මරණයෙන් සියල්ල අවසන් වෙයිද?
මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන ප්රශ්නය තරම් බැරෑරුම් මෙන්ම වියවුල්සහගත ප්‍රශ්නයක් තවත් නැති තරම්. අවුරුදු දහස් ගණනක් තිස්සේ විද්වතුන් විද්‍යාව හා දාර්ශනික මත හරහා කර තිබෙන පර්යේෂණ මගින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට වෙර දරා තිබෙනවා. ඒත් එහි අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ එවැනි දාර්ශනිකයන්ගේ මත හා විද්‍යාඥයන්ගේ සොයාගැනීම් මගින් එය තවත් ව්‍යාකූල වී තිබීමයි.
ඒත් බයිබලයේ තිබෙන ඉගැන්වීම ගැන කුමක් කිව හැකිද? මරණය හා ඉන්පසු සිදු වන්නේ කුමක්ද යන ප්‍රශ්නයට බයිබලයේ තිබෙන පිළිතුරත් තේරුම්ගැනීම පහසු දෙයක් නෙවෙයි කියා සමහර අය සිතන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නයට පිළිතුර මෙතරම් ව්‍යාකූල කර තිබෙන්නේ ආගම් මගින් කියා අපි තේරුම්ගත යුතුයි. ඔවුන් බයිබලයේ ඉතා සරලව පෙන්වා දී තිබෙන කාරණා ඔවුන්ගේ බොරු ඉගැන්වීම් මගින් ව්‍යාකූල කර තිබෙනවා. ඔබ පාරම්පරික අදහස් හා මිථ්‍යා මත පසෙක දමා බයිබලයේ පවසන දෙයට අවධානය යොමු කරනවා නම් ඔබට පිළිගත හැකි මෙන්ම බලාපොරොත්තුවක් සපයන ඉගැන්වීම් බයිබලයෙන් සොයාගත හැකියි.
ඔබ ඉපදීමට පෙර . . .
මීට කලින් ලිපියේ ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසූ කියමන් දෙකක් සලකා බැලුවා ඔබට මතක ඇති. එයින් පෙන්වා දෙන්නේ මිය ගිය මිනිසුන්ට හා සතුන්ට කිසිම හැඟීමක් දැනීමක් නැති බවයි. එනම් බයිබලයේ පවසන ආකාරයට මිය ගිය අයට කිසිම කල්පනා ශක්තියක්වත් හැඟීමක්වත් දැනීමක්වත් නැති අතර කිසිම ක්‍රියාවක්ද කරන්න බැරි බවයි.—දේශනාකාරයා 9:5, 6, 10.
මෙය විශ්වාස කරන්න අමාරුයිද? මෙසේ සිතා බලන්න. ඔබේ දෙමාපියන්ගේ කුඩා සෛල දෙකක් එකට එකතු වී ඔබ හැදෙන්න කලින් ඔබ සිටියේ කොහේද? මරණයෙදී කෙනෙක්ගේ ශරීරයෙන් නොපෙනෙන යමක් පිට වී පවතිනවා නම් නැවත එය පිළිසිඳ ගැනීමට පෙර පැවතුණේ කොහේද? සත්‍ය කාරණය නම් ඔබ මොලොවට ඉපදීමට පෙර වෙන කොහේවත් සිටියේ නැති බවයි. මෙය කොතරම් සරල සත්‍යයක්ද!
එසේනම් අපි මැරුණාට පස්සේ අපි ඉපදීමට පෙර සිටි තත්වයටම පත් වෙනවා කීම තර්කානුකූල නොවෙයිද! ආදම් පව් කළ විට දෙවි ඔහුට පැවසුවේ “ඔබ දූවිලිය, ඔබ දූවිල්ලට හැරී යන්නෙහිය” කියායි. (උත්පත්ති 3:19, නව ලොව පරිවර්තනය, NW) මේ ආකාරයෙන් බලන විට මිනිසුන් සහ සතුන් අතර කිසි වෙනසක් නැහැ. මළාවූ සතුන්ගේ හෝ මිනිසුන්ගේ තත්වය ගැන බයිබලයේ පවසන්නේ “මිනිසා සතුන්ට වඩා උතුම් නැත” කියායි.—දේශනාකාරයා 3:19, 20, NW.
මින් අදහස් කරන්නේ මනුෂ්‍යයන් දශක කිහිපයක් ජීවත් වී මිය ගිය පසු සදාකාලයටම කිසිම බලාපොරොත්තුවක් නැති හිස් වූ තත්වයකට පත් වෙනවා කියාද? එසේත් නැත්නම් මිය ගිය අයට යම් බලාපොරොත්තුවක් තිබෙනවාද? පහත සඳහන් කරුණු ගැන සලකා බලන්න.
ජීවත් වීමේ ආශාව
කිසිම කෙනෙක් මරණය ගැන කතා කරන්න කැමති නැහැ. මේ නිසා බොහෝදෙනෙක් තමන්ගේ මරණය ගැන කතා කරන්නවත් ඒ ගැන හිතන්නවත් කැමති නැහැ. නමුත් ඔවුන් සෑම දවසකම මිනිසුන් මරණයට පත් වන විවිධ ආකාර දකිනවා. උදාහරණයකට රූපවාහිනි හා චිත්‍රපටි දර්ශනවල මෙන්ම සැබෑ සිදුවීම්ද මාධ්‍ය හරහා ඔවුන්ට දැනගන්න ලැබෙනවා.
නාඳුනන අයගේ මරණ සාමාන්‍ය දෙයක් බව හැඟී යා හැකියි. කෙසේවෙතත් තමන් ප්‍රේම කරන කෙනෙක්ගේ මරණය ගැන හෝ තමන්ගේ මරණය ගැන සිතන විට එය ඔවුන්ට සාමාන්‍ය දෙයක් නොවෙයි. මෙයට හේතුව මිනිසුන්ට දිගු කාලයක් ජීවත් වීමට තිබෙන දැඩි ආශාවයි. මෙය පුදුමයට කාරණයක් නෙවෙයි. එයට හේතුව සලමොන් රජ පැවසුවේ දෙවි “සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය” කියායි. (දේශනාකාරයා 3:11) සාමාන්‍යයෙන් අපට දුකක් කරදරයක් නැති විට දිගටම ජීවිතය භුක්ති විඳින්න අපි ආශයි. අපේ ජීවිතය අවසානයකට එන දවසක් ගැන හිතන්නවත් අපි කැමති නැහැ. ඒත් සතුන්ට ඒ වගේ ආශාවක් නැහැ. උන් ජීවත් වෙන්නේ අනාගතය ගැන කිසිම දැනීමක් නැතුවයි.
ආශාව මෙන්ම හැකියාව
මිනිසුන්ට සදාකාලයටම ජීවත් වෙන්න ආශාවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ට සදාකාලයටම අර්ථවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාවත් තිබෙනවා. මිනිසාට ඉගෙනගැනීමට ඇති හැකියාවට සීමාවක් නැහැ. මිනිස් මොළය තරම් සංකීර්ණ වෙන කිසිම දෙයක් නැහැ. එහි ඔරොත්තු දීමේ හැකියාවත් අද්විතීයයි. මිනිස් මොළය ගැන විද්‍යාඥයන් දන්නේ ඉතා අල්ප වශයෙනුයි. සතුන් මෙන් නොව මිනිසුන්ට යම් දේවල් සැලසුම් කිරීමට තර්කානුකූලව සිතා බැලීමට, ව්‍යංගයෙන් පවසන දේවල් පවා තේරුම්ගැනීමට හැකියාව තිබෙනවා.
අප වයසට ගියත් ඒ හැකියාවන්ගෙන් බොහොමයක් එලෙසම පවතිනවා. ස්නායු විද්‍යාඥයන් පවසන්නේ වයසට ගියත් මොළයේ ක්‍රියාකාරිත්වයෙන් වැඩි හරියකට කිසිම හානියක් සිදු නොවන බවයි. එක් පර්යේෂණ ආයතනයකින් මෙසේ පැවසුවා. “මිනිස් මොළයට අලුත් ස්නායු සම්බන්ධක ඇති කරගැනීමේ හැකියාව තිබෙනවා. මහලු වයසේදී පවා අලුත් නියුරෝන සෑදෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වය අඩුවීමට හේතු වන්නේ ලෙඩ රෝගයි. වයසට යෑමත් සමඟම කල්පනා ශක්තිය හීනවීම, ලිවීමේ හැකියාව දුර්වල වීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම වැනි හැකියාවන් හීන වෙන්නේ මානසිකව ක්‍රියාශීලී නොවීම නිසයි.”—එම ආයතනය The Franklin Institute’s Center for Innovation in Science Learning.
අපේ මොළය ක්‍රියාකාරීව පවත්වාගන්නවා නම් හා ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙනවා නම් අපේ මොළය සැමදාම ක්‍රියා කරයි. “අපේ විශ්වයේ දැනට සොයාගෙන තිබෙන වඩාත්ම සංකීර්ණ දෙය නම් මොළයයි” කියා DNAවල ව්‍යූහය සොයාගත් විද්‍යාඥයාට සහය වූ අණුක ජීව විද්‍යාඥයෙක් වන ජේම්ස් වොට්සන් පැවසුවා. ස්නායු විද්‍යාඥයෙක් වන ජෙරල්ඩ් ඉඩෙල්මන් අරුම පුදුම මොළයේ සංකීර්ණත්වය ගැන මෙවැනි දෙයක් පැවසුවා. ගිනිකූරක හිස තරම් කුඩා කොටසක “ස්නායු බිලියන ගණනක් සම්බන්ධ වී තිබෙනවා. එය ගණන් කළ නොහැකි තරම්. අපි මෙම ස්නායුවල ගණන සංඛ්‍යාවකින් දක්වනවා නම් දහයට තවත් බින්දු මිලියන ගණනක් එකතු කළ යුතුයි.”
මෙතරම් සංකීර්ණ හා හැකියාවන්ගෙන් අනූන මොළයක් සතු මිනිසාගේ ආයු කාලය දශක කිහිපයකට පමණක් සීමාවීම සාධාරණද? මෙය හරියට වැලි කැටයක් සෙන්ටිමීටර් කිහිපයක් එහාට ප්‍රවාහණ කිරීම සඳහා අධිබලැති එන්ජිමක් සහිත පෙට්ටි ගණනාවකින් යුත් දුම්රියක් පාවිච්චි කරනවා හා සමානයි. මිනිසාට මෙතරම් සංකීර්ණ මොළයක් අවශ්‍ය වන්නේ ඇයි? සතුන් මෙන් නොව මිනිසුන්ව සදාකාලයටම ජීවත් වීම සඳහා නිර්මාණය කර තිබෙන නිසාද?
නිර්මාතෘ දෙන බලාපොරොත්තුව
මිනිසුන් හැටියට අප තුළ ජීවත් වීමට ලොකු ආශාවක් තිබීම මෙන්ම අලුත් අලුත් දේවල් ඉගෙනගැනීමට තිබෙන හැකියාවෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ අවුරුදු 70ක් හෝ 80ක් වැනි කෙටි කාලයක් ජීවත් වීමට නොවන බවයි. මෙය අපිට තවත් නිගමනයකට එළඹීමට මඟ පාදනවා. එනම් මේ සියල්ල නිර්මාණය කළ නිර්මාතෘ කෙනෙක් සිටිය යුතු බවයි. වෙනස් නොවන භෞතික නීති හා ජීවයේ සංකීර්ණත්වය වැනි දේවලින් කියා පාන්නේ මේවා නිර්මාණය කළ දෙවි කෙනෙක් සිටින බවයි.
දෙවි අපව නිර්මාණය කළේ සදාකල් ජීවත් වෙන්න නම් අපි අද මිය යන්නේ ඇයි? මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද? දෙවිගේ අරමුණ මිය ගිය අයට නැවත ජීවිතයක් ලබා දීමද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රඥාවන්ත මෙන්ම සියලු බලැති දෙවිගෙන් ලබාගැනීම සාධාරණයි කියා ඔබට හැඟෙන්නේ නැද්ද? පහත සඳහන් කරුණු සලකා බලන්න.
◼ දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සදාකල් ජීවත් වීම සඳහායි. මරණය ගැන බයිබලයේ සඳහන් වෙන පළමුවෙනි අවස්ථාවෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන් මිය යන එක දෙවිගේ මුල් අරමුණ නොවූ බවයි. උත්පත්ති පොතේ සඳහන් වන ආකාරයට පළමු යුවළ වන ආදම් සහ ඒවට දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය හා විශ්වාසවන්තකම ඔප්පු කිරීම සඳහා දෙවි ඔවුන්ට සුළු පරීක්ෂණයක් දුන්නා. දෙවි උයනේ ඇති එක් ගසකින් පමණක් කන්න එපා කියා අණ කළා. දෙවි පැවසුවේ “ඔබ එයින් කෑ දවසේදී අනිවාර්යයෙන්ම ඔබ මැරෙන්නෙහිය” කියායි. (උත්පත්ති 2:17, NW) එසේනම් ආදම් සහ ඒවට මරණය අත්වන්නේ ඔවුන් දෙවිගේ අණට අකීකරු වූවා නම් පමණයි. ඔවුන් දෙවිට අකීකරු වූ නිසා මරණය අත්වුණා. මුළු මිනිස් පවුලටම අසම්පූර්ණකම මෙන්ම පාපයද උරුම වුණා.
◼ බයිබලයේ මරණය නින්දකට සමාන කරනවා. එහි “මරණයේ සැතපී” සිටිනවා කියා පවසා තිබෙනවා. (1 කොරින්ති 15:6) ලාසරුස් නම් තමාගේ මිත්‍රයාව නැවත නැඟිටුවීමට පෙර යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. නමුත් මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි.”—යොහන් 11:11, 38-44.
යේසුස් මරණය නින්දකට සමාන කළේ ඇයි? නිදා සිටින කෙනෙකුට කිසිම ක්‍රියාකාරී බවක් නැති නිසයි. තද නින්දේ සිටින කෙනෙකුට අවට සිදු වන දේවල් ගැනවත් කාලය ගැනවත් දැනෙන්නේ නැහැ. කිසිම දුකක් වේදනාවක් දැනෙන්නේද නැහැ. ඒ හා සමානව මරණයේදී කිසිම ක්‍රියාකාරකමක් හෝ හැඟීමක් නැහැ. ඒත් ඒ අදාළ කිරීම ඉන් තවත් ඔබ්බට දිව යනවා. බයිබලයේ මිය ගිය අයට දෙන බලාපොරොත්තුව කුමක්ද?
අපේ නිර්මාතෘ දෙවිම අපට මෙලෙස පොරොන්දු වෙනවා. “මිනීවළෙන් මම ඔවුන්ව ගලවාගන්නෙමි. මරණයෙන් ඔවුන්ව මුදවාගන්නෙමි. මරණය, ඔබේ විෂ දළ කොතැනද? මිනීවළ, ඔබේ විනාශය කොතැනද?” (හොෂෙයා 13:14, NW) තවත් බයිබල් වගන්තියක දෙවි ‘සදහටම මරණය ගිල දමන බවත් ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි සියලු මුහුණුවලින් කඳුළු පිස දමන බවත්’ සඳහන් වෙනවා. (යෙසායා 25:8, NW) මෙලෙස මිය ගිය අයව නැවත ජීවත් කරවීම බයිබලයේ හඳුන්වන්නේ නැවත නැඟිටීම කියායි.
◼ නැවත නැඟිටින අය ජීවත් වෙන්නේ කොතැනකද? අපි කලින් සලකා බැලූ ආකාරයට දිගටම ජීවත් වීමේ ආශාව මිනිසාට තිබෙනවා. ඒත් සදාකාලයට ජීවත් වෙන්න කැමති කොතැනද? සමහර ආගම්වලින් උගන්වන ආකාරයට මරණයෙන් පසු නොපෙනෙන පුද්ගලයෙක් ලෙස එහේ මෙහේ සැරිසරමින් ඉන්න ඔබ සතුටු වෙනවාද? එසේත් නැත්නම් ඔබ නාඳුනන වෙනත් පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්න කැමතිද ? සතෙක් ලෙස නැවත ජීවිතය ලැබීමෙන් ඔබ සතුටු වෙනවාද? ඔබට අවස්ථාවක් දුන්නොත් අද මිනිසුන් අද්දකින කිසිම දුකක් කරදරයක් නැති ප්‍රීතිමත් පරිසරයක ජීවත් වෙන්න ඔබ කැමති වෙනවාද?
ඔබ පාරාදීසයක් බඳු උයනක ජීවත් වෙන්න කැමති වෙන්නේ නැද්ද? බයිබලයේ අපට සදාකාලයටම පාරාදීසයක් වැනි තැනක ජීවත් විය හැකි බවට පොරොන්දු වී තිබෙනවා. දෙවි පොළොව නිර්මාණය කළේ ඔහුට ප්‍රේම කරන විශ්වාසවන්ත අය සදාකාලයටම එහි ජීවත් වෙනවා දකින්නයි. බයිබලයේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය” කියා පවසන්නේ ඒ නිසයි.—ගීතාවලිය 37:29; යෙසායා 45:18; 65:21-24.
◼ නැවත නැඟිටීම සිදු වන්නේ කවදාද? මරණය නින්දකට සමාන කර තිබීමෙන් පැහැදිලි වන්නේ කෙනෙක් මැරුණු විගස නැවත නැඟිටින්නේ නැති බවයි. මෙයට යම් කාලයක් ගත වෙනවා. මේ ගැන බයිබලයේ යෝබ් නම් තැනැත්තා මෙසේ ප්‍රශ්න කළා. “මිනිසාගේ හුස්ම නික්ම ගිය පසු ඔහු යළි ජීවත් වේද?” ඊටපසු ඔහුම මෙසේ පිළිතුරු දුන්නා. “මාගේ සැනසීම පැමිණෙන තුරු මම වහලෙක් මෙන් බලා සිටින්නෙමි. ඔබ අඬගසන්නෙහිය. මම උත්තර දෙන්නෙමි.” (යෝබ් 14:14, 15, NW) මිය ගිය අය නැවත ඔවුන්ගේ ප්‍රේමණීයයන් සමඟ එකතු වන ඒ අවස්ථාව කොතරම් ප්‍රීතිමත් එකක් වෙයිද!
අනවශ්‍ය බියක්
මරණයෙන් පසු බලාපොරොත්තුවක් බයිබලයේ දී තිබුණත් මරණයට තිබෙන බිය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ළඟම කෙනෙක් මිය ගිය විට දුක වේදනාව ඇතිවීම ස්වභාවිකයි. ඒ වගේම යම් ආකාරයකින් ඔබ මිය ගියා නම් ඔබේ පවුලේ අයට අත්විඳින්න සිදු වන දුෂ්කරතා ගැන බියවීමත් සාමාන්‍යයයි.
කෙසේවෙතත් බයිබලයේ මිය ගිය අයගේ සැබෑ තත්වය හෙළි කර තිබෙනවා. ඒ නිසා මිය ගිය අය ගැන අනවශ්‍ය බියක් ඇතිවීමෙන් වැළැකීමට එය උපකාරවත් වෙනවා. මරණයෙන් පසු නිරය වැනි ස්ථානයක අපව පුච්ච පුච්චා භූතයන් වද දෙයි කියා බිය විය යුතු නැහැ. ඒ වගේම ඔබට නැවත ජීවිතයක් ලැබෙන්නේ නැහැයි කියා බිය විය යුතුද නැහැ. ඊට හේතුව යෙහෝවා දෙවිට තිබෙන්නේ අසීමිත මතක ශක්තියක්. ඒ නිසා දෙවි සුදුසුකම් ලබන සෑම කෙනෙකුවම නැවත මේ පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවන්න යනවා. මේ බව බයිබලයේ සනාථ කර තිබෙන්නේ මෙසේයි. “අපව ගලවාගන්නේ සැබෑ දෙවි මිස වෙන කිසිවෙකු නොවේ. මරණයෙන් මුදවාගැනීමට හැකි වන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිට පමණි.”—ගීතාවලිය 68:20, NW.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඔබ දූවිලිය, ඔබ දූවිල්ලට හැරී යන්නෙහිය”—උත්පත්ති 3:19
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“[දෙවි] සදාකාලය ඔවුන්ගේ සිත්වල පිහිටෙව්වේය.”—දේශනාකාරයා 3:11
[8වන පිටුවේ කොටුව/පින්තූරය]
මරණය පිළිබඳව ඔබට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු
මරණය හා නැවත නැඟිටීම ගැන තිබෙන සියලුම ප්‍රශ්න මෙම ලිපි මාලාවේ සාකච්ඡා කර නැහැ. බොහෝ අයට ඒ විෂයන් පිළිබඳව තිබුණු ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු බයිබලය ඉගෙනගැනීම තුළින් ලැබී තිබෙනවා. ඔබටත් එසේ කරන්න කියා අපි ආරාධනා කරන්න කැමතියි. ඔබට පිළිතුරු ලබාගත හැකි ප්‍රශ්න කිහිපයක් පහත සඳහන් වෙනවා.
◼ බයිබලයේ “නිරය” සහ “ගිනිවිල” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◼ නිරය කියා තැනක් නැත්නම් නරක මිනිසුන්ට දඬුවම් කරන්නේ කොහොමද?
◼ බයිබලයේ පවසන ආකාරයට මරණයේදී කෙනෙකුට සිදු වෙන්නේ කුමක්ද?
◼ මිය ගිය අය සමඟ කතා බහ කර තිබෙන බව වාර්තා වෙන්නේ ඇයි?
◼ කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ ශරීරයෙන් නොපෙනෙන යමක් පිට වී පවතිනවාද?
◼ පාරාදීස පොළොවක නැවත නැඟිටීම සිදු වන්නේ කොයි කාලයේදීද?
◼ මොන ආකාරයේ ජීවිතයක් ගත කර තිබුණත් මිය ගිය සෑම කෙනෙක්ම නැවත නැඟිටිනවාද?
මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඔබට බයිබලයෙන් ලබාගන්න පුළුවන්. මේ සඳහා උපකාර ලබාගත හැක්කේ කෙසේද කියා දැනගැනීම සඳහා සඟරාවේ අවසාන පිටුව බලන්න.
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ‘[ලාසරුස්ව] නින්දෙන් අවදි කරන’ බව පැවසුවා
[8, 9වන පිටුවේ පින්තූරය]
මිය ගිය ප්‍රේමණීය අය නැවත නැඟිටින විට දැනෙන සතුට ගැන සිතා බලන්න