යෙහෝවා තම මාර්ගය අපට පෙන්වීම ගැන සන්තෝෂ වීම
“[දෙවිගේ] මාර්ගය වනාහි සම්පූර්ණය. [යෙහෝවාගේ] වචනය නිර්මලය.”—2 සාමුවෙල් 22:31.
1, 2. (අ) සියලුම මනුෂ්‍යයන්ට කුමක් සඳහා මූලික අවශ්‍යතාවක් ඇද්ද? (ආ) අපට යහපතක් වන්නේ කාගේ ආදර්ශය අනුකරණය කිරීමද?
සෑම මිනිසෙකුටම මඟ පෙන්වීම සඳහා මූලික අවශ්‍යතාවක් ඇත. ඇත්තෙන්ම, ජීවිතය පුරා මඟ පෙන්වීම ලබාගැනීම සඳහා අපට ඇත්තෙන්ම උපකාරය අවශ්‍යයි. යම් ප්‍රමාණයක ප්‍රඥාවක් හා වැරදි දේ හා නිවැරදි දේ අතර වෙනස තේරුම්ගැනීමට හෘද සාක්ෂියක් යෙහෝවා දී ඇති බව ඇත්තයි. නමුත් අපේ හෘද සාක්ෂිය, රඳා පැවතිය හැකි මාර්ග දර්ශකයක් කරගැනීමට නම්, එය පුහුණු කළ යුතු වනවා. (හෙබ්‍රෙව් 5:14) එමෙන්ම අප විසින් හොඳ තීරණ ගැනීමට නම්, අපේ මනස් සඳහා නිවැරදි තොරතුරු මෙන්ම, එම තොරතුරු ඇගයීමට නිවැරදි පුහුණුවක් අවශ්‍ය වනවා. (හිතෝපදේශ 2:1-5) ඒ වුණත්, ජීවිතයේ මුහුණ දෙන අවිනිශ්චිත තත්වයන් නිසා, අප සිතූ ආකාරයේ අවසන් ඵලයක් අපේ තීරණවලින් නොලැබී යා හැකියි. (දේශනාකාරයා 9:11) අනාගතය කෙබඳු එකක්ද කියා දැනගැනීමට අප තුළම ස්ථිරසාර මඟක් නැහැ.
2 මේවා හා වෙනත් හේතූන් රාශියක් නිසා, ප්‍රොපේත යෙරෙමියා මෙසේ පැවසුවා: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) මෙලොව සිටි උතුම්ම මිනිසා වන යේසුස් ක්‍රිස්තුස් පවා මඟ පෙන්වීම පිළිගත්තා. ඔහු මෙසේ පැවසුවා: “[පියා] යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද [ඔහු] යමක් [කරන්නේද] පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.” (යොහන් 5:19) එසේ නම්, යේසුස්ව අනුකරණය කර, අපේ මාර්ගවලට මඟ පෙන්වීම ලබාගැනීම සඳහා යෙහෝවාගේ උපකාරය දෙස බැලීම කොතරම් ඥානාන්විතද! දාවිත් රජ මෙසේ ගායනා කළා: ‘දෙවිගේ මාර්ගය වනාහි සම්පූර්ණය. යෙහෝවාගේ වචනය නිර්මලය. ඔහු තමන් කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට පලිහක් වන්නේය.’ (2 සාමුවෙල් 22:31) අපේම ඥානය මත රැඳෙන්නේ නැතුව යෙහෝවාගේ මාර්ගයේ ඇවිදීමට අපි තැත් කරනවා නම්, අපට සම්පූර්ණ මඟ පෙන්වීම තිබෙනු ඇත. දෙවිගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් අදහස් කරන්නේ විපත්තියයි.
යෙහෝවා මාර්ගය පෙන්වයි
3. යෙහෝවා ආදම් සහ ඒවට මඟ පෙන්වූයේ කොහොමද? තවද කුමන අපේක්ෂාවන්ද ඉදිරිපත් කළේ?
3 ආදම් හා ඒවට සිදු වූ දේ සලකා බලන්න. පව් රහිත තැනැත්තන් වුවත් ඔවුන්ට මඟ පෙන්වීම අවශ්‍ය වුණා. මනහර ඒදන් උයනේ ඔහුටම දේවල් සැලසුම් කිරීමට යෙහෝවා ආදම්ට ඉඩහැරියේ නැහැ. ඒ වෙනුවට, දෙවි ඔවුන්ට කිරීමට වැඩ දුන්නා. මුලින්ම, සතුන්ට නම් දැමීමට ආදම්ට සිදු වුණා. ඊළඟට, දෙවි ආදම් හා ඒවට දීර්ඝ කාලීන ඉලක්ක දුන්නා. පොළොව යටත් කර, එය තම වර්ගයාගෙන් පුරවා, පොළොවේ සතුන්ව රැකබලා ගැනීමට ඔවුන්ට පැවරුවා. (උත්පත්ති 1:28) මෙය විශාල කර්තව්‍යයක් වූ නමුත්, අවසන් ඵලය වනු ඇත්තේ, සත්ව මැවිල්ල සමඟ එකමුතුව සිටින සම්පූර්ණ මනුෂ්‍ය ජාතියකගෙන් පිරි ලෝක ව්‍යාප්ත පාරාදීසයකි. කොතරම් චමත්කාරජනක අපේක්ෂාවක්ද! ඊට අමතරව, ආදම් සහ ඒව ඇදහිලිවන්තව යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී, ඔවුන්ට ඔහු සමඟ කතා කිරීමට හැකිව තිබුණා. (උත්පත්ති 3:8 සසඳන්න.) මැවුම්කරු සමඟ දිගටම පවතින, පෞද්ගලික සබඳතාවක් පැවැත්වීමට හැකිවීම කොතරම් මහඟු වරප්‍රසාදයක්ද!
4. ආදම් සහ ඒව විශ්වාසයේ හා පක්ෂපාතීත්වයේ ඌනතාවක් විදහාපෑවේ කොහොමද? කුමන විනාශකාරි ප්‍රතිවිපාක ඇතුවද?
4 ඒදන් උයනේ තිබූ හොඳ හා නරක දැනගැනීමේ ගහෙන් කන්න එපාය කියා යෙහෝවා පළමු යුවළට තහනම් කළා. මෙය ඔවුන්ගේ කීකරුකමත්, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට වූ ඔවුන්ගේ ආශාවත් නිරූපණය කිරීමට කදිම අවස්ථාවක් සැපයුවා. (උත්පත්ති 2:17) ඒත්, වැඩි කල් යන්න මත්තෙන් ඒ කීකරුකම පරීක්ෂාවට නතු වුණා. සාතන් තම මුළා කරවන වචන සමඟින් කිට්ටු වෙද්දී, කීකරුව සිටීමට නම්, ආදම් සහ ඒවට යෙහෝවා කෙරෙහි පක්ෂපාතකම සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය පෙන්නුම් කිරීම අවශ්‍ය වුණා. නමුත් අසතුටට කරුණක් නම්, ඔවුන් පක්ෂපාතකම හා විශ්වාසය නොපෙන්වීමයි. සාතන් ඒවට නිදහස ඉදිරිපත් කර යෙහෝවා බොරුකාරයෙකු කියා වැරදි ලෙස චෝදනා කිරීමෙන්, ඇයව රවටනු ලැබූ අතර ඇය දෙවිට අකීකරු වුණා. ආදම්ද ඇය සමඟ පාපයට හවුල් වුණා. (උත්පත්ති 3:1-6; 1 තිමෝති 2:14) මෙහි ප්‍රතිඵල වූ පාඩුව ඉමහත් එකකි. දෙවිගේ මාර්ගය තුළ ඔවුන් ඔහුගේ කැමැත්ත ප්‍රගතිශීලීව කළා නම්, ඔවුන්ට පුදුමාකාර ප්‍රීතියක් අද්දකින්න තිබුණා. නමුත් ඒ වෙනුවට, මරණය ඔවුන්ව බිලිගන්නා තුරු, ඔවුන්ගේ ජීවිත කලකිරීමෙන් හා වේදනාවෙන් පිරී තිබුණා.—උත්පත්ති 3:16-19; 5:1-5.
5. පුළුල් පරාසයක් ඇති යෙහෝවාගේ අරමුණ කුමක්ද? එමෙන්ම එය ඉටු වෙනවා දැකබලා ගැනීමට ඔහු ඇදහිලිවන්ත මිනිසුන්ට උපකාර කරන්නේ කොහොමද?
5 කෙසේ වුණත්, පව් රහිත මිනිසාට යම් දවසක පොළොව සම්පූර්ණ පාරාදීසමය නිවසක් කර දීමේ අරමුණ යෙහෝවා වෙනස් කළේ නැහැ. (ගීතාවලිය 37:11, 29) තවද ඔහුගේ මාර්ගය අනුව යන අයට මඟ පෙන්වීම දීමටත්, එම පොරොන්දුවේ ඉටුවීම බලාපොරොත්තු වන අයට සම්පූර්ණ මඟ පෙන්වීම දීමටත් ඔහු අසමත් වී නැහැ. ඇසීමට කන් ඇති අපට යෙහෝවා පසුපසෙන් සිට මෙසේ පවසයි: “මාර්ගය මේය, මෙහි හැසිරෙන්න [ගමන් කරන්න, NW].”—යෙසායා 30:21.
සමහරු යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළා
6. අතීතයේ යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළ මිනිසුන් දෙදෙනෙක් නම් කරන්න. ඇති වූ ප්‍රතිඵල මොනවාද?
6 බයිබල් වාර්තාවට අනුව, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළේ ආදම් සහ ඒවගේ පැවතෙන්නන්ගෙන් සුළුතරයකි. ආබෙල් මේ අයගෙන් පළමුවැන්නා විය. ඔහු අකල් මරණයකට ගොදුරු වුණත්, යෙහෝවාගේ අනුමැතිය ඇතුව ඔහු මැරුණු අතර, එමගින් දෙවිගේ නියමිත කාලයේදී, “ධර්මිෂ්ඨයන්ගේ . . . නැවත-නැගිටීම” පිළිබඳ අපේක්ෂාව ගැන සහතික විය හැකියි. (ක්‍රියා 24:15) පොළොව හා මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවාගේ අරමුණේ අන්තිම ඉටුවීම ඔහු දකින්න යනවා. (හෙබ්‍රෙව් 11:4) යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළ තවත් තැනැත්තෙකි, ඒනොක්. දේවල පිළිවෙළේ නිමාව ගැන ඔහු කියූ අනාවැකිය යූද් පොතේ ආරක්ෂා සහිතව ඇත. (යූද් 14, 15) ඒනොක්ට පවා තමාට ජීවත් වීමට හැකිව තිබූ ආයු කාලය භුක්ති විඳීමට නොහැකි වුණා. (උත්පත්ති 5:21-24) ඒත්, “ඔහු [දෙවිව] ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.” (හෙබ්‍රෙව් 11:5) ආබෙල් මෙන් ඔහුත් මළ අවස්ථාවේ, නැවත නැඟිටීමේ නිසැක අපේක්ෂාව ඔහුට තිබුණු අතර, යෙහෝවාගේ අරමුණ ඉටු වන විට එය දැකබලාගන්නන් අතරේ ඔහුත් සිටීවි.
7. නෝවා හා ඔහුගේ පවුල යෙහෝවාට පක්ෂපාතීත්වය පෙන්වමින් ඔහුව විශ්වාස කළේ කොහොමද?
7 ජලගැල්මට පෙර විසූ ලෝකයා දුෂ්ටකමේ ගැඹුරටම කිඳා බසිත්ම, යෙහෝවාට කීකරු වීම තව තවත් පක්ෂපාතීත්වයේ පරීක්ෂණයක් බවට පත් වුණා. එම ලෝකයේ අවසානයට කිට්ටු වීමත් සමඟ, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටියේ එක් කණ්ඩායමක් පමණි. නෝවා හා ඔහුගේ පවුල දෙවිට ඇහුම්කන් දුන් අතර ඔහු පැවසූ දේ කෙරෙහි විශ්වාසය තැබුවා. ඔවුන් ඉදිරියේ තබා තිබූ පැවරුම් ඔවුන් ඉටු කළ අතර, එකල ලෝකයේ තිබූ නපුරු පුරුදුවලට හසු වූයේ නැහැ. (උත්පත්ති 6:5-7, 13-16; හෙබ්‍රෙව් 11:7; 2 පේතෘස් 2:5) ඔවුන්ගේ පක්ෂපාත හා විශ්වාසදායී කීකරුකම ගැන අපට ස්තුතිපූර්වක විය හැකියි. ඔවුන් එසේ කිරීම නිසා, ජලගැල්මෙන් බේරුණු අතර අපේ මුතුන් මිත්තන් බවට පත් වුණා.—උත්පත්ති 6:22; 1 පේතෘස් 3:20.
8. ඉශ්රායෙල් ජාතිය ගත් කල, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරනවා කීමෙන් ඔවුන්ට අදහස් කළේ කුමක්ද?
8 කාලයක් යද්දී, යෙහෝවා යාකොබ්ගේ පෙළපතින් එන අය සමඟ ගිවිසුමක් පිහිටෙවූ අතර, ඒ අය ඔහුගේ විශේෂ ජාතිය බවට පත් වුණා. (නික්මයාම 19:5, 6) යෙහෝවා ලිඛිත ව්‍යවස්ථාවක්, පූජක තන්ත්රයක් හා දිගටම සැපයූ අනාගතවක්තෘවරුන්ගේ මඟ පෙන්වීම මගින් තම ගිවිසුමේ මිනිසුන්ට මඟ පෙන්වීම සැපයුවා. නමුත් ඒ මඟ පෙන්වීම අනුගමනය කරනවාද නැද්ද කියා තීරණය කළ යුතු වූයේ ඉශ්රායෙල්වරුයි. යෙහෝවා අනාගතවක්තෘවරයෙකු ලවා ඉශ්රායෙල්වරුන්ට මෙසේ පැවසුවා: “මම අද නුඹලා ඉදිරියෙහි ආශීර්වාදයක්ද ශාපයක්ද තබමි; ආශීර්වාදය වන්නේ මා අද නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ [යෙහෝවාගේ] ආඥාවලට නුඹලා කීකරුවුණොත්ය. ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ [යෙහෝවාගේ] ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.”—ද්විතීය කථාව 11:26-28.
සමහරුන් යෙහෝවාගේ මාර්ගය අත්හැරීමට හේතු
9, 10. ඉශ්රායෙල්වරුන් යෙහෝවාව විශ්වාස කිරීමත් ඔහු කෙරෙහි පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීමත් අවශ්‍ය වූයේ කුමන තත්වයක් නිසාද?
9 ඉශ්‍රායෙල්වරුද කීකරුව සිටීමට නම්, ආදම් සහ ඒවගෙන් බලාපොරොත්තු වූ ආකාරයටම යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීමත් ඔහුට පක්ෂපාත වීමත් ඔවුන්ගෙන් අවශ්‍ය වුණා. සටන්කාමී අසල්වැසියන්ගෙන් කුඩා ඉශ්රායෙල් ජාතිය වටව සිටියා. නිරිතදිගට වෙන්න මිසරය හා ඉතියෝපියාවත් ඊසානදිගට වෙන්න සිරියාව හා අසිරියාවත් පිහිටා තිබුණා. ළඟපාතම පිලිස්තිය, අම්මොන්, මෝවබ් හා ඒදොම් පිහිටා තිබුණා. යම් දවසකදී හෝ යම් කාලයකදී හෝ, මේ අයගෙන් සෑම කෙනෙක්ම ඉශ්‍රායෙල්ගේ සතුරෝ බවට ඔප්පු වුණා. තවදුරටත්, දෙවිවරුන්ට කළ රූප නමස්කාරයේ, ජ්යොතිඃශාස්ත්රයේ මෙන්ම සමහරක් අවස්ථාවලදී, නීච ලිංගික ක්‍රියාවන්ගෙන් හා කුරිරු ලෙස දරුවන්ව පූජා කිරීම ඇතුළත්ව තිබූ බොරු ආගමික නමස්කාරයේ ඔවුන් සියල්ලන්ම හවුල් වුණා. ඉශ්රායෙල්වරුන්ගේ අසල්වැසියන් තමන්ට විශාල පවුල්, සරු අස්වැන්නක් හා යුද්ධයේ ජය ලැබීමට තම දෙවිවරුන් වෙත හැරුණා.
10 ඉශ්රායෙල් ජාතිය යෙහෝවා දෙවිට පමණයි වන්දනා කළේ. ඔහු විශාල පවුල්, සරුසාර අස්වනු හා සතුරන්ගෙන් ආරක්ෂාව වැනි ආශීර්වාද ඔවුන්ට පොරොන්දු වුණා. එසේ කළේ ඔවුන් ඔහුගේ පනත් පිළිපදිනවා නම් පමණයි. (ද්විතීය කථාව 28:1-14) අසතුටුදායක ලෙස, ඉශ්රායෙල්වරු බොහෝදෙනෙක් එසේ කිරීමට අසමත් වුණා. තවද යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළ අය අතුරින් බහුතරයකට ඔවුන්ගේ පක්ෂපාතීත්වය නිසා දුක් විඳින්න සිදු වුණා. වධ දීම්, සමච්චල් කිරීම්, කස පහරවල් කෑම, සිරගත කිරීම්, ගල්ගැසීම හා සෙසු ඉශ්‍රායෙලිතයන් අතින් මැරුම් කෑම වැනි දේවලට සමහරුන් ලක් වුණා. (ක්‍රියා 7:51, 52; හෙබ්‍රෙව් 11:35-38) ඇදහිලිවන්තයන්ට එය මොනතරම් පරීක්ෂණයක් වන්න ඇද්ද! නමුත් එතරම් පිරිසක් යෙහෝවාගේ මාර්ගයෙන් වෙනතකට ගියේ ඇයි? ඔවුන්ගේ සිතීමේ වැරදි ක්‍රමය වටහාගැනීමට ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයෙන් උදාහරණ දෙකක් අපට උපකාර වෙයි.
ආහාස්ගේ නරක ආදර්ශය
11, 12. (අ) සිරියාවෙන් තර්ජනයට ලක් වූ විට, ආහාස් කිරීමට ප්‍රතික්ෂේප කළේ කුමක්ද? (ආ) සුරක්ෂිතභාවය සඳහා ආහාස් නැඹුරු වූයේ කුමන ප්‍රභවයන් දෙක වෙතටද?
11 ආහාස් පො.යු.පෙ. අටවන සියවසට පෙර දකුණු යූදා රාජ්‍යය පාලනය කළා. ඔහුගේ පාලන සමය සාමකාමී එකක් වූයේ නැහැ. එක් අවස්ථාවකදී, සිරියාව හා ඉශ්රායෙලයේ උතුරු රාජ්‍යය එකතු වී ඔහුට විරුද්ධව සටනක් දියත් කළ අතර, “රජුගේ සිතද ඔහුගේ සෙනගගේ සිතද . . . චංචලවුණේය.” (යෙසායා 7:1, 2) කොහොම වුණත්, යෙහෝවා උපකාර කිරීමට ඉදිරිපත් වී තමාව පරීක්ෂා කර බලන්න කියා ආහාස්ට ඇරයුම් කළ විට, ඔහු කළේ එය කෙළින්ම ප්‍රතික්ෂේප කිරීමයි! (යෙසායා 7:10-12) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යූදා සටනින් පැරදුණු අතර, බොහෝ මරණත් අද්දැක්කා.—2 ලේකම් 28:1-8.
12 යෙහෝවාව පරීක්ෂා කිරීම ආහාස් ප්‍රතික්ෂේප කළත්, අෂූරීය රජුගෙන් උදව් ඉල්ලීමට නම් ඔහු පසුබට වූයේ නැහැ. ඒත්, යූදා තම අසල්වාසීන්ගෙන් කරදර විඳින්න පටන්ගත්තා. අෂූරියත් ආහාස්ට විරුද්ධ වී “ඔහුට පීඩා” කරන්න පටන්ගත් විට, “තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමි කීය.”—2 ලේකම් 28:20, 23.
13. සිරියාවේ දෙවිවරුන් වෙතට හැරීමෙන් ආහාස් පෙන්නුම් කළේ කුමක්ද?
13 පසු කාලයකදී, යෙහෝවා ඉශ්රායෙල්ට මෙසේ කියන්න වුණා: ‘නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා මෙසේ කියන්නේය: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය. අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.’ (යෙසායා 48:17, 18) ආහාස් සිරියාවේ දෙවිවරුන් වෙතට හැරෙමින්, ‘තමා යා යුතු මාර්ගයෙහි’ කොතරම් දුරට ගියාද කියා පෙන්නුවා. ජාතීන්ගේ සිතුවිලිවලින් ඔහු සම්පූර්ණයෙන්ම නොමඟ ගොස් තිබූ අතර, ඔහු යෙහෝවා වෙතට හැරෙන්නේ නැතුව ව්‍යාජ ආරක්ෂිත ප්‍රභවයන් දෙසට නැඹුරු වුණා.
14. බොරු දෙවිවරුන් වෙතට හැරීම සඳහා ආහාස්ට නිදහසට කරුණක් නොතිබුණේ ඇයි?
14 සිරියාවේ ඇතුළුව ජාතීන්ගේ දෙවිවරුන් “නිරර්ථක දෙවිවරුන්” බව බොහෝ කලක සිට ඔප්පු කොට තිබුණා. (යෙසායා 2:8, NW) මුලදී, දාවිත් රජුගේ පාලන කාලය තුළදී, සිරියවරුන් දාවිත්ගේ සේවකයන් බවට පත් වූ විට, සිරියාවේ දෙවිවරුන් අබිබවා යෙහෝවාට තිබූ උත්තරීතරභාවය මනාව පැහැදිලි වුණා. (1 ලේකම් 18:5, 6) ‘දෙවිවරුන්ගේ දෙවිව, ස්වාමිවරුන්ගේ ස්වාමිව සිටින, මහත් වූ බලසම්පන්න වූ භයංකර වූ දෙවි’ වන යෙහෝවාට පමණයි සැබෑ සුරක්ෂිතභාවය දිය හැක්කේ. (ද්විතීය කථාව 10:17) එහෙත්, ආහාස් යෙහෝවාව ප්‍රතික්ෂේප කළ අතර, සුරක්ෂිතභාවය සඳහා ජාතීන්ගේ දෙවිවරුන් වෙතට හැරුණා. ප්‍රතිඵලය වූයේ යූදාවට විපත්තියයි.—2 ලේකම් 28:24, 25.
මිසරයේ යෙරෙමියා සමඟ සිටි යුදෙව්වන්
15. යෙරෙමියාගේ දවසේ සිටි මිසරයේ යුදෙව්වන් පව් කළේ කොයි ආකාරයෙන්ද?
15 යෙහෝවාගේ සෙනඟගේ අන්ත විපක්ෂපාතීත්වය නිසා, යෙරුසලමත් එහි මාළිගාවත් විනාශ කිරීමට යෙහෝවා පො.යු.පෙ. 607දී බබිලෝනිවරුන්ට ඉඩ දුන්නා. ජාතියෙන් වැඩි කොටසක් බබිලෝනියට පිටුවහල් කළා. නමුත් සමහරුන්ව අතහැර ගිය අතර, ඒ අය අතර යෙරෙමියාද සිටියා. අධිපතියා වූ ගෙදලියාව ඝාතනය කළ විට, කණ්ඩායම මිසරයට පලා ගිය අතර යෙරෙමියාවද ඔවුන් සමඟ ගෙන ගියා. (2 රාජාවලිය 25:22-26; යෙරෙමියා 43:5-7) එහිදී, ඔවුන් මිථ්‍යා දෙවිදේවතාවන්ට පුද පූජා පැවැත්වූවා. යෙරෙමියා නොඇදහිලිවන්ත යුදෙව්වන්ට ඉතා ඕනෑකමින් කාරණා තේරුම් කර දෙන්න උත්සාහ කළත්, ඔවුන් මුරණ්ඩු අය වුණා. යෙහෝවා වෙතට හැරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර, පූජාමය දුම් “අහස් දේවීහට” දිගටම ඔප්පු කරන බව කියා සිටියා. ඇයි? මන්දයත් ඔවුන් සහ ඔවුන්ගේ පියවරුන් ‘බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැප සේ සිටි කාලයේ, යූදාහි නුවරවලත් යෙරුසලමේ වීදිවලත්’ කර තිබුණේ මෙයයි. (යෙරෙමියා 44:16, 17) යුදෙව්වන් මෙසේද වාද කළා: “අප විසින් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකිරීමත් ඈට පානපූජා වැගිරවීමත් අත්හැරිය දා සිට සෑම දේම අපට හිඟවී, අපි කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවුණෙමු.”—යෙරෙමියා 44:18.
16. ඔවුන්ගේ තර්කණය ගත් කල, මිසරයේ සිටි යුදෙව්වන් සම්පූර්ණයෙන්ම වැරදි වූයේ ඇයි?
16 ඔවුන්ගේ මතකය කොතරම් කපටිද! නමුත් ඇත්තටම වුණේ කුමක්ද? යෙහෝවා යුදෙව්වන්ට දුන් දේශයේ, ඔවුන් ඇත්තෙන්ම බොරු දෙවිවරුන්ට පූජා පවත්වා තිබුණා. යම් අවස්ථාවලදී, ආහාස්ගේ කාලයේ මෙන්, ඔවුන්ද ඇදහිල්ල අතහැර යෑම නිසා දුක් වින්දා. කොහොම වුණත්, යෙහෝවා තම ගිවිසුමේ සෙනඟ සමඟ “උදහස්වීමට ප්‍රමාද” බව විදහාපෑවා. (නික්මයාම 34:6; ගීතාවලිය 86:15) පසුතැවිලි වෙන්න කියා කීමට ඔහු තම ප්‍රොපේතවරුන්ව යැව්වා. සමහරක් අවස්ථාවලදී, රජු ඇදහිලිවන්ත වූ විට, යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කළ අතර, ජනයාගෙන් බහුතරය නොඇදහිලිවන්ත අය වුණත්, ඔවුන් එම ආශීර්වාදයෙන් ප්‍රයෝජන ලැබුවා. (2 ලේකම් 20:29-33; 27:1-6) තම නිජබිමේ භුක්ති වින්ද සමෘද්ධියට හේතු වූයේ තම බොරු දෙවිවරුන්යයි කීම මිසරයේ සිටි යුදෙව්වන් අතින් සිදු වූ කොතරම් විශාල වරදක්ද!
17. යූදාට දේශය හා දේවමාළිගාව අහිමි වූයේ ඇයි?
17 පොදු යුගයට පෙර 607ට පෙර, යෙහෝවා මෙසේ යූදාහි මිනිසුන්ට උනන්දු කර තිබුණා: “මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ [දෙවි] වන්නෙමි, නුඹලාද මාගේ සෙනග වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්න [ගමන් කරන්න, NW].” (යෙරෙමියා 7:23) යුදෙව්වන්ට තම දේවමාළිගාව හා දේශය අහිමි වූයේ එකම හේතුව වූයේ ‘ඔවුන්ට අණ කළ මුළු මාර්ගයෙහි’ ගමන් කිරීමට ඔවුන් අසමත් වීමයි. එම භයානක වරද කිරීමෙන් වැළකීමට අපි නිසැක වෙමු.
යෙහෝවා තම මාර්ගයේ ගමන් කරන්නන්ට ආශීර්වාද කරයි
18. යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අය කළ යුත්තේ කුමක්ද?
18 අතීතයේ මෙන් අදත්, යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීම සඳහා පක්ෂපාතීත්වයක්, එනම් ඔහුට පමණක් සේවය කිරීමට වූ අධිෂ්ඨානයක් අවශ්‍යයි. එයට විශ්වාසයක්, එනම්, යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි රඳාපැවතිය හැකි බවටත්, ඒවා සැබෑ වන බවටත් සම්පූර්ණ ඇදහිල්ලක් තිබිය යුතුයි. යෙහෝවාගේ මාර්ගවල ගමන් කිරීමේදී කීකරුකමක්, එනම්, මාරුවීමකින් තොරව ඔහුගේ උසස් ප්‍රමිති රක්ෂා කරමින් ගමන් කිරීම අවශ්‍ය වෙයි. ‘යෙහෝවා ධර්මිෂ්ඨය; ඔහු ධර්මිෂ්ඨකමට ප්‍රිය වන්නේය.’—ගීතාවලිය 11:7.
19. අදදින මිනිසුන් වන්දනාමාන කරන්නේ කුමන දෙවිවරුන්ටද? තවද කුමන ප්‍රතිඵල ඇතුවද?
19 ආරක්ෂාව සඳහා ආහාස් සිරියාවේ දෙවිවරුන් දෙස බැලුවා. පුරාණ මැද පෙරදිගෙහි විශාල වශයෙන් වන්දනාමාන කරනු ලබන දේවතාවියක් වන “අහස් දේවී” තමන්ට ද්‍රව්‍යමය සමෘද්ධිය ගෙන දේවිය කියා මිසරයේ සිටි ඉශ්රායෙල්වරුන් බලාපොරොත්තු වුණා. අද බොහෝ දෙවිවරුන් ඇත්තෙන්ම රූප නෙවෙයි. යෙහෝවා වෙනුවට “වස්තුවට” සේවය කිරීමක් ගැන යේසුස් අවවාද කළා. (මතෙව් 6:24) “රූපවැඳීමවූ තණ්හාව” ගැන ප්‍රේරිත පාවුල් කතා කළා. (කොලොස්සි 3:5) එමෙන්ම “දෙවියෝ බඩ” කරගන්නා අය ගැනත් ඔහු කතා කළා. (පිලිප්පි 3:19) ඔව්, අදදින වන්දනාමාන කරනු ලබන ප්‍රධාන දෙවිවරුන් වන්නේ මුදල් හා ද්‍රව්‍යමය දේවලුයි. යථාර්ථය ගත් කල, බොහෝ ආගමික ආයතන ඇතුළු බහුතරයක්, “වස්තුවේ අස්ථිරකම කෙරෙහි . . . බලාපොරොත්තු” තබයි. (1 තිමෝති 6:17) මෙම දෙවිවරුන්ට සේවය කරමින් බොහෝදෙනෙක් මහන්සි වී වැඩ කරන අතර සමහරු විපාකද නෙළාගනියි. එනම්, හොඳම නිවෙස්වල ජීවත් වෙමින්, මිල අධික දේවල් භුක්ති විඳිමින්, සුඛෝපභෝගී ආහාර කමින් සිටියි. කොහොම වුණත් සෑම කෙනෙක්ම පාහේ මෙවන් සැපපහසු ජීවිතයක් ගත කරන්නේ නැහැ. තවද මේවා භුක්ති විඳින අය පවා ඒවා අතෘප්තිකර බව පසුව සොයාගන්නවා. ඒවා අස්ථිර මෙන්ම තාවකාලික වන අතර ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලන්නේද නැහැ.—මතෙව් 5:3, NW.
20. අප පවත්වාගත යුත්තේ කුමන සමබරතාවක්ද?
20 අප මේ දේවල පිළිවෙළේ අන්තිම දවස්වල ජීවත් වෙද්දී, ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බව ඇත්තයි. අපේ පවුල්වලට ද්‍රව්‍යමය වශයෙන් සැපයීමට අප ප්‍රමාණවත් පියවර ගත යුතුයි. යෙහෝවාට සේවය කරනවා වෙනුවට, උසස් ජීවන මට්ටමක්, මුදල් ලුහුබැඳීම හෝ මීට සමාන කාරණාවලට අප වැඩි අවධානයක් දුන්නොත්, අප එක්තරා අන්දමේ රූප වන්දනාවකට වැටෙන අතර, තවදුරටත් යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරමින් සිටින්න යන්නේ නැහැ. (1 තිමෝති 6:9, 10) සෞඛ්‍යමය, ආර්ථික හෝ වෙනත් ගැටලුවකට අප මුහුණ දුන්නොතින් තත්වය කුමක්ද? අපි, ගැටලු නිසා දෙවිට දොස් පැවරූ එදා සිටි මිසරයේ යුදෙව්වන් මෙන් නොවෙමු. ආහාස් කිරීමට අසමත් වූ දෙය වන යෙහෝවාව පරීක්ෂා කිරීම අපි කරමු. පක්ෂපාතීව, මඟ පෙන්වීම සඳහා යෙහෝවා දෙවි වෙතට හැරෙන්න. ඔහුගේ මඟ පෙන්වීම විශ්වාසයෙන් අදාළ කරගන්න. සෑම තත්වයක්ම හැසිරවීම සඳහා ශක්තිය හා ඥානය ඉල්ලා යාච්ඤා කරන්න. අනතුරුව, යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන තුරු නිසැකව බලා සිටින්න.
21. යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?
21 ඉශ්රායෙලයේ ඉතිහාසය පුරා, තම මාර්ගයේ ගමන් කළ අයට යෙහෝවා මහඟු ලෙස ආශීර්වාද කළා. දාවිත් රජ මෙසේ ගීතිකා කිව්වා: “[යෙහෝවා], මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 5:8) පසු කාලයක ආහාස්ට පීඩා කළ අසල්වැසි ජාතීන්ට විරුද්ධව හමුදාමය ජය යෙහෝවා දාවිත්ට අත් කර දුන්නා. අවුරුදු ගණනාවකට පසුව, මිසරයේ සිටි යුදෙව්වන් විසින් ආශා කළ සාමය හා සමෘද්ධිය සාලමොන් තුළින් ඉශ්රායෙල්ට ලබා දුන්නා. යෙහෝවා, ආහාස්ගේ පුත්‍ර වූ හෙසකියාට, බලවත් අසරීයවරුන්ට විරුද්ධව පවා ජය අත් කර දුන්නා. (යෙසායා 59:1) ඔව් “පව්කාරයන්ගේ මාර්ගයෙහි” ගමන් නොකළ, දෙවිගේ ව්‍යවස්ථාව කෙරෙහි ප්‍රීති වූ යෙහෝවාගේ පක්ෂපාතී අය කෙරෙහි ඔහුගේ හස්තය කොට වූයේ නැහැ. (ගීතාවලිය 1:1, 2) අදත් එය සත්‍යයක්ව පවතියි. ඒත්, අද අපිට යෙහෝවාගේ මාර්ගයේ ගමන් කරනවාය කියා නිසැක විය හැක්කේ කොහොමද? මෙය ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරයි.
ඔබට මතකද?
◻ යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට නම් අපට වැදගත් වන්නේ කුමන ගුණාංගද?
◻ ආහාස්ගේ සිතීමේ ක්‍රමය වැරදි එකක් වූයේ ඇයි?
◻ මිසරයේ සිටි යුදෙව්වන්ගේ තර්කණය වැරදි එකක් වූයේ ඇයි?
◻ යෙහෝවාගේ මාර්ගයේ ගමන් කිරීමට වූ අපේ අධිෂ්ඨානය අපට ශක්තිමත් කළ හැක්කේ කොහොමද?
[13වන පිටුවේ පින්තූරය]
යෙහෝවා වෙත හැරෙනවා වෙනුවට ආහාස් සිරියාවේ දෙවිවරුන් වෙත හැරුණා