ඔබ දැන සිටියාද?
අස්වැන්න නෙළන කාලයේදී කුහුඹුවන් ආහාර රැස් කරනවාද?
▪ බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අලසය, කුහුඹුවා ළඟට ගොස් ඌ වැඩ කරන ආකාරය දෙස බලා ප්‍රඥාවන්ත වන්න. ඌට අණ දෙන්නෙක්වත් වැඩ බලන්නෙක්වත් පාලකයෙක්වත් නැත. එහෙත් ගිම්හාන කාලයේදී ඌ කෑම එකතු කරගනියි. අස්වැන්න නෙළන කාලයේදී ආහාර රැස් කරගනියි.”—හිතෝපදේශ 6:6-8.
කුහුඹු විශේෂ අතරින් බොහෝ කුහුඹුවන් ආහාර රැස් කරනවා. ඉහත බයිබල් පදයේ සඳහන් කර තිබෙන්නේ අදටත් ඊශ්‍රායෙල් දේශයේ දැකිය හැකි අස්වනු රැස් කරන කුහුඹුවන් (harvester ant) ගැන විය හැකියි.
“වියළි දේශගුණයක් සහිත කාලයේදී අස්වනු රැස් කරන කුහුඹුවන් ආහාර සොයාගැනීම සඳහා උන්ගේ ගුල්වලින් එළියට එනවා” කියා එක් පොතක සඳහන් වුණා. මෙම කුහුඹුවන් ගස්වලින් හෝ බිම වැටී තිබෙන කෑම එකතු කරගෙන ඒවා තම ගුල් වෙත රැගෙන යනවා. උන් ගුල් සාදා ගන්නේ පහසුවෙන් ආහාර සොයාගත හැකි කෙත්වතු, ධාන්‍ය ගබඩා හෝ කමත් ආශ්‍රිතවයි.
එම කුහුඹුවන් ආහාර ගබඩා කිරීමට උන්ගේ ගුල් ඇතුළේ වෙන වෙනම කුටීර සාදා තිබෙනවා. ඒ සෑම කුටීරයක්ම එකින් එකට සම්බන්ධයි. සාමාන්‍යයෙන් ආහාර ගබඩා කරන කුටීරයක දිග සෙන්ටිමීටර 12ක් හා උස සෙන්ටිමීටරයක් පමණ වෙනවා. උන් ඒ කුටීර තුළ හොඳින් ආහාර ගබඩා කරගෙන තිබුණා නම් “මාස හතරකට වඩා වැඩි කාලයකට එය උන්ට ප්‍රමාණවත්” කියා එක් පොතක සඳහන් වුණා.
රජුගේ කුසලාන දරන්නාගේ වගකීම කුමක්ද?
▪ පුරාණයේ සිටි නෙහෙමියා පර්සියානු රජ වූ අර්තක්ෂස්තාගේ කුසලාන දරන්නා ලෙස කටයුතු කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (නෙහෙමියා 1:11) අතීතයේදී මැද පෙරදිග රටවල රජුගේ කුසලාන දරන්නා ලෙස කටයුතු කළ පුද්ගලයෙකුව සැලකුවේ උසස් නිලධාරියෙකු ලෙසයි. කුසලාන දරන්නන් සම්බන්ධයෙන් පැරණි ලියවිලිවල සඳහන් තොරතුරු සහ පින්තූරු සලකා බැලීමෙන් නෙහෙමියා දැරූ වගකීම කුමනාකාරයේ එකක් වූවාද කියා අපට දැනගත හැකියි.
සාමාන්‍යයෙන් රජුට වයින් ලබා දීමට පෙර කුසලාන දරන්නා ඒ වයින්වල රස බැලිය යුතුයි. ඔහු එසේ කළේ වයින්වලට වස මිශ්‍ර වී තිබෙනවාද කියා බැලීමටයි. ඒ නිසා රජුට තම කුසලාන දරන්නා ගැන දැඩි විශ්වාසයක් තිබුණා. විශාරදයෙක් වන එඩ්වන් යමාව්චි ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “අතීතයේදී පර්සියානු රජුන්ව ඝාතනය කිරීමට යෙදූ කුමන්ත්‍රණ ගැන සලකා බලන විට රජුට විශ්වාසවන්ත සේවකයන්ව අවශ්‍ය වූ බව පෙනී යනවා.” ඒ නිසා කුසලාන දරන්නා ලෙස කටයුතු කළේ රජුගේ විශ්වාසවන්ත සේවකයෙකු පමණයි. ඔහු රජුට ඉතා සමීපව සිටි නිසා රජුව හමු වීමට යා යුත්තේ කවුද කියා තීරණය කිරීමටද ඔහුට හැකි වෙන්න ඇති.
රජුගේ කුසලාන දරන්නා ලෙස නෙහෙමියා විශිෂ්ට සේවයක් පිරිනැමුවා. යෙරුසලමේ පවුරු නැවත ගොඩනැඟීමට යන්න අවසර ඉල්ලූ විට රජු ඒ සඳහා නෙහෙමියාට ඉඩ දුන්නේ ඒ නිසයි. නමුත් යෙරුසලමට ගොස් “නැවත ඔබට මෙහි පැමිණිය හැක්කේ කවදාද” කියා රජ නෙහෙමියාගෙන් ඇසුවා. ඉන් පැහැදිලි වෙන්නේ නෙහෙමියාව රජුට කොතරම් වටිනා සේවකයෙක් වූවාද යන්නයි.—නෙහෙමියා 2:1-6.
[9වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]
පර්සියානු මාලිගාවේ දැකිය හැකි කැටයමක්
[රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
කුසලාන දරන්නා
ඔටුන්න හිමි තක්ෂස්තා කුමරු
දාරියුස් රජ
[හිමිකම් විස්තර]
© The Bridgeman Art Library International