සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?
බයිබලයේ ඒ ගැන කියන දේ
බයිබලය මානසික සෞඛ්‍යය ගැන ලියවුණු පොතක් නොවුණත් සිය දිවි හානි කරගන්න ආපු සිතුවිලිවලින් ගොඩ එන්න ඒකේ තියෙන මඟ පෙන්වීම් හුඟක් අයට උදව් වෙලා තියෙනවා. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් ඒකේ තියෙන මඟ පෙන්වීම් ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි. මොකද බයිබලය අපිට ලැබිලා තියෙන්නේ “අධෛර්යයට පත් වී සිටින අයව සනසන” දෙවියන්ගෙන්.—2 කොරින්ති 7:6.
බයිබලයේ තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීම්ද?
● ඔයාට හැඟෙන විදිහ ගැන කියන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.
ඒකේ අදහස. මනසට වධ දෙන සිතුවිලි එද්දී ඒවායින් ගොඩ එන්න අපිට අනිත් අයගේ උදව් ඕනේ.
ඔයාට හැඟෙන විදිහ ගැන කිසිම කෙනෙක්ට කියන්නේ නැතුව හිටියොත් කාලයක් ගියාම ඔයාට ඒක දරාගන්න බැරි වෙයි. හැබැයි ඔයාට හැඟෙන විදිහ ගැන ඔයා තව කෙනෙක්ට කිව්වොත් ඔයාට ලොකු සහනයක් දැනෙයි. ඔයා අද්දකින දේ ගැන වෙන විදිහකට හිතන්නත් ඒක ඔයාට උදව් වෙයි.
මෙහෙම කරලා බලන්න. ඔයාගේ හිතේ තියෙන දේ ගැන අදම පවුලේ කෙනෙක්ට හරි විශ්වාසවන්ත යාළුවෙක්ට හරි කියන්න.a ඔයාගේ හිතේ තියෙන දේ ගැන ලියන එකත් ඔයාට උදව් වෙයි.
● වෛද්‍ය උපදෙස් ගන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.
ඒකේ අදහස. අසනීප වෙද්දී අපි වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ.
ජීවිතේ නැති කරගන්න හිතෙන එක මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ශාරීරික ලෙඩක් හැදුණාම අපි ලැජ්ජා වෙන්නේ නැහැ වගේ මානසික රෝගී තත්වයක් ඇති වුණාමත් ඒ ගැන අපි ලැජ්ජා වෙන්න ඕනෙ නැහැ. ශාරීරික ලෙඩවලට ප්‍රතිකාර තියෙනවා වගේ මානසික ලෙඩවලටත් ප්‍රතිකාර තියෙනවා.
මෙහෙම කරලා බලන්න. පුළුවන් ඉක්මනින්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබාගන්න.
● දෙවියන් ඔයා ගැන සැලකිලිමත් කියලා අමතක කරන්න එපා.
බයිබලයේ මෙහෙම කියනවා. “ගේ කුරුල්ලන් පස්දෙනෙකු මිල දී ගැනීමට අවශ්‍ය වන්නේ සුළු වටිනාකමක් ඇති කාසි දෙකක් පමණයි. නමුත් දෙවිට උන්ගෙන් එකෙකුවත් අමතක වෙන්නේ නැහැ. . . . ඔබට බිය වෙන්න හේතුවක් නැහැ. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා.”—ලූක් 12:6, 7.
ඒකේ අදහස. දෙවියන්ට ඔයාව හුඟක් වටිනවා.
කිසිම කෙනෙක් ඔයා ගැන සැලකිලිමත් නැහැ කියලා ඔයාට හිතෙයි. ඒත් ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට පේනවා. ඔයාට ඔයාගේ ජීවිතේ එපා වෙලා තිබුණත් දෙවියන් ඔයා ගැන ඇත්තටම සැලකිලිමත් වෙනවා. බයිබලයේ කියනවා දෙවියන් ‘තැළුණාවූ බිඳුණාවූ හදවතක් හෙළා දකින්නේ නැහැ’ කියලා. (ගීතාවලිය 51:17) දෙවියන් ඔයාට හුඟක් ආදරෙයි. ඔයා මැරෙනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ.
මෙහෙම කරලා බලන්න. දෙවියන් ඔයාට කොයි තරම් ආදරේද කියලා තේරුම්ගන්න බයිබලයේ තියෙන තොරතුරු අධ්‍යයනය කරලා බලන්න. උදාහරණෙකට ‘යෙහෝවාට ළං වන්න’ කියන පොතේ 24වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු බලන්න.
● හිතේ තියෙන දේ දෙවියන්ට කියන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු [දෙවියන්] ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.
ඒකේ අදහස. ඔයාට හැඟෙන විදිහ ගැනත් ඔයා කනස්සලු වෙන දේවල් ගැනත් ඔහුට කියන්න කියලා දෙවියන් ඔයාට ආරාධනා කරලා තියෙනවා.
දෙවියන්ට පුළුවන් මනසේ සාමය ඇතුව ඉන්නත් ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙන දේ විඳදරාගන්නත් ඔයාට උදව් කරන්න. (ෆිලිප්පි 4:6, 7, 13) එහෙම කරන එකෙන් තමයි අවංකවම තමන්ගෙන් උපකාර ඉල්ලන අයට දෙවියන් උදව් කරන්නේ.—ගීතාවලිය 55:22.
මෙහෙම කරලා බලන්න. ඔයාගේ හිතේ තියෙන දේ ගැන අදම දෙවියන්ට කියන්න. යෙහෝවා කියන ඔහුගේ නමෙන්ම ඔහුට කතා කරන්න. (ගීතාවලිය 83:18) ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙන දේ විඳදරාගන්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න.
● දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන අනාගතය ගැන හිතන්න.
බයිබලයේ මෙහෙම කියනවා. ”අපට තිබෙන . . . බලාපොරොත්තුව අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත.”—හෙබ්‍රෙව් 6:19.
ඒකේ අදහස. කුණාටුවකට අහු වුණු නැවක් රළ පහරත් එක්කම එහෙට මෙහෙට යනවා වගේ සමහරවිට ඔයාට හැඟෙන විදිහත් එකපාරටම වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙලාවකට ඔයාට ලොකු සතුටක් දැනුණත් එකපාරටම ලොකු දුකක් දැනෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හැඟීම් පාලනය කරගන්න බයිබලයේ දීලා තියෙන බලාපොරොත්තුව ඔයාට උදව් වෙයි.
අපිට තියෙන බලාපොරොත්තුව නිකම්ම හිතින් මවාගත්ත එකක් නෙවෙයි. ඒක දෙවියන් අපිට දීලා තියෙන පොරොන්දුවක්. අපේ දුකට හේතු වෙන හැම දෙයක්ම නැති කරනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.—එළිදරව් 21:4.
මෙහෙම කරලා බලන්න. ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ 5වෙනි පාඩම කියවලා බයිබලයේ සඳහන් වෙලා තියෙන බලාපොරොත්තුව ගැන තව විස්තර දැනගන්න.
● සතුටක් ලැබෙන දෙයක් කරන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.”—හිතෝපදේශ 17:22.
ඒකේ අදහස. සතුටක් ලැබෙන දෙයක් කරද්දී අපිට මානසික සුවයක් දැනෙනවා.
මෙහෙම කරලා බලන්න. ඔයාට සතුටක් ලැබෙන දෙයක් උදාහරණෙකට මනසට සහනයක් ලැබෙන සංගීතයට සවන් දෙන එක, දිරිගැන්වීමක් ලැබෙන දෙයක් කියවන එක, විනෝදාංශයක නියැලෙන එක වගේ දෙයක් කරන්න. පුංචි විදිහකින් හරි අනිත් අයට උදව් කරන එකෙනුත් ඔයාට ලොකු සතුටක් අද්දකින්න පුළුවන් වෙයි.—ක්‍රියා 20:35.
● ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන” ලැබෙනවා.—1 තිමෝති 4:8, ‘පැරණි අනුවාදය.’
ඒකේ අදහස. ව්‍යායාම කරනවා නම්, හොඳ නින්දක් ලබාගන්නවා නම්, ගුණදායක කෑම කනවා නම් අපිට හුඟක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.
මෙහෙම කරලා බලන්න. අඩුම තරමින් විනාඩි 15ක්වත් හයියෙන් ඇවිදින්න.
● ඔයාට හැඟෙන විදිහත් ඔයා අද්දකින තත්වයනුත් වෙනස් වෙනවා කියලා මතක තියාගන්න.
බයිබලයේ මෙහෙම කියනවා. “හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැත.”—යාකොබ් 4:14.
ඒකේ අදහස. විසඳුමක් නැහැ කියලා ඔයාට හිතෙන ප්‍රශ්නයක් වුණත් කවදා හරි දවසක විසඳෙන්න ඉඩ තියෙනවා.
අද ඔයා මානසිකව බිංදුවටම වැටිලා හිටියත් හෙට ඔයාට හැඟෙන විදිහ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දේවල් දරාගන්න කරන්න පුළුවන් දේවල් කරන්න. (2 කොරින්ති 4:8) ඉක්මන් වෙලා ඔයාගේ ජීවිතය නැති කරගන්න එපා.
මෙහෙම කරලා බලන්න. මැරුණා නම් හොඳයි කියලා හිතෙන තරමටම අධෛර්යය වෙලා හිටිය අය ගැන බයිබලයෙන් කියවන්න. කාලයත් එක්කම එයාලා හිතුවෙවත් නැති විදිහට එයාලා අද්දැකපු තත්වයන් වෙනස් වුණේ කොහොමද කියලත් හිතන්න. අපි දැන් උදාහරණ කීපයක් බලමු.
මැරුණා නම් හොඳයි කියලා හිතුණු අය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?
ඔව්. එහෙම හිතුණු අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් එයාලට බැන්නේ නැහැ. ඒ වෙනුවට ඒ තත්වයෙන් ගොඩ එන්න එයාලට උදව් කළා. ඔයාටත් ඒ විදිහට උදව් කරන්න දෙවියන්ට පුළුවන්.
එලියා
● එයා කවුද? එලියා හරිම නිර්භීත අනාගතවක්තෘවරයෙක්. හැබැයි එයාත් අධෛර්යය වුණා. මොකද “එලියා අප හා සමාන හැඟීම් ඇති මිනිසෙක්” කියලයි බයිබලයේ කියන්නේ.—යාකොබ් 5:17.
● එයාට මැරෙන්න හිතුණේ ඇයි? එක අවස්ථාවකදී එලියාට ලොකු තනිකමක්, බයක් දැනුණා. එයාගේ ජීවිතේ කිසිම වටිනාකමක් නැහැ කියලා එයාට හිතුණා. ඒ නිසා එයා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා “දෙවියනි, මාව මරා දමන්න” කියලා.—1 රාජාවලිය 19:4.
● එයාට උදව් වුණේ මොකක්ද? එලියා තමන්ට හිතුණු හැම දේම දෙවියන්ට කිව්වා. දෙවියන් එයාව දිරිගැන්නුවේ කොහොමද? දෙවියන් එයාට දැනෙන්න සැලැස්සුවා ඔහු ඇත්තටම එලියා ගැන සැලකිලිමත් වෙනවා කියලා. තමන්ට කොයි තරම් බලයක් තියෙනවාද කියන එක දෙවියන් එලියාට පෙන්වලා දුන්නා. තමන්ට එලියාව හුඟක් වටිනවා කියලත් දෙවියන් එයාට සහතික කළා. ඒ වගේම එයාට උදව් කරන්න පුළුවන්, සැලකිලිමත් කෙනෙක්ව එයාගේ සහායට ලබා දුන්නා.
▸ එලියා ගැන කියවන්න. 1 රාජාවලිය 19:2-18.
යෝබ්
● එයා කවුද? යෝබ් කියන්නේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු හුඟක් පොහොසත් කෙනෙක්.
● එයාට මැරෙන්න හිතුණේ ඇයි? හිටිහැටියෙම යෝබ්ගේ ජීවිතේ උඩුයටිකුරු වුණා. එයා සතුව තිබුණු හැම දෙයක්ම එයාට නැති වුණා. එයාගේ දරුවෝ හැමෝමත් මැරුණා. හරිම වේදනාකාරී රෝගයකුත් එයාට වැලඳුණා. ඒ හැම දෙයක්ම වුණේ එයා කරපු වරදක් නිසයි කියන බොරු චෝදනාවත් එයාට එල්ල වුණා. අන්තිමේදී යෝබ් මෙහෙම කිව්වා. “මට ජීවිතය තිත්ත වී ඇත. සැමදා ජීවත් වෙන්න මා තුළ කිසි ආශාවක් නැත.”—යෝබ් 7:16.
● එයාට උදව් වුණේ මොකක්ද? යෝබ් එයාට හිතුණු විදිහ දෙවියන්ටත් අනිත් අයටත් කිව්වා. (යෝබ් 10:1-3) එයාට දයානුකම්පාවෙන් සලකපු යාළුවෙක් වුණු එලිහු එයාව දිරිගැන්නුවා. වෙලා තියෙන දේවල් ගැන එයා හිතපු විදිහ වෙනස් කරගන්නත් එයාට උදව් කළා. හැම දේටම වඩා යෙහෝවා දෙවියන් එයාට ලබා දුන්න උපදෙස් සතුටින් පිළිගත්ත එක එයා හිටපු තත්වයෙන් ගොඩ එන්න යෝබ්ට උදව් වුණා.
▸ යෝබ් ගැන කියවන්න. යෝබ් 1:1-3, 13-22; 2:7; 3:1-13; 36:1-7; 38:1-3; 42:1, 2, 10-13.
මෝසෙස්
● එයා කවුද? අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට වැඩ කරපු මෝසෙස් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු අනාගතවක්තෘවරයෙක්.
● එයාට මැරෙන්න හිතුණේ ඇයි? මෝසෙස්ට ලැබුණු පැවරුම සුළුපටු එකක් නෙවෙයි. සෙනඟ එයාව දිගින් දිගටම විවේචනය කළා. එයා හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. ඒ නිසා එයා දෙවියන්ට කිව්වා “මාව මරා දමන එක ඊට වඩා හොඳයි” කියලා.—ගණන් කතාව 11:11, 15.
● එයාට උදව් වුණේ මොකක්ද? තමන්ට හැඟුණු හැම දේම මෝසෙස්, දෙවියන්ට කිව්වා. මෝසෙස්ට කරන්න තිබුණු වැඩ කොටස ඉටු කරන්න තවත් අයව සහායට දීලා මෝසෙස්ට දැනුණු පීඩනය අඩු කරන්න දෙවියන් පියවර ගත්තා.
▸ මෝසෙස් ගැන කියවන්න. ගණන් කතාව 11:4-6, 10-17.
(ගීතාවලිය 138:3; යෙසායා 40:29-31 පදත් බලන්න.)
a ජීවිතේ නැති කරගන්න ඕනෙ කියලා ඔයාට තදින්ම දැනෙන වෙලාවක ආදරේ කරන කෙනෙක් ළඟ පාතක නැත්නම් ඉක්මනින්ම ළඟම තියෙන රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයට හරි හදිසි ඇමතුම් ඒකකයට හරි කතා කරලා උදව් ලබාගන්න.