යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?
යුදයේ දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළ යොහන් බව්තීස්ත නම් පුද්ගලයෙක් හිටියා කියලා සුවිශේෂ පොත්වල සඳහන් වෙනවා. ඒ වාර්තා නිවැරදියි කියලා ඔප්පු වෙන සාක්ෂි තියෙනවාද?
බයිබලයේ මෙහෙම කියනවා. “යොහන් බව්තීස්ත යූදා පාළුකරයෙහි දේශනා කරන්න පටන්ගත්තේය. ‘පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා’ කියා ඔහු පවසමින් සිටියේය.” (මතෙව් 3:1, 2) ඒ වාර්තාව නිවැරදියි කියලා ඔප්පු වෙන සාක්ෂි තියෙනවාද? ඔව්.
මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ෆ්ලේවියස් ජොසීෆස්, “යුදෙව්වන්ට ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න” කියලත් “දේවභක්තිය ඇතුව කටයුතු කරන්න” කියලත් “බව්තීස්ම වෙන්න” කියලත් උනන්දු කරපු “බව්තීස්ත කියන වාසගම ඇති යොහන්” නම් මිනිසෙක් ගැන සඳහන් කරලා තියෙනවා.—Jewish Antiquities, Book XVIII.
ගලීලයේ සහ පෙරයාවේ දේශාධිපතිව හිටිය හෙරොද් අන්තිපස් කළ වරදක් යොහන් පෙන්නලා දුන්නා කියලා බයිබලයේ සඳහන් වෙනවා. නමට යුදෙව්වෙක් වුණු හෙරොද් තමන් මෝසෙස්ගේ නීතිය පිළිපදිනවා කියලයි කිව්වේ. ඒත් හෙරොද් තමන්ගේ සහෝදරයාගේ බිරිඳව විවාහ කරගත්තා. ඒක වැරදියි කියලයි යොහන් පෙන්නලා දුන්නේ. (මාක් 6:18) බයිබලයේ සඳහන් ඒ සිද්ධිය ඇත්තක් කියලා ඔප්පු වෙන සාක්ෂි හොයාගෙන තියෙනවා.
හෙරොද් අන්තිපස් “හෙරෝදියස් සමඟ ආලෙන් බැඳුණා” කියලත් “කිසිම ලැජ්ජාවක් නැතුව ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා” කියලත් ඉතිහාසඥ ජොසීෆස් කියලා තියෙනවා. ඒ ආරාධනාව පිළිගත්ත හෙරෝදියස් තමන්ගේ සැමියාව අත්හැරලා අන්තිපස් එක්ක විවාහ වුණා.
බයිබලයේ මෙහෙම කියනවා. “යෙරුසලමේද මුළු යුදයේද යොර්දාන් ගඟ අවට මුළු ප්‍රදේශයේද වැසියෝ ඔහු වෙතට ගොස්, තමන් කර ඇති වැරදි ප්‍රසිද්ධියේ පිළිගත්තෝය. යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේදී බව්තීස්ම කළේය.”—මතෙව් 3:5, 6.
ඒ ගැනත් ජොසීෆස් සඳහන් කරලා තියෙනවා. යොහන්ව මුණගැහෙන්න “විශාල පිරිස්” ආවා කියලත් යොහන් උගන්වපු දේවල් “ඒ අයගේ හිත්වලට තදින් කාවැදුණා” කියලත් ජොසීෆස්ගේ ලියවිලිවල සඳහන් වෙනවා.
යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියන එක ගැන මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිටත් ඒ ගැන නිසැක වෙන්න පුළුවන් නේද?