‘මාංසයේ උලක්’ සමඟ සාර්ථකව කටයුතු කිරීම
“මාගේ [මහත්, NW] කරුණාව නුඹට සෑහේය.”—2 කොරින්ති 12:9.
1, 2. (අ) අප පරීක්ෂා හා ගැටලුවලට මුහුණ දෙද්දී පුදුමයට පත් නොවිය යුත්තේ මන්ද? (ආ) පීඩා හමුවෙහි අපට නිසැකකමක් ඇති කරගත හැක්කේ මන්ද?
“ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12) මෙසේ වන්නේ මන්ද? මීට හේතුව මිනිසා දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමී හේතු මුල් කරගෙනයි කියා සාතන් ප්‍රකාශ කර සිටීම හා එය ඔප්පු කරගැනීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම ඔහු කරමින් සිටීමයි. වරක් යේසුස් ඔහුගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වේය. “නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.” (ලූක් 22:31) වේදනාකාරි ගැටලු මගින් අපව පරීක්ෂා කිරීමට දෙවි සාතන්ට ඉඩහරින බව යේසුස් හොඳින් දැන සිටියේය. කෙසේවෙතත් අප මුහුණ දෙන සෑම දුෂ්කරතාවක්ම ඇති කරන්නේ සාතන්යයි එයින් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. (දේශනාකාරයා 9:11) එහෙත් අපේ අඛණ්ඩතාව බිඳ දැමීම සඳහා තමන්ගේ බලය යටතේ තිබෙන ඕනෑම දෙයක් යොදාගැනීමට සාතන් පසුබට නොවෙයි.
2 බයිබලය අපට පවසන්නේ පීඩා අද්දකින විට අප පුදුමයට පත් විය යුතු නැති බවයි. අප මොන පීඩාවකට මුහුණ දුන්නත් එය අසාමාන්‍ය දෙයක් හෝ අනපේක්ෂිත ලෙස කඩා පාත් වන දෙයක් නොවේ. (1 පේතෘස් 4:12) ඇත්තෙන්ම “ලෝකයෙහි සිටින [අපගේ] සහෝදරයන් කෙරෙහි එම දුක්ම [පැමිණෙන්නේය].” (1 පේතෘස් 5:9) අද සාතන් දෙවිගේ සෑම සේවකයෙකු කෙරෙහිම දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියි. උල් වැනි විවිධාකාර ප්‍රශ්නවලින් අප වේදනා විඳිනවා දැකීමෙන් සාතන් ලබන්නේ ඉමහත් සතුටකි. මේ සඳහා සිය ආධිපත්‍ය යටතේ තිබෙන වත්මන් ක්‍රමය යොදාගනිමින් ‘අපේ මාංසයේ උල්වලින්’ හටගන්න වේදනාව තව තවත් වැඩි කිරීමට ඔහු තැත් කරයි. (2 කොරින්ති 12:7) කෙසේවෙතත් අපේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන්ගේ ප්‍රහාරවලට ඉඩ දිය යුතු නැත. පරීක්ෂා විඳදරාගැනීම සඳහා යෙහෝවා අපට ‘මාර්ගය සලසා දෙන්නාක්’ මෙන් අපේ මාංසයට ඇනී තිබෙන උල් වැනි ගැටලුවලින් පීඩා විඳින විටද විඳදරාගැනීමට ඔහු මාර්ගය සලසා දෙයි.—1 කොරින්ති 10:13.
උලක් සමඟ සාර්ථකව කටයුතු කළ හැකි අයුරු
3. ඔහුගේ මාංසයට ඇනී තිබූ උල ඉවත් කරන්න කියා පාවුල් ඉල්ලූ විට යෙහෝවා ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
3 තමාගේ මාංසයට ඇනී තිබූ උල ඉවත් කරන්න කියා ප්‍රේරිත පාවුල් දෙවිට කන්නලව් කළේය. “ඒක මා කෙරෙන් පහ වන පිණිස ඒ ගැන තුන්වරක් [ස්වාමීන්ගෙන්] ඉල්ලුවෙමි” කියා ඔහු පැවසුවේය. පාවුල්ගේ මේ කන්නලව්වට යෙහෝවා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? “මාගේ [මහත්, NW] කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේය” කියා යෙහෝවා ඔහුට පැවසුවේය. (2 කොරින්ති 12:8, 9) මේ ප්‍රතිචාරය විග්රහ කර, අපට වේදනා ගෙන දෙන උල් වැනි ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට එම උපදෙස උපකාරවත් විය හැකි ආකාරය සලකා බලමු.
4. යෙහෝවාගේ මහත් කරුණාවෙන් පාවුල් ප්‍රයෝජන ලැබුවේ කවර ආකාරවලින්ද?
4 ක්‍රිස්තුස් මාර්ගයෙන් පාවුල්ට ඒ වන විටත් ලැබී තිබූ මහත් කරුණාව අගය කිරීමට දෙවි ඔහුව දිරිමත් කළ බව සැලකිල්ලට ගන්න. ඇත්තෙන්ම පාවුල් බොහෝ ආකාරවලින් ආශීර්වාද භුක්ති විඳිමින් සිටියේය. ඔහු ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට දැඩි ලෙස විරුද්ධවාදීකම් එල්ල කර තිබුණත් යෙහෝවා ඔහුට යේසුස්ගේ ගෝලයෙකු වීමේ වරප්‍රසාදය ප්‍රේමනීය ලෙස ලබා දුන්නේය. (ක්‍රියා 7:58; 8:3; 9:1-4) පසු කාලයේදී යෙහෝවා ඔහුට තවදුරටත් කරුණාව පෙන්වමින් මහඟු වරප්‍රසාද හා පැවරුම් රැසක් ලබා දුන්නේය. මෙයින් අපට උගත හැකි පාඩම පැහැදිලියි. දැඩි දුෂ්කරතා සහිත කාලවලදී පවා අපට අගය කළ හැකි බොහෝ ආශීර්වාද අපි භුක්ති විඳින්නෙමු. අප අද්දකින පීඩා නිසා යෙහෝවා අපට පෙන්වා තිබෙන අසීමිත යහපත්කම කිසිදා අප අමතක නොකළ යුතුයි.—ගීතාවලිය 31:19.
5, 6. (අ) තමන්ගේ බලය ‘දුර්වලකමේදී සම්පූර්ණ’ වන බව යෙහෝවා පාවුල්ට ඉගැන්වූයේ කෙසේද? (ආ) සාතන් බොරුකාරයෙකු බව පාවුල්ගේ ආදර්ශයෙන් ඔප්පු වූයේ කෙසේද?
5 යෙහෝවාගේ මහත් කරුණාව සෑහෙන බව තවත් ආකාරයකින්ද ඔප්පු වේ. අපේ පීඩාවලදී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් අපට උපකාර කිරීමට දෙවිගේ බලයට හැක. (එපීස 3:20) තමන්ගේ බලය ‘දුර්වලකමේදී සම්පූර්ණ’ වන බව යෙහෝවා පාවුල්ට ඉගැන්වුවේය. කෙසේද? පාවුල් මුහුණ දුන් පීඩාවලදී සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය යෙහෝවා ප්‍රේමනීය ලෙස ඔහුට ලබා දුන්නේය. දෙවිගේ බලය සියල්ල අභිබවා යන ආකාරය දුර්වල පව්කාර මිනිසෙකු වූ පාවුල්ගේ විඳදරාගැනීමෙන් හා යෙහෝවා කෙරෙහි ඔහු තැබූ දැඩි විශ්වාසයෙන් සියල්ලන්ට දැකගත හැකි විය. මිනිසුන් දෙවිට සේවය කරන්නේ ගැටලු ප්‍රශ්න නැති විට පමණයි කියා පවසන යක්ෂයාට එමගින් ඇති කළ බලපෑම සිතා බලන්න. පාවුල්ගේ අඛණ්ඩතාව එම අපහාස කරන්නාගේ කම්මුලට ගැසූ පහරක් මෙන් විය!
6 පාවුල් කාලයක් දරුණු ලෙස ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා කළේය. ඒ කාලයේදී ඔහු සිටියේ දෙවිට විරුද්ධව සටන් කරන සාතන්ගේ පැත්තේය. කලක් ජ්වලිතවත් ඵරිසිවරයෙකු වූ ඔහු ධනවත් පැළැන්තියක කෙනෙකු නිසා සැප පහසු ජීවිතයක් ගත කළාට සැකයක් නැත. නමුත් දැන් පාවුල් යෙහෝවට හා ක්‍රිස්තුස්ට සේවය කරන්නේ ‘ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තෙකු’ ලෙසය. (1 කොරින්ති 15:9) එසේ ක්‍රියා කළ ඔහු පළමු සියවසේ තිබූ ක්‍රිස්තියානි පාලක මණ්ඩලයේ බලතල නිහතමානී ලෙස පිළිගත්තේය. මාංසයේ උලකින් වේදනා වින්දත් ඔහු විශ්වාසවන්තව විඳදරාගත්තේය. ජීවිතයේ නොයෙකුත් පීඩාවලට මුහුණ දීමට සිදු වුවත් පාවුල්ගේ ජ්වලිතය මැලවී ගියේ නැත. මෙය සාතන්ගේ බලාපොරොත්තු සුන් කළා විය යුතුය. ක්‍රිස්තුස්ගේ ස්වර්ගික රාජ්‍යයේදී ඔහු භුක්ති විඳීමට අපේක්ෂාවෙන් සිටි වරප්‍රසාදය පාවුල් කවදාවත් තම දෘෂ්ටියෙන් ඉවත් කළේ නැත. (2 තිමෝති 2:12; 4:18) වේදනාකාරි කිසිම උලකට ඔහුගේ ජ්වලිතය නිවා දමන්න නොහැකි විය. ඒ හා සමානව අපේ ජ්වලිතයද කිසිමදාක නිවී යන්න ඉඩ නොදෙමු. අපේ පීඩාවලදී අපව උසුලමින් යෙහෝවා අපව උසස් කරන්නේ සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමේ වරප්‍රසාදය අපට දීමෙනි.—හිතෝපදේශ 27:11.
යෙහෝවාගේ සැපයුම් අත්‍යවශ්‍යයි
7, 8. (අ) යෙහෝවා අදදින ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරන්නේ කිනම් ආකාරවලින්ද? (ආ) අපේ මාංසයට ඇනී තිබෙන උලක් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා බයිබලය දිනපතා කියවීම හා අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
7 අද යෙහෝවා විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට ශක්තිය සපයන්නේ ඔහුගේ ශුද්ධාත්මයෙන්, වචනයෙන් සහ අපේ ක්‍රිස්තියානි සහෝදරත්වය මාර්ගයෙනි. ප්‍රේරිත පාවුල් කළාක් මෙන් අපටත් යාච්ඤාවෙන් අපේ බර යෙහෝවා මතට වීසි කළ හැක. (ගීතාවලිය 55:22, NW) අප අද්දකින පීඩා දෙවි අපෙන් ඉවත් නොකළත් ඒවා සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාව ඔහු අපට ලබා දෙයි. විශේෂයෙන්ම අපට දරාගැනීමට අසීරු පීඩාවලදී මෙය සැබෑවක් වේ. “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට ලබා දීමෙන් විඳදරාගැනීමට උපකාරවත් වන අධිෂ්ඨාන ශක්තිය අපට ලබා දෙන්න යෙහෝවාට පුළුවනි.—2 කොරින්ති 4:7, NW.
8 එවන් උපකාරයක් අප ලබන්නේ කෙසේද? අප දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කළ යුතුයි. මන්ද දෙවි නිසැකවම සපයන සැනසිල්ල අපට ලබාගත හැක්කේ එසේ කිරීමෙනි. (ගීතාවලිය 94:19) දෙවිගේ සේවකයන් ඔහුගේ උපකාරය ඉල්ලමින් පැවසූ, අපේ හදවත්වලට ගැඹුරින් කාවදින වදන් බයිබලයෙහි කියවීමට තිබේ. යෙහෝවා ඔවුන්ගේ යාච්ඤාවලට ප්‍රතිචාරය දක්වමින් පැවසූ සැනසිල්ල ගෙන දෙන වදන් මෙනෙහි කිරීම වටී. අපව ශක්තිමත් වන්නේ දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් නිසා ‘සාමාන්‍ය ඉක්මවූ බලය අපේ නොව දෙවිගේය.’ ශාරීරික පෝෂණය හා ශක්තිය ලබාගැනීම සඳහා අප දිනපතාම ආහාර අනුභව කළ යුතුයි. එලෙසම දෙවිගේ වචනයෙන්ද අප නිතිපතා පෝෂණය විය යුතුයි. අප මෙය කරනවාද? එසේ කරනවා නම්, අප අද්දකින උල් වැනි වේදනාවන් දරාගැනීමට “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට උපකාර කරන බව අපි අද්දකින්නෙමු.
9. ගැටලු ප්‍රශ්න සමඟ කටයුතු කරන අයට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
9 දේවබියැති ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට දුක් පීඩා නමැති ‘සුළඟෙන් මුවාවෙන ස්ථානයක් මෙන්ද’ ගැටලු ප්‍රශ්න නමැති ‘කුණාටුවෙන් ආවරණයක් මෙන්ද’ කටයුතු කළ හැකියි. දේවානුභාවයෙන් ලියවී තිබෙන එම විස්තරයට අනුකූලව කටයුතු කිරීමට වෑයම් කරන වැඩිමහල්ලෝ යෝග්‍ය වදන් යොදාගනිමින් වේදනාවෙන් පෙළෙන අයට කතා කිරීම සඳහා “උගතුන්ගේ දිව” තමන්ට ලබා දෙන්න කියා නිහතමානීව හා අවංකව යෙහෝවාගෙන් ඉල්ලති. දුෂ්කරතා අද්දකින අවස්ථාවලදී වැඩිමහල්ලන්ගේ මුවින් පිට වන සැනසිලිදායක වදන් හිරි පොද වැස්සකින් ලැබෙන සිසිලසක් මෙන් අපේ මනසට සැනසීමක් ලබා දෙයි. ‘මානසික පීඩනයට ලක් වී සිටින අයට සැනසිල්ල ගෙන දෙන අයුරින්’ කතා කිරීමෙන් වැඩිමහල්ලෝ මාංසයේ උලක් නිසා කලකිරී සිටිය හැකි තමන්ගේ ආත්මික සහෝදර සහෝදරියන්ට විඳදරාගැනීමට සැබවින්ම උපකාර කරති.—යෙසායා 32:2; 50:4; 1 තෙසලෝනික 5:14, NW.
10, 11. අසීරු පරීක්ෂාවන්ට මුහුණ දෙන අයව දිරිමත් කිරීමට දෙවිගේ සේවකයන්ට හැක්කේ කෙසේද?
10 යෙහෝවාගේ සියලුම සේවකයෝ ඔහුගේ එක්සත් ක්‍රිස්තියානි පවුලේ සාමාජිකයෝ වෙති. ‘එකිනෙකාගේ අවයවයන්’ වන අපි ‘එකිනෙකාට ප්‍රේම කිරීමට බැඳී සිටිමු.’ (රෝම 12:5; 1 යොහන් 4:11, NW) මෙම බැඳීම අප ඉටු කරන්නේ කෙසේද? පළමුවන පේතෘස් 3:8හි සඳහන් වන පරිදි අප එය කරන්නේ අපේ ඇදහිල්ලට අයිති සියලුදෙනා කෙරෙහි ‘දයාවද සහෝදර ස්නේහයද අනුකම්පාවද’ පෙන්වීමෙනි. තරුණ වුවත්, මහලු වුවත් ඇතැම් අය විශේෂාකාරයේ මාංසයේ උලක් නිසා වේදනා විඳිනවා නම් අප සියලුදෙනාටම ඔවුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය හැක. ඒ කෙසේද?
11 ඔවුන්ගේ වේදනාව තේරුම්ගෙන සැලකිලිමත්ව කටයුතු කිරීමට අප මහත් වෑයමක් දැරිය යුතුයි. මෙසේ අප සංවේදී නොවී ඔවුන් ගැන සැලකිලිමත් වන්නේ නැත්නම් නොදැනුවත්ව අප ඔවුන්ගේ වේදනාව තව තවත් වැඩි කළ හැකියි. ඔවුන් අද්දකින පීඩා ගැන අප අවබෝධයෙන් සිටිනවා නම් අප පවසන දේවල් මෙන්ම පවසන ආකාරය ගැනද ක්‍රියා කරන ආකාරය ගැනද අපි කල්පනාකාරි වන්නෙමු. අප ශුභවාදී වීමෙන් හා ඔවුන්ව දිරිමත් කිරීමෙන් මාංසයේ උලක් නිසා අද්දකින දැඩි වේදනාව සමනය කරගැනීමට ඔවුන්ට උපකාර කළ හැක. මෙසේ කිරීමෙන් ඔවුන්ට ශක්තිය සපයන ආධාරකයක් වීමට අපට පුළුවන.—කොලොස්සි 4:11, NW.
ඇතමුන් සාර්ථකව කටයුතු කර තිබෙන අයුරු
12-14. (අ) පිළිකාවක් නිසා ඇති වූ වේදනාවට මුහුණ දීම සඳහා එක් ක්‍රිස්තියානි සහෝදරියක් කළේ කුමක්ද? (ආ) ඇයගේ ආත්මික සහෝදර සහෝදරියන් ඇයට උපකාර කරමින් දිරිමත් කළේ කෙසේද?
12 මේ අන්තිම දවස්වල කෙළවරට අප ළඟා වෙද්දී දිනපතාම දුක් “ගාවිනා” වැඩි වෙයි. (මතෙව් 24:8) මේ නිසා මිහිතලයේ වෙසෙන සෑම කෙනෙකුම, විශේෂයෙන්ම යෙහෝවාගේ කැමැත්ත කරමින් සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයෝ විවිධ පීඩාවලින් වේදනා විඳිති. නිදසුනක් වශයෙන් පූර්ණ කාලීන දේවසේවිකාවක ලෙස සේවය කරමින් සිටි ක්‍රිස්තියානියෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඇයට පිළිකාවක් වැළඳී තිබූ බව සොයාගත් අතර, ඇගේ ඛේට හා වසා ග්‍රන්ථි සැත්කමකින් ඉවත් කරන ලදි. තමන් මෙම රෝගී තත්වයෙන් පෙළෙන බව ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් දැනගත් විගස ඔවුන් කළේ දිගු වේලාවක් යෙහෝවාට යාච්ඤාවෙන් කන්නලව් කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්වාස කරන්න බැරි තරම් සාමයක් තමාත් තම ස්වාමිපුරුෂයාත් අද්දුටු බව ඇය පැවසුවාය. කෙසේවෙතත්, ඇය ලබන ප්‍රතිකාර නිසා ඇති වන අතුරු ආබාධවලින් හටගත් නොයෙකුත් වෙනස් වනසුලු අසීරුතාවන් ඇය දරාගත්තාය.
13 මේ සහෝදරිය තමන් මුහුණ දෙන තත්වය සමඟ කටයුතු කිරීම සඳහා පිළිකාව ගැන හැකි තරම් විස්තර දැනගැනීමට උත්සාහ කළාය. ඇය වෛද්‍යවරුන්ව හමු විය. ඇතැම් අය මෙම රෝගය සමඟ චිත්තවේගී ලෙස කටයුතු කර තිබෙන ආකාරය ගැන විස්තර කළ අද්දැකීම් ඇතුළත් ජීවිත කතා ඇය මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවලින් හා වෙනත් ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් සොයාගත්තාය. තම තත්වය සමඟ කටයුතු කිරීමට උපකාරවත් වන වෙනත් තොරතුරු මෙන්ම දුෂ්කර කාලවලදී තම සේවකයන්ව ඉසිලීමට යෙහෝවා සතු හැකියාව පෙන්වා දෙන බයිබලයේ කොටස්ද ඇය කියෙව්වාය.
14 බලාපොරොත්තු සුන්වීම සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය ගැන එක් ලිපියක මෙම නැණවත් වදන් සඳහන් විය. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ [යන්නේය].” (හිතෝපදේශ 18:1) මේ නිසා එම ලිපියෙහි මෙම උපදේශය දී තිබිණ. ‘තනි වී සිටීමෙන් වළකින්න.’a මේ සහෝදරිය තවදුරටත් මෙසේ පවසයි. “මං වෙනුවෙන් යාච්ඤා කළා කියා හුඟදෙනෙක් මට කිව්වා. තවත් අය දුරකථනයෙන් මාත් එක්ක කතා කළා. වැඩිමහල්ලන් දෙදෙනෙක් මගේ සැප දුක් විමසමින් හැමදාම වගේ මට කෝල් කළා. මට මල් හා ශුභ පැතුම් ඇතුළත් කාඩ්පත් හුඟාක් ලැබුණා. සමහරු ආහාර පවා පිළියෙළ කර දුන්නා. ඒ වගේම මාව දොස්තර ළඟට අරං යන්න හුඟදෙනෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.”
15-17. (ආ) රිය අනතුරුවලට ගොදුරු වීම නිසා අද්දුටු දුෂ්කරතා සමඟ ක්රිස්තියානියක සාර්ථකව කටයුතු කළේ කෙසේද? (ආ) සභාවේ සිටින අය ඇයට උපකාර කළේ කෙසේද?
15 දිගු කලක සිට යෙහෝවාට සේවය කරන අමෙරිකා එක්සත් ජනපදයේ නියූ මෙක්සිකෝහි වෙසෙන තවත් කෙනෙකු රිය අනතුරු දෙකකට ගොදුරු විය. ඇගේ බෙල්ල සහ උරහිස් තුවාල වූ අතර, අවුරුදු 25කට වැඩි කාලයක සිට තිබෙන ඇගේ ආතරයිටිස් රෝගි තත්වය තව තවත් දරුණු අතට හැරුණේය. ඇය මෙසේ පවසයි. “මගේ ඔලුව ඔසවාගෙන සිටින්න මට අමාරු වුණා. ඒ වගේම කිලෝග්‍රෑම් 2කට වඩා බරක් මට ඔසවාගෙන යන්න බැහැ. ඒ වුණත් යෙහෝවාට මහත් උනන්දුවෙන් කරන යාච්ඤාවලිනුත් අපි පාඩම් කළ මුරටැඹ ලිපිවලිනුත් මට මහත් ශක්තියක් ලැබුණා. දෙවි සමඟ නිහතමානීව ගමන් කරනවා කියන්නේ තමන්ගේ සීමාවන් හඳුනාගැනීම බව මීකා 6:8 පැහැදිලි කර තිබූ ලිපියක සඳහන් වුණා. මගේ තත්වය වේදනාකාරි වුණත්, දේවසේවයේ මම කැමති තරම් කාලයක් ගත කරන්න මට නොහැකි වුණත්, අධෛර්යය නොවිය යුතු බව තේරුම්ගන්න ඒ ලිපිය මට උපකාරවත් වුණා. වඩාත්ම වැදගත් දෙය වන්නේ පිරිසිදු චේතනාවෙන් යෙහෝවාට සේවය කිරීමයි.”
16 ඇය මෙසේද සඳහන් කරයි. “රැස්වීම්වලට හා දේවසේවයේ යන්න මම දැරූ වෑයම්වලට වැඩිමහල්ලන් මට නිතරම ප්‍රශංසා කළා. කුඩා ළමයි ළඟට ඇවිත් මාව වැලඳගෙන පිළිගත්තා. දේවසේවයේ යන්න බැරි වෙන තරමට මට හුඟක් අසනීප වුණ වේලාවන්වලදී සභාවේ පුරෝගාමීන් එයාලාගේ කාලසටහන වෙනස් කරගනිමින් මාත් එක්ක කටයුතු කළේ බොහොම ඉවසීමෙන්. අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවලදීත් ඒ අය කාරුණිකව මාව නැවත බැලීම්වලට හෝ බයිබල් පාඩම්වලට අරං ගියා. පොත් බෑග් එක මට අරං යන්න බැරි හින්දා මාත් එක්ක සේවයේ යන වෙනත් ප්‍රචාරකයෝ මගේ පොත් පත් ටිකත් එයාලගේ බෑග් එකේ දමාගත්තා.”
17 මේ සහෝදරියන් දෙදෙනාට උල් වැනි ශාරීරික ආබාධ සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා සභාවේ වැඩිමහල්ලන් හා සෙසු ඇදහිලිවන්තයන් උපකාර කළ ආකාරය සැලකිල්ලට ගන්න. මොවුහු එම සහෝදරියන්ගේ ආත්මික, ශාරීරික හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාලමින් කාරුණික ලෙස ප්‍රායෝගික පැතිවලින් උපකාරය ලබා දුන්හ. ගැටලු ප්‍රශ්න අද්දකින සහෝදර සහෝදරියන්ට උපකාර කිරීමට ඔබවත් එයින් දිරිගැන්වෙන්නේ නැද්ද? කුඩා දරුවෙනි, ඔබේ සභාවේ සිටින මාංසයේ උල්වලින් හටගන්න වේදනාවන් සමඟ පොරබදින අයට උපකාර කරන්න ඔබටත් පුළුවනි.—හිතෝපදේශ 20:29.
18. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පළ වන ජීවිත කතාවලින් අපට ලබාගත හැකි දිරිගැන්වීම කුමක්ද?
18 ගැටලු ප්‍රශ්න සමඟ සාර්ථකව කටයුතු කර තිබෙන හා කටයුතු කරමින් සිටින සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුගේ ජීවිත කතා හා අද්දැකීම් රැසක් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පළ වී තිබේ. ලොව පුරා සිටින අපේ ආත්මික සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු ආර්ථික ගැටලු, ප්රේමනීයන්ගේ වියෝවීම හා භයානක යුද්ධ නිසා ඇති වී තිබෙන තත්වයන් විඳදරාගෙන සිටින බව ඔබ එවන් ලිපි නිතිපතා කියවද්දී තේරුම්ගනු ඇත. තවත් අය ශාරීරික ආබාධවලින් පෙළෙති. නිරෝගි පුද්ගලයන් එතරම් ගණනකට ගන්නේ නැති ලෙහෙසි කාර්යයන් පවා කළ නොහැකි බොහෝදෙනෙක් සිටිති. ඔවුන්ගේ අසනීප තත්වය ඔවුන්ව දැඩි ලෙස පරීක්ෂණයට ලක් කරවයි. විශේෂයෙන්ම ඔවුන් කැමති තරම් කාලයක් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි වන විට එය සැබෑවක් වේ. කුඩා දරුවන් හා වැඩිහිටි අය ඇතුළු තමන්ගේ ආත්මික සහෝදර සහෝදරියන් උපකාර කරන්න ඉදිරිපත් වන විට ඔවුන් එය මොනතරම් අගය කරාවිද!
විඳදරාගැනීමෙන් ප්‍රීතිය
19. උල් වැනි පීඩා හා දුර්වලකම් මැද පවා ප්‍රීතියෙන් සිටීමට පාවුල්ට පුළුවන් වූයේ මන්ද?
19 දෙවි තමන්ව ශක්තිමත් කරන අයුරු දැකීමෙන් පාවුල් මහත් ප්‍රීතියක් ලැබුවේය. ඔහු මෙසේ පැවසුවේය. “[ක්‍රිස්තුස්ගේ] ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. එහෙයින් [ක්‍රිස්තුස්] උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:9, 10) පාවුල් පෞද්ගලිකව අද්දුටු දේවල් නිසා ඔහුට ස්ථිර විශ්වාසයකින් යුතුව මෙසේ සඳහන් කළ හැකි විය. “හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවයක සිටිම් නුමුත්, ඊට සතුටු වෙන්ට මම ඉගෙනගෙන සිටිමි. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලු දේ කරන්ට පුළුවන.”—පිලිප්පි 4:11-13.
20, 21. (අ) ‘නොපෙනෙන දේවල්’ ගැන මෙනෙහි කිරීමෙන් අපට ප්‍රීතිය අද්දැකිය හැක්කේ මන්ද? (ආ) පාරාදීස පොළොවේදී ඔබ භුක්ති විඳීමට බලාපොරොත්තු වන ‘නොපෙනෙන දේවල්’ සමහරක් නම් කරන්න.
20 එසේ නම් අපේ මාංසයට ඇනී තිබෙන උපමාලංකාර උල කුමක් වුවත් එය විඳදරාගැනීමෙන් යෙහෝවාගේ බලය අපේ දුර්වලකමේදී සම්පූර්ණව තිබෙන බව සියල්ලන්ටම දැකගැනීමට සැලැස්වීමෙන් ඉමහත් ප්‍රීතියක් අපට භුක්ති විඳිය හැකියි. පාවුල් මෙසේ පැවසුවේය. “අපි ක්ලාන්ත නොවමුව [අත් නොහරින්නෙමු, NW]. අපේ පිටත මනුෂ්‍යයා ක්ෂය වෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට, ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක්නිසාද . . . නොපෙනෙන දේ සදාකාලිකය.”—2 කොරින්ති 4:16-18.
21 අද සිටින යෙහෝවාගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුට පාරාදීස පොළොවක ජීවත් වීම ඇතුළු දෙවි පොරොන්දු වී තිබෙන ආශීර්වාද භුක්ති විඳීමේ බලාපොරොත්තුව තිබේ. මෙම ආශීර්වාද අද අපට “නොපෙනෙන” ඒවා ලෙස සැලකිය හැකියි. කෙසේවෙතත් එම ආශීර්වාද අපේ ඇස් දෙකින්ම දැකබලා ගැනීමේ හා සදාකාලයටම භුක්ති විඳීමේ දවස වේගයෙන් ළඟා වෙමින් තිබේ. එම ආශීර්වාදවලින් එකක් වන්නේ උල් වැනි ගැටලුවලින් හටගන්න වේදනාව නැවත කිසිදා අද්නොදැකීමයි. දෙවිගේ පුත්‍රයා “යක්ෂයාගේ ක්‍රියා විනාශ කර” ‘මරණය සිදු කිරීමට බලය ඇත්තාව නැති කර දමනු ඇත.’—1 යොහන් 3:8; හෙබ්‍රෙව් 2:14, NW.
22. අපේ නිසැකකම හා අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?
22 එමනිසා මාංසයේ උලක් හේතුවෙන් අද අප වේදනා විඳිනවා නම් එය සමඟ දිගටම සාර්ථකව කටයුතු කිරීමට වෑයම් කරමු. මේ සඳහා අවශ්‍ය ශක්තිය පාවුල්ට මෙන් අපටත් යෙහෝවා ලබා දෙනු ඇත. ඔහු නොමසුරුව ශක්තිය ලබා දීමට සූදානමින් සිටී. අප පාරාදීස පොළොවේ ජීවත් වන කාලයේදී අපේ දෙවි යෙහෝවා අප වෙනුවෙන් කරන සෑම දෙයක් සඳහාම අපි නොඅනුමානව දිනපතා ඔහුට ප්‍රශංසා කරන්නෙමු.—ගීතාවලිය 103:2.
[පාදසටහන]
a “බයිබලයේ දෘෂ්ටිකෝණය: බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ” යනුවෙන් 2000 මැයි 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ ලිපිය බලන්න.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• සැබෑ ක්‍රිස්තියානීන්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් වෑයම් කරන්නේ මන්ද? කෙසේද?
• යෙහෝවාගේ බලය ‘දුර්වලකම්වලදී සම්පූර්ණ’ වන්නේ කෙසේද?
• ප්‍රශ්න ගැටලුවලින් වේදනා විඳින අයව දිරිමත් කරන්න වැඩිමහල්ලන්ට හා අනිත් අයට හැක්කේ කෙසේද?
[18වන පිටුවේ පින්තූරය]
පාවුල් ඔහුගේ මාංසයේ තිබූ උල ඉවත් කරන්න කියා තුන් වතාවක් දෙවිට යාච්ඤා කළේය