අතීතයේ දේවභක්තික පවුල්—අපේ දවසට ආදර්ශයක්
පවුල—මෙය ලෝක අවධානයේ කේන්ද්‍රය කිරීමට එක්සත් ජාතීන් වෑයම් කළේය. කෙසේද? වර්ෂ 1994 “ජගත් පවුල් වර්ෂය” ලෙස ප්‍රකාශ කිරීම මගිනි. නීත්‍යනුකූල නොවන දරු උපත්වල වැඩිවීම සහ අහස උසට නඟින දික්කසාද සංඛ්‍යා වැනි දේවල් ගැන ශෝකවීමට, ලෝක නායකයන්, සමාජ විද්‍යාඥයන් සහ පවුල් උපදේශකයන් ඉක්මන් වුවත්, එවැනි ගැටලුවලට ක්‍රියාත්මක කළ හැකි යථාර්ථානුරූපී විසඳුම් ගෙන ඒමට ඔවුන් ප්‍රමාද වී ඇත.
පවුල් ගැටලුවලට බයිබලයේ විසඳුම් තිබෙනවා විය හැකිද? අදදින පවුල්වලට උපකාර කිරීමට බයිබලයට හැකියයි යෝජනා කිරීම ඇතමෙකුට බොළඳ යමක් ලෙස පෙනිය හැක. කෙසේනමුත්, එය ලියා තිබුණේ ශතවර්ෂ ගණනකට පෙර මැද පෙරදිග පරිසරයක සහ සංස්කෘතියකය. ලෝකයේ වැඩි කොටසක, බයිබල් කාලවල් පටන් ජීවිතය විශාල වෙනස්කම්වලට භාජන වී තිබේ. කෙසේනමුත්, බයිබලය ලියා තිබෙන්නේ සෑම පවුලක්ම අයිති තැනැන්වහන්සේ වන යෙහෝවඃවහන්සේගේ ආනුභාවයෙනි. (එපීස 3:14, 15; 2 තිමෝති 3:16) පවුල් ගැටලු සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද?
පවුල් ජීවිතය ප්‍රීතිමත් හා පූර්ණ කිරීමට අවශ්‍ය කුමක්දැයි යෙහෝවඃවහන්සේ නියම ලෙස දන්නාසේක. එබැවින්, උන්වහන්සේගේ වචනයට, පවුල් ජීවිතය ගැන පැවසීමට බොහෝ දේ තිබෙන අතර, සමහර ඒවා උපදේශාත්මක ස්වරූපයක් ගනී. දේවභක්තික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ පවුල් පිළිබඳ ආදර්ශද බයිබලයේ අඩංගුය. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු සැබෑ සමීපත්වය සහ තෘප්තිය භුක්තිවින්දෝය. අපි බයිබල් කාලවල පවුල් ජීවිතය වෙත සිත යොමු කර, ඉගෙනිය හැක්කේ කුමන පාඩම්දැයි සලකා බලමු.
මූලිකත්වය—දුෂ්කරතාවක්ද?
උදාහරණයක් වශයෙන්, පවුල් මූලිකත්වය පිළිබඳ කාරණය සලකා බලන්න. පිතෘ නායකයන්ගේ කාලයේ, ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වැනි මිනිස්සු අවිවාදයෙන්ම “කුලජ්‍යෙෂ්ඨයෝ” වූහ. (ක්‍රියා 7:8, 9; හෙබ්‍රෙව් 7:4, 5අ) රැල්ෆ් ගවර්ගේ ද නිව් මැනර්ස් ඇන්ඩ් කස්ටම්ස් ඔෆ් බයිබල් ටයිම්ස් මෙසේ පවසයි: “පවුල . . . පියා විසින් පාලනය කරන ලද ‘කුඩා රාජ්‍යයක්’ විය. ඔහු බිරිඳ, දරුවන්, මුනුපුරු මිනිපිරියන් සහ සේවකයන්—එනම් පවුලේ සැමකෙකුව පාලනය කළේය.” සැබවින්ම, පිතෘ නායකයන්ට බොහෝවිට තම පුත්‍රයන්ගේ පවුල් කෙරෙහි ආධිපත්‍යය තිබිණ.—උත්පත්ති 42:37 සසඳන්න.
මෙය පුරුෂයන්ට සිය භාර්යාවන් සහ දරුවන් කෙරෙහි අයුතු පාලනයට අවසර දුන්නේ නැද්ද? කොහෙත්ම නැත. දෙවියන්වහන්සේ පළමු ස්ත්‍රිය වූ ඒවට මෙසේ පැවසූ බව සැබෑය: “නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” (උත්පත්ති 3:16) විවාහක ස්ත්රීන්ට පොදුවේ සලකනු ඇත්තේ කෙලෙසදැයි එම වචන අඟවන නමුත්, ඒවා දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරකයන් අතර දේවල් තිබෙන්ට යන ආකාරය විස්තර කළේ නැත. දේව-භයැති ස්වාමිපුරුෂයන්ට යෙහෝවඃවහන්සේගේ මුල් අරමුණ මනසේ තබාගැනීමට අවශ්‍යව තිබිණ. යෙහෝවඃවහන්සේ ස්ත්‍රිය සෑදුවේ, දාසියක ලෙස නොව, පුරුෂයාට “[ඌනපූරණයක් ලෙස NW] සුදුසු සහකාරියක්” වශයෙනි. (උත්පත්ති 2:20) මුල් කාලයේදී දේවභක්තික පුරුෂයන් තමන්ගේම යටහත් පහත්කම සහ ගණන්දිය යුතු බව වටහාගත් බැවින්, ඔවුහු සිය ආධිපත්‍යය අනිසි ලෙස භාවිත නොකළහ. දේව-භයැති පිතෘ නායකයෝ සිය භාර්යාවන්ට සහ දරුවන්ට හුදෙක් දාසයන්ට මෙන් නොසලකා, ඔවුන්ට අව්‍යාජ ප්‍රේමය සහ ස්නේහය පෙන්වූහ.
දරුවන් පොදුවේ ලැබූ ස්නේහය පිළිබඳ ලුහුඬු අදහසක් උත්පත්ති 50:23හි දී තිබේ. එහි යෝසෙප්ගේ මුනුපුරන්ගේ-දරුවන් ගැන පවසයි: “[ඔවුහු] යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.” යෝසෙප් දරුවන්ව තම ජනිතයන් ලෙස පිළිගත් බව මින් අදහස් කළ හැකි අතරතුර, ඔහු දරුවන් සමඟ ස්නේහවන්ත ලෙස සෙල්ලම් කළ බවටත්, සිය දණහිස් මත තබාගෙන ඔවුන්ව සුරතල් කළ බවටත් ඉන් ඇඟවිය හැක. අදදින පියවරුන්ද තම දරුවන්ට එවැනිම ස්නේහයක් දැක්වීම යෙහෙකි.
පවුල් මූලිකයන් වශයෙන්, දේව-භක්තික පිතෘ නායකයෝ, තම පවුල්වල ආත්මික අවශ්‍යතා සඳහාද සැලකිල්ල දැක්වූහ. ලෝක ජලගැල්මෙන් පසු නැවෙන් පිටතට පැමිණි විගස, “නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා . . . පූජාසනය පිට දවන පූජා පිදුවේය.” (උත්පත්ති 8:20; සසඳන්න යෝබ් 1:5.) පවුලේ සාමාජිකයන්ට පෞද්ගලික උපදෙස් දෙමින් ඇදහිලිවන්ත පිතෘ නායක ආබ්‍රහම් හොඳ ආදර්ශයක් තැබීය. ‘ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් යෙහෝවඃවහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද, තමාගේ ගෙයි වැසියන්ටද අණ කළේය.’ (උත්පත්ති 18:19) මෙබැවින් ප්‍රේමනීය මූලිකත්වය පවුල්වල චිත්තවේගීය හා ආත්මික ශුභ-සිද්ධියට දායක විය.
ක්‍රිස්තියානි පුරුෂයෝ අදදින මෙම ආදර්ශය අනුගමනය කරති. දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවන්ට එකඟ වීමට තම පවුල්වලට උපකාර කරමින් හා ඔවුන් විසින්ම හොඳ ආදර්ශයක් තබමින්, ඔවුන් නමස්කාරමය කාරණාවලදී මූලිකත්වය ගනී. (මතෙව් 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25) පිතෘ නායකයන් මෙන්, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෝ සහ පියවරුද තම පවුල් සාමාජිකයන්හට පෞද්ගලික උපදෙස් දීමට කාලය ගනිති.
තීරණාත්මක පියවරක් ගැනීම
පිතෘ නායක යාකොබ් සිය මාමණ්ඩියට විශාල ණයක් සම්පූර්ණයෙන්ම ගෙවූ විට මෙසේ ඇසුවේය: “ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදා[ද?]” (උත්පත්ති 30:30) සියලු පියවරුන්ට මෙන්, යාකොබ්ටත් තම පවුලේ අවශ්‍යතා සැපිරීමේ පීඩනය දැනුණු අතර, ඔහු මේ සඳහා වෙහෙස නොබලා වැඩ කළේය. උත්පත්ති 30:43 මෙසේ පවසයි: “ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය.”
කෙසේවුවත්, වසර ගණනකට පසු, යාකොබ් කානාන් දේශයට ගියායින් පසුව, සිය දියණිය වූ දීනා මිථ්‍යාදෘෂ්ටික කානානිවරුන් ඇසුරු කිරීමේ අනතුරුදායක පුරුද්ද වර්ධනය කරගෙන තිබූ බව පෙනෙන ප්‍රකාරයට ඔහු නොදැන සිටියේය.a (උත්පත්ති 34:1) තම නිවැසියන් අතරෙහි මිථ්‍යා ආගමික භාණ්ඩ තිබෙන බව දැනගත් විට, ඔහු ක්‍රියාත්මක වීමටද අසමත් වූයේය. කෙසේනමුත්, කානානිවරයෙකු විසින් දීනාව ඛේදජනක ලෙස දූෂණය කළ පසු, යාකොබ් තීරණාත්මක පියවරක් ගත්තේය. “නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරපල්ලා,” යයි ඔහු විධාන කළේය.—උත්පත්ති 35:2-4.
ක්‍රිස්තියානි පියවරුන් තම පවුල්වල ආත්මිකත්වය සම්බන්ධයෙන් අවදිව සිටිය යුතුය. නිවසෙහි දුරාචාර පොත් පත් හෝ අහිතකර සංගීතය වැනි, පවුලේ ආත්මික ශුභසිද්ධියට බරපතළ ලෙස තර්ජන වන දේවල් තිබේ නම්, ඔවුන් තීරණාත්මක පියවරක් ගත යුතුයි.
සාරා, රෙබෙකා සහ රාඛෙල් වැනි ස්ත්‍රීන්ද පවුල තුළ සැලකිය යුතු බලපෑමක් වීම සිත්ගන්නා කරුණකි. ඔවුන් සිය ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටියත්, යෝග්‍ය වූ විට හා අවශ්‍ය වූ විට, මූලික පියවර ගැනීමෙන් ඔවුන්ව වළක්වනු ලැබුවේ නැත. උදාහරණයක් වශයෙන්, නික්මයාම 4:24-26 අපට පවසන්නේ, මෝසෙස් සහ ඔහුගේ පවුල මිසරය කරා යමින් සිටියදී, “ස්වාමීන්වහන්සේ [“යෙහෝවඃවහන්සේගේ දූතයා,” සෙප්ටුඅජන්ට්] ඔහුට සම්බව ඔහු [මෝසෙස්ගේ පුත්‍රයා] මරන්ට සෑදූසේක,” කියාය. මෝසෙස්ගේ පුත්‍රයාව චර්මච්ඡේදනය කිරීමට මෝසෙස් අසමත් වී තිබූ බැවින්, පැහැදිලිවම ඔහු මරණයට පත්වීමේ අනතුරට භාජන වී සිටියේය. ශිප්පොරා වහා ක්‍රියාත්මක වී ඇගේ දරුවා චර්මච්ඡේදනය කළාය. ප්‍රතිඵලයක් වශයෙන්, දේවදූතයා ඔහුව අත්හැර දැමුවේය. යෝග්‍ය වන තත්වයන් යටතේදී අදදින ක්‍රිස්තියානි භාර්යාවන්ටත් මූලික පියවර ගත හැක.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ පියෙකුගේ බඳු උපදෙස්
පොදු යුගයට පෙර 1513දී, ඉශ්රායෙල්වරුන් ජාතියක් බවට පත්වූ විට පිතෘ නායක යුගය අවසන් විය. (නික්මයාම 24:3-8) පියවරු පවුල් නායකයෝ වශයෙන් දිගටම සේවය කළහ. කෙසේවුවත්, පවුලේ නීතිය, දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ට දෙනු ලැබූ හා පත්කරන ලද විනිශ්චයකරුවන් විසින් පාලනය කරනු ලැබූ ජාතික ව්‍යවස්ථාවට දෙවන විය. (නික්මයාම 18:13-26) ලෙවී පූජක තන්ත්රය මගින් නමස්කාරයේ පූජාමය අංග භාරගන්නා ලදි. එහෙත්, පියා දිගටම වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මෝසෙස් මෙසේ අවවාද කළේය: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.”—ද්විතීය කථාව 6:6, 7.
ව්‍යවස්ථාව දෙනු ලැබුවේ විධිමත්ව සහ අවිධිමත්ව උපදෙස් දිය හැකි පාස්කුව වැනි අවස්ථා තුළදීය. නීසාන් 14දා, පාස්කු දිනය ළඟාවූ විට, යුදෙව් පවුල් සිරිත් පරිදි යෙරුසලමට තම ගමන සඳහා සූදානම් වන්ට වූහ. (ද්විතීය කථාව 16:16; සසඳන්න ලූක් 2:41.) එවැනි පෙර සූදානම්වීම්වලදී මහත් උනන්දුවෙන් කලබලයට පත් නොවී සිටින්නේ කුමන දරුවාද? දීර්ඝ ගමනම ප්‍රීතිමත් එකකි. ඒ වන විට වැසි සමය අවසන් වී තිබූ අතර, වසන්ත ඍතුවේ හිරු, ශීත ඍතුවේ සිසිලස වාතයෙන් ඉවත් කිරීමට පටන්ගෙන තිබිණ. හෙර්මොන් කන්දේ හිම දියවී යද්දී, යොර්දාන් ගඟේ ඉවුරු පිටාර ගලයි.
ගමන් කරන අතරේදී, පියවරුන්ට සිය දරුවන්හට තම දේශයෙහි භූගෝලය ගැන පමණක් නොව නමුත්, පසුකර යන විට ඔවුන්ට දැකිය හැකි දේවල් ඉතිහාසයට සම්බන්ධ වූ විවිධ අවස්ථා පිළිබඳව උගන්වන්ට හැකිවිය. මේවාට ව්‍යවස්ථාවේ ශාප සහ ආශීර්වාද කියවූ ස්ථානය වූ ඒබාල් සහ ගෙරිසීම් කඳුද ඇතුළත් විය හැක. ස්වර්ගය දක්වා නැඟුණු ඉණිමඟ පිළිබඳව යාකොබ් සිය දර්ශනය දුටු ස්ථානය වන බෙතෙල්ද පසු කර ඔවුන් යා හැක. කොතරම් ප්‍රමෝදවත් සාකච්ඡා පසුව ඇතිවනු ඇද්ද! ගමනේ යෙදී සිටිනවාත් සමඟම, මෙම පවුල් කණ්ඩායම්වලට දේශයේ වෙනත් කොටස්වලින් සංචාරයකරන්නන් හවුල්වන විට, සියල්ලන් ගොඩනංවනසුලු ඇසුරක් භුක්තිවිඳිනු ඇත.
අවසානයේදී පවුල “අලංකාරයේ සම්පූර්ණත්වය වූ” යෙරුසලමට ඇතුල්වනු ඇත. (ගීතාවලිය 50:2) විශාරද ඇල්ෆ්‍රඩ් එඩර්ෂයිම් මෙසේ පවසයි: “මෙම වන්දනාකරුවන්ගෙන් වැඩිදෙනෙකු නගරයේ තාප්පවලින් පිටත කූඩාරම් ගසාගන්ට ඇත. නගරය තුළ නවාතැන්ගත් අය නොමිලේ නවාතැන් පහසුකම් ලබාගත්හ.” එසේය, හෙබ්‍රෙව් යෞවනයෝ සහෝදර ස්නේහය හා සංග්‍රහශීලිත්වය සම්බන්ධයෙන් පළමු පෙළේ පාඩමක් ඉගෙනගත්හ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික සමුළු අදදින එවැනිම අරමුණක් ඉටු කරයි.
අවසානයේදී නීසාන් 14දා පැමිණෙනු ඇත. පාස්කු සත්වයා මරණු ලබන අතර පැය කීපයකට පුලුස්සනු ලැබේ. මධ්‍යම රාත්‍රිය ළංවෙද්දී පවුලේ අය විසින් බැටළුවා, මුහුන් නුමුසු රොටි සහ තික්ත පලා අනුභව කරනු ඇත. සම්ප්‍රදායට අනුව පුත්‍රයෙකු විසින් මෙසේ අසනු ලැබේ: “මේ මෙහෙයේ අදහස කිමෙක්[ද?]” එවිට පියවරු මෙසේ පවසමින් විධිමත් උපදෙස් දෙති: “ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේ[ක].”—නික්මයාම 12:26, 27; 13:8.
ඉශ්රායෙල්වරුන්ගේ සාලමොන් රජ මෙසේ පැවසුවේය: ‘සිනාසෙන්ට කාලයක් සහ පනින්ට කාලයක්’ තිබේ. (දේශනාකාරයා 3:4) ඉශ්රායෙල් දරුවන්ට විනෝද වීම සඳහා කාලයක් දෙනු ලැබීය. පෙනෙන ආකාරයට, වෙළඳාම්පොළවලදී දරුවන් සෙල්ලම් කිරීම දෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බලා සිටිසේක. (සෙකරියා 8:5; මතෙව් 11:16) තවද ගී ගැයීම, නැටීම හා ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම ඇතුළත් ප්‍රීතිමත් පවුල් එක්රැස්වීම් පිළියෙළ කිරීම, ධනසම්පත් ඇති දෙමව්පියන් සඳහා අසාමාන්‍ය දෙයක් නොවීය. (ලූක් 15:25) අදදින ක්‍රිස්තියානි දෙමව්පියෝද එලෙසම ඔවුන්ගේ දරුවන් සඳහා හිතකර විනෝදය සහ ඇසුර සැපයීමේදී මූලික පියවර ගනිති.
යුදෙව් සමාජයේ මව්වරු සහ දරුවෝ
මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ මව්වරුන් ඉටු කළ කාර්යභාරය කුමක්ද? හිතෝපදේශ 1:8 මෙසේ අණ කළේය: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසාපන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” යුදෙව් භාර්යාව ඇගේ ස්වාමිපුරුෂයාගේ ආධිපත්‍යයේ රාමුව ඇතුළත පවුල් ජීවිතය තුළ දෙවියන්වහන්සේ-දුන් අවශ්‍යතාවන් අදාළ කරගනු ඇත. ඇය මහලු වයසට පත්වූවායින් පසුව පවා, ඇගේ දරුවන් විසින් ඇයට ගෞරවය දිය යුතු විය.—හිතෝපදේශ 23:22.
තම දරුවන්ව පුහුණු කිරීමේදී මවටද විශාල වැඩ කොටසක් තිබිණ. බිළිඳෙකු කිරිවරන වයසට පැමිණෙන තුරු සම්පූර්ණයෙන්ම වාගේ ඇය බිළිඳාව රැකබලාගත් අතර, මව සහ දරුවා අතර සමීප සම්බන්ධයක් ඇතිවීම ගැන සැකයක් නැත. (යෙසායා 49:15) පියවරුන් තම පුත්‍රයන්ට වෘත්තියක් ඉගැන්වූ අතර, මව්වරු තම දියණියන්ට ගෙදර දොරේ වැඩකටයුතු ඉගැන්වූහ. මව්වරුන්ටද තම පුත්‍රයන් කෙරෙහි බලවත් බලපෑමක් තිබිණ. උදාහරණයක් වශයෙන්, ලෙමුවෙල් රජ ‘ඔහුගේ මෑණියන් විසින් ඔහුව නිවැරදි කිරීමට දුන් උපදෙස්වලින්’ ප්‍රයෝජන ලැබීය.—හිතෝපදේශ 31:1.
දක්ෂ යුදෙව් භාර්යාවක් “ඇගේ පවුලේ කාරණා බලාගනි[මින්]” සැලකිය යුතු නිදහසක්ද භුක්තිවින්දාය. හිතෝපදේශ 31:10-31ට අනුව, ගෙදර දොරේ අවශ්‍යතාවන් මිල දී ගැනීමට, එමෙන්ම නිශ්චල දේපොළ ආයෝජනයන් කිරීමට හා කුඩා ව්‍යාපාරයක් පවා පවත්වාගැනීමට ඇයට හැක. අගය කරන ස්වාමිපුරුෂයෙකුට ඇගේ අගය “රතුකැටවලට වඩා වැඩි” විය!
අදදිනට ආදර්ශයක්
බයිබල් කාලවලදී පවුල් විධිවිධානය එහි සියලු සාමාජිකයන්ගේ චිත්තවේගීය හා ආත්මික වැඩීමට ක්‍රියාත්මක විය. පියවරු තම පවුල්වල ප්‍රයෝජනය සඳහා තම ආධිපත්‍යය ප්‍රේමනීයව පවත්වාගත යුතු වූහ. ඔවුන්ට නමස්කාරයේදී නායකත්වය ගැනීමට තිබිණ. පියවරු සහ මව්වරු යන දෙකොටසම—දරුවන්ට උගන්වමින් හා පුහුණු කරමින්, ඔවුන් සමඟ නමස්කාර කරමින් සහ ඔවුන්ට විනෝදය දෙමින්, ඔවුන් කෙරෙහි උනන්දුවක් පෙන්නුම් කළහ. දේවභක්තික මව්වරු තම පවුල් වෙනුවෙන් මූලික පියවර ගන්නා අතරතුර, ස්වාමිපුරුෂයන්ගේ නායකත්වයට ගරු කරමින් අගනා සහකාරියෝ බවට ඔප්පු කළහ. කීකරු දරුවෝ තම දෙමව්පියන්ට සහ යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රීතිය ගෙන ආහ. ඇත්තෙන්ම, බයිබල් කාලවලදී දේව-භයැති පවුල, අපගේ දවස් සඳහා අතිවිශිෂ්ට ආදර්ශයක් විය.
[පාදසටහන්වල]
a මීට පෙර, යාකොබ් සිය පවුල කානානිවරුන්ගේ බලපෑමෙන් ආරක්ෂා කරගැනීමට ස්ථිර පියවර ගෙන තිබූ බව සටහන් කරගත යුතුය. ඔහු පූජාසනයක් ගොඩනැඟූ අතර, ඔහුගේ කානානීය අසල්වැසියන්ගෙන් ඔහුව ඈත් කර තැබූ රටාවක් අනුව එය ගොඩනැඟූ බවට සැකයක් නැත. (උත්පත්ති 33:20; නික්මයාම 20:24, 25) තවදුරටත්, ඔහු ෂෙඛෙම් නගරයෙන් පිටත කඳවුර බැන්ද අතර, තමන්ගේම ජල සැපයුමක් පිහිටුවාගත්තේය. (උත්පත්ති 33:18; යොහන් 4:6, 12) යාකොබ්ගේ කැමැත්ත වූයේ දීනා කානානිවරුන් සමඟ ඇසුරු නොකිරීම බව ඇය හොඳින් දැන සිටින්ට ඇත.
[23වන පිටුවේ පින්තූරය]
බයිබල් කාලවලදී යෙහෝවඃවහන්සේට නමස්කාර කළ පවුල් මෙන්ම, ඔබේ පවුලටත් සන්තෝෂ විය හැක