙන එක විතරයි කියන එවැනිම දෘෂ්ටිකෝණයක් ඇතුව සිටින අය අදදින ඉන්නවා. සදා ජීවනය පිළිබඳ දෙවිගේ පොරොන්දුව කෙරෙහි මේ අය විශ්වාස කරන්නේ සුළුවෙන් නැතහොත් කොහෙත්ම විශ්වාස කරන්නේ නෑ. එහෙත්, හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමහරෙකුට සාපේක්ෂ වශයෙන් උසස් ප්‍රමිති තිබෙනවා.
ඔවුන්ගේ විනීත ගුණාංග මිත්‍රත්වය යුක්තිසහගත කරන බවට සමහරවිට හේතු දක්වමින් ක්‍රිස්තියානියෙකු එවැනි අය සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගන්න පෙලඹිය හැකියි. කෙසේවුවත්, අපි අප ගැනම උසස් ලෙස නොසිතුවත්, වඩාත් ප්‍රයෝගකාර බලපෑම් තිබෙන අය ඇතුළු සියලුම “නපුරු සමාගමෙන් හොඳ [ප්‍රයෝජනවත්, NW] චරිත නරක්” වන බව අපි මතක තබාගත යුතුයි.
සමහර ව්‍යාපාරික සම්මන්ත්රණවල, ස්වසාධන පොත්වල, නවකතාවල, චිත්‍රපටවල, රූපවාහිනී වැඩසටහන්වල සහ සංගීතයේද, අපිට තියෙන්නේ දැනට ජීවත් වෙන එක විතරයි කියන දර්ශනය ඉස්මතු වෙමින් තිබෙනවා. මේ නොඇදහිලිකාර දෘෂ්ටිය කෙළින්ම පාපතර හැසිරීමකට යොමු නොකළත්, ප්‍රයෝගකාර මාර්ගවලින් අප කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිද? උදාහරණයක් වශයෙන්, යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් අපේ දෘෂ්ටිය මැකී යන තරමටම, ආත්ම-තෘප්තියකින් අපේ කටයුතුවලම අපිට නියැලී සිටිය හැකිද? “[ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා [පවතිනවාට]” වඩා ‘පහසු ගැනීමෙන්’ වෙනත් මාර්ගයකට යොමු වෙන්න අපිට පුළුවන්ද? එහෙමත් නැත්නම් යෙහෝවාගේ ප්‍රමිතිවල නිවැරදිභාවය හා ඒවායේ ඇති ප්‍රයෝජන පිළිබඳව සැක කිරීමට අපි නොමඟ යා හැකිද? කෙළින්ම දුරාචාරයට, සාහසිකකමට සහ භූතවාදයට අනාවරණය වීමෙන් සහ ලෞකික දෘෂ්ටිකෝණයන්ගෙන් බලපෑම් ලැබ සිටින්නන්ගෙන් අපි ආරක්ෂා විය යුතුයි.—1 කොරින්ති 15:58; කොලොස්සි 2:8.
එබැවින්, මුළු හෘදයෙන්ම යෙහෝවාගේ මඟ පෙන්වීම ක්‍රියාත්මක කරන අය සමඟ අපි මූලික වශයෙන් අපේ ආශ්‍රය ගොඩනඟමු. (යෙසායා 48:17) ප්‍රතිඵලයක් වශයෙන්, අපේ ප්‍රයෝජනවත් පුරුදු ශක්තිමත් වේවි. අපේ ඇදහිල්ල බලවත් වෙයි. සදා ජීවනය කල්පනාවේ තබාගනිමින්, දැන් පමණක් නොව, අනාගතයේදිත්, අපි සතුටින් ජීවත් වෙන්න යනවා.—ගීතාවලිය 26:4, 5; හිතෝපදේශ 13:20.
[24වන පිටුවේ පින්තූරය]
එපිකියුරස් ඉගැන්නුවේ දෙවිවරුන්ට මිනිස්සු ගැන උනන්දුවක් නෑ කියලයි
[හිමිකම් විස්තර]
The British Museum අනුග්‍රහය ඇතුව