පේදුරුතුමා පළවෙනි පාප්වරයාද?
“පේදුරුතුමාගේ 265වෙනි අනුප්‍රාප්තික පාප්වරයා හැටියට කාදිනල් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ පත් වුණා.”—VATICAN INFORMATION SERVICE, VATICAN CITY, MARCH 13, 2013.
“යේසුස් ක්‍රිස්තුස්ගෙන් විශේෂ ආශීර්වාදයක් ලැබූ පේදුරුතුමාගේ අනුප්‍රාප්තික ලෙස පත් වූ රෝමයේ බිෂොප්වරයා මුළු ලෝකයේම කතෝලික සභාවේ නායකයායි.”—THE PRIMACY OF THE BISHOP OF ROME DURING THE FIRST THREE CENTURIES, 1903, BY VINCENT ERMONI.
“පේදුරුතුමාගේ අනුප්‍රාප්තික ලෙස රෝමයේ පාප්වරයාව පිළිගන්නේ නැති ඕනම කෙනෙක් මිථ්‍යාදෘෂ්ටිකයෙක්.”—THE FIRST VATICAN COUNCIL, JULY 18, 1870.
ලෝකේ පුරා ඉන්න මිලියන ගණන් කතෝලිකයන් වතිකානු කවුන්සලය 1870දී දුන්න මුල්ම නියෝගය පිළිපැදිය යුතු වුණා. ඒත් ඒක බයිබලයේ තියෙන ඉගැන්වීමක්ද? අනිත් එක ෆ්‍රැන්සිස් පාප්වරයා යේසුස්ගේ ගෝලයෙක් වුණ පේදුරුට පස්සේ පත් වුණ පාප්වරයාද? පළවෙනි පාප්වරයා පේදුරුද?
“මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි”
වතිකානු කවුන්සලය 1870 දුන්න නියෝගයට පදනමක් හැටියට ගත්තේ මතෙව් 16:16-19 සහ යොහන් 21:15-17 යන බයිබල් පදයි. මේ බයිබල් පදවල තියෙන යේසුස් සහ පේදුරු අතර ඇති වුණ සාකච්ඡාවලින් වගේම බයිබලයේ වෙනත් වාර්තාවලින් පැහැදිලි වෙන්නේ යේසුස්ගේ ගෝලයෙක් වුණ පේදුරුට වැදගත් වැඩ කොටසක් තිබුණා කියලයි. මුල්ම වතාවට පේදුරුව මුණගැහුණ අවස්ථාවේ යේසුස් දැක්කා ඔහු ගලක් වගේ ස්ථිරව ඉඳියි කියලා. (යොහන් 1:42) ඒත් යේසුස් පේදුරුට උසස් තැනක් දුන්නාද?
යේසුස් පේදුරුට මෙහෙම කිව්වා. “මම ඔබට කියමි: ඔබ පේදුරු ය. [නමේ අර්ථය ගලක්] මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි.”a (මතෙව් 16:17, 18) යේසුස් කිව්වේ ඔහුගේ “සභාව” ගොඩනඟන්නේ මිනිසෙක් වන පේදුරු මත කියලාද? යේසුස්ගේ අනිත් ගෝලයන්ගේ නායකයා හැටියට පේදුරුව පත් කෙරුවාද? ඒ සාකච්ඡාව අහගෙන හිටපු අනිත් ගෝලයන් යේසුස් කිව්ව දේ තේරුම්ගත්තේ කොහොමද? ඊටපස්සේ අවස්ථා කීපයකදීම තමන් අතරෙන් උසස් කවුද කියලා ගෝලයන් වාද කෙරුවා කියලා බයිබලයේ සුවිශේෂ පොත්වල සඳහන් වෙනවා. (මතෙව් 20:20-27; මාක් 9:33-35; ලූක් 22:24-26) ඒ වෙද්දිත් යේසුස් පේදුරුව නායකයා හැටියට පත් කරලා තිබුණා නම් තමන් අතරේ උසස් කෙනා කවුද කියලා ගෝලයන් වාද කෙරුවේ ඇයි?
යේසුස්ගේ වචන පේදුරු තේරුම්ගත්තේ කොහොමද? යුදෙව්වෙක් වුණ පේදුරුට හෙබ්‍රෙව් අනාවැකිවල සඳහන් “ගලක්,” “කොන් ගලක්” කියන වචන හුරු පුරුදු වචන වෙන්න ඇති. (යෙසායා 8:13, 14; 28:16; සෙකරියා 3:9) ඒ අනාවැකියක සඳහන් වුණ “කොන් ගල” කියලා කියන්නේ ගැලවුම්කරු වන යේසුස් කියලා පේදුරු ඔහුගේ ලිපියක පැහැදිලි කෙරුවා. “පෙට්රා” කියන ග්‍රීක වචනය (මතෙව් 16:18 යේසුස් පාවිච්චි කෙරුවෙත් ඒ වචනයමයි) පේදුරු පාවිච්චි කෙරුවේ යේසුස් ගැන සඳහන් කරද්දි විතරයි.—1 පේදුරු 2:4-8.
අපෝස්තුලු පාවුල් කියන්නෙත් යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයෙක්. නායකකම පේදුරුට දුන්නා කියලා පාවුල් විශ්වාස කෙරුවාද? මුල් ක්‍රිස්තියානි සභාවේ පේදුරුට තිබුණ තැන අවබෝධ කරගත්ත පාවුල්, පේදුරු ගැන කිව්වේ ඔහු “කණු මෙන් සලකනු ලැබුවාවූ” අයගෙන් කෙනෙක් කියලයි. පාවුල් කිව්ව විදිහට පේදුරු සභාවේ එක කණුවක් විතරයි. (ගලාති 2:9 ‘පැරණි අනුවාදය’) අනිත් අතට යේසුස් සභාවේ නායකයා හැටියට පත් කෙරුවේ පේදුරුව නම් ඔහු සභාවේ කණු අතරින් කෙනෙක් වෙන්නේ කොහොමද?
පේදුරු අනිත් අයට හරි විදිහට සැලකුවේ නැති අවස්ථාවකදී පාවුල් ගෞරවනීයව හැබැයි කෙළින්ම පේදුරුව නිවැරදි කෙරුවා. ඒ නිසයි පාවුල් “ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි” කියලා කිව්වේ. (ගලාති 2:11-14) යේසුස් සභාව පිහිටුවලා තියෙන්නේ පාපය උරුම වුණ පේදුරු වගේ මිනිසෙක් මත කියලා පාවුල් හිතුවේ නැහැ. ඔහු විශ්වාස කෙරුවේ සභාව පිහිටුවලා තියෙන අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස් කියලයි. ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ඒ පර්වතය නම් ක්‍රිස්තූන් වහන්සේ ය.”—1 කොරින්ති 3:9-11; 10:4.
“ඔබ පේදුරු ය”
එහෙමනම් “ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි” කියන පදය අපි තේරුම්ගන්නේ කොහොමද? ඒක තේරුම්ගන්න නම් අවට පද කියවලා බලන්න ඕනේ. යේසුස් සහ පේදුරු කතා කරකර හිටියේ මොකක් ගැනද? ඊට මොහොතකට කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඔබ මා කවරෙකු කියා කියන්නහුද?’ එකපාරටම පේදුරු කිව්වේ “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය” කියලයි. පේදුරුව අගය කරපු යේසුස් ඊටපස්සේ කිව්වේ සභාව ගොඩනඟන්නේ ගල යන අර්ථය ඇති පේදුරුට වඩා ශක්තිමත් පර්වතයක් මත කියලයි. ඒ පර්වතය නම් වෙන කවුරුත් නෙමෙයි පේදුරු විශ්වාස කරපු යේසුස්මයි.—මතෙව් 16:15-18.
“ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි” කියන පදය අපි තේරුම්ගන්නේ කොහොමද?
ඒ අදහසට “සභා පියවරුන්” හුඟදෙනෙක් එකඟ වෙනවා. උදාහරණෙකට 5වෙනි සියවසේ හිටිය ඔගස්ටීන් මෙහෙම ලිව්වා. “ජේසුන් වහන්සේ උත්තර දෙමින්, ‘මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නඟන්නෙමි’ කියලා කිව්වා. එහෙම කිව්වේ පේදුරු යේසුස්ට ‘ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය’ කියලා කිව්ව හින්දයි.” ඔගස්ටීන් අවස්ථා කීපයකදීම “පර්වතය (පෙට්රා) නම් යේසුස්” කියලා කිව්වා.
අද පවතින කතෝලික ඉගැන්වීමට අනුව ඔගස්ටින් සහ තවත් අයව මිථ්‍යාදෘෂ්ටිකයන් හැටියට සලකන්න ඉඩ තියෙනවා. ස්විට්සර්ලන්තයේ දේවධර්මාචාර්යවරයෙක් වන උල්රික් ලූස් කියන්නේ අද දින ඉන්න බයිබල් විශාරදයන් ඒ වගේ අදහසක් දැරුවා නම් 1870 වතිකානු කවුන්සලය දුන්න නියෝගයට අනුව ඒ අයව සලකන්නේ ධර්ම විරෝධීන් හැටියට කියලයි.
පේදුරු පළවෙනි පාප්වරයාද?
“පාප්” කියන පදවි නාමය පේදුරු අහලාවත් තිබුණේ නැහැ. 9වෙනි සියවස වෙන කල් රෝම බිෂොප්වරුන්ට අමතරව වෙනත් බිෂොප්වරුත් ඒ පදවි නාමය පාවිච්චි කෙරුවා. කොහොමවුණත් 11වෙනි සියවසේ අගභාගය වෙන කල්ම නිල පදවියක් හැටියට ඒ නම පාවිච්චි කෙරුවේ කලාතුරකින්. අනිත් එක පේදුරුට අනුප්රාප්තිකයන් හිටියා කියලා මුල් ක්‍රිස්තියානීන් හිතලවත් තිබුණේ නැහැ. ඒ නිසයි විශාරදයෙක් වන මාටින් හෙන්ජල් කිව්වේ “‘නායකයා’ පාප්වරයා කියලා කියන්න ඉතිහාසයෙවත් දේවධර්මය තුළවත් සාක්ෂි නැහැ” කියලා.
දැන් ඔයාගේ නිගමනය මොකක්ද? පේදුරු පළවෙනි පාප්වරයාද? නායකයා පාප්වරයායි කියන කතෝලික ඉගැන්වීම බයිබලට එකඟද? මේ ප්‍රශ්න දෙකට දෙන්න පුළුවන් සරලම උත්තරය නැහැ කියන එකයි. ඒත් එක දෙයක් ස්ථිරයි. යේසුස් තමන්ගේ සත්‍ය සභාව ගොඩනැඟුවේ තමන් මතමයි. (එෆීස 2:20) එහෙමනම් අපි එක් එක් කෙනා හිතලා බලන්න ඕන ‘මම සත්‍ය සභාව හඳුනගෙන තියෙනවාද’ කියලා.
a මේ ලිපියේ සමහර බයිබල් පද උපුටා දක්වලා තියෙන්නේ ‘ශුද්ධ බයිබලය - පොදු නව අනුවාදය’ කියන කතෝලික බයිබලයෙන්.