අදදින අපගේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර
බයිබලය අදදිනට අදාළ වෙනවාද? ඔව් කියා කීමට නම්, අද උනන්දුවට ලක් වන හා අදට අදාළ වන විෂයන් සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම මේ ඉපැරණි පොත එහි පාඨකයන්හට මඟ පෙන්වීමක් සැපයිය යුතුයි. අද ලෝකයෙහි පවතින සැබෑ වැදගත්කමක් ඇති විෂයන් සම්බන්ධයෙන් බයිබලයෙහි ප්‍රයෝජනවත් උපදෙස් සපයනවාද?
වත්මන් ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් අපි සලකා බලමු. එසේ කරද්දී, මේ සම්බන්ධයෙන් බයිබලය පවසන දේ අපි පරීක්ෂා කර බලමු.
දෙවි දුක් විඳීමට ඉඩහැර තිබෙන්නේ මන්ද?
අදදින ලෝක තත්වයන් ගැන කල්පනා කර බලන විට, වැඩියෙන්ම අසන ප්රශ්නය මෙයයි: දෙවි අහිංසක මිනිසුන්ට දුක් විඳින්න ඉඩහැර තිබෙන්නේ මන්ද? මිනිස්සු ප්‍රචණ්ඩකාරි අපරාධ, දූෂණය, සමූළඝාතන, පෞද්ගලික ඛේදවාචක වැනි දේවල්වලට වැඩි වැඩියෙන් ගොදුරු වන නිසා මේ ප්රශ්නය ඇසීම සාධාරණයි.
උදාහරණයක් වශයෙන්, 1998 ජූනිවලදී උතුරු ජර්මනියේ ශීඝ්‍රගාමි දුම්රියක් පාලමක හැපීමෙන් මඟීන් සියයකට වඩා මරුමුවට පත් වුණා. තුවාලකරුවන් හා මියගිය අය සම්බන්ධයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් හා ගිනි නිවන භටයන් පවා මෙම ඝාතනය හේතුවෙන් සිත්තැවුලට පත් වුණා. එවැන්ජලිස්ත සභාවේ බිෂොප්වරයෙක් මෙසේ ඇසුවා: “අනේ දෙවියනි, ඇයි මේ වගේ දෙයක් සිද්ධ වුණේ?” බිෂොප්වරයාටම උත්තර නැහැ.
හේතුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැතිව අහිංසක ජනතාව දුක් විඳින විට, සමහර අවස්ථාවලදී මොවුන්ට ජීවිතය තිත්ත වන බව එම අද්දැකීමෙන් පෙන්වනවා. අහිංසක ජනයා දුෂ්ටකමට හා දුක් විඳීමට යටත් වන්නේ ඇයි කියා පැහැදිලි කිරීමට බයිබලයට හැකි නිසා, උපකාර කරන්න එයට හැකියි.
යෙහෝවා දෙවි පොළොව හා එහි ඇති සියල්ල මැවූ විට, දුෂ්ටකම හා දුක් විඳීම හේතුවෙන් මනුෂ්‍යයන් කරදරයට පත්වීමක් අදහස් කළේ නැහැ. අපට ඒ ගැන සහතික විය හැක්කේ කෙසේද? මන්ද තම මැවීම සම්පූර්ණ කළ විට, ‘දෙවි තමන් සෑදූ සියල්ලම දුටුවා, ඒ ඉතා යහපත්ව තිබුණා.’ (උත්පත්ති 1:31) ඔබෙන්ම මෙසේ අසාගන්න, ‘යම් දුෂ්ට දෙයක් මට දකින්න ලැබුණොත්, ඒක “ඉතා යහපත්ව” තිබුණා කියලා මම කියයිද?’ කොහෙත්ම නැහැ! ඒ ආකාරයෙන්ම, සියල්ල “ඉතා යහපත්ව” තිබුණා කියා දෙවි පැවසූ විට, පොළොවේ දුෂ්ටකමේ සේයාවක්වත් තිබුණේ නැහැ. එසේනම් දුෂ්ටකම පටන්ගත්තේ කවදාද, කෙසේද?
අපේ මුල් දෙමාපියන් වන ආදම් හා ඒවව මවා ටික කලකට පසුව, බලවත් ආත්ම මැවිල්ලක් ස්ත්‍රිය වෙත පැමිණ, යෙහෝවාගේ සත්‍යතාව සහ ඔහුගේ පරමාධිපත්‍යයේ අයිතිය පිළිබඳව අභියෝග කළා. (උත්පත්ති 3:1-5) විරුද්ධවාදිකම් යටතේ මනුෂ්‍යයන් දෙවිට පක්ෂපාතව සිටින්න යන්නේ නැතැයි කියා සාතන් නම් යක්ෂයා බවට පත් වූ මේ මැවිල්ල පසුව කියා සිටියා. (යෝබ් 2:1-5) මේ තත්වයට යෙහෝවා ප්‍රතික්‍රියා කළේ කෙසේද? මනුෂ්‍යයන්ට ස්වාධීනව තමන්ගේ පියවර සාර්ථකව එසවිය නොහැකි බව ප්රත්යක්ෂ කර දීමට ඔහු කාලයක් ගතවීමට ඉඩහැරියා. (යෙරෙමියා 10:23) දෙවිගේ මැවිලි ඔහුගේ නීති හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන විට, එයින් පාපය සිදු වන අතර මෙය හානිදායක තත්වයන් බිහි කරයි. (දේශනාකාරයා 8:9; 1 යොහන් 3:4) කෙසේනමුත්, මෙම හානිදායක තත්වයන් තිබුණත්, ඇතැම් මනුෂ්‍යයන් තමා වෙත අඛණ්ඩතාව පවත්වාගනියි කියා යෙහෝවා දැනගෙන සිටියා.
ඒදන්හි එදා සිද්ධ වූ දුක්ඛදායක කැරැල්ලේ සිට වසර 6,000ක් පමණ ගෙවී ගොස් ඇත. එය වුවමනාවට වඩා දීර්ඝ කාලයක්ද? යෙහෝවාට සාතන්ව හා ඔහුගේ සහායකයන්ව සියවස් ගණනකට පෙර විනාශ කර දමන්න හැකියාව තිබුණා. නමුත් යෙහෝවාගේ පරමාධිපත්‍යයේ අයිතිය පිළිබඳව හා මනුෂ්‍යයන් ඔහුට දක්වන අඛණ්ඩතාව පිළිබඳව සිතාගත හැකි සෑම සැකයක්ම පහ වන තුරු බලා සිටීම වඩා හොඳ දෙය වී නැද්ද? වත්මන් විනිශ්චමය ක්‍රම සම්බන්ධයෙන් බැලුවොත්, නඩු විභාගයකදී නිවැරදිකරු හා වරදකරු කවුද කියා ඔප්පු කිරීමට වසර ගණනාවක් ගත වන බව සත්‍යයක් නොවේද?
යෙහෝවා හා මනුෂ්‍යවර්ගයා මුහුණ දෙන විශ්වයේ පරමාධිපත්‍යය හා මනුෂ්‍යයන්ගේ අඛණ්ඩතාව පිළිබඳ ප්රශ්නවල වැදගත්කම සලකා බලද්දී, කාලයක් ගෙවී යෑමට දෙවි ඉඩහැරීම කෙතරම් ඥානවන්ත දෙයක්ද! මනුෂ්‍යයන් දෙවිගේ නීති ගණනකට නොගෙන, තමන්ගේ කටයුතු තමන්ට රිසි පරිදි කරන විට සිදු වන්නේ කුමක්ද කියා දැන් අපට පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා නපුරු දේවල් පැතිර තිබෙනවා. ඒ නිසයි අදදින මෙපමණ අහිංසක ජනතාවක් දුක් විඳිමින් සිටින්නේ.
එහෙත්, දුෂ්ටකම සදහටම නොපවතින බව දේවවචනයේ සඳහන් කර තිබීම සන්තෝෂයට කරුණක්. ඇත්තවශයෙන්ම, ඉතා ළඟදීම යෙහෝවා නපුරු දේවලට හා ඒවා සිදු කරන අයට අවසානයක් ගෙනෙන්න යනවා. “දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය” කියා හිතෝපදේශ 2:22 පවසනවා. අනික් අතට බලද්දී, ‘මැරෙන්නේ, වැලපෙන්නේ, හඬන්නේ, වේදනා විඳින්නේ නැති’ දවසක් නුදුරු අනාගතයේදී එන තෙක් දෙවිට විශ්වාසවන්තව සිටින අයට ආශාවෙන් බලා සිටිය හැකියි.—එළිදරව් 21:4.
එසේනම්, අහිංසක අය වේදනා විඳින්නේ මන්ද කියා බයිබලයේ පැහැදිලිව විස්තර කරනවා. නපුර හා දුක් විඳීම ළඟදීම අවසන් වන බවත් එය අපට ස්ථිරයෙන්ම කියා සිටිනවා. කෙසේවෙතත්, ජීවිතයේ වත්මන් දුෂ්කරතාවන්ට අපි මුහුණ දෙන විට, තවත් වැදගත් ප්‍රශ්නයකට අපට උත්තර අවශ්‍යයි.
ජීවිතයේ අරමුණ කුමක්ද?
සමහරවිට මනුෂ්‍යවර්ගයාගේ ඉතිහාසයේ වෙනත් ඕනෑම කාලයකට වඩා දැන් ජීවිතයේ අරමුණ සොයාගැනීමට ජනයා වෑයම් කරමින් සිටිනවා. බොහෝදෙනෙක් තමන්ගෙන්ම මෙසේ අසාගන්නවා: ‘ඇයි මම ජීවත් වෙන්නේ? මගේ ජීවිතයේ අර්ථය සොයාගන්න මට පුළුවන් වෙන්නේ කොහොමද?’ විවිධ තත්වයන් නිසා මේ ප්‍රශ්න ඇසීමට ඔවුන් පෙලඹෙනවා.
පෞද්ගලික ඛේදවාචකයක් හේතුවෙන් කෙනෙකුගේ ජීවිතයේ බලාපොරොත්තු සියල්ල සිඳී බිඳී යා හැකියි. උදාහරණයක් වශයෙන්, 1998 මුල් භාගයේදී, ජර්මනියේ බැවේරියාහි විසූ 12-හැවිරිදි දැරිවියකව පැහැරගෙන ගොස් මරා දමනු ලැබුවා. ඇයගේ මව සෑම දවසක්ම පාසා ජීවිතයේ අරමුණක් සොයමින් සිටියත් ඉන් කිසිම ඵලක් නොවුණ බව වසරකට පසුවත් ඇය පවසා සිටියා. ජීවිතයේ අරමුණ ගැන කල්පනා කිරීමට ඇතැම් යෞවනයන් පෙලඹී තිබෙනවා. ඔවුන් ආරක්ෂාව හා සෑහීමට පත්වීමක් සොයා යන අතර තමන්ව පිළිගනියි කියා බලාපොරොත්තු වන නමුත්, අන්තිමේදී සිදු වන්නේ පැතිර පවතින කුහකකම හා දූෂණය හමුවේ බලාපොරොත්තු සුන්වීම පමණයි. වෙනත් පුද්ගලයන් තමන්ගේ ජීවිත තම වෘත්තිය වටා ගොඩනංවන නමුත්, තමන්ගේ පැවැත්මට හේතුවක් සෙවීමට ඇති ඇතුළාන්ත නැඹුරුවාව තෘප්තිමත් කරගැනීමට බලයට, කීර්තියට හා තමන් සතු දේට නොහැකි බව ඔවුන් සොයාගන්නවා.
ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් විමසා බැලීමට පුද්ගලයෙකුව පොලඹවන්නේ කුමක් වුවත්, මේ ප්‍රශ්නයට බැරෑරුම් හා සෑහීමක් ගෙන දෙන උත්තරයක් අවශ්‍ය වෙනවා. නැවත වරක්, බයිබලයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකියි. යෙහෝවා අරමුණේ දෙවිකෙනෙක් හැටියටත්, ඔහු කරන සෑම දෙයක්ම හොඳ හේතුවක් ඇතුව කරන කෙනෙක් හැටියටත් එහි ඔහුව හඳුන්වනවා. හේතුවක් නැතුව ඔබ නිවසක් තනනවාද කියා අපි ඔබෙන් අසන්න කැමතියි. එසේ විය නොහැකියි. මන්ද නිවසක් තැනීමට සෑහෙන මුදලක් යට කරන්න සිදු වෙන අතර ඒ සඳහා මාස හෝ වසර ගණනක් ගත වන බැවිනි. ඔබ නිවසක් තනන්නේ ඔබට හෝ වෙනත් කෙනෙකුට එහි ජීවත් විය හැකි වන පිණිසයි. යෙහෝවා සම්බන්ධයෙනුත් එම තර්කයම යොදාගත හැකියි. ඔහු පොළොව හා එහි ජීවීන් මැව්වේ කිසි හේතුවක් නැත්නම් අරමුණක් නැතුව නොවෙයි. (හෙබ්‍රෙව් 3:4 සසඳන්න.) පොළොව සඳහා ඔහුගේ අරමුණ කුමක්ද?
යෙසායාගේ අනාවැකියේ යෙහෝවාව හඳුන්වන්නේ ‘පොළොව මවා සෑදූ දෙවි [සැබෑ දෙවි, NW]’ හැටියටයි. ඇත්තෙන්ම, ඔහු, ‘එය [පොළොව] පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවිය.’ (යෙසායා 45:18) ඔව්, පොළොව මැවූ දා පටන්, එහි ජනයා වාසය කිරීම යෙහෝවාගේ අරමුණ වී තිබෙනවා. ගීතාවලිය 115:16 මෙසේ පවසනවා: ‘ස්වර්ග වනාහි යෙහෝවාගේ ස්වර්ගය; නුමුත් පොළොව ඔහු මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නේය.’ මෙබැවින් බයිබලයේ පෙන්වන්නේ, පොළොව ගැන සැලකිලිමත් වන කීකරු මනුෂ්‍යයන්ගෙන් ජනාවාස කිරීමට යෙහෝවා පොළොව මවා තිබෙන බවයි.—උත්පත්ති 1:27, 28.
ආදම් සහ ඒවගේ කැරලිගැසීම යෙහෝවාට තම අරමුණ වෙනස් කරගැනීමට සැලැස්සුවාද? නැහැ. අපට ඒ ගැන ස්ථිර විය හැක්කේ කෙසේද? හොඳයි, මේ කාරණය සලකා බලන්න: ඒදන්හි කැරලිගැසීමෙන් වසර දහස් ගණනකට පසුවයි බයිබලය ලියනු ලැබුවේ. දෙවි ඔහුගේ මුල් අරමුණ පසෙකට දමා තිබුණා නම්, බයිබලයේ ඒ ගැන සඳහන් කර නැත්තේ මන්ද? පැහැදිලිවම, පොළොව හා මනුෂ්‍යවර්ගයා සඳහා ඔහුගේ අරමුණ නොවෙනස්ව පවතින නිසයි.
එපමණක්ද නොව, යෙහෝවාගේ අරමුණ කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. යෙසායා මාර්ගයෙන් දෙවි මෙම සහතිකය දෙනවා: “එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.”—යෙසායා 55:10, 11.
දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ
එසේනම්, කීකරු මනුෂ්‍යයන්ගෙන් සදහටම පොළොව ජනාවාස කිරීමට වූ දෙවිගේ අරමුණ ඉටුවීම කෙරෙහි අපට නිසැකකමක් තබාගත හැකි බව පැහැදිලියි. සදාකාලිකව පොළොව මත ජීවත් වීමට වරප්‍රසාද ලබන අය අතරේ සිටීමට අපටත් වුවමනා නම්, ඥානවන්ත සාලමොන් රජ පැවසූ දේ අප කළ යුතුයි: ‘දෙවිට භයව ඔහුගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.’—දේශනාකාරයා 12:13; යොහන් 17:3.
මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් යෙහෝවාගේ අරමුණට එකඟව ජීවත් වීම යන්නෙන් අදහස් කරන්නේ, සැබෑ දෙවිව දැනගැනීම හා ශුද්ධ ලියවිලිවල සඳහන් ආකාරයට ඔහුගේ අවශ්‍යතාවන්ට අනුකූල වීමයි. අපි දැන් මේ අනුව ක්‍රියා කරනවා නම්, පාරාදීස පොළොවක සදාජීවනය පිළිබඳ බලාපොරොත්තුව ඇතුව සිටීමට අපට හැකියි; එහිදී අපි දෙවි ගැනත්, ඔහුගේ මවිතාකාර නිර්මාණයන් ගැනත් නොකඩවා අලුත් දේවල් ඉගෙනගැනීමට යනවා. (ලූක් 23:43) මොනතරම් ප්‍රමුදිත බලාපොරොත්තුවක්ද!
ජීවිතයට අරමුණක් සොයන බොහෝදෙනෙක් බයිබලය වෙතට යොමු වන අතර, දැන් පවා ඉමහත් සන්තෝෂයක් අද්දකිනවා. උදාහරණයක් වශයෙන්, ඇල්ෆ්රෙඩ් නම් තරුණයාට ජීවිතයේ අරුත සොයාගන්න බැරි වුණා. යුද්ධවලට ආගම් හවුල්ව සිටීම නිසා කලකිරීමට පත් වූ ඔහු දේශපාලනයෙහි කුහකකම හා දූෂණය සම්බන්ධයෙන් සිත්තැවුලට පත් වුණා. ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් ඥානාවබෝධයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් උතුරු අමෙරිකාවේ ඉන්දියානුවන්ව බැහැදකින්න ගිය ඇල්ෆ්රෙඩ්ට අන්තිමේදී යළිත් යුරෝපය කරා යෑමට සිදු වුණේ බිඳ වැටුණු බලාපොරොත්තු ඇතුවයි. බලාපොරොත්තු සුන් වූ ඔහු මත්ද්‍රව්‍ය හා අශිෂ්ට සංගීතය දෙසට හැරුණා. කෙසේවෙතත්, ඇල්ෆ්රෙඩ්, බයිබලය නිතිපතා සහ පරෙස්සමින් පරීක්ෂා කර බැලූ අතර, ජීවිතයේ සැබෑ අරමුණ වටහාගන්නත්, සෑහීමකට පත් වෙන්නත් පසුව එය ඔහුට උපකාරවත් වුණා.
අපේ ගමන් මඟට එළියක්
එසේනම්, බයිබලය ගැන අපට කුමන නිගමනයකට එළඹිය හැකිද? එය අදදිනට අදාළ වෙනවාද? වත්මන් ප්‍රශ්න සම්බන්ධයෙන් එය මඟ පෙන්වීමක් ලබා දෙන නිසා, ඇත්තෙන්ම එය අදාළ වෙනවා. දුෂ්ටකම දෙවිගෙන් නොවන බව පැහැදිලි කරන බයිබලය, ජීවිතයට සෑහීම ගෙන දෙන අරමුණක් සොයාගැනීමට අපට උපකාර කරනවා. එපමණක්ද නොව, අදදින සෑහෙන උනන්දුවක් දක්වන වෙනත් කාරණා ගැනත් බයිබලයේ බොහෝ දේවල් පවසනවා. විවාහය, දරුවන් ඇති දැඩි කිරීම, මානව සබඳතා සහ මළවුන්ට ඇති බලාපොරොත්තුව වැනි විෂයන් සම්බන්ධයෙන් දේවවචනයෙහි පවසා තිබෙනවා.
ඔබ දැනටමත් එසේ කර නැත්නම්, බයිබලයේ අඩංගු කාරණා පරෙස්සමින් පරීක්ෂා කර බලන්න. ජීවිතය සඳහා එහි මාර්ගෝපදේශයන්ගේ සැබෑ අගය සොයාගත් දවසක ඔබට ගීතිකාකරුට මෙන් හැඟීමට ඉඩ තිබෙනවා; ඔහු මඟ පෙන්වීම සඳහා යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටිමින් මෙසේ ගැයුවා: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.
[6වන පිටුවේ පින්තූරය]
දෙවි අහිංසක මිනිසුන්ට දුක් විඳින්න ඉඩහැර තිබෙන්නේ මන්ද කියා ඔබ දන්නවාද?
[7වන පිටුවේ පින්තූරය]
ඔබට අරමුණක් සහිත ජීවිතයක් භුක්ති විඳිය හැකියි