යේසුස්ගේ යාච්ඤාවෙන් ඉගෙනගනිමු
“පියාණෙනි, . . . මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි.”—යොහ. 17:1.
1, 2. පාස්කු උත්සවය සැමරීමෙන් පසුව යේසුස් කළේ මොනවාද?
ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 14වෙනි දින හිරු බැස ගොස් රාත්‍රිය උදා වී තිබුණා. ඒ වන විට යේසුස් සහ ඔහුගේ ගෝලයන් පාස්කු උත්සවය සමරා අවසන් වූවා පමණයි. ඒ උත්සවය පැවැත්වීමෙන් ඔවුන් සිහි කළේ තම මුතුන්මිත්තන්ව යෙහෝවා දෙවි ඊජිප්තුවෙන් ගලවාගත් ආකාරයයි. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ගැලවීමක් ලබන්න එතැන රැස් වී සිටි ගෝලයන්ට අවස්ථාව තිබුණා. ඔවුන්ට වගේම මුළු මිනිස් වර්ගයාටම ලැබීමට නියමිතව තිබූ ඒ ශ්‍රේෂ්ඨ ගැලවීම නම් පාපයෙන් හා මරණයෙන් නිදහස් වීමයි. ඒ සඳහා පසු දින තමන්ගේ ජීවිතය පූජා කිරීමට යේසුස් සූදානමින් සිටියා.—හෙබ්‍රෙ. 9:12-14.
2 යේසුස්ගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි අපි සියලුදෙනා වෙනුවෙන් දුන් ප්‍රේමණීය ත්‍යාගයක්. දෙවි දුන් ඒ වටිනා තෑග්ග අපිට අමතක නොවීම සඳහා යේසුස් පාස්කු උත්සවය වෙනුවට අලුත් සැමරීමක් එදා ආරම්භ කළා. මුහුන් නොදැමූ රොටියක් ගෙන එය කඩා එතැන සිටි ගෝලයන් 11දෙනා අතරේ බෙදා දුන් යේසුස් මෙසේ පැවසුවා. “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” ඉන්පසු වයින් පිරුණු කුසලානයක් ගෙන මෙයින් “නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි” කියා පැවසුවා.—ලූක් 22:19, 20.
3. (අ) යේසුස්ගේ මරණයෙන් පසුව සිදු වීමට තිබුණේ කුමක්ද? (ආ) අපෙන් අසාගත යුතු ප්‍රශ්න මොනවාද?
3 දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුම අවලංගු වීමට ආසන්නවයි තිබුණේ. ඒ වෙනුවට යෙහෝවා දෙවි සහ යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන් අතර අලුත් ගිවිසුමක් ඇති වීමට පසුබිම සකස් වෙමින් තිබුණා. තම අනුගාමිකයන් දෙවිට එක්සත්ව නමස්කාර නොකළ, දෙවිගේ නාමයට අගෞරවය කළ ඊශ්‍රායෙල්වරු හා සමාන වෙනවාට යේසුස් කොහොමටවත් කැමති වුණේ නැහැ. (යොහ. 7:45-49; ක්‍රියා 23:6-9) ඔවුන් එකට බැඳුණු එක්සත් සෙනඟක් විදිහට දෙවිගේ නාමයට ගෞරවය දෙනවා දකින්නයි යේසුස්ට අවශ්‍ය වුණේ. ඒ සඳහා ඔහු යාච්ඤාවක් කර දෙවිගේ උදව් ඉල්ලුවා. එය යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා මිනිසෙක් විසින් එතෙක් මෙතෙක් කළ අලංකාරවත්ම යාච්ඤාවයි. (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.) ඒ යාච්ඤාව අපිට යොහන් 17:1-26 දක්වා දැකගන්න ලැබෙනවා. දැන් අපි ඒ යාච්ඤාව ගැන සලකා බලන අතරේ ‘දෙවි ඒ යාච්ඤාවට පිළිතුරු දුන්නාද’ කියාත් ‘මම ඒ යාච්ඤාවට අනුව ක්‍රියා කරනවාද’ කියාත් අපෙන්ම අසාගමු.
යේසුස්ට වඩාත් වැදගත් වූ දේ
4, 5. (අ) යේසුස්ගේ යාච්ඤාවේ මුල් කොටසින් පැහැදිලි වන කාරණා මොනවාද? (ආ) යේසුස් කළ ඉල්ලීම යෙහෝවා දෙවි ඉටු කළේ කෙසේද?
4 එදින මධ්‍යම රාත්‍රිය වන තුරුම යේසුස් තම ගෝලයන්ට බොහෝ දේ කියා දුන්නා. ඉන්පසු ඔහු තම යාච්ඤාව ආරම්භ කළේ මේ වචනවලින්. ‘පියාණෙනි, සියල්ල සිදු වීමට වේලාව ඇවිත් තිබෙනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඔබේ පුත්‍රයාව තේජසට පත් කරන්න කියායි. එවිට ඔබට ගෞරවය ගෙන දෙන්න ඔබේ පුත්‍රයාට හැකි වෙයි. මන්ද ඔබ මුළු මිනිස් වර්ගයාවම ඔහු යටතට පත් කර තිබෙනවා. එමනිසා ඔබේ පුත්‍රයාට ඔබ භාර දුන් සියලුදෙනාටම ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය ලැබෙයි. ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා. දැන් පියාණෙනි, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව තේජසට පත් කරන්න කියායි. ඔබ සමඟ සිටීමටත් ලෝකය පවතින්න කලින් මම ඔබ සමඟ සිටියදී ඔබ මට ලබා දී තිබුණු තේජස නැවත ලබන්නත් මම කැමතියි.’—යොහ. 17:1-5.
5 යේසුස් ඒ කොටසේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම ගැනයි. මීට කලින් ඔහු තම ගෝලයන්ට කියා දුන් යාච්ඤාව ආරම්භ කළෙත් ඒ ආකාරයටමයි. (ලූක් 11:2) ඊළඟට ඔහු තම අනුගාමිකයන්ට ‘තමන් මාර්ගයෙන් සදාකාල ජීවනය ලබා දෙන්න’ කියා ඉල්ලුවා. තමන් වෙනුවෙන් ඔහු යමක් ඉල්ලුවේ අවසානයේදීයි. පියාණන් සමඟ නැවත සිටීමට තමන්ට අවස්ථාව දෙන්න කියාත් සියලු දේ නිර්මාණය කිරීමට කලින් තමන්ට ලබා දී තිබූ තේජස ලබා දෙන්න කියාත් ඔහු දෙවිගෙන් ඉල්ලුවා. දෙවි තම පුත්‍රයා කළ ඒ යාච්ඤාවට සවන් දී ඔහු ඉල්ලූ දේටත් වඩා වැඩියෙන් ලබා දුන්නා. සියලු දේවදූතයන්ට වඩා “ශ්‍රේෂ්ඨ නාමයක්” යේසුස්ට හිමි වුණේ ඒ නිසයි.—හෙබ්‍රෙ. 1:4.
‘එකම සැබෑ දෙවිව දැන හඳුනා ගන්න’
6. සදාකාල ජීවනය ලබාගන්න යේසුස්ගේ නියෝජිතයන් කළ යුතු වුණේ මොනවාද? නියෝජිතයන් ඒ දේ කළ බව අපි දන්නේ කෙසේද?
6 සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිවත් යේසුස්වත් හොඳින් “දැන හඳුනා ගැනීම” අත්‍යවශ්‍ය බව යේසුස් තම යාච්ඤාවේ සඳහන් කළා. (යොහන් 17:3 කියවන්න.) දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්නවා වගේම ඒ දේවල් අදාළ කරගැනීමත් අත්‍යවශ්‍යයි. තම නියෝජිතයන් ඒ දේවල් ඒ වන විටත් කර තිබූ බව ‘ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන්නා’ කියාත් ‘ඔවුන් ඒ දේවල් පිළිගත්තා’ කියාත් යේසුස් පැවසූ දෙයින් පැහැදිලියි. (යොහ. 17:8) ඒ වුණත් එතැනින් නතර නොවී සදාකාල ජීවනය ලබාගැනීම සඳහා දිගටම දෙවිගේ වචනය කියවා ඒ ගැන ගැඹුරින් සිතා බැලීමත් ඒවා අදාළ කරගැනීමත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඔවුන් ඒ දේ තමන්ගේ ජීවිත කාලය පුරාම කළා. ඒ බව එළිදරව් පොතේ සඳහන් වන නව යෙරුසලමේ අත්තිවාරම් ගල් 12 මත ඔවුන්ගේ නම් ලියා තැබීමෙන් පැහැදිලි වෙනවා.—එළි. 21:14.
7. දෙවිව ‘දැන හඳුනා ගැනීමට’ ඇතුළත් වෙන්නේ මොනවාද? දෙවිව දැන හඳුනා ගැනීම වැදගත් ඇයි?
7 ‘දැන හඳුනා ගන්න’ කියා ලිවීමට යොදාගත් ග්‍රීක වචනයට ‘නිරතුරුවම කළ යුතුයි’ කියන අදහසත් ඇතුළත්. යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න නම් අපි දෙවි ගැන තව තවත් දේවල් ඉගෙනගැනීම අවශ්‍යයි. ඔහුගේ ගතිලක්ෂණ සහ අරමුණ ගැන දැනගන්නවාට වඩා දෙයක් එයට ඇතුළත්. එනම් දෙවිට හදවතින්ම ප්‍රේම කිරීමත් ඔහු සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමත් අපේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. “එකිනෙකාට ප්‍රේම නොකරන තැනැත්තා දෙවිව හඳුනාගෙන නැත” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (1 යොහ. 4:8) දෙවිට කීකරු වීමත් දෙවිව දැන හඳුනා ගැනීමට අයත් තවත් දෙයක්. (1 යොහන් 2:3-5 කියවන්න.) ඒ නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය බිඳගත් යූදස් හා සමාන නොවීමට අපි පරෙස්සම් වෙමු. දෙවි සමඟ ඇති බැඳීම තව තවත් ශක්තිමත් කරගැනීමට අපේ උපරිමය කරමු. අපි එසේ කරනවා නම් අපේ ප්‍රේමණීය දෙවි අපිටත් සදාකාල ජීවනය ලබා දෙනවා නිසැකයි.—මතෙ. 24:13.
‘ඔබේ නාමය වෙනුවෙන්’
8, 9. පොළොවේ ජීවත් වුණ කාලයේදී යේසුස්ට වඩාත් වටිනා දේ වුණේ මොකක්ද? යේසුස්ට කෝපයක් ඇති වුණේ ඇයි?
8 තමන්ගේ නියෝජිතයන්ට තිබුණා හා සමාන ප්‍රේමයක් යේසුස්ට අපි වෙනුවෙනුත් තිබුණා කියා ඔහුගේ යාච්ඤාවෙන් පැහැදිලි වෙනවා. (යොහ. 17:20) ඒ වුණත් අපේ ගැලවීමට වඩා දෙයක් යේසුස්ගේ ජීවිතයේ තිබුණා. එය නම් තම පියාණන්ගේ නාමය ගෞරවයට පත් කිරීමයි. පොළොවේ ජීවත් වුණ සෑම මොහොතකම ඔහු වඩාත්ම වැදගත් දෙය ලෙස සැලකුවේ එයයි. උදාහරණයකට ඔහු පොළොවට පැමිණි හේතුව ගැන විස්තර කරද්දී යෙසායා පොතේ සඳහන් මේ කොටස කියෙව්වා. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය.” ඔහු ඒ කොටස කියවද්දී දෙවිගේ නම නිවැරදිව උච්චාරණය කළ බවට නම් කිසිම සැකයක් නැහැ.—ලූක් 4:16-21.
9 දෙවිගේ නම භාවිත කරන එක වරදක් කියා යුදෙව් ආගමික නායකයන් උගන්වමින් සිටියේ යේසුස් මේ පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර සිටයි. යේසුස්ට ඒ ගැන මොන තරම් කෝපයක් ඇති වෙන්න ඇද්ද! “මා මගේ පියාණන්ගේ නාමයෙන් පැමිණ සිටියත් ඔබ මාව පිළිගන්නේ නැහැ. නමුත් වෙන කෙනෙක් තමාගේම බලයෙන් තම ගෞරවය උදෙසා පැමිණියා නම් ඔබ ඔහුව පිළිගන්නවා” කියා ඔහු ආගමික නායකයන්ට පැවසුවේ ඒ නිසයි. (යොහ. 5:43) තම මරණයට දින කිහිපයකට පෙරත් “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියා යේසුස් යාච්ඤා කළා. (යොහ. 12:28) මේ ලිපියෙන් අප සලකා බලන යාච්ඤාවෙනුත් පැහැදිලි වන්නේ යේසුස්ට වඩාත් වටින්නේ දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම බව නොවේද?
10, 11. (අ) යේසුස් තම පියාගේ නාමය ප්‍රකාශ කළේ කෙසේද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන් දෙවිගේ නාමය ගැන ප්‍රකාශ කරන්නේ ඇයි?
10 යේසුස් තම පියාණන්ට මෙසේත් පැවසුවා. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. ඇත්තෙන්ම ඔවුන් අයිති ඔබටයි. නමුත් ඔබ ඔවුන්ව මට භාර දුන්නා. ඔවුන් ඔබ පැවසූ දේවල් පිළිපැද්දා. මම ලෝකයෙන් සමුගෙන ඔබ ළඟට එනවා. නමුත් ඔවුන් සිටින්නේ ලෝකයේ. ඒ නිසා ශුද්ධ වූ පියාණෙනි, ඔවුන්ව රැකබලා ගන්න. ඔබේ නාමය වෙනුවෙන් ඒ දේ කරන්න. මමත් සියල්ල කළේ ඔබේ නාමය වෙනුවෙනුයි. එවිට අප දෙදෙනා අතර පූර්ණ බැඳීමක් තිබෙනවා වගේ ඔවුන් අතරත් පූර්ණ බැඳීමක් ඇති වෙයි.”—යොහ. 17:6, 11.
11 තම පියාගේ නම ගෝලයන්ට “ප්‍රකාශ කළා” කීමෙන් යේසුස් අදහස් කළේ මොකක්ද? එයට නිකම්ම යෙහෝවා යන නාමය නිතර නිතර පාවිච්චි කළාට වඩා දෙයක් ඇතුළත් වුණා. යෙහෝවා දෙවි කුමනාකාරයේ දෙවි කෙනෙක්ද කියා තේරුම්ගන්න යේසුස් ගෝලයන්ට උදව් කළා. දෙවිගේ පුදුමාකාර ගතිලක්ෂණ ගැනත් දෙවි මිනිසුන්ට මොන තරම් ප්‍රේමණීය සැලකිල්ලක් දක්වනවාද කියාත් ඔහු කියා දුන්නා. (නික්. 34:5-7) යේසුස් දැන් ස්වර්ගයේ රජකම් කරනවා. ඔහු අදත් දෙවිගේ නාමය ගැන මුළු පොළොව පුරාම දැනුම් දෙන්න තම අනුගාමිකයන්ට උදව් කරනවා. අපි ඒ කාර්යයේ හවුල් වෙන්නේ මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න කලින් යෙහෝවා දෙවි ගැන දැනගන්න තව තවත් මිනිසුන්ට උපකාර කරන්නයි. දෙවි තමන්ගේ නම ගැන සාක්ෂි දරන අයව ඉදිරියේදී ගලවාගද්දී යෙහෝවා යන දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමය සියලුදෙනා අතරේ ගෞරවයට පත් වෙයි.—එස. 36:23.
‘ඔබ මාව එවූ බව විශ්වාස කරන්න ලෝකයට හැකි වෙයි’
12. යේසුස් ආරම්භ කළ කාර්යය අවසන් කරන්න නම් අපි කළ යුතු වැදගත් දේවල් තුන මොනවාද?
12 “ඔබ මාව ලෝකයට එවූ ලෙසම මමත් ඔවුන්ව ලෝකයට යවනවා.” යේසුස් තම යාච්ඤාවේදී ඒ දේ පැවසුවේ තමන් පොළොවේ ආරම්භ කළ කාර්යය අවසන් වන තුරු තම අනුගාමිකයන් එය දිගටම කරගෙන යන බව පෙන්වීමටයි. නමුත් ඒ කාර්යය කිරීමට ඔවුන්ට උපකාර අවශ්‍යයි කියාත් ඔහු දැන සිටියා. ඔවුන් සමඟ සිටි කාලය පුරාම ඔහු ඔවුන්ගේ අඩුපාඩුකම් හදාගන්න බොහෝ දේ කියා දුන්නේ ඒ නිසයි. ඒ වගේම ඒ කාර්යය සාර්ථකව කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් තුනක් ගැනත් යේසුස් තම යාච්ඤාවේ සඳහන් කළා. ඉන් පළමුවැන්න වුණේ සාතන්ගේ ලෝකයේ කොටසක් නොවී සිටීමට තම අනුගාමිකයන්ට උපකාර කරන්න කියායි. දෙවැන්න දෙවිගේ වචනයට කීකරු වෙමින් ශුද්ධව ඉන්න උපකාර කරන්න කියායි. තුන්වැන්න වුණේ යේසුස් තම පියා සමඟ එකඟතාවෙන් වැඩ කරනවා හා සමානව තම අනුගාමිකයන්ටත් එකඟතාවෙන් වැඩ කරන්න උදව් කරන්න කියායි. ‘මමත් යේසුස් පැවසූ ඒ දේවල් තුනට අනුව ජීවත් වෙනවාද’ කියා අපි අපෙන්ම අසාගමු. තම අනුගාමිකයන් ඒ දේවල් තුනට අනුව ක්‍රියා කරනවා නම් ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩයට බොහෝ මිනිසුන් සවන් දෙයි කියා යේසුස්ට නිසැකකමක් තිබුණා.—යොහන් 17:15-21 කියවන්න.
13. යේසුස් කළ ඉල්ලීමට දෙවි සවන් දුන් බව පළවෙනි සියවසේදී පැහැදිලි වුණේ කෙසේද?
13 යේසුස් කළ ඉල්ලීමට දෙවි සවන් දුන් බව ක්‍රියා පොතේ සඳහන් වාර්තා කියවද්දී අපිට පැහැදිලි වෙනවා. පළවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් අතර යුදෙව්වන් වගේම වෙනත් ජාතිකයනුත් පොහොසතුන් වගේම දුප්පතුනුත් ස්වාමිවරුන් වගේම දාසයනුත් සිටියා. ඒ ආකාරයේ විවිධ පසුබිම්වල අය එකට වැඩ කරද්දී මොන තරම් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබෙනවාද? නමුත් ඔවුන් සියලුදෙනාම එකා මෙන් එක්සත්ව වැඩ කළා. පාවුල් ඔවුන්ව සමාන කළේ ශරීරයකටයි. ඒ ශරීරයේ හිස යේසුස්. (එෆී. 4:15, 16) සාතන්ගේ බෙදුණු ලෝකයේ එක ශරීරයක් මෙන් එක්සත්ව ක්‍රියා කරන්න ඔවුන්ට හැකි වුණේ දෙවිගේ බලයේ උපකාරය තිබුණු නිසයි.—1 කොරි. 3:5-7.
14. යේසුස් යාච්ඤාවෙන් පැවසූ දේ අද දින ඉටු වී තිබෙන්නේ කෙසේද?
14 නමුත් කාරණා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරළෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. නියෝජිතයන්ගේ මරණයෙන් පසුව බොරු ඉගැන්වීම් ක්‍රිස්තියානි සභාවට ඇතුල් වෙන්න පටන්ගත්තා. ඉන්පසුව සභාවේ එක්සත්කම වෙනුවට තිබුණේ බෙදීම් පමණයි. (ක්‍රියා 20:29, 30) ඒ වුණත් 1919දී යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව අසත්‍යය උගන්වන ආගම්වලින් වෙන් කර ‘එක්සත්කමට දායක වන හොඳම බැඳීමෙන්’ එකමුතු කළා. (කොලො. 3:14) ඔවුන් එක්සත්ව කළ දේශනා කිරීමේ කාර්යයේ ප්‍රතිඵලයක් විදිහට “සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන” මිලියන හතකටත් වඩා වැඩි පිරිසක් අභිෂේක ලත් අය සමඟ එක්ව දෙවිට සේවය කරනවා. (එළි. 7:9; යොහ. 10:16) “ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි” කියා යේසුස් තම යාච්ඤාවෙන් පැවසූ දේ අද දින මොන තරම් පුදුමාකාර ලෙස ඉටු වී තිබෙනවාද!—යොහ. 17:23.
හද දනවන අවසානයක්
15. අභිෂේක ලත් අය වෙනුවෙන් යේසුස් කළ ඉල්ලීම කුමක්ද?
15 නීසාන් මස 14වෙනි දින රාත්‍රියේ යේසුස් තම ගෝලයන් සමඟ රැස් වූ ඒ අවස්ථාවේ ඔහු ‘ඔවුන්ට ගෞරවය දුන්නා.’ ඔහු එහෙම කළේ දේවරාජ්‍යයේ රජවරුන් ලෙස ඔවුන්වත් හවුල් කරගැනීමට ගිවිසුමක් ඇති කරගැනීමෙනුයි. (යොහ. 17:22; ලූක් 22:28-30) ඒ ගැන යේසුස් තම යාච්ඤාවේ සඳහන් කරන්නේ මෙසේයි. “පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි. පොළොවේ දරුවන් බිහි වීමට කලින් ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.” (යොහ. 17:24) ස්වර්ගයේ රජවරුන් වීමට අභිෂේක ලත් අයට ලැබෙන අවස්ථාව ගැන ඊර්ෂ්‍යා කරනවා වෙනුවට වෙනත් බැටළුවන් ඒ ගැන සතුටු වෙනවා. ඒ දෙපිරිස අතර තිබෙන්නේ මොන තරම් එක්සත්කමක්ද!
16, 17. (අ) තම යාච්ඤාව අවසානයේදී යේසුස් දිගටම කිරීමට පොරොන්දු වෙන්නේ කුමක්ද? (ආ) අපිත් දිගටම කළ යුත්තේ මොනවාද?
16 යෙහෝවා දෙවිව හොඳින් හඳුනාගෙන ඔහුට එක්සත්ව සේවය කරන පිරිසක් පොළොවේ සිටින බව පිළිගන්න වැඩිදෙනෙක් කැමති නැහැ. එයට බොහෝවිට හේතු වී ඇත්තේ ආගමික නායකයන් උගන්වන දේවලුයි. ඒ දේ යේසුස්ගේ කාලයෙත් සිදු වුණා. ඒ ගැන හොඳින්ම දැන සිටි යේසුස් තම යාච්ඤාව අවසන් කරන්නේ මේ හද දනවන වචනවලිනුයි. “ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකය නම් ඔබව හඳුනාගෙන නැහැ. නමුත් මම ඔබව හොඳින් හඳුනාගෙන සිටිනවා. ඒ වගේම ඔබ මාව එවූ බව ඔවුනුත් හොඳින් දන්නවා. ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”—යොහ. 17:25, 26.
17 යේසුස් මොන තරම් කදිම ආකාරයට දෙවිගේ නාමය ගැන මිනිසුන්ට දැනුම් දුන්නාද! ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස ක්‍රියා කරන ඔහු දෙවිගේ නම හා අරමුණ ගැන මිනිසුන්ට දැනුම් දෙන්න අද දිනත් අපිට උපකාර කරනවා. යේසුස් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් උද්යෝගයෙන් දේශනා කරන්නත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කරන්නත් අපි අපේ උපරිමය කරමු. (මතෙ. 28:19, 20; ක්‍රියා 10:42) දෙවිගේ සෙනඟ විදිහට එකමුතුව එක්සත්ව සිටීමට අපිට හැකි සෑම දේම කරමු. එසේ කරනවා නම් යේසුස් දෙවිට කළ ඒ අලංකාරවත් යාච්ඤාවට අනුව අපිත් වැඩ කරනවා කියා මුළු හදින්ම කියන්න අපිටත් හැකි වෙනවා නොඅනුමානයි. දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමයට ලැබෙන අතිමහත් ගෞරවය සහ අපට ලැබෙන සදාකාල ප්‍රීතිය එහි ප්රතිඵලයයි.