ඒදන් උයන ගැන විශ්වාස කිරීම කොතරම් වැදගත්ද?
උත්පත්ති පොත හැරුණු කොට ඒදන් උයන සහ ඊට අදාළ අනිකුත් විස්තර ගැන බයිබලයේ වෙනත් ස්ථානවල සඳහන් වෙන්නේ නැහැ කියා විශාරදයන් කියා සිටිනවා. උදාහරණයකට මහාචාර්ය පොල් මොරිස් පැවසුවේ, “බයිබලයේ වෙනත් පොත්වල ඒදන් උයන ගැන සඳහන් වෙන්නේ නැහැ” කියායි. ඒ අදහස නිවැරදියි කියා ඔබ සිතනවාද?
උත්පත්ති පොතට අමතරව බයිබලයේ වෙනත් පොත්වලත් ආදම්, ඒව, ඒදන් උයන සහ සර්පයා පිළිබඳව සඳහන් වී තිබෙනවා.a නමුත් උත්පත්ති පොතේ සඳහන් විස්තරය පිළිගත නොහැකි කියා ආගමික නායකයන් සහ ඇතැම් ප්‍රවීණයන් කියා සිටින්නේ එවැනි සාක්ෂි සැලකිල්ලට නොගෙනයි. එය සුළුපටු දෙයක් නොවෙයි. මන්ද එසේ චෝදනා නැඟීමෙන් ඔවුන් කරන්නේ බයිබලයේ විශ්වාසවන්තභාවය ප්‍රශ්නයකට ලක් කිරීමයි.
ඒදන් උයන සහ එහි සිදු වූ දේ හරි හැටි අවබෝධ කර නොගන්නා කෙනෙකුට බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම් තේරුම්ගත නොහැකියි. ඇත්තෙන්ම ජීවිතයේ අපට මතු වන ඉතාමත් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ඇතුළත් වන්නේ බයිබලයෙයි. එවැනි ප්‍රශ්නවලට බයිබලයේ සපයා ඇති පිළිතුරු දැනගැනීමට නම් ඒදන් උයනේ සිදු වූ දේ අපි හරි හැටි තේරුම්ගෙන සිටීම අත්‍යවශ්‍යයි. උදාහරණ කිහිපයක් සලකා බලන්න.
● මිනිසුන් මහලු වී මිය යන්නේ ඇයි? යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ සදහටම මේ පොළොව මත ජීවත් වීම සඳහායි. නමුත් ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසුවොත් අනිවාර්යයෙන්ම මරණය අද්දකින්න සිදු වන බව දෙවි පැවසුවා. කනගාටුදායක ලෙස ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසුවා. (උත්පත්ති 2:16, 17; 3:19) එමනිසා ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවත එන මුළු මිනිස් වර්ගයාටත් මහලු විය සහ මරණය උරුම වුණා. බයිබලයේ එය විස්තර කර තිබෙන්නේ මෙසේයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.
● මෙතරම් දුෂ්ටකම් සිදු වීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි? ඒදන් උයනේදී යක්ෂයා ඒවට පැවසුවේ දෙවි මිනිසුන්ට යහපත් දේවල් නොදෙන නරක පුද්ගලයෙක් කියායි. (උත්පත්ති 3:3-5) යක්ෂයා ඉන් ඇඟෙව්වේ යෙහෝවා දෙවි හොඳ පාලකයෙකු නොවන බවයි. ඉන් මුළාව ගිය ආදම් සහ ඒව යක්ෂයා සමඟ හවුල් වී දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළා. ඔවුන් දෙදෙනා උත්සාහ කළේ දෙවිගේ මඟ පෙන්වීමක් නොමැතිව හොඳ සහ නරක කුමක්ද කියා තනිවම තීරණය කරන්නයි. දෙවි ඉතා ප්‍රඥාවන්ත නිසාත් සාධාරණ නිසාත් ඒ ප්රශ්නය නිරාකරණය කළ යුතු හොඳම ක්‍රමය කුමක්ද කියා ඔහු දැන සිටියා. එමනිසා මිනිසුන්ට තමන්වම පාලනය කරගෙන සාර්ථක විය හැකිද කියා දැනගැනීමට ඔහු ඇති තරම් කාලය දුන්නා. පොළොවේ මෙතරම් දුෂ්ට දේවල් සිදු වෙන්නේ ඒ නිසයි. ඉන් ඔප්පු වී තිබෙන්නේ මිනිසාට දෙවිගේ පාලනය නොමැතිව කිසිදාක සාර්ථක විය නොහැකි බවයි.—යෙරෙමියා 10:23.
● අනාගතයේදී දෙවි මේ පොළොවට කරන්නේ කුමක්ද? ඒදන් උයන නිර්මාණය කිරීමෙන් දෙවි පෙන්නුම් කළේ මේ පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමට වූ තම අරමුණයි. ආදම් සහ ඒවට දෙවි පැවසුවේ දරුවන් බිහි කර ගණනින් වැඩි වී මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කරවන්න කියායි. එමෙන්ම පොළොව “රැකබලා ගන්න” කියාත් දෙවි ඔවුන්ට පැවසුවා. (උත්පත්ති 1:28) ඉන් පෙනී යන්නේ මිනිසුන් සියලුදෙනාටම එකා මෙන් සන්තෝෂයෙන් ජීවත් විය හැකි පාරාදීසයක් බවට මේ පොළොව පත් කරන්න දෙවි කැමති බවයි. යෙහෝවා දෙවි ඒ අරමුණ ඉටු කිරීමට යන ආකාරය ගැන බයිබලයේ බොහෝ තොරතුරු සඳහන් වෙනවා.
● යේසුස් මේ පොළොවට ආවේ ඇයි? ආදම් සහ ඒව නිසා මිනිස් වර්ගයාට මරණය උරුම වුණත් ඉන් අපව ගලවාගැනීමට යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටි යේසුස්ව මේ පොළොවට එව්වා. (මතෙව් 20:28) බයිබලයේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ “අන්තිම ආදම්” ලෙසයි. (1 කොරින්ති 15:22, 45) ආදම් හා සමානව යේසුස්ද පරිපූර්ණ කෙනෙක්. නමුත් ආදම්ට වඩා වෙනස්ව යේසුස් අවසානය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුගේ ජීවිතය පූජා කළා. එමනිසා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබන අයට ආදම් සහ ඒව මුලින් ඒදන් උයනේදී භුක්ති වින්දා හා සමාන ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳින්න අවස්ථාව තිබෙනවා. (යොහන් 3:16) යේසුස් ඔහුගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීමෙන් මේ මුළු පොළොවම යළි පාරාදීසයක් බවට පත් කිරීමට වූ දෙවිගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වන බවට සහතිකයක් දුන්නා.b
අපේ අනාගතය සම්බන්ධයෙන් දෙවි ලබා දී තිබෙන පොරොන්දු තේරුම්ගන්න බැරි, අපහැදිලි ඒවා නොවෙයි. ළඟදීම ඒ පොරොන්දු සියල්ල ඉටු වෙනවා. ඒදන් උයන ආදම් සහ ඒවට නිවහනක් වූ සැබෑ ස්ථානයක් වූවා හා සමානව දෙවිගේ පොරොන්දුද සැබෑයි. ඒ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න ඔබත් කැමතිද? යෙහෝවා දෙවි ආශාවෙන් සිටින්නේ සියලුම මිනිසුන් එනම් දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් නොවන අය පවා තම ජීවිත වෙනස් කරගෙන ඒ ප්‍රීතිමත් පොරොන්දුවල ඉටු වීම අද්දකිනවාටයි.—1 තිමෝති 2:3, 4.
මදකට මේ ගැන සිතන්න. යේසුස්ව වධකණුවේ ඇණ ගසා තිබූ අවස්ථාවේ ඔහු අසලින්ම ඇණ ගසා සිටි එක් අපරාධකරුවෙක් සහනය පතා යේසුස් සමඟ කතා කළ විට යේසුස් ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා.’ (ලූක් 23:43) වැරදි කළ අපරාධකරුවෙක් පවා පාරාදීස පොළොවේ සන්තෝෂයෙන් ඉන්නවාට යේසුස් කැමති වුණා. එසේනම් ඔබත් පාරාදීසයේ සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්න යේසුස් සහ යෙහෝවා දෙවි කැමති වන්නේ නැද්ද! ඒ පාරාදීස පොළොවේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඔබත් කැමති නම් ඒදන් උයන නිර්මාණය කළ ප්‍රේමණීය යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න.
[පාදසටහන්වල]
a ආදම්, ඒව, ඒදන් උයන සහ සර්පයා පිළිබඳව බයිබලයේ සඳහන් වන ස්ථාන. උත්පත්ති 13:10; ද්විතීය කතාව 32:8; 2 සාමුවෙල් 7:14; 1 ලේකම් 1:1; යෙසායා 51:3; එසකියෙල් 28:13; 31:8, 9; ලූක් 3:38; රෝම 5:12-14; 1 කොරින්ති 15:22, 45; 2 කොරින්ති 11:3; 1 තිමෝති 2:13, 14; යූද් 14; එළිදරව් 12:9.
b යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 5වන පරිච්ඡේදය බලන්න.
[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බයිබලයේ අගත් මුලත් යා කරන අනාවැකිය
“ඔබ [සර්පයා] සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.”—උත්පත්ති 3:15.
ඒදන් උයනේදී යෙහෝවා දෙවි පැවසූ මුල්ම අනාවැකිය එයයි. එම අනාවැකියේ සඳහන් සර්පයාගෙන්, ස්ත්‍රියගෙන්, සර්පයාගෙන් පැවත එන්නන්ගෙන් සහ ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාගෙන් නියෝජනය වන්නේ කාවද? එමෙන්ම හිස පොඩි කිරීම සහ විලුඹ පොඩි කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
සර්පයා:
සර්පයාගෙන් නියෝජනය වන්නේ යක්ෂයාවයි.—එළිදරව් 12:9.
ස්ත්‍රිය:
ස්ත්‍රියගෙන් නියෝජනය වන්නේ දේවදූතයන්ගෙන් සමන්විත ස්වර්ගයේ පිහිටි යෙහෝවා දෙවිගේ සංවිධානයයි. (ගලාති 4:26, 27) ඒ ‘ස්ත්‍රියගෙන්’ බොහෝ දරුවෝ බිහි වෙනවා කියා බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 54:1; 66:8.
සර්පයාගෙන් පැවත එන්නන්:
සර්පයාගෙන් පැවත එන්නන්ගෙන් නියෝජනය වන්නේ යක්ෂයාගේ පැත්තේ සිටින අයවයි.—යොහන් 8:44.
ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා:
ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු හා එක් වී ස්වර්ගයේ පාලනය කිරීමට නියමිත පිරිසක්ද සිටිනවා. ඒ අයව ‘දෙවිගේ ඊශ්‍රායෙල්’ කියා බයිබලයේ හඳුන්වා තිබෙනවා.—ගලාති 3:16, 29; 6:16; උත්පත්ති 22:18.
විලුඹ පොඩි කිරීම:
විලුඹ පොඩි කිරීමෙන් සංකේතවත් කරන්නේ යේසුස්ගේ මරණයයි. විලුඹේ තුවාලයක් සුව කළ හැකි සේම යක්ෂයා යේසුස්ව මරණයට පත් කළත් යෙහෝවා දෙවි යේසුස්ට නැවත ජීවිතය දුන්නා.
හිස පොඩි කිරීම:
හිස පොඩි කිරීමෙන් සංකේතවත් කරන්නේ යක්ෂයාගේ විනාශයයි. යේසුස් ඔහුව සදහටම විනාශ කර දැමීමට පෙර මුල පටන් යක්ෂයා සිදු කර ඇති සියලුම ක්‍රියා සහමුලින්ම නැති කර දමනවා.—1 යොහන් 3:8; එළිදරව් 20:10.
බයිබලය පුරා දිව යන ප්‍රධාන තේමාව ගැන දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන බයිබලය එහි පණිවිඩය කුමක්ද යන සඟරාව බලන්න.
[11වන පිටුවේ පින්තූරය]
පව් කළ නිසා ආදම් සහ ඒව දුක් වින්දා