යේසු මිහිපිට ගත කළ අන්තිම දවස්වල නැවත ජීවත් වීම
එය පො.යු. 33වන අවුරුද්දේ නීසාන් නම් යුදෙව් මාසයේ සත්වෙනිදායි. රෝමයට අයත් පළාතක් වන යුදයේ සිදු වන සිද්ධීන් ඔබ නිරීක්ෂණය කරමින් සිටිනවා කියා මනසින් මවාගන්න. යේසු හා ඔහුගේ ගෝලයන් යෙරිකෝව හා එහි සරුවට වැවී තිබෙන කොළ, අතු හා මල්වලින් පිරුණු ගස් වැල්වලින් සමුගනිමින් දූවිලි පිරුණු වංගු සහිත පාරක් ඔස්සේ වෙහෙස ගෙන දෙන ගමනක යෙදී සිටියි. තවත් බොහෝදෙනෙක් වාර්ෂිකව පවත්වන පාස්කු උත්සවය සඳහා යෙරුසලමට ගමන් කරයි. කොහොම වුණත්, මේ වෙහෙසකාරි කන්ද නැඟීමට වඩා වැඩි යමක් ක්‍රිස්තුස්ගේ ගෝලයන්ගේ මනස්වල තිබෙනවා.
රෝමයේ පීඩාකාරි බරෙන් මුදවාගත හැකි මෙසියස් කෙනෙක් සඳහා යුදෙව්වන් මහත් ආශාවෙන් බලා සිටිනවා. බොහෝ කාලයක් තිස්සේ බලා සිටි ගැළවුම්කාරයා නාසරෙත්හි යේසුස් කියා බොහෝදෙනෙක් විශ්වාස කරයි. ඔහු අවුරුදු තුනහමාරක් තිස්සේ දේවරාජ්‍යය ගැන කතා කරමින් සිටිනවා. ඔහු රෝගීන්ව සුව කර තිබෙනවා; ඒ වගේම කුසගින්නෙන් සිටි අයට ආහාර ලබා දී තිබෙනවා. ඇත්තෙන්ම, ඔහු මිනිසුන්ට සැනසිල්ලක් ගෙනැවිත් තිබෙනවා. ඒත් යේසු තමන්ට මහත් පහරක් වදින ලෙස ප්‍රසිද්ධියේ හෙළාදැකීම නිසා ආගමික නායකයන් කෝපයට පත්ව ඔහුව මරන්න අදිටන් කරගෙන සිටියා. ඒත්, මෙන්න ඔහු ඕනෑකමින්ම තම ගෝලයන්ට ඉදිරියෙන් වියළි පාර ඔස්සේ ගමන් කරනවා.—මාර්ක් 10:32.
හිරු ඔලීව කන්ද අතරින් බැස යද්දී, යේසු හා ඔහුගේ සහයකයන් බෙතානිය නම් ගමට ළඟා වෙයි; ඊළඟ රාත්‍රීන් හය ඔවුන් එහි ගත කරන්න යනවා. එහිදී ඔවුන්ගේ ප්‍රේමනීය මිතුරන් වන ලාසරුස්, මරියා හා මාර්තා ඔවුන්ව පිළිගන්න සිටිනවා. ඒ සැන්දෑව ගමනෙන් ඇති වූ විඩාවට සිසිල්බවක් ගෙන දෙමින් නීසාන් 8වනදාට යෙදී තිබෙන සබතේ ආරම්භය සනිටුහන් කරනවා.—යොහන් 12:1, 2.
නීසාන් 9
සබත් දවසින් පසුව, යෙරුසලම නොයෙකුත් ක්‍රියාකාරකම්වලින් පිරුණු කාර්ය බහුල නගරයක් වෙයි. දැනටමත් නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණ සිටින අමුත්තන් දහස් ගණනක් පාස්කුව සඳහා නගරයට එක්රොක් වී තිබෙනවා. ඒත් අපට ඇසෙන ඝෝෂාකාරි කැලඹීම වෙනත් අවුරුදුවලට වඩා අසාමාන්‍ය දෙයක්. කුතුහලයෙන් යුත් සමූහයා කඩිමුඩියේ පටු වීදි ඔස්සේ නගරයේ දොරටු ළඟට යයි. ඔවුන් සෙනඟ පිරී ඉතිරී සිටින ගේට්ටුවලින් එකිනෙකාව තල්ලු කරමින් ඉදිරියට ඇදෙද්දී, ඔවුන් දකින්නේ මොනතරම් කදිම දර්ශනයක්ද! ප්‍රීතියෙන් උද්දාමයට පත් ජනයා බෙත්පාගයේ සිට ඔලීව කන්ද පාමුලට ගමන් කරයි. (ලූක් 19:37) මේ සෑම දෙයකම අර්ථය කුමක්ද?
බලන්න! නාසරෙත්හි යේසු කොටළු වස්සෙකු පිට නැඟී ගමන් කරයි. ඔහු ඉදිරියට එද්දී ජනයා සළු පාරේ අතුරයි. තවත් අය අලුතින් කපාගත් තල් අතු වනමින් මහත් ප්‍රීතියෙන් මෙසේ මොරගසයි: ‘යෙහෝවාගේ නාමයෙන් එන තැනැත්තා, එනම් ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙක්ය.’—යොහන් 12:12-15.
සමූහයා යෙරුසලමට ළං වෙද්දී, යේසු නගරය දෙස බලන අතර, මහත් හැඟීමක් ඇති වෙයි. ඔහු ශෝක වෙන්න පටන්ගන්න අතර, මේ නගරය විනාශ කර දමන්න යනවා කියා ඔහු පුරෝකථනය කරන වචන අපට ඇසෙයි. ඊට ටික වේලාවකට පසු, යේසු දේවමාළිගාවට පැමිණෙන අවස්ථාවේදී, ඔහු සමූහයාට උගන්වමින් ඔහු වෙතට ගෙනා අන්ධ හා කොර මිනිසුන්ව සුවපත් කරයි.—මතෙව් 21:14; ලූක් 19:41-44, 47.
මෙය නායක පූජකයන්ගේ හා ලියන්නන්ගේ අවධානයෙන් ගිලිහී යන්නේ නැහැ. යේසු කරන පුදුමසහගත දේවල් හා සමූහයා ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙනවා දැකීමෙන් ඔවුන් තුළ මොනතරම් කේන්තියක් ඇති වෙයිද! තමන්ගේ කෝපය පිට නොකර සිටීමට නොහැකිව ඵරිසිවරුන් මෙසේ ඉල්ලා සිටියි: “ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටු [කරන්න].” “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේය” කියා යේසු ඊට උත්තර දෙයි. පිටත්ව යෑමට කලින්, දේවමාළිගාවේ සිදු වන ව්‍යාපාරික කටයුතු යේසු දකියි.—ලූක් 19:39, 40; මතෙව් 21:15, 16; මාර්ක් 11:11.
නීසාන් 10
යේසු කලින්ම දේවමාළිගාවට පැමිණෙයි. කලින් දවසේදී, තම පියා වන යෙහෝවා දෙවිගේ නමස්කාරය විශාල වශයෙන් ව්‍යාපාරයක් කරගැනීම ගැන ඔහුට කෝපයක් ඇති වුණා. එනිසා ඔහු මහත් ජ්වලිතයකින් දේවමාළිගාවේ මිල දී ගනිමින් හා විකුණමින් සිටි අයව ඉවතට පන්නා දමන්න පටන්ගනියි. අනතුරුව ඔහු ගිජු මුදල් මාරුකරන්නන්ගේ මේස හා පරෙවියන් විකුණන්නන්ගේ බංකු පෙරළා දමයි. “මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරති” කියා යේසු මහත් හඬින් කියයි.—මතෙව් 21:12, 13.
නායක පූජකයන්, ලියන්නන් හා ප්‍රධානින් යන අයට යේසුගේ ක්‍රියාවන් හා ප්‍රසිද්ධියේ කරන ඉගැන්වීම දරාගන්න බැහැ. ඔහුව මරා දමන තෙක් ඔවුන් මොනතරම් නොඉවසිල්ලකින් පසු වෙනවද! ඒත් සමූහයා ඔවුන්ට බාධාවක්; මොකද ජනයා යේසුගේ ඉගැන්වීම්වලින් මවිතයට පත් වී සිටින අතර, ඔවුන් ‘ඔහුගේ වචන ඇලුම්කමින් අසයි.’ (ලූක් 19:47, 48) සන්ධ්‍යා කාලය ළඟා වෙද්දී, යේසු හා ඔහුගේ සහයකයන් රාත්‍රියේ විවේකගැනීම සඳහා ආපසු බෙතානියට පයින් ගමන් කරමින් සතුටක් ලබයි.
නීසාන් 11
හිමිදිරි උදෑසනම යේසු හා ඔහුගේ ගෝලයන් ඔලීව කන්ද පසු කරමින් යෙරුසලමට ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඔවුන් දේවමාළිගාවට පැමිණෙන විට, නායක පූජකයන් හා ප්‍රධානීන් විගස යේසු හමුවට එයි. දේවමාළිගාවේ මුදල් මාරුකරන්නන්ට හා වෙළඳුන්ට එරෙහිව ඔහු ගත් ක්‍රියාමාර්ගය ඔවුන්ගේ මනස්වල පැහැදිලිව තිබෙනවා. ඔහුගේ සතුරන් මෙසේ ඊර්ෂ්‍යාවෙන් යුක්තව අසයි: “නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුද”? “මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි” කියා යේසු එය නිෂ්ප්‍රභ කරයි. “නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි. යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද”? එක තැනකට එක්රොක් වී සිටින මේ විරුද්ධවාදීන් මෙසේ තර්ක කරයි: “ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත. මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් [සමූහයා කෙරෙහි අපට බයක් දැනෙයි, NW].” “අපි නොදනිමුයයි” කියමින් කරකියා ගන්න දෙයක් නැති තත්වයකට පත්ව ඔවුන් දුර්වල ලෙස උත්තර දුන්නා. යේසු සන්සුන් ලෙස මෙසේ ඊට ප්‍රතිචාරය දක්වයි: “මේ දේවල් අසවල් බලයෙන් කරමියි මමත් නුඹලාට නොකියමි.”—මතෙව් 21:23-27.
දැන් යේසුගේ සතුරන් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි ඔහු පවසන යමකින් ඔහුව හසු කරගන්න උත්සාහ කරයි. “කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද”? කියා ඔවුන් අසයි. “ආදායම් මිලය මට පෙන්වන්න” කියා යේසු ඊට ප්‍රතිචාරය දක්වයි. ඔහු මෙසේ අසයි: “මේ රූපයත් සටහනත් කාගේද”? “කායිසර්ගේය” කියා ඔවුන් පවසයි. ඔවුන්ව වියවුල් තත්වයට පත් කරමින්, යේසු අසාගෙන සිටින සියලුදෙනාටම පැහැදිලිව මෙසේ පවසයි: “එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් [දෙවිගේ දේ දෙවිටත්] දෙන්න.”—මතෙව් 22:15-22.
කිසිවිටකත් බිඳහෙළිය නොහැකි තර්කයක් මගින් තම සතුරන්ව නිහඬ කිරීමෙන් පසු, යේසු දැන් සමූහයා හා තම ගෝලයන් ඉදිරියෙහි ප්‍රබල ලෙස ඔවුන්ව හෙළාදකියි. ඔහු නිර්භයව ලියන්නන් හා ඵරිසිවරුන්ව හෙළාදකිද්දී එයට සවන් දෙන්න. “ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.” ඔවුන්ව අන්ධ මඟ පෙන්වන්නන් හා කුහකයන් ලෙස හඳුන්වමින් ඔහු නිර්භයව ඔවුන් කෙරෙහි පැමිණෙන දුක් ඇතුළත් ප්‍රකාශ මාලාවක් ප්‍රසිද්ධියේ කරයි. “සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ [ගෙහෙන්නාවේ, NW] දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?”—මතෙව් 23:1-33.
මේ දරුණු හෙළාදැකීම්වලින් අදහස් වන්නේ නැහැ, යේසු අනිත් අයගේ යහපත් ක්‍රියා ගැන ඇස් වසාගෙන සිටිනවා කියා. පසුව, දේවමාළිගාවේ මුදල් පෙට්ටිවලට මිනිසුන් මුදල් දමනවා ඔහු බලා සිටියි. දිළිඳු වැන්දඹුවක් තමාගේ ජීවිකාවට තිබෙන සියල්ල, එනම් කුඩා වටිනාකමක් තිබෙන කාසි දෙකක් දමනවා බලා සිටීම හෘදයට මොනතරම් කාවදිනවාද! ඇත්තෙන්ම “තමුන්ගේ වැඩිමනත් දෙයින්” වැඩිපුර සම්මාදම් දැමූ අයට වඩා වැඩියෙන් ඈ දමා තිබෙනවා කියා උණුසුම් ලෙස අගය කරමින් යේසු පෙන්වා දෙයි. යමෙකුට කරන්න පුළුවන් දෙය කුමක් වුවත් යේසු තම මෘදු මොළොක් දයානුකම්පාවෙන් යුක්තව එය ගැඹුරු ලෙස අගය කරනවා.—ලූක් 21:1-4.
යේසු දැන් අන්තිම වතාවට දේවමාළිගාවෙන් පිට වෙමින් සිටියි. ඔහුගේ ගෝලයන්ගෙන් කිහිපදෙනෙක් එය “ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා [තිබීම]” නැතහොත් එහි තේජවත්භාවය ගැන තමන් දකින දේවල් කියා සිටියි. ඔවුන්ව මවිතයට පත් කරමින් යේසු ඊට මෙසේ ප්‍රතිචාරය දක්වයි: “ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේය.” (ලූක් 21:5, 6) මේ ප්‍රේරිතයන් නගරයේ සිටින විශාල සමූහය අතරින් තෙරපීගෙන යේසු පසුපස යද්දී, ඔහු අදහස් කරන්න ඇත්තේ කුමක්ද කියා ඔවුන් කල්පනා කරයි.
ඔව්, ටික වේලාවකට පසු යේසු හා ඔහුගේ අනුගාමිකයන් ඔලීව කන්ද මත වාඩි වී එහි තිබෙන සාමකාමී හා ශාන්තභාවයෙන් සතුටක් ලබයි. ඔවුන් යෙරුසලමේ හා දේවමාළිගාවේ ඉතා අලංකාර දර්ශනය දකින විට පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ අන්දෘයේසු කලින් පැවසූ පුදුමසහගත අනාවැකිය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියි. ‘මේ දේවල් සිදු වන්නේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත් දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ වන්නේ කුමක්ද කියා අපට කියන්න’ කියා ඔවුන් පවසයි.—මතෙව් 24:3, NW; මාර්ක් 13:3, 4.
එම ප්‍රශ්නවලට උත්තර දෙමින් මේ අතිදක්ෂ ගුරුවරයා සැබවින්ම විශිෂ්ට අනාවැකියක් සපයයි. දරුණු යුද්ධ, භූමිකම්පා, ආහාර හිඟයන් හා වසංගත ගැන ඔහු අනාවැකි පළ කරයි. රාජ්‍යයේ ශුභාරංචිය පොළොව පුරා දේශනා කරනු ලබන බවත් යේසු පුරෝකථනය කරයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය” කියා ඔහු අනතුරු අඟවයි.—මතෙව් 24:7, 14, 21; ලූක් 21:10, 11.
යේසු ‘තම පැමිණ සිටීම හා සම්බන්ධ ලකුණේ’ වෙනත් අංගයක් ගැන සාකච්ඡා කරද්දී මේ ප්‍රේරිතයන් සතරදෙනා සාවධානව සවන් දෙයි. ‘දිගටම අවදිව සිටීමේ’ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි. ඒ ඇයි? “මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ [එනවාද කියා] නුඹලා දන්නේ නැත.”—මතෙව් 24:42, NW; මාර්ක් 13:33, 35, 37.
මේ දවස යේසුටත් ඔහුගේ ප්‍රේරිතයන්ටත් අමතක නොවන දවසක් වී තිබෙනවා. ඇත්තෙන්ම එය තමාව අත්අඩංගුවට ගෙන නඩු විභාග කොට මරණ දඬුවම ලබන්න කලින් යේසුගේ ප්‍රසිද්ධ දේවසේවයේ අන්තිම දවසයි. ප්‍රමාද වෙන නිසා, ඔවුන් ළඟ පිහිටි බෙතානියට ගමන් කරයි.
නීසාන් 12 සහ 13
යේසු නීසාන් 12වනදා තම ගෝලයන් සමඟ නිස්කලංකව ගත කරයි. ආගමික නායකයන් තමන්ව මරන්න අදිටන් කරගෙන සිටින බව ඔහු තේරුම්ගන්න අතර, පසුදින සන්ධ්‍යාවේ ඔහු පවත්වන පාස්කු උත්සවයට ඔවුන්ගෙන් බාධා පැමිණෙනවාට ඔහු කැමති නැහැ. (මාර්ක් 14:1, 2) පසුදින, එනම් නීසාන් 13වනදා මිනිසුන් පාස්කුව සඳහා අවසාන පිළියෙළ කිරීම් සූදානම් කිරීමෙහි කාර්ය බහුලව සිටියි. යෙරුසලමේ පිහිටි උඩුමහලක ඔවුන් වෙනුවෙන් පාස්කුව පිළියෙළ කිරීම සඳහා යේසු පස්වරුවේ මුල්භාගයේදී පේතෘස්ව හා යොහන්ව යවයි. (මාර්ක් 14:12-16; ලූක් 22:8) හිරු බැසයන්න ටික වේලාවකට කලින් යේසු හා අනිත් ප්‍රේරිතයන් දසදෙනා අන්තිම පාස්කුව පැවැත්වීම සඳහා එහිදී මුණගැසෙයි.
නීසාන් 14වනදා හිරු බැසයෑමෙන් පසු
ඔලීව කන්දට ඉහළින් පුන් සඳ පායාගෙන එද්දී, යෙරුසලම සිහින් සඳ රැස් ධාරාවෙන් නැහැවී තිබෙයි. අවශ්‍ය දේවල් සපයා තිබෙන විශාල කාමරයක යේසු හා 12දෙනා කලින් සූදානම් කර තිබූ මේසයට ඇල වී බිම වාඩි වෙයි. “වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි” කියා ඔහු පවසයි. (ලූක් 22:14, 15) ටික වේලාවකට පසු, යේසු නැඟිට තමාගේ පිටත වස්ත්‍ර ගළවා පැත්තකින් තබනවා දැකීමෙන් ප්‍රේරිතයන් පුදුමයට පත් වෙයි. තුවායක් හා වතුර බේසමක් රැගෙන ඔහු ඔවුන්ගේ පාද සෝදන්ට පටන්ගනියි. නිහතමානි සේවාව පිළිබඳ අමතක නොවන මොනතරම් කදිම පාඩමක්ද!—යොහන් 13:2-15.
කොහොමවුණත්, මේ අය අතර සිටින කෙනෙක්, එනම් යූදස් ඉස්කාරියොත් දැනටමත් තමන්ව ආගමික නායකයන්ට පාවා දීමට කටයුතු පිළියෙළ කර තිබෙන බව යේසු දනියි. ඔහු ඉතාමත් වේදනාකාරි තත්වයකට පත් වන බව තේරුම්ගැනීම එතරම් අමාරු නැහැ. “නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේය” කියා ඔහු හෙළි කරයි. ප්‍රේරිතයන් මේ ගැන දැඩි ලෙස ශෝක වෙයි. (මතෙව් 26:21, 22) පාස්කුව පැවැත්වීමෙන් පසුව, යේසු යූදස්ට මෙසේ කියයි: “නුඹ කරන දේ ඉක්මනට කරන්න.”—යොහන් 13:27.
යූදස් පිට වී ගියාත් සමඟම යේසු සිදුවීමට ආසන්න තම මරණය සිහිපත් කිරීම සඳහා භෝජනයක් හඳුන්වා දෙයි. ඔහු මුහුන් නොදැමූ රොටියක් රැගෙන යාච්ඤාවකින් ස්තුති කොට, එය කඩා එයට පංගුකාරයන් වෙන්න කියා 11දෙනාට උපදෙස් දෙයි. “මෙයින් අදහස් කරන්නේ ඔබ උදෙසා ලබා දීමට යන මාගේ ශරීරයයි. මා සිහි කිරීම පිණිස මෙය දිගටම කරන්න” කියා යේසු පවසයි. අනතුරුව ඔහු රතු පාට මුද්‍රිකපානය වත් කර තිබූ කුසලානයක් ගනියි. ආශීර්වාද කිරීමෙන් පසුව, ඔහු එයින් බොන්න කියා ඔවුන්ට පවසමින් ඒක ඔවුන්ගේ අතින් අත යවයි. යේසු තවදුරටත් මෙසේ පවසයි: “මෙයින් අදහස් කරන්නේ පව් කමාව උදෙසා බොහෝදෙනෙකු වෙනුවෙන් වගුරුවනු ලැබීමට යන ගිවිසුමේ මාගේ ලේය.”—ලූක් 22:19, 20, NW; මතෙව් 26:26-28.
මේ අතිවැදගත් සන්ධ්‍යාවේදී යේසු තම විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට වටිනා පාඩම් බොහොමයක් උගන්වයි; මේවා අතර සහෝදර ප්‍රේමයේ වැදගත්කමද වෙයි. (යොහන් 13:34, 35) ඔවුන්ට ‘සැනසිලිකාරයෙක්’ එනම් ශුද්ධාත්මය ලැබෙන බවට ඔහු සහතික කරයි. ඔහු ඔවුන්ට පැවසූ සියල්ල එය ඔවුන්ට සිහිගන්වන්න යනවා. (යොහන් 14:26) රාත්රියේදී, යේසු ඔවුන් වෙනුවෙන් කළ උද්යෝගිමත් යාච්ඤාවට සවන් දීමෙන් ඔවුන් ඉමහත් දිරිගැන්වීමක් ලබන්න ඇති. (යොහන් 17වන පරිච්ඡේදය) ප්‍රශංසා කිරීමේ ගීතිකා ගායනා කිරීමෙන් පසුව, ඔවුන් උඩුමහල් කාමරයෙන් පිටත් වී, යේසු පසුපස යමින් ශීතල මැදියම් රාත්‍රියේ හමන සුළං අතරට ගමන් කරයි.
යේසු හා ඔහුගේ ප්‍රේරිතයන් කිද්‍රොන් මිටියාවත හරහා තමන් ඉතා ප්‍රිය කළ ස්ථාන අතුරින් එකක් වන ගෙත්සෙමන උයනට ගමන් කරයි. (යොහන් 18:1, 2) තම ප්‍රේරිතයන් නතර වී සිටින අතරතුර යේසු යාච්ඤා කිරීම සඳහා ටිකක් ඈතට යයි. ඔහු උපකාරය පතා දෙවිට මහත් ඕනෑකමින් අයදින විට ඔහුගේ මානසික පීඩනය වචනවලින් විස්තර කරන්න බැහැ. (ලූක් 22:44) යම් හෙයකින් තමා අසමත් වුණොත් එයින් තම ආදරණීය ස්වර්ගික පියා මත පැටවෙන නින්දාව ගැන සිතීමෙන්ම ඔහු දැඩි වේදනාවක් අද්දකියි.
යූදස් ඉස්කාරියොත් සමූහයක් සමඟ කඩු, මුගුරු හා පන්දම් අරගෙන එන විට යේසු යාච්ඤා කිරීම අවසන් කළා විතරයි. යේසුව ආදරයෙන් සිප වැලඳගනිමින් “රබ්බි, ශුභසිද්ධවේවා” කියා යූදස් පවසයි. මෙය යේසුව අත්අඩංගුවට ගැනීම සඳහා මිනිසුන්ට දෙන සංඥාවයි. පේතෘස් විගස තමාගේ කඩුව අරගෙන උත්තම පූජකයාගේ දාසයාගේ කනක් කපා දමයි. ඒ මිනිසාගේ කන සුව කරමින් යේසු “නුඹේ කඩුව කොපුවේ දමන්න” කියා පවසයි. “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.”—මතෙව් 26:47-52.
හැම දෙයක්ම වේගයෙන් සිදු වෙයි! යේසුව අත්අඩංගුවට ගෙන බඳියි. බිය වී හා වියවුල් වී ප්‍රේරිතයන් තම ස්වාමියාව අත්හැර පලා යයි. යේසුව කලින් සිටි උත්තම පූජකයා වන අන්නස් ළඟට ගෙන යයි. අනතුරුව නඩු ඇසීම සඳහා ඔහුව වර්තමාන උත්තම පූජකයා වන කායාඵස් ළඟට ගෙන යයි. උදෑසන මුල් භාගයේ පැය කිහිපයේදී යුදෙව් මන්ත්‍රණ සභාව දේවාපහාස කිරීමේ බොරු චෝදනාව යේසුට විරුද්ධව එල්ල කරයි. ඊළඟට කායාඵස් ඔහුව රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් වෙතට රැගෙන යයි. ඔහු යේසුව ගලීලයේ ආණ්ඩුකාරයා වන හෙරොද් අන්තිපාස් වෙතට යවයි. හෙරොද් හා ඔහුගේ ආරක්ෂක භටයන් යේසුට කවටකම් කරයි. අනතුරුව, නැවතත් ඔහුව පිලාත් ළඟට එවයි. යේසුගේ නිර්දෝෂිභාවය පිලාත් තහවුරු කරයි. ඒත් යේසුව මරණයට පත් කරන්න කියා යුදෙව් ආගමික නායකයන් බල කර සිටියි. විශාල ලෙස වාචිකව හා ශාරීරිකව අයුතු ලෙස සැලකීමෙන් පසුව ගොල්ගොතා නම් ස්ථානයට රැගෙන යයි; එහිදී ඔහුව අනුකම්පා විරහිත ලෙස වධ කණුවක් මත ඇණ ගසන අතර, ඔහු වේදනාකාරි මරණයක් අද්දකියි.—මාර්ක් 14:50–15:39; ලූක් 23:4-25.
යේසුට අත් වූ මරණය මගින් ඔහුගේ ජීවිතය සදහටම අවසන් වුණා නම්, ඉතිහාසයේ විශාලතම ඛේදවාචකය වීමට තිබුණේ ඔහුගේ මරණයයි. එය එසේ නොවීම සතුටට කරුණක්. පොදු යුගයේ 33 නීසාන් 16වනදා ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බව දැනගැනීමෙන් ගෝලයන් පුදුම වුණා. කාලය ගතවීමත් සමඟම මිනිසුන් 500දෙනෙකුට යේසු නැවතත් ජීවමානව සිටීම සැබෑවක් බව තහවුරු කරගැනීමට හැකි වුණා. ඒ වගේම ඔහුගේ නැවත නැඟිටීමෙන් දවස් 40කට පසුව ඇදහිලිවන්ත අනුගාමිකයන් කණ්ඩායමක් ඔහු ස්වර්ගයට යනවා දැක්කා.—ක්‍රියා 1:9-11; 1 කොරින්ති 15:3-8.
යේසුගේ ජීවිතය හා ඔබ
මේ දේවල් ඔබට—ඇත්තෙන්ම අප සියලුදෙනාටම—බලපාන්නේ කෙසේද? ඔව්, යේසුගේ දේවසේවය, මරණය සහ නැවත නැඟිටීම මගින් යෙහෝවා දෙවිව මහිමයට පමුණුවන අතර, ඒවා ඔහුගේ උදාර අරමුණ ක්‍රියාත්මක වීමේදී අතිශය වැදගත්කමකින් යුත් දේවල් වෙනවා. (කොලොස්සි 1:18-20) යේසුගේ පූජාවේ පදනම මත අපේ පාපවලට අපට කමාව ලබාගැනීමටත්, ඒ හේතුවෙන් යෙහෝවා දෙවි සමඟ පෞද්ගලික සබඳතාවක් ඇති කරගැනීමටත් ඒවා අපට ඉතා වැදගත් වෙනවා.—යොහන් 14:6; 1 යොහන් 2:1, 2.
මනුෂ්‍යවර්ගයා අතරින් මියගිය අයට පවා එය බලපානවා. දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීස පොළොවේ ජීවනයට ඔවුන්ව ආපසු ගෙන ඒමට යේසුගේ නැවත නැඟිටීම මාර්ගය විවෘත කරනවා. (ලූක් 23:39-43; 1 කොරින්ති 15:20-22) එවැනි කාරණා ගැන තවත් දේවල් දැනගන්න ඔබ කැමති නම්, 1998 අප්‍රියෙල් 11වනදා ඔබේ ප්‍රදේශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ පවත්වන ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට පැමිණෙන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.
[6වන පිටුවේ කොටුව]
“සොරුන්ගේ ගුහාවක්”
ගිජු වෙළඳුන් දේවමාළිගාව “සොරුන්ගේ ගුහාවක්” බවට පත් කර තිබුණා කියා පැවසීමට යේසුට ඕන තරම් හේතු තිබුණා. (මතෙව් 21:12, 13) වෙනත් දේශවලින් පැමිණෙන යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට දේවමාළිගාවේ බද්ද ගෙවීම සඳහා තමන් ළඟ තිබූ විදේශීය මුදල් පිළිගනු ලබන මුදල් ඒකකයකට මාරු කරගන්න සිදු වුණා. පාස්කුවකට කලින් මාසය වූ ආදාර් මාසයේ 15වනදා මුදල් මාරු කරන්නන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු රෝමයේ පාලනය යටතේ පැවති පළාත්වල පටන්ගත් බව ඇල්ෆඩ් එඩ්’ශිම්, ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ජීසස් ද මෙසායා (මෙසියස් වන යේසුගේ ජීවිතය හා කාලය) නමැති තම පොතේ පැහැදිලි කරනවා. ආදාර් 25වනදා පටන්, ඔවුන් යෙරුසලමට විශාල වශයෙන් ඇදී එන යුදෙව්වන්ගේ හා යුදෙව් ආගමට හැරුණු අයගේ මුදල් මාරු කිරීමෙන් ලාභ ඉපයීම සඳහා දේවමාළිගාව පිහිටි ප්‍රදේශයට ආවා. මාරු කරන හැම මුදලකටම ගාස්තුවක් අය කිරීමෙන් වෙළෙන්දන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. ඔවුන් මොනතරම් අධික ගාස්තුවක් අය කළාද කියනවා නම් ඇත්තෙන්ම ඔවුන් දුප්පත් අයගෙන් මුදල් පැහැරගනිමින් සිටි බව යේසු සොරුන් හැටියට ඔවුන් ගැන සඳහන් කිරීමෙන් ඇඟවෙනවා.
සමහරුන්ට පූජා කිරීම සඳහා තමන්ගේම සතෙක්ව ගෙනෙන්න බැරි වුණා. එසේ සතෙක්ව ගෙනා ඕනෑම කෙනෙක් ඒ සතාව දේවමාළිගාවේ සිටි පරීක්ෂකයෙකු ලවා ගාස්තුවක් ගෙවා පරීක්ෂා කරගත යුතුව තිබුණා. බොහෝ දුරක සිට සතෙකුව ගෙනාවට පසු ඌව ප්‍රතික්ෂේප කිරීමේ පාඩුව ලබන්න කැමති නොවූ බොහෝදෙනෙක්, දේවමාළිගාවේ සිටි දූෂිත වෙළඳුන්ගෙන් ලෙවී සම්ප්‍රදායට අනුව “අනුමත කළ” එකෙක් මිල දී ගත්තා. “එහිදී දුප්පත් ගැමියන් බොහෝදෙනෙකුගේ මුදල් සූරාකෑවා” කියා එක් විද්වතෙක් පවසනවා.
එක් කලක උත්තම පූජකයා වූ අන්නස් හා ඔහුගේ පවුලේ අය දේවමාළිගාවේ වෙළඳුන් එක්ක පෞද්ගලික වාසි ලබන සබඳතා තිබූ බවට සාක්ෂි තිබෙනවා. “අන්නස්ගේ පුත්‍රයන්ගේ [දේවමාළිගාවේ] වෙළඳ සැල්” ගැන රබ්බිවරුන්ගේ ලියවිලිවල කතා කරනවා. දේවමාළිගාවේ භූමියේ සිටි මුදල් මාරුකරන්නන්ගෙන් හා සතුන් අළෙවි කළ අයගෙන් ලැබූ ආදායම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක් වුණා. වෙළඳුන්ව පිටමං කරමින් යේසු ගත් ක්‍රියාමාර්ගයේ “ඉලක්කය වූයේ පූජකයන්ගේ නම්බුව විතරක් නොව, නමුත් ඔවුන්ගේ පසුම්බියයි” කියා එක් විද්වතෙක් පවසනවා. හේතුව මොකක් වුණත්, ඔහුව මරා දමන්න ඔහුගේ සතුරන්ට වුවමනා වූ බව නිසැකයි!—ලූක් 19:45-48.
[4වන පිටුවේ වගුව]
යේසුගේ මිනිස් ජීවිතයේ අන්තිම දවස්
පො.යු. 33 නීසාන් සිද්ධීන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා*
7 සිකුරාදා යේසු හා ඔහුගේ ගෝලයන් 101, ඡේ. 1
යෙරිකෝවේ සිට යෙරුසලමට ගමන්
කරයි (නීසාන් 7 හෙබ්‍රෙව් දවස් එක්
සන්ධ්‍යාවක සිට ඊළඟ සන්ධ්‍යාව
දක්වා දිව ගියත් 1998 අප්‍රියෙල් 5වන
ඉරිදාට සමානයි)
8 සිකුරාදා සවස යේසු සහ ඔහුගේ ගෝලයන් බෙතානියට 101, ඡේ. 2-4
පැමිණෙයි; සබත ආරම්භ වෙයි
සෙනසුරාදා සබත (1998 අප්‍රියෙල් 6වන සඳුදා) 101, ඡේ. 4
9 සෙනසුරාදා සවස ලාදුරු රෝගියෙකු වූ සීමොන් සමඟ 101, ඡේ. 5-9
ආහාර ගනියි; මරියා ජටාමාංස තෙලින්
යේසුව ආලේප කරයි; බොහෝදෙනෙක්
යේසුව දැකබලා ගැනීමට හා ඔහුට
සවන් දීමට යෙරුසලමේ සිට පැමිණෙයි
ඉරිදා ජයග්‍රාහී ලෙස යෙරුසලමට ඇතුල් වෙයි; 102
දේවමාළිගාවේ උගන්වයි
10 සඳුදා යෙරුසලමට කලින්ම ගමන් කරයි; 103, 104
දේවමාළිගාව පවිත්‍ර කරයි;
යෙහෝවා ස්වර්ගයේ සිට කතා කරයි
11 අඟහරුවාදා යෙරුසලමේදී, නිදසුන් යොදාගනිමින් 105-112
දේවමාළිගාවේ උගන්වයි; ඵරිසිවරුන්ව ඡේ. 1
හෙළා දකියි; වැන්දඹුවගේ සම්මාදම
සැලකිල්ලට ගනියි; තමාගේ අනාගතික
පැමිණසිටීම හා සම්බන්ධ ලකුණ සපයයි
12 බදාදා බෙතානියේදී ගෝලයන් සමඟ ගත කරන 112, ඡේ. 2-4
නිස්කලංක දවසක්; යූදස් පාවා දීම
සඳහා කටයුතු පිළියෙළ කරයි
13 බ්‍රහස්පතින්දා පේතෘස් සහ යොහන් යෙරුසලමෙහි 112, ඡේ. 5 සිට
පාස්කුව සූදානම් කරයි; යේසු සහ අනිකුත් 113, ඡේ. 1
ප්‍රේරිතයන් දසදෙනා සවස එහි යයි
(1998 අප්‍රියෙල් 11වන සෙනසුරාදා)
14 බ්‍රහස්පතින්දා සවස පාස්කු උත්සවය; යේසු ප්‍රේරිතයන්ගේ 113, ඡේ. 2
පාද සෝදයි; යූදස් යේසුව පාවා දීම සිට 117
සඳහා පිටත්ව යයි; ක්‍රිස්තුස් තම මරණය
සිහි කිරීම ස්ථාපිත කරයි (හිරු බැසයෑමෙන්
පසු, 1998 අප්‍රියෙල් 11වන සෙනසුරාදා)
මධ්‍යම රාත්‍රියෙන් පසු ගෙත්සෙමන උයනේදී පාවා දීම 118-120
හා අත්අඩංගුවට ගැනීම; ප්‍රේරිතයන් පලා
යයි; නායක පූජකයන් හා යුදෙව් මන්ත්‍රණ
සභාව ඉදිරියෙහි නඩුව විභාග කරයි;
පේතෘස් යේසුව ප්‍රතික්ෂේප කරයි
සිකුරාදා හිරු උදාවේ සිට නැවතත් යුදෙව් මන්ත්‍රණ සභාව 121-127, ඡේ. 7
හිරු බැසයෑම දක්වා ඉදිරිපිට; පිලාත් ළඟට, පසුව
හෙරොද් ළඟට, අනතුරුව නැවතත්
පිලාත් ළඟට; මරණයට නියම කරයි;
වධ කණුවේ එල්ලයි; භූමදානය
15 සෙනසුරාදා සබත; යේසුගේ සොහොන ආරක්ෂා 127, ඡේ. 8-10
කිරීමට පිලාත් අවසර දෙයි
16 ඉරිදා යේසුව නැවත නැඟිටුවනු ලබයි 128
* මෙහි සඳහන් කර තිබෙන සංඛ්‍යාවලින් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතේ පරිච්ඡේද දක්වයි. යේසුගේ අවසාන දේවසේවය පිළිබඳ ශුද්ධ ලියවිලිමය විස්තර ඇතුළත් සටහනක් සඳහා “මුළු ශුද්ධ ලියවිල්ල දේවානුභාවයෙන්ය, තවද . . . ප්රයෝජනවත්ය” (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 290වන පිටුව බලන්න. එම පොත් Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.