යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා විවාහයන් දෙකඩ වෙනවාද?
“විවාහකයෙක් තමන්ගේ ආගම වෙනස් කළොත් විවාහය දෙකඩ වෙනවා” කියා බොහෝදෙනා පවසනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීමට තීරණය කරන අයටත් බොහෝදෙනා පවසන්නේ ඒ දේමයි. නමුත් එම කියමනේ සැබෑවක් තිබෙනවාද?
විවාහකයෙක් වෙනත් ආගමක් ගැන උනන්දුවක් දැක්වීම හෝ බොහෝ කාලයක් පුරා පැවත ආ විශ්වාසයන් වෙනස් කිරීම නිසා තම සහකරුවා හෝ සහකාරිය පුදුම විය හැකියි. එමෙන්ම ඔහු හෝ ඇය තුළ කලකිරීමක් හා කෝපයක්ද ඇති වීමට ඉඩ තිබෙනවා.
ඔබේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කරනවා නම් එය ඔබේ විවාහ ජීවිතයට කෙසේ බලපෑ හැකිද? බිරිඳක් ලෙස ඔබේ ස්වාමිපුරුෂයා තුළ කලකිරීමක් හෝ කෝපයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට ඔබට හැක්කේ කෙසේද?
ස්වාමිපුරුෂයාගේ සිතුවිලි
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මාක්ගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට තීරණය කළා. ඒ වන විට ඔවුන් විවාහ වී වසර 12ක් ගත වී තිබුණා. ඒ ගැන මාක් මෙසේ පවසනවා. “අපි හරිම සතුටින් විවාහ ජීවිතය ගත කරමින් හිටියා. ඒ අතරතුර මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒ නිසා අපි ගත කරමින් හිටපු ජීවිත රටාව වෙනස් වෙයි කියලා මට භය හිතුණා. මගේ බිරිඳ බයිබලය ඉගෙනගන්න උනන්දුවක් දක්වපු එක ගැන මම කලබල වුණා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වෙන්න යනවා කියලා කිව්වාම මම තවත් කලබල වුණා.”
තම බිරිඳගේ අලුත් ආගම නිසා විවාහ ජීවිතය දෙකඩ වෙයිද කියා මාක් කනස්සලු වුණා. ඒ නිසා බිරිඳගේ බයිබල් පාඩම නතර කළ යුතුයි කියාත් ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කිරීමට ඉඩ නොදිය යුතුයි කියාත් ඔහු සිතුවා. නමුත් මාක් කලබල වී එලෙස ක්‍රියා කරනවා වෙනුවට කාලයට ඉඩ දුන්නා. ඔහුගේ විවාහයට සිදු වුණේ කුමක්ද?
මාක් ඒ ගැන “සතුටින්” මෙසේ පවසනවා. “දැන් අපි වෙනදාට වඩා සතුටින් කල් ගෙවනවා. විශේෂයෙන්ම මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වෙලා ගත වුණු අවුරුදු 15 ඇතුළත අපේ විවාහ බැම්ම තවත් ශක්තිමත් වුණා.” ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට උපකාරවත් වූයේ කුමක්ද? ඒ ගැන මාක් මෙසේ පවසනවා. “ඒකට විශේෂයෙන්ම උපකාරවත් වුණේ මගේ බිරිඳ බයිබල් ප්‍රමිති ඇගේ ජීවිතයට අදාළ කරගැනීමයි. එයා හැම තිස්සෙම මට ගෞරවයෙන් සලකන්න උත්සාහ කළා.”
ස්වාමිපුරුෂයන්ව දිනාගත් භාර්යාවන්
ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීම ගැන ඔබේ ස්වාමිපුරුෂයා අසතුටු විය හැකියි. එවැනි තත්වයක් යටතේ ඔහුව දිනාගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද? ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති භාර්යාවන්ගේ අදහස් සලකා බලන්න.
ජපානයේ සාකිකෝ: “මම විවාහ වෙලා දැනට අවුරුදු 31ක් වෙනවා. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම අවුරුදු 22ක් තිස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් ලෙස සේවය කරනවා. මගේ ආගමික විශ්වාසයන් පිළිගන්නේ නැති ස්වාමිපුරුෂයෙක් එක්ක ජීවත් වන එක හැමවිටම පහසු නැහැ. ඒ වුණත් ‘ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය. උදහස් වීමටද ප්‍රමාද විය යුතුය’ යන බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගන්න මම නිතරම උත්සාහ කළා. (යාකොබ් 1:19) ඒ වගේම ස්වාමිපුරුෂයාට කරුණාවෙන් සලකන්නත් බයිබල් ප්‍රමිති කඩ නොවන අවස්ථාවලදී ඔහුගේ කැමැත්තට එකඟ වෙන්නත් මම උත්සාහ කළා. ඒ නිසා අපේ පවුල් ජීවිතය සාර්ථක වුණා.”
රුසියාවේ නඩෙස්ඩා: “මම විවාහ වෙලා දැනට අවුරුදු 28ක් වෙනවා. ඒ වගේම මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වෙලා දැනට අවුරුදු 16ක් ගත වෙලා තියෙනවා. පවුලේ මූලිකයා ස්වාමිපුරුෂයා කියලා බයිබලය අධ්‍යයනය කරන්න කලින් මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම නිතරම ගත්තේ තනි තීරණයි. ඒත් බයිබලය අධ්‍යයනය කරද්දී මට තේරුණා මම ස්වාමිපුරුෂයාට යටත්ව ඉන්න ඕනේ කියලා. මම ඒ විදිහට කටයුතු කරද්දී අපේ පවුලේ සමඟිය වැඩි වුණා. (1 කොරින්ති 11:3) ඒ වෙනස මගේ ස්වාමිපුරුෂයාත් දැක්කා.”
බ්‍රසීලයේ මාර්ලි: “මම විවාහ වෙලා දැනට අවුරුදු 21යි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වෙලා දැනට අවුරුදු 16ක් ගත වී තිබෙනවා. විවාහ යුවළක් වෙන් වෙනවාට දෙවි අකැමති බව මම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මම නිතරම උත්සාහ කළේ යෙහෝවා දෙවිවත් මගේ ස්වාමිපුරුෂයාවත් සතුටට පත් කරන්නයි.”
රුසියාවේ ලරේසා: “මීට අවුරුදු 19කට විතර කලින් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණාම මගේ ජීවිතයේ වෙනස්කම් කරන්න ඕනේ කියලා මට තේරුණා. මගේ ස්වාමිපුරුෂයා කරන යහපත් දේවල් මම නිතරම අගය කරනවා. ඒ නිසා මගේ ස්වාමිපුරුෂයා තේරුම්ගෙන තිබෙනවා හොඳ භාර්යාවක් වෙන්න බයිබල් ප්‍රතිපත්ති මට උපකාරවත් වෙලා තියෙනවා කියලා. දරුවන්ව හදා වඩා ගන්නා ආකාරය ගැන අපි අතර යම් එකඟ නොවීම් තිබුණත් අපි දැන් ඒවා විසඳගන්නවා. දැන් මගේ ස්වාමිපුරුෂයා මාත් එක්ක සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න මගේ දරුවන්ටත් ඉඩ දෙනවා. ඒකට හේතුව එයා තේරුම් අරන් තියෙනවා ඒ රැස්වීම්වලදී දරුවන් ඉගෙනගන්නා දේවල් ඒගොල්ලන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් කියලා.”
බ්‍රසීලයේ වාල්කීරියා: “මම විවාහ වෙලා දැනට අවුරුදු 19ක් වෙනවා. අපිට පුතෙක් ඉන්නවා. මීට අවුරුදු 13කට කලින් තමයි මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණේ. මම ගෙයින් ගෙට දේශනා සේවයේ යනවාට මගේ ස්වාමිපුරුෂයා මුලින්ම කැමති වුණේ නැහැ. හැබැයි බයිබලයෙන් මගේ ජීවිතයට කොච්චර ප්‍රයෝජන ලැබිලා තියෙනවාද කියලා මම එයාට තේරුම් කරලා දුන්නා. එතකොට එයා තේරුම්ගත්තා බයිබලයේ තියෙන දේවල් අනික් අයට කියලා දෙන එක වැදගත් කියලා. දැන් මම දුර පළාත්වල බයිබල් පාඩම්වලට යද්දී එයා මාව වාහනයෙන් ගිහින් ඇරලවනවා. ඒ විතරක් නෙවෙයි මම පාඩම කරලා ඉවර වෙන කල් එයා වාහනේට වෙලා ඉඳලා මාව ආපහු ගෙදරට එක්කගෙන එනවා.”
යහපත් ප්‍රතිඵල
ඔබේ සහකරු හෝ සහකාරිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කරනවා නම් එමඟින් ඔබේ විවාහය දෙකඩ වෙයි කියා භය වෙන්න එපා. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් විවාහ ජීවිතය සාර්ථක කරගත හැකි බව ලොව පුරා සිටින බොහෝ විවාහ යුවළයන් අද්දැක තිබෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන ස්වාමිපුරුෂයෙක් මෙසේ පවසනවා. “මගේ භාර්යාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණාම මම හුඟක් කලබල වුණා. හැබැයි දැන් මට හිතෙනවා අපරාදේ මම කලබල වුණේ කියලා.” තවත් සැමියෙක් තම බිරිඳ ගැන මෙසේ පැවසුවා. “මගේ බිරිඳ වෙනදාට වඩා අධිෂ්ඨාන ශක්තියෙන්, විශ්වාසවන්තව සහ අවංකව ක්‍රියා කරනවා දකිද්දී මට තේරුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොච්චර හොඳ අයද කියලා. මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වීම අපේ විවාහය සාර්ථක කරගන්නත් උපකාරවත් වුණා. අපි දෙන්නා එකම ආගමක් ඇදහුවේ නැතත් අපේ විවාහ ජීවිතය හරිම වටිනා දෙයක් විදිහට අපි සලකනවා.”
[13වන පිටුවේ කොටුව/පින්තූරය]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවාහය සලකන්නේ කෙසේද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය සලකන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් ලෙසයි. ඒ නිසා විවාහය සම්බන්ධයෙන් එහි ඇති උපදෙස් ඔවුන් ඉතා බැරෑරුම් ලෙස සලකනවා. මේ සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට බයිබලයේ සපයා ඇති පිළිතුරු සලකා බලන්න.
▪ තමන්ගේ විවාහ සහකරු හෝ සහකාරිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවේ නම් ඔහුගෙන් හෝ ඇගෙන් වෙන් විය යුතුද? නැහැ. බයිබලයේ සඳහන් වන ආකාරයට ස්වාමිපුරුෂයෙකුට තමන්ගේ ආගමට අයිති නැති භාර්යාවක් සිටී නම්, ඇය ඔහු සමඟ ජීවත් වීමට කැමති නම්, ඔහු ඇයව අත් නොහැරිය යුතුයි. එමෙන්ම, ස්ත්‍රියකට තමන්ගේ ආගමට අයිති නැති ස්වාමිපුරුෂයෙකු සිටී නම්, ඔහු ඇය සමඟ ජීවත් වීමට කැමති නම් ඇය ඔහුව අත් නොහැරිය යුතුයි. (1 කොරින්ති 7:12, 13) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එම උපදෙසට කීකරු වෙනවා.
▪ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවන ස්වාමිපුරුෂයාට භාර්යාව කීකරු විය යුතුද? ඔව්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.”—1 පේතෘස් 3:1, 2.
▪ භාර්යාවක් කොතරම් දුරකට තම ස්වාමිපුරුෂයාට යටත් විය යුතුද? “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්” බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 11:3) පවුලේ මූලිකයා වන ස්වාමිපුරුෂයාට ක්‍රිස්තියානි භාර්යාවක් කැමැත්තෙන්ම යටත් වෙනවා. නමුත් සෑම පුරුෂයෙක්ම යෙහෝවා දෙවිට සහ යේසුස්ට යටත් විය යුතු බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ස්වාමිපුරුෂයෙක් දෙවිගේ ප්‍රමිති කඩ වෙන පරිදි යම් දෙයක් කිරීමට භාර්යාවකට පැවසුවොත් එවැනි අවස්ථාවකදී ඇය “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.
▪ බයිබලයෙහි දික්කසාදය අනුමත කර තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් යේසුස් මෙසේ පැවසුවා. “මම ඔබට කියමි, වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කවරෙක් නමුත් පරදාර සේවනයේ යෙදෙන්නේය.” (මතෙව් 19:9) ඒ උපදෙසට අනුව වේශ්‍යාකම දික්කසාද වීමට ඇති පදනමක් ලෙස සාක්ෂිකරුවන් සලකනවා. නමුත් සුළු සුළු කාරණා නිසා දික්කසාද විය යුතුයි කියා ඔවුන් පවසන්නේ නැහැ. ඒ නිසා ඔවුන් බයිබලයේ දී තිබෙන මෙම උපදෙසට කීකරු වන්න කියා තම සාමාජිකයන්ට පවසනවා. ‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඒ දෙදෙනාම එක මාංසයක් වන්නෝය. එහෙයින් දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!’—මතෙව් 19:5, 6.