යෙහෝවා තමන් කෙරෙහි විශ්වාස කරන අයට උපකාර කරයි
1 බොහෝදෙනෙකු සිතන්නේ මුදල්, බලය සහ මිනිස් හැකියාව යනු සාර්ථකත්වයට මඟ කියායි. (ගීතා. 12:4; 33:16, 17; 49:6) කෙසේවෙතත්, යෙහෝවාට භය වෙන අයට සහ ඔහු කෙරෙහි විශ්වාසය තබන අයට ‘ඔහු උපකාර කරන බවත් ඔවුන්ගේ පලිහ’ වන බවත් නිසැකය. (ගීතා. 115:11) යෙහෝවාව විශ්වාස කරන බව පෙන්නුම් කළ යුතු පැති දෙකක් ගැන අපි සලකා බලමු.
2 ක්‍රිස්තියානි දේවසේවකයන් ලෙස: සභාවේ පැවරුම් ඉටු කරන විට හෝ ක්ෂේත්‍ර සේවයේ යෙදෙමින් උගන්වන විට, අප අපගේ දෙවි කෙරෙහි රඳා සිටිය යුතුය. යේසුස්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු දෙවිගේ පුත්‍රයා වුවද, ඔහු තමාගේම ප්‍රඥාව හෝ හැකියාව කෙරෙහි විශ්වාසය නොතබා සම්පූර්ණයෙන්ම සිය ස්වර්ගික පියාණන් කෙරෙහි රඳා සිටියේය. (යොහ. 12:49; 14:10) එසේනම් ඊටත් වඩා කොපමණ වැඩියෙන් අප එසේ කළ යුතුද! (හිතෝ. 3:5-7) අප දරන යම් යම් ප්‍රයත්නවලින් යෙහෝවාට ගෞරව කිරීමටත් අන්‍යයන්ට ප්‍රයෝජන ගෙන දීමටත් හැකි වෙන්නේ යෙහෝවාගේ ආශීර්වාදයෙන් පමණි.—ගීතා. 127:1, 2.
3 අප යෙහෝවා කෙරෙහි රඳා සිටින බව පෙන්වන්නේ ඔහුගෙන් මඟ පෙන්වීම සෙවීමෙන් හා ශුද්ධාත්මය පතා ඔහුට යාච්ඤා කිරීමෙනි. (ගීතා. 105:4; ලූක් 11:3) මීට අමතරව, අපගේ ඉගැන්වීම් ඔහුගේ වචනය වන බයිබලය මත පදනම් කිරීමෙන් අපි දෙවි කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වන්නෙමු. එහි පණිවුඩය මිනිසුන්ගේ සිත්වලට කාවදින අතර ඔවුන්ගේ ජීවිත වෙනස් කිරීමටද එයට බලය තිබේ. (හෙබ්‍රෙ. 4:12) අප ‘දෙවි සපයන ශක්තිය මත රඳා පැවත සේවය කරන’ විට යෙහෝවාව ඉන් මහිමවත් වේ.—1 පේතෘ. 4:11, NW.
4 ගැටලුවලට මුහුණ දීමේදී: ජීවිතයේ යම් යම් පීඩන හා ගැටලුවලට මුහුණ දෙන විටද අප යෙහෝවාගේ පිහිට පැතිය යුතුයි. (ගීතා. 46:1) නිදසුනක් වශයෙන්, රැකියා ස්ථානයේ ස්වාමියෙක් අපට එක්රැස්වීමකට යෑමට නිවාඩු දීමට අදිමදි කළ හැකියි. නැතහොත් අපගේ පවුල් ජීවිතයේ යම් අභියෝගාත්මක තත්වයකට අප මුහුණ දෙනවා විය හැකියි. යෙහෝවාට ඉතා උනන්දුවෙන් ඒ ගැන කන්නලව් කිරීමෙන් සහ ඔහු සිය වචනය සහ සංවිධානය තුළින් සපයන මඟ පෙන්වීම ක්‍රියාත්මක කිරීමෙන් අපට ඔහු කෙරෙහි තිබෙන දැඩි විශ්වාසය පෙන්නුම් කළ හැකියි. (ගීතා. 62:8; 119:143, 173) එසේ කිරීමෙන්, යෙහෝවාගේ සේවකයෝ තම ජීවිතවල ඔහුගේ හස්තයෙන් ලැබෙන උපකාර අද්දකිති.—ගීතා. 37:5; 118:13, 16.
5 යෙහෝවාම මෙසේ සහතික වෙයි. “යෙහෝවා කෙරෙහි විශ්වාස කොට, යෙහෝවා තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.” (යෙරෙ. 17:7) අප කරන සෑම දෙයකදීම අපි යෙහෝවාව විශ්වාස කරන බව පෙන්වමු.—ගීතා. 146:5.