පරිශුද්ධ සේවයේ වරප්‍රසාද ඉතා උතුම්කොට තැකීම
පරිශුද්ධ සේවය හා සම්බන්ධ පැවරුම් සුළුකොට නොතැකිය යුතුයි. පුරාණ යුදයේ විසූ පූජකයන් යෙහෝවාගේ දේවමාළිගාව හා සම්බන්ධ තමන්ගේ වරප්‍රසාද කෙරෙහි උදාසීන ආකල්පයක් පෙන්නූ අවස්ථාවේදී යෙහෝවා ඔවුන්ව දැඩි ලෙස හික්මවනු ලැබුවා. (මලාකී 1:6-14) පරිශුද්ධ සේවය හා සම්බන්ධ තමන්ගේ වගකීම් සුළුකොට තැකීමට ඇතැම් ඉශ්රායෙල්වරුන් නසරීයයන්ව පෙලඹවූ විට යෙහෝවා ඒ පව්කාර ඉශ්රායෙල්වරුන්ට තරවටු කළා. (ආමොස් 2:11-16) සැබෑ ක්‍රිස්තියානීන්ද පරිශුද්ධ සේවයේ නියැලෙන අතර, ඔවුන් එය බැරෑරුම් දෙයක් ලෙස සලකනවා. (රෝම 12:1) මේ පරිශුද්ධ සේවය හා සම්බන්ධ පැති බොහොමයක් තිබෙන අතර, ඒ සියල්ලක්ම වැදගත්.
යේසු සිය අනුගාමිකයන් සමඟ මේ පොළොවේ ජීවත්ව සිටි කාලයේදී, දේවරාජ්‍යයේ ප්‍රකාශකයන් වීමට ඔවුන්ව පුහුණු කළා. කාලය ගතවීමත් සමඟම, ඔවුන්ගේ පණිවිඩය පොළොවේ සීමාවන් දක්වා ළඟා වෙන්න තිබුණා. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) වත්මන් දේවල පිළිවෙළේ අවසාන දවස්වලදී මේ දේශනා කිරීමේ වැඩය පෙරට වඩා මහත් හදිසිතාවකින් කළ යුතුව තිබෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම මේ වැඩයට හවුල් වෙනවා. පුරෝගාමීන් හැටියට සේවය කිරීමෙන් සියදහස් ගණනක් ප්‍රීතිය අද්දකිනවා. ලෝක ව්‍යාප්ත වැඩයේ වැදගත්කමකින් යුත් අවශ්‍යතා ඉටු කිරීම සඳහා බෙතෙල්හි සේවය කරමින්, චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන් හැටියට හෝ මිෂනාරි සේවයේ හවුල් වෙමින් දහස් ගණනක්දෙනා විශේෂ පූර්ණ-කාලීන සේවය සඳහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා. එවැනි විශේෂ සේවා වරප්රසාදවල දිගටම නිරත වෙන්න කැමති අයගේ පැත්තෙන් සලකා බලන කල මෙයට ඇතුළත් වන්නේ මොනවාද?
වහා ඉටු කළ යුතු පවුල් අවශ්‍යතා තිබෙන විට
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් විශේෂ පූර්ණ-කාලීන සේවය කරන්න කලින් තමාගේ තත්වයන්වල යම් වෙනස්කම් කළ යුතුයි. හැම කෙනෙක්ටම මෙය කරන්න බැහැ. දැනටමත් පුද්ගලයෙකු මත පැවරී තිබෙන ශුද්ධ ලියවිලිමය වගකීම් නිසා එය කළ නොහැකි දෙයක් විය හැකියි. කෙසේවෙතත්, දැනටමත් විශේෂ සේවා වරප්රසාදවල නිරත වන අය, ඇතැම්විට මහලු දෙමාපියන් බලාගැනීම ඇතුළු වහා ඉටු කළ යුතු පවුල් අවශ්‍යතාවලට මුහුණ දෙන විට සිදු වන්නේ කුමක්ද? මතු දැක්වෙන බයිබල් ප්‍රතිපත්ති හා උපදෙස් අවශ්‍ය මඟ පෙන්වීම් සපයනවා.
අපේ මුළු ජීවිතයම ගොඩනැඟිය යුත්තේ යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව මතයි. (දේශනාකාරයා 12:13; මාර්ක් 12:28-30) අපට විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙන පරිශුද්ධ දේවල් ඉතා අනර්ඝ ලෙස සැලකිය යුතුයි. (ලූක් 1:74, 75; හෙබ්‍රෙව් 12:16) දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම සඳහා පූර්ණ අවධානයක් දීම අවශ්‍යයි කියා, යේසු එක්තරා අවස්ථාවක තමාගේ ප්‍රමුඛතා වෙනස් කිරීම අවශ්‍ය කළ මිනිසෙකුට පැවසුවා. පෙනෙන විදිහට, මේ මිනිසා තමාගේ පියා මිය යන තෙක් එම ක්‍රියාකාරකමේ හවුල් වීම කල් දමන්න අදහස් කරමින් සිටියා. (ලූක් 9:59, 60) අනිත් අතට, දෙවිට සියල්ලම කැප කර තිබෙනවා කියා පවසමින් “තමාගේ පියා හෝ මව වෙනුවෙන් කිසිවක් [NW]” නොකළ අයගේ වැරදි අදහස් යේසු හෙළි කළා. (මාර්ක් 7:9-13) දෙමාපියන් හා ආච්චිලා සීයලා ඇතුළු ‘තමාගේ අයට’ සැපයීමේ බැරෑරුම් වගකීම ගැන ප්‍රේරිත පාවුල්ද පෙන්වා දුන්නා.—1 තිමෝති 5:3-8.
හදිසි අවශ්‍යතා පැනනඟින විට, විශේෂ සේවාවල නිරත වන අය එම අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමන්ගේ පැවරුම් අත්හැරිය යුතුයි කියා එයින් අදහස් කරනවාද? මෙයට සපයන උත්තරය සාධක බොහොමයක් මත රඳා පවතිනවා. තීරණය පෞද්ගලික එකක්. (ගලාති 6:5) තමන්ගේ පැවරුම් ඉතා අනර්ඝ කොට සැලකුවත්, තම දෙමාපියන්ට අවශ්‍ය උපකාරය සැපයීම සඳහා ඔවුන් සමඟ සිටීමට ගන්න තීරණය නැණවත් එකක් කියා වැඩිදෙනෙකුට හැඟී ගොස් තිබෙනවා. එයට හේතු මොනවාද? අවශ්‍යතාව අතිවැදගත් එකක් වීම, උපකාරය සැපයීමට පවුලේ වෙනත් කිසිම සාමාජිකයෙක් නොමැති වීම හෝ අවශ්‍යතාව සම්බන්ධයෙන් යමක් කරන්න ප්‍රදේශයේ තිබෙන සභාවට නොහැකි වීම යනාදිය හේතු වුණා විය හැකියි. උපකාරය සපයන අතරතුරේදී ඇතැම් අයට පුරෝගාමී සේවය කරන්න හැකි වී තිබෙනවා. පවුලේ අවශ්‍යතාව ඉටු කර දීමෙන් පසුව නැවතත් විශේෂ පූර්ණ-කාලීන සේවයේ හවුල් වෙන්න තවත් අයට හැකි වී තිබෙනවා. කෙසේවෙතත්, බොහෝ අද්දැකීම් සලකා බලන විට, පැනනැඟී තිබෙන තත්වය වෙනත් ආකාරවලින් හසුරුවන්න හැකි වී තිබෙනවා.
තමන්ගේ වගකීම්වලට උර දීම
හදිසි අවශ්‍යතා පැනනඟින විට, තමන්ගේ පැවරුම් අත් නොහැර අවශ්‍යතාවෙන් පෙළෙන අය කෙරෙහි සැලකිල්ල දැක්වීමට විශේෂ පූර්ණ-කාලීන සේවයේ නිරත වන සමහරදෙනෙකුට හැකි වී තිබෙනවා. ආදර්ශ බොහොමයකින් කිහිපයක් පමණක් සලකා බලන්න.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන එක් යුවළක් 1978දී බෙතෙල් සේවයට ඇතුල් වුණා; ඊට කලින් ඔවුන් චාරිකා හා දිස්ත්‍රික් වැඩවල හවුල් වී තිබුණා. දිව්‍යාණ්ඩුමය පිළිවෙත අනුව ක්‍රියාත්මක වන සංවිධානය තුළ වගකීම් කන්දරාවක් මේ සහෝදරයාගේ පැවරුමට අයත් වුණා. ඒ වගේම ඔහුගේ දෙමාපියන්ටත් උපකාරය අවශ්‍ය වුණා. බෙතෙල්හි සේවය කරන මේ යුවළ සෑම අවුරුද්දේම තුන්හතර වතාවක් තමන්ගේ දෙමාපියන්ව බලන්න ගොස් තිබෙනවා; මේ සඳහා ඔවුන්ට යන්නයි එන්නයි කිලෝමීටර් 3,500ක දුරක් ගමන් කරන්න සිදු වුණා. තම දෙමාපියන්ගේ අවශ්‍යතා සැපයීම සඳහා ඔවුන් පෞද්ගලිකව නිවසක් සෑදුවා. හදිසියේ පැනනඟින වෛද්‍යමය අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දැක්වීම සඳහා ඔවුන් දෙමාපියන්ව බලන්න ගොස් තිබෙනවා. අවුරුදු 20ක කාලයක් සඳහා තිබූ ඔවුන්ගේ නිවාඩු සියල්ලම පාහේ අරගෙන තිබෙන්නේ දෙමාපියන්ව බලාගන්නයි. ඔවුන් තමන්ගේ දෙමාපියන්ට ආදරෙයි; ඔවුන්ට ගරු කරනවා; ඒ වුණත් පරිශුද්ධ සේවය තුළ තමන්ට ලැබී තිබෙන වරප්‍රසාද ඔවුන් ඉතා අනර්ඝ කොට සලකනවා.
තවත් සහෝදරයෙක්, අවුරුදු 36ක කාලයක් සංචාරක සේවයේ හවුල් වෙමින් සිටියදී, ඔහුගේ ජීවිතයේ අභියෝගාත්මක තත්වයන්ගෙන් එකක් ලෙස ඔහු විස්තර කළ තත්වයකට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා. යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවිකාවක් වන 85 හැවිරිදි ඔහුගේ නැන්දම්මාට උපකාර කළ හැකි කෙනෙක් ඈ සමඟ නතර වෙන්න අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේදී, ඇයව තමන්ගේ නිවසට ගෙන ගොස් රැකබලා ගන්න අමාරුයි කියා ඇගේ දරුවන්ගෙන් වැඩිදෙනෙකුට හැඟී ගියා. පවුලේ අය වෙනුවෙන් මවව බලාගැනීම සඳහා ඔහුත් ඔහුගේ භාර්යාවත් සංචාරක සේවය අත්හැර දැමිය යුතුයි කියා එක් නෑදෑයෙක් සංචාරක අවේක්ෂකයාට කිව්වා. ඒත්, මේ යුවළ තමන්ගේ අනගි සේවා වරප්‍රසාදය අත්හැරියේ නැහැ; ඒ වගේම මවගේ අවශ්‍යතා සුළුකොට සැලකුවේද නැහැ. ඊළඟ අවුරුදු නවයක කාල සීමාවෙන් වැඩි හරියක් ඈ ඔවුන් සමඟ ජීවත් වුණා. මුලදී ඔවුන් ජංගම නිවාසයක ජීවත් වුණා; පසුව චාරිකාවට අයත් සභාවන් විසින් සපයන ලද නවාතැන්වල පදිංචි වුණා. එවකට දිස්ත්‍රික් අවේක්ෂකයෙකු හැටියට සේවය කළ මේ සහෝදරයා ටික කාලයක් තනියම තමාගේ පැවරුම් ඉටු කරන අතරතුරේදී ඔහුගේ භාර්යාව ඇගේ මවව රැකබලා ගනිමින් ඈ සමඟ ජීවත් වුණා. සෑම සතියකම ඉරිදා රැස්වීමෙන් පසුව ස්වාමිපුරුෂයා ඔවුන්ට උපකාර කිරීම සඳහා ආපසු ඒමට බොහෝ දුරක් ගමන් කළා. මේ යුවළ මුහුණ දෙමින් සිටි තත්වය දැන සිටි බොහෝදෙනෙක් ඔවුන් කරමින් සිටි දෙය හුඟාක් අගය කළා. කාලයක් ගතවීමෙන් පසු, යම් උපකාරයක් කරන්න ඕනෙ කියා පවුලේ වෙනත් සාමාජිකයන්ටත් හැඟුණා. මේ යුවළ විශේෂ පූර්ණ-කාලීන සේවයෙහි තමන් භුක්ති විඳිමින් සිටි වරප්‍රසාදයේ දිගටම රැඳී සිටිය නිසා, ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගශීලී සේවයෙන් යෙහෝවාගේ සෙනඟගෙන් දහස් ගණනක් දිගටම ප්‍රයෝජන ලබනවා.
පවුලේ සහයෝගය ඇතුව
විශේෂ පූර්ණ-කාලීන සේවයේ වටිනාකම පවුලේ සාමාජිකයන් අගය කරන්නේ නම්, අඩුම තරමින් ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට හෝ එහි හවුල් වීම සඳහා සහයෝගය දක්වන්න ඔවුන්ට පුළුවන්.
සහයෝගය දැක්වීමේ එවන් ස්ප්‍රීතුවක් පවුලේ අය පෙන්වීම, බටහිර අප්‍රිකාවේ කැනේඩියානු මිෂනාරි යුවළකට උපකාරවත් වී තිබෙනවා. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියා සිතමින් හදිසි අවශ්‍යතා මතු වෙන තෙක් ඔවුන් බලා සිටියේ නැහැ. ඔවුන් ගිලියද් පාසැලට යන්න කලින්, විදේශීය සේවය සඳහා සූදානම් වීමක් හැටියට ස්වාමිපුරුෂයා තමාගේ බාල සහෝදරයා හා එක්ව තමන්ගේ මව අසනීප වූ අවස්ථාවක හෝ බෙලහීන තත්වයකට පත් වූ අවස්ථාවක ඇයව රැකබලා ගැනීම ගැන සාකච්ඡා කළා. තමන්ගේ මවට තිබෙන ආදරය හා මිෂනාරි සේවයේ වැදගත්කම සඳහා අගය පෙන්වමින් බාල සහෝදරයා මෙසේ පැවසුවා: “මට දැනටමත් පවුලකුයි දරුවොයි ඉන්නවා. මට බැහැ හුඟාක් දුර ගිහිල්ලා ඔයා කරන දේවල් කරන්න. ඒ හින්දා, අම්මට මොනව හරි වුණොත් මම එයාව බලාගන්නම්.”
දකුණු අමෙරිකාවේ සේවය කරන යුවළකට, භාර්යාවගේ මහලු මවව රැකබලා ගැනීමේදී, ඇගේ පවුලේ අයගෙන් වැඩි සහයෝගයක් ලැබුණා. භාර්යාවගේ සහෝදරියන්ගෙන් කෙනෙක් තමා මාරාන්තික ලෙස අසනීප වෙන තෙක්ම, ඇගේ ස්වාමිපුරුෂයා හා එක්ව තම මවව රැකබලා ගත්තා. පසුව මොකද වුණේ? ඉස්මතු විය හැකි ඕනෑම කනස්සල්ලක් මැඩපැවැත්වීම සඳහා මස්සිනා මෙසේ ලියා ඒවා තිබුණා: “මමයි මගේ දරුවොයි ජීවත්ව ඉන්න තාක් කල් ඔයාලා කවදාවත් මිෂනාරි සේවය අත්හැර දාන්න ඕනෙ නැහැ.” තවත් සහෝදරියක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ තමන්ගේ නිවස අත්හැර මවව රැකබලා ගැනීම සඳහා මව ජීවත් වූ ස්ථානයේ පදිංචියට ආ අවස්ථාවේදී පවුලේ අයගෙන් තවත් උපකාරය ලැබුණා; මව මිය යන තෙක්ම ඔවුන් ඇයව රැකබලා ගත්තා. සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් මොනතරම් කදිම ස්ප්රීතුවක්ද! ඔවුන් සියලුදෙනාම මිෂනාරි සේවයට සහය දැක්වූවා.
යෙහෝවාට නොමසුරුව දෙන දෙමාපියන්
බොහෝ අවස්ථාවලදී දෙමාපියන් විසින් පරිශුද්ධ සේවය සඳහා කැපීපෙනෙන අගය කිරීමක් පෙන්වනවා. යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහා ඔවුන්ට යොදාගත හැකි ඔවුන් සතු දේවලින් අනර්ඝතම දෙය වන්නේ ඔවුන්ගේ දරුවන්. (හිතෝපදේශ 3:9) දෙමාපියන් බොහෝදෙනෙක් පූර්ණ-කාලීන සේවය කරන්න තමන්ගේ දරුවන්ව දිරිමත් කරනවා. හන්නාට හැඟුණාක් මෙන් ඔවුන්ගෙන් සමහරදෙනෙකුට හැඟෙනවා; ඈ තමාගේ පුත් සාමුවෙල්ව යෙහෝවාට “හැම කල්හිම,” එනම් “ඔහු ජීවත්ව සිටින තෙක්” සේවය කිරීම සඳහා දුන්නා.—1 සාමුවෙල් 1:22, 28.
ඒ හා සමාන මවක් අප්‍රිකාවේ සිටින තම දියණියට මෙසේ ලිව්වා: “ඔයා භුක්ති විඳින මවිතාකාර වරප්‍රසාදය ගැන අපි යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා. මීට වඩා උසස් දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.” තවත් අවස්ථාවක ඈ මෙසේ පැවසුවා: “ඔයා අපෙන් වෙන් වෙලා ඉන්න හින්දා අපිට කැප කිරීමක් කරන්න ඕනෙ බව ඇත්ත; ඒත් යෙහෝවා ඔයාට දක්වන දැඩි සැලකිල්ල අපිට මොනතරම් ප්‍රීතියක්ද!”
තමාගේ වයසක දෙමාපියන්ව රැකබලා ගැනීම සම්බන්ධයෙන් මතු වුණු විවිධ තත්වයන් නැවත සලකා බැලීමෙන් පසු ඉක්වදෝරයේ සේවය කරන මිෂනාරිවරයෙක් මෙසේ ලිව්වා: “මගේ භාර්යාවටත් මටත් ලැබුණු ලොකුම උපකාරය වුණේ මගේ තාත්තාගේ යාච්ඤා කියල මම හිතනවා. ඔහුගේ මරණෙන් පස්සේ මගේ අම්මා අපිට මෙහෙම කිව්වා: ‘ඔයාල දෙන්නටම ඔයාලාගේ පැවරුම් දිගටම කරගෙන යන්න ඉඩ සලසා දෙන්න කියල ඔයාගේ තාත්තා හැමදාම යෙහෝවාට යාච්ඤා කෙරුවා.’ ”
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වෙසෙන වයසක යුවළක් තමාගේ පුතුන්ගෙන් එක්කෙනෙක් පූර්ණ-කාලීන සේවයේ හවුල් වෙනවා දැකීමෙන් ඉමහත් සතුටක් ලැබුවා. මව මිය යන විට ඒ පුතා ඔහුගේ භාර්යාව සමඟ ස්පාඤ්ඤයෙයි සිටියේ. පියාව රැකබලා ගැනීම සඳහා කටයුතු පිළියෙළ කිරීම අවශ්‍යයි කියා පවුලේ අනිකුත් සාමාජිකයන්ට හැඟුණා. ඔවුන් ලෞකික රැකියාවල කාර්යබහුලව යෙදී සිටි නිසාත් ඔවුන්ගේ දරුවන්ව ඇති දැඩි කරන්න අවශ්‍ය වූ නිසාත් ඒ වගකීම භාරගන්න තමන්ට නොහැකියි කියා ඔවුන් සිතුවා. ගෙදර ඇවිත් පියාව රැකබලා ගන්න කියා පූර්ණ-කාලීන සේවයේ නිරත වෙමින් සිටි මේ යුවළගෙන් ඔවුන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. කෙසේවෙතත්, 79වන වියේ පසු වුණත් පියා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසු වුණා; ඒ වගේම ඔහුට හොඳ ආත්මික දෘෂ්ටියක්ද තිබුණා. පවුලේ අය පැවැත්වූ රැස්වීමකදී එක් එක්කෙනා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව පියා නැඟිටලා එකහෙළා මෙසේ පැවසුවා: “එයාලා ආපහු ස්පාඤ්ඤයට ගිහිල්ලා දිගටම සේවය කරනවා දකින්නයි මම කැමති.” ඔවුන් එසේ කළත්, ද්‍රව්‍යමය ආකාරවලින් ඔහුට උපකාර කළා. දැන් ඔවුන් ස්පාඤ්ඤයේ චාරිකා වැඩකටයුතුවල හවුල් වෙමින් සිටිනවා. පවුලේ අයගේ රැස්වීම පැවැත්වූ දා පටන්, පවුලේ අනිකුත් සාමාජිකයන් විදේශීය සේවයේ මේ යුවළ කරමින් සිටින දෙය අගය කර තිබෙනවා. අවුරුදු ගණනාවකට පසු, එක පුතෙක් මේ පියාව තමාගේ නිවසට රැගෙන ගොස් ඔහු මිය යන තෙක්ම රැකබලා ගත්තා.
අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ, ආලේප ලත් සහෝදරයෙක් අවුරුදු 40ක පමණ කාලයක් පුරෝගාමී සේවය කර තිබුණා; ඔහුගේ භාර්යාව දරුණු ලෙස අසනීප වී මියයන විට ඔහුගේ වයස අවුරුදු 90කටත් වඩා වැඩියි. ආත්මික දරුවන් විශාල ගණනකට අමතරව ඔහුට පුතෙකුයි දූවරු තුන්දෙනෙකුයි සිටියා. ඔහුගේ දුවෙක් අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පූර්ණ-කාලීන සේවයේ නිරත වී තිබුණා; ඒ කාලයේදී ඈ තමාගේ ස්වාමිපුරුෂයා සමඟ මිෂනාරි සේවයෙත්, සංචාරක වැඩයෙත් බෙතෙල් සේවයෙත් හවුල් වුණා. තම පියාට සාත්තු කරන්න පුළුවන් වන විදිහට කටයුතු පිළියෙළ කරගන්න ඈ උපකාර කළා. රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට ඔහුව රැගෙන යෑමෙන් ඒ ප්‍රදේශයේ සිටි සහෝදරයන්ද උපකාර කළා. පසු කාලයකදී, ඇගේ ස්වාමිපුරුෂයා මියගියාට පසු, ඔහුව රැකබලා ගැනීම සඳහා තමා බෙතෙල් සේවය අත්හැර දමනවාට ඔහු කැමතිද කියා ඈ තාත්තාගෙන් ඇසුවා. ඔහු පරිශුද්ධ දේවල් ඉතා උතුම්කොට සැලකුවා; ඔහුගේ අවශ්‍යතාවන් වෙනත් ආකාරවලින් සපුරාගන්න පුළුවන් කියා ඔහුට හැඟුණා. එනිසා ඔහු මෙසේ පිළිතුරු දුන්නා: “ඔයාට කරන්න පුළුවන් නරකම දෙය ඒකයි; එහෙම කරන්න මම ඔයාට ඉඩහැරියොත් ඒක ඊටත් වඩා නරකයි.”
සහයෝගය දක්වන සභා
විශේෂ පූර්ණ-කාලීන සේවයේ නිරත වන අයගේ වයසක දෙමාපියන්ව රැකබලා ගැනීමේදී සමහර සභාවන් හුඟාක් උපකාර කර තිබෙනවා. අවුරුදු ගණනාවක් එම සේවය කර තිබෙන අයව ඔවුන් විශේෂයෙන් අගය කරනවා. තමන්ගේ ශුද්ධ ලියවිලිමය වගකීම්වලින් ඔවුන්ව නිදහස් කරන්න සභාවට බැරි වුණත්, දරුවන්ට ඔවුන්ගේ විශේෂ පැවරුම්වල දිගටම රැඳී සිටීම සඳහා, සභාවන් දරුවන්ගේ වගකීමේ බර සැහැල්ලු කරන්න බොහෝ දේවල් කරනවා.
ජර්මනියේ යුවළක් අවුරුදු 17ක පමණ කාලයක් තමන්ගේ විදේශීය පැවරුමේ යෙදී සිටියා; ඒ කාලයෙන් වැඩි ප්‍රමාණයක් සංචාරක වැඩවල හවුල් වුණා; මේ කාලයේදී ඔහුගේ වයසක මවව රැකබලා ගැනීමේ අවශ්‍යතාව වැඩි වුණා. ඈට උපකාර කිරීම සඳහා ඔවුන් හැම අවුරුද්දේම ඔවුන්ගේ නිවාඩු දවස් පාවිච්චි කළා. සාක්ෂිකාර අසල්වැසියන්ද ප්‍රේමනීය ලෙස උපකාර කළා. මවගේ තත්වය අවදානම් තත්වයක තිබුණ කාලයේ පූර්ණ-කාලීන සේවය කරන මේ යුවළ ඈ සමඟ සිටියා; ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ සිටි වැඩිමහල්ලන් ඔවුන්ව මුණගැසීමට කටයුතු පිළියෙළ කළා. මේ යුවළ මව වෙනුවෙන් නිතිපතා කරමින් සිටි දෙය ඔවුන් හොඳින් දැන සිටියා. මේ යුවළ හවුල් වෙමින් සිටි විශේෂ සේවා වරප්‍රසාදයේ වටිනාකම ඔවුන් අගය කළා. එනිසා වැඩිමහල්ලන් මවව රැකබලා ගැනීම සඳහා යෝජිත වැඩසටහනක් පිළියෙළ කර මෙසේ පැවසුවා: “ඇයව රැකබලා ගන්න ඔයාලා කරන දෙයට වඩා වැඩි යමක් කරන්න ඔයාලට බැහැ; ස්පාඤ්ඤයේ ඔයගොල්ලන්ගේ පැවරුම දිගටම කරගෙන යන්න අපි ඔයාලට උදව් කරන්නම්.” පසුගිය අවුරුදු හතක කාලය පුරා මේ වැඩිමහල්ලන් දිගටම එය කර තිබෙනවා.
ඒ හා සමානව, 1967 සිට සෙනිගාල්හි සේවය කරන සහෝදරයෙකුට ඔහුගේ පියා පදිංචි ප්‍රදේශයේ සභාවෙන් ප්‍රේමනීය ලෙස සහය ලැබුණා. තත්වය වඩාත් දරුණු අතට හැරුණු විට, ස්වාමිපුරුෂයා තම ප්‍රේමනීය භාර්යාවගේ සහයෝගය ඇතුව තම දෙමාපියන්ට උපකාර කිරීම සඳහා එක්සත් ජනපදයට තනිවම ගියා. මාස කිහිපයක් එහි නැවතී සිටීම අවශ්‍යයි කියා ඔහුට හැඟුණා. අමාරු වුණත් තමාට කළ හැකි දෙය ඔහු කරමින් සිටි විට සභාව පැමිණ ඔහුට උපකාර කළා; එසේ කිරීමෙන් ඔහුට දිගටම මිෂනාරි සේවය කරගෙන යන්න පුළුවන් වුණා. අවුරුදු 18ක කාලයක් පුරා මුලින්ම පියාටත් (වැඩිදෙනෙක්ව ඔහුට අඳුනාගන්න බැරි වුණත්) පසුව මවටත් සභාව විවිධාකාරවලින් ප්‍රේමනීය ලෙස උපකාර කළා. එය පුතාව වගකීම්වලින් නිදහස් කළාද? නැහැ; ඔහු නිතර නිතර සෙනිගාල් සිට පැමිණ තමාට කරන්න පුළුවන් හැම දෙයක්ම කිරීම සඳහා ඔහුගේ නිවාඩු දවස් පාවිච්චි කළා. නමුත් මේ යුවළ සෙනිගාල්හි විශේෂ පූර්ණ-කාලීන සේවයේ වෙහෙස මහන්සි වී කරන වැඩය දිගටම කරගෙන යෑමේදී, ඔවුන්ද ඊට හවුල් වෙමින් සිටි බව දැන සිටීමෙන් ඒ සභාවේ සිටින බොහෝදෙනෙක් මහත් ප්‍රීතියක් ලැබුවා.
ශුභාරංචිය උදෙසා සියල්ල අත්හැරිය අය සහෝදර සහෝදරියන්, මව්වරුන් හා දරුවන් සියගුණයක් ලබන්න යන බව යේසු පැවසුවා. (මාර්ක් 10:29, 30) ඇත්තෙන්ම මෙය යෙහෝවාගේ සේවකයන් අතර සැබෑවක්. දෙමාපියන් ගැන කරදර වෙන්න එපා කියා ඔවුන් සිටිය සභාවේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් බටහිර අප්‍රිකාවේ බෙනින්හි සේවය කරමින් සිටින යුවළකට පැවසූ අවස්ථාවේදී ඒ යුවළ මෙය විශේෂාකාරයකින් අද්දැක්කා. ඔවුන් තවදුරටත් මෙසේ පැවසුවා: “ඔයගොල්ලන්ගේ දෙමාපියන් අපෙත් දෙමාපියන්.”
ඔව්, පරිශුද්ධ සේවයේ වරප්‍රසාද අපි ඉතා උතුම්කොට සලකන බව අපට පෙන්විය හැකි බොහෝ විධි තිබෙනවා. ඔබට මෙය වඩාත් පූර්ණ ලෙස කළ හැකි විධි තිබෙනවාද?
[26වන පිටුවේ පින්තූර]
විශේෂ පූර්ණ-කාලීන සේවය සඳහා ඔවුන් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා