ලෝකය වෙනස් කළ බයිබල් පරිවර්තනයක්
වසර 3,500කට වැඩි කාලයකට කලින් දෙවිගේ ප්‍රොපේත මෝසෙස් බයිබලය ලිවීමට පටන්ගත් විට, එය කියවීමට හැකිව තිබුණේ එක කුඩා ජාතියකට විතරයි. (ද්විතීය කථාව 7:7) එසේ හැකි වුණේ එම ජාතිය කතා කළ මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් පමණක් ශුද්ධ ලියවිලි තිබුණු නිසායි. කෙසේවුවත්, කාලයාගේ ඇවෑමෙන් එය වෙනස් වුණා.
වසර ගණනක් පුරා බයිබලයේ පණිවුඩය පැතිර යෑම හා එහි ඒකාන්ත බලපෑම ඉතා විශාල වුණේ, බයිබලයේ මුල් පරිවර්තනය වූ සෙප්ටූඅජින්ට් නිසායි. එය සැකසුවේ මන්ද? එමෙන්ම මෙය ලෝකය වෙනස් කළ බයිබලයක් කියා ඇත්තෙන්ම පැවසිය හැකිද?
ආනුභාව ලත් පරිවර්තනයක්?
පොදු යුගයට පෙර හත්වන හා හයවන සියවස්වලදී යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයෙන් මිදුණු පසුව, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පුරාණ ඉශ්රායෙල් හා යූදා දේශයෙන් පිටත විසුවා. හෙබ්‍රෙව් භාෂාව, වහල්භාවයේ සිටියදී ඉපදුණු යුදෙව්වන්ගේ දෙවන භාෂාව බවට පත් වුණා. පොදු යුගයට පෙර තුන්වන සියවසේදී, ග්‍රීසිය අධිරාජ්‍යයේ ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානයක් වූ මිසරයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ යුදෙව් ප්‍රජාවක් සිටියා. එම යුදෙව්වන් දැක්කා එවකට තමන්ගේ මව් භාෂාව වූ ග්රීක්වලට පරිශුද්ධ ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීමේ වටිනාකම.
ඒ කාලය වන තෙක්, බයිබලයේ ආනුභාව ලත් පණිවුඩය හෙබ්රෙව්වලින්ද, සමහර කොටස් ඒ හා කිට්ටු භාෂාවක් වන ඇරමයිකවලින්ද වාර්තා කර තිබුණා. වෙනත් භාෂාවකින් දේවවචනය ප්‍රකාශ කිරීමෙන්, සමහරවිට වැරදි අර්ථ දැක්වීම්වලට පවා මඟ පාදමින් දිව්‍යමය ආනුභාවයේ බලවත් බලපෑම් හීන වෙයිද? පරිවර්තනය මගින් ඒ පණිවුඩය වරදවා අර්ථ දැක්වීමේ අවදානමට වැටීමට, ආනුභාව ලත් වචනය භාරව සිටි යුදෙව්වන් තමන්ට ඉඩහරියිද?—ගීතාවලිය 147:19, 20; රෝම 3:1, 2.
මෙම සංවේදනීය ප්‍රශ්න සැකයක් බිහි කළා. එනමුත්, යුදෙව්වන්ට තවදුරටත් දෙවිගේ වචනය තේරුම්ගන්න නොහැකි වේය යන්න ගැන සැලකිලිමත් වෙද්දී, එය වෙනත් සෑම කාරණාවක්ම යටපත් කළා. මෝසෙස් විසින් ලියූ බයිබලයේ මුල් පොත් පහ වන ටෝරා, ග්රීක්වලට පරිවර්තනය කිරීමට තීරණයක් ගනු ලැබුවා. ජනප්‍රවාද මගින් නියම පරිවර්තන ක්‍රියාවලිය අපැහැදිලි එකක් කළා. ආරිස්ටස්ගේ ලිපියට (ඉංග්‍රීසියෙන්) අනුව, ග්රීක්වලට පරිවර්තනය කළ පංච පුස්තකයේ (හෝ ටෝරාවල) පිටපතක් තම රාජකීය පුස්තකාලයේ තැබීමට මිසරයේ පාලකයා වූ IIවන ටොලමිට (පො.යු.පෙ. 285-246) වුවමනා වුණා. ඉශ්‍රායෙලයෙන් මිසරයට පැමිණි යුදෙව් පණ්ඩිතයන් 72කට වැඩය පැවරූ අතර, දවස් 72කින් පරිවර්තනය නිම කළා. අනතුරුව, මේ පරිවර්තනය යුදෙව් ප්‍රජාවට කියෙවූ අතර, ඔවුන් කියා සිටියේ එය ලස්සන ශෛලියක් ඇති මෙන්ම නිවැරදි එකක් කියායි. හැම පරිවර්තකයෙකුවම වෙනම කාමරයකට දැමූ බවත්, එහෙත් අකුරෙන් අකුරටම ඔවුන්ගේ පරිවර්තන එක සමාන බවත් පැවසෙන කතා පසුව මේ කතන්දරය වටා ගෙතුණා. පරිවර්තකයන් 72දෙනා පිළිබඳ සම්ප්රදාය නිසා, මේ ග්‍රීක් බයිබල් පරිවර්තනය ලතින්වලින් “හැත්තෑව” යන අර්ථය ඇති ලතින් වචනයක් මත පදනම්ව, සෙප්ටූඅජින්ට් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණා.
ආරිස්ටස්ගේ ලිපිය අසම්මත ලියවිල්ලක් බවට වත්මන්-දින විශාරදයන් බොහෝදෙනෙක් එකඟ වෙනවා. පරිවර්තනය සඳහා මුලපිරුවේ IIවන ටොලමි නොව නමුත් ඇලෙක්සැන්ඩ්‍රියානු යුදෙව් ප්‍රජාවේ නායකයන් බවටද ඔවුන් විශ්වාස කරනවා. නමුත් යුදෙව් ඇලෙක්සැන්ඩ්‍රියානු දාර්ශනිකයෙකු වූ ෆයිලෝගේ හා යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ගේ ලියවිලි මෙන්ම තල්මුඩය යනාදි සියල්ල, ආනුභාව ලත් මුල් ශුද්ධ ලියවිලි වාගේම සෙප්ටූඅජින්ට් පරිවර්තනයත් ආනුභාවයෙන් ලද්දක් බවට මුල්-සියවසේ යුදෙව්වන් පොදුවේ විශ්වාස කළ බව පෙන්නුම් කළා. ලොව පුරා යුදෙව් ප්‍රජාවට සෙප්ටූඅජින්ට් පිළිගත හැකි එකක් කරවීමට ප්රයත්නයක් දැරීමේදී එවැනි විශ්වාසයන් ඇති වුණ බවට සැකයක් නැහැ.
මුල් පරිවර්තනයට මෝසෙස්ගේ පොත් පහ පමණක් ඇතුළත්ව තිබුණත්, සෙප්ටූඅජින්ට් යන නම ග්රීක්වලට පරිවර්තනය කළ මුළු හෙබ්‍රෙව් ලියවිල්ලටම යොමු දැක්වුවා. ඉතිරි පොත් පරිවර්තනය කරනු ලැබුවේ ඊළඟ වසර සීයේදී හෝ එවැනි කාලයකදීයි. සාමූහික වෑයමක් වූවාට වඩා, මුළු සෙප්ටූඅජින්ට් නිපදෙව්වේ කොටසින් කොටසයි. හැකියාවන් හා හෙබ්‍රෙව් භාෂාවේ දැනීම අතින් පරිවර්තකයන් වෙනස් වුණා. පොත් වැඩිහරියක් සමහරවිට වචනානුසාරයෙන් අන්තයටම ගිය අතර, වෙනත් පරිවර්තනයන් සම්පූර්ණයෙන්ම තමන් රිසි සේ පරිවර්තනය කර තිබුණා. සාමාන්‍ය හා සංක්ෂිප්ත අනුවාද කීපයක් තවමත් පවතිනවා. පොදු යුගයට පෙර දෙවන සියවස අවසානය වන විට, හෙබ්‍රෙව් ලියවිලිවල සියලුම පොත් ග්රීක්වලින් කියවිය හැකිව තිබුණා. සම්පූර්ණ අනුකූලතාවෙන් යුත් ප්‍රතිඵල තිබුණේ නැතත්, හෙබ්‍රෙව් ලියවිලි ග්රීක්වලට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලය පරිවර්තකයන් අපේක්ෂා කළාටත් වඩා අබිබවා ගියා.
යඵෙත් ෂෙම්ගේ කූඩාරම්වල?
සෙප්ටූඅජින්ට් ගැන සාකච්ඡා කරමින් තල්මුඩය උත්පත්ති 9:27 උපුටා දක්වනවා: “යඵෙත් . . . ෂෙම්ගේ . . . කූඩාරම්වල වාසය කෙරේවා.” (මෙගිල්ලා 9ආ, බබිලෝනියානු තල්මුඩය) යඵෙත් (ග්‍රීක්වරුන් පැවත ආ, යාවාන්ගේ පියා) ෂෙම්ගේ (ඉශ්රායෙල් ජාතියේ ආදි පිතෘ) කූඩාරම්වල විසුවාය යන්න සෙප්ටූඅජින්ට්හි ග්‍රීක් භාෂාවේ අලංකාරයෙන් පෙන්වන බව තල්මුඩය උපමාලංකාරයෙන් අඟවයි. කෙසේවුවත්, ෂෙම් යඵෙත්ගේ කූඩාරම්වල විසූ බවත් සෙප්ටූඅජින්ට් මගින් පැවසිය හැකි වුණා. ඒ කෙසේද?
මහා ඇලෙක්සැන්ඩර්ගේ විජයග්‍රහණයන්ගෙන් පසු, පො.යු.පෙ. හතරවන සියවසේ අගභාගයේදී යටත් විජිතයන් බවට පත් වූ රටවල ග්‍රීක් භාෂාව හා සංස්කෘතිය පතළ කිරීමට අධික වෙහෙසක් දැරුවා. මේ ප්‍රතිපත්තිය හෙලනිස්තික කිරීම වශයෙන් හැඳින්නුවා. තමන් සංස්කෘතික ප්‍රහාරයකට නිරන්තරයෙන් යටත් වී ඇති බව යුදෙව්වන්ට හැඟුණා. ග්‍රීක් සංස්කෘතිය හා දර්ශනය පැවතුණා නම්, යුදෙව්වන්ගේ ආගම බිඳවැටෙන්න තිබුණා. මේ ප්‍රහාරය නවත්වන්න හැකි වුණේ කුමකින්ද?
සෙප්ටූඅජින්ට් පරිවර්තනයේදී යුදෙව්වන්ට තිබුණා විය හැකි එක චේතනාවක් සම්බන්ධයෙන් යුදෙව් බයිබල් පරිවර්තක මැක්ස් මාගෝලස් මෙසේ අදහස් ප්‍රකාශ කරනවා: “මෙම සැලැස්ම දියත් කිරීමට යුදෙව් ප්‍රජාව මුල් වූ බවට අපි නිගමනය කරනවා නම්, එය පිටුපස තවත් චේතනාවකුත් තිබිය හැකියි; එනම්, අන්‍යජාතීන්ගේ අතට යුදෙව් ව්‍යවස්ථාව ලබා දීම හා ග්‍රීසියේ ප්‍රඥාව සමඟ තරඟ වදින්න තරම් සංස්කෘතියක් යුදෙව්වන්ට තිබෙනවා කියා ලෝකයට ඒත්තුගැන්වීම.” එබැවින් ග්‍රීක්-කියවන ලෝකයට හෙබ්‍රෙව් ලියවිලි ලබා දීම, ආත්ම-ආරක්ෂාවේ හා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමයක් විය හැකියි.
හෙලනිස්තික කිරීමේ ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිපත්තිය ග්‍රීක් භාෂාව ලෝකයේ ජාත්‍යන්තර භාෂාව බවට පත් කර තිබුණා. රෝමවරුන් විසින් ඔහුගේ රාජ්‍යය අල්ලාගත්තත්, පොදු (හෝ කොයිනේ) ග්‍රීක්, ජාතීන් අතර වෙළඳාම් කිරීමේ හා අදහස් හුවමාරු කිරීමේ භාෂාව ලෙස පැවතුණා. මෙය සිදු වුණේ හිතාමතාම කළ වෑයමකින් හෝ ස්වාභාවික හේතුකාරයක් නිසා වුවත්, දෙවිව හා යුදෙව්වන්ගේ ව්‍යවස්ථාව කලින් නොදැන සිටි යුදෙව්-නොවන බොහෝදෙනෙකුගේ නිවෙස් හා හෘද තුළට හෙබ්‍රෙව් ලියවිලිවල සෙප්ටූඅජින්ට් අනුවාදය විගස ගොස් තිබුණා. ප්‍රතිඵල පුදුම එළවනසුලුයි.
යුදෙව් ආගමට හැරුණු අය සහ දේව-භය ඇත්තන්
පොදු යුගයේ මුල් සියවස වන විට, “මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අලංකාරය හා උදාරත්වය, යුදෙව්වන් අතර පමණක් නොව, නමුත් වෙනත් සියලු ජාතීන් අතරත් ගෞරවයට පාත්‍ර වුණා කියා” ලිවීමට ෆයිලෝට හැකි වුණා. මුල් සියවසේදී පලස්තීනයෙන් පිටත ජීවත් වෙමින් සිටි යුදෙව්වන් සම්බන්ධයෙන්, යුදෙව් ඉතිහාසඥ යෝසෙෆ් ක්ලෞස්න මෙසේ පවසනවා: “කුඩා පලස්තීනයෙන් පමණක් මේ මිලියන සංඛ්‍යාත යුදෙව්වන් පැමිණ ඇති බව විශ්වාස කිරීමට අමාරුයි. යුදෙව්වන්ගේ මෙම විශාල වැඩිවීමට, විශාල සංඛ්‍යාවකින් යුත් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම යුදෙව් ආගමට හැරීමත් දායක වුණ බව පිළිගත යුතුයි.”
කෙසේවුවත්, මේ සිත්ගන්නා කරුණු මුළු කතන්දරයම පවසන්නේ නැහැ. යුදෙව් ඉතිහාසය පිළිබඳ විශේෂඥ, කර්තෘ ෂේ ජේ. ඩී. කොඑන් මෙසේ ප්‍රකාශ කරනවා: “පොදු යුගයට පෙර අවසාන සියවස්වලදී හා පො.යු. මුල් සියවස් දෙකේදී අන්‍ය ජාතීන්ගෙන් බොහෝදෙනෙක්, එනම් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම යුදෙව් ආගමට හැරුණා. කෙසේවුවත්, අන්‍ය ජාතීන්ගෙන් ඊටත් වැඩි සංඛ්‍යාවක් යුදෙව් ආගමේ යම් පැති පිළිගත් නමුත් එයට හැරුණේ නැහැ.” ක්ලෞස්න සහ කොඑන් යන දෙදෙනාම එම නොහැරුණු අයට යොමු දක්වන්නේ දේව-භය ඇත්තන් වශයෙන් වන අතර, මෙම යෙදුම ඒ සමයේ ග්‍රීක් පොත් පත්වල නිතර දක්නට ලැබෙනවා.
යුදෙව් ආගමට හැරුණු කෙනෙකු හා දේව-භය ඇත්තෙකු අතර වෙනස මොකක්ද? යුදෙව් ආගමට හැරුණු අය සම්පූර්ණයෙන්ම හැරුණු අතර, ඔවුන් ඉශ්රායෙලයේ දෙවිව (වෙනත් සියලු දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරමින්) පිළිගත් නිසාත්, චර්මච්ඡේදනය ලැබුව නිසාත්, ඉශ්රායෙල් සෙනඟට එකතු වුණ නිසාත් සෑම ආකාරයකින්ම යුදෙව්වන් හැටියට සලකනු ලැබුවා. ඊට පටහැනිව, දේව-භය ඇත්තන් සම්බන්ධයෙන් කොඑන් මෙසේ පවසනවා: “මේ අන්‍යජාතීන් සෑහෙන යුදෙව් පිළිවෙත් පැවැත්තුවත්, යුදෙව්වන්ගේ දෙවිව මොන යම් ආකාරයකින් හෝ ගෞරවාන්විතව සැලකුවත්, ඔවුන් තමන්ව යුදෙව්වන් ලෙස ගණන්ගත්තේවත්, වෙනත් අය ඔවුන්ව යුදෙව්වන් හැටියට සැලකුවේවත් නැහැ.” ඔවුන් යුදෙව් ආගම පිළිගෙන, “එහි සිරිත් විරිත්වලින් කොටසක් පැවැත්තුවත්, . . . සම්පූර්ණයෙන්ම යුදෙව්වන් බවට පත් වුණේ නැති නිසා,” ක්ලෞස්න ඔවුන්ව විස්තර කරන්නේ “මැද පිළිවෙතක් අනුගමනය කරන්නන්” හැටියටයි.
සමහරවිට මිෂනාරි කටයුතුවල යෙදුණු යුදෙව්වන් සමඟ සාකච්ඡා පැවැත්වූ නිසා හෝ හැසිරීමෙන්, සිරිත් විරිත්වලින් හා කල්ක්‍රියාවෙන් ඔවුන්ගේ වෙනස නිරීක්ෂණය කිරීම නිසා හෝ සමහරු දෙවි කෙරෙහි උනන්දුවක් දැක්වුවා. එහෙත්, යෙහෝවා දෙවි ගැන ඉගෙනීමට මෙවැනි දේව-භය ඇත්තන්ට උපකාර කිරීමේදී සෙප්ටූඅජින්ට් ප්‍රධාන ආධාරකය වුණා. මුල් සියවසේ සිටි දේව-භය ඇත්තන්ගේ නිශ්චිත ගණන දැනගැනීමට ක්‍රමයක් නැති වුවත්, සෙප්ටූඅජින්ට්, මුළු රෝම අධිරාජ්‍යය පුරාම දෙවි ගැන යම් දැනුමක් පතළ කළ බවට සැකයක් නැහැ. සෙප්ටූඅජින්ට් මාර්ගයෙන්, වැදගත් අත්තිවාරමක්ද දමනු ලැබුවා.
මාර්ගය පිළියෙළ කිරීමට සෙප්ටූඅජින්ට් උපකාරවත් වුණා
ක්‍රිස්තියානි ආගමේ පණිවුඩය පතළ කිරීමේදී සෙප්ටූඅජින්ට් අතිමහත් සේවයක් ඉටු කළා. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රිස්තියානි සභාව පිහිටුවන අවස්ථාවේ පැමිණි අය අතර ග්‍රීක් භාෂාව කතා කරන බොහෝ අය හිටියා. මුල් අවදියේදී ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් වූ අය අතර යුදෙව් ආගමට හැරුණ අයත් හිටියා. (ක්‍රියා 2:5-11; 6:1-6; 8:26-38) යේසුගේ ප්‍රේරිතයන්ගේ හා වෙනත් මුල් ගෝලයන්ගේ ආනුභාව ලත් ලියවිලි හැකි තරම් පිරිසකට කියවීමට සැලැස්වීම අභිප්‍රාය වූ බැවින්, ඒවා ග්‍රීක් භාෂාවෙන් ලියනු ලැබුවා.a එබැවින්, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල තිබෙන හෙබ්‍රෙව් ලියවිලිවල බොහෝ උපුටා දැක්වීම් පදනම් කර තිබුණේ සෙප්ටූඅජින්ට් මතයි.
ස්වාභාවික යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අයට අමතරව වෙනත් අයත් රාජ්‍ය පණිවුඩය පිළිගැනීමට කැමැත්තෙන් සිටියා. අන්‍යජාතික කොර්නේලියස් “භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ [දෙවි] කෙරෙහි භය ඇතිව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම [දෙවිට] යාච්ඤා කළාවූ කෙනෙක්ය.” පොදු යුගයේ 36දී, කොර්නේලියස්, ඔහුගේ පවුල හා ඔහුගේ නිවසේ එක්රැස් වූ වෙනත් අය, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වශයෙන් බව්තීස්ම වූ මුල් අන්‍යජාතීන් වුණා. (ක්‍රියා 10:1, 2, 24, 44-48; සසඳන්න ලූක් 7:2-10.) ප්‍රේරිත පාවුල් සුළු ආසියාවේ හා ග්‍රීසියේ ගමන් කළ අවස්ථාවේදී, බොහෝ අන්‍ය ජාතීන්ට, එනම්, ඒ වන විටත් දෙවි කෙරෙහි භය තිබූ අයට මෙන්ම “දෙවිට නමස්කාර කළ ග්‍රීක්වරුන්ට” දේශනා කළා. (ක්‍රියා 13:16, 26; 17:4, NW) කොර්නේලියස් හා වෙනත් අන්‍ය ජාතීන් ශුභාරංචිය පිළිගැනීමට සූදානම්ව සිටියේ මන්ද? මාර්ගය පිළියෙළ කිරීමට සෙප්ටූඅජින්ට් උපකාර කර තිබුණා. සෙප්ටූඅජින්ට් “කෙතරම් වැදගත් පොතක්ද කිවහොත්, එය නොතිබුණා නම් ක්‍රිස්තියානි ලෝකය හා බටහිර සංස්කෘතිය බිහි නොවන බව” එක ප්‍රවීණයෙක් නිගමනය කරනවා.
සෙප්ටූඅජින්ට්හි “ආනුභාවය” නැති වී යයි
පුළුල් ලෙස සෙප්ටූඅජින්ට් පාවිච්චි කිරීම යුදෙව්වන් එයට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමට සැලැස්සුවා. උදාහරණයකට, ක්‍රිස්තියානීන් සමඟ සංවාදයන්වලදී, යුදෙව්වන් කියා සිටියේ සෙප්ටූඅජින්ට් නිවැරදි පරිවර්තනයක් නොවන බවයි. ආනුභාව ලද්දක් බවට ඔවුන් කලින් ප්‍රශංසාවට ලක් කර තිබුණත්, පො.යු. දෙවන සියවස වන විට යුදෙව් ප්‍රජාව එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබුණා. රබ්බිවරුන් පරිවර්තකයන් 72දෙනා පිළිබඳ ජනප්‍රවාදය මෙසේ ප්‍රතික්ෂේප කළා: “එක් කාලෙකදී, වැඩිමහල්ලන් පස්දෙනෙක් ටොලමි රජට ග්‍රීක් භාෂාවෙන් ටෝරා ලියූ අතර, නිවැරදි ලෙස ටෝරා පරිවර්තනය කිරීමට නොහැකි වූ බැවින්, එය ලියූ දවස, ඉශ්රායෙල්හි රන් වස්සා සෑදූ දවස වගේම අශුභ දවසක් වුණා.” රබ්බිවරුන්ගේ ලියවිලිවල අදහස්වලට වඩාත් දැඩි එකඟතාවක් සහතික කිරීමට, රබ්බිවරු නව ග්‍රීක් පරිවර්තනයක් කිරීමට අවසර දුන්නා. රබ්බි අකිවාගේ ගෝලයෙක් වූ යුදෙව් ආගමට හැරුණු අකිලා විසින් පො.යු. දෙවන සියවසේදී එය දියත් කළා.
යුදෙව්වන් විසින් සෙප්ටූඅජින්ට් භාවිත කරනු ලැබීම නතර වී ගිය නමුත්, ජෙරෝම්ගේ ලතින් වල්ගේට් එහි තැන ගන්නා තුරුම එය, නැඟී එමින් තිබූ කතෝලික සභාවේ සම්මත “පරණ තෙස්තමේන්තුව” බවට පත් වුණා. පරිවර්තනයකට කෙදිනකවත් එහි මුල් භාෂාවේ තැන ගත නොහැකි වුවත්, යෙහෝවා දෙවි ගැනත්, යේසුස් ක්‍රිස්තුස් විසින් පාලනය කරනු ලබන යෙහෝවාගේ රාජ්‍යය ගැනත් දැනුම පතළ කිරීමේදී සෙප්ටූඅජින්ට් වැදගත් කාර්යභාරයක් ඉටු කළා. ඇත්තවශයෙන්ම, සෙප්ටූඅජින්ට් ලෝකය වෙනස් කළ බයිබල් පරිවර්තනයක්.
[පාදසටහන]
a මතෙව් සුවිශේෂය ප්‍රථමයෙන් හෙබ්‍රෙව්වලින් ලියා, පසුව ග්‍රීක් අනුවාදයක් හැටියට සකස් කළා විය හැකියි.
[31වන පිටුවේ පින්තූරය]
පාවුල් දේශනා කළ බොහෝදෙනා “සෙප්ටූඅජින්ට්” තේරුම්ගත්තා
[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Israel Antiquities Authority අනුග්රහයෙනි