අලුත් ගිවිසුම මගින් වඩා උතුම් ආශීර්වාද
‘යේසු, . . . [අනුරූප ලෙස, NW] වඩා හොඳ ගිවිසුමක මැදිහත්කරුද වෙයි.’—හෙබ්‍රෙව් 8:6.
1. ඒදන්හිදී පොරොන්දු කරන ලද ‘ස්ත්‍රියගේ වංශය’ බවට ඔප්පු වූයේ කවුද? එමෙන්ම ඔහුගේ ‘විලුඹ පොඩි කරනු’ ලැබුවේ කෙසේද?
ආදම් සහ ඒව පව් කළ පසු, මෙසේ පවසමින් යෙහෝවා ඒවව මුළා කළ තැනැත්තා වන සාතන්ට විනිශ්චය ප්‍රකාශ කළා: “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (උත්පත්ති 3:15) පොදු යුගයේ 29දී යේසු යොර්දාන් නදියේ බව්තීස්ම වූ අවස්ථාවේදී, ඒදන්හි පොරොන්දු කරන ලද වංශය අවසානයේදී පෙනී සිටියා. පොදු යුගයේ 33දී වධ කණුවක් මත ඔහු මියයද්දී, එම ඉපැරණි අනාවැකියේ යම් කොටසක් ඉටු වුණා. සාතන් වංශයේ “විලුඹ පොඩිකර” තිබුණා.
2. යේසුගේම වදන්වලට අනුව, ඔහුගේ මරණයෙන් මනුෂ්‍යවර්ගයාට ප්‍රයෝජන අත් වන්නේ කෙසේද?
2 ඒ තුවාලය දරාගත නොහැකි වේදනාවකින් යුක්ත වුවත්, එය සැමදාම පවතින එකක් නොවීම සතුටට කරුණක්. යේසුව අමරණීය ආත්මයක් හැටියට මරණයෙන් නැවත නැඟිටවනු ලැබූ අතර, ස්වර්ගයේ සිටින ඔහුගේ පියා වෙතට ඔසවාගනු ලැබුවා; එහිදී ඔහු තමා වැගිරූ රුධිරයේ වටිනාකම “බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක්” හැටියට ඔප්පු කළා. මේ අනුව, ඔහුගේම මෙම වදන් සැබෑ වුණා: ‘ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑය. මක්නිසාද දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’ (මතෙව් 20:28; යොහන් 3:14-16; හෙබ්‍රෙව් 9:12-14) යේසුගේ අනාවැකිය ඉටුවීමේදී, අලුත් ගිවිසුම ප්‍රධාන වැඩකොටසක් ඉටු කරනවා.
අලුත් ගිවිසුම
3. අලුත් ගිවිසුම මුලින්ම ක්‍රියාත්මක වීම පෙනෙන්න පටන්ගත්තේ කවදාද?
3 තමා වගුරුවන රුධිරය ‘අලුත් ගිවිසුමේ රුධිරය’ බව තම මරණයට ටික වේලාවකට කලින් යේසු තමාගේ අනුගාමිකයන්ට පැවසුවා. (මතෙව් 26:28; ලූක් 22:20) ඔහු ස්වර්ගයට නැඟීමෙන් දවස් දහයකට පසු, යෙරුසලමේ පිහිටි නිවසක ඉහළ මහලේ රැස්ව සිටි 120දෙනෙකු පමණ වන ගෝලයන් මත ශුද්ධාත්මය වගුරුවනු ලැබූ අවස්ථාවේදී, අලුත් ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබුණු බව පෙනෙන්න තිබුණා. (ක්‍රියා 1:15; 2:1-4) මෙම ගෝලයන් 120දෙනාව අලුත් ගිවිසුම තුළට ගෙන ඒමෙන් පෙනී ගියේ “පළමුවෙනි” ගිවිසුම, එනම් ව්‍යවස්ථා ගිවිසුම එතැන් සිට ප්‍රයෝජනයක් නැති තත්වයකට පත් වූ බවයි.—හෙබ්‍රෙව් 8:13.
4. පරණ ගිවිසුමෙහි යම් අඩුවක් තිබුණාද? විස්තර කරන්න.
4 පරණ ගිවිසුමේ යම් අඩුවක් තිබුණාද? කොහෙත්ම නැහැ. ඇත්ත, දැන් එයට හිමි වී තිබූ තැන වෙනත් දෙයකට හිමි වී තිබෙන නිසා, මාංසික ඉශ්රායෙල් තවදුරටත් දෙවිගේ අසහාය සෙනඟ වන්නේ නැහැ. (මතෙව් 23:38) නමුත් එවැනි දෙයක් සිදු වූයේ, ඉශ්‍රායෙල්ගේ අකීකරුකම හා යෙහෝවාගේ ආලේප ලත් තැනැත්තාව ප්‍රතික්ෂේප කිරීම නිසයි. (නික්මයාම 19:5; ක්‍රියා 2:22, 23) කෙසේවෙතත් ව්‍යවස්ථාවට හිමි තැන තව දෙයකට හිමි වෙන්න කලින්, එය බොහෝ දේවල් ඉටු කළා. සියවස් ගණනාවක් පුරා එය දෙවි වෙතට ළඟාවීමේ මාර්ගයක් සහ බොරු ආගම්වලින් ආරක්ෂාවක් සපයා දුන්නා. අලුත් ගිවිසුම හා සම්බන්ධ පෙර ඡායාවන් එහි අඩංගු වූ අතර, නැවත නැවත ඔප්පු කළ පූජාවලින් නිරූපණය වූයේ, පාපයෙන් සහ මරණයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් මිනිසාගේ බලාපොරොත්තු සුන් වූ අවශ්‍යතාවයි. ඇත්තෙන්ම ව්‍යවස්ථාව ‘ක්‍රිස්තුස් ළඟට පමුණුවන ගුරුවරයෙක්’ වී තිබුණා. (ගලාති 3:19, 24; රෝම 3:20; 4:15; 5:12; හෙබ්‍රෙව් 10:1, 2) කෙසේවෙතත්, ආබ්‍රහම්ට පොරොන්දු කරන ලද ආශීර්වාද සම්පූර්ණයෙන්ම ඉටුවීමට තිබුණේ අලුත් ගිවිසුම මගිනුයි.
ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන ජාතීන් ආශීර්වාද ලබයි
5, 6. ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ මූලික ආත්මික ඉටුවීමේදී, ආබ්‍රහම්ගේ වංශය කවුද? එමෙන්ම ඔහු කරණකොටගෙන මුලින්ම ආශීර්වාද ලැබීමට සිටියේ කුමන ජාතියද?
5 යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු වුණා: “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:18) පරණ ගිවිසුම යටතේ මොළොක් ගුණැති විදේශිකයන් ඉශ්රායෙල් සමඟ, එනම් ආබ්‍රහම්ගේ ජාතික වංශය සමඟ ඇසුරු කිරීමෙන් ආශීර්වාද ලැබුවා. කෙසේවෙතත් එහි මූලික ආත්මික ඉටුවීමේදී ආබ්‍රහම්ගේ වංශය වූයේ එක් පරිපූර්ණ මිනිසෙක් පමණයි. පාවුල් මෙසේ පවසන විට, ඔහු එය පැහැදිලි කළා: “පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි [එහි පැවසේ]. ඒ වංශය නම් [ක්‍රිස්තුස්ය].”—ගලාති 3:16, 17.
6 ඔව්, යේසු ආබ්‍රහම්ගේ වංශය වන අතර, මාංසික ඉශ්රායෙල්ට කිසිවිටකත් ලබාගත නොහැකිව තිබූ වඩා උතුම් ආශීර්වාද ඔහු කරණකොටගෙන ජාතීන් ලබනවා. ඇත්තෙන්ම මේ ආශීර්වාද ලැබීමට නියමිත වූ මුල්ම ජාතිය වූයේ ඉශ්රායෙල්මයි. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසෙන් ටිකකට පසු ප්‍රේරිත පේතෘස් යුදෙව්වන් සමූහයකට මෙසේ පැවසුවා. “නුඹලා අනාගතවක්තෘවරුන්ගේද, නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු වර්ගයෝ ආශීර්වාද ලබන්නෝයයි ආබ්‍රහම්ට කියමින් [දෙවි] විසින් නුඹලාගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේද පුත්‍රයෝය. [දෙවි] ස්වකීය සේවකයා නැගුටුවාදී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ අයුතුකම්වලින් හැරවීමෙන් නුඹලාට ආශීර්වාදකරන පිණිස, පළමුකොට නුඹලා වෙතට [ඔහුව එව්වේය].”—ක්‍රියා 3:25, 26.
7. ආබ්‍රහම්ගේ වංශය වන යේසු කරණකොටගෙන ආශීර්වාද ලැබුවේ කුමන ජාතීන්ද?
7 වැඩිකලක් යන්න මත්තෙන්, සමාරියවරුන්ටද අනතුරුව අන්‍යජාතීන්ටද ආශීර්වාද පැතිරුණා. (ක්‍රියා 8:14-17; 10:34-48) පොදු යුගයේ 50 හා 52 අතර යම් කාලයක, කුඩා ආසියාවේ පිහිටි ගලාතියේ විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා: “[දෙවි] ඇදහිල්ල කරණකොටගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨකරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක: නුඹ තුළ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා ශුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශකළේය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති.” (ගලාති 3:8, 9; උත්පත්ති 12:3) ගලාතියේ සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් “අන්‍යජාතීන්” වුවත්, ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන් යේසු කරණකොටගෙන ආශීර්වාද ලැබුවා. කුමන ආකාරයෙන්ද?
8. පාවුල්ගේ කාලයේ විසූ ක්‍රිස්තියානීන් සඳහා, ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලැබීමට ඇතුළත් වූයේ කුමක්ද? එමෙන්ම අවසානයේදී කීදෙනෙක් එවැනි ආශීර්වාද ලබනවාද?
8 පාවුල් ගලාතියේ ක්‍රිස්තියානීන්ට පැවසුවේ, කුමන පසුබිමක සිටියත්: “නුඹලා [ක්‍රිස්තුස්ගේ] නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය” කියාය. (ගලාති 3:29) එම ගලාතිවරුන් සඳහා ආබ්‍රහම්ගේ වංශය මගින් ලැබෙන ආශීර්වාදවලට ඇතුළත් වූයේ, අලුත් ගිවිසුමේ හවුල්කරුවන් වීම හා යේසු සමඟ හවුල් උරුමක්කරුවන්, එනම් ආබ්‍රහම්ගේ වංශයට අයත් යේසුගේ ආශ්‍රිතයන් වීමයි. පුරාණ ඉශ්රායෙලයේ ජනගහනය කොපමණද කියා අපි දන්නේ නැහැ. අපි දන්නේ, ඔවුන් “මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටි” බව පමණයි. (1 රාජාවලිය 4:20) කෙසේවෙතත්, ආත්මික වංශයට අයත් යේසුගේ ආශ්‍රිතයන්ගේ අවසාන ගණන 1,44,000දෙනෙකු කියා අපි දන්නවා. (එළිදරව් 7:4; 14:1) මෙම 1,44,000දෙනා මනුෂ්‍යවර්ගයාගේ “සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද” පැමිණෙන අතර, ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම මගින් වෙනත් අය භුක්ති විඳින්න යන ආශීර්වාද පරිපාලනය කිරීමෙහි හවුල් වෙනවා.—එළිදරව් 5:9.
අනාවැකියක් ඉටු වෙයි
9. අලුත් ගිවිසුම යටතේ සිටින අය යෙහෝවාගේ ව්‍යවස්ථාව තමන් තුළ තබාගෙන සිටින්නේ කෙසේද?
9 අලුත් ගිවිසුම පුරෝකථනය කරමින් යෙරෙමියා මෙසේ ලිව්වා: “ඒ දවස්වලට පසු මා ඉශ්රායෙල් වංශය සමග කරන ගිවිසුම මේයයි [යෙහෝවා කියන්නේය]. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල [හෘදවල, NW] ලියන්නෙමි.” (යෙරෙමියා 31:33) යෙහෝවාට ප්‍රේමයෙන් සේවය කිරීම අලුත් ගිවිසුමට අයත් වන අයගේ ලක්ෂණයක් වෙනවා. (යොහන් 13:35; හෙබ්‍රෙව් 1:9) යෙහෝවාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ හෘදයේ ලියා තිබෙන අතර, ඔහුගේ කැමැත්ත කිරීම සඳහා ඔවුන් තුළ දැවෙන ආශාවක් තිබෙනවා. ඇත්තයි, පුරාණ ඉශ්රායෙලයේ විසූ ඇතැම් ඇදහිලිවන්තයන් යෙහෝවාගේ ව්‍යවස්ථාවට ගැඹුරු ආකාරයකින් ප්‍රේම කළා. (ගීතාවලිය 119:97) නමුත් බොහෝදෙනෙක් එසේ කළේ නැහැ. ඒ වුණත් ඔවුන් දිගටම ජාතියේ කොටසක්ව සිටියා. දෙවිගේ ව්‍යවස්ථාව තමාගේ හෘදයෙහි ලියවී නැත්නම් කිසිවෙකුට අලුත් ගිවිසුමෙහි සිටිය නොහැකියි.
10, 11. අලුත් ගිවිසුම යටතේ සිටින අය සඳහා, යෙහෝවා ‘ඔවුන්ගේ දෙවි වන්නේ’ කිනම් ආකාරයෙන්ද? එමෙන්ම ඔවුන් සියලුදෙනාම ඔහුව හඳුනගන්න යන්නේ කෙසේද?
10 අලුත් ගිවිසුමට අයත් වන අය ගැන යෙහෝවා තවදුරටත් මෙසේ පැවසුවා: “මම ඔවුන්ගේ [දෙවි] වන්නෙමි, ඔව්හුද මාගේ සෙනග වන්නෝය.” (යෙරෙමියා 31:33) පුරාණ ඉශ්රායෙලයේ විසූ බොහෝදෙනෙක් ජාතීන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළත්, දිගටම ඉශ්රායෙල්වරුන් හැටියට සිටියා. මාංසික ඉශ්රායෙල්ට හිමි වී තිබූ තැන ගැනීම සඳහා අලුත් ගිවිසුමේ පදනම මත යෙහෝවා ආත්මික ජාතියක්, එනම් ‘දෙවිගේ ඉශ්රායෙල්’ බිහි කළා. (ගලාති 6:16; මතෙව් 21:43; රෝම 9:6-8) කෙසේවෙතත්, යමෙක් යෙහෝවාට නමස්කාර කිරීම, එනම් ඔහුට පමණක් නමස්කාර කිරීම නතර කර දමයි නම්, ඔහු දිගටම අලුත් ගිවිසුමේ හවුල්කරුවෙක් හැටියට සිටින්නේ නැහැ.
11 යෙහෝවා මෙසේද පැවසුවා: “ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය.” (යෙරෙමියා 31:34) ඉශ්රායෙලයේ විසූ බොහෝදෙනෙක් ඇත්තෙන්ම මෙසේ කියමින් යෙහෝවාව නොසලකා හැරියා: “[යෙහෝවා] යහපතවත් නපුරවත් කරන්නේ නැත.” (ශෙපනියා 1:12) යමෙක් යෙහෝවාව නොසලකා හරිනවා නම් හෝ නිර්මල නමස්කාරය දූෂ්‍ය කරනවා නම් ඔහුට දිගටම දෙවිගේ ඉශ්රායෙල්ට අයත් කෙනෙක් හැටියට සිටිය නොහැකියි. (මතෙව් 6:24; කොලොස්සි 3:5) ආත්මික ඉශ්රායෙල්වරුන් කියන්නේ, ‘තමුන්ගේ දෙවිව හඳුනන සෙනඟයි.’ (දානියෙල් 11:32) ‘එකම සැබෑ දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් ගැන දැනුම ලබාගැනීමට’ ඔවුන් සතුටු වෙනවා. (යොහන් 17:3, NW) යේසු අද්විතීය ආකාරයකින් “දෙවිව පැහැදිලි කර තිබෙන තැනැත්තා” වන නිසා, යේසු ගැන දැනගැනීම මගින් දෙවි පිළිබඳ ඔවුන්ගේ දැනුම ගැඹුරු වෙනවා.—යොහන් 1:18, NW; 14:9-11.
12, 13. (අ) යෙහෝවා අලුත් ගිවිසුම යටතේ සිටින අයගේ පාපවලට සමාව දෙන්නේ කුමන පදනම මතද? (ආ) පාපවලට සමාව දීම සම්බන්ධයෙන් ගත් කල, අලුත් ගිවිසුම පරණ ගිවිසුමට වඩා උතුම් එකක් වන්නේ කෙසේද?
12 අවසානයේදී යෙහෝවා මෙසේ පොරොන්දු වුණා: “මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමි.” (යෙරෙමියා 31:34ආ) කීකරු වීමට කියා ඉශ්රායෙල්වරුන්ට නියම කළ ලිඛිත නියමයන් සියගණනක් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. (ද්විතීය කථාව 28:1, 2, 15) ව්‍යවස්ථාව කඩ කළ සියලුදෙනාම තමන්ගේ පාප වසාගැනීම සඳහා පූජා ඔප්පු කළා. (ලෙවී කථාව 4:1-7; 16:1-31) ව්‍යවස්ථාවට අනුව තමන් කරන ක්‍රියා මගින් තමන්ට ධර්මිෂ්ඨ විය හැකි බව යුදෙව්වන් බොහෝදෙනෙක් විශ්වාස කරන්න යෙදුණා. කෙසේවෙතත්, තමන්ගේ ක්‍රියා මගින් තමන්ට ධර්මිෂ්ඨකම කවදාවත් උපයාගත නොහැකි බව ක්‍රිස්තියානීන් වටහාගන්නවා. පව් කිරීමෙන් වැළකී සිටින්න ඔවුන්ට බැහැ. (රෝම 5:12) අලුත් ගිවිසුම යටතේ, දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක් පවත්වාගත හැක්කේ යේසුගේ පූජාවේ පදනම මත පමණයි. කෙසේවෙතත්, එවැනි තත්වයක් ත්‍යාගයක්, එනම් දෙවිගෙන් ලැබෙන ලබන්ට නොවටිනා තරම් කරුණාවක් වෙනවා. (රෝම 3:20, 23, 24) යෙහෝවා තවමත් තම සේවකයන්ගෙන් කීකරුකම ඉල්ලා සිටිනවා. අලුත් ගිවිසුම යටතේ සිටින අය, “[ක්‍රිස්තුස්] කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව” සිටිනවා කියා පාවුල් පැවසුවා.—1 කොරින්ති 9:21.
13 එනිසා ක්‍රිස්තියානීන්ටද පාප සඳහා පූජාවක් තිබෙනවා; නමුත් එය ව්‍යවස්ථාව යටතේ ඔප්පු කළ පූජාවලට වඩා ඉතා අනර්ඝයි. පාවුල් මෙසේ ලිව්වා: “[ව්‍යවස්ථා ගිවිසුම යටතේ] සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති. නුමුත් [මොහු] සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, [දෙවිගේ] දකුණු පැත්තේ [හිඳගත්තේය].” (හෙබ්‍රෙව් 10:11, 12) අලුත් ගිවිසුම යටතේ සිටින ක්‍රිස්තියානීන් යේසුගේ පූජාව කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන නිසා, පව්වලින් තොර, ධර්මිෂ්ඨ අය හැටියට යෙහෝවා ඔවුන්ව ප්‍රකාශ කරන අතර, ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ආත්මික පුත්‍රයන් ලෙස අභිෂේක කරන තත්වයක ඔවුන් සිටිනවා. (රෝම 5:1; 8:33, 34; හෙබ්‍රෙව් 10:14-18) මිනිස් අසම්පූර්ණකම හේතුවෙන් ඔවුන් පව් කරන විට, යෙහෝවාගෙන් සමාව අයැදින්න ඔවුන්ට හැකි අතර, යේසුගේ පූජාවේ පදනම මත යෙහෝවා ඔවුන්ට සමාව දෙනවා. (1 යොහන් 2:1, 2) කෙසේවෙතත්, ඔවුන් හිතාමතාම පව් කිරීමේ ක්‍රියාමාර්ගයක් තෝරාගන්නවා නම්, ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨ තත්වය මෙන්ම අලුත් ගිවිසුමේ හවුල්කරුවන් වීමේ වරප්‍රසාදයද අහිමි කරගන්නවා.—හෙබ්‍රෙව් 2:2, 3; 6:4-8; 10:26-31.
පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම
14. ව්‍යවස්ථා ගිවිසුම යටතේ නියම කරනු ලැබුවේ කුමන ආකාරයේ චර්මච්ඡේදනයක්ද? එමෙන්ම අලුත් ගිවිසුම යටතේ?
14 ඔවුන් ව්‍යවස්ථාව යටතේ සිටින බව ඇඟවීමේ ලකුණක් හැටියට පරණ ගිවිසුම යටතේ සිටි පුරුෂයන්ව චර්මච්ඡේදනය කළා. (ලෙවී කථාව 12:2, 3; ගලාති 5:3) ක්‍රිස්තියානි සභාව ආරම්භ කිරීමෙන් පසුව, යුදෙව් නොවන ක්‍රිස්තියානීන්වද චර්මච්ඡේදනය කළ යුතුයි කියා සමහරුන්ට හැඟුණා. නමුත් මෙය අවශ්‍ය දෙයක් නොවූ බව දේවවචනයෙන් හා ශුද්ධාත්මයෙන් මඟ පෙන්වීම ලැබූ යෙරුසලමෙහි සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් තේරුම්ගත්තා. (ක්‍රියා 15:1, 5, 28, 29) අවුරුදු කිහිපයකට පසු පාවුල් මෙසේ ලිව්වා: “පිටාතර පෙනීමෙන් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් නොවේ; මාංසයේ පිටාතර චර්මඡේද්‍යය චර්මඡේද්‍යයක් නොවේ. නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි [හෘදයෙහි, NW] වූ එකය.” (රෝම 2:28, 29) මාංසික යුදෙව්වරුන්ගේ සැබෑ චර්මච්ඡේදනයට පවා යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි තවදුරටත් ආත්මික වටිනාකමක් තිබුණේ නැහැ. අලුත් ගිවිසුම යටතේ සිටින අය මාංසය නොව හෘදය චර්මච්ඡේදනය කළ යුතුයි. යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි අපවිත්‍ර හෝ ඔහුව අමනාපයට පත් කරවන ඔවුන්ගේ සිතුවිලි, ආශාවන් හා පෙලඹවීම්වලට අයත් සෑම දෙයක්ම කපාහැර දැමිය යුතුයි.a මේ ආකාරයෙන් සිතීමේ රටාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා ශුද්ධාත්මය සතු බලයට අද බොහෝදෙනෙක් ජීවමාන සාක්ෂි වෙනවා.—1 කොරින්ති 6:9-11; ගලාති 5:22-24; එපීස 4:22-24.
15. රාජකීය පාලනතන්ත්‍රය සම්බන්ධයෙන් ගත් කල මාංසික ඉශ්රායෙල් සහ දෙවිගේ ඉශ්රායෙල් අතර සැසඳීමක් සිදු වන්නේ කෙසේද?
15 ව්‍යවස්ථා ගිවිසුම් විධිවිධානය යටතේ, යෙහෝවා ඉශ්‍රායෙල්ගේ රජ වූ අතර, කාලයාගේ ඇවෑමෙන් ඔහු තම පරමාධිපත්‍යය යෙරුසලමෙහි සිටි මිනිස් රජවරුන් මගින් ක්‍රියාත්මක කළා. (යෙසායා 33:22) යෙහෝවා, දෙවිගේ ඉශ්‍රායෙල්ගේද, එනම් ආත්මික ඉශ්‍රායෙල්ගේද රජු වන අතර, ඔහු ‘ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය දී තිබෙන’ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන පො.යු. 33 සිට පාලනය කර තිබෙනවා. (මතෙව් 28:18; එපීස 1:19-23; කොලොස්සි 1:13, 14) අදදින දෙවිගේ ඉශ්රායෙල් යේසුව පිළිගන්නේ, 1914දී පිහිටුවනු ලැබූ දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජු ලෙසයි. පුරාණ ඉශ්රායෙලයේ සිටි හෙසකියා, යොෂියා හා වෙනත් විශ්වාසවන්ත රජවරුන්ටත් වඩා යේසු ඉතා උතුම් රජ කෙනෙක්.—හෙබ්‍රෙව් 1:8, 9; එළිදරව් 11:15.
16. දෙවිගේ ඉශ්රායෙල් කිනම් ආකාරයක පූජක තන්ත්‍රයක්ද?
16 ඉශ්රායෙල් රාජ්‍යයක් වූවා පමණක්ම නොව, නමුත් එයට පූජක රාජ්‍යයක්ද තිබුණා. මාංසික ඉශ්රායෙල්ට හිමි වී තිබූ තැන පො.යු. 33දී දෙවිගේ ඉශ්රායෙල්ට ලැබීමෙන් ඔවුන් යෙහෝවාගේ “මෙහෙකරුවා” හා ඔහුගේ “සාක්ෂිකාරයෝ” බවට පත් වුණා. (යෙසායා 43:10) යෙසායා 43:21හි සහ නික්මයාම 19:5, 6හි වාර්තා වී තිබෙන ඉශ්රායෙල්ට පැවසූ යෙහෝවාගේ වදන් එතැන් පටන් අදාළ වූයේ දෙවිගේ ආත්මික ඉශ්රායෙල්ටයි. දැන් “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද, [අසහාය වස්තුවක් සඳහා ජනතාවක්ද, NW]” වන දෙවිගේ නව ආත්මික ජාතියේ වගකීම ‘යෙහෝවාගේ උත්කෘෂ්ටතාවන් දැක්වීමයි.’ (1 පේතෘස් 2:9) දෙවිගේ ඉශ්රායෙල්ට අයත් වන පුරුෂයන් හා ස්ත්‍රීන් යන සියලුදෙනාම සාමූහික පූජකතන්ත්‍රයක් සාදනවා. (ගලාති 3:28, 29) ආබ්‍රහම්ගේ වංශයේ අප්‍රධාන කොටස වශයෙන් ඔවුන් දැන් මෙසේ පවසනවා: “එම්බා ජාතීනි, [ඔහුගේ] සෙනඟ සමඟ ප්‍රීතිවන්න.” (ද්විතීය කථාව 32:43) තවමත් පොළොව මත ඉතිරි වී සිටින ආත්මික ඉශ්රායෙල්ට අයත් අයගෙන් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සමන්විත වෙනවා. (මතෙව් 24:45-47) දෙවිට පිළිගත හැකි අයුරින් පරිශුද්ධ සේවය පිරිනැමිය හැක්කේ, ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් පමණයි.
දෙවිගේ රාජ්‍යය —අවසාන ඉටුවීම
17. අලුත් ගිවිසුමට අයත් වන අය අද්දකින්නේ කිනම් උපතක්ද?
17 පොදු යුගයට පෙර 1513න් පසුව උපත ලැබූ ඉශ්රායෙල්වරුන් උපතින්ම ව්‍යවස්ථා ගිවිසුම යටතට පැමිණියා. යෙහෝවා අලුත් ගිවිසුමට ඇතුළත් කරගන්න අයද උපතක් අද්දකිනවා; ඔවුන් සම්බන්ධයෙන් ගත් කල එය ආත්මික උපතක් වෙනවා. යේසු ඵරිසිවරයෙකු වූ නිකොදේමුස්ට මෙසේ පවසන විට එය සඳහන් කළා: “සැබවක් සැබවක් නුඹට කියමි—යමෙක් අලුතෙන් නූපන්නොත් [නැවත උපත ලැබුවේ නැත්නම්, NW] ඔහුට [දෙවිගේ] රාජ්‍යය දකින්ට නොහැකිය.” (යොහන් 3:3) මෙම අලුත් උපත අද්දුටු මුල්ම අසම්පූර්ණ මිනිසුන් වූයේ, පො.යු. 33 පෙන්තකොස්ත දවසේ රැස්ව සිටි ගෝලයන් 120දෙනායි. අලුත් ගිවිසුම යටතේ ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කොට සිටින ඔවුන් තමන්ගේ රාජකීය උරුමය හා සම්බන්ධ ‘අත්තිකාරමක්’ වශයෙන් ශුද්ධාත්මය ලැබුවා. (එපීස 1:14) ඔවුන් දරුකමට හදා වඩාගත් දෙවිගේ දරුවන් බවට පත්වීම සඳහා ‘ආත්මයෙන් උපත ලැබුවා;’ එමගින් ඔවුන් යේසුගේ සහෝදරයන් බවට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියට ‘ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කරුවන්’ වී තිබෙනවා. (යොහන් 3:6; රෝම 8:16, 17) ඔවුන්ගේ ‘නැවත උපත ලැබීම,’ මවිතකර බලාපොරොත්තු සඳහා මඟ විවෘත කළා.
18. නැවත ඉපද සිටීම, අලුත් ගිවිසුමට අයත් වන අයට මඟ විවෘත කර දෙන්නේ කිනම් මවිතකර බලාපොරොත්තුවලටද?
18 අලුත් ගිවිසුමට මැදිහත් වෙද්දී, යේසු තම අනුගාමිකයන්ට මෙසේ පවසමින් ඔවුන් සමඟ අමතර ගිවිසුමක් පිහිටෙව්වා: “මාගේ පියා රාජ්‍යයක් සඳහා මා සමඟ ගිවිසුමක් කළාක් මෙන්ම මමද ඔබ සමඟ ගිවිසුමක් කරමි.” (ලූක් 22:29, 30, NW) මෙම රාජ්‍ය ගිවිසුම, දානියෙල් 7:13, 14, 21, 27 යන වගන්තිවල වාර්තා වී තිබෙන අපූර්ව දර්ශනයේ ඉටුවීම සඳහා කටයුතු පිළියෙළ කරනවා. ‘පුරාතන තැනැත්තා’ වන යෙහෝවා දෙවි විසින් රාජ්‍ය බලතල දෙනු ලබන “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක්” දානියෙල් දුටුවා. අනතුරුව, ‘ශුද්ධවන්තයන් රාජ්‍යයේ භුක්තිය ලැබූ’ බව දානියෙල් දුටුවා. “මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන” තැනැත්තා යේසුයි; ඔහුට 1914දී යෙහෝවා දෙවිගෙන් ස්වර්ගික රාජ්‍යය ලැබුණා. ආත්මයෙන් අභිෂේක ලත් ඔහුගේ ගෝලයන් ඔහු සමඟ මෙම රාජ්‍යයට හවුල් වන “ශුද්ධවන්තයන්” වෙනවා. (1 තෙසලෝනික 2:12) කෙසේද?
19, 20. (අ) අලුත් ගිවිසුමට අයත් වන අය සඳහා, ආබ්‍රහම්ට දුන් යෙහෝවාගේ පොරොන්දුවේ කිනම් අවසාන හා මහිමාන්විත ඉටුවීමක් තිබෙන්න යනවාද? (ආ) තවත් කුමන ප්රශ්නය සලකා බැලිය යුතුද?
19 මෙම ආලේප ලත් අය ඔවුන්ගේ මරණයෙන් පසුව, ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් වශයෙන් යේසු සමඟ සේවය කිරීම සඳහා අමරණීය ආත්ම මැවිලි ලෙස ඔහු මෙන් මරණයෙන් නැඟිටවනු ලබනවා. (1 කොරින්ති 15:50-53; එළිදරව් 20:4, 6) මොනතරම් මහිමාන්විත බලාපොරොත්තුවක්ද! ඔවුන් හුදෙක් කානාන් දේශය පමණක් නොව, නමුත් ‘රජවරුන් වශයෙන් පොළොව පුරා පාලනය කිරීමට නියමිතයි.’ (එළිදරව් 5:10, NW) ඔවුන් ‘තම සතුරන්ගේ දොරටු හිමි කරගන්න’ යනවාද? (උත්පත්ති 22:17) ඔව්, සතුරු ආගමික වේශ්‍යාව වන මහ බබිලෝනියේ විනාශයට සාක්ෂිදරන විට හා නැවත නැඟිටවනු ලැබ සිටින එම අභිෂේක ලත් අය “යදණ්ඩකින්” ජාතීන් කෙරෙහි එඬේරකම් කරමින් සාතන්ගේ හිස පොඩි කර දැමීමේදී යේසු සමඟ හවුල් වන විට, එය ඒකාන්ත ලෙස සිදු වෙනවා. මේ අනුව උත්පත්ති 3:15හි සඳහන් අනාවැකියේ අවසාන විස්තරය ඉටුවීමේදී යම් කොටසක් ඔවුන්ට තිබෙන්න යනවා.—එළිදරව් 2:26, 27; 17:14; 18:20, 21; රෝම 16:20.
20 ඒත්, අපි මෙසේ අසන්න පුළුවන්: ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමට හා අලුත් ගිවිසුමට අයත් වන්නේ 1,44,000දෙනා පමණද? නැහැ; අපි ඊළඟ ලිපියේදී දකින්න යන පරිදි, මේ ගිවිසුම්වලට ඍජු ලෙස සම්බන්ධ නොවන අයත් එම ගිවිසුම් මගින් ආශීර්වාද ලබන්න යනවා.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්), 1 කාණ්., 470 පිටුව බලන්න.
ඔබට මතකද?
◻ අලුත් ගිවිසුම මුලින්ම ක්‍රියාත්මක වීම පෙනෙන්න පටන්ගත්තේ කවදාද?
◻ පරණ ගිවිසුම මගින් ඉටු වූයේ කුමක්ද?
◻ ප්‍රධාන වශයෙන් ආබ්‍රහම්ගේ වංශය කවුද? එමෙන්ම එම වංශය කරණකොටගෙන ජාතීන් ආශීර්වාද ලැබුවේ කිනම් අනුපිළිවෙළින්ද?
◻ එක්ලක්ෂ සතළිස් සාරදහස්දෙනා සඳහා ආබ්‍රහම් ආශ්රිත ගිවිසුම මෙන්ම අලුත් ගිවිසුම හා සම්බන්ධ අවසාන ඉටුවීම කුමක්ද?
[15වන පිටුවේ පින්තූරය]
පරණ ගිවිසුම යටතේ සිටි අයට වඩා අලුත් ගිවිසුම යටතේ සිටින අය සඳහා, පාපවලට සමාව ලැබීමට වඩාත් ගැඹුරු අර්ථයක් තිබෙනවා