අවසානයේදී—සැමට යුක්තිය
“නව අදහස්වලට . . . වේදනාව මුසු වුණු හඬවලට, කනස්සල්ල මුසු වුණු හඬවලට මෙන්ම සවන් යොමු නොකිරීමෙන් බලාපොරොත්තු සුන් වුණු හඬවලට සවන් දෙන්න අපි දැඩි ප්රයත්නයක් දරන්න යනවා. . . . කරන්න ඉතිරිව තිබෙන්නේ නීති පොතේ තිබෙන දේ ක්‍රියාත්මක කරවීම හා සැමදෙනාම දෙවි ඉදිරියෙහි සමාන ගරුත්වයකින් යුතුව ඉපද සිටින බැවින්, සියලුමදෙනා මිනිසා ඉදිරියෙහිත් සමාන ගරුත්වයකින් යුතුව ඉපද සිටින බව සහතික කරවීමයි.”—එ.ජ. ජනාධිපති රිචඩ් මිල්හවුස් නික්සන් විසින් 1969 ජනවාරි 20වනදා සමාරම්භක ඇමතුමේදී පවසන ලදි.
රජවරු, ජනාධිපතිවරු හා අගමැතිවරු බලයට පත් වන විට, යුක්තිය ගැන කතා කිරීම ඔවුන්ගේ පුරුද්දයි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් සම්බන්ධයෙනුත් එය සැබෑවක් වුණා. සිදු වූ දේවල තික්ත යථාර්ථය දෙස බලද්දී, ඔහුගේ ඒ සුමිහිරි වදන්වල සුන්දරත්වය නැති වී ගොස් තිබෙනවා. ‘නීතිය ක්‍රියාත්මක කරන්න’ ඔහු ප්‍රතිඥා දුන්නත්, පසු කලෙක නික්සන් නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, ඔහුගේ නිලය අත්හැරීමට සිදු වුණා. දශක තුනකට පසුවත්, ‘වේදනාව, කනස්සල්ල හා බලාපොරොත්තු සුන්භාවය මුසු වුණු හඬවල්,’ සවන් යොමු කරන තෙක් දිගටම මොර දෙනවා.
යහපත් චේතනාවෙන් කටයුතු කළ නායකයන් විශාල පිරිසක් අද්දැක තිබෙන්නාක් මෙන් එවැනි හඬවල්වලට සවන් යොමු කිරීම හා දුක්ගැනවිලි සොයාබැලීම පහසු දෙයක් නොවෙයි. ‘සැමට යුක්තිය,’ අත් කරගැනීමට අසීරු ඉලක්කයක් බව සනාථ වී තිබෙනවා. කෙසේවෙතත්, අපේ අවධානය යොමු කිරීමට වටින, යුක්තිය සම්බන්ධයෙන් අද්විතීය පොරොන්දුවක් සියවස් ගණනාවකට කලින් සිදු කළා.
තමා විසින්ම තෝරාගන්න ‘මෙහෙකරුවෙක්’ ඔවුන් වෙතට එවන බවට යෙසායා නම් අනාගතවක්තෘ මගින් දෙවි තම සෙනඟට සහතික වුණා. “මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි” කියා යෙහෝවා ඔවුන්ට පැවසුවා. “ඔහු ජාතීන්ට යුක්තිය ගෙන එන්නේය [NW].” (යෙසායා 42:1-3) සියලුම ජාතීන්ට කල්පවතින යුක්තිය සලසන එවන් ප්‍රකාශයක් කරන්න තරම් නිර්භීත මිනිස් පාලකයෙක් නැහැ. මේ පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්ද? සුවිශේෂ වූ එවන් ජයග්‍රහණයක් සම්පූර්ණ කරගත හැකිද?
අපට දැඩි සේ විශ්වාස කළ හැකි පොරොන්දුවක්
පොරොන්දුවක විශ්වසනීයත්වය රඳාපවතින්නේ පොරොන්දුව දෙන තැනැත්තා මතයි. මේ කාරණයේදී, පොරොන්දුව දෙන තැනැත්තා සර්වපරාක්‍රම දෙවි මිස වෙන කිසිවෙකු නොවෙයි; තම “මෙහෙකරුවා” ලොව පුරා යුක්තිය ක්‍රියාත්මක කරන්න යනවා කියා පවසන්නේ ඔහුයි. දේශපාලනඥයන් මෙන් නොව, යෙහෝවා පොරොන්දු සැහැල්ලුවට ගන්නේ නැහැ. ‘දෙවිට බොරු කියන්න බැහැ’ කියා බයිබලය අපට සහතික වෙනවා. (හෙබ්‍රෙව් 6:18) “මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය” කියා අවධාරණයෙන් යුතුව දෙවි ප්‍රකාශ කරනවා.—යෙසායා 14:24.
දෙවිගේ තෝරාගත් “මෙහෙකරුවා” වන යේසුස් ක්‍රිස්තුස් තබා තිබෙන වාර්තාව මගින්ද එම පොරොන්දුව කෙරෙහි අපේ නිසැකකම ශක්තිමත් වෙනවා. යුක්තිය ක්‍රියාත්මක කරන තැනැත්තා යුක්තියට ප්‍රේම කරමින් යුක්තිගරුකව ජීවත් විය යුතුයි. “ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළ” මිනිසෙකු ලෙස යේසු නිදොස් වාර්තාවක් තැබුවා. (හෙබ්‍රෙව් 1:9) ඔහු පැවසූ දේවලින්, ඔහු ජීවත් වූ ආකාරයෙන් හා ඔහු මියගිය ආකාරයෙන් පවා ඔහු සැබවින්ම යුක්තිගරුක මිනිසෙක් බව තහවුරු වුණා. යේසු මියයන අවස්ථාවේදී, පෙනෙන විදිහට ඔහු මුහුණ දුන් පීඩා මෙන්ම මරණය ඇසින් දුටු රෝම හමුදා නිලධාරියෙක් මෙසේ පැවසීමට පෙලඹුණා: ‘සැබවින්ම මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙකි.’—ලූක් 23:47.
ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරනවාට අමතරව, යේසු තමා ජීවත් වූ කාලයේ හාත්පස පැතිරුණු අයුක්තියට එරෙහිව සිටියා. ඔහු එසේ කළේ විප්ලවයකින් හෝ කැරලිගැසීමකින් නොව, නමුත් සවන් දීමට කැමති සියලුදෙනාටම සැබෑ යුක්තිය ඉගැන්වීමෙනුයි. ඔහුගේ කන්ද උඩ දේශනාව සැබෑ යුක්තිය හා ධර්මිෂ්ඨකම ක්‍රියාවට නැංවිය යුතු ආකාරය සම්බන්ධයෙන් කළ අතිදක්ෂ පැහැදිලි කිරීමක්.—මතෙව් 5-7 දක්වා පරිච්ඡේද.
යේසු, දේශනා කළ දේවල් ක්‍රියාවට නැඟුවා. යුදෙව් සමාජයේ සිටි “ස්පර්ශ නොකළ යුතු” අවාසනාවන්ත ලාදුරු රෝගීන්ව ඔහු පිළිකුල්සහගත ලෙස සැලකුවේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන් සමඟ කතාබහ කළා; ඔවුන්ව ස්පර්ශ කළා; ඔවුන්ට සුවයද ගෙන දුන්නා. (මාර්ක් 1:40-42) දිළිඳු අය හා පීඩිතවූවන් ඇතුළු ඔහුට හමු වුණු සෑම කෙනෙක්වම ඔහු වැදගත්කොට සැලකුවා. (මතෙව් 9:36) “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” කියා ඔහු ඔවුන්ට පැවසුවා.—මතෙව් 11:28.
ඒ සියල්ලටම වඩා, තමා කෙරෙහි දූෂිත බලපෑම් ඇති කිරීමට හෝ පරුෂ ලෙස කටයුතු කිරීමට, යේසු තමා වටා තිබූ අයුක්තියට ඉඩහැරියේ නැහැ. ඔහු කවදාවත් නපුරට නපුර කළේ නැහැ. (1 පේතෘස් 2:22, 23) දරාගත නොහැකි දැඩි වේදනාවකින් පෙළෙන අවස්ථාවේදී පවා තමාව වධ කණුවේ එල්ලීමට හවුල් වුණු සෑම සොල්දාදුවෙක් වෙනුවෙන්ම තම ස්වර්ගික පියාට යාච්ඤා කළා. “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති” කියා ඔහු ආයාචනා කළා. (ලූක් 23:34) ඇත්තෙන්ම, යේසු ‘යුක්තිය කියන්නේ මොකක්ද කියා ජාතීන්ට පැහැදිලි කළා.’ (මතෙව් 12:18, NW) යුක්තිසහගත ලෝකයක් බිහි කිරීම සඳහා වන දෙවිගේ ආශාව සම්බන්ධයෙන් ඔහුගේම පුත්‍රයාගේ ජීවමාන ආදර්ශය තරම් ප්‍රබල සාක්ෂියක් අපට ඇද්ද?
අයුක්තිය පරාජය කළ හැක
අයුක්තිය පරාජය කළ හැකි බවට ජීවමාන සාක්ෂි අද ලෝකයේ දකින්න තිබෙනවා. පුද්ගලයන් හැටියට මෙන්ම සංවිධානයක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අගතිය, පැතිගැනීම්, වාර්ගිකත්වය හා සාහසිකකම මැඩපැවැත්වීම සඳහා දැඩි ප්රයත්නයක් දරනවා. මතු දැක්වෙන අද්දැකීම සලකා බලන්න.
ස්පාඤ්ඤයේ බැස්ක් නමැති ප්‍රදේශයෙහි යුක්තිය ඉටු කිරීමට තිබෙන එකම මඟ කැරලිකාර ක්‍රියාමාර්ගයක් ගැනීම පමණයි කියා ඒ ප්‍රදේශයේ ජීවත් වූ පෙඩ්රෝa විශ්වාස කළා. මේ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහු ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුණා; එම සංවිධානය විසින් ඔහුට ප්‍රංශයේදී යුද්ධ පුහුණුවක් දුන්නා. ඔහුගේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසුව, ත්‍රස්තවාදී කල්ලියක් පිහිටුවාගෙන, පොලිස් බැරැක්කයක් පුපුරුවා හරින්න කියා ඔහුට නියෝග කළා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ කණ්ඩායම බෝම්බ සාදමිනුයි සිටියේ. ඔහුව මාස 18කට සිරගත කළත්, සිර කුටියේදී දේශපාලනික කටයුතු කරගෙන ගියා; උපවාසයේ යෙදෙමින් එක් අවස්ථාවක ඔහුගේ මැණික් කටුව කපාගත්තා.
තමා සටන් කරමින් සිටියේ යුක්තිය වෙනුවෙන් කියා පෙඩ්රෝ සිතුවා. කලකට පසු ඔහු යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගත්තා. පෙඩ්රෝ සිරගෙදර සිටි කාලයේදී ඔහුගේ බිරිඳ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා; ඔහු නිදහස ලබා ආ පසු, සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන්න කියා ඈ ඔහුට ආරාධනා කළා. ඒ අවස්ථාවෙන් ඔහු මොනතරම් සතුටක් අද්දැක්කාද කිව්වොත් ඔහු බයිබල් පාඩමක් ඉල්ලා සිටියා; එම පාඩමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු තමාගේ ආකල්පවල හා ජීවන මාර්ගයේ විශාල වෙනස්කම් සිදු කළා. අන්තිමේදී, පෙඩ්රෝ හා ඔහුගේ බිරිඳ 1989දී බව්තීස්ම වුණා.
“මම ත්‍රස්තවාදියෙකුව සිටි කාලයේදී කවදාවත් කිසිම කෙනෙකුව මරා දමා නැති එක ගැන යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා” කියා පෙඩ්රෝ පවසනවා. “දැන් මම සැබෑ සාමයේ හා යුක්තියේ පණිවිඩය, එනම් දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ගැන මිනිසුන්ට දේශනා කරන්න දෙවිගේ ආත්මයේ කඩුව වන බයිබලය පාවිච්චි කරනවා.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙකු හැටියට දැන් සේවය කරන පෙඩ්රෝ, කලින් විනාශ කරන්න අදහස් කළ බැරැක්කයම මෑතකදී බැහැදකින්න ගියා. මේ වතාවේදී ඔහු එහි ගියේ එහි ජීවත් වෙන පවුල්වලට සාමයේ පණිවිඩයක් දේශනා කිරීමේ අරමුණ ඇතුවයි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ වෙනස්කම් සිදු කරන්නේ ඔවුන් දැඩි ආශාවකින් ධර්මිෂ්ඨ ලෝකයක් බලා සිටින නිසයි. (2 පේතෘස් 3:13) මෙය සිදු කරනු ලබන බවට වූ දෙවිගේ පොරොන්දුව කෙරෙහි ඔවුන් මුළුමනින්ම දැඩි විශ්වාසය තැබුවත්, යුක්තිගරුකව ජීවත් වීමට තමන් බැඳී සිටින බව ඔවුන් තේරුම්ගන්නවා. අපේ කොටස කිරීම දෙවි අපෙන් බලාපොරොත්තු වන බව බයිබලය අපට පැහැදිලිව පෙන්වා දෙනවා.
ධර්මිෂ්ඨකමේ බීජ වැපිරීම
ඇත්තයි, අයුක්තිය අද්දකින විට, මෙසේ මොරගැසීමට අප තුළ නැඹුරුවාවක් ඇති විය හැකියි: ‘යුක්තියේ දෙවි කොතැනද,?’ එම මොරගැසීම කළේ මලාකීගේ දවසේ විසූ යුදෙව්වන්. (මලාකී 2:17) දෙවි ඔවුන්ගේ පැමිණිල්ල බැරෑරුම් එකක් ලෙස සැලකුවාද? ඊට වෙනස්ව, එය ඔහු තුළ ‘වෙහෙසකාරිබවක්’ ඇති කළා; එයට හේතුව එසේ පැමිණිලි කිරීමට අමතරව ඔවුන් වයසට ගොස් සිටින තමන්ගේ භාර්යාවන්ට ද්‍රෝහි වෙමින් පොඩි පොඩි හේතු මවාපාමින් ඔවුන්ව දික්කසාද කරමින් සිටීමයි. ‘තමන්ගේ තරුණ වයසේදී විවාහ කරගත් භාර්යාවන් තමන්ගේ ගිවිසුමේ පංගුකාරියන්ව සිටියත්, ඔවුන්ට ද්‍රෝහිවීම’ ගැන යෙහෝවා තම කනස්සල්ල ප්‍රකාශ කළා.—මලාකී 2:14.
අපි අයුක්තිසහගතව කටයුතු කරනවා නම්, අයුක්තිය ගැන පැමිණිලි කරන්න අපිට අයිතියක් තිබෙනවාද? අනිත් අතට, නපුරට නපුර නොකර, අපි අපගේ හදවත්වලින් අගතිය හා ජාති භේද මුලිනුපුටා දමා, සියලුදෙනාටම අපක්ෂපාතිව හා ප්‍රේමනීයව සලකමින් යේසුව අනුකරණය කරන්න වෑයම් කරනවා නම්, අප ඇත්තටම යුක්තියට ප්‍රේම කරන බව පෙන්වනවා.
යුක්තිය කපාගන්න අපට වුවමනා නම් ‘ධර්මිෂ්ඨකමේ බීජ වපුරන්න’ කියා බයිබලය අපෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (හොෂෙයා 10:12) කොතරම් කුඩා දෙයක් මෙන් පෙනුණත්, අයුක්තිය පරාජය කිරීමට දරන සෑම පෞද්ගලික වෑයමක්ම වැදගත්. කනිෂ්ඨ මාටින් ලූතර් කිං, ඔහුගේ බ’මිංහම් බන්ධනාගාරයේ සිට ලිපියක් (ඉංග්‍රීසියෙන්) යන්නෙහි ලිව්වාක් මෙන්, “ඕනෑම තැනක පවතින අයුක්තිය සෑම තැනකම පවතින යුක්තියට තර්ජනයකි.” ඉක්මනින්ම පැමිණෙන දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොව උරුම කර දෙන්න ඔහු තෝරාගන්නේ ‘ධර්මිෂ්ඨකම සොයන’ අයවයි.—ශෙපනියා 2:3.
යුක්තිය සඳහා වන අපේ බලාපොරොත්තු, සෙලවෙන පදනමක් මත තිබෙන මිනිසුන්ගේ පොරොන්දු මත ගොඩනඟාගත නොහැකි වුණත්, අපේ ප්‍රේමනීය මැවුම්කරුගේ වචනය කෙරෙහි අපිට දැඩි විශ්වාසය තබන්න පුළුවන්. ඒ නිසයි යේසු තම අනුගාමිකයන්ට පැවසුවේ, දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියා දිගටම යාච්ඤා කරන්න කියලා. (මතෙව් 6:9, 10) රාජ්‍යයේ පත් කර සිටින රජු වන යේසු, “මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.”—ගීතාවලිය 72:12, 13.
අයුක්තිය සදහටම නොපවතින බව පැහැදිලියි. දෙවි තමාගේ අනාගතවක්තෘවරයා වන යෙරෙමියා මගින් අපට සහතික වන්නාක් මෙන්, මුළු පොළොව කෙරෙහි බලපවත්වන ක්‍රිස්තුස්ගේ පාලනය මගින් අයුක්තිය සදහටම පරාජය කරන්න යනවා: ‘මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේය. ඒ අවදිය පැමිණි විට සැබෑ ලෙස දාවිත්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැඟුටුවන්නෙමි. ඔහු දේශය මුළුල්ලේ සාධාරණව යුක්තිසහගතව කටයුතු කරන්නේය.’—යෙරෙමියා 33:14, 15, නව අනුවාදය.
[පාදසටහන]
a සැබෑ නම නොවෙයි.