ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
පාවුල් උසස් නිලධාරීන් ඉදිරියේ අභීතව සාක්ෂිදරයි
මෙම මිනිසුන් දෙදෙනා අතර වෙනස එතරම්ම පැහැදිලිව පෙනුණා. එක් තැනැත්තෙක් ඔටුන්නක් පැළඳ සිටි අතර, අනිත් තැනැත්තා දම්වැල්වලින් බැඳ සිටියා. එක් කෙනෙක් රජ කෙනෙක්, අනිත් කෙනා සිරකරුවෙක්. අවුරුදු දෙකක් සිරගතව සිටීමෙන් පසුව ප්‍රේරිත පාවුල් දැන් යුදෙව්වරුන්ගේ පාලකයා වන IIවන හෙරොද් අග්‍රිපා ඉදිරියේ සිටියා. රජ සහ ඔහුගේ බිසව වන බර්නීකි “මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට” පැමිණ තිබුණා. (ක්‍රියා 25:23) “පෙනෙන විදියට එහි සිය ගණනක් මිනිසුන් රැස්ව සිටියා” කියා එක් ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන්ව තිබුණා.
අලුතෙන් පත් කළ ආණ්ඩුකාරයා වන පෙස්තුස්, රැස්වීම සඳහා කටයුතු පිළියෙළ කර තිබුණා. ඔහුට කලින් සිටි ආණ්ඩුකාරයා වූ පීලික්ස්, පාවුල් සිරගෙදර කල් ගෙවනවාට කැමතිව සිටියා. නමුත් පෙස්තුස්, පාවුල්ට විරුද්ධව එල්ල කළ චෝදනාවල යුක්තිසහගතභාවය ගැන ප්‍රශ්න කළා. පාවුල් තමාගේ නිර්දෝෂභාවය ගැන කොතරම් දැඩි ලෙස කතා කළාද කිවහොත්, තමාගේ නඩුව කායිසර්ට ඉදිරිපත් කරන්න පවා ඔහු ඉල්ලා සිටියා! පාවුල්ගේ නඩුව අග්‍රිපා රජුගේ කුතුහලය ඇවිස්සුවා. “මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි” ඔහු පැවසුවා. මේ අද්විතීය සිරකරුවා ගැන රජ කුමක් සිතයිද කියා තරමක් මවිතයට පත් වෙමින් පෙස්තුස් ඉක්මනින්ම කටයුතු පිළියෙළ කළා.—ක්‍රියා 24:27–25:22.
ඊළඟ දිනයේදී, උසස් නිලධාරීන් විශාල පිරිසක් ඉදිරිපිට සිටගෙන සිටින්න පාවුල්ට සිදු වුණා. “යුදෙව්වරුන් විසින් මට තබන සියලු වැරදි ගැන අද ඔබ ඉදිරියෙහි උත්තරදෙන්ට මා සිටින බැවින් මම වාසනාවන්තයෙකැයි සිතමි. ප්රධානකොටම එසේ සිතන්නේ යුදෙව්වරුන් අතරේ පවතින සියලු සිරිත්ද වාදද ඔබට හොඳාකාර තේරෙන නිසාය. එහෙයින් මාගේ වචන ඉවසිල්ලෙන් අසන ලෙස ඉල්ලමි” යයි ඔහු අග්‍රිපාට පැවසුවා.—ක්‍රියා 26:2, 3.
නිදොස් බවට පාවුල් දුන් අභීත සාක්ෂිය
ක්‍රිස්තියානීන්ට වධකයෙක්ව සිටි ඔහුගේ අතීතය ගැන පාවුල් ප්‍රථමයෙන්ම අග්‍රිපාට පැවසුවා. “ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි . . . අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි” යයි ඔහු පැවසුවා. නැවත නැඟිටුණු යේසු, “නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි” පැවසූ තැතිගන්වන දර්ශනයක් ලැබුණු ආකාරය පාවුල් තවදුරටත් විස්තර කළා.a—ක්‍රියා 26:4-14.
එවිට යේසු, සාවුල්ට බලපැවරුමක් දුන්නා, “යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන” සියලුම ජාතීන්ට අයත් මනුෂ්‍යයන්ට සාක්ෂිදරන්ට කියා. ඔහු උද්යෝගයෙන් තමාගේ බලපැවරුම සම්පූර්ණ කරන්න වීර්යය කළ බව පාවුල් ගෙනහැර දැක්වූවා. මේ දක්වා “මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය.” පාවුල් කාරුණිකව, යුදෙව් ආගම ගැන අග්‍රිපාගේ උනන්දුව පුබුදුවා, තමාගේ සාක්ෂිදැරීමට ඇත්තෙන්ම සම්බන්ධ වූයේ, මෙසියස්ගේ මරණය සහ නැවත නැඟිටීම සම්බන්ධව “අනාගතවක්තෘවරුන් විසින්ද මෝසෙස් විසින්ද මතු සිද්ධවන්නේයයි කියනලද කාරණා” පමණක් බව කාවැද්දෙව්වා.—ක්‍රියා 26:15-23.
පෙස්තුස් බාධා කළා. “බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි” ඔහු තරහෙන් කෑගැසුවා. “උත්තම පෙස්තුස්නි, මට ඔල්මාද නැත; මම සත්‍යවූ සිහියට හුරුවූ වචන කියමි” කියා පාවුල් පිළිතුරු දුන්නා. ඊළඟට පාවුල් අග්‍රිපාට පැවසුවා, “මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමි. මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි” කියා.—ක්‍රියා 26:24-26.
පසුව පාවුල් අග්රිපාව කෙළින්ම ඇමතුවා. “අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබ අනාගතවක්තෘවරුන් විශ්වාසකරන්නෙහිද?” මෙම ප්රශ්නය කිසිම සැකයක් නැතුව අග්රිපාව අපහසුතාවකට පත් කළා. මේ සියල්ලේදී ඔහුට තමාගේ තත්වය රැකගැනීමට සිදු වන අතර පාවුල් සමඟ එකඟ වීම පෙස්තුස් “ඔල්මාදය” කියා පැවසූ දෙයට එකඟ වීමක් වෙනවා. සමහරවිට අග්‍රිපාගේ අවිනිශ්චිතභාවය අවබෝධ වීමෙන්, පාවුල් තමාගේම පැනයට පිළිතුරු දුන්නා. “විශ්වාසකරන බව මම දනිමියි” කියා ඔහු පැවසුවා. දැන් අග්‍රිපා කතා කළ නමුත් ඔහු තමාගේ අදහස පැත්තකට බර කර ප්‍රකාශ කර සිටීමෙන් වැළකුණා. “එවිට” ඔහු පාවුල්ට කතා කොට, “වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි” පැවසුවා.—ක්‍රියා 26:27, 28, ඇල අකුරු අපගේය.
අග්‍රිපාගේ කපටි ප්‍රකාශය ඉතා ප්‍රබල කාරණයක් පෙන්වා දීමට පාවුල් ඥානවන්තව යොදාගත්තා. “ඔබ පමණක් නොව අද මගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස [දෙවිට] යාච්ඤාකරමි” යයි ඔහු පැවසුවා.—ක්‍රියා 26:29.
මරණයට හෝ සිරදඬුවමකට සුදුසු කිසිවක් පාවුල් තුළ නැති බව අග්‍රිපා සහ පෙස්තුස් දැක්කා. එනමුත් තමාගේ නඩුව කායිසර්ට ඉදිරිපත් කරන ලෙස වූ ඔහුගේ ඉල්ලීම අවලංගු කළ නොහැක්කක් වුණා. එමනිසයි අග්‍රිපා පෙස්තුස්ට පැවසුවේ “මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේය” කියා.—ක්‍රියා 26:30-32.
අපට පාඩමක්
උසස් නිලධාරීන් ඉදිරියේ පාවුල් සාක්ෂිදැරූ විලාසය අපට විශිෂ්ට ආදර්ශයක් සපයනවා. අග්‍රිපා රජුට කතා කිරීමේදී පාවුල් ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කළා. අග්‍රිපා සහ බර්නීකි ගැන ආරංචි වූ නින්දාසහගත දේවල් සම්බන්ධව පාවුල් දැනසිටි බවට කිසිම සැකයක් නැහැ. ඇත්තෙන්ම බර්නීකි අග්‍රිපාගේ සහෝදරිය නිසා ඔවුන්ගේ සම්බන්ධතාව ව්‍යභිචාරික එකක් වුණා. නමුත් පාවුල් මේ අවස්ථාවේදී සදාචාරය ගැන දේශනයක් දීමට තෝරාගත්තේ නැහැ. ඔහු ඒ වෙනුවට තමාට සහ අග්‍රිපාට පොදු වූ කරුණු අවධාරණය කළා. තවදුරටත් උගත් ඵරිසිවරයෙක් වූ ගමාලියෙල් විසින් පාවුල්ට උගන්වනු ලැබුවත්, අග්‍රිපා යුදෙව් සිරිත් විරිත් සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වූ බව ඔහු ඒත්තුගැන්නුවා. (ක්‍රියා 22:3) අග්‍රිපාගේ පෞද්ගලික සදාචාරය ගැන නොසලකා, ඔහු යම් අධිකාරිත්වයක් හෙබවූ නිසා පාවුල් ඔහුට ගෞරවාන්විතව කතා කළා.—රෝම 13:7.
අපි අපේ විශ්වාසයන් ගැන අභීතව සාක්ෂිදරන විට, අපේ අසන්නන්ගේ අපවිත්‍ර ව්‍යවහාරයන් අනාවරණය කිරීම හෝ හෙළාදැකීම නෙමෙයි අපේ අරමුණ විය යුත්තේ. ඒ වෙනුවට, ඔවුන්ට එය පිළිගැනීමට පහසු වන ආකාරයට අප ශුභාරංචියේ ඒකාන්ත පැත්ත කාවැද්දවිය යුතු අතර, අප සාමාන්‍යයෙන් දරන බලාපොරොත්තු ගැන අවධාරණය කළ යුතුයි. අපි වයසින් වැඩි අයට හෝ යම් අධිකාරිත්වයක් හොබවන අයට කතා කිරීමේදී අපි ඔවුන්ගේ තත්වය ඒත්තුගැනීම අවශ්‍යයි. (ලෙවී කථාව 19:32) “සියලු ආකාරයෙන්ම සමහරෙකු ගළවන පිණිස මම සියල්ලන්ට සියල්ල වුණෙමි” යයි පැවසූ පාවුල්ව මෙයාකාරයෙන් අපට අනුගමනය කරන්න පුළුවන්.—1 කොරින්ති 9:22.
[පාදසටහන]
a “කෙවිටට පයින් ගැසීම” යන යෙදුමෙන් පැහැදිලි කරන්නේ, සතුන්ට මඟ පෙන්වීමට සහ මෙහෙයවීම සඳහා සාදා තිබෙන තියුණු රිටට ගොනෙක් පයින් ගැසීමෙන් ඌට සිදු වන හානියයි. ඒ හා සමානව ක්‍රිස්තියානීන්ට පීඩා කිරීමෙන් සාවුල් අත් කරගන්නෙත් තමන්ටම හානියක් පමණයි. මන්දයත් ඔහු සටන් කරමින් සිටියේ දෙවිගේ උපකාරය තිබුණු මනුෂ්‍යයන් සමඟයි.