බයිබලය කියවීමෙන් ප්‍රයෝජන රැසක්
“ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි.”—රෝම 7:22.
1-3. බයිබලය කියවලා ජීවිතයට අදාළ කරගන්න අයට ලැබෙන ප්‍රයෝජන මොනවද?
“බයිබලය කියවලා තේරුම්ගන්න උදව් කරපු එක ගැන මම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.” එහෙම කිව්වේ වැඩිහිටි සහෝදරියක්. ඇය මේ වෙනකොට මුළු බයිබලයම 40 වතාවකටත් වඩා කියවලා තියෙනවා. තාමත් ඇය ඒක නතර කරලා නැහැ. “යෙහෝවා දෙවි සැබෑ දෙවි කියලා තේරුම්ගන්නත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් මට පුළුවන් වුණේ බයිබලය කියවපු නිසයි.” එහෙම කියන්නේ තරුණ සහෝදරියක්.
2 දෙවිගේ වචනය ගැන අපි “මහත් ආශාවක්” ඇති කරගන්න ඕනෙ. (1 පේතෘ. 2:2) ඒ විදිහට බයිබලය අධ්‍යයනය කරලා ඒ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න අයට පිරිසිඳු හෘදය සාක්ෂියක් සහ ජීවිතයට අරමුණක් ලැබෙනවා. දෙවිට ආදරය කරන හොඳ මිතුරන් හොයාගන්නත් පුළුවන්. ‘දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්න’ ඒවා හොඳ හේතු නෙවෙයිද!—රෝම 7:22.
3 බයිබලය අධ්‍යයනය කරනකොට යෙහෝවා දෙවිටත් යේසුස්ටත් මිනිසුන්ටත් තියෙන අපේ ආදරය තවත් වැඩි වෙනවා. ඒ වගේම නපුරු මිනිසුන් විනාශ කරද්දී ධර්මිෂ්ඨ අය බේරෙන හැටිත් අපිට දැනගන්න පුළුවන්. ශුභාරංචිය ගැන අනිත් අයට හොඳින් කියලා දෙන්නත් බයිබලය අධ්‍යයනය කරන එක අත්‍යවශ්‍යයි. අපි ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියලා දෙන්න දෙවි අපිට උදව් කරනවා.
කියවන දේ ගැන හොඳට හිතන්න
4. බයිබලය කියවන්න ඕනෙ කොහොමද?
4 යෙහෝවා දෙවි, යොෂුවාට මෙහෙම කිව්වා. “නීතියේ සඳහන් සියල්ල එලෙසම පිළිපදින පිණිස දිවා රෑ දෙකේම එය කියවා ඒ ගැන හොඳින් කල්පනා කර බලන්න.” (යොෂු. 1:8; ගීතා. 1:2) ඒකෙන් අදහස් කරන්නේ බයිබලය කියවද්දී වේගයෙන් කියවගෙන යන්නේ නැතුව කියවන දේ හොඳට තේරුම්ගන්න පුළුවන් විදිහට කාලය අරගෙන කියවන එකයි. යෙහෝවා දෙවි කැමති අපි බයිබලය කියවද්දී කියවන දේ ගැන හොඳට හිතනවටයි. එහෙම කරනවා නම් අපිට ප්‍රයෝජනවත් වගේම දිරිගැන්වීමක් වන පදවලට වැඩි අවධානයක් දෙන්න පුළුවන්. සමහර අය ඒ විදිහේ බයිබල් පදයක් හරි සිද්ධියක් හරි හම්බ වුණාම තමන්ටම ඇහෙන තරමේ හඬකින් කියවනවා. එතකොට කියවන දේ හොඳට හිතට කාවදිනවා. දෙවි දෙන උපදෙස් නිවැරදිව තේරුම්ගත්තොත් විතරයි ඒවා පිළිපදින්න අපි පෙලඹෙන්නේ.
5-7. (අ) දෙවිගේ නීතිවලට කීකරු වීමට, (ආ) කාරුණික කෙනෙක් වීමට, (ඇ) අමාරු කාලවලදීත් දෙවිව විශ්වාස කිරීමට, බයිබලය කියවලා හොඳට තේරුම්ගන්න එක ප්‍රයෝජනවත් කියලා පෙන්වන උදාහරණ දෙන්න.
5 බයිබලයේ තියෙන සමහර පොත් තේරුම්ගන්න ටිකක් අමාරුයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේ පොත් කියවද්දී කාලය අරන් කියවන දේ ගැන හොඳට හිතන්න. උදාහරණයකට හොෂෙයා පොත කියවන යෞවනයෙක් හොෂෙයා 4:11-13 (කියවන්න.) දක්වා කියවලා ඒ ගැන කල්පනා කරනවා කියලා හිතමු. කියවපු දේ තේරුම්ගන්න උත්සාහ කරන අතරේ ඔහු මෙහෙම හිතනවා. ‘ළඟදී ඉඳන් මට ඉස්කෝලේ යාළුවන්ගෙන් දුරාචාරයේ යෙදෙන්න පෙලඹීම් එනවා. ඒත් මේ පදවල කියන විදිහට යෙහෝවා දෙවි කොහොමටවත් ඒකට කැමති නැහැ. කවුරු දැක්කේ නැතත් දෙවි හැම දේම දකිනවා. මං කැමති නැහැ දෙවිට දුකක් දෙන්න.’ ඊටපස්සේ දෙවි දීලා තියෙන නීතිවලට කීකරු වෙන්න ඔහු තීරණයක් ගන්නවා.
6 සමහර වෙලාවලදී තමන්ගේ සැමියටත් වෙනත් අයටත් කේන්තියෙන් හිත රිදෙන විදිහට කතා කරන සහෝදරියක්, යෝවෙල් පොත කියවනවා කියලා හිතමු. ඇය යෝවෙල් 2:13 (කියවන්න.) කියවලා ඒ ගැන කල්පනා කරනවා. එතන යෙහෝවා දෙවි ගැන විස්තර කරන්නේ මෙහෙමයි. “ඔහු දයාවන්තය. කරුණාවන්තය. ඉක්මනින් කෝප නොවන්නේය. ඔහුගේ ප්‍රේමය ඉමහත්ය.” ඊටපස්සේ ඇය තීරණය කරනවා, දෙවි වගේ කාරුණික කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනෙ කියලා.
7 දැන් අපි බලමු පියෙක් ගැන. ඔහුගේ රැකියාව අහිමි වෙලා. තමන්ගේ බිරිඳවත් දරුවන්වත් රැකබලා ගන්නේ කොහොමද කියලා කනස්සල්ලෙන් ඉන්න ඔහු නාහුම් පොත කියවනවා. නාහුම් 1:7 කියවද්දී ඔහු දකිනවා, ‘දෙවිව තමන්ගේ රැකවරණය කරගන්න අයව කරදර කාලවලදීත් දෙවි රැකගන්නවා’ කියලා. ඒ ගැන හොඳට හිතද්දී ‘යෙහෝවා දෙවි මටත් මගේ පවුලේ අයටත් ආදරෙයි. ඒ නිසා ඕනෑවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ’ කියලා ඔහු තේරුම්ගන්නවා. ඊටපස්සේ ඔහු නාහුම් 1:15 (කියවන්න.) කියවනවා. එතකොට ඔහුට තේරෙනවා ‘මම දෙවිව විශ්වාස කරනවා නම් මේ අමාරු කාලයේදිත් දේශනා සේවයේ යන්න ඕනෙ’ කියලා. රැකියාවක් හොයන අතරම සතිපතා දේශනා සේවයේ වැඩියෙන් හවුල් වෙන්නත් ඔහු තීරණයක් ගන්නවා.
8. ඔබ බයිබලය කියවද්දී ඉගෙනගත්ත දෙයක් කෙටියෙන් කියන්න.
8 ඉහත සඳහන් අයට උදව් වුණේ, තේරුම්ගන්න අමාරුයි කියලා සමහරු හිතන බයිබල් පොත්වල තිබුණ පදයි. ඒ වගේ පොත්වල වුණත් අපිට අදාළ කරගන්න පුළුවන් පද හම්බ වුණාම ඒ පොත දිගටම කියවන්න ඔබ තුළ ආශාවක් ඇති වෙයි. එහෙම කියවද්දී ඒ මඟ පෙන්වීම්වලින් සහනයක් වගේම ප්‍රඥාවත් ලැබෙනවා. මුළු බයිබලයෙන්ම අපිට ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. දෙවිගේ වචනය කියවන එක හරියට පතලක් හාරලා පොළොව යට තියෙන වටිනා මැණික් ගන්නවා වගේ දෙයක්. ඒ නිසා බයිබලය කියවලා මැණික් හා සමාන දෙවිගෙන් ලැබෙන වටිනා මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් උනන්දුවෙන් හොයමු.
කියවන දේ ගැන හොයලා බලන්න
9. බයිබලය තවත් හොඳින් තේරුම්ගන්න මොනවද කරන්න ඕනෙ?
9 හැමදාම බයිබලය කියවන එක වැදගත් තමයි. ඒත් කියවන දේ හොඳට තේරුම්ගන්න එකත් අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් කොහොමද? කියවන කොටසේ තියෙන සිද්ධීන් ගැන, ස්ථාන ගැන, පුද්ගලයන් ගැන අපේ පොත් පත්වලින් තවත් තොරතුරු හොයලා බලන්න. කියවන දේ අදාළ කරගන්න විදිහ තේරුම්ගන්න අමාරුයි නම් වැඩිමහල්ලෙක්ගෙන් හරි, අද්දැකීම් ලත් සහෝදරයෙක්ගෙන් හරි, සහෝදරියෙක්ගෙන් හරි උදව් ගන්න. ඒ වගේ උදව් ඕනෙ වුණ කෙනෙක් අතීතයෙත් හිටියා. ඒ තමයි අපොලොස්.
10, 11. (අ) අපොලොස්ට හොඳ ගුරුවරයෙක් වෙන්න උදව් වුණේ මොකක්ද? (ආ) ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (“ඔබ උගන්වන්නේ අලුත්ම තොරතුරුද?” නමැති කොටුව බලන්න.)
10 අපොලොස්, යුදෙව් ජාතිකයෙක්. ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. ඒ වගේම ඔහු යේසුස් ගැන උද්යෝගයෙන් දේශනා කළා. ඒත් බව්තීස්මය ගැන යේසුස් කියලා දීපු අලුත් තොරතුරු ඔහු දැනගෙන හිටියේ නැහැ. එෆීසයේදී ඔහු උගන්වනවා අහගෙන හිටපු අකිලා සහ ප්‍රිසිලා කියන යුවළ ‘ඔහුට දෙවිගේ මාර්ගය ගැන වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දුන්නා.’—ක්‍රියා 18:24-26.
11 ටික දවසකට පස්සේ අපොලොස් ඇකේයාවට ගියා. එහිදී සියලුදෙනාම ඉදිරියේ ඔහු ශුද්ධ ලියවිලි යොදාගෙන යුදෙව්වන් හිතපු විදිහ වැරදියි කියලත් ගැලවුම්කරු යේසුස් කියලත් ඔප්පු කළා. ඒක පිළිගත්ත අයට ඔහු තවත් උදව් කළා. (ක්‍රියා 18:27, 28) ඔහුට බව්තීස්මය ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසා අලුතින් සත්‍යය පිළිගත්ත අයට “මහත් උපකාරයක්” වෙන්න ඔහුට පුළුවන් වුණා. අපොලොස් වගේ අපිත් බයිබලය කියවලා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න මහන්සි වෙන්න ඕනෙ. ඒ වගේම අපි උගන්වන විදිහ තවත් දියුණු කරගන්න කවුරු හරි යම් මඟ පෙන්වීම් දුන්නොත් ඒවා සතුටින් නිහතමානීව පිළිගන්නත් ඕනෙ.
ඉගෙනගත්ත දෙයින් අනික් අයට උදව් කරන්න
12, 13. බයිබලය පාවිච්චි කරලා කෙනෙකුට සත්‍යය තුළ දියුණු වෙන්න කාරුණිකව උදව් කරන්න පුළුවන් කොහොමද?
12 අකිලා, ප්‍රිසිලා සහ අපොලොස් වගේ අපිටත් පුළුවන් අනිත් අයට උදව් කරන්න. ඔබ බයිබලයේ තියෙන දේවල් ගැන කෙනෙකුට කියලා දුන්නට පස්සේ, ඒ කෙනා ඒවා පිළි අරන්, ජීවිතයේ වෙනස්කම් කරලා සත්‍යය තුළ දියුණු වෙනකොට ඔබට කොහොමද හැඟෙන්නේ? ඔබ වැඩිමහල්ලෙක් නම්, සහෝදරයෙක්ට හරි සහෝදරියෙක්ට හරි බයිබලයෙන් ඔබ දුන්න මඟ පෙන්වීමක් ඒ කෙනාට ප්‍රයෝජනවත් වුණ විදිහ ගැන කියලා ඔබට ස්තුති කරද්දී ඔබට කොහොමද හැඟෙන්නේ? කෙනෙකුට තමන්ගේ ජීවිතයේ වෙනස්කම් කරගන්න බයිබලය යොදාගෙන අපි උදව් කරනවා නම් අපිට ලොකු තෘප්තියක් ලැබෙනවා.a
13 එලියාගේ කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට සේවය කරනවද, බොරු දෙවිවරුන්ට සේවය කරනවද කියලා තීරණයක් ගන්න බැරුවයි හිටියේ. ඔවුන්ට එලියා කියපු දේ, අදත් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න තීරණයක් ගන්න බැරුව ඉන්න අයට ප්‍රයෝජනවත්. (1 රාජාවලිය 18:21 කියවන්න.) අලුතින් බයිබලය පාඩම් කරන කෙනෙක් තමන්ගේ පවුලේ අය, යාළුවෝ සමච්චල් කරයි, බණියි කියලා භයෙන් ඉන්නවා කියලා හිතන්න. ඒ වගේ කෙනෙකුට, යෙසායා 51:12, 13 (කියවන්න.) පෙන්නලා යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණයක් ගන්න උදව් කරන්න අපිට පුළුවන්.
14. අවශ්‍ය වෙලාවට අවශ්‍ය බයිබල් පදය හොයාගන්න අපි කරන්න ඕනෙ මොනවද?
14 අපිව දිරිගන්වන, අපේ වැරදි හදාගන්න අපිට උදව් වෙන, අපිව ශක්තිමත් කරන හුඟක් අදහස් බයිබලයේ තියෙනවා. ඒත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය පදය හොයාගන්නේ කොහොමද? හැමදාම බයිබලය කියවලා ඒ දේවල් ගැන හොඳට හිතන්න. එහෙම කරනවා නම් ටිකෙන් ටික බයිබලයේ තියෙන දේවල් ගැන හොඳ හුරුවක් ඔබට ලැබෙයි. ඒ වගේම අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය අදහස මතක් කරගන්න යෙහෝවා දෙවි තම බලයෙන් ඔබට උදව් කරයි.—මාක් 13:11; යොහන් 14:26 කියවන්න.b
15. දෙවිගේ වචනය හොඳින් තේරුම්ගන්න උදව් වෙන්නේ මොනවද?
15 දේශනා සේවයේ යන්නත් සභාවේදී ලැබෙන වගකීම් හොඳින් කරන්නත් ප්‍රඥාව ඕනෙ. ප්‍රඥාව ඉල්ලලා සලමොන් රජ වගේ යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. (2 ලේක. 1:7-10) අතීතයේ හිටපු දෙවිගේ සේවකයන් වගේ දෙවිගේ වචනය ගැන හොඳට හොයලා බලන්න. එහෙම කරනවා නම් යෙහෝවා දෙවි ගැනත් ඔහු කැමති දේවල් ගැනත් සත්‍ය තොරතුරු දැනගන්න ඔබට පුළුවන්. (1 පේතෘ. 1:10-12) ‘සත්‍ය පණිවිඩයද යහපත් ඉගැන්වීම්ද’ හොඳින් අධ්‍යයනය කරන්න කියලා පාවුල් තිමෝතිට කිව්වා. (1 තිමෝ. 4:6) ඔබත් දිගටම බයිබලය අධ්‍යයනය කරනවා නම් ඒක තවත් හොඳට තේරුම්ගන්නත් අනිත් අයට උදව් කරන්න ඒක පාවිච්චි කරන විදිහ ගැන ඉගෙනගන්නත් ඔබට පුළුවන්. එහෙම කරද්දී දෙවි ගැන තියෙන ඔබේ විශ්වාසයත් තවත් ශක්තිමත් වෙයි.
බයිබලය කියවීම ආරක්ෂාවක්
16. (අ) ‘දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා බැලීමෙන්’ බෙරීයවරුන්ට ලැබුණ ප්‍රයෝජන මොනවද? (ආ) අපිත් දිනපතා බයිබලය කියවීම අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඇයි?
16 බයිබලය කියවීම අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද? බයිබලය කියවද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. ඒ විදිහට තමන්ගේ විශ්වාසය ශක්තිමත් කරගත්ත පිරිසක් අතීතයේ හිටියා. ඒ තමයි බෙරීයවරු. ඔවුන් ‘දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරලා බැලුවා.’ පාවුල් කියපු දේවල් තමන් දැනගෙන හිටපු දේවල් එක්ක සන්සන්දනය කරලා බලපු වැඩිදෙනෙක් ‘යේසුස්ගේ අනුගාමිකයන් වුණා.’ (ක්‍රියා 17:10-12) ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න බෙරීයවරුන්ට උදව් වුණේ දේවවචනය කියවීමයි. අපිත් දිනපතාම බයිබලය කියෙව්වොත් යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න අපිට පුළුවන්. ඒ විශ්වාසය අපිට ආරක්ෂාවක්. ඉදිරියේදී එන විනාශයෙන් බේරිලා පාරාදීස පොළොවේ ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ ඒ වගේ විශ්වාසයක් තිබුණොත් විතරයි.—හෙබ්‍රෙ. 11:1.
17, 18. (අ) විශ්වාසය හා ප්‍රේමය අපේ සිත ආරක්ෂා කරන්නේ කොහොමද? (ආ) බලාපොරොත්තුව ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?
17 විශ්වාසය වගේම ප්‍රේමය සහ බලාපොරොත්තුව අපිට ආරක්ෂාවක් වන ආකාරය ගැන පාවුල් මේ විදිහට විස්තර කළා. “විශ්වාසය සහ ප්‍රේමය ළයවැස්මක් ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව හිස්වැස්මක් ලෙසද පැළඳගෙන සිටිමු.” (1 තෙස. 5:8) අතීතයේ හිටපු සෙබළු තමන්ගේ පපු ප්‍රදේශය ආරක්ෂා කරගන්න ළයවැස්මක් පාවිච්චි කළා. ඒ වගේ, සිත ආරක්ෂා කරගන්න උදව් වෙන දේවල් දෙකක් තමයි ‘විශ්වාසය හා ප්‍රේමය.’ කෙනෙක්ට දෙවි පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන ස්ථිර විශ්වාසයක් සහ දෙවිටත් අනිත් අයටත් ප්‍රේමයක් තියෙනවා නම් ඔහුගේ සිත ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ දෙවිව සතුටු කරන්නයි.
18 අපිට තියෙන ‘ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව හිස්වැස්මක්’ වගේ කියලා පාවුල් කිව්වා. ඒ ඇයි? හිස්වැස්මකින් සෙබළෙකුගේ හිස ආරක්ෂා කළා වගේ අපේ මනස ආරක්ෂා කරන්න අපිට තියෙන බලාපොරොත්තුවට පුළුවන්. යෙහෝවා දෙවි අපිව ගලවාගන්නවා කියන බලාපොරොත්තුව ගැන අපිට කිසිම සැකයක් නැත්නම්, සැබෑ නමස්කාරය අත්හැරපු අය අපේ මනසට දාන්න හදන බොරු අදහස් අපි අපේ මනසට ගන්නේ නැහැ. ඒක අපිට ආරක්ෂාවක්. (2 තිමෝ. 2:16-19) ඒ වගේම අපිව ශක්තිමත් කරන්නත් නරක හැසිරීමෙන් වැළකිලා ඉන්නත් අපේ බලාපොරොත්තුව අපිට උදව් කරයි. බයිබලය කියවන එක අපිට මොන තරම් ආරක්ෂාවක්ද!
විනාශයෙන් ගැලවෙන්න උපකාරයක්
19, 20. දෙවිගේ වචනයට අපි ඇලුම් කරන්න ඕනෙ ඇයි? අපි ඊට ඇලුම් කරනවා කියලා පෙන්වන්නේ කොහොමද? (“යෙහෝවා දෙවි මට දෙන්නේ මට ඕනෙම කරන දේයි” නමැති කොටුව බලන්න.)
19 දවසින් දවස මේ දුෂ්ට සමාජයේ විනාශය ළං වෙනවා. ඒ නිසා අපි වැඩි වැඩියෙන් යෙහෝවා දෙවිගේ වචනයට ඇලුම් කරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනෙ. එහෙම කරනවා නම් අපේ නරක පුරුදු නවත්තලා දාන්නත් වැරදි කරන්න අපිට තියෙන පෙලඹීම එක්ක සටන් කරන්නත් අපිට පුළුවන්. ඒ වගේම සාතන් හා ඔහුගේ දුෂ්ට සමාජයෙන් අපිට එන පීඩා පරීක්ෂා දරාගන්න අවශ්‍ය දිරිගැන්වීමත් සැනසිල්ලත් දෙවිගේ වචනයෙන් අපිට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවනයට යන මාර්ගයෙන් ඉවත් නොවී ඉදිරියටම යන්නත් බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අපිට උදව් කරනවා.
20 ළඟදී එන විනාශයෙන් ‘සෑම තරාතිරමකම ඉන්න මිනිසුන් ගැලවෙනවා’ දකින්න දෙවි කැමතියි. ඒ ‘මිනිසුන්ට’ දෙවිගේ සේවකයන් සහ ශුභාරංචිය පිළිගන්න ආශාවක් දක්වන අයත් ඇතුළත්. ඒත් විනාශයෙන් බේරෙන්න නම් ‘සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීම’ අත්‍යවශ්‍යයි. (1 තිමෝ. 2:4) ඒ නිසා බයිබලය කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙමු. දෙවිගේ වචනයට අපි කොයි තරම් ඇලුම් කරනවද කියලා දිනපතා බයිබලය කියවීමෙන් පෙන්වමු.—යොහ. 17:17.
a වෙනස් වෙන්න කෙනෙක්ට බල කරන්නවත් එයා දුෂ්ටයෙක් කියලා අඟවන්නවත් අපි කවදාවත් බයිබලය පාවිච්චි කරන්නේ නැහැ. අපිත් එක්ක බයිබලය පාඩම් කරන අයට කාරුණිකව හා ඉවසිලිවන්තව උගන්වන්න ඕනෙ. ඒ විදිහට අපිට පුළුවන් යෙහෝවා දෙවිව අනුකරණය කරන්න.—ගීතා. 103:8.
b බයිබල් පදයක තියෙන වචන මතක තිබුණත් ඒ පදය තියෙන තැන දන්නේ නැත්නම් මොනවද කරන්න පුළුවන්? බයිබලයේ අන්තිම හරියේ තියෙන සූචියෙන් ඒ වචන හොයාගත්තොත් ඒ පදය තියෙන තැන හොයාගන්න පුළුවන්.