විවාහ බන්ධන ශක්තිමත් කරන අයුරු
ශ්‍රේෂ්ඨ ගුරුවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව හසුකර ගන්නට වෑයම් කරමින් සිටි ඵරිසිවරු, “යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්‍ය්‍යාව අත්හැරිය යුතුදැයි [දික්කසාද කිරීම නීත්‍යානුකූල ද? NW]” යනුවෙන් ඇසුවෝ ය. උන් වහන්සේ පළමු මනුෂ්‍ය විවාහයට යොමු දක්වමින් ඔවුන්ට පිළිතුරු දුන් අතර මෙම විෂය සම්බන්ධයෙන් “දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි” පවසමින් යම් ප්‍රමිතියක් පිහිටෙවූ සේක.
මෙහි දී “ඇත්හැරීමේ පත්‍රයක්” නිකුත් කිරීමට අණ කිරීමෙන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන් බව ඵරිසිවරු තරයේ කියා සිටියහ. එවිට යේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: “නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්ය්යාවන් අත්හරින්ට [දික්කසාද කරන්ට NW] ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක. තවද මම නුඹලාට කියමි—වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්‍ය්‍යාව අත්හැර [දික්කසාද කරන්ට NW] වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය;” යනුවෙන් කීසේක.—මතෙව් 19:3-9.
මුල දී, විවාහය ස්ථිර බන්ධනයක් ව තිබිය යුතු විය. සදාකාල ජීවිතයේ අපේක්ෂාව ඇති ව ඔවුන් ව පරිපූර්ණ මනුෂ්‍යයන් හැටියට මවා තිබූ හෙයින්, මරණයේ දී පවා පළමු විවාහ යුවළ වෙන් නොකිරීමට තිබුණි. කෙසේ වෙතත්, ඔවුහු පව් කළහ. ඔවුන්ගේ පාපය මනුෂ්‍ය විවාහයට පලුදු ඇති කළේ ය. මරණයේ සතුරා විවාහක ජෝඩු වෙන් කරන්නට පටන් ගත්තේ ය. අපට බයිබලයෙන් කියවිය හැකි පරිදි, මරණය විවාහයක අවසානය හැටියට දෙවියන් වහන්සේ සලකන සේක: “භාර්‍ය්‍යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමග විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.” (1 කොරින්ති 7:39) යම් පසුකාලීන ජීවිතයක් තුළට විවාහ බන්ධනය දිගට ම පවතින බවට වූ විශ්වාසයේ පිහිටා, සිය ස්වාමිපුරුෂයා මැරෙන අවස්ථාවෙහි මැරෙන හැටියට තමාට ම ගිනි තබා ගැනීමට භාර්යාවක් ව පොලඹවනු හෝ බලකරනු ලබන, සතී පූජාව වැනි ආගමික සංකල්පවලින් මෙය ඉතා වෙනස් ය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ලද සැපයුම
මෝසෙස්ගේ ව්‍යවස්ථාව දෙනු ලැබූ කාලය වන විට, විවාහ සම්බන්ධය කොතරම් පිරිහුණු තත්ත්වයකට පත් ව තිබුණේදයත්, ඊශ්‍රායෙලිතයන්ගේ අනුකම්පා විරහිතකම සලකා යෙහෝවඃ වහන්සේ දික්කසාදය සඳහා විධිවිධාන යෙදූ සේක. (ද්විතීය කථාව 24:1) ඔවුන් සිය අසල් වැසියන්ට තමන්ට මෙන් ප්‍රේම කළ යුතු බවට වූ උන් වහන්සේගේ ආඥාවෙන් පැහැදිලි වන පරිදි, සුළු වැරදි නිසා ඊශ්‍රායෙලිතයන් දික්කසාද කිරීමට මෙම ව්‍යවස්ථාව වැරදි ආකාරයට පාවිච්චි කිරීම දෙවියන් වහන්සේගේ අරමුණ නොවී ය. (ලෙවී කථාව 19:18) දික්කසාද වීමේ සහතික පත්‍රයක් නිකුත් කිරීම ක්‍රියා කළේ ද වළක්වන්නක් හැටියට ය. මන්දයත් එම පත්‍රය ලිවීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට, දික්කසාදය ඉල්ලා සිටි ස්වාමිපුරුෂයා ඒ සඳහා බලය ලද මනුෂ්‍යයන්ගෙන් උපදෙස් ලැබිය යුතු ව තිබූ අතර ඔවුහු ද සමඟියක් ඇති කිරීමට වෑයමක් දැරූ අය වනු ඇත. නැත, “කොයියම් කාරණයක් නිසා” හෝ කෙනෙකුගේ භාර්යාව දික්කසාද කිරීමට යම් අයිතියක් දීමට දෙවියන් වහන්සේ මෙම ව්‍යවස්ථාව දුන්නේ නැත.—මතෙව් 19:3.
කෙසේ වෙතත්, අවසානයේ දී එම ව්‍යවස්ථාවේ නියම සාරය ඊශ්‍රායෙලිතයන් නොසලකා හැරිය අතර තමන්ගේ හිතුවක්කාර අදහස්වලට උචිත වූ ඕනෑ ම පදනමක් මත දික්කසාද වීමට ඔවුහු මෙම වගන්තිය ප්‍රයෝජනයට ගත්හ. පොදු යුගයට පෙර පස්වන ශතවර්ෂය වන විට, ඔවුහු සියලු ආකාර හේතු උදෙසා ඔවුන් ව දික්කසාද කරමින්, සිය යෞවන වියේ භාර්යාවන් සමඟ ද්‍රෝහිකාර ලෙස කටයුතු කරමින් සිටියහ. යෙහෝවඃ වහන්සේ දික්කසාද කිරීම පිළිකුල් කරන බව තමන් වහන්සේ ස්ථිර ව ම ඔවුන්ට පැවසූ සේක. (මලාකී 2:14-16) යේසුස් වහන්සේ දික්කසාදය හෙලා දුටුවේ උන් වහන්සේගේ දවස්වල විසූ ඊශ්‍රායෙලිතයන් තම භාර්යාවන් ව දික්කසාද කරමින් සිටි එම පසුබිමට එරෙහි ව ය.
දික්කසාදය සඳහා ඇති එක ම නීත්‍යානුකූල පදනම
කෙසේ වෙතත්, දික්කසාදය සඳහා එක් නීත්‍යානුකූල පදනමක් ඇති බව යේසුස් වහන්සේ වදාළ සේක: එනම් වේශ්යාකමයි. (මතෙව් 5:31, 32; 19:8, 9) ශුද්ධ ලියවිලිමය විවාහයෙන් පිටස්තර, තමාගේ ලිංගයේ අය, විරුද්ධ ලිංගයේ අය හෝ සත්වයෙක් සමඟ වූ නීති විරෝධී සියලු ආකාර ලිංගික සංසර්ගයන් මෙහි “වේශ්‍යාකම” හැටියට පරිවර්තනය කර ඇති වදනට ඇතුළත් වේ.
කෙසේ වෙතත්, යේසුස් වහන්සේ විවාහය තුළ විශ්වාසය කඩ කළ සහකරුවන්ගෙන් දික්කසාද වීම නිර්දේශ කරමින් සිටියේ නැත. සම්බන්ධිත ප්‍රතිඵල කිරා බලා, ඔහුට හෝ ඇයට දික්කසාදයක් උවමනා දැයි තීරණය කිරීම නිර්දෝෂ සහකරුවා සතු දෙයකි. මෙම ශුද්ධ ලියවිලි පදනම මත දික්කසාද වීම ගැන කල්පනා කරන භාර්යාවන්, පළමු ස්ත්‍රියගේ පාපය සඳහා ඇයට විනිශ්චය පැවසූ විට, දෙවියන් වහන්සේ කළ ප්‍රකාශය සලකා බලන්නට ද කැමති වනු ඇත. මරණීය දණ්ඩනයට අමතර ව, දෙවියන් වහන්සේ නිශ්චිත වශයෙන් ඒවට පැවසුවේ, “නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය” කියා ය. (උත්පත්ති 3:16) කාර්ල් එෆ් කයිල් හා එෆ්. ඩෙලිෂ් විසින් ලියන ලද කමෙන්ට්‍රි ඔන් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් මෙම “ආශාව,” “රෝගයක් හා සමාන වූ දැඩි හැඟීමක්” හැටියට විස්තර කරයි. පිළිගත හැකි ලෙසින්, මෙම ආශාව සෑම භාර්යාවක් තුළ ම එතරම් දැඩි ව පිහිටා නොමැතිමුත්, නිර්දෝෂ භාර්යාවක් දික්කසාද වීමට අදහස් කරමින් සිටින විට, කාන්තාවන් ඒවගෙන් උරුම කරගෙන ඇති චිත්ත වේගී අවශ්‍යතාවයන් ද ඇය විසින් සැලකිල්ලට ගත යුතු ය. කෙසේ වෙතත්, වැරදි සහගත කලත්‍රයාගේ පැත්තෙන් වූ විවාහයට බාහිර ලිංගික සම්බන්ධතා, ඒඩ්ස් ද ඇතුළු ව ලිංගික වශයෙන් පැතිරෙන රෝග වැළඳීමට නිර්දෝෂ කලත්‍රයා ව යොමු කළ හැකි බැවින්, යේසුස් වහන්සේ පැහැදිලි කළ ආකාරයට දික්කසාද වීමට සමහරෙක් තීරණය කර ඇත.
පවුල් කරදරවල බීජ වැපිරී
ජනයාගේ අනුකම්පා විරහිත ස්වභාවයේ පටන් ගැන්ම පළමු මනුෂ්‍ය යුවළ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ පාපය හා සම්බන්ධ ව පවතී. (රෝම 5:12) පළමු මනුෂ්‍ය යුවළ සිය ස්වර්ගීය පියාණන්ට විරුද්ධ ව පව් කළ අවස්ථාවේ දී පවුල් ආරවුල්වල බීජ වපුරනු ලැබී ය. ඒ කෙසේ ද? තහනම් ගසේ ගෙඩි කන්නට සර්පයෙක් විසින් පළමු ස්ත්‍රිය වූ ඒව ව පොලඹවනු ලැබූ අවස්ථාවේ, ඇය පසුබට වීමකින් තොර ව ම ගොස් එම ඵලය කෑවා ය. සර්පයා තමාට පැවසූ දේ පිළිබඳ ව ඇය සිය ස්වාමිපුරුෂයා සමඟ කථා කළේ ඇය එම වැදගත් තීරණය ගැනීමෙන් පසු ව ය. (උත්පත්ති 3:6) එසේ ය, ඇය ක්‍රියා කර තිබුණේ තමාගේ ස්වාමිපුරුෂයාගෙන් විමසීමකින් තොර ව ය. මෙය අද දවසේ පවුල් බොහෝමයකට මුහුණ දීමට සිදු වී තිබෙන ගැටලුවල මූලාදර්ශයකි—එනම් නොවළහා අදහස් හුවමාරු කිරීම නොමැතිකම ය.
පසු ව, තමන්ගේ පාපයේ විපාකයන්ට මුහුණ දී සිටිය දී, ආදම් සහ ඒව, අද දවසේ කරදරයට පත් ව සිටින විට බොහෝ ජෝඩු යොදා ගන්නා උපාය මාර්ගය ම, එනම්, අන් අයට දොස් පැවරීම යොදා ගත්හ. පළමු මනුෂ්‍යයා වන ආදම්, තමා කළ දෙය වෙනුවෙන් තමාගේ භාර්යාව හා යෙහෝවඃ වහන්සේ යන දෙදෙනාට ම දොස් තැබුවේ “මා සමග සිටින්නට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි” යයි පවසමිනි. ඉන් පසු ව, ස්ත්‍රිය කියා සිටියේ, “සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි” යනුවෙනි.—උත්පත්ති 3:12, 13.
ආදම් සහ ඒව කෙරෙහි යෙහෝවඃ වහන්සේගේ තීන්දු ප්‍රකාශය, ඉදිරියේ ඇති වන්නට යන කරදරවල තවත් සාධකයක් පුරෝකථනය කළේ ය. තමාගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති ඇයගේ සම්බන්ධතාවය සම්බන්ධයෙන්, “ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි” යෙහෝවඃ වහන්සේ ඒවට වදාළ සේක. අපගේ පළමු ලිපියේ සඳහන් කළ ඊසා-ඕ මෙන්, අද දවසේ බොහෝ ස්වාමිපුරුෂයෝ, සිය භාර්යාවන්ගේ හැඟීම්වලට සැලකිල්ලක් නොදක්වා අනුකම්පා විරහිත ආකාරයකට සිය භාර්යාවන් කෙරෙහි බලය පවත්වති. කෙසේ වෙතත් භාර්යාවන් බොහෝ දෙනෙක් දිගට ම සිය ස්වාමිපුරුෂයන්ගේ අවධානය ලබා ගැනීමට දැඩි ආශාවකින් සිටිති. එම ආශාව සපුරාලනු නොලැබූ විට, භාර්යාවන් එම අවධානය බලෙන් ලබා ගැනීමට තැත් කරමින් ආත්මාර්ථකාමී ව ක්‍රියා කරන්නට පුළුවන. පුරුෂයන් බොහෝ දෙනෙක් බලය අනිසි ලෙස පවත්වන බැවින් ද, ස්ත්‍රීන් බොහෝ දෙනෙක් සිය ස්වාමිපුරුෂයන්ගේ අවධානය ලබා ගැනීමට මහත් ආශාවකින් සිටින බැවින් ද ආත්මාර්ථය පැවත සමාදානය අතුරුදහන් වේ. “අද දවසේ දික්කසාදයන් විග්රහ කළ හැකි අයුරු” නමැති වාර්තාවක සන්සුකේ සෙරිසාවා කීවේ මෙසේ ය: “ ‘තමාට ඕනෑ විධියට කටයුතු කිරීම’ නමැති කාරණයේ ගැබ් වී තිබෙන ප්‍රවණතාව අප විසින් නොසලකා හැරියා නම්, අද දින දික්කසාද විග්රහ කර බැලීම හදිසියේ ම කළ නොහැකි යමක් වේවි.”
යෙහෝවඃ වහන්සේ කෙසේ හෝ තමන් වහන්සේට කීකරු වන විවාහක ජෝඩුවලට තමන්ගේ අසම්පූර්ණ තත්ත්වයන් තුළ පවා යම් ප්‍රමාණයකට විවාහ සන්තෝෂය භුක්ති විඳිය හැකි ලෙසින්, ස්වකීය වචනයෙහි මඟ පෙන්වීම සපයා ඇත. ඊසා-ඕ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කළ අතර දැන් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් සිටියි. විවාහ බන්ධනය ශක්තිමත් කිරීමට බයිබල් ප්‍රතිපත්ති ජනයාට උපකාර කරන ආකාරය අපි බලමු.
කාරණා කථා කරගන්න
විවාහයන් බොහොමයක, අදහස් හුවමාරුව නොමැතිකම, අන්‍යයන්ට දොස් පැවරීමට ඇති නැඹුරුවාව හා ආත්මාර්ථකාමී ආකල්පයන් යනාදිය ස්වාමිපුරුෂයාටත් භාර්යාවටත් එකිනෙකාගේ චිත්ත වේගයන් තේරුම් ගැනීම අපහසු කරවයි. “හැඟිම් බෙදාහදා ගැනීමේ පූර්ව අවශ්‍යතාව මත පිහිටා, කුලුපග භාවය සඳහා පරිසමාප්තියකට පත් විශ්වාසයක් අවශ්‍ය කරවයි. තව ද අද දින විශ්වාසයේ ඌනත්වයක් දක්නට ලැබේ” යයි පර්යේෂක කැරල් එස්. ඇවරි පවසන්නී ය. හවුලේ බෙදාහදා ගන්නා ලද ගැඹුරු ම හැඟීම්වල එකතුවක් එවන් විශ්වාසයක් ගොඩනගන්නේ ය. මේ සඳහා ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර නොවළහා අදහස් හුවමාරුවක් තිබීම අවශ්‍ය කරවයි.
“මනුෂ්‍යයෙකුගේ සිතේ [හෘදයේ NW] තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය,” යයි පවසමින්, කුලුපග සිතුවිලි බෙදාහදා ගැනීමක් දිරිගැන්වීමට හිතෝපදේශයන් උපහැරණයක් භාවිතා කරයි. (හිතෝපදේශ 20:5) විවාහක කලත්‍රයන් වටහා ගන්නා තත්ත්වයක සිට, සිය භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ හෘද අභ්‍යන්තරයේ ඇති සිතුවිලි ඉවතට ගත යුතු ය. ඔබගේ සහකරු කලබල වූ තත්ත්වයක සිටිනවා යයි කල්පනා කරන්න. “අද මට හරියට වැඩ තිබුණා” යයි ප්‍රතිචාරය දක්වනවා වෙනුවට, “අද ඔයාට හුඟක් වැඩ තිබුණා ද? ඉතිං ඔයා මොනව ද කළේ?” කියා කාරුණික ව නොවිමසන්නේ මන්ද? ඔබගේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට සවන් දීමට කාලය හා වෑයමක් අවශ්‍ය වුවත්, ඔබගේ කලත්‍රයා ව නොසලකා හැර, පසු ව බුර බුරා නැගෙන දැඩි චිත්ත වේගයන් සමඟ කටයුතු කරන්නට සිදු වෙනවාට වඩා, එයාකාර ව ගත කරන කාලය වඩාත් ප්‍රසන්න, තෘප්තිකර මෙන් ම කාලය ඉතිරි කිරීමක් වනු ඇත.
විශ්වාසය දිනා ගැනීමට, දෙදෙනා ම අවංක වෙමින්, අනෙක් කලත්‍රයාට තේරුම් ගත හැකි ආකාරයකට හැඟීම් ප්‍රකාශ කරන්නට වෑයම් කළ යුතු ය. “සැබෑව කථාකරපල්ලා” කියා දේව වචනය උදක් ම ඉල්ලා සිටී. “මක්නිසාද අපි එකිනෙකාට අයත් සාමාජිකයෝ” බැවිනි. (එපීස 4:25, NW) සැබෑ ව කථා කිරීම සඳහා වටහාගැනීමේ ශක්තිය අවශ්‍ය වේ. ඇතැම් විට තමාට සවන් දෙනු නොලබන්නේ යයි භාර්යාවකට හැඟෙන්නට පුළුවන. ඇය කථා කරන්නට පෙරාතුව, “තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඤාණවන්තයෙක්ය” යන හිතෝපදේශය ඇය සලකා බැලිය යුතු ය. (හිතෝපදේශ 17:27) “ඔබ මට කවදාවත් සවන් දෙන්නේ නැහැ!” කියා තමාගේ ස්වාමිපුරුෂයාට දොස් පවරනවාට වඩා, නිෂ්ඵලත්වය හා බලාපොරොත්තු රහිත භාවය තමා තුළ ලියලන්නට පෙරාතුව නිවිහැනහිල්ලේ තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීම වඩාත් යහපත් වනු ඇත. මෙහිදී ඇයට “ඔබ වැඩ අධික ව සිටින බව මම දන්නවා, එහෙත් ඔබ සමඟ තවත් ටිකක් වැඩියෙන් කාලය මට ගත කරන්නට ලැබෙනවා නම් මම ඉතාමත් සතුටු වෙනවා” වැනි යමක් පැවසීමෙන්, ඇය විසින් තමාට හැඟෙන ආකාරය එළිදරව් කරන්නට පුළුවන.
සැබවින් ම, “මන්ත්‍රණය [රහසිගත කථාබහ NW] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” (හිතෝපදේශ 15:22) ඔබගේ කලත්‍රයා ඔබට ප්‍රේම කරයි, එහෙත් ඔබ කල්පනා කරන දෙය ඇය දන්නා බව එයින් අදහස් නොකරයි. ඔබට දැනෙන ආකාරය උපායශීලී ක්‍රමයකට ඔබගේ කලත්‍රයාට ඔබ දැනගන්නට සැලැස්විය යුතු ය. “සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ [ආත්මයේ NW] එකමුතුකම පවත්වා” ගනු පිණිස ප්‍රේමනීය සකස්වීම් කිරීමට, විවාහ වූ ක්‍රිස්තියානි යුවළක් හැටියට මෙය ඔබ දෙදෙනාට ම උපකාරයක් වනු ඇත.—එපීස 4:2, 3.
ගැහැණු ටොක්කා එනම් සිය භාර්යාවගේ අණසකට යටත් සූදු ලෝලියෙකු වූ කාසුවෝ උදාහරණයක් හැටියට ගන්න. ඩොලර් සිය දහස් ගණනක් වන සේ, තමාට දැරිය නොහැකි ණය බරකට ඔහු හසු වී සිටියේ ය. තමාගේ ණය ගෙවා දැමීමට මුදල් ණයට ගැනීමෙන්, ඔහු තව තවත් ණය බරින් මිරිකෙන්නට විය. එවිට ඔහු බයිබලය ඉගෙන ගන්නට පටන් ගත් අතර අවසානයේ දී තමාගේ ගැටලු ගැන ඔහුගේ භාර්යාවට පවසන්නට අවශ්‍ය නිර්භීතකම අත්කර ගත්තේ ය. ඇයගේ චෝදනාවට මුහුණ දීමට ඔහු සූදානම් ව සිටියේ ය. කෙසේ වෙතත්, ඊටත් වඩා දීර්ඝ කාලයක් බයිබලය ඉගෙන ගනිමින් සිටි ඔහුගේ භාර්යාව සන්සුන් ව “අපට ණය ආපසු ගෙවිය හැකි මාර්ගයක් සොයා ගමු” කියා පිළිතුරු දුන් විට, ඔහු පුදුමයට පත් විය.
ඊළඟ දවසෙන් පටන් ගෙන, ඔවුන් ණය හිමියන් ව බලන්නට ගිය අතර තමන්ගේ ණය ආපසු ගෙවන්නට පටන් ගත්හ. එසේ කිරීම සඳහා ඔවුන් තමන්ගේ ගෙය ද විකුණූහ. එම ණය ගෙවා අවසන් කරන්නට වසරක් පමණ ගත විය. ඔහුගේ භාර්යාව වන කීමී ව වෙනස් කළේ කුමක් ද? ඇය මෙසේ පවසන්නී ය: “පිලිප්පි 4වන පරිච්ඡේදයේ 6වන හා 7වන වගන්ති ඇත්තෙන් ම සැබෑ ය. ‘නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද [හෘද ද NW] සිතිවිලිද [මානසික බලයන් ද NW] ආරක්ෂාකරනවා ඇත.’ ” ඇය තවදුරටත් මෙසේ ද කීවා ය: “දුෂ්කරත්වයන් තිබියදීත් මා මෙතරම් සතුටින් සිටිනවා දැකීමෙන් පුදුමයට පත් මගේ මිතුරියක්, මා සමඟ බයිබලය ඉගෙන ගන්නට පටන් ගත්තා ය.” කාසුවෝ සහ ඔහුගේ භාර්යාව ඉන් පසු ව බව්තීස්ම වූ අතර දැන් සන්තෝෂවත් විවාහ ජීවිතයක් භුක්ති විඳිමින් සිටින්නාහ.
සැබෑ ව පැවසීමෙන් එකිනෙකා ව විශ්වාස කිරීමට අමතර ව, ඉහත අත්දැකීම ලත් ස්වාමිපුරුෂයා හා භාර්යාව, තමන්ගේ විවාහ ගැටලු නිරාකරණය කිරීමට උපකාරවත් වන්නා වූ යමක් කළහ. ඔවුන් විවාහයේ මූලාරම්භකයාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ අදහස් හුවමාරු කර ගත්හ. ඔවුන් උන් වහන්සේගේ ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට තම උපරිමය කරමින්, ඉතිරිය උන් වහන්සේගේ හස්තයට භාර කරන්නේ නම්, විවාහ යුවළයන් අත්දකින්නා වූ පීඩනයන් හා දුෂ්කරත්වයන් නොසලකා, සියලු සිතුවිලි අභිබවා යන දෙවියන් වහන්සේගේ සමාදානයෙන් උන් වහන්සේ ඔවුනට ආශීර්වාද කරනු ඇත. එක් ව යාච්ඤා කිරීම විශේෂාකාර ලෙස උපකාරවත් ය. ස්වාමිපුරුෂයා පෙරමුණ ගෙන, තමා හා තම භාර්යාව මුහුණ දෙන්නා වූ ඕනෑ ම ගැටලුවකට උන් වහන්සේගේ මඟ පෙන්වීම හා මෙහෙය වීම සොයමින්, දෙවියන් වහන්සේ ඉදිරියේ ‘ඔහුගේ හදවත වැගිරවිය’ යුතු ය. (ගීතාවලිය 62:8) යෙහෝවඃ දෙවියන් වහන්සේ එවන් යාච්ඤා අසන බවට කිසිදු සැකයක් නැත.
එසේ ය, විවාහ බන්ධනය ශක්තිමත් කිරීමට හැකියාවක් ඇත. දැන් පවා, අපගේ අසම්පූර්ණත්වයන් සමඟ ව්‍යාකූල සමාජයක ජීවත් වන අතර විවාහක යුවළයන්ට තමන්ගේ සම්බන්ධතාවයන් තුළ සැලකිය යුතු ප්‍රීතියක් සොයා ගත හැකි ය. වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්, මගින් ප්‍රකාශිත ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම නම් පොතෙන් ඔබට අමතර ප්‍රායෝගික යෝජනා හා දිව්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන. එපමණක් නොව, බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට අවංක ව කටයුතු කරන විවාහ යුවළයන්, ඉතා ඉක්මනින් ම දෙවියන් වහන්සේ ඇති කරනු ලබන නව ලොවේ ප්‍රේමයෙන් එක් කරනු ලැබීමේ බලාපොරොත්තුව ද ඇති ව සිටිති.