ඔබට මතකද?
මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ දැනුමක් ලැබුවාද? එසේ නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඔබේ දැනුම උරගා බලන්න.
• යෝබ් 38වන පරිච්ඡේදයේ තිබෙන ප්‍රශ්න අද දිනටත් සලකා බැලීම වටින්නේ මන්ද?
දෙවි අවධානයට යොමු කළ බොහෝ මවිතකර ක්‍රියා තේරුම්ගැනීමට විද්‍යාඥයින්ට පවා නොහැකි වී තිබේ. මෙම ක්‍රියාවන්ට ඇතුළත් වූ දේවල් නම්, පෘථිවි ග්‍රහයා ඊට නියමිත කක්ෂයේ දිගටම ගමන් කිරීමට හේතු වන ගුරුත්වාකර්ෂණ බලය ඊට ලැබී ඇත්තේ කෙසේද? ආලෝකය යන්නෙහි අර්ථය කුමක්ද? විවිධ වර්ගයේ හිම කැට තිබීමට හේතුව කුමක්ද? වැහි බිංදු ඇති වන ආකාරය සහ විදුලි කෙටීම් මගින් මුදාහරින ශක්තිය එයට ලැබෙන්නේ කෙසේද යන්නයි.—4/15, 4-11 පිටු.
• අප තුළ ඇති වන හානිකර හැඟීම් පලවාහැරීමට උපකාරවත් වන බයිබල් ආදර්ශයන් කවරේද?
ආසාප්, බාරුක්, නායොමි යම් කාලයකට අධෛර්යයට පත් වී හෝ වෙනත් හානිකර හැඟීම් සමඟ පොරබදමින් සිටියත් ඔවුන් එවැනි හැඟීම්වලින් ගොඩ ආ අයුරු පිළිබඳ විස්තර ඇතුළත් ශුද්ධ ලියවිලි වාර්තා කියවීම අපට ප්‍රයෝජනදායක වෙයි.—4/15, 22-4 පිටු.
• ක්‍රිස්තියානි වැන්දඹුවන්ට උපකාර කළ හැකි ප්‍රායෝගික ක්‍රම කවරේද?
ඔවුන්ගේ මිතුරන්ට හැකියි අවශ්‍ය කාරුණික උපකාරය පිරිනමන්න. එමෙන්ම පවුලේ අයට සහ යමක් කමක් කළ හැකි අයට වැන්දඹුවන් සඳහා මුදලින් හෝ ද්‍රව්‍යමය දේවලින් උපකාර පිරිනැමිය හැකියි. සෙසු ක්‍රිස්තියානීන්ට හැකියි ඔවුන්ට මිත්රශීලීව සැලකීමට සහ ආත්මික උපකාරය මෙන්ම සැනසීම ලබා දීමට.—5/1, 5-7 පිටු.
• 1 කොරින්ති 7:39හි උපදෙස් දෙන ආකාරයට “ස්වාමීන් තුළ පමණක්” විවාහ විය යුත්තේ මන්ද?
බොහෝ අවස්ථාවන්වල නොඇදහිලිකාරයන් සමඟ විවාහ වීම කරදරවලට අත වැනීමක් බව ඔප්පු වී තිබේ. ඊටත් වඩා වැදගත් දෙය වන්නේ මෙම දිව්‍යමය උපදෙස අනුගමනය කිරීම යෙහෝවා දෙවිට දක්වන පක්ෂපාතකමට සම්බන්ධ වී තිබීමය. අප දෙවිගේ වචනයට එකඟව කටයුතු කරන විට අපගේ සිත අපට දොස් නඟන්නේද නැත. (1 යොහන් 3:21, 22)—5/15, 20-1 පිටු.
• අපේ පව්වලට සමාව දිය හැක්කේ දෙවිට පමණයි. එසේ නම් ක්‍රිස්තියානීන් විසින් කරනු ලබන බරපතළ පාප සභාවේ සිටින වැඩිමහල්ලන්ට පැවසිය යුත්තේ මන්ද?
ක්‍රිස්තියානියෙකු පාප සඳහා සමාව අයැදිය යුත්තේ යෙහෝවාගෙන් බව ඇත්තයි. (2 සාමුවෙල් 12:13) නමුත්, ප්‍රොපේත නාතාන් දාවිත්ට උපකාර කළාක් මෙන් සභාවේ සිටින වැඩිමහල්ලන්ට හැකියි පසුතැවිලි වී සිටින පව්කාරයන්ට උපකාර කිරීමට. වැඩිමහල්ලන් වෙතට යෑම යාකොබ් 5:14, 15හි දී ඇති උපදෙස්වලටද එකඟය.—6/1, 31වන පිටුව.
• අවශ්‍යතා ඇති වැන්දඹුවන්ව සහ මවුපියන් නැති දරුවන්ව රැකබලා ගැනීම අපගේ වගකීමක් කියා පැවසීමට තිබෙන සාක්ෂි කවරේද?
ඓතිහාසික වාර්තාවලින් පෙනීයන්නේ එවැනි දේවල් පුරාණයේ සිටි හෙබ්‍රෙව්වරුන්ගේ සහ මුල් ක්‍රිස්තියානීන්ගේ සැබෑ නමස්කාරයේ අංගයක් වී තිබූ බවය. (නික්මයාම 22:22, 23; ගලාති 2:9, 10; යාකොබ් 1:27) එමෙන්ම, ක්‍රිස්තියානීන් අවශ්‍යතා ඇති අයගේ ඕනෑ එපාකම් පිරිමැසිය යුතුයි කියා ප්‍රේරිත පාවුල්ද ශුද්ධ ලියවිලිවල පැහැදිලිව සඳහන් කළේය. (1 තිමෝති 5:3-16)—6/15, 9-11 පිටු.
• අරුත්බර දිවියකට රහස කුමක්ද?
අපේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟාගෙන එය දිගටම පවත්වාගෙන යෑමය. මෙසේ කිරීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.—7/1, 4-5 පිටු.
• මරණින් පසු සෑම මනුෂ්‍යයෙකුගේම සිරුරෙන් බැහැර වන යම් අමරණීය දෙයක් දිගටම පවතිනවාද?
සමහර මනුෂ්‍යයන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ආත්මය දිගටම පවතින බව නැතහොත් එය අමරණීය බවය. නමුත් බයිබලය මෙයට එකඟ වන්නේ නැත. එහි පවසන්නේ මනුෂ්‍යයෙකු මිය යන විට ඔහු දුවිල්ලට හැරී පැවැත්මෙන් තොර වන බවයි. නැවත ජීවිතය දානය කිරීමට හැකියාව තිබෙන්නේ දෙවිට පමණයි. එමනිසා නැවත නැඟිටීමක් තුළින් අනාගතික ජීවිතයක් ලබාගැනීමේ බලාපොරොත්තුව රඳා පවතින්නේ දෙවි මතයි. (දේශනාකාරයා 12:7)—7/15, 3-6 පිටු.
• දූරා සමභූමියේදී හෙබ්‍රෙව් යෞවනයන් තිදෙනාගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වන විට දානියෙල් සිටියේ කොහේද?
බයිබලයෙහි ඒ ගැන කිසිදු සඳහනක් කර නැත. දානියෙල් එම ස්ථානයට පැමිණීම අවශ්‍ය නොවූයේ ඔහු දරමින් සිටි උසස් තනතුර නිසා හෝ ඔහු රාජකාරි ගමනක් සඳහා වෙනත් ස්ථානයකට ගොස් සිටි නිසා විය හැකියි. නමුත් ඔහු දෙවි කෙරෙහි වූ තම විශ්වාසවන්තකම පාවා නුදුන් බව නම් ස්ථිරයි.—8/1, 31වන පිටුව.