දෙවිට ළං වෙන්න
යෙහෝවා දෙවි ශුද්ධය
“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 4:8) එසේ සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ශුද්ධකම සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට සම කළ හැකි කිසිවෙක් නැති බවයි. යෙහෝවා දෙවි ශුද්ධ කෙනෙක් නිසා කිසිම දිනක ඔහු අතින් වරදක් සිදු වෙන්නේ නැහැ. එවැනි ශුද්ධ දෙවි කෙනෙක් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට පව්කාර මිනිසුන් වන අපට හැකිද? ඔව්. එසේ පැවසීමට හේතුව දැනගැනීම සඳහා අපි බයිබලයේ ලෙවී කතාව 19වන පරිච්ඡේදය සලකා බලමු.
යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් පුරාණයේ සිටි “ඊශ්‍රායෙල් සෙනඟට” පැවසුවේ “මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියායි. (ලෙවී කතාව 19:2, නව ලොව පරිවර්තනය, NW) මෙහිදී ‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’ කියා යෙහෝවා දෙවි පැවසීමෙන් අදහස් වන්නේ එය ඔහු දුන් අණක්, එනම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවයි. එසේ පැවසීමෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කළ නොහැකි දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණාද?
යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ‘මා ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි’ කියා මිස ‘මා තරම්ම ශුද්ධව සිටින්න’ කියා නොවෙයි. ඊට හේතුව යෙහෝවා දෙවි පමණක් “අතිශුද්ධ තැනැත්තා” වන නිසා ඔහු තරම්ම ශුද්ධව සිටීමට කිසිම කෙනෙකුට හැකියාවක් නොතිබීමයි. (හිතෝපදේශ 30:3, NW) නමුත් තම සේවකයන් ඔවුන්ට හැකි උපරිමයෙන් ශුද්ධව සිටියි කියා දෙවි බලාපොරොත්තු වෙනවා.
ශුද්ධව සිටින්න කියා ආඥා කිරීමෙන් පසුව ඒ සඳහා කළ යුතු දේවල් ගැනත් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. දෙමව්පියන්ට සහ මහලු අයට ගෞරව කිරීම, (ලෙවී කතාව 19:3, 32) පීඩාවට පත් වූ අයට මෙන්ම අන්ධ සහ බිහිරි අයට කරුණාව පෙන්වීම, (ලෙවී කතාව 19:9, 10, 14) එකිනෙකා සමඟ අවංකව, සාධාරණව කටයුතු කිරීම සහ (ලෙවී කතාව 19:11-13, 15, 35, 36) තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේම කිරීම ඊට ඇතුළත් වුණා. (ලෙවී කතාව 19:18) එම ආඥාවලට එකඟව ජීවත් වීමෙන් ‘දෙවි ඉදිරියේ ශුද්ධ තත්වයක’ සිටීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි වුණා.—ගණන් කතාව 15:40.
ශුද්ධව සිටීමට දෙවි දුන් ආඥාවෙන් ඔහු කටයුතු කරන ආකාරය ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි. එමෙන්ම දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් ශුද්ධකම සම්බන්ධයෙන් දෙවි දී තිබෙන ආඥා පිළිපැදීමට අපි උපරිමයෙන් උත්සාහ කළ යුතු බවත් ඉන් පැහැදිලි වෙනවා. (1 පේතෘස් 1:15, 16) එම ආඥාවලට එකඟව කටයුතු කිරීමෙන් අපට ප්‍රයෝජන රැසක් අත් කරගත හැකියි.—යෙසායා 48:17.
ශුද්ධව සිටින්න කියා දෙවි තම සේවකයන්ට පවසන්නේ ඔවුන්ට ශුද්ධව සිටීමට හැකියාව තිබෙන බව දෙවි දන්නා නිසයි. යෙහෝවා දෙවි තම සේවකයන්ට කළ නොහැකි දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතාවලිය 103:13, 14) දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ ගතිලක්ෂණ විදහා පෑමේ හැකියාව ඇතුවයි. (උත්පත්ති 1:26) ඒ නිසා යම් තරමකට ශුද්ධව සිටීමට අපට හැකියාව තිබෙනවා. මේ අනුව ශුද්ධ දෙවි වන යෙහෝවාට ළං වීම සඳහා කළ යුත්තේ කුමක්ද කියා දැනගැනීමට ඔබ පෙලඹෙන්නේ නැද්ද!
[9වන පිටුවේ පින්තූරය]
ශුද්ධව සිටින්න අපට හැකියාව තිබෙනවා