තිමෝති ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’
ප්‍රේරිත පාවුල් සංචාරක සහයකයෙකු හැටියට තිමෝතිව තෝරාගත් කාලයේදී තිමෝති යෞවනයෙකුව සිටියා. මෙම තෝරාගැනීම, අවුරුදු 15ක පමණ කාලයක් දිගටම පවත්වාගෙන ගිය සම්බන්ධතාවක ආරම්භය වුණා. මේ පුරුෂයන් දෙදෙනා අතර වර්ධනය වූ සම්බන්ධතාව මොනතරම්ද කියනවා නම්, තිමෝතිව “[ස්වාමීන්] තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවා” හා ‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’ කියා හඳුන්වන්න පාවුල්ට හැකි වුණා.—1 කොරින්ති 4:17; 1 තිමෝති 1:2.
තිමෝති කෙරෙහි ලැදියාවක් පාවුල් තුළ ඇති වෙන්න තරම් ඔහුගේ පෞද්ගලිකත්වයේ තිබූ විශේෂ ගුණාංග මොනවාද? තිමෝති මේ තරම් වටිනා මිතුරෙක් වුණේ කොහොමද? එමෙන්ම තිමෝතිගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේවානුභාවයෙන් ලියැවී තිබෙන වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි ප්‍රයෝජනවත් පාඩම් මොනවාද?
පාවුල් විසින් තෝරාගනු ලැබීම
තරුණ ගෝලයෙකු වූ තිමෝතිව පාවුල්ට හමු වුණේ, පො.යු. 50දී පමණ සිදු කළ ප්‍රේරිතවරයාගේ දෙවන මිෂනාරි ගමනේදී ලුස්ත්‍රාවට (නවීන-දින තුර්කිය) ගිය අවස්ථාවේදීයි. පෙනෙන විදිහට තිමෝති තම නහඹර විය පසු කරමින් සිටියදී හෝ විසිගණන්වල මුල් භාගයේදී ලුස්ත්‍රාවේ හා ඉකෝනියේ විසූ ක්‍රිස්තියානීන්ගේ පැසසුමට ලක් වී සිටියා. (ක්‍රියා 16:1-3) ඔහුගේ නමේ අර්ථයට එකඟව ඔහු ජීවත් වුණා. ඔහුගේ නමේ අර්ථය “දෙවිව ගෞරවයට පත්කරන්නා” යන්නයි. තිමෝතිගේ ආච්චි වූ ලොයිස්ද ඔහුගේ මව වූ එවුනීකිද කුඩා කාලයේ සිටම ඔහුට ශුද්ධ ලියවිලිවලින් ඉගැන්වුවා. (2 තිමෝති 1:5; 3:14, 15) සමහරවිට ඔවුන් ක්‍රිස්තු ධර්මය වැලඳගත්තේ, අවුරුදු කිහිපයකට කලින් පාවුල් ඔවුන්ගේ නගරයට පැමිණි මුල් අවස්ථාවේදී විය හැකියි. ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයෙන් ප්‍රකාශ කළ යම් අනාවැකියක් මගින් තිමෝති අනාගතයේදී මොන වගේ කෙනෙක් වෙයිද කියා ඇඟවීමක් කළා. (1 තිමෝති 1:18) එම මඟ පෙන්වීමට එකඟව, පාවුල් සහ සභාවේ වැඩිමහල්ලන් මෙම තරුණයා මත ඔවුන්ගේ අත් තබා, ඔහුව විශේෂ සේවයක් සඳහා වෙන් කරනු ලැබුවා; ප්රේරිතවරයාද මිෂනාරි ගමන්වලදී තමා සමඟ යෑමට ඔහුව තෝරාගත්තා.—1 තිමෝති 4:14; 2 තිමෝති 1:6.
තිමෝතිගේ පියා නොඇදහිලිවන්ත ග්‍රීක ජාතිකයෙකු වූ නිසා, තිමෝතිව චර්මච්ඡේදනය කර තිබුණේ නැහැ. මෙය ක්‍රිස්තියානි අවශ්‍යතාවක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොමවුණත්, ඔවුන් බැහැදකින්න ගිය යුදෙව්වන්ව පැකිලීමට පත් නොකිරීම සඳහා මෙම වේදනාකාරි ක්‍රියාමාර්ගයට තිමෝති අවනත වුණා.—ක්‍රියා 16:3.
මීට කලින් තිමෝතිව යුදෙව්වෙකු හැටියට සැලකුවාද? රබ්බිවරුන්ගේ නියමයන්ට අනුව, “අන්තර් විවාහයක ප්‍රතිඵලයක් හැටියට බිහි වන දරුවන්ගේ තත්වය තීරණය කෙරෙන්නේ, දරුවාගේ පියාගේ නොව මවගේ පසුබිම අනුව” බවට සමහර විද්වතුන් තර්ක කරනවා. එයින් අදහස් කරන්නේ, “යුදෙව් ස්ත්‍රියක් බිහි කරන්නේ යුදෙව් දරුවෙකු” බවයි. එහෙත්, “පුද්ගලයන් හා සම්බන්ධ රබ්බිවරුන්ගේ [එම] නීතිය පො.යු. පළමුවන සියවසේදී පැවතුණාද,” එමෙන්ම කුඩා ආසියාවේ සිටි යුදෙව්වන් එම නීතිය පිළිපැද්දාද යන්න ගැන ලේඛක ෂා කොහන් ප්‍රශ්න කරනවා. අන්‍යජාතික පුරුෂයන් ඉශ්රායෙල් ස්ත්‍රීන්ව විවාහ කරගත් විට, “එම විවාහවල ප්‍රතිඵලයක් හැටියට බිහි වන දරුවන්ව ඉශ්රායෙලිතයෙකු හැටියට සැලකුවේ, එම පවුල ඉශ්රායෙල්වරුන් අතර ජීවත් වුණා නම් පමණයි” කියා ඉතිහාසයේ දැක්වෙන සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් පසුව ඔහු නිගමනය කරනවා. “මවගේ පැත්තෙන් පෙළපත තීරණය වුණේ, මවගේ දේශය තුළ පමණයි. ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියක් ඇගේ අන්‍යජාතික ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට වෙනත් දේශයකට ගියොත්, ඇගේ දරුවන්ව සැලකුවේ අන්‍යජාතිකයන් හැටියටයි.” තත්වය මොකක් වුණත්, තිමෝතිගේ දෙමාපියන් ජාති දෙකකට අයත් වීම, ඔහුගේ දේශනා සේවයට හුඟාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් හා සම්බන්ධ ගැටලු කිසිවක් ඔහුට නොතිබෙන්න ඇති; ඇතැම්විට ඔවුන් අතර තිබුණු පරතරය වසන්න ඔහුට හැකි වෙන්න ඇති.
පාවුල් ලුස්ත්‍රාවට ගිය ගමන තිමෝතිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. ශුද්ධාත්මයේ මඟ පෙන්වීම අනුගමනය කිරීමටත් නිහතමානී ලෙස ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සමඟ සහයෝගීව කටයුතු කිරීමටත් දැක්වූ කැමැත්ත නිසා ඉමහත් ආශීර්වාද හා සේවා වරප්‍රසාද භුක්ති විඳීමේ දොරටුව ඔහුට විවෘත වුණා. තිමෝති දැන සිටියත් නැතත්, පසු කාලයකදී පාවුල්ගේ මඟ පෙන්වීම යටතේ, තමාගේ නිවසින් ඉතා දුර බැහැරව පිහිටි අධිරාජ්‍යයේ අගනුවර වන රෝමයට පවා යන්න සලස්වන වැදගත් දිව්‍යාණ්ඩු පැවරුම් සඳහා ඔහුව යොදාගැනීමට නියමිතව තිබුණා.
තිමෝති රාජ්‍ය කටයුතුවල වර්ධනයට අත හිත දුන්නා
තිමෝතිගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අපි ළඟ නැති වුණත්, රාජ්‍ය කටයුතුවල වර්ධනයට අත හිත දීම සඳහා ඔහු හුඟාක් ගමන් බිමන්වල යෙදුණ බව අප දන්නවා. තිමෝති පාවුල් හා සීලස් සමඟ පො.යු. 50දී ගිය මුල්ම ගමනේදී, කුඩා ආසියාව හරහා යුරෝපයට ගමන් කළා. එහිදී ඔහු පිලිප්පිය, තෙසලෝනිකය හා බෙරීයයෙහි දේශනා කිරීමේ කටයුතුවල හවුල් වුණා. එල්ල වූ විරුද්ධවාදිකම් නිසා පාවුල් අතීනසයට ගිය පසු බෙරීයයෙහි පිහිටා තිබූ ගෝලයන්ගෙන් සමන්විත කණ්ඩායම බලාගැනීම සඳහා තිමෝතිව හා සීලස්ව එහි නතර කළා. (ක්‍රියා 16:6–17:14) පසු අවස්ථාවක, තෙසලෝනිකයෙහි පිහිටි අලුත් සභාව ශක්තිමත් කිරීම සඳහා පාවුල් තිමෝතිව එහි යැව්වා. තිමෝතිට පාවුල්ව කොරින්තියේදී හමු වූ අවස්ථාවේදී, එහි වර්ධනය ගැන ඔහු හොඳ ආරංචි සැපයුවා.—ක්‍රියා 18:5; 1 තෙසලෝනික 3:1-7.
තිමෝති කොතරම් කාලයක් කොරින්තිවරුන් සමඟ නතර වී සිටියාද කියා ශුද්ධ ලියවිලිවල සඳහන් වෙන්නේ නැහැ. (2 කොරින්ති 1:19) කොහොමවුණත්, කොරින්තිවරුන්ගේ තත්වය සම්බන්ධයෙන් කැලඹීමට පත් කරවන ආරංචියක් පාවුල්ට ලැබුණු නිසා, පො.යු. 55දී පමණ තිමෝතිව එහි යැවීමට ඔහු කල්පනා කළා. (1 කොරින්ති 4:17; 16:10) පසුව, එරස්තස් සමඟ තිමෝතිව එපීසයේ සිට මකිදෝනියට යැව්වා. ඒ වගේම පාවුල් කොරින්තියේ සිට රෝමවරුන්ට ලියූ කාලයේදී තිමෝති නැවතත් ඔහු සමඟ සිටියා.—ක්‍රියා 19:22; රෝම 16:21.
පාවුල් යෙරුසලම බලා යෑමට පිටත් වූ අවස්ථාවේදී තිමෝති හා වෙනත් අයද කොරින්තියෙන් පිටත්ව ඔහු සමඟ ගියා; ඔවුන් අඩුම තරමින් ත්‍රෝවසය දක්වාම ප්‍රේරිතවරයා සමඟ ගමන් කළා. තිමෝති දිගටම යෙරුසලම දක්වා ගමන් කළාද කියා හරියටම දන්නේ නැහැ. එහෙත්, පාවුල් පො.යු. 60-61 පමණ කාලය අතරතුර රෝමයේ සිරගෙදර සිට ලියූ ලිපි තුනක හැඳින්වීමෙහි ඔහුගේ නම සඳහන් කර තිබෙනවා.a (ක්‍රියා 20:4; පිලිප්පි 1:1; කොලොස්සි 1:1; පිලෙමොන් 1) තිමෝතිව රෝමයේ සිට පිලිප්පියට යැවීමට පාවුල් සැලසුම් කරමින් සිටියා. (පිලිප්පි 2:19) පාවුල් සිරෙන් නිදහස ලැබීමෙන් පසු, ප්‍රේරිතවරයාගේ මඟ පෙන්වීම අනුව, තිමෝති එපීසයෙහි දිගටම නතර වුණා.—1 තිමෝති 1:4.
පළමුවන සියවසේදී ගමනාගමනය ඒ තරම් ලෙහෙසි පහසු එකක් වුණේ නැති නිසා, සභාවල අභිවෘද්ධිය උදෙසා තිමෝති සිය කැමැත්තෙන්ම ගිය බොහෝ ගමන් ඇත්තෙන්ම ප්‍රශංසා කටයුතුයි. (1996 අගෝස්තු 15 මුරටැඹහි, 29වන පිටුවෙහි කොටුව බලන්න.) තිමෝතිගේ ගමන්වලින් එකක් පමණක් සලකා බලා, එයින් ඔහු ගැන කියැවෙන දේවල් සැලකිල්ලට ගන්න.
තිමෝතිගේ පෞද්ගලිකත්වය දෙස කිට්ටුවෙන් බැලීම
සිරගතව සිටි ප්‍රේරිතවරයා, හිංසා පීඩාවලට ලක් වූ පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසූ අවස්ථාවේදී, තිමෝති පාවුල් සමඟ රෝමයේ සිටියා: “මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමීවූ [යේසුස්] තුළ බලාපොරොත්තුවෙමි. මක්නිසාද නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. මක්නිසාද සියල්ලෝ යේසුස් [ක්‍රිස්තුස්ගේ] කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය. ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.”—පිලිප්පි 1:1, 13, 27ආ-30; 2:19-22.
තිමෝති සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි දැක්වූ සැලකිල්ල එම වදන්වලින් අවධාරණය කෙරෙනවා. ඔහු බෝට්ටුවකින් ගමන් නොකළා නම්, ආද්‍රියාතික මුහුද හරහා තිබෙන කෙටි මාර්ගය ඔස්සේ රෝමයේ සිට පිලිප්පියට පයින් ගමන් කිරීමට දවස් 40ක් ගත වූ අතර, ආපසු රෝමයට ඒමට එම දවස් ගණනම ගත වුණා. තම සහෝදර සහෝදරියන්ට සේවය කිරීම සඳහා ඒ සෑම දෙයක්ම කරන්න තිමෝති සූදානම් වී සිටියා.
තිමෝති විශාල වශයෙන් ගමන් බිමන්වල නිරත වුණත්, සමහර අවස්ථාවලදී ඔහුට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබුණේ නැහැ. ඔහුට යම් ආකාරයක උදරාබාධයක් තිබුණා; ඒ වගේම ඔහු “නිතර අසනීප” වුණා. (1 තිමෝති 5:23, NW) එහෙත් ඔහු ශුභාරංචිය උදෙසා සෑහෙන වීර්යයක් දරා කටයුතු කළා. පාවුල් ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවක් ඇති කරගැනීම පුදුමයක්ද!
ප්‍රේරිත පාවුල්ගේ භාරකාරත්වය යටතේ සිටීම නිසාත්, ඔවුන් එක්ව ලැබූ අද්දැකීම් නිසාත්, පෙනෙන විදිහට තිමෝති පාවුල්ගේ පෞද්ගලිකත්වයේ ගතිලක්ෂණ පිළිබිඹු කළා. මේ නිසා, පාවුල්ට ඔහු ගැන මෙසේ කියන්න හැකි වුණා: “නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද, අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි.” තිමෝති පාවුල් සමඟ දුක බෙදාගත්තා; පාවුල්ගේ යාච්ඤාවලදී තිමෝති ගැන සඳහන් වුණා; රාජ්‍ය වැඩකටයුතුවල වර්ධනය උදෙසා පාවුල් ළඟ සිටිමින් දාසයෙකු සේ වැඩ කළා.—2 තිමෝති 1:3, 4; 3:10, 11.
‘තම යෞවනකම සුළු කරන්න කිසිවෙකුට ඉඩ නාරින’ ලෙස පාවුල් තිමෝතිව දිරිමත් කළා. තිමෝති යම් ප්‍රමාණයකට ලජ්ජාශීලී පුද්ගලයෙකු වූ බවත්, ඔහුගේ බලතල ක්‍රියාත්මක කිරීම ගැන දෙගිඩියාවෙන් පසු වූ බවත් එයින් ඇඟවෙනවා විය හැකියි. (1 තිමෝති 4:12; 1 කොරින්ති 16:10, 11) කොහොමවුණත්, අනිත් අය මත රඳා සිටින්නේ නැතුව වැඩ කරන්න ඔහුට හැකි වූ අතර, පාවුල් ඔහු කෙරෙහි විශ්වාසය තබා භාරදූර මිෂනාරි ගමන්වලට ඔහුව යැව්වා. (1 තෙසලෝනික 3:1, 2) එපීස සභාවට දැඩි දිව්‍යාණ්ඩුමය අධීක්ෂණයක් අවශ්‍යව තිබූ බව පාවුල්ට පෙනීගිය අවස්ථාවේදී, “අමුතු ධර්ම නූගන්වන හැටියට . . . සමහරුන්ට ආඥාකරන පිණිස” එහි නතර වෙන්න කියා ඔහු තිමෝතිගෙන් උදක්ම ඉල්ලා සිටියා. (1 තිමෝති 1:3, 4, ඇල අකුරු අපගේය.) බොහෝ වගකීම් ඔහුට විශ්වාසවන්තව භාර දී තිබුණත් තිමෝති නිහතමානි පුද්ගලයෙක් වුණා. ඒ වගේම, ඔහුට යම් ලජ්ජාශීලී ගතියක් තිබුණා විය හැකි වුණත්, ඔහු නීර්භිත කෙනෙක් වුණා. උදාහරණයක් හැටියට, පාවුල් ඔහුගේ ඇදහිල්ල පවත්වාගැනීම නිසා නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේදී ඔහුට උපකාර කරන්න තිමෝති ගියා. ඇත්තෙන්ම, සමහරවිට එම හේතුව නිසාම තිමෝතිද යම් කාලයක් සිරගෙදර දුක් විඳින්න ඇති.—හෙබ්‍රෙව් 13:23.
තිමෝති පාවුල්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත් බවට කිසිම සැකයක් නැහැ. ප්‍රේරිතවරයා තමාගේ හවුල් සේවකයාව ඉතා අගය කොට සැලකූ බව, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ තිබෙන දේවානුභාවය ලත් ලිපි දෙකක් ඔහුට ලිවීමෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. පොදු යුගයේ 65දී පමණ, තමාගේ ප්‍රාණ පරිත්‍යාගි මරණය ඉතා ආසන්නව තිබූ බව පාවුල් තේරුම්ගත් අවස්ථාවේදී, ඔහු නැවතත් තිමෝතිව කැඳෙව්වා. (2 තිමෝති 4:6, 9) ප්‍රේරිතවරයාව මරණයට පත් කරන්න කලින්, ඔහුව දැකබලා ගැනීමට තිමෝතිට හැකි වුණාද නැද්ද කියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ නැහැ.
කැමැත්තෙන්ම ඉදිරිපත් වන්න!
තිමෝතිගේ කදිම ආදර්ශයෙන් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්. පාවුල් සමඟ ඇසුරු කිරීමෙන් ඔහු ඉමහත් ප්‍රයෝජන අද්දැක්කා; ලජ්ජාශීලී තරුණයෙක්ව සිටියත් අවේක්ෂකයෙකු දක්වා ඔහු වර්ධනය වුණා. අදදිනත් ඒ හා සමාන ඇසුරක් මගින් බොහෝ දේවල් අත් කරගන්න ක්‍රිස්තියානි තරුණ තරුණියන්ට හැකියි. ඔවුන් යෙහෝවාට සේවය කිරීම තමන්ගේ ජීවිත මාර්ගය කරගන්නවා නම්, ඔවුන්ට කිරීමට බොහෝ වටිනා වැඩ තිබෙයි. (1 කොරින්ති 15:58) පුරෝගාමීන් හෝ පූර්ණ-කාලීන දේශනාකරුවන් ලෙස තමන්ගේ සභාවල සේවය කරන්න ඔවුන්ට හැකියි. එහෙම නැත්නම්, රාජ්‍ය ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයක සේවය කරන්න ඔවුන්ට පුළුවන්. විවෘතව තිබෙන තවත් බොහෝ ප්‍රස්තාවන් අතර, වෙනත් රටක මිෂනාරි සේවය කිරීම හෝ වොච් ටවර් සමිතියේ මූලස්ථානයේ හෝ එහි ශාඛාවක සේවය කිරීම යනාදිය තිබිය හැකියි. එමෙන්ම යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කිරීමෙන් තිමෝති විදහාපෙන්වූ ස්වභාවයම විදහාපෙන්වන්න සියලුම ක්‍රිස්තියානීන්ට හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.
සුදුසුයි කියා යෙහෝවා සැලකිය හැකි ඕනෑම තත්වයක් යටතේ සේවය කිරීම සඳහා ඔහුගේ සංවිධානයට ප්‍රයෝජනවත් කෙනෙකු වෙමින් දිගටම ආත්මිකව වර්ධනය වෙන්න ඔබ කැමතිද? එහෙම නම්, තිමෝතිව ආදර්ශයට ගන්න. හැකි තාක් දුරට යම් දේවල් සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න. අනාගතයේදී ඔබට මොන වගේ සේවා වරප්‍රසාද විවෘත වෙයිද කියා කවුද දන්නේ?
[පාදසටහන]
a පාවුල්ගේ වෙනත් ලිපි හතරකද තිමෝති ගැන සඳහන් කර තිබෙනවා.—රෝම 16:21; 2 කොරින්ති 1:1; 1 තෙසලෝනික 1:1; 2 තෙසලෝනික 1:1, NW.
[31වන පිටුවේ පින්තූරය]
“ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත”